යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය ලංකාවේ ආන්ඩුවට හා සංගතවලට තෑග්ගක්

කපිල ප්‍රනාන්දු විසිනි, 2017 ජනවාරි 27

යුරෝපා සංගමය අපනයනවලට ලබා දෙන ජීඑස්පී ප්ලස් බදු සහනය ලංකාවට යලි ලබා දීමට යුරෝපා කොමිසම තීන්දු කිරීම රටේ හා ජනතාවගේ මහා ජයග‍්‍රහනයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ප‍්‍රචාරයක් ගෙනයයි. මෙම සහනය ලබා දීම තව මාස දෙකක් හෝ හතරක් ඇතුලත තීන්දු වනු ඇත්තේ යුරෝපා සංගමයට අයත් රටවල පාර්ලිමේන්තු විසින් එය අනුමත කිරීමෙන් පසුවයි.

ජීඑස්පී බදු සහනයේ වාසිය ලැබෙනු ඇත්තේ මහා ජනයාට නොව අපනයනයේ යෙදෙන සමාගම් හා යුරෝපා සංගමයේ රටවල මහා සංගත වලට ය. ආන්ඩුවේ කයිවාරුව අපනයන සරුවී, ආර්ථිකය වර්ධනයවී රැකියා දහස් ගනනක් ලැබෙන බවයි. ඇත්තටම සිදුවනු ඇත්තේ, වෙලඳපොල සහ ලාබ මිරිකා ගැනීම සඳහා මහා සමාගම් හා රටවල් අතර තරඟය තුල උග‍්‍රවන ශ‍්‍රම මංකොල්ලයට කම්කරුවන් තව තවත් ගොදුරු වීමයි.

ජීඑස්පී ප්ලස් යනු ලෝක වෙලඳ සංවිධානයට අයත් රටවල් අතර වන සාමාන්‍ය බදු ක‍්‍රමයෙන් වෙනස් වූ ”සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල” අපනයන සඳහා දෙන විශේෂ බදු අඩු කිරීමකි. එම සහනය විශේෂයෙන් ඇඟලුම් අපනයන වලට ලැබෙන්නකි. එය ක්‍රියාත්මක කල 1960 ගනන්වල අගභාගයේ පටන් අධිරාජ්‍යවාදී ආර්ථික බලයන් විසින් මෙම ”සහනය” යොදාගෙන ඇත්තේ තම මූලෝපායික අවශ්‍යතාවලට රටවල් නතුකර ගැනීමේ සම්බාධක පැනවීමේ ආයුධයක් ලෙසයි. ඇමරිකාව, පෙර වියට්නාමයට එම සහනය නොදුන්නේ එය ”කොමියුනිස්ට් රටක්” ලෙස නම් කරමිනි, මෑතකදී ලිබියාව ”ත‍්‍රස්තවාදයට” සහාය දෙන රටක් ලෙස නම් කොට ඊට ද එම සම්බාධකය පනවා තිබුනි. ලංකාවට එරෙහි යුරෝපයේ මැදිහත්වීමත් එවන් එකකි.

යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් ලංකාවට ලබාදීම නතර කලේ 2010 වසරේ දීය. එය වනාහි, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව මහින්ද රාජපක්ෂ ආන්ඩුව යලි අරඹා අවසන් කල යුද්ධයේදී සිදුකල යුද අපරාධ ආයුධයක් ලෙස යොදා ගෙන, කොලඹ පාලනය බීජිනය සමග වර්ධනය කරගනිමින් සිටි ආර්ථික හා දේශපාලන සබඳතා බිඳදැමීමට ඇමරිකාව ගෙනගිය පියවරයන්ට සහාය දෙමින් ගත් තීන්දුවකි. ඇමරිකාවට අවශ්‍ය වූයේ චීනය සිය අනසකට යටත් කර ගැනීමට ගෙනයන මිලිටරි සැලසුම් ජාලයට කලාපයේ අන් රටවල් මෙන්ම ලංකාව ද ඈඳා ගැනීමයි.

රාජපක්ෂට එරෙහි ඇමරිකාවේ එම පීඩනය කුලු ගැන්වුනේ ඉන්දීය පාලක පන්තියේ ද හා ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමරතුංග හා රනිල් වික‍්‍රමසිංහගේ ද සහාය ඇතුව රාජපක්ෂ බලයෙන් පහකර සිරිසේන ජනාධිපති පදවියට ගෙන එනු ලැබීමෙනි.

ජීඑස්පී ප්ලස් සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කල අගමැති රනිල් වික‍්‍රමසිංහ ”ජනතා අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරමින්” ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුල රජය සිදු කල කැපවීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය ය. ”ලබා ගැනීමට හැකි විය” යයි සඳහන් කරයි.

ඊට සමානව, ජනවාරි 11 දා යුරෝපා සංගමය පල කල ප‍්‍රකාශය සඳහන් කරන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සුරැකීම හා යහපාලනය ඇතුලු තවත් ජාත්‍යන්තර කොන්දේසි 27 පිලිගනිමින් ඒවා ක්‍රියාවට නැගීමට ලංකාවේ ආන්ඩුව පෙන්වා ඇති කැප වීම මත ජීඑස්පී ප්ලස් ලබා දෙන බවයි. ජීඑස්පී ප්ලස් ලබා දීම සඳහා මෙම කොන්දේසි සම්බන්ධව ආන්ඩුවේ ප‍්‍රතිචාරය ඉදිරි මාස 4 ක පමන කාලපරිච්ඡේදයක් තුල නිරීක්ෂනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාව තුල මානව අයිතීන්, කම්කරු අයිතිවාසිකම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වීමක් ගත වූ දෙවසර තුල සිදු වී ඇතැයි වික‍්‍රමසිංහ හා යුරෝපා සංගමය කරන ප‍්‍රකාශය පචයකි! ලංකාවේ මහා ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන මොනම කැක්කුමක් වත් ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ පාලක පන්තීන්ට ඇත්තේ නැත. මේ රටවල ආන්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දීම පිලිබඳව ද යුද අපරාධ කිරීම පිලිබඳව ද කුප‍්‍රකට ය. යුරෝපා සංගමය තුල එල්ටීටීඊය තහනම් කරමින් හා රාජපක්ෂ ආන්ඩුවට ද්‍රවව්‍යමය හා මූලෝපායික සහාය ලබා දුන් අධිරාජ්‍යවාදී බලයන් සාමන්‍ය දෙමල වැසියන් දහස් ගනනක් ඝාතනය කල ලංකාවේ යුද අපරාධවලට කොලඹ ආන්ඩුව සේම වගකිව යුතු යි.

සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව සම්බන්දයෙන් ගත්කල, පොලිස් හා හමුදා ප‍්‍රහාර, උසාවි නියෝග හා ආන්ඩුවේ මාධ්‍ය ඇතුලු සියලු රාජ්‍ය උපකරන යොදාගෙන රැකියා අහෝසි කිරීම්වලට, සහනාධාර කප්පාදුවට හා සුභසාධන කප්පාදුවට එරෙහි කම්කරුවන්, සිසුන් හා ගොවීන් ඇතුලු ජනයා ගෙන යන අරගලවලට කඩා පැන ඇත්තේ රාජපක්ෂ ආන්ඩුවට නො දෙවෙනි ආකාරයටය. ඊනියා ජාතීන් අතර සංහිඳියාව ගැන ආන්ඩුවේ බොරු ප‍්‍රචාර තිබියදී ඇත්තටම සිදුවන්නේ මිලිටරිය හා එහි පිටුබලය ලත් කල්ලි දෙමල හා මුස්ලිම් ජන කොටස්වලට එරෙහිව වාර්ගික ප‍්‍රකෝපකරනයන් ඇවිලවීම ඉහල යාමයි.

ජීඑස්පී සහනය ලබා දීමට යුරෝපා කොමිසම තීන්දු කිරීමට තුඩුදුන් මූලික හේතුව ආන්ඩුව පසුගිය දෙවසර තුල දී ලංකාව ඇමරිකන් යුද මූලෝපායට හා විදේශ පිලිවෙතට වඩා සමීප කිරීමයි.

අධිරාජ්‍යවාදී ආර්ථික බලයන් පසුගාමී රටවල ජාතික ධනපති පන්තීන්ට ලබා දෙන ඊනියා ආර්ථික සහනවල මූලික එල්ලය වන්නේ ලාභ ශ‍්‍රම තටාකවලට වැදී රුදුරු සූරාකෑමට ඉඩ සලසා ගැනීම මගින් එම රටවල සංගතවල ලාභ මඩි තරකර ගැනීමට කොන්දේසි සකස් කර දීමයි. ඉන් ”ජයග‍්‍රහන” ලැබූවන් වන්නේ කම්කරුවන් නොව ලොව පුරා සෑම කොනකම ලාභ ශ‍්‍රම සුරාකෑම සඳහා තරඟයේ යෙදී සිටින එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල දැවැන්ත අන්තර් ජාතික වෙලඳ සමාගම් හා අධිරාජ්‍යවාදීන්ගේ කනිටු සගයන් වන ලංකාව වැනි රටවල ජාතික ධනපති පන්තීන් ය.

නිෂ්පාදනයේ භූගෝලීයකරනය යටතේ පසුගිය දශක හතරක පමන කාල පරිච්ඡේදයක් තුල ආසියාවේ, ලතින් ඇමරිකාවේ හා අප්‍රිකාවේ ලාභ ශ‍්‍රම තටාකවලට නිෂ්පාදන කර්මාන්ත මාරු කිරීම ඇමරිකාව වැනි රටවල කර්මාන්ත ශාලා වැසී යෑමට හා විරැකියාව වර්ධනය වීමට හේතු වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස පාරිභෝජන ඉල්ලුම අඛන්ඩව කඩාවැටීම ලොව පුරා අපනයන කර්මාන්ත අර්බූදයේ හෙලා ඇත. 2008 මූල්‍ය බිඳවැටීමත් සමග මම ක්‍රියාවලිය ගැඹුරු වී ඇත.

චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය හා වියට්නාමය ඇතුලු කලාපයේ රටවල පාලක පන්තීන් හැකිතාක් දරුනු කොන්දේසි යටතේ කම්කරු පන්තිය සුරා කෑම සඳහා දැවැන්ත අන්තර් ජාතික සංගතවලට ඉඩ සලසා දෙමින් සිටින අතර රෙදිපිලි හා අනෙකුත් කාර්මික හා පාරිභෝගික භාන්ඩ සඳහා හැකිලෙන ඉල්ලුම යටතේ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා මෙම රටවල් අතර වර්ධනය වී ඇත්තේ එකිනෙකාගේ බෙලි කපන තරගයකි.

ජිඑස්පී ප්ලස් නොමැති වීම ලංකාවට අහිතකර ලෙස බලපෑ බව පෙන්වා දෙමින් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ 2015 දී ලංකාවේ යුරෝපා සංගමයට කල මුලු අපනයනවල ආදායම යුරෝ බිලියන 2.6 නමුත් එම සහන සහිත බංග්ලාදේශය යුරෝ බිලියන 26 ක අපනයන යුරෝපා සංගමයට සිදු කර ඇති බවයි. එනිසා එරටට ගෙවුම් ශේෂ අර්බූදයක් නැත‘යි ඔහු කියා සිටියේ ය.

2008 මූල්‍ය බිඳවැටීමෙන් පසු සැලකිය යුතු අපනයන ප‍්‍රමානයක් බංග්ලාදේශය වෙත ගලා යෑමට හේතු වු ප‍්‍රධාන සාධකය වූයේ එය කලාපයේම පහල වැටුප් හා රැකියා කොන්දේසි තිබෙන රට වීමයි. ඉහල යන ජීවන වියදම හමුවේ මාසික ආදායම දැනට පවත්නා ටකා 5300 සිට (ඩොලර් 66) සිට ටකා 16,000 ක් (ඩොලර් 200 ක්) දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් 16 මුල් කොටගෙන ඩකා කාර්මික කලාපයේ කම්කරුවන් පසුගිය දෙසැම්බර් මාසයේ ගෙන ගිය විරෝධතාවලට බංග්ලාදේශ ආන්ඩුව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ දහසකට වැඩි කම්කරුවන් රැකියාවලින් දොට්ට දමමින් අත්අඩංගුවට ගැනීම් සඳහා පොලිසි හමුදා යොදවමිනි.

බංග්ලාදේශය ගැන වික‍්‍රමසිංහගේ උදාහරනයට කම්කරුවන්ගේ මෙම කටුක තත්වය අඩංගු නැත. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ලංකාවේ කම්කරුවන් ඇද දමන්ට යන්නේ ඊටත් එහා තත්වයකටය.

2008/2009 වසරවල එක්සත් ජනපදයට කෙරෙන චීනයේ ඇඟලුම් නිෂ්පාදන සියයට 3.6 කඩා වැටුන අතර ඉන්දියාවේ ෆැක්ටරි වැසී යෑමෙන් මිලියනයකට ආසන්න කම්කරුවන් සංඛ්‍යාවකට රැකියා අහිමි විය. ආසියානු කලාපය පුරා මෙම ක්ෂේත‍්‍රයේ පමනක් රැකියා අහිමි වූ ගනන මිලියන ගනනකි.

ශ්‍රී ලංකාවේ 2009 සිට වසා දමා ඇති ඇඟලුම් කම්හල් ගනන 500 ක් පමන වන අතර 150,000 ක් පමන කම්කරුවන් රැකියාවලින් දොට්ට දමා තිබේ. දැන් බෝඩිං ගාස්තු ඇතුලුජීවන වියදම, දරුනු රැකියා කොන්දේසි හා පහල වැටුප් හේතුවෙන් ලංකාවේ පැරනිම ඇඟලුම් වෙලඳ කලාපය වන කටුනායක වෙලඳ කලාපයේ පමනක් 20,000 ක සේවක ඇබෑර්තු වර්ධනය වී තිබේ.

පසුගිය වසරේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් බිඳී වෙන්වීම ඇතුලු ආර්ථික ජාතිකවාදී පිලිවෙත් අපනයන කර්මාන්තය මත සෘජුව බලපාමින් තිබේ. ඇමරිකාවේ ට‍්‍රම්ප් ආන්ඩුව ජාතිකවාදී පිලිවෙත් ගෙනයාමට දිවුරුම් දී ඇත. ජීඑස්පී ප්ලස් සහනය මගින් අපනයන වැඩි වී කම්කරු පන්තියේ වැටුප් වැඩි වී සහන සැලසෙන බවට ආන්ඩුවේ හා වෘත්තීය සමිති නිලධරයේ ප‍්‍රකාශ ප්‍රෝඩාවක් වන්නේ මෙම තත්වය තුලය. රට තුල උග‍්‍රවන ගෙවුම් ශේෂ හා නය අර්බුදය හමුවේ විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට ඇගමැති වික‍්‍රසිංහ ඇතුලු ආන්ඩුවේ නායකයෝ රටක් රටක් පාසා කරක් ගසති. ආයෝජන ආකර්ෂනයේ ප‍්‍රධාන සාධකයක් ලෙස කම්කරුවන්ගේ අයිතීන් තව දුරටත් කපා හෙලන නීති ගෙන ඒමට ආන්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටියි.

යුරෝපා සංගමයේ කොන්දේසි මත ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට හමුදාව අඩුකරල ”රට බෙදීමේ” කොන්දේසි ක්‍රියාවට දමන්ට යන බවට රාජපක්ෂ ප‍්‍රමුඛ නඩය හඬ තලන්නේ වර්ගවාදය අවුස්සා කම්කරුවන්ට පීඩිතයන්ට එරෙහිව දක්ෂිනාංශික ව්‍යාපාරයක් උසි ගන්වා ගැනීමටය.

පන්ති අරගල තීව‍්‍ර වන තත්වයක් මධ්‍යයේ ආන්ඩුව දැනටමත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එහා ගිය ”නව ත‍්‍රස්ත විරෝධී පනතක්” සුදානම් කර ඇත. හම්බන්තොට වරාය කම්කරුවන්ගේ වර්ජනය බිඳීමට හා එම ප‍්‍රදේශයේ ඉඩම් නිදහස් වෙලඳ කලාපයකට අත්පත් කරගැනීමට එරෙහිව ගම්වාසීන් ගෙනගිය උද්ඝෝෂනවලට එල්ල කල හමුදා පොලිස් ප‍්‍රහාර මගින් ආන්ඩුව පෙන්වා ඇත්තේ ධනපති ලාභ පොදි රැකදීමට රුදුරු මැදිහත්වීම් උත්සන්න කරන බවයි.

Share this article: