යුද්ධය, මර්දනය හා අසමානතාව පිලිබඳ ඔබාමාගේ උරුමය

Obama's legacy of war, repression, and inequality

2017 ජනවාරි 10

අද රාත්‍රියෙහි පැවැත්වීමට නියමිත ව ඇති එක්සත් ජනපද ජනාධිපති ඔබාමාගේ ”ජාතියෙන් සමුගැනීමේ කතාවල ට පෙරාතුව, ඔබාමාගේ උරුමය පිලිබඳ ජනමාධ්‍ය ඔස්සේ ඒකාග‍්‍ර කෙරුනු හුවාදැක්වීමක් දියත් කෙරුනි. දීප්තිමත් කථිකයකු, ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කාරකයකු, දුරදක්නා නුවනින් හෙබි ජනතාවාදියෙකු ලෙස ජනාධිපතිවරයා නිරූපනය කරන හීන දීන ගුන ගායනා මීට ඇතුලත්ය.

ඔබාමාගේ ජනාධිපති ධුර කාලය පිලිබඳ ආඛ්‍යානය වාත්තු කරගන්නා අටියෙන් ධවල මන්දිරය, ”ඔව්, අපට ප‍්‍රගතිය නිර්මානය කල හැකි යි යන්න සනාථ කල ඓතිහාසික අවස්ථා” වර්නනා කරමින්, එලන් ඩිජෙනරස් හා ජෙරී සයින්ෆෙල්ඩ් යන ප‍්‍රහසනකරුවන්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ හා ටොම් හෑන්ක්ස් යන නලුවන්, හිටපු පැසිපන්දු තරුව මයිකල් ජෝඩ්න්, සහ තවත් ප‍්‍රසිද්ධ පුද්ගලයින් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කලේ ය. එවැනි අභූත හා ජුගුප්සාජනක ප‍්‍රචාර, 44 වැනි ජනපතිවරයාගේ ගුනාංග හෝ ජයග‍්‍රහන පිලිබඳව නො ව සාක්ෂි සපයන්නේ, ඇමෙරිකානු සංස්කෘතික සංස්ථාපිතයෙහි බුද්ධිමය, දේශපාලනික හා සදාචාරමය පරිහානිය පිලිබඳව යි.

ඔබාමා සහ ඩිමොක‍්‍රටික් පක්ෂය වටා සිටින වරප‍්‍රසාදිත සමාජ ස්තරයන්ට, මීපැනි තැවරූ වාක්‍යයක ඛන්ඩ හා ශූර අලෙවිකරනය යොදාගෙන දායාදයක් නිමවාගැනීමට පුලුවන. කෙසේ වතුදු, මිලියන සංඛ්‍යාත ජනතාව පාලනතන්ත‍්‍රය විනිශ්චය කරනු ඇත්තේ එහි ක්‍රියාවන්ගෙනි.

ඔබාමාගේ ධවල මන්දිරයේ සැබෑ වාර්තාව සවිස්තර අන්දමින් සටහන් කිරීමට මෙහි තිබෙනවාට වඩා බොහෝ ඉඩ කඩ අවශ්‍යම කෙරේ. කෙසේ වුවත්, පසුගිය අට වසර පිලිබඳ මොන ම ඇගැයුමකට වේවා පහත දැක්වෙන මූලිකාංග ඇතුලත් කිරීමට සිදු වෙයි.

1. කෙලවරක් නැති යුද්ධය

ඔබාමා, ඇමෙරිකානු ඉතිහාසය තුල තම සම්පූර්න ධුර කාල දෙක ම ජාතිය යුද්ධයෙහි පටලවමින් සේවය කල පලමු ජනපතිවරයා වෙයි. ඇෆ්ඝනිස්තානයේ හා ඉරාකයේ අඛන්ඩ ලේ වැගිරීම්, ලිබියාවේ බෝම්බ ප‍්‍රහාර, සිරියාවේ තන්ත‍්‍ර මාරුව වෙනුවෙන් කෙරුනු සය අවුරුදු යුද්ධය, සහ සෞදියේ නායකත්වයෙන් යේමනය විනාශ කිරීම සඳහා සහාය දීම මේ අතර වෙයි. 2016 දී රටවල් 138ක් තුල, නැතහොත් ලෝකයේ රටවලින් සියයට 70ක් තුල එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායන් යොදවනු ලැබූ බව මෑත දී කෙරුනු සමීක්ෂනයක් වාර්තා කලේ ය.

බුෂ් යටතේ අරඹනු ලැබ, ඔබාමා යටතේ ව්‍යාප්ත කෙරුනු ”21 වැනි සියවසේ යුද්ධ,” මිලියනයකට අධික ජනතාවක් ඝාතනය කොට, තවත් මිලියන ගනන් සිය වාසභූමිවලින් පලවා හරිමින් දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට දරුනුතම සරනාගත අර්බුදය නිර්මානය කර තිබේ. ඔබාමාගේ ”ආසියාවට හැරීම” දකුනු චීන මුහුදේ සිට ඉන්දියාව හා පාකිස්තානය දක්වා ආතතීන් අවුලුවා ඇත. වත්මන් ජනපතිවරයා ධවල මන්දිරය හැර යනු ඇත්තේ, ජනමාධ්‍යය සහ ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් උත්සන්න කරනු ලැබූ රුසියානු විරෝධී යුද හිස්ටීරියාවක් මධ්‍යයේ, නැගෙනහිර යුරෝපය තුල නේටෝ සේනාංක රඳවන අතර ය.

නියමුවන් රහිත ගුවන් යානා පාකිස්තානයේ, යේමනයේ, සෝමාලියාවේ හා ලිබියාවේ 3,000ක පමන ජනකායක් සමග ඉරාකයේ හා ඇෆ්ඝනිස්තානයේ තවත් කිහිප දහසක් දෙනා මරා දැමීම අධීක්ෂනය කල ”ඩ්‍රෝන්” ජනපති, ඔබාමා යි.

2. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්

ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් මරා දමනු ලැබූවන්ගෙන් අඩු තරමින් තිදෙනෙක් එක්සත් ජනපද පුරවැසියෝ වූහ. එක්සත් ජනපද පුරවැසියන් ඇතුලු ඕනෑ ම කෙනෙකු නිසි නෛතික පටිපාටියකින් තොර ව ඝාතනය කිරීම සඳහා බලය ජනාධිපති සතු වන බවට, 2011 දී ඔබාමා පාලන තන්ත‍්‍රනය කල නිවේදනය, ව්‍යවස්ථා නීතිය පිලිබඳ හිටපු මහාචාර්යවරයා ප‍්‍රජාතාන්ත්‍රික ප‍්‍රඥප්තීන් කෙරෙහි දක්වන ආකල්පය කැටි කර දක්වයි.

වසා දමන බවට ඔබාමා සිය සමාරම්භක දිනයේ දී ප‍්‍රතිඥා දුන් ග්වන්තනාමෝ බේ හි පිහිටි එක්සත් ජනපද රැඳවුම් හා වදහිංසන මධ්‍යස්ථානය තව ම විවෘත ව පවතී. ඉරාකයේ යුද අපරාධ ධෛර්ය සම්පන්න ලෙස හෙලිදරවු කල චෙල්සියා මෑනිං, කෙන්සාස්හි ෆෝර්ට් ලිවෙන්වර්ත් බන්ධනාගාරයෙහි 35 අවුරුදු සිර දඬුවමක් ගෙවමින් සිටින අතර ඔබාමාගේ ධවල මන්දිරය, මීට පෙර පැවති සියලු ම පාලනතන්ත‍්‍රවලට වඩා, අකටයුතු හෙලි කරන්නන් (whistle-blowers) සංඛ්‍යාවකට ඔත්තුබැලීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.එඩ්වඩ් ස්නෝඩන්, නඩු පවරනු ලැබීමේ හෝ ඊටත් වඩා නරක ඉරනමකට හසු වීමේ තර්ජනයට ලක් ව, රුසියාව තුල පිටුවහලේ සිටින අතර විකිලීක්ස් සමාරම්භක ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයට කොටු වී සිටී.

ස්නෝඩන් විසින් එලිදරවු කරනු ලැබූ ජාතික ආරක්ෂක ඒජන්සියෙහි (එන්එස්ඒ) දැවැන්ත ඔත්තු බැලීමේ වැඩසටහන් එසේ ම පවතින අතර පැහැදිලි ව ම, නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කටයුතුවල යෙදී ඇති එක ද පුද්ගලයකුට හෝ නඩු පැවරී නැත. ”පසුපස නො ව ඉදිරිය බැලීමේ” අවශ්‍යතාව නිවේදනය කල ඔබාමා, වදහිංසනය ආයතනගත කල බුෂ් පාලන තන්ත‍්‍රයේ නිලධාරීන්ට නිදහසේ ඉවත් ව යාමට ඉඩ දුන්නේ ය. වත්මන් සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් ඇතුලු ඔවුන්ගෙන් ඇතැමෙක් ඔබාමා පාලන තන්ත‍්‍රයේ ඉහල ම තනතුරු ලබාගත්හ.

ඔබාමා, පොලිස් දෙපාර්තමේන්තු මිලිටරීකරනය පුලුල් කොට, ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පොලිස් අපයෝජන ආරක්ෂා කිරීම සඳහා උසාවියට මැදිහත් ව තිබේ.

3. සමාජ අසමානතාව

ඔබාමා බලයට පැමිනියේ 2008 ආර්ථික අර්බුදයට තදනන්තර ව ය. ඔහුගේ පරිපාලනයෙහි යොමුව පැවතියේ, මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයෙහි ධනය පුනස්ථාපනය කිරීම වෙත ය. ඔබාමාගේ සමාරම්භක දිනයෙන් මාස දෙකකට පසුව 2009 මාර්තුවේ පැවති පහල ම අඩියේ සිට කොටස් වටිනාකම්, -එක්සත් ජනපද ෆෙඩරල් බැංකුවේ ”ප‍්‍රමානාත්මක ලිහිල්කරන” පිලිවෙත්වලින් තල්ලූව ලැබ- මේ අලුත් සමපේක්ෂන නාඩගමෙන් ඉහවහා ගිය ප‍්‍රතිලාභ ලබන්නන් බවට ඉහල ම සියයට එක පත් කරමින්, තෙගුනයකට වඩා ඉහල ගොස් තිබේ. කාර්තුගත සමාගම් දල ලාභය 2008 අග පැවැති ඩොලර් බිලියන 671 සිට 2016 දී ඩොලර් ට්‍රිලියන 1.636 ක් දක්වා ඉහල නැගුනු අතර පොහොසත් ම ඇමෙරිකානුවන් 400 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.57 සිට 2.4 තෙක් ඉහල ගියේ ය.

ඔබාමා පාලන තන්ත‍්‍රයේ අට අවුරුද්ද අනිත් ධ‍්‍රැවයෙහි නිර්මානය කර ඇත්තේ, පහල වැටෙන වැටුප්, ඉහල යන ජීවන වියදම හා වැඩෙන නයගැති භාවය යි. හාවඩ් හා ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකට අනුව, ඔබාමා පරිපාලනයේ ”ප‍්‍රතිසාධනය” අතරතුර ජනනය කෙරුනු සියලු රැකියාවලින් ආසන්න වසයෙන් සියයට 95ක්, තාවකාලික හෝ අර්ධ කාලීන රැකියා විය. එහි දී තාවකාලික රැකියා කල කම්කරුවන් ප‍්‍රමානය සියයට 10.7 සිට සියයට 15.8 දක්වා ඉහල නැගිනි. ඔබාමා සිය පරිපාලනයේ මුල් අවධියේ දී මෝටර් සමාගම්වල බුන්වත් වීමේ ක්‍රියාවලියෙහි (නව බඳවාගැනීම් සඳහා සියයට 50 ක වැටුප් කැපීමක් සියල්ලන්ට ම අදාල වන පරිදි පනවමින්) මුලසුන දැරී ය. ඩිට්‍රොයිට් නුවර බුන්වත්භාවය ප‍්‍රකාශයට පත් කිරීමට හා එහි කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප්වලට පහර දීමට ඔහු සහාය දුන්නේ ය. අධ්‍යාපන ”ප‍්‍රතිසංස්කරනවල” නාමයෙන් ඔහු රජයේ පාසැල් වසාදමා සිය දහස් ගනනින් රැකියා අහෝසි කරමින් ගුරුවරුන්ට එරෙහි ප‍්‍රහාර රැල්ලක් දියත් කිරීමට මූලිකත්වය ගත්තේය.

ඔබාමාගේ ප‍්‍රධානතම දේශීය ආරම්භකත්වය වූ දැරිය හැකි සෞඛ්‍යයට ආරක්ෂන පනත (Affordable Care Act) සම්බන්ධයෙන් ගත් කල, එහි අපේක්ෂිත හා සැබෑ ප‍්‍රතිඵලය වී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂන වියදම්, රක්ෂන සමාගම්වල හා රාජ්‍යයේ සිට පුද්ගලයින් කරා මාරු කිරීම යි. එහි දී සමාගම් විසින් ආවරනය කෙරෙන කප්පාදු අතර කම්කරුවන්ට අවප‍්‍රමාන කෙරුනු රක්ෂනයක් වෙනුවෙන් අධික මිලක් ගෙවීමට සිදු වෙයි. එක් සංඛ්‍යාලේඛනයක් මෙහි ප‍්‍රතිවිපාක මෙසේ සංග‍්‍රහ කරයි: ඒඩ්ස් වසංගතයේ උච්ච අවස්ථාව වූ 1993 න් පසු පලමු වරට, 2014 සහ 2015 අතර, මත්ද්‍රව්‍ය අධිමාත‍්‍රාවන් ගැනීම, සියදිවි නසාගැනීම හා සමාජ ආතතියේ අනෙකුත් ප‍්‍රකාශන හේතු කොටගෙන වැඩිහිටි මරන අනුපාතිකය ඉහල යාමෙන් එක්සත් ජනපදය තුල ආයු අපේක්ෂාව පහල වැටිනි.

තවත් අතිරේක සංඛ්‍යාන දෙකක් සඳහන් නොකලොත්, ඔබාමාගේ උරුමය පිලිබඳ විස්තරය සම්පූර්න නො වේ. 2009 සිට එක්සත් ජනපදය තුල ආසන්න වසයෙන් 10,000ක් ජනයා පොලිසිය විසින් මරා දමනු ලැබ තිබේ. ඒ ඔබාමා පාලන තන්ත‍්‍රය, එරට ඉතිහාසයේ වෙනත් කිසි ම පාලන තන්ත‍්‍රයකට වඩා, එනම් මිලියන තුනක් පමන සංක‍්‍රමනිකයින් පිරිසක් රටින් පිටුවාහල් කරන අතර ය.

ඉන් පසු මිනිහා ගැන ම සලකා බැලිය යුතු ය. වඩාත් කැපී පෙනෙන දෙය වන්නේ ඔබාමාගේ හිස් බව යි. 2004 ඩිමොක‍්‍රටික් ජාතික සමුලුවේ දී කෙරුනු ඔහුගේ පලමු ප‍්‍රධාන කතාවේ පටන්, විශිෂ්ට කථිකයකු ලෙස ඔබාමාට සමාචාර දක්වනු ලැබ තිබේ. එහෙත් ඔබාමා ධවල මන්දිරයේ ගත කල වසර අට ද ඇතුලු ව ෆෙඩරල් තලයේ රාජකාරි කල දොලොස් අවුරුද්දක කාලය තුල කල දේශනයකින් හෝ සම්මුඛ සාකච්ඡාවකින් මතකයේ රැඳෙන එක ද පේලියක් හෝ ඉතිරි ව නැත.

”වසරේ අලෙවිකරුවා” ලෙස නම් කරනු ලැබ තනතුරට පත් වූ ඔබාමා පිලිබඳ සියල්ල සාවද්‍ය ද ශූර ලෙස සැලසුම් කරන ලද්දේ ද වෙයි. ඔහු නොකඩවා පෙන්නුම් කරන එක ම දෙය නම් උදාසීනත්වය යි. එය අමුතු ම දුරස්ථභාවයකි, විශේෂ ගුනාංගයන්ගෙන් තොර මිනිසෙකු පිලිබඳ හැඟීමකි.

පුද්ගල පෞරුෂය, කාර්ය සාධනයට සම්බන්ධ ය. අන් සියල්ලට වඩා ඔබාමා ක්‍රියා කොට ඇත්තේ, ඔත්තු සේවාවන්ගේ ජනපතිවරයා හැටියට ය. ඔහුගේ දේශපාලන වැටහීම්, සීඅයිඒ උපදෙස් පොත්වලින් ඔබ්බට පැතිරෙන බවක් පෙනෙන්නට නැත. ඔහුගේ පසුබිම දෙස වඩා සමීප ව බැලීමේ උනන්දුවක් ඇති අයට පෙනී යන්නේ, ඔහුට ධවල මන්දිරය කරා මග පෙන්වූ හස්තයන් සෑම විටෙක ම පැවති බව යි. පාලක පන්තිය වෙනුවෙන්, ඔබාමාගේ සුවිශේෂ කාර්යය වූයේ, ඔහුගේත් ඔහුගේ පරිපාලනයේත් අනන්‍යතා දේශපාලනය, වෝල් වීදියේ හා මිලිටරි-ඔත්තු සේවා සංස්ථාපිතයේ යාන්ත‍්‍රනය සමග සංයෝජනය කිරීම යි. ඔබාමා නියෝජනය කිරීමට නියමිත වූ ”වෙනස” පැවතියේ ඔහුගේ සමේ පැහැය තුල මිස ඔහුගේ පිලිවෙත්වල අන්තර්ගතයෙහි නො වේ.

ඩිමොක‍්‍රටික් පක්ෂය වටා සිටින නමට ලිබරල් ඉහල මධ්‍යම පන්තියේ සහ ව්‍යාජ වාම සංවිධාන, තම ව්‍යාජ විරෝධතා අතහැරදැමීම සඳහා අප්‍රිකානු-ඇමෙරිකානුවකුගේ නැගීම ඩැහැගනිමින්, ඔහුගේ පත් වීම ”පරිවර්තනීය” සිද්ධියක් ලෙස වගවර්නනා කලෝ ය. කෙසේ වතුදු, නිර්නයකාරී සමාජ ප‍්‍රවර්ගය වන්නේ වර්ගය නො ව පන්තිය බව ඔහුගේ ධුර කාලය හුදෙක් ම විදහා පෑවේ ය.

ඔබාමාගේ ”ප‍්‍රගතිශීලී” උරුමය පිලිබඳ සියලු අටුවාටීකා මධ්‍යයේ, ඔබාමා ධවල මන්දිරයේ සිටි අට අවුරුද්ද, ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ බලයට ඒමට මග පෑදුවේ කෙසේ දැයි පැහැදිලි කිරීමට කිසිවෙකුත් සමත් බවක් පෙනෙන්නට නැත. එහෙත් සමාජ ජීවිතයෙහි කටුක යථාර්ථය, පුලුල් ව පැතිරුනු කෝපය හා අපේක්ෂා භංගත්වය, සමස්ත දේශපාලන සංස්ථාපිතය පිලිබඳව ම මුලාව දුරු වීමේ හැඟීමක් මැද, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඡන්ද පදනම බිඳ දැමීමකට මග පෑදී ය.

ඔබාමා දැන් ලෝකයට උරුම කර දෙන්නේ, පාලක පන්තියේ දක්ෂිනාංශික කල්ලි දෙකක් අතර බිහිසුනු ගැටුමකි: කතිපයාධිකාරයේ අධිකාරීවාදී හා මිලිටරිවාදී ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් වෙමින් සිටින ට‍්‍රම්ප් පරිපාලනය සහ ඔහු දැනට රුසියාවට එරෙහි ව යුද වැදීම සඳහා වූ තම සූදානම සමග පෙරට යාමට පසුබට වෙතියි වියරු වැටී සිටින, එම පරිපාලනයේ විවේචකයින් එම දෙකොටස යි.

ඔබාමා පරිපාලනයෙහි වාර්තාව හා ඔබාමා නමැති පුද්ගයාගේ චරිතය ම අවසානයේ දී අමතන්නේ -මොන ම පුලුල් සහායක් වත් නොලබා, කැකෑරෙන සමාජ ආතති කල්දේරමක් මත නැගී සිටින, ඇටපොත්තට දියවූ ද ප‍්‍රතිගාමී වූ ද දේශපාලන සංස්ථාපිතයක් වන- ඇමෙරිකානු දේශපාලන ව්‍යූහයට ය. ඇමෙරිකානු ධනවාදයේ ගැඹුරු වන අර්බුදය සහ සමාජ හා විප්ලවවාදී අරගලයන්ගේ නව කාලපරිච්ඡේදයක නැගීම ඔබාමාගේ සැබෑ උරුමය වන්නේ ය.

ජෝසෆ් කිෂෝර්

Share this article: