කොලඹ වරාය පුද්ගලීකරනයේ සූදානමට කම්කරු විරුද්ධත්වය වැඩේ

ජෝතිපාල දැදිගම හා විලානි පීරිස් විසිනි, 2017 ජනවාරි 21

කොලඹ වරායේ විශාල කොටසක් පුද්ගලික අංශයට පවරා ඇති බව ද නැගෙනහිර පර්යන්තයද පුද්ගලික සමාගමකට විකිනීමට ආන්ඩුව දැන් සූදානම් වන බවද වරාය අධිකාරියේ සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලොසවෙඅ) පැවසූහ. ඔවුන් තව දුරටත් සඳහන් කලේ වරාය අධිකාරියේ රැකියා විශාල ගනනක් දැනටමත් අහෝසි කර අති අතර දැන් තවත් සේවකයන් රැකියා අහෝසිවීමේ තර්ජනයකට මුහුන දී සිටින බවයි.

පසුගිය 6වෙනිදා කොලඹ වරාය ඉදිරිපිට දී උද්ඝෝෂනයක යෙදුනු එහි කම්කරුවෝ හම්බන්තොට වරාය හා කොලඹ නැගෙනහිර වරාය පර්යන්තය විකිනීමට ආන්ඩුව ගෙන ඇති තීන්දුවට විරුද්ධත්වය පල කලහ. ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ද සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය (සලවපොසේස) මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනේ හුදෙක් බලපෑම් දැමීමේ වැඩපිලිවෙලකින් ආන්ඩුවේ තීන්දුව වෙනස් කල හැකිය යන උගුලක කම්කරුවන් හිර කර තැබීම සඳහාය.

දෙසැම්බර් මාසයේ හම්බන්තොට වරාය කම්කරුවන්ගේ අරගලයේ ප‍්‍රධාන පාඩම වූයේ බලපැම් දැමීමෙන් ධනපති ආන්ඩුවේ තීන්දු වෙනස් කොට කම්කරු අයිතීන් රැක ගැනීමට නොහැකි බවය.

වරායේ කම්කරුවන් 480ක පිරිසක් වරාය පුද්ගලීකරනය කිරීමට විරුද්ධත්වය පල කරමින් ද තමන් රජය සතු වරාය අධිකාරියේ ස්ථිර සේවකයන් බවට පත් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයේ යෙදුනෝය. වරාය විකිනීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව කම්කරුවන් අතර පැවති ගැඹුරු විරුද්ධත්වය නිසා මෙම කාර්මික අරගලය කැඳවීමට මාගම්පුර වරාය කම්කරු සංගමයට බල කෙරුන නමුත් එය කි‍්‍රයා කලේ බලපැම් දැමීමෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට හැකිය යන මිථ්‍යාව තුල කම්කරුවන් සිරකිරීමටයි.

ජවිපෙ නායකයෙක් වන ලාල් කාන්ත හම්බන්තොට කම්කරුවන් බැලීමට ගොස් විරෝධතාවකට වරක් සම්බන්ධ වූයේ එම වැඩ පිලිවෙලටම උඩගෙඩි දෙමිනි. ආන්ඩුව නාවික හමුදාව, පොලීසිය හා අධිකරනය මෙහෙයවා හම්බන්තොට කම්කරුවන් ගේ අරගලය මැඩීමට කි‍්‍රයා කරද්දී ඔවුන් ආරක්ෂා කිරීමට හා ඉල්ලීම දිනීමට අවශේෂ කම්කරුවන්ද අරගලයකට මෙහෙයවිය යුතු විය. ජවිපෙ වෘත්තීය සමිති, අවශේෂ සමිති සමග එක්ව කලේ එබඳු අරගලයක් සංවිධානය කිරීම වැලැක්වීමයි. හම්බන්තොට කම්කරුවන්ගේ අරගලය මැඩීම සම්බන්දයෙන් මෙම නායකයෝ දේශපාලනිකව වගකිව යුතුය.

කොලොඹ වරාය පුද්ගලීකරනය ආරම්භ වූයේ 1999 වසරේදී කම්කරු පන්තියේ බරපතල විරෝධතා මධ්‍යයේය. ක්වීන් එලිසබෙත් බහාලුම් පර්යන්තය හෙවත් රැජින පාලම, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් සමාගමට පවරන ලදි. මෙම සමාගම ජෝන් කීල්ස්, හෝල්ඩිංග් ඒපී මොලර් යනාදී සමාගම් එක්ව සංවිධානය කල එකකි. මේ අනුව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම නූතන පෞද්ගලික බහාලුම් පර්යන්තය ආරම්භ විය. එවක වෘත්තීය සමිතිද කටයුතු කරනු ලැබූයේ බලපැම් දැමීමේ වැඩපිලිවෙල යටතේ කම්කරු විරෝධය කොටු කර පුද්ගලීකරනයට ඉඩකඩ විවෘත කර දීමය.

දැන් වරාය පුද්ගලීකරනයට විරුද්ධ බව පවසන නමුත් 2013 හෝ 2014 කොලඹ වරාය සිදුකල පුද්ගලික අංශයට පැවරීම්වලට එරෙහිව ජවිපෙ හෝ සලවපොසේස අනෙකුත් සමිති මෙන්ම කිසිදු විරෝධයක් දැක්වූයේ නැත.

2013 වසරේදී කොලඹ දකුනු වරාය, සංවර්ධන වැඩ කටයුතු නිල වශයෙන් චීන සමාගමකට පවරා දුන්නේ වසර 35 තුල ගොඩනගා යලි භාරදීමේ (BOT) කොන්දේසි යටතේය. මෙහි වරාය අධිකාරිය සතුව කොටසක් පැවතුනි. දැන් එම කොටසද (නැගෙනහිර පර්යන්තය) පුද්ගලික සමාගමකට පවරාදීම සූදානම් කෙරෙමින් පවතී.

ක්වීන් එලිසබෙත් බහාලුම් පර්යන්තය පුද්ගලික අංශයට විකීනීමේදී වරාය අධිකාරියට අයත් සේවකයන් ඉන් ඉවත්කල අතර අලුතින් සේවකයන් පුද්ගලික සමාගම් මගින් බඳවා ගනු ලැබූයේ මිනිස් බල කම්කරුවන් සම්පාදනය කෙරෙන සමාගම් මගින් අඩු වැටුපකටය.

වාර්තාවන අන්දමට ඔවුන්ගේ මාසික වැටුප වරාය අධිකාරියේ සේවකයන්ගේ වැටුපට අඩු රුපියල් 35,000ක් මට්ටමේ පවතී. වරාය අධිකාරියේ කම්කරුවකු රු. 56,000ක පමන මාසික වැටුපක් ලබයි. එහෙත් අතිකාල සේවාවන් ලැබෙන්නේ පැරනිම කම්කරුවන්ට පමනි. කම්කරුවන් අතිකාල සේවය සලකන්නේ තමන්ගේ ජීවන කොන්දේසි රැක ගැනීමට අමතර ආදායමක් ලබා ගැනීමේ මගක් ලෙසය. පුද්ගලීකරනය කිරීමේදී අලුත් කම්කරුවන්ගේ මාසික වැටුප කප්පාදු කෙරුනු අතර කම්කරුවන් සේවය කරන්නේ කොන්ත‍්‍රාත් පදනමට යටත්ව ය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ සේවය කල කම්කරුවන්ගේ අයිතීන්ද කප්පාදු කෙරිනි.

වරාය අධිකාරිය රැකියා අහෝසි කිරීමේ වැඩපිලිවෙලක් ද කි‍්‍රයාවට දැමීය. 2003 දී රුපියල් හත්ලක්ෂ පනස්දාහක පමන වන්දි මුදලක් ගෙවා කම්කරුවන් අඩු වයසින් විශ‍්‍රාම ගැන්වූ අතර 2010 දී රුපියල් විසි ලක්ෂයක පමන වන්දියක් ගෙවා තවත් රැකියා අහෝසි කෙරුනි. කම්කරුවන් මෙලෙස විශ‍්‍රාම ගන්වා ඇත්තේ මිනිස්බල සමාගම් මගින් කම්කරුවන් අඩු වැටුපකට බඳවා ගැනීම සඳහාය. විශ‍්‍රාම ගියේ නයබරින් සිටි කම්කරුවන් බවත් ඉන් අනතුරුව අපේක්ෂා භංගත්වයට පත්ව කීපදෙනෙක් ජීවිතය පවා නැතිකර ගත් බවත් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

දැන් වයස් සීමාව පසුවී විශ‍්‍රාම ගත් නිලධාරීන් නැවත සේවයට කැඳවා ඇත්තේ නවකයන් ස්ථිර සේවකයන් ලෙස බඳවා ගැනීම නතර කර කොන්ත‍්‍රාත් පදනමේ ඔවුන්ගෙන් වැඩ ගැනීම උදෙසාය. 1979 දී වරාය අධිකාරියට අයත් කම්කරු සංඛ්‍යාව 22,000 වූ නමුත් දැන් රැකියා කප්පාදුවෙන් හා පුද්ගලීකරනයෙන් පසු සිටින්නේ කම්කරුවන් 9,000 බව කම්කරුවෝ පවසති.

මේ අතර, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය එනම් දකුනු වරායේ වරාය අධිකාරිය සතු කොටස විකිනීමට තීන්දුව ගෙන ඇති අතර වරාය අධිකාරිය සතු ජය බහාලූ පර්යන්තයද විකිනීමට යන බවට වාර්තාවී ඇත.

මෙලෙස වරාය අධිකාරියේ සෙසු කම්කරුවන්ගේ ද රැකියාවන්ට තර්ජනය එල්ලවී ඇති බව කම්කරුවෝ පවසති. සියලු පුද්ගලීකරනය කිරීම්ද රැකියා අහෝසියද සිදුව ඇත්තේ වෘත්තිය සමිති ආන්ඩුව සමග සහජීවනයක යෙදෙන තතු තුලය.

2006 ජූලි මාසයේදී කොලොඹ වරායේ 14,000ක් කම්කරුවන් වැටුප ඉහලදමාගැනීම සඳහා ආරම්භකල හිමින් වැඩකිරීමේ අරගලය ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය මගින් පාවා දුන් අතර එහිදී සලවපොසේස ප‍්‍රමුඛ කි‍්‍රයාකලාපයක් ඉටුකලේය. එවිට ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රකාශක හා සලවපොසේස නායකයාවූ චන්ද්‍රසිරි ගමගේ කියා සිටියේ ආන්ඩුව අසීරු ආර්ථික කොන්දේසිවලට මුහුන දෙන තත්වයේදී කාර්මික අරගල නතර කලයුතු බවය. පුද්ගලීකරනයට විරුද්ධව හෝ මේ වනවිට පුද්ගලික අංශයේ සේවකයන් ලෙස බඳවාගෙන සිටි මිනිස්බල කම්කරුවන් ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම වෘත්තීය සමිති විසින් මුලුමනින් අතහැර තිබුනි.

හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99 කට බදු දෙන්නේද කොලඹ වරාය පුද්ගලීකරනය කරන්නේද වරාය අධිකාරයේ සේවාවන් කප්පාදු කරන්නේද පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන්ම සිරිසේන හා වික‍්‍රමසිංහ ආන්ඩුව කි‍්‍රයාවට දැමූ හා කි‍්‍රයාවට දමන අධිරාජ්‍ය ගැති ආර්ථික වැඩපිලිවෙල යටතේය. මෙම වැඩපිලිවෙල යටතේ බැරෑරුම් ප‍්‍රශ්නයන්ට මුහුනදී ඇති වතු කම්කරුවන්ද, තැපැල්, දුම්රිය හා ටෙලිකොම් කම්කරුවන්ද දැනටමත් අරගලයන්ට පිවිසෙමින් ඇත. ගොවීන්ගේ හා සිසුන්ගේ අරගල වර්ධනය වෙමින් ඇත.

වරාය කම්කරුවෙක් ලෝසවෙඅ මෙසේ කියා සිටියේය: “දැන් වරාය අධිකාරිය දිය කරමින් අපේ අයිතීන් එකින් එක උදුරා ගන්නවා. කම්කරුවන්ට දී තිබූ ආරක්ෂාව දැන් නැහැ. උදාහරන හැටියට නැව් ජැටියට සේන්දු කිරීම වැඩ පරීක්ෂකයෙකුගේ අවධානයෙන් සිදුවිය යුතු වුවත් දැන් එවැනි පලපුරුදු මූලිකයෙකු නැතුව කිරීමට සිදුවෙනවා. මෙම තත්වයේදී කම්කරුවන් අනතුරුවලට මුහුන දෙනවා. දෙතුන් දෙනෙක් අනතුරුවලින් මිය ගියා.

“අපට ලබාදුන් ආහාර වේල කෑමට නුසුදුසු අවස්ථා තියෙනවා. දිනක් පිලුනු ආහාර ලබාදුන් නිසා නියමු ස්ථානයේ කම්කරුවන් කෑම ප‍්‍රතික්ෂේප කල විට කොට්ඨාස ප‍්‍රධාන නිලධාරියා වන රවි ජයවික‍්‍රම පැමින අනුභව කල හැකි අයට වෙනමත් නොකල හැකි අයට වෙනමත් පෙල ගැසෙන ලෙස නියෝග කලා. භීතියට පත් කිසිදු කම්කරුවෙක් එවිට කතා කලේ නැහැ. වෘත්තීය සමිති මේ ප‍්‍රශ්න සම්බන්ධව කිසිවක් කරන්නේ නැහැ. එදින කම්කරුවන් සේවයේ යෙදුනෙ නිරාහාරව.

“වෘත්තීය සමිති කොලඹ වරාය පුද්ගලීකරනය කිරීම අනුමත කලා විතරක් නෙමෙයි වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ම විරුද්ධයි. කොන්ත‍්‍රාත් ක‍්‍රමයට බඳවාගන ඇති සේවකයන්ගේ අයිතීන් සඳහා කිසිදු උද්ඝෝෂනයක් කිරීමෙන් වැලකී සිටියා. ආන්ඩුවට බල කිරීමෙන් කිසිදු අයිතියක් දිනා ගැනීමට හැකියාවක් නැහැ.”

තවත් සේවකයෙක් කියා සිටියේ වෘත්තීය සමිති නායකයන් විශේෂයෙන්ම ජවිපෙ වෘත්තීය සමිතියේ නායක චන්ද්‍රසිරි ගමගේ ආන්ඩුව සමග සන්ධාන ගතව සිටින බවය. ඔහු පවසන පරිදි දැන් සලපොසේස පුද්ගලීකරනයට විරුද්ධ බව පවසන්නේ කම්කරුවන්ගේ විරෝධය ගසා කමින් එය පීලිපැන්න වීම සඳහාය.

ජවිපෙ සහ එහි වෘත්තීය සමිති ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට අමුඩ ගසාගෙන දරදිය ඇද, පසුව කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ විරුද්ධත්වය වැඩෙන විට එම ආන්ඩු ගැන යටි ගිරියෙන් විවේචනය කරති. පසුගිය අවුරුදු විසිපහ පමනක් ගත්විට හිටපු ජනාධිපතීන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛතී‍්‍රපාල සිරිසේන බලයට ආවේ මේ පක්ෂයේ හා සමිතිවල කර උඩිනි. දැන් ආන්ඩුවේ ලොකුම විරුද්ධවාදියා තමන් බව මවා පෙන්වීමේ තැතක ඔවුහු යෙදී සිටිති. ඒ සිරිසේන ආන්ඩුවට එරෙහිව වැඩෙන විරුද්ධත්වය අවමන්ගත කර ධනපති පන්ති පාලනය රැකීම සඳහා ය. මෙම පක්ෂයේ වැඩපිලිවෙල පූච්චානම් වලින් ආවරනය කෙරුනු ධනපති වැඩපිලිවෙලකි.

Share this article: