ජනාධිපති සිරිසේන වර්ජන හා උද්ඝෝෂන විරෝධී ජනමතයක් ඇවිස්සීමේ වෑයමක

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 පෙබරවාරි 27

පෙබරවාරි 17 පැවති තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාවට නැංවීමේ සමාරම්භක උත්සවයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වර්ජන හා උද්ඝෝෂන හෙලාදකින ප‍්‍රකාශයක් කලේය. බැලූ බැල්මට සිරිසේනගේ ප‍්‍රකාශය, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඉලක්ක කර ගනිමින් කල එකකි. ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට විරුද්ධව ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන අසතුට හා කෝපය සිය ප‍්‍රතිගාමී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගසා කෑමට ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ ආන්ඩුවට විරුද්ධව විවිධ උද්ඝෝෂන දියත් කර ඇත. එහෙත්, සිරිසේනගේ ප‍්‍රකාශයේ සැබෑ ඉලක්කය ජවිපෙ හෝ ඒකාබද්ධ විපක්ෂය නොව, නිසැකව ම, වැඩකරන ජනතාවයි.

තොරතුරු දැනගැනීමේ පනත මගින් පනත ”අදහස් කරන්නේ, අපි කරන කියන කටයුතුවල තිබිය යුතු විවෘතභාවය” බව ගැන සිරිසේන එහි දී ඔජ වැඩ වූ නමුත් එවැන්නක් එහි නැත. රාජ්‍ය සහ රාජ්‍ය ආයතනවල කටයුතු ගැන තොරතුරු දන ගැනීමේ යම් සීමිත ඉඩක් ඉන් ලබා දී ඇතත් මහා ජනතාවගේ ජීවන තත්වයන් ට හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර වදින ආන්ඩුවේ පිලිවෙත් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය “රහස්‍යභාවය අත්‍යාවශ්‍ය වූ ක්ෂේත‍්‍ර” යන ලේබලය යටතේ තහනම් කර ඇත. ඒ අනුව “ජාතික ආරක්ෂාවට හෝ එහි භෞමික අඛන්ඩතාවයට අදාල තොරතුරු, ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ රහසිගත තොරතුරු, මූල්‍ය සහ ආර්ථික ප‍්‍රතිපත්ති පිලිබඳ තොරතුරු ආදිය හෙලි කිරීම ‘අගතිදායක වන’ අවස්ථාවලදී එම තොරතුරු ලබා දීම ප‍්‍රතික්ෂේප කල හැකිය.”

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හා එමගින් ආන්ඩුවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ස්වභාවය ගැන සිරිසේන පූච්චානම් කතා කල නුමුත් ඔහු ගේ කතාව මූලිකව යොමු වූයේ, ආන්ඩුවේ ජනතා විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත්වලට එරෙහිව පැන නගින පන්ති අරගල හා විරෝධතා උද්ඝෝෂනවලට පහරදීමට ය.

උද්ඝෝෂනය කරන්න, පෙලපාලි යන්න, නිදහසේ කෑ ගහන්න මේ රටේ “මහා නිදහසක්” දැන් තිබෙන නමුත් ඒ නිදහස “ශීලාචාරව පාවිච්චි කරනවාද විනයගරුකව පාවිච්චි කරනවාද” කියූ ඔහු 1948 ඊනියා නිදහසෙන් පසු රට තුල “මහා පරිවර්තනයක් කල” එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක මරා දැමුවේ ඔහුගේ ආන්ඩුවට විරුද්ධව උද්ඝෝෂනය කලවුන් බවට චෝදනා කලේ ය. “එතුමාට විපක්ෂය එකපිට පහර ගහද්දි එතුමාගේ කාලය තමයි මේ රටේ වැඩිම උද්ඝෝෂන, පෙලපාලි පැවැත්වුනේ. 56 අප්‍රේල් සිට 59 සැප්තැම්බර් වනතුරු තිබුනු වැඩ වර්ජන ලංකාවේ කිසිම ආන්ඩුවකට එරෙහිව තිබුනේ නැහැ.... අවසානයේ එතුමාව මරලා දැම්මා.”යැයි ජනාධිපති සිරිසේන එහි දී සඳහන් කලේ ය.

සිරිසේන ඔජවඩවන ආකාරයට බන්ඩාරනායක කල “පරිවර්තනය” ජනතාව සඳහා කල පරිවර්තනයක් නොව, ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය ගැති ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමේ පරිවර්තනයකි. බන්ඩාරනායක 1951 එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) කැඩී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රිලනිප) නිර්මානය කලේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම ඇතුලු ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර දීම නිසා එජාපයට සහ අගමැති ඩී.එස්. සේනානායකගේ ආන්ඩුවට එරෙහිව බරපතල මහජන විරුද්ධත්වයක් වර්ධනය වූ තතු තුල විකල්ප ධනපති පක්ෂයක් ලෙසය.

විශේෂයෙන් ම, දක්ෂිනාංශික එජාප ආන්ඩුවට එරෙහිව රැඩිකලීකරනය වූ කම්කරුවන් ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකත්වය යටතේ පැවති ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙත ආකර්ශනයවීම ධනපති පන්තිය සැලකුවේ තම පන්ති පාලනයට තර්ජනයක් වශයෙනි. ජාතිකවාදී පල්ලම් බැසීම ප‍්‍රකාශයට පත් කරමින් බීඑල්පීඅයි ජාතිකවාදී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) තුල දියකර දැමුන නමුත් ලසසපය ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස පෙනී සිටිමින් ධනපති විරෝධී හා සමාජවාදී ප‍්‍රතිපත්ති ගැන ප‍්‍රකාශ තුලින් ඉදිරිපත්වීම කම්කරුවන් හා දුගීන් එය වෙත ආකර්ෂනයවීමට හේතු විය. බන්ඩාරනායක අධිරාජ්‍ය විරෝධී හා ජනතාවාදී පුච්චානම් සිංහල වර්ගවාදය සමග කලතා ඉදිරිපත් කරමින් කම්කරු පන්තිය බෙදීමට දැනුවත්ව ම ක්‍රියා කලේ ය.

සිංහල භාෂාව නිල රාජ්‍ය භාෂාව කිරීමේ සිංහල ස්වෝත්තමවාදී පිලිවෙත මගින් සිංහල හා දෙමල කතාකරන කම්කරු පන්තිය භේද කිරීමේ දුෂ්ට ව්‍යාපාරය වඩාත් ඉස්මත්තට ගැනීම සහ පන්ති අරගල මැඩීමේ මර්දන නීතියක් ලෙස මහජන ආරක්ෂක පනත හඳුන්වා දෙනු ලැබුවේ 1956 බලයට පත් වූ බන්ඩාරනායක ආන්ඩුව විසිනි.

බන්ඩාරනායක ඝාතනය කලේ වැඩ වර්ජකයන් හෝ උද්ඝෝෂකයන් විසින් නොව, පශ්චාත් දෙවන ලෝක යුද්ධ ලෝක ආර්ථික පර්යායේ කොටසක් ලෙස වරාය, පුද්ගලික බස් ප‍්‍රවාහන සේවය ඇතුලු සමහර පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම හා ඉඩම් පනතක් ගෙන ඒම ඇතුලු යම් සීමිත ආර්ථික ප‍්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම ට එරෙහිව ධනපති දේශපාලන සංස්තාපිතයෙන් සහ එහි කොටසක් වන බෞද්ධ භික්ෂු ප‍්‍රභූවේ කොටසකින් පැන නැගී විරුද්ධත්වයේ ප‍්‍රතිපලයක් ලෙසය.

එකල වැඩ වර්ජන හා උද්ඝෝෂන සමග සම්බන්ධ කරමින් “බැඳ සිටි බල්ලන් ලිහා දැමූ” බවට බන්ඩාරනායකට විපක්ෂය චෝදනා කිරීම ගැන සිරිසේන සිය කතාවේ දී සඳහන් කිරීම හා ඔහුගේ ආන්ඩුව යටතේ ලැබුන “මහා නිදහස” නිසා රාජපක්ෂ විසින් පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගනිමින් “බැඳ සිටි බල්ලන්” ඔහුගේ ආන්ඩුව විසින් ලිහා හැරීම නිසා තර්ජනයක් මතු වී ඇති බව ඇඟවුම් කිරීමකි.

වර්ජන හා උද්ඝෝෂනය කරන්නන් ට විරුද්ධ සියුම් තර්ජනයක් සහිත සිරිසේනගේ එම ප‍්‍රකාශය, ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත්‍රික අයිතීන්ට එල්ල කෙරෙන ආන්ඩුවේ ප‍්‍රහාර වලට එරෙහිව පැන නගිමින් තිබෙන කම්කරු-පීඩිත ජනයාගේ අරගල හා ඔවුන්ගේ ප‍්‍රජාතන්ත්‍රික අයිතීන් රුදුරු ලෙස තලා දැමීම සාධාරනීකරනය කෙරෙන ජනමතයක් ඉස්මත්තට ගැනීමට ආන්ඩුවත්, ධනපති ජනමාධ්‍ය, ආන්ඩුවට පන්දම් අල්ලන ව්‍යාජ වම්මුන් සහ ඊනියා බුද්ධිමතුනුත් ගෙන යන ප‍්‍රතිගාමී උද්ඝෝෂනයේ කොටසකි.

උද්ඝෝෂනය කරන්න, පෙලපාලි යන්න, නිදහසේ කෑගහන්න ලැබිල තියෙන සිරිසේන කියන “මහා නිදහසේ” රඟ පසුගිය දිනවල උද්ඝෝෂන වල යෙදුන කම්කරුවෝ හොඳින් දනිති. හම්බන්තොට හා කොලඹ වරායවල කම්කරුවන්ගේ හා ලංකා විදුලි බල මංඩලයේ කොන්ත‍්‍රාත් කම්කරුවන්ගේ උද්ඝෝෂන හා, ඉඩම් පවරා ගැනීමට එරෙහිව හම්බන්තොට ගොවීන්ගේ හා අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂන විසුරුවා හැරුනේ හමුදාව සහ පොලීසිය යොදාගෙන කල රුදුරු ප‍්‍රහාරයන් මගිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි පැවති මහජන වෛරය ගසාකමින් සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්වූයේ “යහපාලනය” සහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” තහවුරු කරන බවට බොරු පොරොන්දු දෙමිනි. රාජපක්ෂ ආන්ඩුව නතර කරපු තැනින් වැඩ ආරම්භ කල සම්මුති ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු හා විදේශ ආයෝජකයන් පිනවන ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමීම තීව‍්‍ර කර ඇත.

මෙම පිලිවෙත් යටතේ රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහකරනය, පුද්ගලීකරනය, අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවාවන්ගේ මිල ඉහල දැමීම, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ගොවි සහනාධාර අතුලු සමාජ සුබසාධන කප්පාදුව හා විදේශ ආයෝජන සඳහා දුගී ගොවීන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම අනක්ගුනක් නැතිව ක්‍රියාවට දැමීමට ආන්ඩුව පටන් ගෙන ඇත. රට නයෙන් නිදහස් කර ගැනීමේ හා රැකියා දසලක්ෂයක් සම්පාදනය කිරීමේ “කඩිනම් සංවර්ධනය” යනුවෙන් ආන්ඩුව හුවා දක්වන්නේ මෙම ජනතා විරෝධී පිලිවෙත් ය.

එම ප‍්‍රහාරයන් ආන්ඩුවට විරුද්ධව බරපතල මහජන වෛරයක් හා නොසන්සුන්තාවයක් අවුලුවා තිබේ. ආන්ඩුවට රැකවල් ලා සිටින වෘත්තීය සමිති නිලධරයේ හා ව්‍යාජ වම්මුන්ගේ මග ඇවිරීම් හා දේශපාලන නොමග යැවීම් තිබිය දීම මහා පන්ති අරගල පැන නැගීමේ කොන්දේසි වර්ධනය වීම ගැන ආන්ඩුවේ භීතිය වැඩෙමින් තිබේ. එබැවින් ආන්ඩුව පන්ති යුද්ධය සඳහා සුදානම කඩිනම් කර ඇත. අගමැති වික‍්‍රමසිංහ “පෙලපාලි උද්ඝෝෂන හා වැඩවර්ජන මගින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අන්තවාදීන් පරාජය කිරීමට” හා “උද්ඝෝෂන වලට විරුද්ධව එජාප තරුනයන් ”පාරට බැස්සවීමට ආන්ඩුව සුදානම් බවට කරන ප‍්‍රකාශවල තේරුම එයයි.

ධනපති පත්තර හා ඊනියා බුද්ධිමතුන් වර්ජන හා උද්ඝෝෂන නිසා පාරවල් අවහිරවීම හා මහජනයාට වන “හිරිහැර සහ හානි” ගැන ගෙන යන ප‍්‍රචාරය ආන්ඩුවේ මර්දන සූදානමට රුකුල් දෙන මහජන මතයක් නිර්මානය කිරීමේ ප‍්‍රයත්නයක් වන අතර වර්ජන සහ උද්ඝෝෂන වලට විරුද්ධ සිරිසේන ගේ කතාව මෙම ප‍්‍රයත්නය තීව‍්‍ර කර ජීවන තත්වයන් හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන්ට එල්ල වන ප‍්‍රහාර වලට එරෙහිව පැන නගින අරගල තලා දැමීම පිනිස තව තවත් ශක්තිමත් කර ගැනීම සඳහා ආන්ඩුව විසින් මුදා හැර ඇති ප‍්‍රතිගාමී උද්ඝෝෂනයේ කොටසකි.

Share this article: