ඉන්දියාවේ දී එතැන්හි සිට කල වාර්තාවක්
මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි උසාවි නියෝගය “කලින් තීන්දුකල” එකක් ලෙස කම්කරුවෙක් හෙලා දකියි

Maruti Suzuki worker condemns court verdict as “pre-determined”

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජුනි 16

මරුති-සුසුකි කම්කරු සමිතියේ ප‍්‍රාදේශීය කමිටු සාමාජික ජිතේන්ද්‍ර කුමාර්, බොරු නඩු තීන්දු හා මෝටර් රථ කම්කරුවන් 13 දෙනෙකුට එරෙහි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග කතා කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් කන්ඩායමක් පසුගිය මාසයේ දී ඉන්දියාවේ දිල්ලි අගනුවරට හා ඒ අසල ගුර්ගාඔන්-මනේසාර් කාර්මික ප‍්‍රදේශයට සංචාරය කලේ, මනේසාර්හි මරුති-සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සටන්කාමී කම්කරුවන් මත පැටවූ බොරු නඩු තීන්දුව හා ම්ලේච්ඡු සිර දඬුවම් අහෝසි කරන ලෙස අරගලයක යෙදෙන කම්කරුවන් සමග කතා කිරීමට යි.

මාර්තු 18දා ගුර්ගාඔන් දිස්ත‍්‍රික් උසාවියේ විනිසුරුවා මෝටර් රථ කම්කරුවන් 13 දෙනෙකු ජීවිතාන්තය තෙක් හිරේ දමන ලද්දේ, 2012 ජූලි 18 දින සමාගම මුල් වී ඇති කරන ලද කම්හල් බිමේ සිදු වූ ආරවුලක් හා විෂ දුම් ආඝ‍්‍රානය වීම හේතුවෙන් කලමනාකරුවෙකු මරනයට පත්වුනු ගින්නක් දඩමීමා කරගෙන ගෙතූ, බොරු මිනීමැරුම් චෝදනාවක් යොදාගනිමිනි. තවත් කම්කරුවන් 18 දෙනෙකු ඊට අඩු චෝදනා මත වසර 3 සිට 5 දක්වා වන සිර දඬුවම්වලට ලක්කරන ලදී.

ජීවිතාන්තය තෙක් හිරගෙදරට යවන ලද කම්කරුවන් 13 දෙනා අතරට, මරුති සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ* විධායක කමිටුවේ 12 දෙනා ම අයත් වෙති. එම සමිතිය 2011-12 සමයේ පිහිටුවන ලද්දේ, සමාගමට හිතවත්, රාජ්‍ය අනුග‍්‍රහය ලබන වෘත්තීය සමිතියට විරුද්ධව සාමාන්‍ය කම්කරුවන් අතරින් පැනනැගුනු කැරලිකාරීත්වයක් මධ්‍යයේ ය.

මරුති සුසුකි කම්කරුවන්ට දුන් දුන් දඬුවම, සමස්ථ කම්කරු පන්තිය බියවැද්දීමටත්, ම්ලේච්ඡු සූරාකෑමේ කොන්දේසි පැටවීමට විරුද්ධ ව කම්කරුවන් අතරින් පැනනගින ඕනෑම විරෝධයක් අනුකම්පා විරහිතව තලා දැමීම ගැනත් තමන් කෙරෙහි විශ්වාසය තබන ලෙස, විදේශීය ආයෝජකයන්ට සංඥා කිරීම සඳහා යොදාගැනීමට ඉන්දීය පාලක ප‍්‍රභූව අධිෂ්ඨානවත් ව සිටී. ”අපේ කාර්මික වර්ධනය පහල ගිහින් තිබෙනවා. ඍජු විදේශ ආයෝජන වියලී ගිහින්. අගමැති නරේන්ද්‍ර මෝදි ”ඉන්දියාවේ නිපදවමු” කියා කැඳවුම් කලත්, මේ වගේ සිද්ධීන් හින්ද අප ගැන තියන ජාත්‍යන්තර ප‍්‍රතිරූපය කිලූටු වෙනවා” යයි හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුවෙන් පත්කල විශේෂ චෝදක අනුරාග් හෝදා ප‍්‍රකාශ කලේ, මාර්තු 17දා පැවැත්වූ දඬුවම් තීන්දු කිරීමේ නඩුවාරයේ දී කම්කරුවන් 13 දෙනා එල්ලා මරා දමන ලෙස තමන් අනවා සිටින්නේ මන්දැයි කල හේතුදැක්වීමේ දී ය.

ඉන්දියාවේ සංගත-පාලිත මාධ්‍යයන් හා ප‍්‍රධාන වෘත්තීය සමිති සියල්ල, සිරගත කරන ලද කම්කරුවන්ගේ ඉරනම ගැන පරිපූර්න නිෂ්ශබ්දතාවක් පවත්වාගෙන යයි. ප‍්‍රධාන ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) ඉංග‍්‍රීසි පුවත්පත වන පීපල්ස් ඩිමොක‍්‍රසි, මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි නඩු තීන්දුව හෝ ඔවුන්ට නියම කල ම්ලේච්ඡ සිර දඬුවම් ගැන එකදු වචනයක් හෝ මුද්‍රනය කිරීමට අසමත් විය.

එම්එස්ඩබ්ලිව්යූ සමිති නායකයන් හා ක‍්‍රියාකාරී කම්කරුවන්ව මහා පරිමානයෙන් අත්අඩංගුවට ගෙන, ජපානයට අයත් සමාගම විසින් කර්මාන්තශාලාවේ ශ‍්‍රමබලකාය විරේකනය කිරීමට විරුද්ධ ව සමිතියේ පාලනය අතට ගත් එහි ප‍්‍රාදේශීය කමිටුවේ සාමාජිකයන් සමග අපගේ වාර්තාකරුවෝ කතා කලේ නිෂ්ශබ්දතාවේ මෙම කුමන්ත‍්‍රනය බිඳීමට යි. අත්අඩංගුවට ගෙන, වසර ගනනාවක් තිස්සේ ඇප නො දී බන්ධනාගාරගතව තබා, චෝදකයන්ට කිසිදු සාක්ෂියක් සම්පාදනය කල නො හැකි නිසා අවසානයේ මුදාහල, මෝටර් රථ කම්කරුවන් සමග ද ලෝසවෙඅ වාර්තාකරුවෝ කතා කල හ.

භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) හා කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වය ලබන හර්යානා ප‍්‍රාන්ත බලධාරීන්ගේ හා ඉන්දීය ආන්ඩුවේ පිටුබලය ඇතිව, සමාගම, පොලීසිය, චෝදකයන් හා විනිසුරුවන්, කම්හලේ මානව සම්පත් කලමනාකාර අවිනීෂ් දේව්ගේ මරනය දඩමීමා කරගෙන කම්කරුවන්ව බියවැද්දුවේ කෙසේදැයි යන්න ගැන ලෝසවෙඅ සවිස්තර විභාග කිරීමක් කර තිබේ.

නීතිය මෙලෙස කෙලෙසීම හා දඩයමට ලක්කල මිනිසුන් වෙනුවෙන් වැඩිදුර නෛතික පියවරයන් ගැනීම සඳහා වන නඩුවේ ක‍්‍රියාකාරීව සිටින රැකවරන නීතිඥයන් සමග ද ඉන්දියාවේ අපගේ වාර්තාකරුවෝ සාකච්ඡා කල හ.

මෙම බියකරු බොරු නඩුවට විරුද්ධව කම්කරුවන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරන සියල්ලන් බලමුලූගැන්වීමට ද මෙම දඩයම් කල ධෛර්යවන්ත කම්කරුවන්ව වහාම නිදහස් කරන ලෙස බලකිරීමට ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝසවෙඅ ජාත්‍යන්තර උද්ඝෝෂනයක නිරත ව සිටිති.

මරුති-සුසුකි කම්කරුවෝ වනාහි, ඉන්දියාව, චීනය ඇතුලූ සමස්ත ආසියාව, අප‍්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල ධනේශේවර ගෝලීයකරනය විසින් නිර්මානය කර ඇති මිලියන සිය ගනනක් වන නව කම්කරු පන්තියේ නියෝජිතයෝ ය. සූරාකෑමේ හුදු අයිතමයන් නො වන මෙම කම්කරුවෝ, වැඩිදියුනු ධනපති රටවල කම්කරුවන්ගේ බලගතු සහායකයෙක් හා යෝධ සමාජ බලවේගයක් වෙති.

ට‍්‍රම්ප්, ලා පෙන් සහ වෘත්තීය සමිති විසින් පෙරට දමන ආර්ථික ජාතිකවාදය හා ස්වෝත්තමවාදය ප‍්‍රතික්ෂේප කල යුතු වන අතර උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා ජපානයේ කම්කරුවෝ, ශිෂ්ට සම්පන්න හා සුරක්ෂිත රැකියා සහ සමාජ අයිතීන් වෙනුවෙන් ද ඓතිහාසික ව පරිපීඩිත රටවල මහාජනකායන් යලිවතාවක් වහල් තත්ත්වයට ඇද හෙලීම එක් ප‍්‍රධාන ඉලක්කයක් කරගන්නා අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධව ද ආසියාවේ, අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ කම්කරුවන් සමග තම එකමුතුකමේ ශක්තිය ගොඩ නගා ගත යුතු ය.

වහල් ක‍්‍රමයේ සූරාකෑමට අභියෝග කරමින් මරුති-සුසුකි කම්කරුවෝ සටන් කරමින් සිටියේ හුදෙක් ඉන්දියාවේ කම්කරුවන් වෙනුවෙන් පමනක් නොව, සමස්ත ලෝකයේ ම කම්කරුවන් වෙනුවෙනි. එම නිසා, ඔවුන්ව ආරක්ෂා කිරීම, ගෝලීය ධනවාදයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩනැගීමේ, එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික දේශපාලන මූලෝපායක් වර්ධනය කිරීමේ තීරනාත්මක මුල් පියවරකි.

***

එම්එස්ඩබ්ලිව්යූ ප‍්‍රාදේශීය කමිටු සාමාජික ජිතේන්ද්‍ර කුමාර්

එම්එස්ඩබ්ලිව්යූ ප‍්‍රාදේශීය කමිටු සාමාජික ජිතේන්ද්‍ර කුමාර්, මනේසාර්හි පිහිටි සමිති කාර්යාලයේ දී ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කලේ ය. හර්යානා ප‍්‍රාන්තයේ රේවාරි දිස්ත‍්‍රික්කයේ වැසියෙක් වන කුමාර්, 2005 වසරේ දී මරුති සුසුකි සමාගමේ ගුර්ගාඔන් කර්මාන්තශාලාවේ ආධුනික කම්කරුවෙකු ලෙස සේවයට බඳවාගෙන ඇත්තේ, ඉන්දියානු කාර්මික අධ්‍යාපන ආයතනයේ (අයිටීඅයි) පෑස්සුම් ශිල්පී පාඨමාලා සම්පූර්න කිරීමෙන් පසුව ය. සැතපුම් 10ක් එපිටින් පිහිටි මනේසාර් කම්හලට 2009 දී පුහුනු වන්නෙකු ලෙස බඳවාගැනුනු ඔහු, 2010 දී සේවයේ ස්ථිර කම්කරුවෙක් බවට පත් විය.

ස්වාධීන වෘත්තීය සමිතියක් තැනීමටත්, කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමයට හා කම්හලේ වහල් කොන්දේසිවලට එරෙහිව සටන් කිරීමටත්, කම්කරුවන් ගෙනගිය අරගලය විමර්ශනය කල කුමාර්, මෙසේ කීවේ ය: “ගුර්ගාඔන් හොන්ඩා මෝටර් රථ කර්මාන්තශාලාවේ කම්කරුවන් වෘත්තීය සමිතියක් තනාගත් පසු සමහර ප‍්‍රතිලාභ ලබාගැනීමට සමත් වූ බව දැනගත් නිසා, මනේසාර් කම්හලෙත් සමිතියක් තනාගතහොත් අපේ කොන්දේසිත් ඉහල දමාගත හැකි වේ යයි අපි හිතුවා. කම්හලේ පාලනය යටතේ තිබ්බ එම්යූකේයූ (මරුති උද්යෝග් කම්ගාර් යුනියන්) අප මත පැටවීමට කලමනාකරනය උත්සාහ කලත් කම්කරුවො ඒක ප‍්‍රතික්ෂේප කලා. එම්එස්ඊයූ (මරුති සුසුකි සේවක සමිතිය) තනාගත් අපි අරගල, වැඩ වර්ජන හා වාඩිලාගැනීම් කිහිපයක් ම සංවිධානය කලා. ඒ නිසා කම්හල ඇතුලට යාම තහනම් කිරීමටත් මුහුන දුන්නා.”

එම්එස්ඩබ්ලිව්යූ ගොඩනැගීම හා කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමයට එරෙහි අරගලය

එම්එස්ඊයූ සමිතිය කඩාකප්පල් කොට, එහි ඉදිරිපෙලේ නායකයන් සේවයෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීමටත්, ඔවුන්ට රස්සාවලින් අස්වීමට බලකිරීම හරහා කම්කරුවන්ව දිරිසුන් කිරීමටත් කලමනාකාරීත්වය ක‍්‍රියාකල නිසා, මනේසාර් කම්කරුවෝ එම්එස්ඩබ්ලිව්යූ සමිතිය තනාගැනීම සඳහා ඉදිරියට ගියේ කෙසේදැයි කුමාර් විස්තර කලේ ය.

එම්එස්ඩබ්ලිව්යූ සමිතිය විසින් ඉස්මතු කරන ලද ප‍්‍රධාන ඉල්ලීම වූයේ, ස්ථීර කම්කරුවන් මෙන් ම වැඩකල ද ඔවුන්ගේ වැටුපෙන් කොටසක් පමන වේතන ලබන, මනේසාර් කම්හලේ දහස් ගනනක් වන තාවකාලික කොන්ත‍්‍රාත් කම්කරුවන් හා සම්බන්ධ එකකි. මෙම තාවකාලික කොන්ත‍්‍රාත් කම්කරුවන්ව, ප‍්‍රවීන ස්ථීර කම්කරුවන් හා සමානව රැකියා සුරක්ෂිත, සමාන වේතන හා ප‍්‍රතිලාභ ලබන “ස්ථීර” කම්කරුවන් බවට පත්කරන ලෙස එම්එස්ඩබ්ලිව්යූ සමිතිය බල කලේ ය.

“අපේ සමිතිය පලවෙනි ඉල්ලීම හැටියට අපි කලමනාකාරීත්වයට ඉදිරිපත් කලේ කොන්ත‍්‍රාත් කම්කරුවන් ව ස්ථීර කිරීම යි. කලමනාකාරීත්වය මේ ඉල්ලීම අහක දමන ලෙස බලකරමින් අනෙක් ඉල්ලීම් ඉදිරිපත් කරන්නැයි කීවා. එහෙත් සමිතිය අවධාරනයෙන් කලමනාකරනයට කියා සිටියේ, අනෙක් කිසිදු ඉල්ලීමකට කලින් කොන්ත‍්‍රාත් කම්කරුවන් පිලිබඳ ප‍්‍රශ්නය විසඳිය යුතු බව යි.”

කොන්ත‍්‍රාත් කම්කරුවන් ස්ථීර කිරීමේ ඉල්ලීම, ස්ථිර හා පූර්න-කාලීන කම්කරුවන්ගෙන් ඉදිරිපත් වූ එකක් බව කුමාර් කීවේ ය. “කොන්ත‍්‍රාත් කම්කරුවන් සමග එකපැහැර වැඩකල අපි, ඒ කියන්නෙ ස්ථීර අය, ඔවුන්ගේ කිට්ටු මිත‍්‍රයන් බවට පත්වුනා. ස්ථීර කම්කරුවන් කල්පනා කලේ, ඔවුන්ට යම් සුරක්ෂිත බවක් හා ප‍්‍රතිලාභ තිබේ නම්, ඒවා කොන්ත‍්‍රාත් කම්කරුවන්ටත් තිබිය යුතු යි කියල යි. කොන්ත‍්‍රාත් කම්කරුවන් ස්ථීර කිරීමේ ඉල්ලීම ඉස්මතු කරන්න කියලා ඒගොල්ලො සමිතියෙන් ඉල්ලුවේ ඒ නිසයි.”

2011 වැඩ වර්ජනය කල මරුති සුසුකි කම්කරුවෝ [Photo credit to Rahul Roy, from The Factory (2015)]

2012 අපේ‍්‍රල් මාසයේ දී එම්එස්ඩබ්ලිව්යූ සමිතිය නිල වසයෙන් පිලිගැනීම නො කල හැක්කක් නො වූ පසුව, කම්කරුවන් දඩයම් කිරීම හා සමිතිය තලාදැමීම සඳහා, සමාගමේ නිලධාරීන් ව්‍යාජ හේතුවක් නිර්මානය කිරීමට හැකි සෑම දෙයක් ම කල බව කුමාර් කීවේ ය. 2012 ජූලි 18දා සිදුවූ දෙය නම්, කලමනාකරුවෙක් කම්කරුවෙකුට කුලවාදී අපහාස කිරීමක් යොදාගෙන ඔහුගේ වැඩ නැවැත්වීමයි. එම කම්කරුවාගේ ආරක්ෂාව සඳහා කම්කරුවන් ඉදිරිපත් වූ අවස්ථාවේ, ඉන්දියාව තුල “බවුන්සර්ස්” (බාධා කරන අය ඉවත් කිරීමට යොදාගන්නාවුන් යයි හැඳින්වෙන සමාගමේ මැරවරයන් යොදා ඔවුන්ව වලකාලනු ලැබී ය. කම්කරුවන්ට අනුග‍්‍රහය දැක් වූ මානව සම්පත් කලමනාකාර අවිනීෂ් දේව්ගේ මල සිරුර පසුව සොයාගන්නා ලද අතර, එම මරනයට හේතු වූයේ, හටගත් ආකාරය තවමත් විස්තර කර නැති ගින්නක දුමාරයට නිරාවරනය වීමෙනි.

කම්හල තුල කඩාපනින මෙහෙයුමක් සිදුකොට, කලමනාරනය විසින් සපයන ලද ලැයිස්තුවක් යොදාගෙන කම්කරුවන් 148 දෙනෙකු බන්ධනාගාරගත කිරීමට පොලීසිය මෙම ප‍්‍රකෝපකරනය ගසාකෑහ. ඉන්පසු, 2012 අගෝස්තු මාසයේ දී කර්මාන්තශාලාවේ ස්ථිර කම්කරුවන් 546 ක් හා කොන්ත‍්‍රාත් කම්කරුවන් 1,800ක් රැකියාවලින් නෙරපීමට සමාගම පියවර ගත්තේ ය.

“කලමනාකරනයේ අදහස වූයේ, එම්යූකේයූ සමිතියට කල පරිදි ම එම්එස්ඩබ්ලිව්යූ සමිතියත් පාලනය කල හැකි බව යි. එයට ඔවුන් උත්සාහ කල ද එය අසාර්ථක වීම නිසා එම්එස්ඩබ්ලිව්යූ සමිතිය විනාශ කිරීමට ඔවුන් තීරනය කලා. එම්එස්ඩබ්ලිව්යූ සමිතිය තලාදැමිය නො හැකි වුවහොත්, විශාල ලෙස ලාභ උපයා දෙන කොන්ත‍්‍රාත් ශ‍්‍රම බලකාය තවදුරටත් එම තත්ත්වයේ ම තබාගත නො හැකි බව කලමනාකරනය දැනගෙන සිටියා.”

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි නඩු තීන්දුව හා ම්ලේච්ඡ සිරදඬුවම් පිලිබඳ ව අදහස් දක්වමින් කුමාර් මෙසේ පැවසීය: “විනිසුරුවරයා තීන්දුව නිවේදනය කිරීමට බොහෝ කලකට පෙර ම, නඩුවේ ප‍්‍රතිඵලය තීරනය කර තිබුනා. නඩුව පැවැත්වූ ආකාරය මත් ව්‍යාජ ප‍්‍රදර්ශනයක් පමනයි. තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා කර්මාන්තකරුවන්ට දුන් පනිවුඩය වූයේ, ආන්ඩුව ඔවුන්ගේ පැත්තේ බව යි.”

ස්ටැලින්වාදී පක්ෂ සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිතිවල ක‍්‍රියාකලාපය

ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) සහ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) - මේවා පිලිවෙලින් මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ඉන්දියාවේ ප‍්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙකට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයන් ය- විසින් ඉටුකරන ලද ක‍්‍රියාකලාපය ගැන ලෝසවෙඅ වාර්තාකරුවෝ කුමාර්ගෙන් විමසූහ. මරුති සුසුකි සංගතයේ ලාභ ශ‍්‍රම තටාක නඩත්තුවටත්, සටන්කාමී කම්කරුවන් මැඞීමට සමාගම හා ආන්ඩුව ගෙනයන ඒකාබද්ධ දඩයම් කිරීමටත් විරුද්ධ ව මනේසාර් කම්හලේ කම්කරුවන් ගෙනගිය අරගලය ක‍්‍රමානුකූල ව හුදකලා කිරීමට ස්ටැලින්වාදී වෘත්තීය සමිති ක‍්‍රියා කලහ.

“එම ප‍්‍රධාන වෘත්තීය සමිති කම්කරුවන් වෙනුවෙන් සටන් කිරීමට සූදානම් නැහැ. ඔවුන්ගේ එක ම අභිප‍්‍රාය තමන්ගේ සමිතිවල සාමාජිකත්වය වැඩිකර ගැනීම යි. මෙම වෘත්තීය සමිති වැඩකරන්නේ කම්කරුවන් බෙදීමට යි. (ගුර්ගාඔන්-මනේසාර් කාර්මික කලාපයේ) එම්එස්ඩබ්ලිව්යූ වැනි වෘත්තීය සමිති ඒකාබද්ධ වී ප‍්‍රධාන සමිතිවලින් උදවු ඉල්ලුවාම ඔවුන් අපට සහයෝගය දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කීවේ ඔවුන් සමග එක්වන්න කියලයි. (දඩයමට ලක්කෙරුනු මරුති සුසුකි කම්කරුවන්ට) සහයෝගය පලකිරීමට රැලියක් සංවිධානය කරගැනීමට අපි ඒඅයිටීයූසීයේ සහයෝගය ඉල්ලුවාම, අපිට ම ඒක කරගන්නා ලෙස ඔවුන් කියා සිටියා. ඔවුන් කිවුවේ ‘පිටින් ඉන්න අයට උදව් කරන්න බැහැ’ කියලයි. ‘පිටින් උදව් හොයන්න එපා.’ මූලිකව ගත්තම ඔවුන් උත්සාහ කලේ අපේ අරගල ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට යි” යනුවෙන් කුමාර් කියා සිටියේ ය.

“ප‍්‍රධාන වෘත්තීය සමිති වැඩකරන්නේ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නෙවෙයි කියලා, මගේ ගොඩක් යාලුවො වගේ ම එකට වැඩකරන කම්කරුවොත් දන්නවා. ඒ වෙනුවට ඒ සමිති වැඩකරන්නේ ආන්ඩුවට විරුද්ධ කම්කරුවන්ගේ කෝපය පාලනය කිරීමට යි. ඔවුන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කීවත්, ඇත්තට ම නම් ඔවුන් කම්කරුවන් පාලනය කිරීමට සමාගම සමග එකතු වී සිටිනවා. කම්කරුවන් පාලනයට ලක් නො කලහොත් කැරලිගසන බව ඔවුන් දන්නා නිසා, අපිට විරුද්ධ ව ඉන්න ගමන්ම, කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් මවාපානවා.”

සීඅයිටීයූ හා ඒඅයිටීයූසී සමිති සම්මේලනවල ද්‍රෝහීත්වයේ මූලය වන්නේ, ඔවුන් අනුබද්ධ ව සිටින සීපීඑම් හා සීපීඅයි පක්ෂවල ප‍්‍රතිගාමී ජාතිකවාදී දේශපාලනය තුල බව අපේ වාර්තාකරුවෝ විස්තර කලහ. ගෝලීය ප‍්‍රාග්ධනය සඳහා වන ලාභශ‍්‍රම තිප්පොලක් බවට ඉන්දියාව පරිවර්තනය කිරීමේ ඉන්දීය පාලක ප‍්‍රභූවේ පිලිවෙත දිවිහිමියෙන් රැකීමට ස්ටැලින්වාදී පක්ෂ කැපවී සිටිති. මෙම ආයෝජක ගැති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දමා ඇති ධනේශ්වර හිතවාදී -විශේෂයෙන් ම කොංග‍්‍රස් පක්ෂ නායකත්වය ලබන- ආන්ඩුවලට ජාතික තලයේ දී සීපීඑම් හා සීපීඅයි මුක්කුව දී ඇත. ඒ අතර ම, බටහිර බෙංගාලයේ හා කේරලයේ ප‍්‍රාන්ත ආන්ඩුවල බලය හොබවා ඇති සෑම අවස්ථාවක ම, ස්ටැලින්වාදී පක්ෂ ඒ හා සමාන ධනේශ්වර පිලිවෙත් ක‍්‍රියාවට දමා තිබේ. මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලය, වහල්ශ‍්‍රම කොන්දේසිවලට හා රාජ්‍ය මර්දනයට විරුද්ධ ව ඉන්දීය කම්කරුවන්ගේ පලල් මහජන ව්‍යාපාරයක් උත්ප්‍රේරනය කරතැයි කොංග‍්‍රස් පක්ෂයට හා හින්දු ස්වෝත්තමවාදී බීජේපීයට පවතින එම භීතියෙන් ම, සීපීඑම් හා සීපීඅයි ද පෙලෙති.

2012 අගෝස්තුවේ දී කලමනාකරනය විසින් දොට්ට දැමූ කම්කරුවන් 546 දෙනාගෙන් 362 දෙනෙකුට ම, ජූලි 18 දින සිදු වූ කෝලාහලයේ දී කිසිදු නීති-විරෝධී ක‍්‍රියාවක් ගැන වරදකාරී යයි ඔප්පු කිරීම පසෙක තිබියේවා චෝදනා ඉදිරිපත් කිරීමක් පවා කිසිදා සිදු නො වී ය. “අපි ව දොට්ට දැම්මට පස්සෙ කලමනාකරනය එම පියවර අනුමත කරන්න කියලා කම්කරු උසාවියෙන් ඉල්ලුවා. කම්කරුවන් දොට්ට දමන්න තමන්ට කම්කරු උසාවියක අවසරයක් ඕන නැහැ කියල අවුරුදු දෙකහමාරකට පස්සෙ කලමනාකරය ඒ ඉල්ලීම අහක් කරගත්තා” යයි ඔහු කීවේ ය.

“දොට්ටදැමීම්වලට විරුද්ධ ව එම්එස්ඩබ්ලිව්යූ සමිතිය නඩුවක් ගොනුකලා ම, ඒක 2012 සැප්තැම්බර් මාසෙ ගුර්ගාඔන් කම්කරු උසාවියෙදි කැඳෙවුවා. 2012 ජූලි කෝලාහලය ගැන අපිට විරුද්ධ ව කිසිම චෝදනාවක් ඉදිරිපත් කරල තිබුනෙ නැති හින්ද අපි ව දොට්ට දාන්න කිසිම පදනමක් නැහැ කියල අපි තර්ක කලා. කලමනාකරනය ඒකට උත්තර දුන්නෙ ‘මේගොල්ලො ගැන විශ්වාසයක් නැති හින්ද’ ආපහු වැඩට ගන්න බැහැ කියලයි. ඕනම කම්කරුවෙක් සමාගමට හරි ඒකෙ දේපොලවලට හරි හානියක් කරන්න යනව කියල කලමනාකරනයට හැඟුනොත්, ඒ කම්කරුවාව අයින් කරන්න පුලුවන් කියන සමාගමේ නියෝගයක් ඒගොල්ලො උපුටල පෙන්නුව. ඒ නඩුව තාමත් ගුර්ගාඔන් කම්කරු උසාවියෙ අහනවා.”

“කොහොම වුනත්, 2015 මාර්තු දෙවෙනිදා කම්කරු උසාවිය, අයින් කරපු සෑම කම්කරුවෙක් වෙනුවෙන් ම රුපියල් 100,000 ක් (එක්සත් ජනපද ඩොලර් 1,544ක්) බැගින් වූ දඩයක් සමාගමට නියම කලේ ය. 2015 මැයි මාසෙ ඉහල උසාවියට ගිය කලමනාකරනය දඩගැසීම අත්හිටුවීමේ නියෝගයක් ගත්තා. දැන් ඒ නඩුව ඉහල උසාවියෙ අහනවා.”

ගුර්ගාඔන්-මනේසාර් කාර්මික තීරුවේ අනෙක් ස්වාධීන වෘත්තීය සමිතිවල ද සහයෝගය ලබාගත් එම්එස්ඩබ්ලිව්යූ සමිතිය, මරුති සුසුකි කම්කරුවන් දඩයම් කිරීමට විරුද්ධ ව ඒකාබද්ධ උද්ඝෝෂනයක් කරගෙන යාමටත්, ප‍්‍රදේශයේ කම්කරුවන්ගේ කොන්දේසි ඉහල දමාගැනීමටත්, වෘත්තීය සමිති කවුන්සිලයක් (ටීයූසී) ගොඩනගාගත් බව කුමාර් කීවේ ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි),
මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරමින් සංවිධානය කල පිකට් වැට

කම්කරුවන්ගේ පුලුල්ම එකමුතුකම අවශ්‍ය කරන අතරේ ම, හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ඒකාබද්ධ ප‍්‍රහාරයන්ට විරුද්ධ ව සටන් කිරීමට වෘත්තීය සමිති සටන්කාමීත්වය පමනක් ප‍්‍රමානවත් නො වන බව ලෝසවෙඅ වාර්තාකරුවෝ විස්තර කලහ. ගෝලීය සංගතයන්ට ද මධ්‍යම හා ප‍්‍රාන්ත මට්ටමේ ආන්ඩුවල පටන් පොලීසිය හා උසාවි දක්වා ධනපති පන්තියේ ධනය හා බලය සහ ම්ලේච්ඡ සූරාකෑම හරහා කම්කරු පන්තියෙන් ලාභ උකහාගැනීම ආරක්ෂා කරන්නා වූ, සමස්ත දේශපාලන සංස්ථාපිතයකට ද එරෙහි ව කම්කරුවෝ මුහුනට මුහුනලා ගැටෙමින් සිටිති.

සංගත හා පාලක ප‍්‍රභූවේ ආර්ථික හා දේශපාලනික ආධිපත්‍යය බිඳීමට, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය දේශපාලනික ව සංවිධානය කරනු ලැබිය යුතු ය. අපේ වාර්තාකරුවන් පැහැදිලි කලේ, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරගැනීම සඳහා ගෙනයන ජාත්‍යන්තර උද්ඝෝෂනය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුකම ගොඩනැගීම ඉලක්ක කරගන්නා එකක් බව යි.

“ඔබ ජාත්‍යන්තර ව කරමින් සිටින දෙය හරියට ම හරි. අපි ඒක අගය කරනවා” එයට ප‍්‍රතිචාර දක්වමින් කුමාර් කීවේ ය.

Share this article: