ඩොනල්ඞ් ට‍්‍රම්ප් විරෝධී මහජන ව්‍යාපාරය සහ ව්‍යාපාරික මාධ්‍යයේ රුසියානු-විරෝධී දඩයම

The popular movement against Trump vs. the corporate media’s anti-Russia witch-hunt

2017 පෙබරවාරි 18

ට‍්‍රම්ප්ගේ අසාමාන්‍ය මාධ්‍ය සාකච්ඡාවෙන් දිනක් ගත වන විට ඇමරිකානු රාජ්‍යය ඇතුලත සටන තව තවත් උග‍්‍ර අතට හැරී තිබේ. මෙම ගැටුම එක්සත් ජනපදයේ අන්ත-දක්ෂිනාංශික ජනාධිපතිවරයා ද මිලිටරි-බුද්ධි තන්ත‍්‍රයේ බලගතු අංශ සහ මහා සංගත ගැති මාධ්‍ය ද ඩිමොක‍්‍රටික් පක්ෂය ද සීඅයිඒ සංවිධානයේ හොරනෑ ලෙස කටයුතු කරන රිපබ්ලිකනුවන් කොටසක් ද එකිනෙකාට එරෙහි ව පිහිටුවා තිබේ.

විදේශ පිලිවෙත සහ යුද්ධය සම්බන්ධ ප‍්‍රශ්න වටා සංකේන්ද්‍රනය වී ඇති මෙම භේදයේ ප‍්‍රගතිශීලි පාර්ශවයක් ඇත්තේ නැත. ට‍්‍රම්ප් වනාහි මුල්‍ය කතිපයාධිකාරයේ විසකුරු නියෝජිතයා ය. ඔහු තම පාලනය තුල, මහ සංගත වල ප‍්‍රධාන විධායක නිලධාරීන් ද බිලියනපතියන්ද හිටපු යුද හමුදා පතියන්ද සමාජ ප‍්‍රතිගාමින් සහ පරිපූර්න ෆැසිස්ට්වාදීන්ගෙන්ද පුරවාගෙන සිටියි. දේශපාලන සහ මාධ්‍ය සංහතිය තුල ඔහුගේ විරුද්ධාවාදීහු ද ප‍්‍රතිගාමියෝ ම වෙති, ඔවුන් මෙහෙය වෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍ර මුලධර්මයන් මගින් නොව කලින් පැවති ආන්ඩුව ගෙන ගිය, ඔත්තු සේවා සංස්ථාපිතයේ පිටුබලය සහිතව රුසියාව පිලිබඳව අනුගමනය කල මිලිටරිවාදී පිලිවෙත වැන්නක් ට‍්‍රම්ප් විසින් නොගනු ඇතැයි යන සංකාවෙනි.

සිකුරාදා මාධ්‍යයන් කෙරේ සිය විවේචන දෙගුන කල ට‍්‍රම්ප්, ට්විටර් පනිවිඩ වලින් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මාධ්‍ය .... මගේ නොව ඇමරිකානු ජනතාවගේ සතුරා ය.” ඔහු විශේෂයෙන්ම ඉලක්ක කර ගත්තේ නිව් යෝක් ටයිම්ස් , සීඑන් එන් සහ ප‍්‍රධාන ගුවන් විදුලි ප‍්‍රවෘත්ති මාධ්‍යයන් ය.

අලුත් ජනාධිපතිට විරුද්ධව මෙහෙයුම උත්සන්න කල මාධ්‍ය, ට‍්‍රම්ප් රුසියානු ජනාධිපති පුටින්ගේ ඒජන්තයෙකු නොවේ නම් සගයෙකු බව කියා සිටියේ ය. මැකාර්තිවාදයේ දුගඳ විහිදුවන මෙම වැඩසටහනේ තර්කනය වන්නේ යුද්ධය යි. නොරියේගාට, මිලොසවික්ට, සදාම් හුසේන්ට, ගඩාෆිට සහ අසාද් ට එරෙහිව ගෙන යන ලද මෙවන් මාධ්‍ය මෙහෙයුම් මෙන්ම, දැන් කෙරෙන මෙහෙයුම මගින් පුටින් යක්ෂයෙකු ලෙස නම් කිරීම පෙන්නුම් කරන්නේ ද යුද්ධ ආක‍්‍රමනයට සැරසීමකි. ඒ මෙවර ලෝකයේ දෙවෙනි විශාල න්‍යෂ්ටික බලවතාට එරෙහිවය.

මාධ්‍යය බොරුකාරයන් යයි හා චර-බුද්ධි අංශවල යටිකූට්ටු උගුල් හෙලාදකින සත්‍ය ප‍්‍රකාශයක් පුවත් සාකච්ඡාවේදී කිරීමට ට‍්‍රම්ප්ට සිද්ධ වී නම් ඒ තමාගේම කන්ඩායම්වාදී හේතු උඩ ය. ප‍්‍රචාර වෙඩි මුරයට හොඳම නිදසුන නම් දැන් සැබවින්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ හොරනෑව බවට පත්ව ඇති නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ කතුවැකි පිටුව යි. ගිය සිකුරදා එම පුවත්පතේ ප‍්‍රධාන කතුවැකිය ද, මතධාරී ලිපි හතෙන් හතරක්ම ද කැප කෙරුනේ ට‍්‍රම්ප් රුසියානු ඔත්තුකරුවෙකු ලෙස පින්තාරු කිරීමට ය.

“විශේෂ අභිචෝදක කැඳවනු” යන නමින් පලවූ කතු වැකිය, විකෘත ප‍්‍රවෘත්ති වේදයේ හා චරිත ඝාතනය පිලිබඳ උදාහරනයකි. සනාථ නොකරනලද චෝදනාවක් පිලිගත් සත්‍යයක් ලෙස නිවේදනය කිරීමේ ඇටුවන් බැහැපු විධික‍්‍රමය යි නිව්යෝක් ටයිම්ස් පත‍්‍රය විසින් යොදා ගෙන ඇත්තේ. එය පටන් ගන්නේ මෙසේ ය: “ප‍්‍රශ්නය වනාහි ට‍්‍රම්ප් පාලනයට රුසියානු ආන්ඩුව සමග තිබෙන සම්බන්ධතා පරික්ෂාවට බඳුන් කලයුතු ද නැත් ද යන්න නොවේ.”

මොන සම්බන්ධකම් ද? ඒ පිලිබඳව ඔප්පු කරපු දෙයක් නැත. සහතිකෙන්ම නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය විසින් ඔප්පු කරන ලද දෙයක් ඇත්තේම නැත. එහෙත් ටයිම්ස් පත‍්‍රය තම චෝදනා ඉදිරිපත් කරන්නේ අවිවාදිත සත්‍යයන් ලෙස ය.

පසුව කතු වැකිය මෙසේ කියයි, “ට‍්‍රම්ප් ව්‍යාපාරයේ ඇතුලු කවයේ සාමාජිකයෝ රුසියානු බුද්ධි -චරාංශ සමග ගිය අවුරුද්දේ නිරතුරුවම සබඳකම් පැවැත්වු බවට පලවූ පුවත්” ගැන සඳහන් කරයි. එහෙත් ටයිම්ස් පුවත් පත විසින් සඳහන් කරනු ලබන ඊනියා අදාල ‘පුවත’ නම්, කලින් අඟහරුවාදා එහිම මුල් පිටුවේ පලවූ ලිපියකි. එය කිසිම සාක්කියක් ඉදිරිපත් නොකර සඳහන් කරන්නේ, “දැනටත් සිටින සහ පෙර හිටපු ඇමරිකානු නිලධාරීන් හතර දෙනෙකු” කියා ඇති දේ ය; එහෙත් පුවත් පත ඒ කිසිවෙකු ගේ නම් ඉදිරිපත් කර නැත.

ටයිම්ස් පුවත් පතටම තම ‘ප‍්‍රවෘත්ති’ වලට සීමා-කොන්දේසි පැනවීමට සිදුවී තිබේ. උදාහරනයක් නම් මේ ආකාර කතා ය: “ට‍්‍රම්ප් මහතාගේ සගයන් කිහිපදෙනෙක් ම ....රුසියාවේ ව්‍යාපාර කර තිබේ. එම තතුතුල සමහරවිට නොදැනුවත්ව ම එම ඇමෙරිකානු ව්‍යාපාරිකයන් ට රුසියානු විදේශ- බුද්ධි අංශ මුන ගැසීම අමුතු දෙයක් නොවේ.”

‘අර රට’ (රුසියාව) සමග ද එරටේ ජනාධිපතිව ඉන්නා මැරයා සමග ද ට‍්‍රම්ප් මහතාගේ, ඔප්පු නොකෙරුනු සන්ධානය ගැන සහතික වීමට ‘ප‍්‍රධාන සැකයක්’ ලෙසට සලකනු ලබන්නේ මෙවන් ඊනියා ‘කරනාවල්’ ය.

මේ නම් මැකාර්ති වාදයේ ක‍්‍රමවේදය යි. ටයිම්ස් පුවත්පත උනන්දු වන්නේ සත්‍යය ගැන නොවේ; රුසියාවට එරෙහි මෙහෙයුමට සම්බන්ධ ඇමරිකානු ආධිරජ්‍යවාදයේ අවශ්‍ය තා පිලිබඳවය.

ඉහතකී ප‍්‍රධාන කතුවැකිය ද සමග පලකරන ලද තවත් ලියවිල්ලක් ට‍්‍රම්ප් විරෝධි දක්ෂිනාංශික උන්මාදයේ, ‘වාම’ ආර්ථිකඥයෙක් ද ඔබාමා-ක්ලින්ටන් ලාගේ ක්ෂමාලාපකයෙකු ද වූ පෝල් කෲග්මන් විසින් ලියන ලද්දකි. “කුලියට ලියන්නන්ගේ මුනිවත” යන එම ලිපිය මෙසේ කියා සිටියි. “එක්සත් ජනපද ජනාධිපති වරනයේ දී එක අපේක්ෂකයෙකුගේ සහායට විදේශීය බලවතෙක් අත පෙවිය. ඒ අපේක්ෂකයා ජයග‍්‍රහනය කලේය.” “අලුත් ජනාධිපතිගේ සහකරුවන් එකාධිපතියාගේ චරසේවා නිලධාරීන් සමග මෙහෙයුම අවධියේ දී සම්බන්ධකම් පැවැත්වූ අතර..... ජනාධිපතිවරයා එකාධිපතියා ගේ ආසක්තයන් ගැන අමුතු මාදිලියේ සැලකිල්ලක් දක්වයි.”

පුටින් ඒකාධිපතියෙකු ලෙස විස්තර කිරීම සාවද්‍යවේ. පුටින් දක්ශිනාංශික ජාතිකවාදියෙකු වන අතර රුසියානු කතිපයාධිකාරයේ අධිකාරවත් නියෝජිතයෙකි. කෙසේ වෙතත් ඔහු මැතිවරන කිහිපයක්ම ජයග‍්‍රනය කලේ, නැගෙනහිර යුරෝපය තුල එක්සත් ජනපද ආක‍්‍රමනිකත්වයට පවත්නා විරෝධය ගසා කමිනි. ඔහු සම්බන්ධයෙන් කතා කරන කල්හි ‘ඒකාධිපතියා’ (කතුවැකියේ දී ‘මැරයා’) යනුවෙන් පාවිච්චි කරන භාෂාවේ ඉලක්කය, තවත් තන්ත‍්‍ර-මාරු යුද්ධයක් සඳහා හේතු නිර්මානය කර ගැනීම ය.

පුටින් වනාහි, රුසියාව තුල ධනවාදය යලි පිහිටුවීමේ විපාකයයි. එය වනාහි නිව්යෝක් ටයිම්ස් පත‍්‍රය හා ඇමරිකානු පාලක පන්තිය විසින් උනන්දුවෙන් සහාය දෙනු ලැබුවාවූ ද, රුසියානු කම්කරු පන්තියට ව්‍යසනකාරී ප‍්‍රතිපල ලබා දුන්නාවූ ද සිද්ධියකි. 1993 දී බොරිස් යෙල්ට්සින්, 2000ක් මිනිසුන් මරා දමමින් රුසියානු පාර්ලිමේන්තු ගොඩන්ගිල්ල ට බෝම්බ දැමීම නිව්යෝක් ටයිම්ස් පුවත් පත ට සඟවා ගැනීමට නොහැකි තරම් ආනන්ද ජනක සිද්ධියක් වුයේ ය. එකල්හි මොවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැක සංකා තිබුනේ නැත; මොවුනි ගනන් බැලූයේ යෙල්ට්සින් වනාහි, රුසියාවේ ජනසතු දේපල බිඳ දමා සාමාජ සේවා පද්ධතිය විනාශ කිරීමට “කම්පක චිකිත්සාව” යොදා ගැනීමේ හොඳම උපකාරකයා බවය.

පෝල් “මැකාති” කෲග්මන්ට මේ ඉතිහාසයෙන් වැඩක් ඇත්තේ නැත. ට‍්‍රම්ප් පිලිබඳව තමාගේ විවේචන උසි ගන්වන යුදවාදී හැඟීම් හෙලිකරමින් ඔහු ලියන්නේ මෙසේය: “තමා පුටින්ගේ රූකඩයක් ය යන සැකය මකා දැමීමට, ට‍්‍රම්ප් පදවිප‍්‍රාප්තියෙන් පසු කරපු දෙයක් නැත. යුද්ධයේදී මැරෙන්නට අමරිකානු සොල්දාදුවන් යැවීම මෙවන් වලාවකට යටවී ඉන්නා නායකයෙකු ට කෙසේ හැකි වන්නේ ද?”

නිව්යෝක් ටයිම්ස් සහ වෙනත් පුවත් ආයතන වලින් වහනය වන ජරාව අතර, චරපුරුෂ නිලධාරීන්ගේ නිර්නාමික ප‍්‍රකාශයන් දෙස මොනයම් ම හෝ සැක කිරීමක් වත් ඇත්තේ නැත. ඔවුන් වැඩකරන්නේ, ඉරාකයේ ජන ඝාතක අවි පිලිබඳව ගසනලද , [නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයම වගාකල] සීඅයිඒ පචය කවර කලෙක වත් සිදු නොවුනාක් මෙනි.

කෲග්මන් නිරූපනය කරන්නේ, වාම ලිබරල් බුද්ධි ජිවින් යයි කියනු ලබන කොටසේ බුද්ධිමය, දේශපාලන සහ සදාචාරත්මක පරිහානියේ තරම යි. කෲග්මාන් කතාකරන වරප‍්‍රසාදිත සමාජ ස්ථරය, කම්කරුවන්ගේ ආදායම එක දිගට පහත වැටෙද්දී, කොටස් වෙලඳ පල ද සමග තමන්ගේ ආදායම දිගින් දිගටම ඉහලගොස් ඇති අන්දම දැකගෙන තිබේ. මොවුහු අධිරාජ්‍යවාදය ද ධනේශ්වර රාජ්‍යය ද සීඅයිඒ සංවිධානය ද යනමේ සියල්ලේ විවෘත ආරක්ෂකයන් බවට පත්ව සිටිති. ට‍්‍රම්ප් වනාහි, “රුසියානු ගැති ද්රෝහියෙකැ”යි නම් කල මයිකල් මුවර්ගේ පටන් බර්නි සෑන්ඩර්ස් සහ එලිසබෙත් වොරන් දක්වා පුටින් විරෝධී ප‍්‍රකාශ නිකුත් කල සමස්ත නිල වම ම මේ රුසියානු විරෝධී මෙහෙයුමට කරගසාගෙන සිටිති.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් කෙරේ කම්කරු සහ තරුන ශිෂ්‍ය ජනතාව අතර පවත්නා විරෝධය ද චර-බුද්ධි සේවාවල, ඩිමොක‍්‍රටික් පක්ෂය තුල සහ මාධ්‍යයන්හි සිටුනා ඔවුන්ගේ නියෝජිතයන් ද ගෙන යන යුදවාදී න්‍යාය පත‍්‍රය ද අතර පවතින්නේ අපාර අගාධයකි.

ට‍්‍රම්ප්ට සංස්ථාපිතයේ පැත්තෙන් විවෙචන එල්ල කරන්නෝ, යුදවාදයේ විෂබිජයෙන් මහජන විඥානය රෝගී කිරීම සඳහා ද මහජන ව්‍යාපාරය ප‍්‍රතිගාමී අන්තයකට හැරවීම සඳහා ද තමන්ට හැකි සෑම දෙයක්ම කරන්නෝය. ඔවුන්ගේ මෙහෙයුමට කුමන ආකාර හෝ අනුගතවීමකට එරෙහිව බලගතුව අනතුරු හැඟවීම අත්‍යවශ්‍ය වේ.

ට‍්‍රම්ප් පාලනාධිකරයට එරෙහි අරගලය ඉදිරියේ පවත්නා සාතිශය හදිසි කටයුත්ත, ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් පැහැදිලිව සහ සම්මුති විරහිතව බිඳී වෙන්වීමයි. මෙම අරගලය කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි ස්ථිරසාර අරගලයක් හා සමාජවාදී වැඩ පිලිවෙලක් උඩ සමාජයේ සකල සැබෑ ප‍්‍රගතිශීලි කොටස් කම්කරු පන්තිය වටා බලමුලුගන්වා ගත යුතු ය.

ඔන්ඩ්‍රේ ඬේමන්

Share this article: