රුසියානු පරිගනක අපහරනය පිලිබඳ මාධ්‍ය මෙහෙයුම හා සිරියාව තුල එක්සත් ජනපදයේ අන්ත පරාජය

The media campaign on Russian hacking and the US debacle in Syria

2017 ජනවාරි 9

රුසියාව සිදුකලේයැයි කියන පරිගනක අපහරනය ගැන එක්සත් ජනපද බුද්ධි ආයතන විසින් පසුගිය සතියේදී ප්‍රසිද්ධ කරන ලද වාර්තාව තුල, කිසිදු දත්තමය සාක්ෂියක් නොතිබියදීම, යුද්ධය සඳහා කෙරෙන මාධ්‍ය උද්ඝෝෂනය ලිහිල් වන බවක් පෙනෙන්ට නැත.

එක්සත් ජනපද බුද්ධි ආයතන විසින් පසුගිය 6දා නිකුත් කරන ලද රහස්‍යභාවය නොසඟවන ලද වාර්තා තවදුරටත් සාක්ෂි දරන්නේ, රුසියානු ආන්ඩුව විසින් පරිගනක අපහරනය කිරීම හා ඩිමොක්‍රටික් පක්ෂයේ විද්‍යුත් ලිපි කාන්දුකිරීම ගැන කරන ප්‍රකාශවල කිසිදු යථා පදනමක් නොමැති බව යි.

ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුව හා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඩෙස්ටාගේ වාර්තා, රුසියාව නීති විරෝධී ආකාරයෙන් බාගෙන ඇතැයි පසුගිය ඔක්තෝබර් මාසයේදී සීඅයිඒ හා ජාතික බුද්ධිඅංශයේ ප්‍රධානී ජේම්ස් ක්ලපැර් විසින් ගොතන ලද චෝදනා පිලිබඳ දත්තමය කරුනු ඉදිරිපත් කිරීමකින් තොරය, එම වාර්තාව

රුසියානු විරෝධී උද්ඝෝෂනයේ අතිශයින්ම නිර්ලජ්ජිත මාධ්‍ය අනුග්‍රාහකයා වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය 6දා සවස පලකල මුල්පිටුවේ ප්‍රවෘත්ති ලිපියකින් එයට පිලිගැනීමට බලකෙරුනේ, “ප්‍රසිද්ධියට පත්කල වාර්තාවේ දකින්ට නොලැබුනේ, බොහෝ ඇමෙරිකානුවන් වඩාත් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි දෙයයි. එනම් රුසියානු ආන්ඩුව මැතිවරන ප්‍රහාරයක් සැලසුම් කලේය යැයි ආයතනවල කියාපෑම් වලට පිටුබලය දෙන ප්‍රබල සාක්ෂි ය.“

එය මෙසේ ද පවසයි: “වොෂිංටනයේ බොහෝ අය බලාපොරොත්තුවූයේ මොනයම්ම හෝ අවිනිශ්චිතතාවක් මකා දැමීමට බලගතු ප්‍රසිද්ධ වාර්තාවක් ආයතන විසින් සකසනු ඇති බව යි. ඒ වෙනුවට, ආයතනවල පනිඩුඩය අනිවාර්යෙන් යොමුව තිබුනේ ‘අපිගැන විශ්වාසය තබන‘ යන්න” මතය.

වොෂිංටන් පෝස්ට් වාර්තා කලේ, රහස්‍යභාවය සැඟවූ ලේඛන “ගිනිගන්නා සුලු නොවීමට” ඉඩ තිබෙන බව යි.

එසේ වෙතත්, රුසියාවට එරෙහිව වඩාත් ආක්‍රමනශීලි පිලිවෙතක් ගැනීම උදෙසා එලැඹෙන ට්‍රම්ප් පාලනයට පීඩනය දැමීමේ එල්ලය ඇතිව සිදුකෙරෙන උද්ඝෝෂනය මාධ්‍ය විසින් අත් හැර නැත.

8දා උදෑසන සංවාද වැඩසටහන්වල කතා කරමින්, රිපබ්ලිකානු යුද උද්ඝෝෂකයන් වන ලින්ඩ්සේ ග්රැහම් හා ජෝන් මැකේන් සමග එක්වූ මාධ්‍ය පන්ඩිතයන් හා වාර්තාකරුවන් වෑයම් කලේ, බුද්ධි අංශ වාර්තා, රුසියාව මැතිවරන තුල “මැදිහත්වීම” සම්බන්ධයෙන් දැඩි චෝදනා පත්‍රයක් ලෙස පෙන්නුම් කිරීමට ය.

එන්බීසී නිව්ස් “මාධ්‍ය හමුවන්න” වැඩසටහනේ පෙනී සිටිමින්, සෙනෙට් සභික ග්රැහම් ඉල්ලා සිටියේ, ජනපති පදවියට තේරී පත් ට්‍රම්ප්, ජනාධිපතිවරනය තුල “මැදිහත්වීමට වෑයම් කිරීම වෙනුවෙන් මිලක් ගෙවීම සඳහා රුසියාව මෙහෙයවිය යුතු බව” යි. එක්සත් ජනපදය අතිරේක භටයින් 4,000ක් ස්ථානගත කරන රුසියානු දේශසීමාවේ බෝල්ටික් රටවල්වල මෑතදී සංචාරයක නිරතවූ ග්රැහම් මෙසේ කීවේ ය: “රුසියාවේ මූනට එකක්/දෙකක් අනින්න මට අවශ්‍යයි. රුසියානු ජනාධිපති පුටින්ට; හොඳහැටි රිදෙන තවත් සම්බාධක පැනවීමට මට අවශ්‍ය යි…. අපට තවත් හමුදා පුහුනු කරුවන් අවශ්‍ය යි, වසරේ දින 365ම බෝල්ටික්, යුක්රේන හා ජෝර්ජියාව තුල අඛන්ඩ එක්සත් ජනපද මිලිටරි පුහුනුවක් පැවතීම අපට අවශ්‍ය යි.”

ඩිමොක්‍රටික් නායකත්වය පරිගනක අපහරනයට ලක්කිරීමෙන් ලබා ගත්තේයැයි කියන තොරතුරු රුසියාව විසින් “අවියක් වසයෙන් යොදා ගනිමින් තිබෙන බවට” සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මන්ඩල සාකච්ඡාවකදී එන්බීසී අටුවාකරු ඇන්ඩ්රියා මිචෙල් කීවා ය. නිව් යෝක් ටයිම්ස් තීරු රචක ඩේවිඩ් බෘෘක් සඳහන් කලේ, “පුටින් කියන්නේ මාධ්‍යවේදීන් ඝාතනය කරන, තමන්ගේම රටේ ප්‍රජාතාන්ත්‍රික සන්තතිය විනාශ කල, සහ ඒ දේම වෙනත් රටක කිරීමට නිදහස ඇතැයි දැන් හදිසියේම සිතන මිනිහෙක්” බව යි.

ආන්ඩුවට සනාථ කිරීමට නොහැකිවී ඇති අනභියෝගි සත්‍ය චෝදනාවන් වසයෙන් මවා පාමින් ගෙන යන අඛන්ඩ මාධ්‍ය ප්‍රහාරය ඔප්පු කරන්නේ, එම උද්ඝෝෂනය මෙහෙයවන්නේ, ඇමෙරිකානු “ප්‍රජාතන්ත්‍රවාදී සන්තතිය” කෙරෙහි එල්ල කෙරෙනු මොනයම්ම හෝ විදෙස් ප්‍රහාරයක් හමුවේ නොව, ප්‍රකාශයට පත් නොකල (හා අපකීර්තිමත්) දේශපාලන අරමුනු වෙනුවන්ය යන කාරන යි. මාස පහකට පෙරාතුව ප්‍රථම වරට කරලියට ගෙන එන ලද හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයට එරෙහිව රුසියාව එල්ල කලේයැයි කියන පරිගනක අපහරන චෝදනාවල අරමුන වූයේ, විශේෂයෙන්ම සිරියාව තුල සිවිල් යුද්ධය මුල්කරගෙන රුසියාවට අභියෝග කිරීමේ ව්‍යායාමයට මහජන සහාය පෙලගස්වා ගැනීමය.

වසර හයක් තිස්සේ සීඅයිඒ සංවිධානය, මැදපෙරදිග තුල රුසියාවේ එකම අරාබි සගයා වන සිරියානු ජනාධිපති බසාර් අල්-අසාද් පෙරලා දැමීමේ අරමුනින් ඉස්ලාමීය සටන්කාමීන්ට අරමුදල් සම්පාදනය කරමින් හා සන්නද්ධ කරමින් පාලන තන්ත්‍ර මාරුවක් සඳහා ව්‍යායාමක නිරතව සිටියේ ය. 2013දී, සිරියානු ආන්ඩුව රසායනික අවි යොදාගෙන ඇතැයි යනුවෙන් කෙරුනු සාවද්‍ය කියාපෑම්, අසාද්ට එරෙහිව පුලුල්-පරිමානයේ ගුවන් යුද්ධයක් දියත් කිරීම සඳහා කඩතුරාවක් වසයෙන් යොදා ගැනිනි. දේශීයව මහජන විරුද්ධත්වයට මුහුන දෙමින් ද, මිලිටරි සංස්ථාපිතය තුල බෙදීම් හා වොෂිංටනයේ නේටෝ සගයන් අතර ක්‍රමයෙන් හීන වන සහාය මධ්‍යයේ ජනාධිපති ඔබාමා, අන්තිම මිනිත්තුවේදී ගුවන් ප්‍රහාරය අත්හැර දැම්මේ ය.

බුද්ධි අංශ සංස්ථාපිතයේ ප්‍රමුඛ කොටස්වල සහාය ප්‍රසිද්ධියේම ලැබූ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව, බලාපොරොත්තුවූ ආකාරයට මැතිවරනය ජයගැනීමෙන් අනතුරුව, සිරියාවට එරෙහි දැවැන්ත එක්සත් ජනපද මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා කල් තියාම සැලසුම් කර තිබීමත්, ඒ ගැන ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය හා ඔබාමා පාලානාධිකාරිය අතර සාකච්ඡා පවත්වා තිබීම ගැන සැකයක් ඇත්තේ නැත. මැතිවරන උද්ඝෝෂනය දියත් කල සමයේදී, “පියාසර තහනම් කලාපයක්” ඇති කිරීමට සහ සිරියාව තුල ක්‍රියාත්මකව සිටි රුසියානු හමුදා සමග සෘජු මිලිටරි ගැටුමකට යාමේ අනතුරක් ගැබ්කරගත් අනෙකුත් පියවරයන්වලට ක්ලින්ටන් යලියලිත් කැඳවුම් කර තිබුනි. ක්ලින්ටන් ජයගත්තා නම් ඔබාමා ආන්ඩුව, සීඅයිඒ ඉල්ලීම පරිදි යුද සැලසුම් ක්‍රියාවට නඟනු නොඅනුමානය.

දේශපාලන සංස්ථාපිතය මවිතයට පත්කරමින් ට්‍රම්ප් තේරී පත්වීම මෙකී සැලසුම් අවුලකට ඇද දැම්මේ ය. එසේ වූයේ, ට්‍රම්ප් මිලිටරිවාදයට හා යුද්ධයට මොනයම්ම හෝ ආකාරයෙන් හෝ අඩුවෙන් කැපවී සිටීම නිසා නොවේ. ඔහුගේ “ඇමෙරිකාව පලමුව” මන්ත්‍රය නියෝජනය කරන්නේ, සියලුම තථ්‍ය අභියෝගකරුවන්ට එරෙහිව සෑම ආකාරයෙන්ම ඇමෙරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් දැඩිලෙස තහවුරුකිරීමට හැරී ගැනීම යි. කෙසේ වෙතත් ට්‍රම්ප් කතා කරන්නේ, චීනය වඩාත් ආසන්නතම සතුරා ලෙස දකින හා රුසියාව සමග හදිසි ගැටුමකට යාම හදිසියේ කල යුත්ත, එනම් බීජිනය යටත් කර ගැනීම අවුල් කරනු ඇතැයි සිතන ඇමෙරිකානු පාලක පන්තිය තුල කොටසක් වෙනුවෙන් ය.

ඊට පෙර දිනයේ බුද්ධි අංශ වාර්තාව ට්‍රම්ප් විසින් ජනවාරි 7දා ගසා දැමූ අතර, “රුසියාව සමග හොඳ සම්බන්ධතාවක් තිබීම යහපත් දෙයක් මිස නරක දෙයක් නොවේ”යැයි ට්විටර් පනිවුඩයකින් රුසියාව සිදුකලේයැයි කියන පරිගනක අපහරන චෝදනා ගැන ඔහුගේ සැකය යලි අවධාරනය කලේ ය.

රුසියානු ගුවන් බලය හා ඉරාන හමුදාවේ පිටුබලය ලබමින් සිරියානු ආන්ඩුවේ හමුදා, එක්සත් ජනපද පිටුබලය ලබන ඉස්ලාමීය සටන්කාමී සංවිධාන අල්ලාගෙන සිටින එහි අවසන් ප්‍රධාන නගරය වන නැගෙනහිර ඇලෙප්පෝවෙන් එලවා දැමීමට ආසන්නයැයි පැහැදිලිවීමත් සමග, රුසියානු විරෝධී උද්ඝෝෂනය යලිවතාවක් පුලුල් පරිමාන ප්‍රචාරක ප්‍රහාරයක් අවුලුවාලීය. ඇලෙප්පෝව තුලදී එක්සත් ජනපදය ලද නින්දිත පරාජය, රුසියානු පරිගනක අපහරනය ගැන පශ්චාත් මැතිවරන උද්ඝෝෂනයේ උමතු ස්වභාවය සඳහා සැලකිය යුතු ප්‍රමානයකට වගකියයි.

8දා “මාධ්‍ය හමුවන්න” වැඩසටහනට කතාකරමින් ඉවත්ව යන ආරක්ෂක ලේකම් ඇස්ටන් කාටර්, මෙම කරුන හැකිතාක් බලගතු ලෙස සටහන් කලේ ය. සමස්ත සම්මුඛ සාකච්ඡාව පුරාම එය මෙහෙයවූ චක් ටොඩ්, මැතිවරනය තුලදී ඊනියා රුසියානු මැදිහත්වීම “යුද පියවරක්” වී ද සහ එය “මිලිටරිමය ප්‍රතිචාරයක්” සඳහා යෝග්‍යදැයි යන්න කියවා ගැනීමට කාටර් පෙලඹවුයේ ය. “මෙම පාලානාධිකාරිය රුසියාවට දඬුවම් කිරීමට මෙහෙය වෙන්නේ”නැති ද යන කාරනය පිලිබඳව ඔහු කාටර්ගෙන් බලකර අසා සිටියේ ය.

රුසියාව “සිරියානු සිවිල් යුද්ධය දෙගුනයකින් වැඩිකර ඇති” බව සහ “අපේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මෑතම ආක්‍රමනකාරී ක්‍රියාවට” මෙහෙයවෙමින්, සිරියාව තුල “එක්සත් ජනපදය ඉච්ඡාභංගත්වයට පත් කරමින් සිය අවශ්‍යතා නිර්නය කිරීමට” හැරී ඇති බව කාටර් ප්‍රකාශ කලේ ය.

වසර පහලොවකට පෙරාතුව, මැදපෙරදිග තුල පෙරනූවූ විරූ ලේහැලීම් මාලාවකට වේදිකාව සකසමින්, ඇමෙරිකානු මහජනයා යුද්ධයක් තුලට ඇදගෙන යාමට ඉරාක සමූලඝාතන අවි පිලිබඳ නිල මුසාවාද යොදා ගැනුනි. ජනාධිපති ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ්, උප ජනාධිපති ඩික් චේනි හා අනෙකුත් නව කොන්සර්වේටිව්වාදී දෘෂ්ටිවාදීන් කල්ලිය , ඉරාකය න්‍යෂ්ටික අවි නිපදවීමට වෑයම් කරමින් සිටීය යන්න ගැන සාක්ෂි ගෙතීමට ඉමහත් දුරක් ගමන් කලෝ ය.

ඇෆ්ගනිස්ථානයේදී අල්ලා ගන්නා ලද අල් කයිඩා රැඳවියෙකුට වධබන්ධන පමුනුවා, ත්‍රස්තවාදී සංවිධානය ත්‍රස්ත පුහුනු කඳවුරු පිහිටුවීමට ඉරාක ආන්ඩුව සමග වැඩකරමින් සිටියේය යන්න කියවා ගැනීමට බලකරන තත්වයක් දක්වා සීඅයිඒ සංවිධානය ගමන් කලේ ය. 2003 වසරේදී ඉරාකයට එරෙහි වැඩෙන යුද්ධය යුක්තිසහගත කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කල කතාවේදී කොලින් පවල් පුනරුච්ඡාරනය කල මුසාවකි, මෙය.

බුෂ් පාලානාධිකාරියේ “සාක්ෂි” පුලුල් ලෙස පතුරුවමින්, සීඅයිඒ සංවිධානය වෙනුවෙන් හොරැනෑවක් වසයෙන් ක්‍රියාත්මකවූ ජූඩිත් මිලර් වැනි නිව් යෝක් ටයිම්ස් හි වාර්තාකරුවන් ලියූ ලිපි ද ඇතුලත් මාධ්‍ය, තීරනාත්මක භූමිකාවක් ඉටුකලේ ය.

ලෝකය පුරා මිලියන සංඛ්‍යාත මහජනයා මේවා මුසාවන් බව දැන සිටියහ. එලැඹෙමින් තිබුනේ තෙල් සඳහා යුද්ධයක් බව ඔවුහු දැන සිටියහ. ඔවුහු මිලියන සංඛ්‍යාතව රැලිවෙමින් ලඟ එමින් තිබූ යුද්ධයට එරෙහිව, මානව ඉතිහාසය තුල දැවැන්තම ගෝලීය යුද විරෝධී උද්ඝෝෂන දියත් කරමින් විරෝධතා දැක්වූහ.

වසර පහලොවකට පසුවත් ඒ ආකාරයේ මුසාවන්ම මිලිටරි/බුද්ධි අංශ යාන්ත්‍රනයේ මාධ්‍ය රැනෑවල් විසින් පතුරුවා හරිමින් සිටී.

සැලකිල්ලට ගත යුතු කාරනාව වන්නේ, අද දින විධික්‍රමය සමාන ද ඉලක්කයන් එදාටත් වඩා සුවිසාල ද වන අතරේ, සංවිධානාත්මක විරුද්ධත්වයක් නැතිවීම යි. ඒ යුද්ධයට පුලුල් පරිමාන සහායක් තිබෙන නිසා නොවේ. ඒ වෙනුවට වසර පහලොවකට පෙරාතුව එම විරෝධතා මෙහෙයවූ සංවිධාන එකල ඒවායේ බලපෑම යොදා ගනිමින් යුද විරෝධී මනෝගතිය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීමට ඉටු කල ක්‍රියාකලාපය හේතුවෙනි. අද, ඔබාමා පාලනයේ වසර වසර 8, ඩිමොක්‍රටික් පක්ෂයේ සියලුම මවාපෑම් කීතුකර දමා එය මිලිටරි-බුද්ධි අංශ සංස්ථාපිතයේ පක්ෂයකට නොඅඩු යමකට පරිවර්තනය කර ඇති තත්වයක් යටතේ, ව්‍යාජ වාම සංවිධාන විවෘතවම අධිරාජ්‍ය ගැති හා යුදවාදී බවට පත්ව තිබේ.

ආන්ද්රේ ඩේමන්

Share this article: