හම්බන්තොට ප‍්‍රහාරය: කම්කරු-පීඩිත ජනතාවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජනවාරි 17

ආර්ථික කලාපයක් පිහිටුවීම පිනිස හම්බන්තොට ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් පවරා ගැනීමට එරෙහිව, පසුගිය 7 වෙනිදා, හම්බන්තොට, මිරිජ්ජවිල හා අම්බලන්තොට යන නගරයන් හි විරෝධතා උද්ඝෝෂනයක යෙදුනු ජනයාට ආන්ඩුව මෘග ප‍්‍රහාරයක් එල්ල කලේය.

උද්ඝෝෂනයට විරුද්ධව උසාවි නියෝගයක් නිකුත් කර තිබූ අතර පෙරදින (6) සිටම මාර්ග බාධක යොදා හම්බන්තොට වරාය ප‍්‍රදේශයට ඇතුලුවන සියලු මාර්ග පොලිසිය විසින් අවුරා තිබුනි. විරෝධතාව මර්දනය කිරීම සඳහා ආන්ඩුව කැරලි මර්දන පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව යෙදවූ අතර, විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා පොලිසිය කඳුලු ගෑස් සහ අධිබල ජලවිදින යොදා ගත්තේය.

උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාති පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසිනි. ආර්ථික කලාපයට අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මුල්ගල තැබීමේ උත්සවයක් ද එදින සංවිධානය කර තිබුනි.

පොලිසියත්, ආන්ඩුවේ මැරයන් හා උද්ඝෝෂකයනුත් අතර ඇති වූ ගැටුම්වලින් දෙපාර්ශවයේම අය හා පොලිසියේ 11 ක් ඇතුලුව 21 දෙනෙකු තුවාල ලැබූහ. ආන්ඩුවේ මැරයන් විසින් පලමුව තමන්ට ගල් ප‍්‍රහාර එල්ල කල බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. පොලීසිය උද්ඝෝෂකයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කලේ ය. ”පොදු දේපලවලට හානි කිරීම” ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනාවය. හම්බන්තොට උද්ඝෝෂකයන්ට ප‍්‍රහාරය එල්ල වූයේ රැකියා ස්ථීරත්වය ඉල්ලා වර්ජනයේ යෙදුන මාගම්පුර වරායේ කම්කරුවන්ට නාවික හමුදාව යොදා ගනිමින් එල්ල කල රුදුරු ප‍්‍රහාරයෙන් යන්තම් සති කිහිපයකට පසුවය.

හම්බන්තොට පිහිටුවීමට යෝජිත ආර්ථික කලාපය ආන්ඩුවේ ඊනියා තුන් අවුරුදු ආර්ථික සංවර්ධන සැලැස්ම යටතේ විදේශ ආයෝජන කැඳවා ගැනීම සඳහා පිහිටුවීමට නියමිත ආර්ථික කලාප 45 න් එකකි. හම්බන්තොට ආර්ථික කලාපය සඳහා චීනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා චීනය ඉදිරි වසර තුන තුල ඩොලර් බිලියන 5 ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂාකරන බව ආන්ඩුව කියයි.

ප‍්‍රදේශයේ ජනතාවගේ විරෝධය මතු වී ඇත්තේ ආර්ථික කලාපය සඳහා වෙන් කිරීමට යෝජිත ඉඩම් අක්කර 15,000 ට දුගී ගොවි ජනයාගේ ඉඩම් ඇතුලු පුද්ගලික ඉඩම් ද ඇතුලත් වන හෙයිනි. අවශ්‍ය ඉඩම්වලින් සියයට 95 ක් ම රජයේ ඉඩම්වලින් ලබා ගන්නා බවට ආන්ඩුව කරන ප‍්‍රකාශය වැඩෙන මහජන විරෝධය සමනය කිරීමේ දේශපාලන උපාමරුවකි. ”සීග‍්‍ර හා තිරසර ආර්ථික සංවර්ධනයක්” හා ”රැකියා දසලක්ෂයක්” නිර්මානය කිරීම ගැන කරන කතාව ද එබඳුම පචයකි. ඊනියා ආර්ථික කලාප ගොඩ නගන්නේ, විදේශ ආයෝජන අද්දා ගැනීම සඳහා කලාපයේ සෙසු රටවල් සමග තරඟකාරී ලෙස ශ‍්‍රම ශක්තිය ලාභයට විකිනීමේ කාර්මික මධ්‍යස්ථානය ලෙසය.

මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය මෙන් ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද යෙදීගෙන සිටින්නේ ජනතාවගේ මේ විරෝධය සිය දේශපාලන වාසියට ගසාකෑමේ තුච්ඡ උත්සාහයකය. ගොවීන්ගේ ඉඩම් අහිමිවීම හෝ ගොවි සහනාධාර කැපීම ඇතුලු ඔවුන්ට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් මොන ම කැක්කුමක් වත් ඔවුන්ට නැත. ඔවුන් භීතියට පත්ව සිටින්නේ ආන්ඩුවට විරුද්ධව වැඩෙන විරෝධය ධනපති පන්ති පාලනයට වල කපන වැඩකරන ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනයවීමට ඇති ශක්‍යතාවය කෙරෙහිය.

හම්බන්තොට ජනතාවට එල්ල වූ ප‍්‍රහාරය ”දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින” බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් කියා ඇත. රාජපක්ෂගේ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ නමින් වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජවිපෙ ආන්ඩුවේ හම්බන්තොට සහ සෙසු ප‍්‍රහාරවලට දේශපාලනිකව වගකිවයුතු ය.

දැන් ආන්ඩුවට විරුද්ධව වර්ධනය වන මහජන විරෝධය දේශපාලනිකව අවමන්ගත කිරීමේ තැතක ජවිපෙ යෙදී සිටින අතර මහජන විරෝධය ගසාකමින් යලි ආන්ඩු බලය අල්ලා ගැනීමට රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මාන බලයි.

මෑතදී විදේශ මාධ්‍ය වේදීන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී 2017 දී ආන්ඩුව පෙරලන බව රාජපක්ෂ පැවසුවේ ය. එමෙන් ම ”හම්බන්තොට විරෝධයේ නිරත වූ ගම්වාසීන්ට පහරදීම ඇතුලු සිද්ධිවලින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇති බව පැහැදිලි” වන්නේ යැයි 8 වෙනිදා ඔහු මහනුවර දී ප‍්‍රකාශ කලේ ය. රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ආන්ඩු විරෝධී උද්ඝෝෂනයේ සැබෑ එල්ලය ධනපති ආන්ඩුවෙන් එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව පෙරලිකාරී වන කම්කරු පන්තියට විරුද්ධව වර්ගවාදයෙන් විස කැවූ දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමය.

ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ක්‍රියාවට දමන මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් හෝ වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට හෝ ඒකාබද්ධ විපක්ෂයට මූලික විරුද්ධත්වයක් නැත. රාජපක්ෂගේ ආර්ථික පිලිවෙත් තුල විදේශ ආයෝජකයන් කැඳවා ගැනීමේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග නිර්දය ලෙස ක්‍රියාවට දැමීමේ සැලසුම් තිබුන අතර එහි දුෂ්ට ප‍්‍රතිවිපාකවලට කම්කරු පන්තිය හා දුගී ගොවීන් ඇතුලු සෙසු පීඩිත ජනයා මුහුන දුන්හ. බලහත්කාරය හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය අඩුවක් නොවීය. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල හෝ අධිවේගී මාර්ග ඇතුලු ඊනියා ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් පවරා ගැනීමේ දී දහස් ගනනක් ජනයා ඔවුන් පදිංචි ස්ථාන වලින් උගුල්ලා දැමුනේ බලහත්කාරයෙනි.

තෙල් මිල ඉහලයාමට විරෝධය පෑ ධීවරයන් ට, වංචනික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් මගින් අර්ථසාධක මුදල් කොල්ල කෑමට එරෙහි වූ නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට සහ බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ගම්මුන්ට රාජපක්ෂ ආන්ඩුව පොලීසිය හා හමුදාව යොදා පහර දීම හා කිහිප දෙනෙකු ඝාතනය කල බව ජනතාවට අමතක නැත.

ලෝක ආර්ථික අවපාතයේ වා සුලියට හසුව, ඉහල නගින දැවැන්ත රාජ්‍ය නය හා අපනයන ආදායම් කඩා වැටීම තුල වඩ වඩා ගැඹුරුවන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින වර්තමාන ආන්ඩුව විදේශ ආයෝජන කැඳවා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක නිරතව සිටින අතර රාජ්‍ය සුබසාධන කැපීම, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම හා පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම කඩිනම් කර ඇත.

මෙම ආර්ථික පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය ප‍්‍රමුඛ මහා ජනතාවගෙන් පැන නගින විරෝධය තලා දැමීමට රාජපක්ෂ ආන්ඩුව මෙන් ම වර්තමාන ආන්ඩුව ද කිසිසේත් ම නොපැකිලෙන බව දැනටමත් ඔප්පුකර ඇත. ත‍්‍රස්තවාදය මර්දනය කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා දුෂන මැඩීමේ නමින් නව මර්දන අනපනත් ගනනාවක් ගෙන ඒමට ආන්ඩුව සැලසුම් කර ඇත.

එමෙන් ම ආන්ඩුවට විරුද්ධව වැඩෙන දේශපාලන විරුද්ධත්වය තලාදමන බවට ජනාධිපති සිරිසේන යලි යලිත් අනතුරු අඟවයි. ”සමහර අය කියනව ආන්ඩුව පෙරලනවා කියල. සමහරු කියනවා හොල්ලනව කියල ....... මම පැහැදිලිව කියනවා 2020 න් මෙපිට ආන්ඩු හදන්න හෝ ව්‍යවස්ථා විරෝධී ලෙස ආන්ඩු පෙරලන්න කුමන්ත‍්‍රනය කරන්න ඉඩක් ඇති කරන්නෙත් නැහැ. ඉඩක් මම දෙන්නෙත් නැති” බව 5 වෙනිදා පැවති ගුවන් විදුලි සංස්ථාවේ 50 වෙනි සංවත්සර රැස්වීමේ දී සිරිසේන කීවේ ය.

මෙම ප‍්‍රකාශයේ ක්ෂනික නිමිත්ත රාජපක්ෂගේ ආන්ඩුව පෙරලන කතාව උනත් එහි සැබෑ ඉල්ලක්කය වන්නේ ආන්ඩුවට එරෙහිව වැඩෙන කම්කරු පන්තිය ප‍්‍රමුඛ මහජනතාවගේ විරුද්ධත්වය යි.

එහෙයින් හම්බන්තොට ගොවිජනතාවගේ උද්ඝෝෂනයට එල්ල වූ ප‍්‍රහාරය ආන්ඩුවේ ආර්ථික පිලිවෙත්වලට විරුද්ධව අරගලයට තල්ලු වන කම්කරු පන්තියට හා දුගී ගොවීන් ඇතුලු අවශේෂ පීඩිත ජනයාට කෙරුන බරපතල අනතුරු ඇඟවීමකි.

Share this article: