සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් මිනිස්බල සේවකයන් යලි වැඩවර්ජනයේ

විජිත් සමරසිංහ හා ජෝතිපාල දැදිගම විසිනි, 2017 ජනවාරි 5

තම ගැටලු කිසිවකට මොනම විසඳුමක්වත් ලැබී නොමැති තතු යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මිනිස් බල සේවකයෝ දෙසැම්බර් 26 සිට යලි වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. හියුමන් කැපිටල් සොලූෂන්ස් නමැති සමාගමට, අනුයුක්තව සේවය කරන ටෙලිකොම් මිනිස්බල (මෑන් පවර්) සේවකයින් ගෙන් 2,100 දෙනකුට වඩා වසර 7ක් ඉක්මවා සේවය කර තිබේ.

කම්කරු ප‍්‍රඥප්තියට අනුව දින 180 ඉක්මවා අඛන්ඩ සේවයක් සහිත සියලු සේවකයන් ස්ථිර සේවයට අනුයුක්ත කල යුතු ය. 2015 ජනාධිපතිවරනය ආසන්නයේ ජනාධිපති සිරිසේන සියලු මිනිස්බල සේවකයන් ස්ථිර කරන බවට පොරොන්දු වු අතර, මැතිවරනයට පසුව ගෙන ආ අතුරු අයවැයෙන් එය සංශෝධනය වී වසර 7ක සේවා කාලයක් ඉක්මවූ සේවකයන් පමනක් ස්ථිර කිරීමට යෝජනා විය.

නමුත් මෙතෙක් ස්ථිර පත්වීම් ලබා දී ඇත්තේ 121 දෙනෙකුට පමනක් බව වැඩ වර්ජකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුහ. මේ සේවකයින් වහාම ස්ථිර කිරීම හා සියලු මිනිස් බල සේවකයින්ගේ මූලික කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම වැඩවර්ජනයේ නියුතු කම්කරුවන්ගේ ඉල්ලීම් වේ.

හියුමන් කැපිටල් සොලූෂන්ස් සමාගම රියදුරු, තාක්ෂනික සහකරු, වැඩ සහකරු හා පාරිභෝගික සේවා නිලධාරි ඇතුලු විවිධ සේවාවන් සඳහා කම්කරුවන් බඳවාගන්නේ කලින් කලට වෙනස් වන අත්තනෝමතික පටිපාටින්ට අනුවය. ස්ථිර ටෙලිකොම් සේවකයන්ට හිමි නිල ඇඳුම් දීමනා, පාරිතෝෂික දීමනා ඇතුලු අයිතිවාසිකම් බොහොමයක් මේ සේවකයන්ට අහිමි ය.

ටෙලිකොම් මිනිස්බල සේවකයන්ගේ මේ ගැටලු නොවිසඳීමට එරෙහිව අවස්ථා ගනනාවකදීම ඔවුන් අරගල වලට අවතීර්න වුවත්, වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් ඒවා විසඳුමකින් තොරව නවතා දැමින. 2016 මැයි මාසයේදී කම්කරුවන් දියත් කල වැඩවර්ජනය නවතා දැමුනේ, මිනිස්බල සේවකයින් වහාම ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කර ස්ථිර කරන බවට කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න ලබාදුන් බොරු පොරොන්දුවකට, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය විසින් කම්කරුවන් යටත් කිරීමෙනි.

මෙම පොරොන්දු ඉටු නොවන තතු යටතේ, නැවත වරක් සේවකයින් ගනනාවක් කොලඹ කොටුව ප‍්‍රධාන සන්නිවේදන කුලුන මතට නැග උද්ඝෝෂනයක් ආරම්භ කල අතර, ඇමති මහින්ද අමරවීර මැදිහත් වී, ඔවුන්ගේ ගැටලු ගැන වහාම සොයා බලන බවට නැවත බොරු පොරොන්දුවක් ලබාදීමෙන් සමිති නායකයන්ගේ සහාය ඇතිව වර්ජනය නතර කර ගැනීමට ආන්ඩුව හා ටෙලිකොම් පාලකයන් සමත් විය.

වසර 17ක් මිනිස්බල පදනමේ සේවය කර ඇති කම්කරුවෙක් ලෝසවෙඅ වෙත පැවසුවේ තමන් 2000 වසරේදී සේවයට බැඳුනේ රු. 3500ක වැටුපකට බවත්, ඒ ඉක්මනින්ම ස්ථිර සේවයට අනුයුක්ත කරන පොරොන්දුව මත බවත්ය. “මම මිනිස්බල කම්කරුවන්ගේ ප‍්‍රශ්න පිලිබඳව දිගින් දිගටම වෘත්තිය සමිති නායකයන් සමග කතා කලා, ඒත් දැන් ඒ නායකයන් බහුතරයක් පාලනාධිකාරිය එක්ක හිටගෙන අපට විරුද්ධව වැඩ කරනවා.” කලින් කලට මිනිස් බල සමාගමේ නම වෙනස් කරමින් වෙනත් නම් වලින් ලියාපදිංචි කරන බවද ඔහු පැවසීය.

“මේ සමාගමෙන් ලාභ හොයන්නේ පාලනාධිකාරියේ ඉන්න අයම තමයි. අපට මුලික ස්වක අයිතීන් ගොඩක් නැතිකරලා තියෙනව. දවසක් නෝ පේ (පඩි රහිත නිවාඩු) ගියොත් රු. 1,500 ක් විතර කපනවා” තවත් දීර්ඝ කාලීන මිනිස්බල කම්කරුවෙක් වන තිලකරත්න පැවසීය. “සේවකයන්ගේ මූලික අවශ්‍යතාවත් ඉෂ්ට කරන්න සල්ලි නැහැ කියනවා, හැබැයි දශලක්ෂ ගනන් වියදම් කරලා සරසවි සම්මාන උලෙල කරන්න සල්ලි තියෙනවා.”

මිනිස් බල කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සටන් කරන කම්කරුවන්ට මුහුන දීමට සිදුවී ඇති මර්දනය පැහැදිලි කරමින්, රියදුරෙක් වශයෙන් සේවය කරන ප‍්‍රමිත් කියා සිටයේ “අපි ටෙලිකොම් කුලුන උඩ නැගල උද්ඝෝෂනය කලාම, ඇමති ඇවිල්ල පොරොන්දු වුනා, බහින්න ප‍්‍රශ්න විසඳා දෙන්නම් කියලා. නමුත් ඒත් එක්කම අපි තුන් දෙනෙකුට මාරුවීම් දුන්න ඈත පලාත් වලට. මාව දැම්ම බදුල්ලට. දැන් අපි 6 දෙනෙකුට විරුද්ධව අධිකරන වාරනයක් අරගෙන තියෙනවා මොනම දේශපාලන හෝ වෘත්තිය සමිති කටයුත්තකවත් යෙදෙන්න බැහැ කියල.”

තම ව්‍යාපෘති කාලය අවසන් බැවින් සේවය අවසන් කිරීමේ ලියුම් ලබා සිටින තරුන සේවිකාවන් පිරිසක් වන නිශාදි, මල්මි හා ශී‍්‍රමති ලෝසවෙඅ වෙත කරුනු දක්වමින් මිනිස්බල සේවකයින් මුහුන දී සිටින අමානුෂික සේවා කොන්දේසි පැහැදිලි කලෝය. 2014 දී අපි 17 දෙනෙක් බඳවා ගත්තේ කස්ටමර් සර්විස් (පාරිභෝගික සේවා) නිලධාරිනියන් හැටියට, එහිදී ව්‍යාපෘති පදනමකින් බඳවා ගන්නව කියල මොනම සඳහනක්වත් කලේ නැහැ. ඊට පස්සේ තාවකාලිකව කියල අපිව ඬේටා එන්ටි‍්‍ර (දත්ත ඇතුලත් කිරීමේ කි‍්‍රයාකරුවන්) විදියට ව්‍යාපෘතියකට දැම්මා. දැන් හදිසියේම ටර්මිනේෂන් (සේවය අවසන් කිරීමේ) ලියුම් එවලා තියෙනවා. නමුත් කස්ටමර් සර්විස් පුරප්පාඩු ඕනේ තරම් තියෙනවා.”

මිනිස්බල සේවකයන් මෙන්ම ස්ථිර සේවකයන්ද මුහුන දී ඇති දරුනු ජීවන හා රැකියා ස්ථාන කොන්දේසි වලට එරෙහිව ඔවුන් අරගල වලට පිවිසෙමින් සිටින තතු යටතේ කම්කරුවන් බෙදා වෙන්කර එකිනෙකාට එරෙහිව පිහිටුවීමට ආන්ඩුවත්, ටෙලිකොම් පාලනාධිකාරියත්, වෘත්තිය සමිති නායකත්වයත් වැඩට බස ගෙන ඇත.

මේ අනුව හියුමන් කැපිටල් සමාගමට අනුයුක්ත මිනිස්බල සේවකයින් සම්බන්ධයෙන් ගන්න තීරනය කුමක් විය යුතුද යන්න ස්ථිර කම්කරුවන්ගෙන් විමසීමට පාලනාධිකාරිය සමීක්ෂනයක් කැඳවා ඇත. මිනිස්බල කම්කරුවන්ට එරෙහිව ස්ථිර සේවකයන් උසිගැන්වීමට ගෙනවිත් ඇති, කිසිඳු නෛතික බැඳීමක් නැති මේ ප්‍රෝඩාකාරී මත විමසුමට වෘත්තිය සමිති නායකත්වයද සම්පූර්නයෙන්ම කරබදු වී ඇත.

මුලික කම්කරු අයිතීන් අමු අමුවේ උල්ලංගනය කරමින් නූතන වහල් මෙහෙයක යොදවා ඇති මිනිස්බල කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව පෙරට එමින් පාලකයන්ගේ මේ විසකුරු ප‍්‍රයත්නය පරදවන ලෙස ස්ථිර සේවකයන් දැනුවත් කරනු වෙනුවට, ස්ථිර සේවකයන්ගේ “වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීම” සඳහා “බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියට පරිබාහිරව කිසිම බඳවා ගැනීමක් හෝ උසස් කිරීමක් සඳහා මනාපය පල නොකරන” ලෙස “ශී‍්‍ර ලංකා ටෙලිකොම් සියලු වෘත්තිය සමිති” තම සාමාජිකත්වයෙන් ඉල්ලා ඇත.

බඳවා ගැනීමේ පටිපාටිය සකස් කර ඇත්තේ ටෙලිකොම් පාලකයන් ට සහ සමිති නිලධරයට අභිමත ආකාරයට ය. එහෙත් ඊනියා පටිපාටියෙන් පිටස්තරව අඩු වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි යටතේ මිනිස් බල සේවකයන් මේ දක්වා වසර ගනනාවක් සේවයේ යොදවාගෙන ඇත.

රජයේ හා පුද්ගලික අංශයේ ස්ථිර සේවකයන් ප‍්‍රමානය අවම කර, කොන්ත‍්‍රාත් හා මිනිස්බල පදනම යටතේ කිසිදු කම්කරු අයිතිවාසිකමක් නොමැති ශ‍්‍රම සංචිතයක් ගොඩනගා ගැනීම, පසුගිය ආන්ඩුව මෙන්ම වර්තාමන ආන්ඩුව ද ලෝක බංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත කි‍්‍රයාත්මක කරන කප්පාදු වැඩ පිලිවෙලේ මූලිකම පියවරකි. ශී‍්‍ර ලංකා ටෙලිකොම් පමනක් නොව, වරාය, විදුලිබල මන්ඩලය හා ජල සම්පාදන මන්ඩලය වැනි ආයතන ගනාවකම මිනිස්බල කම්කරුවන් මුහුන දී සිටින්නේ බරපතල සේවා කොන්දේසි වලටය. පුද්ගලික අංශයේ තත්වය ඊටත් වඩා භයානයකය.

එකක් පසුපස එකක් ආකාරයෙන් පුපුරා යමින් පවතින රාජ්‍ය අංශයේ මිනිස් බල සේවකන්ගේ අරගල හුදෙකලා කර, මර්දනයෙන් හා බොරු පොරොන්දු දී දියකර හැරීමේ ආන්ඩුවේ තැතට වෘත්තිය සමිති සම්පූර්නයෙන්ම කරබදු වී සිටිති. ටෙලිකොම් මිනිස්බල කම්කරුවන් ඉදිරියේ ඇති කර්තව්‍ය නම්, මේ ද්‍රෝහී වෘත්තිය සමිති වලින් බිඳී, කම්කරුන්ගේම ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගනිමින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පිහිටා තම අයිතීන් සුරක්ෂිත කරගැනීම සඳහා සම්මුති විරහිතව සටන් කිරීමයි. මෙහිදී තම අරගලය ටෙලිකොම් ස්ථිර සේවකයන් අතරට මෙන්ම, රජයේ හා පුද්ගලික අංශයේ අනෙකුත් මිනිස්බල කම්කරුවන් අතරට ද ගෙනයාම අත්‍යවශ්‍ය වේ.

Share this article: