වතුකරයේ පැවති සිනමා උලෙලක් පිලිබඳ සටහනක්

පානි විජේසිර්වර්දන සහ ආර්. ශ්‍රී හරන් විසිනි, 2017 ජනවාරි 14

පසුගිය දෙසැම්බර් 12 සහ 13 යන දිනයන්හි, හැටන් ජාත්‍යන්තර පාසැල් ශ‍්‍රවනාගාරය තුල සුවිශේෂී සිනමා උලෙලක් පැවැත්වුනු අතර, ‘තරුන ජනයා තුල කලාත්මක සිනමාව පිලිබඳව සවිඤ්ඤානකත්වයක් ඇති කිරීම’ උලෙලේ අරමුන ලෙස එය සංවිධානය කොට තිබූ පෙරුවිරල් කලා සහ සාහිත්‍ය ව්‍යාපාරය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබුනි.

බහුතරයක් තරුන තරුනියන් වූ සියයක පමන ප්‍රේක්ෂක සහභාගිත්වයකින් පැවැත්වූ සිනමා උලෙලේ ප‍්‍රධාන ආරාධිතයාවූයේ, යාපනය පදනම් කරගත් සිනමා විචාරකයෙකු වූ සහ අලෛ සඟරාවේ කතුවරයාව සිටි, ඒ. ජේසුරාසා ය. පලමු දිනය ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ දෙමල සිනමාවේ ඉතිහාසය පිලිබඳ වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කෙරුනි.

අනතුරුව, ‘රැබිට්-පෲෆ් ෆෙන්ස්’ (Rabbit-Proof Fence), බයිසිකල් තීෆ් (Bicycle Thief ) සහ ‘ඔබ නැතිව ඔබ එක්ක’ නම් වූ පිලිවෙලින් ඕස්ට්‍රේලියානු, ඉතාලියානු සහ ශ්‍රී ලාංකික සිනමා නිර්මාන තිරගත කෙරුනු අතර සෑම දර්ශනයක් අවසානයේදී ඒ ඒ නිර්මානය පිලිබඳ කෙටි සාකච්ඡාවක් ද විය.

ඔබ නැතිව ඔබ එක්ක පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ විචාරයේ මුද්‍රිත පිටපත් ද, සිනමාව ඇතුලූ සමස්ත කලාවේ වත්මන් අර්බුදය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රමුඛ කලා විචාරක ඩේවිඩ් වොල්ෂ් විසින් ලෝසවෙඅ ට ලියූ ලිපි එකතුවක් දප්‍රේක්ෂකයන් අතර බෙදා හැරීමට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හැටන් ශාඛාව කටයුතු යොදා තිබූ අතර, එය සාකච්ඡාවට රුකුලක් විය.

දෙවන දිනයේ උදේ වරුවේ ආධුනික තරුන සිනමාකරුවන්ගේ කෙටි චිත‍්‍රපට කීපයක් ප‍්‍රදර්ශනය කෙරුනි.

විමල්රාජ් ගේ නිර්මානයක් වන කිච්චන් : නැගෙනහිර පලාතේ දෙමල පවුලක උපත ලබා, සිවිල් යුද්ධයේ ප‍්‍රතිවිපාකයක් ලෙස තම පියා අහිමිව සරසවි ආපන ශාලාවක බැලමෙහෙවර සඳහා තල්ලු කෙරුනු කිච්චන් නමැති පිරිමි දරුවෙකු ගේ කටුක ජීවිතය සහ ඔහුගේ ලමා හැඟීම් පිලිබිඹු කෙරෙන චිත‍්‍රපටයකි.

වරෝධයන් ගේ (සැකය) : තම භාර්යාවගේ දරු ගැබ අන්‍යයෙකු නිසා හටගත්තේ යැයි සැක සිතන සැමියෙකුගේ පීඩනය හමුවේ තම දරුගැබ ඉවත්කර ගැනීමට පෙලැඹෙන ස්ත්‍රියක් පිලිබඳ සිනමා නිර්මානයකි.

සුන්දර් ප‍්‍රසාද් ගේ සිහින කැටය : 2014 දී කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ නාය යාමෙන් සිදුවූ ව්‍යසනය පාදක කොට යාපනය සරසවියේ සිසු සිසුවියන් නලු නිලියන් ලෙස යොදා ගනිමින් කල නිර්මානයකි.

කරුනා කිරුබාකරන් ගේ රක්ත ස්වප්නය : සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ ෆාතිමා රිසානා නම් බාල වයස්කාර දැරිය තමා විසින් රැකබලාගත් බිලිඳා මරා දැමීය යන චෝදනාව මත හිසගසා මරා දැමීම පදනම් කරගත් චිත‍්‍රපටයකි.

නේතාජ් සහ කේසවන් ගේ අප්පඩියා : දරිද්‍රතාව හේතුවෙන් මැදපෙරදිග රැකියා සොයා යන කාන්තාවන් ගේ ඛේදජනක ඉරනම චිත‍්‍රනය කෙරෙන්නකි.

ලින්ග් චින්නා ගේ මීන්දුම් නාම් තොට්ටිලුක්කුල් : දරු ප‍්‍රසූතයක දී මව, පියා, ප‍්‍රසූත කෙරෙන බිලිඳා, වෛද්‍යවරයා ඇතුලු රෝහල් කාර්ය මන්ඩලය අත් විඳින කායික සහ මානසික වේදනාවන්, මානුෂීය ප‍්‍රයත්නයන් සහ අභිලාෂයන් චිත‍්‍රනය කෙරෙන සිනමා නිර්මානයකි.

චිත‍්‍රපට දර්ශන අවසානයේ දී තම නිර්මාන පිලිබඳව අදහස් දැක්වීමට නිර්මානකරුවන්ට ද එම නිර්මාන කලාත්මකව තක්සේරු කිරීමට ප්‍රේක්ෂකයන්ට ද විවර වූ සංවාදය ඉතා වැදගත් සාකච්ඡාවක් බවට වර්ධනය විය.

ආධුනික තරුන සිනමාකරුවන් කල අදහස් දැක්වීමේදී සෑම කෙනෙකුම පාහේ ප‍්‍රකාශ කලේ සිනමා මාධ්‍යය පිලිබඳ කවර හෝ විධිමත් අධ්‍යයනයක් ලැබීමට ඔවුනට අවකාශ නොලැබුනු බවයි. තමා අත තිබූ අවම මෙවලම් වලින්, සමහරවිට දුරකථන කැමරාවකින්, තම නිර්මානයන් සිදුකල ආකාරය පැහැදිලි කලේ, මේ සා පරිමාන තාක්ෂනික දියුනුවක් ලබා ඇති ලොවක තමාට එය අහිමිකර තිබීම සම්බන්ධයෙන් සමස්ත ධනේශ්වර පද්ධතියට එල්ල කෙරෙන අධි චෝදනාවක් ලෙසිනි.

තමා පෙලන ධනේශ්වර ලාභ පද්ධතිය සහ එය ආරක්ෂා කෙරෙන දේශපාලන ප‍්‍රවනතා සම්බන්ධයෙන් නිරවුල් අවබෝධයක් නොමැතිකම සහ අදාල මාධ්‍යය පිලිබඳ දැනුමේ හීනතාවය තිබියදීම ඔවුන් තමා අවට සිදුවන දෑ පිලිබඳව දක්වා තිබූ සංවේදීතාව සාධනීය ය.

බොහෝ නිර්මානකරුවන් තමා ගේ ජීවිත අඳුරු කුටියක සිරකර තබා සිටීම සම්බන්ධයෙන් පාලක පන්තීන් සහ වතුකරයේ වෘත්තීය සමිති ඉටු කරන කාර්ය භාරය පිලිබඳව චිත‍්‍රනය කිරීමට තම නිර්මාන තුලින් උත්සාහ දරා තිබුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලා විචාරක පානි විජේසිරිවර්දන සංවාදයට මැදිහත් වෙමින් මෙසේ පැවසීය: ‘සැබැවින්ම සංස්කෘතිකමය වශයෙන් පරිහානිගත මෙවන් යුගයක, විශේෂයෙන්ම දිගු කාලයක් පුරා අනේකවිධ නොතකා හැරීම් වලට ලක්වූ ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපීඩිත කම්කරුවන් වන වතු කම්කරුවන් වෙසෙන ප‍්‍රදේශයක දෙමල කතා කරන තරුනයන්ට ජාත්‍යන්තර සම්භාවනාවට පාත‍්‍ර වූ ජාත්‍යන්තර සිනමා නිර්මාන හඳුන්වා දීම පමනක් වුවත් පැසසිය යුතු කරුනක්.’

‘වතුකරයේ තරුන තරුනියන්ගේ උනන්දු සහගත සහභාගිත්වයෙන්ම කලාව ඇතුලු සංස්කෘතියේ සාධනීය අංශයන් ඇසුරු කිරීමෙන් තම ජීවිත සුපුෂ්පිත කර ගැනීමට ඔවුනට ඇති පිපාසය පැහැදිලි වෙනවා.’

කලාව යනු ජීවිතය ඥානනය කිරීමේ මාධ්‍යයක් බවත් මෙම ආධුනික සිනමාකරුවන් තමා අවට ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට හැරී තම මාධ්‍යය ඔස්සේ ඒවා ඥානනය කිරීමට දරා ඇති උත්සාහයෙන් පෙන්වා ඇත්තේ කලාවේ මූලික කාර්ය භාරය සම්බන්ධයෙන් ඔවුන් දක්වන ආකල්පයේ සාධනීයත්වය බැව් විජේසිරිවර්දන පෙන්වා දුන්නේය.

‘කෙසේ නමුත් කලා නිර්මානයක සංයුක්තභාවය ඉතා වැදගත්. මෙම ආධුනිකයන්ගේ නිර්මානයන් හි පැවති වියුක්තභාවය හේතුවෙන් ඒවායේ කලාත්මකභාවය ට හානි සිදුව තිබෙනවා’

‘එසේ වුවද, මෙම නිර්මාන අතරින් සංයුක්තභාවය රැකගත් සහ ඒ හේතුවෙන් තීව‍්‍ර හැඟීම් සහ මනෝභාවයන් ජනිත කොට සහෘදයා කම්පනය කිරීමට සමත් වූ නිර්මාන පැවතියා. මීන්දුම් නාම් තොට්ටිලුක්කුල් ඉන් විශේෂයි. සැබැවින්ම කලා කෘතියක පැවතිය යුතු තවත් සුවිශේෂී අංගයක් වන පෙර නොවූවිරූ බව හෙවත් අපූර්වත්වය එහි මැනැවින්ම පැවතුනා.’

‘අවසාන වශයෙන් මට සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ, කලා නිර්මානයේ දී අප අවට ලෝකය පිලිබඳව, නැතහොත් සමාජ-ආර්ථික-දේශපාලන සබඳතා පිලිබඳව නිරවද්‍ය සහ සංයුක්ත වැටහීමක අත්‍යවශ්‍යභාවයයි. මේ සඳහා මාහැඟිම ප‍්‍රතිපදානය කරනු ලබන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. එය කියැවීමට හැරෙන ලෙස මෙහි සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.’

කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේදී, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශිවමෝහන් සුමති ගේ නිර්මානයක් වූ ඉංගිරින්දු නම් වෘත්තාන්ත චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය විය.

එම චිත‍්‍රපටය පිලිබඳ සංවාදය විවර කල සැනින් නැගී සිටි මාඕවාදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂයේ සාමාජිකයෙකු, චිත‍්‍රපටය පිලිබඳ සෞඛ්‍යමත් සාකච්ඡාවක් වලකා එය අපගමනය කරනු වස්, ‘චිත‍්‍රපටය නිර්මානය කලේ අචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා ද නැතහොත් රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් මුදල් ලබා ගැනීම සඳහා ද?’ යැයි එහි පැමින සිටි ආචාර්ය සුමතිගෙන් ප‍්‍රශ්න කලේය. බලගතු අපහසුතාවයකට පත් වූ ආචාර්ය සුමති තම නිර්මානය සඳහා මුදල් උපයාගත් ආකාරය යම් වේදනාකාරී ස්වරයකින් විස්තර කරන්නට යෙදුනේය.

ඒ මොහොතේ නැගී සිටි විජේසිරිවර්දන ඉහත මැදිහත් වීමට විරෝධය පෑවේය. ‘කලා කෘතියක් පිලිබඳ තක්සේරුවකට යාමේදී මෙවන් ප‍්‍රවිෂ්ටයක් කලා විරෝධී මෙන්ම සදාචාර විරෝධී වෙනවා. කෘතිය පිලිබඳව තක්සේරුවකට යා යුත්තේ එය තුලින්මයි. වෙනත් අයුරකින් පවසන්නේ නම් එහි කලාත්මක සහ සමාජ විද්‍යාත්මක සත්‍යය පිලිබඳව විමසා බැලීමෙනුයි එය තක්සේරු කල යුත්තේ.’

සංවාදය අවසානයේ දී සසප සාමාජිකයන් සමග තවදුරටත් සාකච්ඡාවේ යෙදුනු මෙම කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් කලාව පිලිබඳවත් සසප දේශපාලනය පිලිබඳවත් බොහෝ කරුනු විමසූහ. සසප සාහිත්‍ය මේසයෙන් පොත්පත් මිල දී ගත් ඔවුහු ඉදිරි සාකච්ඡාවන් සඳහා ලිපිනයන් සහ දුරකථන අංකයන් ද ලබා දුන්හ.

Share this article: