“අප රක්නා උරුමය” තුර්කි සංස්කරනයේ සංඥාපනය

Preface to the Turkish edition of The Heritage We Defend

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2017 ජූනි 23

අප රක්නා උරුමය කෘතිය තුර්කිය තුල ප‍්‍රකාශයට පත්වීම පිලිබඳව මගේ උනුසුම් සුභාශිංසන පල කරනු කැමැත්තෙමි. තුර්කිය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කල රටකි. ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් ලියොන් ට්‍රොට්ස්කි සෝවියට් සංගමයෙන් පිටුවාහල් කරනු ලැබීමෙන් ඉක්බිති, 1929 දී ඔහු මුලින්ම රැකවරනය ලැබුවේ ඉස්තාන්බුල් වෙරලෙන් ඔබ්බෙහි පිහිටි දූපතකය. “ප‍්‍රින්කිපෝව පෑනෙන් වැඩ කිරීමට අපූරු තැනකැ”යි ඔහු ලිවීය. සිව් වසරක් එම දූපතෙහි වාසය කල ට්‍රොට්ස්කි ඔහුගේ විශිෂ්ඨතම කෘතීන් අතරින් රැසක්ම නිර්මානය කලේය. My Life(මගේ ජීවිතය), The History of the Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය) හා ජර්මනිය තුල ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය සම්බන්ධයෙන් ලියැවුනු ඔහුගේ අසමසම රචනාවන් ද ඒ අතර විය. ඔහු විසින් ප‍්‍රින්කිපෝව “සාමයේ හා අමතකවන සුලු භාවයේ දිවයිනකැ”යි විස්තර කෙරුනු නමුදු, 1929 සිට 1933 දක්වා වූ ඔහුගේ වාසය විසින් මාමරා මුහුදේ මෙම රමනීය ගැමි කාව්‍යයක් බඳු දිවයින ලෝකයේ විප්ලවවාදී මාක්ස්වාදී චින්තනයේ අපිකේන්ද්‍රය බවට පරිවර්තනය කෙරින.

ලියොන් ට්‍රොට්ස්කි ප‍්‍රින්කිපෝහි දී

අප රක්නා උරුමය කෘතියේ මෙම නව පරිවර්තනය ප‍්‍රකාශයට පත්වීමට සුවිශේෂී වැදගත්කමක් හිමිවන්නේ හුදු ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ පිටුවාහල් දිවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය අතර පවත්නා සම්බන්ධතාව නිසා පමනක් නොවේ. ලෝක අධිරාජ්‍යවාදී පර්යායේ භූ දේශපාලනය තුල තුර්කිය සතු තීරනාත්මක ස්ථානය නිසාම, මෙම රට තුල පන්ති අරගලය අතිවිශාල මානයකට නැගෙනු නිසැකය. එබැවින්, තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම හතරවැනි ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය මූලෝපායික කර්තව්‍යයක් වේ. මේ සඳහා, විවිධ ආකාරයේ ප‍්‍රතිමාක්ස්වාදී සංශෝධනවාදයන්ට - විශේෂයෙන්ම මයිකල් පැබ්ලෝ (1911 - 1996 ) සහ අර්නස්ට් මැන්ඩෙල් (1923 - 1995) ගේ දියකරහැරීම්වාදී සංකල්ප සමග සම්බන්ධ වූ සංශෝධනවාදයට එරෙහිව සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් දියත් කෙරුනු දීර්ඝ අරගලයේ ඉතිහාසය සම්බන්ධයෙන් තුර්කි කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වැඩි දියුනු කොටස්වලට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය වේ.

ජේම්ස් පී. කැනන්

අප රක්නා උරුමය ලියන ලද්දේ මීට තිස් වසරකට ඉහත, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (ඩබ්ලිව්ආර්පීය) හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අතහැර පලා යාමෙන් අනතුරුවය. ඉනික්බිති ජාත්‍යන්තර කමිටුව අනේක ලේඛනයන් තුලින් ඔප්පු කල පරිදි, ඩබ්ලිව්ආර්පීයේ ද්‍රෝහිත්වය, වරක් එය විසින් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරමින් ආරක්ෂා කරන ලද්දා වූ ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් කෙරෙන් දශකයකට වඩා පැතිර ගිය කාල පරිච්ඡේදයක් පුරා පසුබැස යාමේ ප‍්‍රතිඵලය විය. 1973 දී ඩබ්ලිව්ආර්පීය බිහි වූයේ, 1953 දී ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පීය) හා ප‍්‍රන්සයේ ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය (පීසීඅයි) සමග සන්ධානගත වෙමින් ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට කටයුතු කල බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අනුප‍්‍රාප්තික සංවිධානය ලෙසය. හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිලිවෙලට ඉදිරිපත් කෙරුනු පැබ්ලෝ - මැන්ඩෙල් සංශෝධන හෙලා දකිමින් ජේම්ස් පී. කැනන් විසින් ලියන ලද ඓතිහාසික “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇමතු විවෘත ලිපියට” ඩබ්ලිව්ආර්පීයේ නායක ජෙරී හීලි (1913-1989 ) විසින් අත්සන් කරන ලදී. 1953 නොවැම්බරයේ නිකුත් වූ “විවෘත ලිපිය”, හජාජාක පදනම් වී ඇති මූලධර්ම ව්‍යක්ත ලෙස කියා සිටියේය:

1. ධනේශ්වර ක‍්‍රමයේ මර ලතෝනිය, එන්ට එන්ට ම දරුනු වන අවපාත, ලෝක යුද්ධ හා ෆැසිස්ට්වාදය බඳු ම්ලේච්ඡ ප‍්‍රපංච මගින් ශිෂ්ටාචාරය විනාශ වී යාමේ තර්ජනය ඉස්මතු කරයි. අද දින න්‍යෂ්ටික ආයුධවල වර්ධනය හැකි බැරෑරුම් ම ආකාරයට මෙම අනතුර අවධාරනය කරයි.

2. අගාධයට කිඳා බැසීම වැලැක්විය හැකි වනුයේ, සමාජවාදයේ සැලසුම් ගත ආර්ථිකයෙන් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව විස්ථාපනය කිරීමෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් එහි මුල් දිනවල ආරම්භ කෙරුනු ප‍්‍රගතියේ සර්පිලාකාර ගමන යලි පටන් ගැනීමෙනි.

3. සමාජයෙහි මෙය සාක්ෂ්‍යාත් කර ගත හැකි වනුයේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. කම්කරුවන්ට බලයේ මාවත ගැනුම සඳහා, අද තරම්, අන් කිසිදාක සමාජ බලවේගවල ලෝක සම්බන්ධතාව යහපත් නොවූවත්, කම්කරු පන්තිය ම නායකත්වය පිලිබඳ අර්බුදයකට මුහුන දෙයි.

4. මෙම ලෝක ඓතිහාසික අරමුන සපුරා ගනු වස් තමන් සංවිධාන වනු පිනිස, සෑම රටක ම කම්කරු පන්තිය, ලෙනින් විසින් වර්ධනය කෙරුනු ආකාරයේ විප්ලවීය සමාජවාදී පක්ෂයක් ගොඩනැංවිය යුතු ය: එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මධ්‍යගත භාවය අපෝහකාත්මකව සංයෝජනය කිරීමෙහි සමත් වන සටන් පක්ෂයකි - තීන්දුවලට එලඹීමෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමෙහි මධ්‍යගත භාවයත්. අනුගාමිකත්වය විසින් පරිපාලනය කෙරෙන නායකත්වයක්, වෙඩිසැර හමුවෙහි ද විනය ගත ආකාරයට පෙරට යාමෙහි සමත් අනුගාමිකත්වයක්.

5. මෙයට පවත්නා ප‍්‍රධාන බාධකය ස්ටැලින්වාදය යි. රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙහි හොඳ නම ගසා කමින් එය කම්කරුවන් ආකර්ෂනය කර ගන්නේ, හුදෙක් පසු ව, කම්කරුවන්ගේ විශ්වාසය පාවා දෙමින් ඔවුන් එක්කෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තුරුල්ලට, උදාසීනත්වයට, ඇද දැමීමට හෝ ආපසු ධනේශ්වර ක‍්‍රමය පිලිබඳව ම මිථ්‍යාවන්ට ඇද හෙලීමට ය. ෆැසිස්ට් හෝ රාජාන්ඩුවාදී බලවේගයන්හි තහවුරු වීමේ රූපාකාරයෙන් හා ධනේශ්වර ක‍්‍රමය විසින් පෝෂනය කොට සූදානම් කෙරෙන අලුත් යුද පිපිරුම්වල රූපාකාරයෙන් කම්කරු පන්තිය, මෙම පාවාදීම්වලට වන්දිය ගෙවයි. හතරවන ජාත්‍යන්තරය එය පිලිසිඳ ගත් තැන් පටන් ම තමන්ගේ ප‍්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් බවට පත් කර ගත්තේ, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුලත්, ඉන් බැහැරත් ස්ටැලින්වාදය විප්ලවීය අයුරින් පෙරලා දැමීම යි.

6. හතරවන ජාත්‍යන්තරයේ බොහෝ කන්ඩායම් ද එහි ක‍්‍රියා මාර්ගයට හිතපක්ෂපාතී පක්ෂ හෝ කන්ඩායම් ද හමුවෙහි නම්‍ය උපායන් උදෙසා පවතින අවශ්‍යතාව විසින්, ස්ටැලින්වාදයට යටත් නොවී, අධිරාජ්‍යවාදයටත් (ජාතිකවාදී සංයුතීන් හෝ වෘත්තීය සමිති නිලධරයන් බඳු) එහි සියලුම සුලුධනපති ආයතනවලටත්, අනෙක් අතට අධිරාජ්‍යවාදයට යටත් නොවී (අවසාන විග‍්‍රහයේ දී අධිරාජ්‍යවාදයේ සුලුධනේශ්වර ඒජන්සියක් වන) ස්ටැලින්වාදයටත්, විරුද්ධව සටන් කල යුත්තේ කෙසේ දැයි ඔවුන් විසින් දැන ගනු ලැබීම වඩාත් ම අනිවාර්ය භාවයට පත් කෙරේ, [1]

අර්නස්ට් මැන්ඩෙල්

“විවෘත ලිපිය”, පැබ්ලෝ හා මැන්ඩෙල් විසින් ප‍්‍රතික්ෂේප කෙරුනු ට්‍රොට්ස්කිවාදයේ මූලෝපායාත්මක සංකල්ප සැකෙවින් පිඬු කොට දැක්වීය. ස්ටැලින්වාදය ප‍්‍රතිවිප්ලවවාදී බලවේගයකැයි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් කෙරුනු ගුනාංගීකරනය, ක්‍රෙම්ලින් නිලධරයට හා එහි නියෝජිතයන්ට ඓතිහාසිකව ප‍්‍රගතිශීලී වූත්, විප්ලවකාරී වූත් කාර්යභාරයක් ආරෝපනය කෙරුනු න්‍යායක් මගින් විස්ථාපනය කිරීමට පැබ්ලෝවාදය ක‍්‍රියා කලේය. දේශපාලන විප්ලව මාලාවකින් ස්ටැලින්වාදී තන්ත‍්‍ර පෙරලා දැමීමට කටයුතු කරනු වෙනුවට පැබ්ලෝවාදීහු, ස්ටැලින්වාදී නායකයන්ට වඩාත් වාම මාවතක් වෙත ප‍්‍රවිෂ්ටවීමට බලකරමින්, ට්‍රොට්ස්කිවාදීන් ඔවුන්ගේ උපදේශකයන් ලෙස ක‍්‍රියා කරන්නා වූ නිලධාරිවාදයේ ස්වයං-ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවලියක් පිලිබඳව අනාවැකි පල කලහ. පැබ්ලෝට හා මැන්ඩෙල්ට අනුව, ක්‍රෙම්ලින් තන්ත‍්‍රයේ දේශීය ස්ටැලින්වාදී ඒජන්තයන් විසින් පාලනය කරන ලද නැගෙනහිර යුරෝපයේ “විකෘත කම්කරු රාජ්‍ය”වල ඉරනම ලියැවී තුබුනේ ශතවර්ෂ ගනනාවක් පුරා පැවතීමටය.

ස්ටැලින්වාදය ඉදිරියේ පැබ්ලෝවාදීන්ගේ යටත්වීම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායය ඔවුන් විසින් අතහැර දමනු ලැබීමේ හුදු එක් පාර්ශ්වයක් පමනක් විය. කම්කරු පන්තිය තුල මාක්ස්වාදී විඥානය ගොඩනැගීමටත්, අධිරාජ්‍යවාදයේ සියලු ජාතික ධනේශ්වර හා සුලු ධනේශ්වර ඒජන්තයන්ට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීමටත් සටන්වැදීම ඔවුහු ප‍්‍රතික්ෂේප කලෝය.

1950 හා 1960 ගනන්වල දී - විශේෂයෙන්ම 1963 දී ඇමරිකානු එස්ඩබ්ලිව්පීය ජාත්‍යන්තර කමිටුව සමග භේද වෙමින් පැබ්ලෝවාදීන් සමග යලි එක්සත්වීමේදී දැක්වූ විරුද්ධත්වය තුල, හතරවැනි ජාත්‍යන්තරය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීන් විසින් ඉටු කෙරුනු ප‍්‍රමුඛ කාර්යභාරය තිබියදීම, ඔවුන්ම ද සංශෝධනවාදය දෙසට ගසාගෙන යාම, 1970 ගනන්වලදී දක්නා ලදී. ප‍්‍රමුඛ කොටම 1973 නොවැම්බරයේ කම්කරු විප්ලවවාදී පක්ෂය පිහිටුවීමෙන් පසු එය වඩවඩාත් පැහැදිලිව පෙනී ගියේය. සමාජවාදය සඳහා මාවත ලෙස කම්කරු පන්තිය මත පදනම් වූ හා ඒ තුල මුල් බැසගත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ගොඩ නැංවීම අවශ්‍ය නොවන බව, කියුබානු නායකයාගේ සුලු ධනපති ගරිල්ලා හමුදාව විසින් ඔප්පු කරනු ලැබ ඇතැයි යන කියා පෑම ප‍්‍රතික්ෂේප කරමින්, 1960 ගනන්වල මුල් අවධියේ (කවිප පූර්වගාමියා වූ) සෝෂලිස්ට් ලේබර් ලීගය, එස්ඩබ්ලිව්පීය විසින් ෆිදෙල් කස්ත්‍රෝගේ රැඩිකල් ජාතිකවාදය උත්කර්ෂයට නංවනු ලැබීම කර්කශ විවේචනයට ලක් කලේය.

එතෙකුදු, 1970 ගනන් මැද වන විට කවිපය, පැබ්ලෝවාදීන්ගේ ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී පිලිවෙත් සමග සමීපව සැසඳෙන ආකාරයකින්, මැද පෙරදිග - පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල් ඕ) හා ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ ජාතිකවාදී තන්ත‍්‍රය වැනි - විවිධ ජාතික ව්‍යාපාරවල අධිරාජ්‍ය විරෝධී වැඩසටහන අතිශයෝක්තියෙන් ඔසොවා දැක්වීමට පටන් ගත්තේය. [2] පැබ්ලෝවාදය කරා කවිපයේ ප‍්‍රත්‍යාගමනය වූ කලී, හුදෙක් නායකත්වයේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික දෝෂයන්හි නිෂ්පාදිතයක් නොවීය. ලෝකය පුරා සංවිධිත කම්කරු ව්‍යාපාරය තවමත් ස්ටැලින්වාදීන්ගේ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ පක්ෂ හා වෘත්තීය සමිතිවල ආධිපත්‍යයට නතුව පැවැති තතු යටතේ, 1960 හා 1970 ගනන්වල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාර, සුලු ධනේශ්වරයේ පුලුල් කොටස්වල - විශේෂයෙන්ම තරුන ශිෂ්‍යයන්ගේ - බහුජන රැඩිකලීකරනය විසින් ඇති කෙරුනු සමාජයීය හා දෘෂ්ටිවාදී පීඩනයට ගෝචර විය.

සුලු ධනේශ්වරයේ සිට බඳවා ගැනෙන්නන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට සමෝධානය කර ගැනීමේ අභියෝගය සඳහා අවශ්‍ය වූයේ හුදෙක් ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිලධරයන්ට එරෙහිව කෙරෙන නිර්දය අරගලයක් මත පදනම් වූ දෘඩතර දේශපාලනික හා ප‍්‍රායෝගික කම්කරු පන්ති පෙලගැස්මක් පමනක් නොවීය. පැබ්ලෝවාදයේ අනුග‍්‍රහය ලද “නව වමේ” දෘෂ්ටිවාදී වීරයන්ගේ - අන් හැමටම වඩා “බටහිර මාක්ස්වාදය”, “රාජ්‍ය ධනවාදය” හා ධනපති ජාතිකවාදී “තුන්වැනි ලෝකවාදය” සමග අනන්‍ය වූ විසදෘශ ප‍්‍රවනතාවල; එනම්, පුලූල්තම ලෙස පසසනු ලැබූවන් පමනක් නම් කලහොත්, මාක්‍යුස්, ඇඩොර්නෝ, හොකෛමර්, ග‍්‍රම්ස්චි, ලූෆෝර්, කස්තුර්යාදිස්, ගුවේරා, ෆැනොන් හා මැල්කම් එක්ස් ආදීන්ගේ; - ව්‍යාජ මාක්ස්වාදයට හා පරිපූර්න ප‍්‍රතිමාක්ස්වාදයට එරෙහිව අනවරත සටනක් ද ඒ සඳහා අවශ්‍ය විය. අප‍්‍රමාන සුලු ධනපති බුද්ධිමතුන් විසින් වැලඳ ගනු ලදුව ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන් එකක් පසුපස තවෙකක් වශයෙන් වූ ලේ වැකි පරාජයන් කරා කැඳවා ගෙන ගියා වූ ද, ස්ටැලින්වාදයේ විෂකුරු ලෙස ප‍්‍රතිගාමී ප‍්‍රභේදයක් වූ ද මාඕවාදයේ බලපෑමත් මෙම දීර්ඝ ලැයිස්තුවට එක් කල හැකිය.

කවිපයේ අවස්ථාවාදී ප‍්‍රතිපත්ති ජාත්‍යන්තර කමිටුව තුල විරුද්ධත්වයකට මුහුන දුන්නේය. 1982 හා 1984 අතරතුර දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී සංවිධානය වූ වර්කර්ස් ලීගය කවිපයේ නව-පැබ්ලෝවාදී පිලිවෙත් සම්බන්ධයෙන් විස්තීර්න විවේචනයක් වර්ධනය කලේය. තම විවේචනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවක් සංවිධානය කිරීම සඳහා වර්කර්ස් ලීගය දැරූ පරිශ‍්‍රමයන් - හීලි, මයිකල් බන්ඩා (1930-2014) සහ ක්ලිෆ් ස්ලෝටර් (1928- ) යන අයගෙන් සමන්විත වූ - කවිප මුල් පෙලේ නායකත්වය විසින් යටපත් කර දමන ලදී. [3] මෙකී ප‍්‍රතිපත්ති විරහිත ප‍්‍රයත්න 1985 සිසිරයේ දී කවිපය තුල දේශපාලන අර්බුදයක් පුපුරා ඒම කරා පාර කැපීය. කවිපයේ බිඳී යාම යටින් පැවැති න්‍යායික හා දේශපාලන ප‍්‍රයුක්තීන් පිලිබඳ සාකච්ඡුාවක් ඇතිවීම වැලැක්වීමට තවමත් අධිෂ්ඨාන සහගත වූ ස්ලෝටර් හා බන්ඩා, බ්‍රිතාන්‍ය ශාඛාව විසින් ඊට ඉහත දශකයක් පුරා අනුයන ලද්දාවූ අවස්ථාවාදී ගමන් මග සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුව දෝෂ දර්ශනයට ලක් කිරීමට ප‍්‍රයත්න දැරූහ.

මයිකල් බන්ඩා

1986 දී කවිපය ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී යාම නිවේදනය කරමින් ලේඛනයක් ප‍්‍රකාශයට පත් කලේය. මයිකල් බන්ඩා විසින් ලියන ලද එය, “ජාත්‍යන්තර කමිටුව වහා වලලා දමා හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගිය යුත්තේ මන්ද යන්නට හේතු 27 ක්” යන මැයෙන් යුතු විය. කවිපය මහත් ඝෝෂා පවත්වා මෙම ලේඛනය නිකුත් කලේ, එය මාක්ස්වාදයේ සම්භාව්‍ය ලේඛන අතර සිය ස්ථානය අත්පත් කර ගනු ඇතැයි පුරෝකථනය කරමිනි. සත්‍යය නම්, බන්ඩාගේ ලේඛනය හුදෙක් ජාත්‍යන්තර කමිටුව පමනක් නොව හතරවැනි ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසයම අපකීර්තියට පත් කිරීම අරමුනු කොට ගත් විකෘතිකරනයන්හි, පරිපූර්න මුසාවන්හි හා අර්ධ සත්‍යයන්හි සංකලනයක් වූ බවයි. බන්ඩාගේ ලිපියෙහි මාතෘකාවම එහි දේශපාලන වංචනිකත්වය අනාවරනය කලේය. ඔහුගේ “හේතු 27”න් අල්පමාත‍්‍රයක් හෝ පිලිගත හැකි වී නම්, හතරවැනි ජාත්‍යන්තරය අඛන්ඩව පැවතීම කිසිසේත් සාධාරනීකරනය නොකල හැක්කක් වන්නට තිබිනි. ඔහුගේම තර්කවලින් අනිවාර්යෙන්ම ගලා ආ නිගමන අනුයමින් බන්ඩා - ඔහුගේ ලේඛනය සම්පූර්න කිරීමෙන් ඉක්බිති වසරකට ද අඩු කාලයක් තුල - ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් අධම හෙලා දැකීමක් පල කරමින් - ස්ටැලින් පිලිබඳ සිය සීමාරහිත ප‍්‍රසාදය නිවේදනය කලේය. බන්ඩාගේ දේශපාලන පරිනාමය, කවිප නායකත්වයේ හා සාමාජිකත්වයේ සිටි ඔහුගේ ලේඛනය අනුමත කල සියල්ලන් විසින් ට්‍රොට්ස්කිවාදය අතහැර දමනු ලැබීම සඳහා පූර්වාදර්ශයක් සැපයීය. සැලකිය යුතු සංඛ්‍යාවක් ස්ටැලින්වාදී ව්‍යාපාරයට බැඳුනෝය. තවත් අය අධිරාජ්‍යවාදී කඳවුරට මාරු වී, සර්බියාවට එරෙහි නැටෝ යුද්ධයේ ක‍්‍රියාකාරී හවුල්කරුවෝ වූහ. ක්ලිෆ් ස්ලෝටර් විසින් දිරි ගන්වනු ලැබූ විශාලතම කන්ඩායම විප්ලවවාදී පක්ෂයක් පිලිබඳ ලෙනින් - ට්‍රොට්ස්කි සංකල්පයේ සමස්ත උරුමය ප‍්‍රතික්ෂේප කොට, සමාජවාදය සඳහා සටන අතහැර දමා, තමතමාගේ පෞද්ගලික ජීවිත හැකිතාක් සුවපහසු කර ගැනීම කෙරේ යොමු වී ගත්හ.

බන්ඩාගේ ලේඛනය අත පත් වහාම, ඊට සවිස්තරාත්මක පිලිතුරක් සැපයීමේ අත්‍යවශ්‍යතාවය ජාත්‍යන්තර කමිටුව වටහා ගත්තේය. මාස දෙකක් තුල “අප රක්නා උරුමය” කෘතිය සතිපතා කොටස් වශයෙන් ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් විසින් ප‍්‍රකාශිත පුවත්පත්වල පල කෙරිනි. බන්ඩාට සැපයෙන පිලිතුර ලෙස පිටු 500 ක් ඉක්මවා යන පොතක් ලිවීමට අවශ්‍ය වේයැයි මම අදහස් නොකෙලෙමි. කෙසේවෙතත්, බන්ඩාගේ ලිපිය අධ්‍යයනය කරන විට මා වටහා ගත්තේ, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය - විශේෂයෙන් ම 1940 ට්‍රොට්ස්කි ඝාතනයේ සිට 1953 පැබ්ලෝවාදීන් සමග භේදය දක්වා වූ තීරනාත්මක වර්ෂවල දී එහි ඉතිහාසය - කිසිදුවිටෙක ප‍්‍රමානවත් ලෙස පර්යේෂනයට භාජනය වී නොමැතිවීමේ හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්තමාන කේඩරයන්ට එය බොහෝ දුරට ආගන්තුක දෙයක් වීමේ වාසිය ගැනීමට ඔහු ප‍්‍රයත්න දැරූ බවයි. බන්ඩාගේ ද්‍රෝහිත්වය හෙලා දැකීම පමනක් ප‍්‍රමානවත් නොවීය. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය විමර්ශනය කිරීමත්, එම පදනම මත එහි කේඩරයන්ට අධ්‍යාපනය ලබා දීමත් අත්‍යවශ්‍යව තිබින.

මෙම පොත ප‍්‍රකාශයට පත්වීමෙන් දශක තුනකට පසු එය යලි කියවා බැලීමේදී හැඟෙන පරිදි, “උරුමය” කාලයේ පරීක්ෂාවට සාර්ථකව මුහුන දී ඇතැයි මම විශ්වාස කරමි. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ හැඳින්වීමක් වශයෙන් තම අගය රඳවා ගන්නා අතරම එය, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අද දිනයේ අරගලයට ඉහලින්ම අදාල වන මාක්ස්වාදී න්‍යාය, වැඩ පිලිවෙල හා මූලෝපාය සම්බන්ධ ගැටලු පරීක්ෂාවට ලක් කරයි.

ජෙරී හීලි

අප රක්නා උරුමය අදට ද පවතින්නේ, දේශපාලන ප‍්‍රවනතා පැන නැගීමත් ඒවා අතර අරගලයත් පැහැදිලි කිරීමෙහි ලා ඓතිහාසික භෞතිකවාදී විධික‍්‍රමය යොදා ගැනුනු හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ එකම කෘතිය ලෙසය. එක්එක් හුදෙකලා නායකයන්ගේ හොඳ හෝ නරක චරිත ස්වභාවයන්ගෙන් ද, ඔවුන්ගේ උදාර හෝ නීච අභිප‍්‍රායයන්ගෙන් ද පටන් ගන්නා ආත්මීය ප‍්‍රවිෂ්ටය බැහැර කරන “උරුමය”, හතරවැනි ජාත්‍යන්තරයේ මතභේදයන්ට යටින් පැවැති, දෙවැනි අධිරාජ්‍යවාදී යුද්ධ සමයේ හා ඉනික්බිති කාලයේ, ලෝක ධනේශ්වර ක‍්‍රමයේත් පන්ති අරගලයේ ගෝලීය හා ජාතික මට්ටමේ වර්ධනයන්හිත් ප‍්‍රතිවිරෝධයන් තුලින් පැන නැගෙන වෛෂයික සමාජ හා දේශපාලන ක‍්‍රියාවලීන් හඳුනා ගැනීමට ප‍්‍රයත්න දරයි. මෙම ඉතිහාස කථාව සිය ප‍්‍රමුඛ අවධානය යොමු කරන්නේ, එහි ප‍්‍රධාන දේශපාලන නලුවන් - කැනන්, පැබ්ලෝ, මැන්ඩෙල් හා හීලි - තුල ආත්මීයව පිලිසිඳ ගැනුනු අභිප‍්‍රායයන් පිලිබඳව නොව; එංගල්ස්ගේ වචනවලින් කිවහොත්, “ක‍්‍රියාකාරී මහජනයාගේ හා -ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස හඳුන්වනු ලබන- ඔවුන්ගේ නායකයන්ගේ මනස් තුල සචේතනික අභිප‍්‍රායයන් ලෙස පිලිබිඹු කෙරෙන..” පන්ති අරගලයේ තත්‍ය වෛෂයික ගාමක බලවේග කෙරේ ය. [4]

ලෝක යුද්ධ සමයේ හා ඉනික්බිති කාල පරිච්ඡේදයේ සංකීර්න හා ක්ෂනිකව වෙනස්වෙමින් පැවැති කොන්දේසි තුල, හතරවැනි ජාත්‍යන්තරය ඇතුලත පැවතුනා වූ ද, 1951 තුන්වැනි ලෝක සම්මේලනයෙන් ඉක්බිතිව වර්ධනය වී 1953 නොවැම්බරයේ ඓතිහාසික භේදයෙන් කුලුගැන්වුනු අරගලය පිලිබඳ පෙර ලකුනු ප‍්‍රකට කලා වූ ද මතභේද “උරුමය” විසින් විශ්ලේෂනය කෙරේ. 1940 ගනන්වල පැවැති, සුලු ධනපති රැඩිකල් බුද්ධිමතුන් විශාල කොටසකගේ දේශපාලන පෙලගැස්මේ දක්ෂිනාංශික මාරුව පිලිබිඹු කල, සංශෝධනවාදී ප‍්‍රවනතා දෙකක් පිලිබඳව කෘතියේ අවධානය යොමු වෙයි. මෙම මාරුව, හතරවැනි ජාත්‍යන්තරය ඇතුලත අනවරත හා වර්ධනය වෙමින් පැවැති දේශපාලන ආතතීන් තුල සිය ප‍්‍රකාශනය අත් කර ගත්තේය.

“ප‍්‍රතිගමනවාදීන්” ලෙස ද හැඳින්වෙන “නිබන්ධන තුනේ” කන්ඩායම ඉන්ටර්නෂනාල් කොමියුනිස්න් ඩොයිච්ලන් Internationale Kommunisten Deutschlands (අයිකේඩී) සංවිධානය තුලින් පැන නැගින. මේ වූ කලී පිටුවාහලේ සිටි ජර්මන් ට්‍රොට්ස්කිවාදීන්ගේ සංවිධානයක් වූ අතර, ජෝසෙෆ් වෙබර් (1901-1959) එහි නායකත්වය දැරීය. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල එහි භූමිකාව, “උරුමය” ප‍්‍රකාශයට පත්වීමට පෙර අඩුවැඩි වශයෙන් අමතක ව ගොස් පැවතින. කෙසේවෙතත් එය ඉදිරිපත් කල සංකල්ප, හුදෙක් හතරවැනි ජාත්‍යන්තරය තුල පමනක් නොව, සුලු ධනපති රැඩිකලුන්ගේ පුලුල් කොටස් අතර ද ප‍්‍රති-ට්‍රොට්ස්කිවාදී හා ප‍්‍රති-මාක්ස්වාදී ප‍්‍රවනතා වර්ධනය කිරීමෙහි ලා බල පෑ බව සනාථ විය.

කිසිදා සාක්ෂාත් කල නොහෙන දේශපාලනික මනස්සෘෂ්ටියකැයි ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය ප‍්‍රතික්ෂේප කල ලේඛනයක්, අයිකේඩීය 1941 ඔක්තෝබරයේ දී ප‍්‍රකාශයට පත් කලේය. නූතන ලෝකය ප‍්‍රගමනය වන්නේ සමාජවාදය කරා නොව ම්ලේච්ඡුත්වය කරා යැයි එය අවධාරනය කලේය. යුරෝපය තුල ෆැසිස්ට්වාදයේ ජයග‍්‍රහනයන්හි අර්ථය වන්නේ කම්කරු පන්තිය 1848 ට පෙර පැවැති තතු කරා ඇද දමා තුබූ බවය. ආපසු හැරවිය නොහැකියැයි අයිකේඩීය විශ්වාස කල නාසීන්ගේ යුද ජයග‍්‍රහන විසින් සනිටුහන් කෙරුනේ, ලෝක ඉතිහාසයේ නව අවධියකි. “සිර ගෙවල්, නව සුලු ජන කුප්පායම්, බලහත්කාරීව ශ‍්‍රමය උදුරා ගැනීම, ගාල් කඳවුරු පමනක් නොව යුද-සිරකරුවන්ගේ කඳවුරු පවා, හුදු සංක‍්‍රමනීය දේශපාලනික - මිලිටරි සංස්ථාපනයන් නොවේ. ඒවා ඒ තරමටම, නව වහල් රාජ්‍යයක් වර්ධනය කිරීමේ දිශාවට කෙරෙන වර්ධනයක් හා අත්වැල් බැඳ ගත්, මානව වර්ගයා අතර සැලකිය යුතු ප‍්‍රතිශතයකගේ ස්ථිරසාර ඉරනම බවට පත්වීමට අරමුනු කෙරුනු, නව ආර්ථික සූරාකෑමේ ආකාරයන් ද වේ.” [5]

සමාජවාදය සඳහා සටන, ඓතිහාසික ප‍්‍රතිගමන ක‍්‍රියාවලියක් හරහා “ජාතික නිදහස සඳහා වන පරිශ‍්‍රමයක්” මගින් අවලංගු කරනු ලැබ ඇතැයි “නිබන්ධන තුනේ” කන්ඩායම එදා නිගමනය කලේය. [6] ඉන්පසුව, 1943 දී ලියන ලද ලේඛනයකින් අයිකේඩීය, දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීමට එරෙහි අරගලයකින් ලෙනින් විසින් වර්ධනය කොට තුබූ සහ, 1917 බෝල්ශෙවික් මූලෝපාය ගොඩනැගීමට පදනම් කර ගැනුනු, අධිරාජ්‍යවාදී යුගය පිලිබඳ ඓතිහාසික විශ්ලේෂනය නිශ්චිතව ප‍්‍රතික්ෂේප කලේය. “ප‍්‍රථම ලෝක යුද්ධය හා ඒ අවස්ථාවේ පැවැති රාජ්‍ය සම්බන්ධතා ජාලයේ සම්පූර්න ග‍්‍රහ පිහිටීම දෙස ආපසු බැලූ විට අප විසින් හඳුනාගනු ලැබිය යුත්තේ, පලමු ලෝක යුද්ධය, එය ඇවිලයාමට බල පෑ සියලු කාරක සම්බන්ධතා තිබියදී වුව, ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික අවාසනාවකට වැඩි දෙයක් නොවූ බවයි; එය, ඓතිහාසික අවශ්‍යතාවයේ රාමුව තුල, ඓතිහාසිකව අවශ්‍යවීමට පෙරාතුව ධනේශ්වර ක‍්‍රමයේ බිඳවැටීම කරලියට ගෙන ආ අහඹු සිදුවීමක් බවයි.” එහෙත් ලෝක යුද්ධය අහම්බයක් වී නම්, දෙවැනි ජාත්‍යන්තරයේ බිඳවැටීම, ඔක්තෝබර් විප්ලවය ජය ගැනීම හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම ද එපරිද්දෙන්ම අහඹු සිදුවීම් විය යුතුය. ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් සූත‍්‍රගත කල පරිදි විසිවන සියවසේ විප්ලවවාදී මාක්ස්වාදී මූලෝපායයේ සමස්ත වෛෂයික පදනමම ඔවුන් විසින් එකහෙලා ප‍්‍රතික්ෂේප කරනු ලැබින.

අයිකේඩීය විසින් ගැඹුරුම අර්ථයෙන් සූත‍්‍රගත කරන ලද්දේ එහි දේශපාලන අසාරදර්ශනයයි. කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස පැවතීම කම්මුතු වී ඇතැයි එය නිවේදනය කලේය. එය “විසන්ධි කොට, කුඩා අංශුවලට කඩා දමා, භේදභින්න කොට, එහි විවිධ ස්ථර එකිනෙකාට එරෙහිව පිහිටුවා, දේශපාලනිකව දිරිය බල සුන් කොට, ජාත්‍යන්තරව හුදෙකලා කොට හා පාලනය කොට...” තිබිනි. [7] ධනේශ්වර ක‍්‍රමය කුනුවෙමින් පැවැති නමුදු කම්කරු පන්තිය එය පෙරලා දැමීමට අසමත්ය. “මාක්ස්වාදය මුලුමනින්ම වරදවා වටහාගැනීමකින්” පැනනැගුනු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ “වඩාත්ම සුලභ දෝෂය” සමන්විත වූයේ, “ධනේශ්වර ක‍්‍රමයේ නිශේධනය හුදු නිර්ධන පන්ති විප්ලවයේ කර්තව්‍යය ලෙස පමනක් වටහා ගැනීමයැ”යි අයිකේඩීය තරයේ කියා සිටියේය. විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ නොහැකියාව ඉදිරියේ එකම දේශපාලන විකල්පය වනුයේ, “ශතවර්ෂාධික කාලයක් පැරනි” ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන කරා පෙරලා යාම යැයි අයිකේඩීය නිවේදනය කලේය. [8] යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා හතරවැනි ජාත්‍යන්තරය කල කැඳවීමට එය විරුද්ධ විය:

යුරෝපය “සමාජවාදී රාජ්‍යයන්” තුල එක්සත් වීමට පෙර, පලමුව එය ස්වාධීන හා ස්වතන්ත‍්‍ර රාජ්‍ය බවට තමා විසංයුක්ත කර ගත යුතුය. එය මුලුමනින්ම භේදභින්න කෙරුනු, වහල්භාවයට පමුනුවනු ලැබූ, ආපස්සට හෙලනු ලැබූ ජනතාව හා නිර්ධන පන්තිකයන් යලිත් තමා ජාතියක් ලෙස පිහිටුවා ගැනීම සම්බන්ධ කාරනයකි.....

(අප ඉදිරියේ ඇති) කර්තව්‍යය පහත දැක්වෙන ආකාරයෙන් අපට සූත‍්‍රගත කල හැකිය: විනාශ මුඛයට ඇද දමා ඇති වර්ධනය (කම්කරු ව්‍යාපාරය ද ඇතුලුව) යලි ගොඩනැගීම, ධනේශ්වරයේ සියලු ජයග‍්‍රහන යලි අත්පත් කර ගැනීම, ඉහලම අර්ථසිද්ධීන් කරා එලඹීම හා ඒවා උත්කෘෂ්ටත්වයට නැංවීම....

කෙසේවෙතත්, වඩාත්ම බලගතු දේශපාලන ප‍්‍රශ්නය වන්නේ, කාර්මික ධනපති ක‍්‍රමයේ වසන්ත සමය සහ විද්‍යාත්මක සමාජවාදය පිලිබඳ ශතවර්ෂාධික කාලයක් පැරනි ගැටලුවයි. - එනම්, දේශපාලන නිදහස අත්පත් කර ගැනීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය (රුසියාව ද සඳහා) තහවුරු කිරීම යන ජාතික විමුක්තිය සඳහා අත්හල නොහැකි පූර්ව කොන්දේසි හා කම්කරු ව්‍යාපාරය ගොඩනැගීමයි. [9]

දේශපාලන දිනදර්ශනය 1848 ට පූර්ව යුගය කරා ආපසු පෙරලා, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන අත්හැර දැමීමටත්, ජාතික ස්වාධිපත්‍යය හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය කරා ආපසු යාමටත් තමන් කල කැඳවීම, සියලු රටවල් සඳහා අදාල වේ යැයි අයිකේඩීය අවධාරනය කලේය.

උචිත නව්‍යකරන සහිතව [ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජාතික විමුක්තිය පිලිබඳ] මෙම ගැටලුව - චීනය හා ඉන්දියාව ද, ජපානය හා අප‍්‍රිකාව ද, ඔස්ට්‍රේලියාව හා කැනඩාව ද, රුසියාව හා එංගලන්තය ද; කෙටියෙන් කිවහොත් සමස්ත යුරෝපයට, උතුරු හා දකුනු ඇමරිකාවට ආදී වශයෙන් වූ - සමස්ත ලෝකයටම අදාලව පවතින එකකි. බලගතු තීව‍්‍රතාවයකින් යුතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ප‍්‍රශ්නය නොපවතින රටක් කොතැනකවත් නැත, දේශපාලනිකව සංවිධානය වූ කම්කරු ව්‍යාපාරයක් කොතැනකවත් නැත. [10]

යොදා ගත යුතු ප‍්‍රධාන සටන්පාඨය විය යුත්තේ “ජාතික නිදහස” යැයි අයිකේඩීය ප‍්‍රකාශ කලේය.

මෙමගින් අප කීමට අදහස් කරන්නේ මෙයයි: ජාතික ප‍්‍රශ්නය යනු, කම්කරු ව්‍යාපාරය යලි ගොඩනැගීමේ හා සමාජවාදී විප්ලවයේ මූලෝපායික සංක‍්‍රමනීය ලක්ෂ්‍යය බවට අවශ්‍යයෙන්ම පත්වන්නා වූ එකී ඓතිහාසික ආඛ්‍යානයන් අතරින් එකකි. ඓතිහාසිකව අත්‍යවශ්‍ය මෙම ආඛ්‍යානය නොහඳුනන හා එය භාවිතා කරන සැටි නොදන්නා කවරෙකු වුව මාක්ස් - ලෙනින්වාදය ගැන කිසිවක් නොදනී; කිසිවක් වටහා නොගනී. [11]

ඇත්තෙන්ම කිවහොත් ලෙනින් හා ට්‍රොට්ස්කිගේ වැඩ පිලිවෙල ප‍්‍රතික්ෂේප කරමින් සිටියේ අයිකේඩීයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් සඳහා සටන ධනවාදය පෙරලා දැමීමේ අරගලයෙන් වෙන් කිරීම මගින් ඇඟවූයේ, නොනවතින විප්ලවයේ න්‍යාය හා වැඩ පිලිවෙල සම්පූර්නයෙන්ම අතහැර දැමීමකි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි නොනවතින විප්ලවයේ න්‍යාය මගින් අවධාරනය කෙරුනේ, “ධනේශ්වර වර්ධනය කල් පමා වූ රටවල දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ සහ ජාතික විමුක්තියේ කර්තව්‍යයන්ට පරිපූර්න හා තථ්‍ය විසඳුමක් ලබා ගත හැක්කේ, පීඩිත ජාතියේ නායකයා ලෙස, අන් සියල්ලටත් වඩා එහි ගොවි ජනයාගේ නායකයා ලෙස නිර්ධන පන්තියේ ආඥාදායකත්වය පිහිටුවීම” මගින් පමනක් බවයි. [12]

අයිකේඩීය අඩු වර්ධනයක් සහිත රටවල දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් සමාජවාදී ඉල්ලීම් කෙරෙන් වෙන් කිරීම අයෝග්‍ය හා සදොස්වීම එකකි. එහෙත් ලෝක ධනවාදයේ දියුනු මධ්‍යස්ථානයන්හි දී ජාතික විමුක්තියේ ධනේශ්වර වැඩපිලිවෙලකට පන දීමට දැරුනු ඔවුන්ගේ ප‍්‍රයත්නයන්ගෙන් පිලිබිඹු වූයේ, දේශපාලනික දිරිසුන්භාවයේ ව්‍යාධීය මට්ටමකි. අයිකේඩී නායක ජෝසෙෆ් වෙබර්ගේ හවුල්කරුවන් හා මිතුරන් පසුකලෙක සිහිපත් කල පරිදි, යුරෝපය පුරා නාසි පාලනය වසර පනහක් නොවේනම්, අඩුම තරමින් වසර තිහක් දිගටම පවතිනු ඇත යන මතය 1940 ගනන්වල මැද දී ඔහු නිරතුරුව ප‍්‍රකාශ කලේය.[13]

ෂැට්මන්වාදීහු අයිකේඩීයේ ආස්ථානය සාදරයෙන් පිලිගැනීමට ද එය ප‍්‍රවර්ධනය කිරීමට ද ඉදිරිපත් වූහ. 1940 දී හතරවැනි ජාත්‍යන්තරයෙන් බිඳී සිටි ෂැට්මන්වාදීහු, අයිකේඩීයේ තර්කය, සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස නොපිලිගැනීමේත්, අධිරාජ්‍යවාදයට එරෙහිව සෝවියට් සමූහාන්ඩුව ආරක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කිරීමේත් ස්වකීය ආස්ථානයන් සමග මුලුමනින් සැසඳෙන බව විශ්වාස කලෝය. 1940 ගනන් තුල අයිකේඩීයේ තදනන්තර පරිනාමය විසින් සනාථ කෙරුනේ, ප‍්‍රතිගමනවාදී න්‍යාය පිලිබඳ ෂැට්මන්වාදීන්ගේ මෙම තක්සේරුව නිවැරදි වූ බවයි.

අයිකේඩීය හතරවැනි ජාත්‍යන්තරයෙන් වෙන් කල ඔවුන්ගේ දිරිසුන් ඉදිරිදර්ශනය, අවසානයේදී සමාජවාදී කම්කරු පක්ෂය තුල සහයෝගය සොයා ගත්තේ, එහි මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාවයේ රූපාකාරයෙනි. “උරුමය” ලිවීමට පෙර මෙම ප‍්‍රවනතාවයේ වැදගත්කම ද ප‍්‍රමානවත්ව අධ්‍යයනය කෙරී නොතිබින. එය සමාජවාදී කම්කරු පක්ෂය තුල නිශ්චිත විපක්ෂ කන්ඩායමක් ලෙස 1944 දී ඉස්මතු විය. එහි ප‍්‍රමුඛ නායකයෝ දෙපල හතරවැනි ජාත්‍යන්තරය හා ඇමරිකානු පක්ෂය තුල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තුබූ අය වූහ. ඇල්බට් ගෝල්ඩ්මන් (1897-1960) , 1937 දී ඩිවේ කොමිසම හමුවේ ට්‍රොට්ස්කිගේ නීතිඥයා ලෙස සේවය කලේය. 1941 දී ස්මිත් පනත යටතේ පැවැත්වූ නඩු විභාගවලදී රාජද්‍රෝහී චෝදනා එල්ල වූ එස්ඩබ්ලිව්පී සාමාජිකයන්ගේ නීතිඥයා ලෙස ගෝල්ඩ්මන් පෙනී සිටියේය. ඔහු ද විත්තිකරුවන් අතරින් එක් අයෙකු වූ අතර, වැරදිකරුවන් බවට තීන්දු කරනු ලදුව සිර ගෙට යැවුනු පක්ෂ සාමාජිකයන් දහඅට දෙනා අතරට ඔහු ද ඇතුලත් විය. ෆීලික්ස් මොරෝ (1906-1988) එස්ඩබ්ලිව්පීයේ දේශපාලන කමිටු සාමාජිකයෙක් වූ අතර, කැපීපෙනෙන සමාජවාදී මාධ්‍යවේදියෙකු විය. ඔහු වඩාත්ම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ Revolution and Counter-Revolution in Spain (ස්පාඤ්ඤයේ විප්ලවය හා ප‍්‍රතිවිප්ලවය) නම් ඔහුගේ පොත නිසාය. 1941 නඩු විභාගය අවසානයේ සිපිරි ගෙයට යැවූ පක්ෂ සාමාජිකයන් අතරට ඔහු ද ඇතුලත් විය. මොරෝ-ගෝල්ඩ්මන් පිලේ තවත් වැදගත් සාමාජිකයෙකු වූයේ, 1930 ගනන්වල දී ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම් ලෙස කටයුතු කලා වූත්, දෙවැනි ලෝක යුද්ධ සමයේ හතරවැනි ජාත්‍යන්තරයේ ලේකම් ලෙස තත්වාකාරයෙන් කටයුතු කලා වූත් ෂෝන් වොන් හෙයිනූර්ට් (1912-1986) ය.

ෆීලික්ස් මොරෝ

අප රක්නා උරුමය මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාවයේ ආස්ථානයන් විස්තරාත්මකව විමර්ශනය කරයි. කෙසේවෙතත්, උරුමය කෘතිය ප‍්‍රකාශයට පත් වූ කාලයෙන් පසු - අන්තර්ජාලයට ස්තුතිවන්ත වන්නට - වඩවඩාත් එස්ඩබ්ලිව්පී අභ්‍යන්තර සාකච්ඡා බුලටීනයන් පරිශීලනය සඳහා සුලබ වීම හේතුවෙන්, මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාවය කෙතෙක් දුරට අයිකේඩීයේ තර්කවලින් ආභාෂය ලැබී ද යන කරුන සම්බන්ධයෙන් වඩාත් පරිපූර්න ඇගයීමක් කල හැකිව ඇත. 1942 දී මොරෝ හා (මාක් ලෝරිස් යන නමින් ලියූ) වොන් හෙයිනූර්ට් ද “නිබන්ධන තුනේ” යෝජනාව මගින් ඉදිරිපත් කෙරුනු තර්කවලට විරුද්ධ වී ඇත. එහෙත් 1944 මැද භාගයේ ඔවුන්ගේ හා ගෝල්ඩ්මන්ගේ ආස්ථානයන් රැඩිකල් වෙනසකට භාජනය වී ඇත. හතරවැනි ජාත්‍යන්තරය යුරෝපයේ සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලට ආශක්තව සිටීමෙන්, දෙවැනි ලෝක යුද්ධය අවසානවීමෙන් අනතුරුව පැවැති තතු යටතේ, එය දේශපාලනිකව අනදාල බවට පත් කොට ඇතැයි මොරෝ තර්ක කලේය. යුරෝපයේ - විශේෂයෙන්ම ප‍්‍රන්සයේ හා ඉතාලියේ - සිදුවීම්වලට වඩාත්ම ගතානුගතික හා පරාජකවාදී ආකාරයකින් අර්ථකථන සපයමින් මොරෝ-ගෝල්ඩ්මන් කන්ඩායම අවධාරනය කලේ, සමාජවාදී විප්ලවයට මොනයම්ම හෝ අවකාශයක් නොමැති බවයි. එය කියා සිටියේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැඹුරුවකින් යුත් විවිධ ධනපති සංවිධාන සමග හවුල් වෙමින්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සඳහා වූ ව්‍යාපාරයක් බවට තමා පරිවර්තනය කර ගැනීමෙන් තොරව, හතරවැනි ජාත්‍යන්තරයට වෙනත් ශක්‍ය දේශපාලන විකල්පයක් නොවූ බවයි.

හතරවැනි ජාත්‍යන්තරය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වාම උපාංගයක් බවට පරිවර්තනය කිරීමට පෙරකදෝරුකම් කරන අතරම මොරෝ හා ගෝල්ඩ්මන්, ෂැට්මන්වාදීන් සමග දේශපාලනිකව යලි එකමුතුවීම සඳහා කැඳවුම් කලෝය. ඉහතදී ෂැට්මන්වාදීන් විසින් සෝවියට් සංගමය ආරක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම මේ වන විට “කොමියුනිස්ට් ඒකාධිපතිවාදයට” එරෙහිව ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ අරගලයට පලකෙරෙන පූර්න සහායක් බවට වේගයෙන් පරිනාමනය වෙමින් පැවතිනි. හතරවැනි ජාත්‍යන්තරය හා එස්ඩබ්ලිව්පීය බලගතු ලෙස හා නිවැරදි ලෙස මොරෝ හා ගෝල්ඩ්මන්ගේ දිරිසුන් ඉදිරිදර්ශනය ප‍්‍රතිෂේප කලේය.

යුරෝපයේ සිදුවීම් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු “නිවැරදි මාවතක්” පිලිබඳ තර්කවල පරිනාමය හුදු වියුක්ත බුද්ධිවිෂයක අනුශාසනා සම්බන්ධ කාරනයක් නොවීය. පශ්චාත්-යුද දේශපාලන අර්බුදයේ ප‍්‍රතිවිපාක අවිනිශ්චිතව පැවැති, වඩාත්ම ගලා යන සුලු හා අස්ථායී තත්වයක් තුල ට්‍රොට්ස්කිවාදීහු, එම තත්වයේ විප්ලවවාදී විභවයට පරිපූර්න ප‍්‍රකාශනයක් ලබා දීමට උත්සාහ කරමින් සිටියහ. ඔවුන් තම කටයුතු පදනම් කලේ ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිස්ථාපනය නොවැලක්විය හැකිය යන නිගාමී උපකල්පනයක් මත නොව, ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීම සඳහා පැවැති වෛෂයික විභවය මතය. හිට්ලර් බලයට පත්වීමට පෙර පැවැති බැරෑරුම් හෝරාවන්හි දී, තත්ත්වය “අපේක්ෂාභංග”දැයි ට්‍රොට්ස්කිගෙන් අසන ලදී. ඔහු පිලිතුරු වශයෙන් කීවේ, එම වචනය විප්ලවවාදීන්ගේ වාග්මාලාවේ නොමැති බවයි. “අරගලය එය තීරනය කරනු ඇතැ”යි ට්‍රොට්ස්කි නිවේදනය කලේය. පශ්චාත් යුදකාලීන යුරෝපයේ පැවැති කැලඹීම හා අවුල්ජාලය මධ්‍යයේ විප්ලවවාදී අභිප‍්‍රාය “අපේක්ෂාවිරහිත” බවත්, ධනපති ක‍්‍රමයේ පුනස්ථාපනය නොවැලැක්විය හැකි බවත් කියාසිටියවුන්හට ද දිය යුතුව තුබුනේ එම පිලිතුරමය. ඉදින් මොරෝ හා ගෝල්ඩ්මන්ගේ උපදෙස් පරිදි ඔවුන් කල්තබා පරාජය පිලිගත්තේ නම්, ට්‍රොට්ස්කිවාදීන් ධනේශ්වර පුනස්ථාපනයට ආධාරකාරී වූ එක් සාධකයක් බවට පත් වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් හා විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් අතර උචිත සම්බන්ධතාවය පිලිබඳ ප‍්‍රතිවිරුද්ධ තර්ක වලින් පිලිබිඹු වූයේ වෙනස් පන්ති ආස්ථානයන්ය. මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාවයේ සියලූ ප‍්‍රධාන පෙලේ නියෝජිතයෝ වේගයෙන් දකුනට යමින් සිටියහ. එස්ඩබ්ලිව්පීය හැර දා ගිය ගෝල්ඩ්මන් කෙටි කලක් ෂැට්මන්වාදී සංවිධානයට සම්බන්ධ වී සිටි අතර, ඉක්මනින්ම ඔහු මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කලේය. මොරෝ 1946 දී එස්ඩබ්ලිව්පීයෙන් නෙරපනු ලදුව, සමාජවාදී පිලිවෙත් හැරපියා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ සීතල යුද්ධයට සහයෝගය දුන් අතර, අද්භූත සාහිත්‍යයේ ධනවත් ප‍්‍රකාශනකරුවෙකු බවට පත් විය. වොන් හෙයිනූර්ට් ද හතරවැනි ජාත්‍යන්තරය අත්හැර පලා ගොස්, සෝවියට් සංගමය “වහල් රාජ්‍යයකැ”යි හෙලා දුටුවේය. සමාජවාදී දේශපාලනය තුල තම සහභාගය කෙලවර කල ඔහු සුප‍්‍රකට ගනිතඥයකු බවට පත් වූයේය.

මෙකී පුද්ගලයන්ගේ දේශපාලන පරිනාමය, වඩාත් පුලුල් සාමාජීය ක‍්‍රියාවලියක කොටසක් විය. සීතල යුද්ධ වාතාවරනය, පශ්චාත් යුදකාලීන යුරෝපා ආර්ථිකයේ ප‍්‍රතිස්ථායීකරනය සහ කම්කරු පන්ති විප්ලවවාදී ව්‍යාපාරයේ නිලධාරීවාදී ගෙල සිර කිරීම්, වාමාංශික සුලු ධනපති බුද්ධිමතුන්ගේ දේශපාලන දැක්ම කෙරේ බල පැවැත්වීය. මාක්ස්වාදය සාන්දෘෂ්ටිකවාදයට ඉඩ දී ඉවත් විය. සමාජ ක‍්‍රියාවලීන් වෙත ඉහතදී යොමු කෙරුනු අවධානය, පෞද්ගලික ගැටලූ සම්බන්ධ ප‍්‍රයෝජ්‍යකරනයක් මගින් විස්ථාපනය කෙරිනි. දේශපාලන සිද්ධීන් සම්බන්ධ විද්‍යාත්මක ඇගයුම් අත්හැර දැමුනු අතර, ඒවා පිලිබඳ මනෝවිද්‍යාවේ දෘෂ්ටි කෝනයෙන් ලබා දුන් අර්ථකථනයන් ආදේශ විය. ආර්ථික සැලසුම්කරනයේ විභවය මත පදනම් වූ අනාගතය පිලිබඳ සංකල්ප, මනෝරාජික දවල් සිහිනවලට ඉඩ හැර ඉවත් විය. කම්කරු පන්තිය ආර්ථික වශයෙන් සූරාකනු ලැබීම ගැන පැවැති උනන්දුව හීන වී ගියේය. පන්ති පාලනය හා පන්ති ආර්ථික ක‍්‍රමය පිලිබඳ ප‍්‍රයුක්තීන් කෙරෙන් වෙන් කර සලකනු ලැබුවා වූ පාරිසරික ගැටලු පිලිබඳ පූර්ව නියුක්තීහු ප‍්‍රමුඛත්වයට නැගී ගත්හ.

අයිකේඩී නායකයාගේ පරිනාමය, සමාජයීය වශයෙන් නිර්නය වූ බුද්ධිවිෂයක “ප‍්‍රතිගමනයේ” ක‍්‍රියාවලිය විදහා දක්වන්නක් විය. අයිකේඩීය හතරවැනි ජාත්‍යන්තරයත් සමග සබඳතා කපා හැරීමෙන් පසු, මාක්ස්වාදී දේශපාලනයෙන් මුලූමනින් බිඳී ගිය ජෝසෆ් වෙබර්, පාරිසරික යුටෝපියානුවාදයේ අර්ධ-අරාජකවාදී වක්තෘවරයෙකු බවට පත්විය. ඔහුගේ ප‍්‍රධාන ශ‍්‍රාවකයන් අතරින් කෙනෙකු වූයේ සමාජවාදී කම්කරු පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන, 1971 දී තමා ලියූ Post-Scarcity Anarchism (පශ්චාත්-විරලභාවයේ අරාජකත්වය) නම් කෘතිය ජෝසෙෆ් වෙබර්ට පිලිගැන්වූ, මරේ බුක්චින් (1921-2006) ය. ඒ වනවිට මාක්ස්වාදයේ කර්කශ විරුද්ධවාදියෙකු බවට පත්ව සිටි බුක්චින්, “මෙම කෘතිය තුල වර්ධනය කෙරෙන යුටෝපියානු ව්‍යාපෘතියේ දල සැලසුම්, වසර විස්සකට ද වඩා ඉහත දී සූත‍්‍රගත කොට” තිබීම සම්බන්ධයෙන් සිය උපදේශකයාට ස්තුති කලේය. [14] 1999 දී ධනපති ජාතිකවාදී කුර්දිෂ් කම්කරු පක්ෂයේ (පීකේකේ) නායක අබ්දුල්ලා ඔඡලන් තුර්කි ආන්ඩුව විසින් අල්ලා ගනු ලැබ සිරගත කෙරුනු කල්හි, බුක්චින්ගේ ලේඛන ඔහුගේ අවධානයට ලක් විය. බුක්චින්ගේ ලේඛන තුලින්, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධීයවාදය” සඳහා වූ තමාගේම යෝජනාවන් හා සැසඳෙන අදහස් සොයා ගන්නට ඔඡලන් සමත්විය. බුක්චින් අභාවප‍්‍රාප්ත වූ කල්හි පීකේකේය, “විසිවැනි සියවසේ විශිෂ්ඨතම සමාජ විද්‍යාඥයන් අතරින් කෙනෙකු” ලෙස ඔහුට ගෞරව පුද කලේය. [15]

දේශපාලනය පාලනය කරනු ලබන්නේ පන්ති උත්සුකයන්හි තර්කනය විසිනි. මේ වූ කලී, දේශපාලන කන්ඩායම් ආත්මීය උපමානයන්හි පදනම මත තක්සේරු කිරීමට යොමු වන්නන් - විශේෂයෙන්ම ශාස්ත‍්‍රාලයීය උගතුන් - විසින් නිරතුරුව අමතක කර දමනු ලබන මූලික සත්‍යයකි. තව ද ඔවුන්ගේ විචාර බුද්ධිය - ප‍්‍රධාන කොටම එය අවස්ථාවාදීන් හා විප්ලවවාදීන් අතර මතභේදයක් ඇගයීම සම්බන්ධ කරුනක් වූ කල්හි - ඔවුන්ගේම අප‍්‍රකාශිත දේශපාලන පක්ෂග‍්‍රාහීත්වයන්ගේ බලපෑමට නතුවෙයි. සුලු ධනපති ශාස්ත‍්‍රඥයෙකුට සාමාන්‍යයෙන් අවස්ථාවාදීන් විසින් උපදේශනය කෙරෙන ප‍්‍රතිපත්තීන්, විප්ලවවාදීන් ඉදිරිපත් කරන පිලිවෙත්වලට වඩා “තාත්වික” සේ පෙනී යයි. එහෙත් පිවිතුරු දර්ශනවාදයක් නොපවතින්නේ යම්සේ ද, එපරිද්දෙන්ම පිවිතුරු දේශපාලනයක් ද නොපවතී. පෙරදකින ලැබුවා වේවා නොලැබුවා වේවා දේශපාලන වැඩපිලිවෙලකට වෛෂයික ප‍්‍රතිවිපාක පවතී. අධි-ඓතිහාසික ජාතික විමුක්තියක් හා සාර්වත‍්‍රික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිලිබඳ අයිකේඩී වැඩ පිලිවෙල සමාජවාදයට සතුරු, පරිබාහිර පන්ති උත්සුකයන්හි ප‍්‍රකාශනයක් බව 1940 ගනන්වල දී හතරවැනි ජාත්‍යන්තරය ද එස්ඩබ්ලිව්පීය ද හඳුනා ගත්හ.

1950 ගනන්වල මුල් භාගය වන විට ප‍්‍රතිගමනවාදී සංකල්ප, අරාජකවාදයේ හා පාරිසරික න්‍යායයේ රාමුව තුල යලි වාත්තු කරනු ලැබ තිබුනි. යම් කලකට පසු, මාක්ස්-විරෝධී බුක්චින්ගේ ප‍්‍රයත්න මගින්, ජෝසෆ් වෙබර්ගේ සංකල්පවලට වඩාත් පුලුල් සමාජ හා දේශපාලන පදනමක් සුලු ධනේශ්වරයේ නානාප‍්‍රකාර කොටස් ඇතුලතින් වර්ධනය විය. තම දේශපාලන කටයුතු ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග කෙලවරක් නැති උපාමාරු දැමීම් හා ඇයි හොඳයිකම් පැවැත්වීම සමග පටලැවී ඇති කුර්දිෂ් ජාතිකවාදීහු ද මීට අයත්ය. ට්‍රොට්ස්කිවාදය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු මයිකල් බන්ඩා ද ධනපති ජාතිකවාදයට ප‍්‍රතිවර්තනය වූ බවත්, ඔඡලන්ගේ උද්යෝගීමත් සහචරයෙකු හා පීකේකේහි ක‍්‍රියාකාරී ආධාරකරුවෙකු වූ බවත් මෙහිලා සටහන් කල යුතුය.

1940 ගනන්වල පැවැති සමාජ හා දේශපාලන සන්දර්භය තුල ෂැට්මන්වාදීන්, “නිබන්ධන තුනේ” කන්ඩායම සහ මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාවය, යම් කලකට පසු පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ඉස්මතුවීම සමග සම්බන්ධ කල අවශ්‍යම දේශපාලන සංකල්පය වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප‍්‍රතික්ෂේප කිරීමයි. මෙම ප‍්‍රතික්ෂේපය අත්පත් කර ගත් නිශ්චිත ආකෘතීන් එකිනෙකට වෙනස් විය. සෝවියට් සංගමය නව පාලක පන්තියක් බවට පත්වෙමින් හෝ ඒ වනවිටත් පත් වී සිටි, නිලධර ප‍්‍රභූ පැලැන්තියක් මගින් මෙහෙයවනු ලබන නව ආකෘතියක සාමූහිකවාදී සමාජයක් නියෝජනය කරතැයි ෂැට්මන් සමපේක්ෂනය කලේය. ෂැට්මන්වාදී න්‍යායේ එක් ප‍්‍රභේද්‍යයක් වූයේ, සෝවියට් සංගමය “රාජ්‍ය ධනවාදයේ” ක‍්‍රමයක් බවයි. “නිබන්ධන තුනේ” කන්ඩායම හා ඔවුන් අනුගමනය කල මොරෝ-ගෝල්ඩ්මන් ප‍්‍රවනතාව, සමාජවාදී විප්ලවය යනු ඓතිහාසිකව මලගිය එකකැයි යන නිගමනයට පිලිපන්හ.

පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ සංශෝධනවල ට්‍රොට්ස්කිවාදය අතහැර දැමීම, ඝෝෂාකාරී කයිවාරු වලින් ආවරනය කොට ඉදිරිපත් කෙරිනි. එහෙත් ඔවුන්ගේ ඉදිරිදර්ශනය තුල, සමාජවාදය ගොඩනැගීීමේ ප‍්‍රධාන බලවේගය වූයේ කම්කරු පන්තිය නොව ස්ටැලින්වාදී නිලධරයයි. පැබ්ලෝවාදී න්‍යාය ෂැට්මන්වාදී න්‍යායේ අමුතුම අපවර්තනයක් විය. ෂැට්මන්වාදීන් ස්ටැලින්වාදී තන්ත‍්‍රය, නව ආකාරයක සූරාකෑමේ “නිලධාරිවාදී සාමූහිකවාදී” සමාජයක උත්පාදකයා ලෙස හෙලා දුටු අතර පැබ්ලෝවාදී ප‍්‍රවනතාවය දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති නැගෙනහිර යුරෝපයේ ගොඩනගන ලද නිලධරවාදී ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් හඳුන්වා දුන්නේ ධනපති ක‍්‍රමයේ සිට සමාජවාදය කරා ඓතිහාසිකව සංක‍්‍රමනයවීමේ අත්‍යවශ්‍ය ආකෘතිය ලෙසය. මේ සියලු ප‍්‍රවනතාවයෝ, එක එකක් තමාගේම ක‍්‍රමයට, තම දේශපාලන ඉදිරිදර්ශනය පදනම් කලේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නොවන කාර්යභාරය මතය. එය ඓතිහාසික ක‍්‍රියාවලියේ තීරනාත්මක තබා, ක‍්‍රියාකාරී හෝ බලවේගයක් බවට පත් වීම අහෝසි වී ඇත.

1939 සැප්තැම්බරයේ, සමාජවාදී කම්කරු පක්ෂය ඇතුලත මැක්ස් ෂැට්මන් හා ජේම්ස් බර්න්හැම් විසින් නායකත්වය දෙන ලද සුලු ධනපති විරුද්ධ පක්ෂයට එරෙහි සටනේ මූලාරම්භයේ දී, මතභේදයට තුඩු දී ඇති ඓතිහාසික ඉදිරි දර්ශනය සම්බන්ධ මූලික ගැටලුව කෙරේ ට්‍රොට්ස්කි අවධානය යොමු කලේය. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: හතරවැනි ජාත්‍යන්තරය උදක්ම කියා සිටියේ, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය පිලිබඳව පමනක් නොවේ. ඉහත පරාජයන්ගේ පාඩම් උගෙන ගැනීම, සමාජවාදය පාවා දෙන්නන් පාලන නිලතලවලින් නෙරපා හැරීම හා බලය සඳහා අරගලයේ ජයග‍්‍රහනයට අවශ්‍ය වන නායකත්වය කම්කරු පන්තිය තුලින් ගොඩ නැගීම ද කල හැකි බව එය දිගටම කියා සිටියේය. සුලු ධනපති වම මෙම මූලික විප්ලවවාදී ඉදිරි දර්ශනය ප‍්‍රතික්ෂේප කරන බව ට්‍රොට්ස්කි ලිවීය.

මීට පටහැනි ලෙස, ව්‍යාජ-මාක්ස්වාදයේ විවිධ මාදිලිවල මංමුලාවට හා බියට පත් නියෝජිතයෝ, නායකත්වයේ බංකොලොත්කම මගින් පිලිබිඹු කෙරෙන්නේ, විප්ලවවාදී පරමාර්ථය ඉටු කිරීමට නිර්ධන පන්තියේ ධාරිතාවයක් නොමැති බව ය යන උපකල්පනයෙන් පටන් ගනිති. අපේ විරුද්ධවාදීන් කිසිවෙක් හෝ මෙම සිතුවිල්ල පැහැදිලිව ප‍්‍රකාශ නොකරති. එහෙත් ඔවුහු සැමදෙනාම; අති-වාමාංශිකයන්, මාධ්‍යමිකයන්, අරාජකවාදීන් -ස්ටැලින්වාදීන් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ගැන අමුතුවෙන් සඳහන් කිරීම හෝ අවශ්‍ය නොවේ- එකෙකුදු නොහැර, පරාජයන්හි වගකීම තම කරපිටින් ගෙන නිර්ධන පන්තියේ කර මත පටවති. නිර්ධන පන්තිය නිරවද්‍යව ම කවර තතු යටතේ සමාජවාදී පෙරලිය සාක්ෂාත් කර ගැනීමට සමත් වනු ඇත්දැයි ඔවුහු එකෙක් හෝ පෙන්වා නොදෙති.

පරාජයන් සඳහා හේතු නිර්ධන පන්තියේම සමාජ ගුනාංගයන් තුල මුල් බැස තිබුනේ නම්, නූතන සමාජයේ තත්ත්වය අපේක්ෂාවිරහිත බව පිලිගැනීමට සිදු වේ. [16]

පැබ්ලෝවාදී සංශෝධනවාදය යටින් පැවැති -යමෙකු නෂ්ටාපේක්ෂාව ලෙස පවා විස්තර කිරීමට ඉඩ ඇති- අසාරදර්ශනය, 1951 තුන්වැනි ලෝක සම්මේලනයට පෙරාතුව වර්ධනය කෙරුනු එහි “යුද-විප්ලව” න්‍යාය තුල තම පරිසමාප්ත ප‍්‍රකාශනය අත්පත් කර ගත්තේය. “අපේ ව්‍යාපාරය සඳහා වෛෂයික සමාජ යථාර්ථය සමන්විත වන්නේ ඉඳුරාම ධනේශ්වර තන්ත‍්‍රයෙන් හා ස්ටැලින්වාදී ලෝකයෙනැ”යි පැබ්ලෝවාදී ලේඛනය නිවේදනය කලේය. සමාජවාදය සඳහා සටන මෙම කඳවුරු දෙක අතර ඇතිවන යුද්ධයක ස්වරූපය ගන්නා අතර, එයින් ජයග‍්‍රාහකයා ලෙස ස්ටැලින්වාදී පද්ධතිය මතු වනු ඇත. තාප-න්‍යෂ්ටික යුද්ධයක අලු මතින් නැගෙමින් ස්ටැලින්වාදීන්, - දැනටමත් නැගෙනහිර යුරෝපයේ පවතින ඒවාට සමාන වර්ගයේ - “විකෘති කම්කරු රාජ්‍ය” බිහි කරනු ඇති අතර, ඒවා ශතවර්ෂ ගනනාවක් පවතිනු ඇත. මෙම විස්මයාකාර හා අශෝභන සිද්ධිදාමය තුල කම්කරු පන්තියට හෝ හතරවැනි ජාත්‍යන්තරයට කිසිදු ස්වාධීන භූමිකාවක් නොතිබින. ස්ටැලින්වාදී පක්ෂ තුලට ඇතුලු වී ඒවා තුල වාම බලපෑම් කන්ඩායම් ලෙස කටයුතු කිරීමට එහි කේඩරයන්ට උපදෙස් දෙන ලදී. මෙම දියකරහැරීම්වාදී ඉදිරි දර්ශනය ස්ටැලින්වාදී පක්ෂ තුලට ඇතුලුවීමට පමනක් සීමා නොවීය. මෙම වෙලුමේ පැහැදිලි කෙරෙන පරිදි:

ස්ටැලින්වාදයට අනුගත වීම නව පැබ්ලෝවාදී දෘෂ්ටියේ ප‍්‍රධාන ලක්ෂනය වෙතත්, එය එහි අත්‍යවශය ලක්ෂනය ලෙස දැකීම වරදක් වනු ඇත. එදත් (අදත් ) පැබ්ලෝවාදය මුල සිට අග දක්වා ම දිය කර හැරීම් වාදයකි. එනම් සමාජවාදී විප්ලවය තුල නිර්ධන පන්තියේ ආධිපත්‍යය සහ නිර්ධන පන්තියේ ඓතිහාසික කාර්යභාරයේ සවිඥානක ප‍්‍රකාශනය හැටියට හතරවන ජාත්‍යන්තරයේ සැබවින් ම ස්වාධීන පැවැත්ම ප‍්‍රතික්ෂේප කිරීමකි. යුද්ධ - විප්ලව න්‍යාය ප‍්‍රධාන දියකරහැරීම්වාදී න්‍යාය විස්තාරනය කිරීම සඳහා මූලික පසුබිම සම්පාදනය කලේ ය: හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවන් වැඩ කල රටවල් තුල කම්කරු හා මහජන ව්‍යාපාරයන්හි කුමන දේශපාලනික ප‍්‍රවනතා ආධිපත්‍යය දරන්නේ ද ඒවා තුලට සියලුම ට්‍රොට්ස්කිවාදී පක්ෂ දිය කර හැරිය යුතු ය. [17]

1953 නොවැම්බරයේ ඇති වූ භේදය, සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුල වඩාත්ම තීරනාත්මක සිදුවීම් සමග එක පෙලට සිටී. පරදුවට තැබී තිබුනේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ -එනම්, සමාජවාදය සඳහා අරගලයේ සමස්ත උරුමයෙහි සවිඤ්ඤානක හා දේශපාලනිකව සංවිධිත ප‍්‍රකාශනයේ- චිරපැවැත්මට කිසිසේත් අඩු දෙයක් නොවේ. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි වඩාත්ම තීරනාත්මක මොහොතේ කැනන්ගේ “විවෘත ලිපිය”, විසිවන සියවසේ විප්ලව හා ප‍්‍රතිවිප්ලවයන්ගේ මූලෝපායික පාඩම්වලින් උකහා ගැනුනු ට්‍රොට්ස්කිවාදයේ පදනම් මූලධර්ම ව්‍යක්ත ලෙස පුනර්කරනය කලේය. හතරවැනි ජාත්‍යන්තරය දිය කර දැමීම යනු, අධිරාජ්‍යවාදයටත්, ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ, ධනපති ජාතිකවාදී පක්ෂ හා සංවිධානවල එහි නියෝජිතයන්ටත් එරෙහි දේශපාලනිකව සංවිධිත මාක්ස්වාදී විපක්ෂයේ අවසානය විය හැකිව තිබින. මේ වූ කලී සමපේක්ෂනාත්මක තර්කමාත‍්‍රයක් නොවේ. එය ඓතිහාසික සත්‍යයකි. තථ්‍ය වශයෙන් සෑම මහාද්වීපයකම රටවල් රාශියක, පැබ්ලෝවාදයේ දියකරහැරීම්වාදී පිලිවෙත් ක‍්‍රියාවට නැංවූ තැන්වලදී, එහි ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යාසත්‍යභාවය සනාථ කර ගත හැකිය.

සෝවියට් සංගමයේ ඉරනම සැලකිල්ලට ගත් කල, පැබ්ලෝවාදී නායකයන් ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් කම්මුතු වී යන තෙක්ම නිලධාරිවාදී ස්වයං-ප‍්‍රතිසංස්කරනය පිලිබඳ න්‍යායට ආසක්තව සිටි බව සිහිපත් කල යුතුය. ජාත්‍යන්තර කමිටුව, 1986 තරම් ඉහත දී, මිඛායෙල් ගෝර්බචොෆ් බලයට පත්වීම හා ඔහුගේ පෙරස්ට්‍රොයිකා ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නැංවීම මගින් සෝවියට් සංගමයේ ධනපති ක‍්‍රමය පුනස්ථාපනය කිරීමෙහි ලා අවසාන සූදානම සනිටුහන් කෙරෙන බවට අනතුරු හඟවන අතරතුරදී, පැබ්ලෝවාදීහු ඔහුගේ ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති සමාජවාදය දෙසට තැබූ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස හඳුන්වමින්, ඒවාට කීර්ති ප‍්‍රශංසා පිදූහ. 1988 දී අර්නස්ට් මැන්ඩෙල් ගොර්බචොෆ් විස්තර කලේ, “විශිෂ්ඨ දේශපාලන නායකයෙකු” ලෙසය. ගොර්බචොෆ්ගේ පිලිවෙත් ධනවාදී පුනස්ථාපනයට මග හෙලි කරතැයි අනතුරු හැඟවීම, “අභූතයෙකැ”යි බැහැර කරමින් මැන්ඩෙල් නිවේදනය කලේ, “ස්ටැලින්වාදය හා බ්‍රෙශ්නෙව්වාදය නිසැකවම අවසානය කරා පැමින ඇති” බවයි. “සෝවියට් ජනයාට, ජාත්‍යන්තර නිර්ධන පන්තියට, සමස්ත මනුෂ්‍ය වර්ගයාට හොඳ සැනසුම් සුසුමක් හෙලිය හැකිය.” [18]

මැන්ඩෙල්ගේ අන්තේවාසික බ්‍රිතාන්‍ය පැබ්ලෝවාදී තරික් අලි ගොර්බචොෆ් තන්ත‍්‍රයේ පිලිවෙත් සම්බන්ධයෙන් උද්‍යෝගයට පත් වූයේ ඊට ද වඩා අසීමිතවය. 1988 දී ප‍්‍රකාශයට පත්, Revolution From Above: Where is the Soviet Union Going? (ඉහලින් කෙරෙන විප්ලවය: සෝවියට් සංගමය යන්නේ කොහේද?) නම් සිය කෘතිය තුල අලි පැබ්ලෝවාදයේ නෛසර්ගික විශේෂාංග ගනනාවක් - ස්ටැලින්වාදී නිලධරයට දක්වන අසීමිත සහයෝගය, විකාරරූපී දේශපාලන අවස්ථාවාදය හා දේශපාලන යථාර්ථය හඳුනාගැනීමට ඇති පරිපූර්න නොහැකියාව - සම්මිශ‍්‍රනය කලේය. තම පූර්විකාව තුල අලි, එම පොතේ නිබන්ධනය සම්පින්ඩනය කොට දක්වා ඇත:

ගොර්බචොෆ් සෝවියට් ප‍්‍රභූව තුල ප‍්‍රගතිශීලී, ප‍්‍රතිසංස්කරනවාදී ධාරාවක් නියෝජනය කරන බවටත්, ඔහුගේ වැඩ පිලිවෙල සාර්ථක වුවහොත් එමගින් ලොව පුරා සමාජවාදීන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට ඉමහත් ප‍්‍රතිලාභයක් අත්වනු ඇති බවටත් “ඉහලින් කෙරෙන විප්ලවය” කරුනු ගෙන හැර දක්වයි. ඇත්තෙන්ම කිවහොත්, ගොර්බචොෆ්ගේ මෙහෙයුමේ පරිමානය, දහනව වන සියවසේ ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ - ඒබ‍්‍රහම් ලින්කන්ගේ - ප‍්‍රයත්නයන් සිහිපත් කරවයි. [19]

පෙනී යන පරිදි, ගොර්බචොෆ් ඒබ‍්‍රහම් ලින්කන්ගේ මට්ටමට ඔසොවා තැබීම මගින් ස්ටැලින්වාදය කෙරේ තමන්ගේ ශ‍්‍රද්ධාවේ සමස්ත පරිමානය ප‍්‍රමානවත් ලෙස ප‍්‍රකාශයට පත් නොවීයැයි තරික් අලි කනස්සල්ලට පත් සේය; “සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහල සාමාජිකයෙකු වූත්, සිය දේශපාලන ධෛර්යය මගින් රට පුරා වැදගත් සංකේතයක් බවට පත් කරන ලද්දා වූත් බෝරිස් යෙල්ට්සින්” වෙත ඔහු සිය වෙලූම යටහත් පහත්ව පිලිගැන්වීය. [20]

සංගමය අවසාන වශයෙන්ම වනසා දැමීමේ ප‍්‍රමුඛ වාස්තු විද්‍යාඥයන් දෙපල - මිඛායෙල් ගොර්බචොෆ් හා බෝරිස් යෙල්ට්සින් - වෙත පල කෙරුනු පැබ්ලෝවාදීන්ගේ නොසැඟවූ සහයෝගය, පැබ්ලෝවාදයේ ප‍්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ප‍්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික තහවුරුවක් ද අධිරාජ්‍යවාදයේ මෙම අනර්ථකාරී සුලු ධනපති දේශපාලන ඒජන්සියට එරෙහිව ජාත්‍යන්තර කමිටුව දශක ගනනාවක් පුරා ගෙන ගිය අරගලයට සුජාත භාවයක් ද සම්පාදනය කලේය.

* * *

1988 දී අප රක්නා උරුමය ප‍්‍රකාශයට පත් තැන් පටන් මේ දක්වා ලෝකය අත්දුටුවේ, ප‍්‍රගාඪ ආර්ථික, තාක්ෂනික හා සමාජයීය වෙනස්කම් රැසකි - පුපුරන සුලු දේශපාලන වර්ධනයන් ගැන කියනුම කවරේද? සෝවියට් සංගමය විසුරුවා හැරීම මගින් - පශ්චාත් සෝවියට් අධිරාජ්‍යවාදී විජයග‍්‍රහනවාදයේ කිරුලු පලන් දිනයේ ප‍්‍රතිඥා දුන් පරිදි “ඉතිහාසයේ අවසානය” කෙසේ වෙතත් - සාමයේ නව අවධියක් හෝ උදා කෙරුනේ නැත. ලෝකය “අර්බුදයක” පවතින්නේ යයි පැවසීම තත්වය අඩු තක්සේරු කිරීමකි. වඩාත් උචිත වන්නේ එය “අවුල් ජාලයක්” ලෙස විස්තර කිරීමයි. පසුගිය සියවස් කාල අනවරත යුද්ධයෙන් විනාශභාග් විය. දිනෙන් දින ලෝක ගෝලයේ වඩ වඩාත් විශාල භූමි ප‍්‍රදේශ අධිරාජ්‍යවාදී භූදේශපාලන සංඝට්ටනයේ මහා සුලිය තුලට ඇද ගැනෙමින් පවතී. 1991න් පසු තමා ලෝකය පාලනය කරනු ඇතැයි යන අපේක්ෂාවන් ව්‍යර්ථ වී ගිය එක්සත් ජනපදයට, කිසිදා නොවූ විරූ පරිමානයක සාහසික නොසැලකිල්ලකින් යුතුව සිය මිලිටරි මෙහෙයුම් උත්සන්න කිරීමට සිදු වී ඇත. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ ව්‍යසනයෙන් මතුව ආ අධිරාජ්‍යවාදී ලෝක පර්යායයේ පදනම් බිඳී ඇද හැලෙමින් පවතී. රුසියාව හා චීනය සමග වොෂින්ටනයේ ගැටුම් තීව‍්‍රවෙමින් පැවතීම මධ්‍යයේ පවා, එක්සත් ජනපදය හා එහි ප‍්‍රධාන අධිරාජ්‍යවාදී “හවුල්කරුවන්”-විශේෂයෙන් ජර්මනිය- අතර දේශපාලන සබඳතා වේගයෙන් පිරිහී යමින් පවතී.

ආර්ථික පෙරමුනේ දී ධනේශ්වර ක‍්‍රමය එක් අර්බුදයක සිට තවෙකක් කරා ලුහුටා යයි. 2008 ආර්ථික බිඳවැටීමේ බලපෑම් තවමත් ඉක්මවා ගොස් නැත. බිඳවැටීමේ ප‍්‍රධාන උරුමයව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රාමුව තුල දරා සිටිය නොහෙන මට්ටම් කරා ලඟා වී ඇති, තීව‍්‍රවෙමින් පවත්නා සමාජ අසමානතාවයයි. සම්පත් කුඩා ප‍්‍රභූවක් තුල විශ්මය දනවන මට්ටමකින් සංකේන්ද්‍රනයවීම ලෝක ප‍්‍රපංචයක් වී ඇති අතර, ධනපති ආන්ඩුවල වැඩෙන දේශපාලන අස්ථායීභාවයට යටින් පවතින්නේ එයයි. ලෝකයේ සෑම තැනකම පන්ති ගැටුම් උග‍්‍ර වෙමින් පවතී. ධනේශ්වර නිෂ්පාදනයේ හා මූල්‍ය ගනුදෙනුවල ගෝලීයකරනය ජාත්‍යන්තර කම්කරු පන්තිය පොදු අරගලයකට ඇද ගනිමින් සිටී.

වෛෂයික තතු විප්ලවවාදී පන්ති අරගලයේ අතිවිශාල ප‍්‍රසාරනයක් සඳහා ආවේෂය සම්පාදනය කරයි. එහෙත් මෙම වෛෂයික ආවේෂයන් දේශපාලනිකව සවිඥානක ක‍්‍රියාකාරීත්වය බවට පරිවර්තනය කල යුතුය. කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අතිශය වැදගත් ගැටලුව මෙහිදී පැන නගී.

ලෝක ධනපති ක‍්‍රමයේ අපරිමිත අර්බුදය පවතිද්දීම, ධනේශ්වරයේ ඉහලම ස්ථරයන් තුල පොදුවේ පවත්නා දේශපාලන වියවුල තිබියදීම, ඉදිරි මාවතක් සොයා ගැනීම සඳහා දැරෙන කම්කරු පන්තියේ ප‍්‍රයත්න අවහිර කරනු ලැබ ඇත්තේ, ස්වකීය බලපෑම එම ව්‍යාපාරය මැඩ පවත්වා, පීලි පැන්නවීම සඳහා යොදවන පක්ෂ හා සංවිධාන මගිනි. එසේ වුව, පසුගිය දශක දෙකේ අත්දැකීම් ඒවායේ ලාංඡනය බහුජන විඥානය තුල තබා ඇත. නිල “සමාජවාදී” පක්ෂවල බංකොලොත්කම පුලුල්ව හඳුනා ගනු ලැබ ඇත. එහෙත් සමාජ ප‍්‍රශ්නවලට වඩාත් රැඩිකල් ප‍්‍රවිෂ්ටයක් ගැනීමට ප‍්‍රතිඥා දෙන - ග‍්‍රීසියේ සිරිසාව වැනි - නව සංවිධාන කරා මහජනයා හැරෙත්ම, ඔවුන්ගේ පොරොන්දුවල හිස් බව වහා හෙලිදරව් වෙයි. යුරෝපා සංගමයට එරෙහි බහුජන විරෝධතා රැල්ලක් මත බලයට පත්වූ සිරිසාවට, තම ආධාරකරුවන්ට දුන් සෑම ප‍්‍රතිඥාවක්ම ප‍්‍රතික්ෂේප කිරීමට ගත වූයේ මාස කිහිපයක් පමනකි. ඉදින් ස්පාඤ්ඤයේ පොදෙමොස්වරුන් වේවා, බ්‍රිතාන්‍යයේ කෝබින් වේවා, එක්සත් ජනපදයේ සැන්ඩර්ස් වේවා බලයට පත් වූයේ වී නමුත් ප‍්‍රතිඵලය නොවෙනස් වනු ඇත.

විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම, තවමත් කම්කරු පන්තිය අබිමුව පවතින ප‍්‍රමුඛ ඓතිහාසික කර්තව්‍යයයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් පිටත මෙම අභියෝගයට මුහුන දීමට සටන් වදින දේශපාලන සංවිධානයක් ලෝකයේම ඇත්තේ නැත. මෙම ප‍්‍රකාශයේ වලංගුතාවය, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලයේ න්‍යායික හා දේශපාලනික උරුමය ආරක්ෂා කිරීමට - මේ වන විට හැට පස් අවුරුදු කාල පරාසයක් පුරා - හජාජාකය කල අරගලයේ ඉතිහාසය මගින් සනාථ කෙරෙයි.

ඩේවිඩ් නෝර්ත්

ඩෙට්‍රොයිට්

2017 ජූනි 22

සටහන්:

1.අප රක්නා උරුමයදෙවන කොටස,“ජේම්ස් පී. කැනන්ගේ විවෘත ලිපිය” (කම්කරු මාවත ප‍්‍රකාශන), පිටු 317-18.

2. කවිප ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද කෘතිය තුල “කම්කරු විප්ලවවාදී පක්ෂයේ අවස්ථාවාදී පරිහානිය” ගැන සවිස්තරාත්මකව විශ්ලේෂනය කර ඇත.

3. හජාජාක ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි, 1982-1986, හතරවන ජාත්‍යන්තරය සඟරාව 13 වෙලුම, 1986 ගිම්හානය

4. මාක්ස් හා එංගල්ස්, එකතුකල කෘති, 26 වෙලුම, 389 පිටුව

5. “යුරෝපයේ ජාතික ප‍්‍රශ්නය: යුරෝපීය තත්වය හා දේශපාලන කර්තව්‍යන් පිලිබඳ ප‍්‍රවාද තුන” 1941 ඔක්තෝබර් 19, හතරවන ජාත්‍යන්තරය 1942 දෙසැම්බර් සංස්කරනය, 370-72 පිටු, මෙතැනින් ලබාගන්න- www.marxists.org/history/etol/newspape/fi/vol theses.htm.

6. එම

7. “ධනපති ම්ලේච්ඡත්වය ද සමාජවාදය ද” නිව් ඉන්ටර්නැෂනල් ප‍්‍රකාශන 1944 ඔක්තෝබර්, 333 පිටුව.

8. එම., අවධාරනය මුල් පිටපතේ.

9. එම., 340 පිටුව,

10. එම.,

11. එම.,

12. නොනවතින විප්ලවය, The Permanent Revolution (London: New Park Publications, 1962),152 පිටුව

13.මාර්සෙල් වැන් ඩර් රෙවලූෂන්, “The Prehistory of Post-Society Anarchism: Josef Weber and the Movement for a Democracy of Content (1947-1964),” අරාජකවාදී අධ්‍යයන, 9, 131 පිටුව.

14. එම., 127 පිටුව.

15. https://roarmag.org/essays/bookchin-kurdish-struggle-ocalan-rojava/

16. “සෝවියට් සංගමය යුද්ධයේ” මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා

17. අප රක්නා උරුමය , පලමු කොටස, “පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ස්වභාවය”, (කම්කරු මාවත ප‍්‍රකාශන) 254පි.

18. අර්නස්ට් මැන්ඩෙල්, පෙරෙස්ට්‍රොයිකාවෙන් ඔබ්බෙහි, 16 පිටුව (London: Verso, 1989),

19. තරික් අලි, විප්ලවය ඉහලින් (Surry Hills, Australia: Hutchinson, 1988) 16 පිටුව

20. එම, කැපකිරීමේ පිටුව

Share this article: