ආන්ඩුව වංචා හා දූෂන වලට “දඬුවම්” කිරීමේ මුවාවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට යලි පනපෙවීමට සැරසෙයි

මිනුෂ ප‍්‍රනාන්දු විසිනි, 2017 ජනවාරි 03

“වංචා, දූෂන සහ අරමුදල් අවභාවිතයන්ට” වග කිව යුත්තන් ට දඬුවම් කිරීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් පිහිටවිය යුතු යැයි ඉල්ලා සිටින ඒකාබද්ධ අමාත්‍ය මන්ඩල සන්දේශයක් දෙසැම්බර් 11 වෙනිදා අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කෙරුනි. විශේෂ කාර්යයන් පිලිබඳ ඇමති සරත් අමුනුගමගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කරමින් ජෝන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න, චම්පික රනවක ඇතුලු ඇමතිවරු 15 හෙවත් අමාත්‍ය මන්ඩලයෙන් තුනෙන් එකක් අත්සන් කර ඇති අතර ඉදිරියේ දී තවත් අය අත්සන් කිරීමට නියමිත බව වාර්තාවේ.

මෙම යෝජනාව ඉදිරිපත් කෙරී ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන -රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව බරපතල මහජන විරෝධයක් හා නොසන්සුන්තාවයක් වර්ධනය වන කොන්දේසි යටතේය. යෝජිත කොමිසමේ එල්ලය වනු ඇත්තේ “වංචා හා දුෂන” මර්දනය කිරීම නො ව, ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීම පිනිස ආන්ඩුවේ අත ශක්තිමත් කර ගැනීමය.

පවතින නීති රාමුව යටතේ අපරාධ චෝදනා පිලිබඳ නඩු විමසීම් ද සාමාන්‍ය අධිකරන ක්‍රියාවලිය තුල සිදුවන හෙයින් අනවශ්‍ය ලෙස ප‍්‍රමාද වන බවත් දුෂන හා මුල්‍ය වංචාවන් පිලිබඳ චෝදනා විමසා බැලීමට යෝජිත ජනාධිපති කොමිසමකට චුදිතයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ අධිකරනමය බලතල නැති බවත් අවධාරනය කරන ඒකාබද්ධ අමාත්‍ය සංදේශය එම නිසා 1972 ගෙන එන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත යටතේ පිහිටුවන ලද අපරාධ යුක්ති කොමිසම වැනි පුලුල් බලතල සහිත කොමිසමක් පිහිටුවිය යුතු බව යෝජනා කරයි.

පොලිස්පති යටතේ ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ පරීක්ෂන අංශය, සහ විශේෂ අපරාධ පරීක්ෂන ඒකකය මගින් නිම කරනු ලබන පරීක්ෂන වලදී ලබා ගන්නා තොරතුරු මත චෝදනා ලබන්නන්ට එරෙහි නඩු විභාග යෝජිත අපරාධ යුක්ති කොමිසන් සභාව යටතේ විභාග කල යුතු බව සංදේශය ඉදිරිපත් කල ඇමතිවරු අපේක්ෂා කරන බව සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු වාර් තා කරයි.

1972 අපරාධ යුක්ති විනිශ්චය කොමිසන්සභා පනතේ පුලුල් අධිකරන බලතල සහිත වගන්ති ගනනාවක් උපුටා දක්වන සංදේශය, “ජාතික ආර්ථිකය හෝ එහි උත්සුකතාවයන් අනතුරේ හෙලන” අපරාධයන් හි නිරත වන්නන් ට එරෙහිව ක්‍රියා කිරීමේ දී හා පනත විසින් නම් කරන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂන කරගෙන යාමේ දී අවශ්‍යනම් එකී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කොමිසමට බලය තිබිය යුතු අතර ශ්‍රේෂ්ඨාධිකරන නඩු විභාගයක් මගින් වැරදිකරුවන් ලෙස තීන්දු කරන්නන්ට එරෙහිව මරන දඬුවම හැර සෙසු ඕනෑම දඬුවමකට යටත් කෙරෙනු ඇත.

අගමැති සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ලංකා සම සමාජ පක්ෂ (ලසසප) හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ (කොප) සභාග ආන්ඩුව විසින් 1972 අපරාධ යුක්ති කොමිසම් සභා පනත ගෙන එන ලද්දේ සුලුධනේශ්වර ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) 1971 අතිධාවනකාරී කැරැල්ලට සම්බන්ධ චූදිතයන්ට එරෙහිව දඬුවම් පැමිනවීම පිනිසය.

පනත මගින්, චුදිතයන් සම්බන්ධ නඩු විමසීම සඳහා විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ බලය අගවිනිසුරුට පැවරුනු අතර, සාක්ෂි පනත නොතකා කටයුතු කිරීමට බලය පැවරෙන වගන්ති ඊට ඇතුලත් කෙරුනි.

“මෙම පනත යටතේ කොමිසම විසින් කරනු ලබන යම් අනාවරනයක් හෝ දෙනු ලබන යම් දඬුවමක් අවසාන සහ තීරනාත්මක වන අතර එය සංශෝධනය කරන ලෙස ඉල්ලීමෙන්, අභියාචනයෙන්, රිට් හෝ වෙනත් ආකාරයකින්, කවර හෝ උසාවියක හෝ අධිකරනයක ප‍්‍රශ්නයට භාජනය කල නොහැකිය”.

සමගි පෙරමුනු ආන්ඩුව යටතේම දෙවන අපරාධ යුක්ති විනිශ්චය සභා කොමිසම පිහිටුවනු ලැබුවේ විනිමය පාලන වැරදි වලට සම්බන්ධ චුදිතයන් ගැන විභාග කර දඬුවම් පැමිනවීම සඳහාය. ඒ අනුව එජාප ආධාර කරුවන් වූ රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වූ මුබාරක් තහා සහ රේස් බුකි හිමිකරුවෙකු වූ ඒ.ආර් එම් මුක්තාර් විනිමය වංචා චෝදනා මත හිර ගත කරන ලදී.

අපරාධ යුක්ති කොමිසන් පනතට එරෙහිව මහජන විරෝධයක් වර්ධනය වූ තතු යටතේ සිරිමාවෝ බන්ඩාරනායක විසින් 1977 එය සංශෝධනය කරන ලදී. සංශෝධිත පනතට අනුව නව අපරාධ යුක්ති කොමිසමක් පිහිටුවීමේ දී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කල යුතුය. ඒ අනුව එබඳු පනතකට “වැඩිපුර වගන්ති”, එනම් වඩාත් විසකුරු වගන්ති එකතු කල හැකි බව සංදේශය ඉදිරිපත් කල ඇමතිවරුන් පවසා ඇත. වර්ෂාවසාන නිවාඩුවෙන් පසුව ජනවාරි මාසයේ ඇමති මන්ඩලය රැස් වූ විට සංදේශය පිලිබඳ සාකච්ඡා කර තීන්දු ගැනීමට නියමිතය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි විපක්ෂයේ ජවිපෙ සහ ඒ සඳහා සෘජුව හෝ වක‍්‍රව සහාය දුන් ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙන්ම, පුරවැසි බලය හා ධනපති මාධ්‍ය, “වංචා හා දුෂන” මර්දනය කිරීමේ නමින් ආන්ඩුවේ මේ මර්දනකාරී සැලසුම් වලට උඩගෙඩි දෙති.

ජවිපෙ ඊනියා දූෂන විරෝධී පෙරමුනක් පිහිටුවාගෙන ඒ සඳහා උද්ඝෝෂනය කරයි. මහ බැංකුවේ බැඳුම් කර වංචාව සම්බන්දව පරීක්ෂන සිදුකර වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් පිහිටුවිය යුතු යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

එබඳුම යෝජනාවක් පුරවැසි පෙරමුන විසින් ද ඉදිරිපත් කර ඇත. පුරවැසි පෙරමුනේ හිටපු කැඳවුම්කරු මාදුලුවාවේ සෝභිත භික්ෂුව අනුස්මරනය කිරීම පිනිස මෑත පැවති රැස්වීමක දී එහි වර්තමාන කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය: “දූෂන වංචා මැඩීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුනයක් කල යුතුයි. අල්ලස් හෝ දූෂන මැඩ පැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දූෂන පිටු දැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි” බව ජනාධිපති සිරිසේනට හා ආන්ඩුවට කියා සිටියේ ය.

අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවට යලි පන දීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව උත්සාහ කරන්නේ ආන්ඩුවේ දේශපාලන අර් බුදය වඩ වඩා ගැඹුරුවන හා තම ජීවන තත්වයන්ට, සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ, ගම්බද දුගී ගොවීන්ගේ හා තරුන සහ ශිෂ්‍යයන් ගේ කෝපය හා විරෝධය වර්ධනය වන කොන්දේසි යටතේය.

ආන්ඩුවේ අර්බුදය තම වාසියට ගසාකමින් යලි දේශපාලන බලය අල්ලා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මාන බලයි. ආන්ඩුවේ අර්බුදය උග‍්‍ර වී ඇති හෙයින් ලබන වසරේ (2017) ආන්ඩුව පෙරලා බලය අල්ලා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව විදේශ ජනමාධ්‍යවේදීන් සමග පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී රාජපක්ෂ පවසා ඇත.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැනටමත් “ත‍්‍රස්ත විරෝධී”, “ජාතික ආරක්ෂාව” හා “ආගමික අන්තවාදයන් අවුස්සන්නන්ට විරුද්ධ” ආදී වශයෙන් නව මර්දන නීති සමුදායක් ගෙන ඒමට සැලසුම් කර ඇති අතර අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට යලි පනදීමේ මෙම යෝජනාව ආන්ඩුවේ පොලිස් රාජ්‍ය සැලසුම් තවත් ශක්තිමත් කරනු ඇත.

“ජාතික ආර්ථිකය හෝ එහි උත්සුකතාවයන් අනතුරේ හෙලන” අපරාධ මැඩීමේ මුවාවෙන් ගෙන ඒමට සැලසුම් කරන මෙම අපරාධ යුක්ති කොමිසම ක්‍රියාත්මක වනු ඇත්තේ ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට හා එහි ආර්ථික කප්පාදු පිලිවෙත් යටතේ එල්ල වන ප‍්‍රහාරවලට එරෙහිව අරගලවලට තල්ලුකෙරෙන කම්කරු-පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් දඬු ගැසීමටය.

Share this article: