පොලීසිය සහ උසාවිය යොදා ගනිමින් ආන්ඩුව ශිෂ්‍ය මර්දනය උත්සන්න කරයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 පෙබරවාරි 3

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය ඊයේ සංවිධානය කර තිබූ විරෝධතා පෙලපාලියකට කොලඹ කොටුවේදී ජල විදින සහ කඳුලු ගෑස් යොදා ගනිමින් එල්ල කල මුර්ග ප‍්‍රහාරයකට පසුව පොලීසිය විසින් සිසුන් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව විශ්වවිද්‍යාල සිසුන් අඛන්ඩව ගෙනයන උද්ඝෝෂනය තලා දැමීමට සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව මුදා හැර ඇති රාජ්‍ය මර්දනයේ අලුත්ම ප‍්‍රහාරය මෙයයි. සිසුන්ගේ විරෝධතාවලට එරෙහිව උසාවි නියෝග ගැනීම, පොලිස් ප‍්‍රහාර එල්ල කිරීමට හා අත්අඩංගුවට ගැනීම්වලට ”නීත්‍යානුකුල බවක්” ලබා දීමට ගෙන ඇති වංචනික තැතකි.

සිසුන් ඊයේ උද්ඝෝෂනය කලේ සයිටම් වෛද්‍ය උපාධිය පිලිගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ බලධාරීන් ඉදිරිපත්කල පෙත්සමක් විභාග කල ඇපැල් උසාවිය එය පිලි ගනිමින් සඳුදා තීන්දුවක් දී තිබූ තතු තුලය. ආන්ඩුව සයිටම් පිලිගෙන ඇති තත්වයක දුන් මෙම තීන්දුව විය යුතු පරිදිම සිසුන්ගේ බරපතල කෝපයට හේතුවී තිබේ. ඊයේ පැවති විරෝධතාවට එරෙහිව පොලීසිය ඉල්ලුම් කල නියෝගය නිකුත් කරමින් මහේස්ත‍්‍රාත් සඳහන් කලේ එය කඩකරන සිසුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙසයි. පෙත්සම් විභාගය සිදු කෙරුනු සඳුදා ද සිසුහු විරෝධතාවයක නිරත වූහ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කල සිසුන් 4000 ක පමන සහභාගිත්වයෙන් ජනවාරි 19 දා පැවැත්වූ පාගමනට පොලීසිය එල්ල කල එබඳුම ප‍්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරුනු බව වාර්තා විය.

කැලනිය විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිසුන් පිරිසක් සිරභාරයට ගැනීමට විරුද්ධව පසුගිය වසර අගදී පැවති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින ශිෂ්‍ය කන්ඩායමක් නඩු වාරයක් සඳහා යලි කැඳවීම් ලබා තිබූනේ ජනවාරි 20 දින ය. එම අවස්ථාවේදී පොලීසිය විසින් කරන ලද පැමිනිල්ලකට අනුව ජනවාරි 19 වනදා පාගමනට සහභාගී වීම හේතුවෙන් ඇප කොන්දේසි උල්ලංඝනය කලේය යන චෝදනා මත ශිෂ්‍ය භික්ෂුන් හතරදෙනෙකු සහ සිසුන් තුන්දෙනෙකු ඇතුලු කන්ඩායමක් යලි අත්අඩංගුවට ගැනුනි. තවත් සිසුන් දෙදෙනෙකුට අධිකරනයට ඉදිරිපත් වන මෙන් නියෝග නිකුත් කර තිබේ. සිසුන්ට පනවා තිබූ ඇප කොන්දේසියක් වූයේ උද්ඝෝෂනවලට සහභාගී වීම තහනම් කිරීමයි.

ජනවාරි 26 වනදා එම සිසුන් හත්දෙනා අධිකරනය වෙත ඉදිරිපත් කෙරුනු අතර ඔවුන් මුදා හරින ලද්දේ ඉදිරියේදී උද්ඝෝෂනවලට සහභාගී වීම වලකාලන ඇප කොන්දේසි යලි පනවමිනි. එලෙසම ඇප කොන්දේසි පනවනු ලැබ සිටි අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර ද 19 වනදා පාගමනට සහභාගී වීම හේතුවෙන් එම කොන්දේසි උල්ලංඝනය කලේය යන චෝදනා මත එදිනම යලි අත්අඩංගුවට ගැනුනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කොන්දේසි ක්‍රියාවට දමමින් සිටින සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් කර ඇත. එම ප‍්‍රහාර ක්‍රියාවට දැමීම සඳහා සිසුන්ගෙන් පැන නගින විරුද්ධත්වය මැඩලීම අංක එකේ කටයුත්තක් බවට ආන්ඩුව තීන්දු කර ඇත.

විවිධ හේතූන් දඩමීමා කරගනිමින් පන්ති තහනම් සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ද සිසුන්ට සහ දෙමාපියන්ට කෙරෙන තර්ජන සහ බියවැද්දීම් ද විශ්වවිද්‍යාල වසා තැබීම සහ සිසුන්ට විශ්වවිද්‍යාල භුමිය තහනම් කලාප බවට පත් කිරීම ද එක දිගට සිදුවෙයි.

සිසු දඩයම හුදකලා සිද්ධියක් නොවේ. තමන්ගේ ජීවන තත්වයන්ට, සේවා කොන්දේසිවලට, රැකියාවලට එල්ලවන ප‍්‍රහාරවලට සහ පුද්ගලීකරනයට එරෙහිව අරගලයට එන කම්කරු පන්තියේ සෑම කොටසකටම විරුද්ධව ආන්ඩුවේ කඩා පැනීම් වේගවත් වී ඇත.

රැකියා රැක ගැනීමට අරගලයට ආ හම්බන්තොට වරාය සේවකයන් මැඞීමට ආන්ඩුව නාවුක හමුදා මෙහෙයුමක් දියත් කලේ ඔවුන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමිනි. ලංකා විදුලිබල මන්ඩලයේ මිනිස්බල සේවකයන් දොට්ට දැමීමට එරෙහිව විරෝධතාවක යෙදී සිටියදී ගිය සතියේ පොලිස් මෙහෙයුමකින් 37 අත් අඩංගුවට ගන්නා ලදී.

ටෙලිකොම් මිනිස්බල සේවකයන් දැන් ගෙන යමින් සිටින විරෝධතාවයක් බිඳීමට ඔවුන් කුලියට සපයන ටෙලිකොම් සමාගම උසාවි නියෝගයක් ගෙන ඇත. ඉන් පසුව වාර්තා වූයේ, සේවකයන් සංවිධානය වී සිටින සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමයේ උප සභාපති සුජීව මංගල ආයුධ සන්නද්ධ කන්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් දින තුනක් සිරකර තබා සේවක අරගලය නතර කරන ලෙස තර්ජනය කර මුදාහල බවයි.

අඟහරුවාදා, කොලඹ වරාය සේවකයන් කොටසක් වරායේ නැගෙනහිර පර්යන්තය විකිනීමට විරුද්ධව ගෙනගිය උද්ඝෝෂනයක් මැඩීමට ද පොලීසිය එලෙස ජල හා කඳුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කලේය.

මෙම සිද්ධීන් ආන්ඩුව උසිගන්වන මර්දනයේ මෑතම අවස්ථා කීපයක් පමනකි.

මෙම ප‍්‍රහාර පෙන්නුම් කර ඇත්තේ කම්කරුවන්ගේ දුගීන්ගේ හා සිසුන්ගේ අයිතීන් උදුරා ගනිමින් ධනපති අර්බුදයේ බර ඔවුන් මත පැටවීමට ඇමරිකන්-ගැති ආන්ඩුව ක්‍රියා කරන ආකාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය විසින් තම අයිතීන් තලා දැමීමට එරෙහිව මෙම ජන කන්ඩායම් නැගී සිටි විට ඔවුන් නොමග යවා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කල අවිශිබම නායකත්වය, ඔවුන් මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ව්‍යාජ වාම කන්ඩායම්, ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සංවිධාන මෙම ප‍්‍රහාරවලට දේශපාලනිකව මුලුමනින්ම වග කිව යුතුය. ඔවුන් ප‍්‍රකාශ කලේ වත්මන් ආන්ඩුවෙන් ”යහ පාලනයක්” ලබා ගත හැකි බවයි; එසේත් නැත්නම් රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නතර කර ගත හැකි බවයි.

Share this article: