ශ්‍රී ලංකාව තුල පන්ති අරගල රැල්ලක්: තම අයිතීන් රැක ගැනීමට කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය

A wave of class struggles in Sri Lanka: Workers must fight for a socialist program to defend their rights

සමාජවාදී සමානතා පක්ෂය, 2017 පෙබරවාරි 18

පිරිහෙන ජීවන තත්වයන්ට ද රැකියා විනාශයට ද ජ‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට ද විරුද්ධව රජයේ හා පෞද්ගලික අංශයේ දහස් ගනන් කම්කරුවන් සම්බන්ධවූ විරෝධතා රැල්ලක් ශී‍්‍ර ලංකාව තුල පැනනැගී ඇත. මෙම අරගල, ඇමරිකානු ගැති ආන්ඩුවටත් සමස්තයක් ලෙස ධනපති පන්තියටත් එරෙහිව එලඹෙන මහජන නැගිටීම් පිලිබඳ සලකුනකි.

⋆ රාජ්‍ය සේවයේ හෙදියෝ, පිකට් කිරීම් හා පත‍්‍රිකා බෙදාහරිමින් සති දෙකක් තිස්සේ විරෝධතා පවත්වති. බ‍්‍රහස්පතින්දා (16) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ සේවකයෝ තවත් විරෝධතාවක් ඇරඹූහ. රජයේ විශ්වවිද්‍යාල 13ක් ද ඇතුලු උසස් අධ්‍යාපන ආයතනවල අනධ්‍යන සේවකයෝ පෙබරවාරි 7දා එක් දින වර්ජනයක් පැවැත්වූහ. ඊට පෙර දින ලංකා විදුලිබල මන්ඬලයේ කම්කරුවෝ කොලඹදී පෙලපාලි දැක්වූහ. මේ සියල්ලන්ගේ ප‍්‍රධාන ඉල්ලීම, අත්‍යවශ්‍ය භාන්ඬ හා සේවා මත බදු පැනවීමත්, රුපියල බාල්දු වීමත් නිසා, නොඉවසිය හැකි තරම් ජීවන වියදම ඉහල නැගීමට සරිලන පරිදි වැටුප් වැඩිකර ගැනීමය.

⋆ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොන්ත‍්‍රාත් කම්කරුවන් 1100ක් පමන, දෙසැම්බර් 24දා සිට වැඩවර්ජනයක යෙදී සිටිති. විදුලිබල මන්ඩලය පසුගිය වසරේ අනියම් කම්කරුවන් 1400ක් නෙරපා හැරීමෙන් පසුව දෙසැම්බර් 26දා සිට එහි ද එවැනිම ඉල්ලීම් මුල්කරගෙන කම්කරුවන් 200ක් දෙනා සති තුනකටත් වැඩි කාලයක් තිස්සේ විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ.

⋆ කොලඹ වරාය කම්කරුවන් 1000ක් පමන පෙබරවාරි 3දා පුද්ගලීකරනයට එරෙහිව විරෝධතා දැක්වූහ. පසුගිය දෙසැම්බරයේදී ආන්ඩුව, ස්ථිර රැකියා ඉල්ලා හම්බන්තොට/මාගම්පුර වරාය කම්කරුවන් 500ක් දෙනා ආරම්භ කල අරගලය මැඞීමට, නාවික හමුදාව යෙදවීය.

⋆ සීදුවේ ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික්ස්හි දොට්ට දැමූ 150ක් කම්කරුවෝ, යලි සේවයේ පිහිටුවන මෙන් ඉල්ලමින් ජනවාරි 13 සිට කම්හල ඉදිරිපිට විරෝධතා දක්වති.

⋆ ජනවාරි හා පෙබරවාරි මාසවල මධ්‍යම කඳුකරයේ ආගරපතන හා නානුඔය තේ වතුවල දහස් ගනන් කම්කරුවෝ, වෘත්තීය සමිතිවල සහාය ඇතිව අටවන ලද නව සාමුහික ගිවිසුම යටතේ වැටුප් කැපීමට එරෙහිව විරෝධතා දැක්වූහ.

රට වෙලාගෙන ඇති සමාජ නොසංසුන්තාවයේ තරම පෙන්නුම් කරමින් විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි සිය උද්ඝෝෂන තීව‍්‍ර කර ඇත. නියඟයෙන් ඇතිව තිබෙන වගා හානි වෙනුවෙන් වන්දි ඉල්ලමින් ද මහා ව්‍යාපාර සඳහා ඉඩම් පැවරීමේ ආන්ඩුවේ උත්සාහයට විරුද්ධව ද ගම්බද ප‍්‍රදේශවල ගොවින්ගේ විරෝධතාද පැනනැගී ඇත.

අඛන්ඬ මිලිටරි වාඩිලෑමට, මිලිටරිය අත්පත් කරගත් ඉඩම් යලි බාරනොදීමට හා යුද්ධය අවධියේ ද ඉන් පසුව ද මිනිසුන් අතුරුදහන් වීමට එරෙහිව යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර දෙමල ජනතාව නොකඩවා උද්ඝෝෂනයේ යෙදී සිටිති.

මෙම අරගල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රතිපත්ති සමග සෘජුවම ගැටෙයි. සියලු භාන්ඩ හා සේවා සඳහා ඉහල බදු පනවමින් ද අධ්‍යාපනය හා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කරමින් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි ආන්ඩුව, කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත.

කම්කරුවන් අතර පැතිර යන කෝපය යටපත් කිරීම පිනිස වෘත්තීය සමිති මෙම විරෝධතා කැඳවා ඇතත්, කම්කරු පන්තිය බෙදීම පිනිස ඔවුන් ඒවා ශ්‍රේනිමය ඉල්ලීම් වලට කොටුකර තිබේ. කම්කරු පන්තියේ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගයක් ආන්ඩුවට එරෙහි දේශපාලන අභියෝගයක් බවට වර්ධනය වෙතැයි සමිති භීතියට පත්ව සිටි. මේ සියලුම සමිති පාහේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එරෙහිව පැතිර පැවති මහජන සතුරුකම ගසා කමින්, ඇමරිකානු ගැති සිරිසේන ජනාධිපති ලෙස පත්කර ගැනීමට දායක වූහ.

කොලඹ වරාය, විදුලිබල මන්ඬල හා හෙදියන්ගේ විරෝධතා කැඳවන ලැබුවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. ජවිපෙ හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති සිරිසේන බලයට පත්කිරීමට උදව් කලහ. නොසංසුන්තා පුලුල් ලෙස පැතිරයාමත් සමග ඔවුන්, තම ඉල්ලීම් දිනාගැනීම පිනිස ආන්ඩුවට නිරර්ථක ඉල්ලීම් ඉදිරිපත් කරන තැනක කම්කරුවන් කොටු කිරීමට වග බලා ගනියි. ආන්ඩුවට පිටුබලය සපයන විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සමිති ද එවැනිම මිත්‍යාවන් වපුරවති.

වෘත්තීය සමිතිත් එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඬායමුත් කියන පරිදි කම්කරු පීඩිත ජනතාවන්ට, සිය ඉල්ලීම් ඉටුකිරීම පිනිස ආන්ඩුව නම්මාගත නොහැකිය. තවත් ව්‍යාජ වාම සංවිධානයක් වන නව සමසමාජ පක්ෂය, කම්කරුවන්ට හා තරුනයින්ට විරුද්ධ ආන්ඩුවේ පියවරයන්ට කෙලින්ම සහාය දක්වයි.

ආන්ඩුවේ ප‍්‍රහාර පෙරට ගෙනයාම වේගවත් කරනු ලැබ ඇත්තේ, ලෝක ධනේශ්වර ක‍්‍රමය, පලමු හා දෙවන ලෝක යුද්ධයන්ට පෙරාතුව පැවති ආකාරයේ ආර්ථික බිඳවැටීමක ගැඹුරුවන අර්බුදයකට මුහුනපා තිබෙන තත්වය විසිනි. ශ‍්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් පහර වැදී ඇත.

ලෝක අර්බුදයේ තියුනුම ප‍්‍රකාශනය, ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආන්ඩුව විසින් පෙරට ගෙනයනු ලබන ප‍්‍රතිගාමී ජාතිකවාදී න්‍යායපත‍්‍රයයි. එය රට තුල කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාර දැඩි කරන අතර ලෝකය මත ඇමරිකානු අනුහස ආක‍්‍රමනකාරී ලෙස පැටවීමේ උත්සාහයක නිරතව සිටියි. ප‍්‍රහාරයේ ප‍්‍රථම ඉලක්කය කුමන රට ද යන්න මත ඇමරිකානු පාලක පන්තිය රුදුරු කුලල්කා ගැනීමක පැටලී ඇත. එම රට රුසියාව ද චීනය ද? මෙම තත්වය තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතු කරමින් ප‍්‍රමුඛ බලවතුන් අතර යුද ආතතීන් උත්සන්න කර ඇත.

මෙම ජාතිකවාදී තල්ලුව සෑම අධිරාජ්‍යවාදී රටක් තුලම නැගී එමින් තිබේ. බි‍්‍රතාන්‍ය පාලක පන්තිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට තීරනය කර ඇත. භූ-මූලෝපායික ආතතීන් තීව‍්‍ර කරමින් කලාපීය බලවතා ලෙස ඉන්දියාව, චීනයට එරෙහි ඇමරිකානු යුද සූදානම සමග වඩ වඩාත් ගැට ගැසෙමින් සිටියි. ජර්මානු හා ජපන් ආන්ඩු තමන්ගේම මිලිටරි තරකිරීම් යලි අරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව, රාජපක්ෂ පාලනය යටතේ ආරම්භවූ කප්පාදු පිලිවෙත් නිර්දය ලෙස ඉදිරියට ගෙන යන අතර, වොෂින්ටනය සමග සිය මිලිටරි හා දේශපාලන බැඳීම් ශක්තිමත් කරමින් සිටියි. අර්බුදයේ ගැඹුර සලකුනු කරමින් ආන්ඩුව, කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා මේ වසරේදී ඩොලර් බිලියන 2.6ක් නයට ගැනීමේ උත්සාහයක නිරතව සිටී. මහ බැංකු අධිපති රටේ ආර්ථිකය ”රෝහල්ගතකර” ඇති තත්වයකට සමාන කරයි. එයට ප‍්‍රතිකාර කරන්නේ ජාමූඅ ය.

කම්කරු පීඩිත ජනතාව මැඞීම සඳහා ආන්ඩුව වඩ වඩාත් මිලිටරි-පොලිස් ක‍්‍රමෝපායන් යොදාගනිමින් සිටියි. ”පෙලපාලි උද්ඝෝෂන හා වැඩවර්ජන මගින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අන්තවාදීන් පරාජය කිරීමට” ආන්ඩුව පියවර ගන්නා බවට වික‍්‍රමසිංහ මෑතකදී අනතුරු ඇඟවීය. ආන්ඩුව ආරක්ෂක හමුදා සන්නද්ධ කරමින් හා පුහුනු කරමින් රුදුරු නව ”ත‍්‍රස්ත විරෝධී” නීති හඳුන්වා දෙයි. සමාජ නොසංසුන්තා පිලිබඳව අවධානය යොදමින් රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන විපක්ෂය, දරුනු වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කර ඇත. ආන්ඩුව දෙමල ජනතාවට කොටසක් පවරමින් රට බෙදීමට යන බවට ඔවුහු චෝදනා කරති. මිලිටරිය ”රන විරුවන්” ලෙස හඳුන්වමින් රාජපක්ෂ, යලි වතාවක් වැඩකරන ජනතාවට පහරදීම පිනිස නැවත බලයට පත්වීමේ උත්සාහයක නිරතව සිටියි.

උතුරු නැගෙනහිර මිලිටරි වාඩිලෑම අඛන්ඩව පවත්වාගෙන යාමේ සහ වැඩකරන ජනතාව වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීමේ අටියෙන්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද, රාජපක්ෂගේ වර්ගවාදී උද්ඝෝෂනය සමග කරට කර යමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය යලි පනගසා ඒම පිලිබඳ ප‍්‍රචාරය ගෙන යමින් සිටී.

සිරිසේන 2015 ජනාධිපතිවරනය දිනාගත්තේ, ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති, ජවිපෙ හා දෙමල පක්ෂ, ජීවන තත්වයන් නගා සිටුවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් යයි ව්‍යාජ ලෙස ඔහු හුවාදැක්වූ නිසාය.

එම ප්‍රෝඩාකාරී ප‍්‍රකාශ සුනුවිසුනු වී ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනක් එවකදී මෙසේ පැවසීය: ”රාජපක්ෂ නායකත්වය දුන්නේ, එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවධියේ දස දහස් ගනන් වැසියන්ගේ මරන වලට මෙන්ම තම කප්පාදු වැඩසටහනට විපක්ෂවූවන්ට එරෙහිව පොලිස් රාජ්‍ය පියවර ගැනීමට වගකිවයුතු, ආඥාදායක තන්ත‍්‍රයකටය.” කෙසේ වෙතත් සසප මෙසේ අනතුරු ඇඟවීය. ”සිරිසේන බලයට පත් වුවහොත්, පාලක පන්තියේ අවශ්‍යතා ඉටුකර ගැනීමෙහිලා රාජපක්ෂ තරම්ම නිර්දය වනු ඇත. පොදු අපේක්ෂකයා වටා රොදබැඳගත් විපක්ෂයේ සියලු පක්ෂවල දෑත් ලේවලින් පෙඟී ඇත.”

මෙම අනතුරු ඇඟවීම් සනාථවී ඇත. කම්කරුවන් දේශපාලන ප‍්‍රශ්න පිලිබඳව වැටහීමක් සහිතව තම අයිතීන් සඳහා දැනුවත්ව සටන් කිරීමට සූදානම් විය යුතුය. එම වෘත්තීය සමිති විසින්ම, ව්‍යාජ වම්මුන් විසින්ම, රාජ්‍ය නොවන සංවිධාන විසින්ම හා දේශපාලන පක්ෂ විසින්ම, තවත් දේශපාලන උගුල් ඇටවීමට උත්සාහ කරනු ඇත. ආන්ඩුව ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්” සූදානම් කරමින් සිටින බවත් එතෙක් බලා සිටින ලෙසත් ඔවුන් කියනු ඇත. ඒ සමගම ව්‍යාජ වම්මු, ආන්ඩුවට බලපෑම් දැමීම පිනිස ”වාම පෙරමුනක්” ඇටවීමට උත්සාහ කරයි. කම්කරුවන් මේ ප්‍රෝඩාවන් ප‍්‍රතික්ෂේප කල යුතුය.

කම්කරුවන්ට තම ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන් සඳහා සටන, පාලක පන්තියේ හා ආන්ඩු ගැති මෙන්ම විපක්ෂ වෘත්තීය සමිතිවල කුමන හෝ කොටසක් වෙත පැවරිය නොහැක. ඔවුහු කම්කරු පීඩිත ජනතාවගේ අයිතීන් නියෝජනය නොකරති.

කම්කරු අරගල කොටුකර මැඞීමට ක‍්‍රියාකර ඇති වෘත්තීය සමිති මෙන්ම ඒවායේ නිලධරය කෙරෙහි විරුද්ධත්වය වැඩෙමින් ඇත. පසුගිය වසරේදී වැටුප් ඉල්ලීම් මත විරෝධතා දැක්වූ බොහෝ තේ වතුවල කම්කරුවෝ, වෘත්තීය සමිතිවල අන හා විරුද්ධත්වය නොසැලකූහ. සසප මගපෙන්වීම යටතේ වතු කම්කරුවන් කොටසක්, සිය අයිතීන් දිනාගැනීමේ උද්ඝෝෂනය සඳහා වෘත්තීය සමිති වලින් මුලුමනින්ම ස්වාධීනවූ ක‍්‍රියාකාරී කමිටුවක් ඞී සයිඞ් වත්තේ පිහිටුවා ගත්හ.

කම්කරුවන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තමන්ම තෝරා පත්කරගත් සහ සමිති වලින් මුලුමනින්ම ස්වාධීන ක‍්‍රියාකාරී කම්ටුවල ස්වරූපයෙන්, නව සංවිධාන වතු වල ද වැඩපොලවල් තුල ද පිහිටුවාගත යුතුය. ඔවුහු, සමිති විසින් පනවනු ලබන ශ්‍රේනිමය බාධක බිඳ දමමින්, කම්කරුවන්ගේ සෑම කොටසක් සමගම එක්සත්ව පන්ති අරගලය පෙරට ගෙනයාමේ තීන්දු ගත යුතුය.

⋆ ධනපති පාලක පන්ති විසින් එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට එරෙහිව සෑම රටකම කම්කරුවන්ගේ අරගල පැනනැගී ඇත. ශ‍්‍රී ලංකාවේ කම්කරුවන්, ලෝක යුද්ධයේ තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමට, මේ කම්කරුවන් සමග ජාත්‍යන්තර එක්සත්කම ගොඩනැගිය යුතුය.

ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වන පන්ති අරගල, යුරෝපය, ඇමරිකාව හා ඕස්ටේ‍්‍රලියාව ද ඇතුලු අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වල ද චීනය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල ද වර්ධනය වනු දැකගත හැකිය. ඇමරිකාව, යුරෝපය හා තවත් බොහෝ ප‍්‍රදේශවල ද මිලියන ගනන් කම්කරුවෝ, ජනාධිපති ට‍්‍රම්ප් සංක‍්‍රමනිකයන්ට එරෙහිව දියත් කර ඇති මර්දනයට හා ගමන් තහනමට එරෙහිව වීදිවල පෙලපාලි දක්වති.

⋆ ජීවන තත්වයන්ට, රැකියා වලට හා අධ්‍යාපනය, සෞඛ්‍ය හා මිල සහන වැනි සමාජ අයිතීන්ට ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ද එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීම සඳහා කම්කරුවන්ට දේශපාලන ක‍්‍රියාමාර්ගයක් අවශ්‍යය.

මහ ව්‍යාපාර, වතු හා බැංකු කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යටතේ ජනසතු කල යුතුය. විදේශ නය අහෝසි කල යුතුය. සමාජයේ අති මහත් බහුතරයකගේ අවශ්‍යතා ඉටුකල හැකි පරිදි ආර්ථිකය සංවිධානය කිරීමේදී ලාභ ගැරීමේ ක‍්‍රමය අහෝසි කල යුතුය. ධනවාදයට එරෙහි එක්සත් අරගලයක් සඳහා සිසුන් ද ඇතුලු තරුනයින්ගේ හා ගොවීන්ගේ නායකත්වය කම්කරු පන්තිය සියතට ගත යුතුය.

මෙම කර්තව්‍යයන් ඉටුකල හැක්කේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනි.

සියල්ලටත් වඩා අවශ්‍ය වන්නේ, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය වෙනුවෙන් කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමය. අප කම්කරුවන්ගෙන් ද තරුනයින්ගෙන් හා පන්ති විඥානයෙන් යුත් බුද්ධිමතුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ, සසප ඉදිරිදර්ශනය හදාරමින් සමාජවාදී විප්ලවයේ මහජන පක්ෂය ලෙස එය ගොඩනැගීමට එක්වන ලෙසයි.

Share this article: