ට‍්‍රම්ප් ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරීත්වය ඉවත ලා වෙලඳ යුද්ධයේ න්‍යාය පත‍්‍රය පෙරට ගනියි

Trump scraps TPP and outlines trade war agenda

මයික් හෙඩ් විසිනි, 2017 ජනවාරි 23

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, අනෙකුත් රටවල වියදමෙන් ඇමරිකානු ආර්ථිකය පිම්බීමේ සිය ආක‍්‍රමනශීලි ”පලමුව ඇමරිකාව” න්‍යායපත‍්‍රයේ කොටසක් ලෙස, පොරොන්දු වූ පරිදිම තමන් බලයට පත් පලමු දිනයේදී, ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරීත්වයේ (ටීපීපී) වෙලඳාමට අයත් රටවල් සමූහයට මරු පහරක් දී ඇත.

වැඩ බාරගැනීමෙන් පැය ගනනක් තුල ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර වෙබ්අඩවිය අවධාරනය කලේ, ටීපීපීයෙන් ඉවත්වීමට ඇති ඔහුගේ කැමැත්ත පමනක් නොවේ. ටෝකියෝ, මෙක්සිකෝ සිටි, ඔටාවා සහ කැන්බරා යන අසියා-පැසිෆික් කලාපය අවට අගනගරයන් තිගැස්මට පත් කරමින්, උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම (නැෆ්ටා) පිලිබඳව යලි සාකච්ඡා කල යුතු බව ද එය කියා සිටියේය.

”පලමුව ඇමරිකාව යන විදේශ ප‍්‍රතිපත්තිය” සහ ”අපේ මිලිටරිය නැවත ශක්තිමත් කිරීම” ට සමාන්තරව වෙබ්අඩවිය සඳහන් කලේ, ට‍්‍රම්ප් පරිපාලනයේ ඉහලම ප‍්‍රමුඛතාවලින් එකක් ලෙස, ”ඉහලයන වෙලඳ හිඟයට සහ වැනසීයන නිෂ්පාදන පදනමට” හේතුව බව කියන, ”අසාර්ථක වෙලඳ ගනුදෙනු ප‍්‍රතික්ෂේප කිරීම සහ වෙනස් ආකාරයකට හැඩගැස්සීම” සඳහා වන ක්‍රියාදාමයක් ඇමරිකානු ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ඇති බව ය.

”මෙම මූලෝපාය ඇරඹෙන්නේ, ට‍්‍රාන්ස් පැසිෆික් හවුල්කාරීත්වයෙන් ඉවත්වෙමින් සහ ඕනෑම නව වෙලඳ ගනුදෙනුවක් ඇමරිකානු කම්කරුවන්ගේ යහපත පිනිස බව සහතික කෙරෙමිනි. ජනාධිපති ට‍්‍රම්ප් නැෆ්ටා හවුල ගැන යලි කතිකා කිරීමට කැපව සිටියි. අපගේ හවුල්කාරයින් ඇමරිකානු කම්කරුවන්ට සාධාරන පංගුවක් ලැබෙන වර්ගයේ සාකච්ඡාවක් ප‍්‍රතික්ෂේප කරනවා නම්, ජනාධිපති නැෆ්ටාවෙන් ඉවත්වීමේ ඇමරිකානු අභිප‍්‍රාය නිවේදනය කරනු ඇත.”

ඇමරිකානු කම්කරුවන් සඳහා ”සාධාරන පංගුවක්” පිලිබඳ නරුම ලෙස දොඩවමින් මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ, ඇමරිකානු ධනවාදයේ දිග්ගැස්සෙන ජරපත්වීම නවතාගැනීමට, සංගත ලාභයට රුකුල් දෙමින් ඇමරිකානු මූල්‍ය ප‍්‍රභූව තව තවත් තරකිරීමට මං සොයන, අමු ජාතිකවාදී සහ ආරක්ෂනවාදී න්‍යායපත‍්‍රයකි. එය, චීන ආයෝජන වලට සියයට 45ක දඩ නියම කිරීම වැනි නාස්තිකවාදී තීරු බදු පැනවීමත් සමග ඇමරිකාවේ සහ ලෝකය පුරා කම්කරුවන්ට ව්‍යසනකාරී ප‍්‍රතිපල ජනනය කරනු ඇති ගෝලීය වෙලඳ යුද්ධයක් අවුලුවාලනු ඇත.

මෙය ඇමරිකාව හුදෙකලාව දෙසට පසුබැසීමක් නොවන අතර චීනය සහ ජපානය ප‍්‍රමුඛ ආසියා-පැසිෆික් කලාපය පුරා ඇමරිකාවේ ආර්ථික සහ මූලෝපායික එදිරිවාදීන් මත සිය අධිකාරය යලි තහවුරු කරගැනීමට ඔබාමා පරිපාලනය විසින් ඒ වනවිටත් ආරම්භකර තිබූ ප‍්‍රහාරය නාටකීය ලෙස තියුනු කිරීමකි. රටවල් දොලහේ ට‍්‍රාන්ස්-පැසිෆික් හවුලමත් කිසිදා නිදහස් වෙලඳ ගිවිසුමක් වූයේ නැත. එය විශේෂයෙන් චීනය දනගැස්සවීම ඉලක්ක කෙරුනු, ඇමරිකාව විසින් මෙහෙයවන ලද, චීනය ඇතුලත් කර නොගත්, රටවල් සමූහයක් වූ අතර එමගින්, කලාපයේ සම්පත් සහ වෙලඳපල ඇමරිකාවේ මූල්‍ය, මාධ්‍ය, ඖෂධ සහ අනෙකුත් බහුජාතික යෝධයින් විසින් නිර්බාධිතව කොල්ලකෑම සහතික කෙරින.

ටීපීපීය ඔබාමාගේ ”ආසියාවට හැරීමේ” -චීනය වටලෑම සහ දනගැස්වීම සඳහා වූ සැලසුම්ගත මිලිටරි, රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වැඩසටහන- තීරනාත්මක අංශයකි. ඔබාමා පුන පුනා කියූ පරිදි ”21 වන සියවස තුල වෙලඳාම පිලිබඳ නීති රීති ලියන්නේ” චීනය නොව, ඇමරිකාව බව තහවුරු කිරීම එහි අරමුනයි. මෙහෙයුමේ කොටසක් ලෙස ටීපීපීය, වොෂින්ටනයේ තීරනාත්මක මිලිටරි සගයන් දෙදෙනා වන ජපානය සහ ඕස්‍ට්‍රේලියාව ප‍්‍රමුඛ කරගෙන, කලාපය පුරා සන්ධානය තිර කරගැනීමට යත්න දැරූ අතර එම රටවල් දෙකම, ඇමරිකානු සහ අනෙකුත් ටීපීපී වෙලඳපලවල් තුලට දැවැන්ත ප‍්‍රවේශයක් බලාපොරොත්තු වූහ.

ටීපීපීය ඉවතලා, දශක දෙකක් වයසැති නැෆ්ටාව ඉලක්ක කිරීම මගින් ට‍්‍රම්ප් පැහැදිලිව පෙන්නුම් කර ඇත්තේ, ඔහුගේ පරිපාලනය, ලෝක වෙලඳාම බිඳ දමා දෙවන ලෝක යුද්ධයට වේදිකාව තැනූ, 1930 ගනන්වල උද්ගත වූ ආර්ථික යුද්ධ වැලැක්වීමට උත්සුක වූ, පැරනි පශ්චාත් යුද සැකැස්ම තුල ක්‍රියා නොකරන බවයි.

ටීපීපී ගිවිසුම සඳහන් කරන පරිදි එයට ඉදිරියට යා හැක්කේ, යටත් පිරිසෙයින් එහි මුල් සාමාජිකයන් 12න් හයක් ගිවිසුම ස්ථිර කරන්නේ නම් පමනක් සහ එම රටවල් හය සමස්ත රටවල් දොලහේම දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 85ක් නියෝජනය කරන්නේ නම් පමනකි. එහි අර්ථය, ඇමරිකාව එය ස්ථිර නොකලහොත් ගිවිසුම බලාත්මක කල නොහැකි බවයි. මන්දයත් ඇමරිකාව දදේනි එකතුවෙන් සියයට 55කට වගකියන බැවිනි.

රට තුල කල් ඇදෙන පල්වීම හමාර කිරීමේ සිය ”අබෙනොමික්ස්” වැඩසටහනෙහි ප‍්‍රධාන ආධාරකයක් ලෙස ටීපීපීය මත වාරු වී සිටින ශින්සෝ අබේ අගමැතිකම දරන ජපානය ඇතුලු කලාපය පුරා පාලක කොටස් අතර පවතින්නේ ත‍්‍රාසයකි. ජපානයේ මෝටර් රථ සහ යෝධ සංගත ඇමරිකානු වෙලඳපලට ඇතුලුවීමේ මාර්ගයක් ලෙස මෙක්සිකෝව තුල අඩු වැටුප් ක්‍රියාවලීන් ස්ථාපනය කිරීමට, නැෆ්ටාව භාවිතා කර ඇත. අද වන විට ඇමරිකාවට සහ කැනඩාවට අපනයන කරන කේන්ද්‍රය ලෙස, මෙක්සිකෝව තුල තමන්ගේ කර්මාන්ත ශාලා උපයෝගී කරගන්නා ටොයෝටා, නිසාන් සහ හොන්ඩා සමාගම් විසින් මෙහෙයවෙන ජපන් සමාගම් 1000ක් පමන මෙක්සිකෝව තුල ඇත.

ට‍්‍රම්ප් ටීපීපීයෙන් ඉවත්වීම වලකාලීම සඳහා ගැනුනු අවසාන උත්සාහයකදී පසුගිය මස ජපාන පාර්ලිමේන්තුව, තුල නිල වශයෙන් ගිවිසුම ස්ථිර කිරීම වෙනුවෙන් පෙනී සිටි නමුදු ට‍්‍රම්ප්, පැහැදිලි ලෙසම සිය අභිලාශය මුදුන්පත් කර ගැනීමට පියවර ගත්තේය. පසුගිය සතියේ ජපානයේ ස්ථාවරය ශක්තිමත් කිරීමට අබේ පිලිපීනයට, ඕස්ට්‍රේලියාවට, ඉන්දුනීසියාවට සහ වියට්නාමයට කඩිනම් සංචාර කිහිපයක් යොදාගත්තේය.

ඕස්ට්‍රේලියාවේදී අබේ සහ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, ටීපීපීයට සිය සහය යලි තහවුරු කලේ, ගිවිසුමේ ”අර්ථභාරී ආර්ථික සහ මූලෝපායික වාසි” නිසා එය අත්නොහැරිය හැකි ප‍්‍රමුඛතාවක් දරන බවට ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත්කරමිනි. අබේ සහ ටර්න්බුල් ඇමරිකාව සමග තමන්ගේ ගෞරවනීය මිලිටරි සන්ධානය වෙනුවෙන් සිය කැපවීම පොරොන්දු වූ නමුදු ටීපීපීය රැකගැනීම සඳහා ඔවුන් කල කන්නලව්ව ට‍්‍රම්ප් කෙලින්ම ඔවුන්ගේ මුහුනට දමා ගසා ඇත.

ඊයේ යොමියුරි ශිම්බුන් (ජපානයේ ප‍්‍රධාන පුවත්පතක් - පරිවර්තක) ට අනුව සිය වෙලඳ ප‍්‍රතිපත්තිය යලි සලකා බැලීමට දැන් ජපාන ආන්ඩුවට බලකෙරී ඇත. ජපානයේ වානිජ්‍ය සහ කර්මාන්ත මන්ඩලයේ සභාපති අකි ඕ මිමුරා, ට‍්‍රම්ප්ගේ ”පලමුව ඇමරිකාව” ප‍්‍රතිපත්තිය හෙලාදකිමින් ප‍්‍රකාශයක් නිකුත් කර ඇත්තේ, එය ”අර්ථභාරී ලෙස ගෝලීය ආර්ථිකයේ වර්ධනයට සහාය වන විවෘත වෙලඳපල ක‍්‍රමයට බාධා කරමින්,” ආරක්ෂනවාදය පැතිරීමට අනුග‍්‍රහය සපයන බව කියමිනි.

”මුලු ලෝකයම අපට බය කර ගත යුතුය” යන ට‍්‍රම්ප්ගේ සමාරම්භක පනිවුඩය ආර්ථික යුද්ධයට පමනක් සීමා නොවී, කැන්බරාව මිලිටරිමය වශයෙන් වාරුවී සිටින ඇමරිකාව සහ එරට විශාලතම අපනයන වෙලඳපල වන චීනය, අතර මිලිටරි ගැටුමක් උත්සන්න කිරීමේ ම අන්තරාය දකින ඕස්ට්‍රේලියානු සංගත සහ මාධ්‍ය ප‍්‍රභූවේ නොසන්සුන්කම පැහැදිලිය.

අද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ශල් රිවිව් කතුවැකිය, ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ ”අනාගත ලෝක වෙලඳාම හෙල්ලුම් කෑමක්” ලෙස විස්තර කලේය. ටර්න්බුල්ගේ ආන්ඩුව තවමත් කියමින් සිටින්නේ ටීපීපීය බේරාගැනීමට තමන්ට ”හැකි වෙර යොදා” කටයුතු කරන බව හෝ ඇමරිකාව රහිතව ”දෙවන වර්ගයේ” ගිවිසුමක් ක්‍රියාවට දැමීමට උත්සාහ ගන්නා බවයි. වෙලඳ ඇමති ස්ටීව් කිඔබෝ ගිය සතියේ ස්විට්සර්ලන්තයේදී, ජපාන, කැනඩා සහ මෙක්සිකෝ නිලධාරීන් සමග සාකච්ඡා කලේ, ඇමරිකාව රහිතව ”ටීපීපී ය ඉදිරියට ගෙන යාමේ මාර්ග” පිලිබඳවයි.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයට චීන තන්ත‍්‍රයේ ප‍්‍රතිචාරය නිහඬ වීමයි. සාමාන්‍යයෙන් ඝෝෂාකාරී ග්ලෝබල් ටයිම්ස් යන රජය සතු පුවත්පත පවසන්නේ, ”ටීපීපීයට එරෙහිව චීනය ඉදිරිපත්කර ඇති කලාපීය අවබෝධතා ආර්ථික හවුල්කාරීත්වය (ආර්සීඊපී) පිලිබඳ සාකච්ඡාවන් අවසානයේ යම් ජවයක් ලැබිය හැකි නමුත් චීනය ඇතුලු කිසිදු රටක් තවමත් ජය සමරන්නේ නැති අතර එක්සත් ජනපදයේ සුවිශේෂී ප‍්‍රතිපත්ති හා කටයුතු ඉදිරියට යනු ඇත්තේ කෙසේදැයි වටහා ගැනීමට උත්සාහ කරමින් සිටින” බවයි.

රටවල් 16ක ආර්සීඊපීයට, ඇමරිකාව හැර, ගිනිකොනදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ රටවල් වන චීනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය, දකුනු කොරියාව සහ නවසීලන්තය ඇතුලත් වනවා ඇත. ජපාන සහ චීන වෙලඳ නිලධරයෝ, ආර්සීඊපීය වර්ධනය කිරීම සඳහා පසුගිය මාසයේදී ටෝකියෝවේදී රැස්වූහ. මෙම පියවරයන් ඉදිරියට ගියහොත් ට‍්‍රම්ප්ගේ කුරුමානමට හසුවන්නේ චීනය පමනක් නොවේ. ජපානය වඩ වඩාත් ඇමරිකාව සමග ආරවුලක පැටලෙනු ඇත.

Share this article: