ඩෙංගු රෝගයට ගොදුරු වූ සරසවි සිසුවියගේ මරනයේ වගකීම අසල්වැසියන් හා සේවකයන් මත පැටවෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 8

ඩෙංගු රෝගයෙන් ශිෂ්‍යාවක් මිය යාම හේතුවෙන් පැන නැගුනු ශිෂ්‍ය උද්ඝෝෂනයත් සමග පසුගිය ජුලි 1 දා මොරටුව විශ්ව විද්‍යාලය සති දෙකකට වසා දැමුනි. මියගිය විසිතුන් වියැති චේතනා අබේකෝන් තොරතුරු තාක්ෂන පීඨයේ සිසුවියකි. මේ වන විට මොරටුව විශ්ව විද්‍යාල සිසුන් 80කට අධික පිරිසක් ඩෙංගු රෝගය නිසා රෝහල් ගතවී සිටින බව වාර්තාවේ. මේ වසරේ ගෙවීගිය මාස කිහිපය තුල, ඩෙංගු රෝගීන් 77,222 ක් ද ඩෙංගු රෝගය නිසා සිදුවූ මරන 220 ක් ද සමස්ත දිවයිනෙන් වාර්තා වී ඇත

මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු ශිෂ්‍ය සංගමය සිසුවිය මියයාමෙන් පසු හදිසි පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කල අතර ඔවුන් කියා සිටියේ මසකට පමන පෙර ඩෙංගු අනතුර පිලිබඳව බලධාරීන් දැනුවත් කලත් විශ්ව විද්‍යාලය වසා දැමීමට මෙම මරනය සිදුවනතුරු කල් පමා කල බවයි.

විශ්ව විද්‍යාලය වසා දැමීමත් සමග, මාධ්‍යයන් විසින් ප‍්‍රශ්න කරන ලදුව, උප කුලපති ආනන්ද ජයවර්ධන පැවසුවේ විශ්ව විද්‍යාලය තුල ඩෙංගු මදුරු කීටයන් ඇති ස්ථාන නොමැති අතර සිසුන් නැවතී සිටින විශ්ව විද්‍යාලය අවට නිවාස ආදිය තුලින් මෙම ඩෙංගු රෝගය පැතිර ඇති බවයි. මාධ්‍යයට එසේ පවසන අතර ඔහු ශිෂ්‍යයන්ට පවසා ඇත්තේ විශ්වවිද්‍යාලය තුල ඩෙංගු මර්දන කටයුතු සඳහා ගුවන් හමුදාව යොදා ගන්නා බවයි.

මිලිටරි පොලිස් පාලනයකට කැස කවමින් සිටින ආන්ඩුව, සෑම උවදුරකදීම ඒවා මැඩලීමේ මුවාවෙන් හමුදාව පාරට බස්සවා ගනිමින් සිටී. දැන් විශ්ව විද්‍යාල තුලට හමුදාව ගෙන ඒ්මට මෙම තත්වය යොදා ගැනීමට දරන උත්සාහයක් ද මින් ඉස්මතු වෙයි.

කෙසේ නමුත්, උපකුලපතිවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රතිවිරුද්ධව, මොරටු සරසවිය තුල ඩෙංගු මදුරුවන් ගහන බව මොරටු නගර සභාවේ “ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය” පසුගිය මැයි මස අගදී කල පරීක්ෂාවකදී තහවුරු කරගෙන ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ ඔහු නේවාසිකව සිටි නේවාසිකාගාරයේ මදුරු නාශක යොදා ඇත්තේ වසරකටම දෙවරක් පමනක් බවයි. එයද ශිෂ්‍ය සංගම් මැදිහත් වීමෙන් පසුවය. “විශ්ව විද්‍යාලය වටේට පවතින කානු හා වතුර වලවල්වල මදුරු කීටයන් පිරිල” යැයි ඔහු කියා සිටියේය. විශ්ව විද්‍යාල සේවකයෙකු කියා සිටියේ “සමහර ඩ‍්‍රනේජ් ගලි වලින් සවසට දුමාරයක් මෙන් මදුරුවන් පිටතට විදින” බවයි.

අනෙක් අතට, විශ්ව විද්‍යාල අසල්වැසියන් නිසා සිසුන්ට ඩෙංගු රෝගය වැලැඳෙන්නේ නම් එයට ද වගකිව යුත්තේ අනුප‍්‍රාප්තික ධනපති ආන්ඩු ය. කවර හෝ සනීපාරක්ෂාවකින් තොර, එකිනෙකට යාබද කුඩා නිවාස වල ජීවත් වීමට, වඩු කර්මාන්තයෙන් හෝ කුලී වැඩ වලින් ජිවත්වන එම දුගී ජනයා ඇද දමා ඇත්තේ දශක හතක් පුරා ශ්‍රී ලංකාව පාලනය කරන ධනපති පන්තියයි. එමෙන්ම, උග‍්‍ර නේවාසිකාගාර හිඟය සහ ආර්ථික අපහසුකම් හේතුවෙන් සාපේක්ෂ වශයෙන් අඩු නේවාසික ගාස්තුවකට මෙම නිවාසයන්හි නවාතැන් ගැනීමට සිසු-සිසුවියන් ඇද වැටීම සම්බන්ධයෙන් ද වගකිව යුත්තේ ධනපති පාලක පන්තිය යි.

තත්වය මෙසේ තිබියදී, ඩෙංගු රෝගය පැතිරවීම සම්බන්ධයෙන් සිය ගනනක් වූ අසල්වැසි දුගී ජනයාට උසාවි දඩ නියමකර තිබේ. උවදුරට ලක්වී ඇති ජනයාම ඊට වගකිව යුතුය යන්න තහවුරු කිරීම සඳහා ඔවුන් “ඩෙංගු පැතිරවීමට” වරදකරුවන් කොට රුපියල් 25,000ක දඩයකට හා මාස හයක සිර දඬුවමකට යටත් කිරීමේ නීති බස්නාහිර පලාත තුල පසුගිය මාර්තු මාසයේදී බල ගැන්වීය.

මෙහිම කොටසක් ලෙස, විශ්ව විද්‍යාල පරිපාලනය මදුරුවන් බෝ වීමේ වගකීම එහි සේවකයන් මත පැටවීමේ රුදුරු උත්සාහයක නිරත වී සිටියි. මොරටු නගර සභාව විසින් කල පරීක්ෂනයේ දී විශ්ව විද්‍යාලය තුලින් හමුවූ මදුරු කීටයන් පිලිබඳව නඩු පවරා ඇත්තේ පුද්ගලිකව විශ්ව විද්‍යාල සේවකයන්ට මිස ආයතනයට නොවේ. මෙම නඩු පැවරීම් සිදුව ඇත්තේ විශ්ව විද්‍යාල පරිපාලනයේ මෙන්ම අනධ්‍යන සේවක වෘත්තීය සමිති වලද පූර්න සහාය සහ අනුමැතිය ඇතිවය.

මේ අනුව, කාර්මික නිලධාරීන් දෙදෙනෙකුට, කොන්ත‍්‍රාත් පදනමේ සේවයේ යොදවා ඇති සුපවයිසර්වරයෙකුට හා කොන්ත‍්‍රාත් කම්කරුවෙකු හට මොරටුව අධිකරනයෙන් දඩ නියම කරනු ලැබීය. එක් කම්කරුවෙකුට චෝදනා එල්ල වූයේ තමන්ගේ විද්‍යාගාරය අවට තිබූ අබලි ද්‍රව්‍ය මත ජලය එකතුවී තිබීම සම්බන්ධයෙනි. මෙම අබලි ද්‍රව්‍ය වෙන්දේසිය සඳහා රැගෙන යන ලෙස ඔහු වසර ගනානාවක සිට පරිපාලනයට දන්වා තිබුනි. තවත් අයෙකුට චෝදනා එල්ල වූයේ ඇයගේ භාරයේ පවත්නා විද්‍යාගාරය තුල තිබු සාම්පලයක මදුරුවන් බෝවී තිබීම සම්බන්ධයෙනි. ඇගේ රාජකාරි ලැයිස්තු වල පවා මෙවැනි වගකීමක් පැවරී නොමැති වුවත් විද්‍යාගාරයේ භාරකරු ලෙස එය ඇගේ වගකීමක් බවට චෝදනා එල්ලවද්දී පාලකයන් හා වෘත්තිය සමිතිය එයට එකඟතාවය පලකලහ. චෝදනා එල්ල කරන ලද්දේ “ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය” හා විශ්ව විද්‍යාලයේ ඉහල බලධාරීන් අතර සාකච්ඡාවකින් පසුවය.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් අතර දැඩි අප‍්‍රසාදයක් හා විරෝධයක් පැන නැගි තත්වයක් තුල වෘත්තිය සමිතිය කැඳ වූ අවස්ථාවේ තමන් හා පාලකයන් අතර සම්මුතිය ආරක්ෂා කරමින් කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වසන්ත එදිරිසුරිය, “ඩෙංගු නිසා විශාල පිරිසක් අවදානමට ලක්වෙලා තිබෙන්නේ එනිසා ඕනෑම කෙනෙක් වග කියන්න ඕනෑ” යැයි පැවසීය. මෙම ප‍්‍රකාශයට සාමාජිකත්වයෙන් නැගුනු බලගතු විරෝධය හමුවේ තම තනතුරෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රකාශ කිරීමට පවා එදිරිසූරිය ට සිදුවිය.

විශ්ව විද්‍යාල පරිපාලනය සමඟ එක්ව, ඊනියා ඩෙංගු මර්දන ශ‍්‍රමදානයක් සඳහා සේවකයන් දැක්කීමට දැන් සමිති නායකයෝ වැඩට බැස සිටිති. එමගින් යථා ප‍්‍රශ්න යට ගැසීම මෙම නායකයන් ගේ උත්සුකය යි. ඩෙංගු පැතිරයාමේ වගකීම අනධ්‍යන සේවකයන්ට පවරමින්, සමිති නායකයන්ගේ ද සහය ඇතිව ගෙන යන මෙම වැඩ කටයුතු මගින් විශ්ව විද්‍යාල පරිපාලනය තම වගකීමෙන් පලා යාමට මෙන්ම ශිෂ්‍යයන් හා සේවකයන් අතර ගැටුමක් ඇති කරවීමට ද යොදා ගනිමින් පවතී.

විශ්ව විද්‍යාල පරිපාලනයට සම්බන්ධ වූවන්ගේ තවත් අමන තර්කයක් වී ඇත්තේ රටෙහි ඩෙංගු වසංගතයක් පවත්නා බැවින් හා මොරටුව විශ්ව විද්‍යාලය තුල ඩෙංගු වැලඳී ඇති සංඛ්‍යාව සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් නොගිනිය හැකි ප‍්‍රතිශතයක් බැවින් මෙය විශ්ව විද්‍යාලයට අදාල ප‍්‍රශ්නයක් නොවන බවයි. මෙම සියලු තර්කවල එල්ලය වන්නේ අධ්‍යාපනය සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීමට අසමත් වූ වත්මන් ආන්ඩුව ද ඇතුලත් සියලු ආන්ඩු කොක්කෙන් මුදා හැරීමයි.

සැබෑ තත්වය නම් විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුල මහා පරිමානයෙන් මදුරුවන් බෝවීමට හේතු සොයා බලා ඒ් අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් හා මූල්‍ය ප‍්‍රතිපාදනයන් පරිපාලනය සතු නොවීමයි. මදුරු මර්දනය සඳහා ක‍්‍රමානුකුලව බෙහෙත් ගැසීම වත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් සිදු නොකිරීමට මූලික හේතුව වන්නේ ඒ් සඳහා වැය කිරීමට ප‍්‍රතිපාදන හිඟ වීම බව පැහැදිලිය. මෙම වසරේ රටේ සමස්ත විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අය වැයෙන් වෙන් කෙරුනේ රුපියල් බිලියන 33 ක් පමනක් වන අතර එය පසුගිය වසරට වඩා බිලියන පහකින් අරමුදල් කපා හැරීමකි.

මොරටු සරසවි සිසුවිය ද ඇතුලත් සිය ගනනකට මරු කැඳවූ ඩෙංගු ව්‍යසනය මෙන්ම පසුගිය දා ඇතිවූ කුනු කඳු කඩා වැටීම් සහ ගංවතුර ව්‍යසනයන් සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ ධනපති ක‍්‍රමය සහ ධනපති පාලකයන් ය. ගෝලීය ධනවාදයට දැන් ලබාදිය හැක්කේ දරිද්‍රතාව, සමාජ ව්‍යසනයන් හා යුද්ධයන් ය. විද්‍යාවේ විප්ලවීය වර්ධනයන් භාවිතයට ගනිමින් මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ, අතලොස්සක් ධනපතියන්ගේ ලාභ සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප‍්‍රති සංවිධානය කෙරෙන සමාජවාදී ක‍්‍රමයක් යටතේ පමනක්ම ය. ඒ සඳහා සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ක‍්‍රියාමාර්ගය සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරයි.

(කියවන්න: ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර: පරිහානිගත ධනපති ක‍්‍රමය විසින් නිර්මිත තවත් ව්‍යසනයක්

Share this article: