ටෙලිකොම් මෑන් පවර් කම්කරු අරගලයට විරුද්ධව වාරන නියෝගයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 23

ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කර සිය රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන් දෙසැම්බර් 26 වෙනිදා සිට ගෙන යන අරගලයට විරුද්ධව කොලඹ දිස්ත‍්‍රික් උසාවිය සිකුරාදා (20)වාරන නියෝගයක් නිකුත් කලේ ය. උසාවි නියෝගය ලබාගෙන ඇත්තේ කම්කරුවන් කොන්ත‍්‍රාත් පදනමේ සේවයේ යොදවන ශ‍්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටාල් සොලුයුසන් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම විසිනි. වාරනය පෙබරවාරි 3 වෙනිදා දක්වා වලංගුවේ.

වර්ජනය කිරීම මගින් කම්කරුවන් විසින් කොන්ත‍්‍රාත් ගිවිසුම උල්ලංඝනය කරනු ලැබ ඇති බවට ප‍්‍රකාශයක් පෙත්සම්කාර සමාගම උසාවියෙන් අපේක්ෂා කරයි.

මෙය නිශ්චිතව ම සමාගම කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීමට කරන උත්සාහයකි. කම්කරුවන් ප‍්‍රකාශ කරන ආකාරයට සමස්ථ ලංකා විදුලිසංදේශ සේවක සංගමය (සලංවිසේසං) හා ටෙලිකොම් පාලකයන් අතර සිකුරාදා පැවති සාකච්ඡාවක දී මෑන් පවර් කම්කරුවන් ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කිරීමට පාලකයන් එකඟ වී ඇති අතර අඟහරුවාදා (25) පැවැත්වෙන සාකච්ඡාවේ දී අවසන් තීරනයකට එලඹීමට නියමිතය.

සමාගම විසින් වාරන නියෝගයක් වර්ජිත කම්කරුවන්ට විරුද්ධව ගෙන ඇත්තේ ඉන්පසුව ය. කොන්ත‍්‍රාත්තුව උල්ලංඝනය කල බවට පෙත්සම්කාර සමාගම උසාවියෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට සමත් වුවහොත් අධිකරන තීන්දුවට යටත් කර ආන්ඩුව කම්කරුවන්ගේ අරගලය මර්දනය කරනු ඇත. එහෙයින් වාරනය සමාගම, ටෙලිකොම් පාලකයන් හා ආන්ඩුවේ එකාබද්ධ කුමන්ත‍්‍රනයකි.

අරගලයේ යෙදෙන ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන්

වර්ජනයට කම්කරුවන් 1000 වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටිති. සිය රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා ඔවුහු මීට පෙර අවස්ථා කිහිපයකදී ම විරෝධතා උද්ඝෝෂනවල නිරත වූහ. පසුගිය මැයි මාසයේ ඔවුන් වර්ජනය කලවිට සියලු දෙනාම ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කරන බවට කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න පොරොන්දු වී ඇත. එවකට මෙම කම්කරුවන් සාමාජිකත්වය දැරූ තොරතුරු හා විදුලිසංදේශ සියලු සේවක සංගමයේ නායකයෝ සෙනෙවිරත්නගේ පොරොන්දුව පිලිගෙන කම්කරුවන් ආපසු වැඩට තල්ලු කලහ. එහෙත් අනුයුක්ත කෙරුනේ 121 දෙනෙක් පමනි.

කම්කරුවන් යලි අරගලයට කැඳවීමට ඔවුන් දැන් සංවිධානය වී සිටින සලංවිසේසං බල කෙරුනේ අවශ්‍ය සුදුසුකම් සපුරා නැතිකම හා වයස වැඩිකම ආදී නොයෙකුත් සාවද්‍ය හේතු දක්වමින් ඉතිරි කම්කරුවන්ගේ සේවය ස්ථීර කිරීම ආන්ඩුව සහ ටෙලිකොම් ආයතනය මග හරින තතු තුල ය.

වර්ජිත කම්කරුවන් හමුවීමට 16 වෙනිදා පැමිනි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මන්ඩලය සමග සාකච්ඡා කර රැකියා ස්ථීර කිරීමට පියවර ගන්න බවට පොරොන්දු වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ගැත්තෝ” තවමත් ටෙලිකොම් ආයතනයේ ඉන්න බවත් මෑන් පවර් සේවකයන් ස්ථීර නොකර වැඩ අවුල් කරන්නේ ඔවුන් බවත් එහිදී කියා ඇති ඇමති සේනාරත්න ”ජනාධිපති සමග එක්වී ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කරන” බවට ද පොරොන්දු වී ඇත. ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන් සේනාරත්නගේ සහ ආන්ඩුවේ පරන පොරොන්දු මතකයට නගා ගැනීම වැදගත් ය. වර්තමාන ආන්ඩුව බලයට පත් වූ විට මෑන් පවර් කම්කරුවන්ගේ රැකියා ස්ථීර කරන බවට සේනාරත්න 2014 දෙසැම්බර් මාසයේ දී පොරොන්දු විය. රාජ්‍ය ආයතන වල සේවය කරන සියලූු මෑන් පවර් සේවකයන් ස්ථීර කරන බවට 2015 අය වැයෙන් ආන්ඩුව පොරොන්දු විය.

ශ‍්‍රී ලංකා හියුමන් කැපිටාල් සොලුයුසන් සමාගම රාජ්‍ය සහ පුද්ගලික බද්ධ සමාගමක් වන ටෙලිකොම් පීඑල්සී ආයතනයට අනුබද්ධ සමාගමකි. අඩු වැටුප් සහ අඩු පසුකම් සහිතව කම්කරුවන් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සැපයීම මගින් කම්කරු ශ‍්‍රමය සුරාකෑමෙන් ලාබ උපයන පුද්ගලික ආයතනයකි එය. එහි පාලකයන් ලෙස කටයුතු කරන්නේ ටෙලිකොම් ආයතනයේ ම ඉහල නිලධාරීන් පිරිසක් බව කම්කරුවෝ කියති.

කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කම්කරුවන් රැකියාවට බඳවා ගැනීම ලෝක පරිමානව ක‍්‍රියාවට දැමෙන හයර් ඇන්ඩ් ෆයර් පිලිවෙතට සම්බන්ධ ක‍්‍රමයකි. එය කම්කරු පන්තිය බරපතල අරගල මගින් පසුගිය සියවසේ දිනා ගත් සකල සියලු අයිතීන් විනාශ කරමින් ශ‍්‍රම සුරාකෑම තීව‍්‍ර කිරීම මගින් ලාබ මිරිකා ගැනීමේ දුෂ්ට පිලිවෙතකි.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික මෙන් ම රාජ්‍ය අංශය තුල ද මෙම පිලිවෙත පලල් ව ක‍්‍රියාවට දැමේ. රාජ්‍ය අංශය තුල එය ක‍්‍රියාවට දැමෙන්නේ ජාතන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජ්‍ය ශ‍්‍රම බලකාය කප්පාදු කිරීමේ හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනයේ කොටසක් ලෙසය. එය රාජපක්ෂ ආන්ඩුව යටතේ ක‍්‍රියාවට දැමුන අතර වර්තමාන ආන්ඩුව යටතේ තව තවත් කඩිනම් කිරීමට සැලසුම් කර ඇත.

වර්ජිත කම්කරුවන් විස්තර කල පරිදි ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන් ට ගෙවන්නේ ස්ථීර කම්කරුවන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි. ඔවුන්ගේ මූලික වැටුප ශ්‍රේනිවලට අනුව රුපියල් 22,000 සිට 32,500 දක්වා වේ. නිවාඩු, ආරක්ෂක උපකරන ඇතුලු පහසුකම් ද ප‍්‍රමානවත් තරම් ඔවුන් ට නැත. මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනකු අවුරුදු 10-20 අතර සේවා කාලයක් සම්පූර්න කල අය වෙති.

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ටෙලිකොම් සමස්ත සේවක සංගමය ඇතුලු ටෙලිකොම් වෘත්තීය සමිති මෑන් පවර් කම්කරුවන් ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කිරීමට විරුද්ධව පාලකයන් සහ ආන්ඩුව සමග විවෘතව පෙල ගැසී සිටින අතර ඔවුහු මෑන් පවර් කම්කරුවන්ට විරුද්ධව ටෙලිකොම් කම්කරුවන් උසි ගැන්වීමේ නින්දිත ව්‍යායාමයක ද යෙදී සිටිති. මෑන් පවර් කම්කරුවන් අනුයුක්ත කලොත් ටෙලිකොම් ආයතනය පාඩු ලබා එහි සේවකයන්ගේ රැකියා හා සෙසු අයිතීන්ට පහර වදින බවට ඔවුහු දුෂ්ට ප‍්‍රචාරයක් ගෙන යති. මොවුහු අන්තර්ජාතික ප‍්‍රාග්ධනයේ හා ධනපති රාජ්‍යයේ සෘජු ඒජන්තයෝ ය.

වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක‍්‍රියාකලාපය කෙරෙහි මෑන් පවර් කම්කරුවන් තුල ඇත්තේ බරපතල කෝපයකි. ”බොරු ප‍්‍රචාර ගෙනයමින් ස්ථීර සේවකයන් අපට විරුද්ධව මෙහය වන්න සමිති නායකයන් උත්සාහ කරනවා. නමුත් සේවකයන් අපට විරුද්ධ නැහැ. දෙගොල්ල කාකොටවන්න උත්සාහ කරන්නේ සමිති නායකයෝ” කම්කරුවෝ කීහ.

මේ සමිති නායකයන් ටෙලිකොම් කම්කරුවන්ගේ රැකියා හෝ සෙසු අයිතීන් රැකීමට මොන ම අරගලයක් වත් කර නැත. ටෙලිකොම් කම්කරුවන්ගේ රැකියා හා සෙසු අයිතීන්ට එල්ල වූ ප‍්‍රධාන ප‍්‍රහාරය වූයේ; එය 1991 සංස්ථාවක් බවට පරිවර්තනය කර 1997 පුද්ගලීකරනය කිරීමය. දැන් එය නෙදර්ලන්තයේ ග්ලෝබල් හොල්ඩින්ග්ස් එන්.වී සමාගමත් සමග බද්ධ සමාගමකි. එහි කොටස්වලින් සියයට 44.98 ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමාගම මිලදී ගෙන ඇති අතර ආන්ඩුවට අයිති කොටස සියයට 50.50 කි. ඉතිරිය වෙනත් කොටස් මිලදී ගන්නන් විසින් මිල දී ගෙන ඇත.

පුද්ගලීකරනයට එරෙහිව පැනනැගුන සේවක විරෝධය පුහු විරෝධතාවලට යටකර දියකර හැර සේවකයන්ගේ රැකියා හා සේවාකොන්දේසි වලට ප‍්‍රහාර එල්ල කිරීමට බලයේ පැවති ආන්ඩුවලට ඉඩ ෂලසා දුන්නේ මෙම නායකයෝ ය. පුද්ගලීකරනයෙන් පසු ඊනියා ස්වෙච්චාවෙන් විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමය යටතේ පසුගිය දසක දෙක තුල කිහිප දහසකින් ටෙලිකොම් ශ‍්‍රම බලකාය කප්පාදු කෙරුනි. වර්තමාන ආන්ඩුව යටතේ ටෙලිකොම් ආයතනය සහමුලින් පුද්ගලීකරනය කිරීමේ කටයුතු කඩිනම් කෙරෙනු ඇත. දැනටමත් නඩත්තු කටයුතු පුද්ගලික අංශයට පවරා ඇත. ඒ සඳහා යොදා ගන්නා කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 9,500 ක් බව මෑන් පවර් කම්කරුවෝ කීහ. එහෙයින් ටෙලිකොම් සේවකයන්ගේ රැකියා හා සේවා කොන්දේසිවලට පහර වදින්නේ මෙම පුද්ගලීකරන ක‍්‍රියාවලියෙන් මිස මෑන් පවර් සේවකයන් ඊට අනුයුක්ත කර ඔවුන්ගේ රැකියා ස්ථීර කිරීමෙන් නොවේ. මෑන් පවර් කම්කරුවන් ඉදිරියේ ඇති ප‍්‍රධාන අනතුර වන්නේ ද මෙයයි.

ඉල්ලීම් ජය ගන්නා තුරු සටන් කරන බව සලංවිසේසං නායකයෝ කියති. ”උසාවියට අපහාස නොකර වාරනය වෙනස් කරගෙන සටන ජය ගන්න තුරු ඉදිරියට ගෙන යන” බව එහි උපදේශක ජේ.ඒ.එස්.කේ. අප්පුහාමි ලෝක සමාජවදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ ය. එහෙත් තොරතුරු හා විදුලිසංදේශ සියලු සේවක සංගමය තුල සිටිමින් ආන්ඩුවේ හා ටෙලිකොම් පාලකයන්ගේ පොරොන්දුවලට යටකර මෑන් පවර් කම්කරුවන්ගේ පෙර අරගල දියකර හැරීමට සලංවිසේසං නායකයෝ දායක වූහ. සියලූ සේවක සංගමයෙන් ඔවුන් වෙන් වූයේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මත නොව, 2014 වර්ජනයේ දී එයට පැනවූ උසාවි වාරනය උල්ලංඝනය කිරීමෙන් උසාවියට අපහාස කල බවට නඩුවක් පවතින නිසාවෙනි.

තම සංගමය දේශපාලනයෙන් තොර බව සලංවිසේසං යේ නායකයන් කියන නමුදු ඔවුන් සියල්ලම නැතහොත් එහි බහුතරයක් සියලු සේවක සංගමය සමග එක්ව වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන්නෝය. ඔවුන් මෙන් ම පොදුවේ සමිති නායකයන් ”දේශපාලනයෙන් තොරවීම” ගැන කරන කතා වංචාවකි. ඇත්ත වශයෙන් ම ඔවුන් කරන්නේ කම්කරුවන් ධනපති ආන්ඩුවේ හා ඒ හෝ මේ ධනේශ්වර දේශපාලන පක්ෂවලට කම්කරු පන්තිය දෘෂ්ටිවාදාත්මකව හා දේශපාලනිකව ගැට ගැසීමය.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සමග පෙල ගැසී ආන්ඩුවට ලොකු බලපෑමක් කිරීමෙන් ඉල්ලීම් දිනා ගත හැකි බවට මිත්‍යාවක් සලංවිසේසං කම්කරුවන් අතර වගා කරති. මේ සංවිධාන වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට අඩුවැඩි වසයෙන් දායක වූහ.

අඟහරුවාදාට (25) නියමිත සාකච්ඡාව අසාර්ථක වුවහොත් මෙම සංවිධාන සමග ”ලොකු” පෙල පාලියක් ගොස් ආන්ඩුවට බල කිරීමට සමිති නායකයන් සැලසුම් කර ඇත.

ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ කම්කරු පන්තියේ අයිතීන් තහවුරු කිරීම නො ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හා විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ සැලසුම් ක‍්‍රියාවට දැමීම ය. ඊට එරෙහිව පැනනගින වැඩකරන ජනයාගේ අරගල මෘග ලෙස තලා දැමීමය. හම්බන්තොට වරාය කම්කරුවන්ගේ අරගලය දී ආන්ඩුව අනුගමනය කල පිලිවෙත ඒ සඳහා හොඳ උදාහරනයකි.

කියවන්න, ශ‍්‍රී ලංකාව: හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම්

Share this article: