තැපැල් වර්ජනය නතර කිරීම සහ පුද්ගලීකරනයට එරෙහි අරගලය

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජුලි 08

කෞතුක වටිනාකමක් සහිත පැරනි තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීමට හා සේවක ගැටලු වලට විසඳුම් ලබා නොදීමට එරෙහිව තැපැල් සේවකයන් විසින් ජුනි 27 වෙනිදා ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනය තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන විසින් 30 වෙනිදා උදේ නතර කරනු ලැබීය. වර්ජනය නතර කලේ සති දෙකක් ඇතුලත සේවක ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ආන්ඩුවෙන් “ලිඛිත පොරොන්දුවක්” ලැබුන නිසා බව සමිති පෙරමුනේ සම කැඳවුම්කරු එච්.කේ. කාරියවසම් මාධ්‍යයට පවසා ඇත. සති දෙකක් ඇතුලත පොරොන්දු ඉටු නොකලොත් දැනුම් දීමකින් තොරව යලි වර්ජනයකට එලැඹෙන බව ද සමිති පෙරමුන කියයි.

නුවරඑලිය, මහනුවර සහ ගාල්ල නගර වල පිහිටි පැරනි තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීම නතර කිරීම, සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. පුරප්පාඩු පිරවීම, උසස්වීම ලබාදීම ඇතුලු පරිපාලන කටයුතු සම්බන්ධයෙන් 6/2006 චක‍්‍රලේඛය තුලින් නිර්මානය කෙරුනු ගැටලු විසඳීම හා කොලඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලය කොටුව ජනාධිපති මාවතේ යලි ස්ථාපිත කිරීම තැපැල් සේවකයන්ගේ මූලික ඉල්ලීම් විය. උතුරු-නැගෙනහිර පලාත් ඇතුලුව දිවයින පුරා 22,000 ආසන්න තැපැල් සේවකයෝ වර්ජනයට සම්බන්ධවුහ. වර්ජනය හේතුවෙන් හේතුවෙන් දේශීය ලිපි දසලක්ෂයක් පමන හා විදේශ තැපැල් මලු 1100 ක් පමන ගොඩ ගැසුනු බව වාර්තා විය.

පුද්ගලීකරනය හා ජීවනතත්වයන්ට එල්ල කෙරන ප‍්‍රහාර විසින් කුපිත කරනු ලැබ ඇති හා වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීම් තිබියදීම යලියලිත් අරගලවලට තල්ලු කරනු ලබන කම්කරු පන්තියේ සෙසු කොටස් අතරට තැපැල් කම්කරුවන්ගේ අරගලය පැතිරයාමට පැවති හැකියාව ගැන සමිති පෙරමුන හා ආන්ඩුව එකසේ භීතියට පත්විය. ඒ නිසා වර්ජනය නතර කෙරුනේ තැපැල් සේවකයන්ගේ අරගලයට විරුද්ධ සමිති පෙරමුන හා ආන්ඩුව අතර සිදුවූ ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් ලෙසය.

ගාල්ල, මහනුවර සහ නුවර-එලිය තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීමේ කොන්දේසි ගැන වෘත්තීය සමිති සමග එකඟතාවයක් ඇති කර ගැනීම, 6/2006 චක‍්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ක්‍රියාවට දැමීම පිලිබඳව “අනාගතයේ දී” ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හා ප‍්‍රධාන තැපැල් කාර්යාලය කොලඹ කොටුවේ ගොඩනැගිල්ල තුල යලි ස්ථාපනය කිරීම ගැන ඉදිරියේ දී සාකච්ඡා කිරීම ආන්ඩුව දී ඇති පොරොන්දුවයි.

සමිති නායකයන් හුවා දක්වන ඊනියා ලිඛිත පොරොන්දුවෙන් තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන බවට කිසිදු සහතිකයක් නැත. තැපැල් කාර්යාල ගොඩ නැගිලි විකිනීම නතර කරනවා වෙනුවට සිදුවෙන්නේ සමිති වලට “එකඟ” විය හැකි කොන්දේසි යටතේ ඒවා විකුනා දැමීමයි. මෙම “එකඟතාව” වනාහි, ගොඩනැගිලි විකිනීමේ දී සමිති නිලධරයට ලැබෙන යම් ප‍්‍රතිලාභයක් මත සිදුවන්නක් බවට සෑම අතින්ම සැක මතුවෙයි.

සේවක ගැටලුවලට විසඳුම් දීම සහ ප‍්‍රධාන තැපැල් කාර්යාලය කොලඹ කොටුවට මාරු කිරීම “අනාගතයට” කල්දමා ඇත. ඇත්ත වශයෙන් ම, සිදුවී ඇත්තේ ව්‍යාජ පොරොන්දුවලින් තැපැල් සේවකයන් නොමග යවා වර්ජනය නතර කිරීම හා පුද්ගලීකරනය ඇතුලු සැලසුම් පෙරට ගෙනයාමට සමිති පෙරමුන විසින් ආන්ඩුවට කල් ලබා දීමකි.

පැරැනි තැපැල් කාර්යාල විකිනීම නතර කිරීමේ ඉල්ලීම හැර සෙසු ඉල්ලීම් මත තැපැල් සේවකයෝ වසර ගනනාවක් පුරා සටන් කරති. ඒ හැම අවස්ථාවක ම සමිති පෙරමුන කලේ පොරොන්දු ඉටු නොකලොත් “දැඩි” වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන බවට බොරු අනතුරු ඇඟවීම් කරන ගමන් ආන්ඩුවේ පොරොන්දුවලට යටත් කර තැපැල් කම්කරුවන්ගේ අරගලය පාවාදීමය. ඒ අතර තුර බලයට පත් වූ ආන්ඩු, සෙසු රාජ්‍ය ආයතන මෙන් ම තැපැල් සේවය දියකර හැරීමේ සහ මහජන සේවයක් ලෙස පවත්වාගෙන යාම අහෝසි කිරීමේ වැඩපිලිවෙල ක‍්‍රමානුකුලව පෙරට ගෙන ගොස් ඇත.

පුරප්පාඩු නොපිරවීම, උසස්වීම් නිසි ලෙස ලබා නොදීම, කනිෂ්ඨ සේවක ශ්‍රේනි 18 ක් කප්පාදු කර තැපැල් සහායක නමින් තනි ශ්‍රේනියක් ඇතිකිරීම හා එමගින් වැටුප් කප්පාදු කිරීම, දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගිය ඉතිරිකිරීමේ සේවාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පැවරීම, මුදල් ප‍්‍රතිපාදන කප්පාදු කිරීම හා පුද්ගලික ඒජන්සි තැපැල් කාර්යාල පිහිටුවීමට අවසරදීම ඒ යටතේ සිදුවිය.

වරාය, ලංකා ගමනා ගමන මන්ඩලය, විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව ඇතුලු පුද්ගලීකරනයට නතු කෙරුනු සෙසු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල කම්කරුවන් මුහුන දී සිටින්නේ ද මේ හා සමාන අත්දැකීම් වලට ය. ඒ හැම තැනකදීම වෘත්තීය සමිතිවල භූමිකාව තැපැල් සමිති පෙරමුනේ භූමිකාවට වඩා වෙනස් නැත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට විරුද්ධ යුද්ධය අවසන් වීමෙන් පසු වඩා තීව‍්‍ර කෙරුන මෙම ප‍්‍රහාරවලට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ට විරුද්ධව කම්කරු පන්තියේ අප‍්‍රසාදය හා කෝපය වර්ධනය වන තතු තුල ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පෙල ගැසුනු තැපැල් සමිති පෙරමුන ඇතුලු වෘත්තීය සමිති කලේ කම්කරු පන්තිය දේශපාලනිකව අවමංගත කර මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දීමය.

“රාජ්‍ය වත්කම් නොවිකුනන බවට පොරොන්දු වෙමින් වර්තමාන ආන්ඩුව බලයට ආ නමුත් පොරොන්දු කඩකර ඇත”යි තැපැල් සමිති පෙරමුනේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර කියා ඇත. “රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නොකරන” බවට හා කම්කරු පන්තියේ ජීවනතත්වයන් “නගාසිටුවන” හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් “ආරක්ෂාකරන” බවට සිරිසේන හා වික‍්‍රමසිංහ මැතිවරනයට පෙර බොරු පොරොන්දු රොත්තක් දුන්නේ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි මතුවී තිබුන කම්කරු පන්තියේ බරපතල විරුද්ධත්වය ගසාකමින් බලය අල්ලා ගැනීමේ උප්පරවැට්ටියක් ලෙසය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් තැපැල් සමිති ඇතුලු වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පක්ෂ එය නොදැන සිටියා නොවේ. ඔවුන් කලේ එම ඡන්ද පොරොන්දු ගෙඩි පිටින් වැඩකරන ජනතාවට ගිල්ලවීමය.

වර්තමාන ආන්ඩුව පොරොන්දු කඩකලා පමනක් නොව, රාජපක්ෂ තන්ත‍්‍රය නතර කල තැනින් පටන් ගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාඅමු) විසින් නියෝග කර ඇති පුද්ගලීකරනය ඇතුලු ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම කඩිනම් කර ඇත. මහනුවර, ගාල්ල සහ නුවරඑලියේ තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉන්දියානු සමාගමකට විකිනීමට වර්තමාන ආන්ඩුව ගෙන ඇති තීන්දුව හා තැපැල් කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසිවලට එරෙහි ප‍්‍රහාරයන් තීව‍්‍ර කිරීම මෙම සමස්ත ප‍්‍රහාරයේ අංශයන් ය. වෘත්තීය සමිති විසින් තැපැල් කම්කරුවන්ගේ අරගලය, ප‍්‍රහාරයේ ඒ හෝ මේ අංශයන්ට පමනක් කොටු කරනු ලබන්නේ, සමස්ත ප‍්‍රහාරයට එරෙහිව කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම වැලැක්වීමටයි.

සමස්ත පුද්ගලීකරන ක්‍රියාවලියට එරෙහි වූ, කම්කරුවන්ගේ ඒකාබද්ධ දේශපාලන අරගලයකින් තොරව හුදෙක් එම ප‍්‍රහාරයෙහිි ඒ හෝ මේ අංශයන්ට එරෙහි වීමෙන් ඒවා නතර කල නොහැක. ලෝක ධනවාදයේ ගැඹුරුවෙමින් පවතින අර්බුදය මධ්‍යයේ, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම හෝ ‘ප‍්‍රතිව්‍යුහකරනය’ තුලින් ඒවා ලාභ ලබන වානිජ පදනමක පිහිටුවන ලෙස ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් සියලුම රටවල ධනපති පාලක පන්තීන්ට විධානය කෙරෙයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩුවල පිලිවෙත් නිර්නය කෙරෙන්නේ මෙම විධානයන්ට අනුවයි.

කම්කරු පන්තිය භුක්ති විඳි යම් ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙතොත් එය ද උදුරා ගැනීම ආන්ඩුවල මෙම පිලිවෙත් සමග බැඳී පවතී. තම ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුලින් මතුවන කවර හෝ විරුද්ධත්වයක් පාගා දැමීම පිනිස රාජ්‍ය මර්දනය උසිගැන්වීමට කිසිදු පැකිලීමක් නැති බව ආන්ඩුව දැනටමත් ඔප්පුකර ඇත. ඒ සඳහා අවශ්‍ය නව මර්දන නීති පැනවෙන අතර පොලීසිය හා හමුදාව තර කෙරයි. වර්ජන හා උද්ඝෝෂනවලට විරුද්ධව රාජ්‍ය මර්දන උපකරනයක් ලෙස අධිකරනය යොදා ගැනීම එලිපිටම සිදුවෙයි.

වැඩකරන ජනතාව මුහුන දෙන මෙම අන්තරාය තැපැල් සමිති පෙරමුන ඇතුලු සියලු වෘත්තීය සමිති විසින් වසන් කරනු ලබයි. එය එසේ වන්නේ වෘත්තීය සමිති අද සෘජුව ම ධනපති ආන්ඩුවල හා ජාත්‍යන්තර ප‍්‍රාග්්ධනයේ උපකරන බවට පරිවර්තනය වී ඇති නිසාය. එය ශ්‍රී ලංකාවට සීමා නොවන ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ඒවා අද ක්‍රියාත්මකව වන්නේ කම්කරු පන්තිය විසින් පසුගිය සියවස තුල දෘඩතර අරගල මගින් දිනා ගත සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් වනසා දමන ධනපති රාජ්‍යයේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සමාජ ප‍්‍රතිවිප්ලවයට කම්කරු පන්තිය යටත් කරන සංවිධාන ලෙසය.

එබැවින් කම්කරු පන්තියේ අයිතීන් රැකගැනීමේ අරගලයේ දී වෘත්තීය සමිති ප‍්‍රධාන බාධකයකි. ඒ වෙනුවට කම්කරු පන්තියට නව සංවිධාන අවශ්‍යය. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරු ක්‍රියාකාරී කමිටු වැඩපලවල සහ ආයතන වල ගොඩනගා ගැනීම ඒ සඳහා ගත හැකි එක් පියවරකි. ක්‍රියාකාරී කමිටු වෘත්තීය සමිතිවලට ආදේශකයක් නොවේ. එම ක්‍රියාකාරී කමිටු හරහා පුද්ගලීකරනයට හා සෙසු ප්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය. එය ධනපති ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ආරම්භක පියවර වනු ඇත.

පුද්ගලීකරනය නතර කර තැපැල් සහ අවශේෂ කම්කරුවන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ලාභ අවශ්‍යතාවයන් සඳහා පෙනී සිටින ධනපති පන්ති පාලනය අහෝසි කරන හා සමාජවාදී සැලසුම් ගත ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් කිරීම මගින් පමනි.

මෙම වැඩපිලිවෙල මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමේ සටනට උරදෙන ලෙස අපි තැපැල් සේවකයන් හා අවශේෂ කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

Share this article: