“ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට දහයක් පාසැල් නොයයි”: ධනපති පාලනයට එරෙහි බලගතු දෝෂාභියෝගයක්

ඩී. ඒ. අන්ජන සහ පානි විජේසිරිවර්ධන විසිනි, 2017 ජූලි 05

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව “දකුනු ආසියාවේ ඉහලම අගය” බවට ධනපති පාලක පන්තිය ගසන පම්පෝරිය තිබිය දී, රටතුල පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් සියයට 9.9 ක්, එනම් 452,661ක් පාසල් නොයන බවත්, ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී නිකුත් කල “ලමා ක‍්‍රියාකාරකම් සමීක්ෂනය -2016” වාර්තාවෙන් හෙලිවෙයි. මෙම වාර්තාවෙන් හෙලි කෙරෙන කරුනු වනාහි, දශක හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පාලනය කල ධනපති පන්තියටත්, සමස්තයක් ලෙස ධනේශ්වර ක‍්‍රමයටත් එරෙහි බලගතු දෝෂාභියෝගයකි.

වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ පාසැල් යන වයසේ දරුවන්ගේ සමස්ත සංඛ්‍යාව මිලියන 4.6 කි. ඉන් සියයට 77.7 ක් ගම්බදව ද, සියයට 17 ක් නගරබදව ද, සියයට 5.3 ක් වතුකරයේ ද ජීවත් වෙති. පාසැල් නොයන දරුවන්ගෙන් වැඩි පිරිසක්, එනම් සියයට 78.82 ක්, ග‍්‍රාමීය ප‍්‍රදේශවල දරුවන්ය. එය සංඛ්‍යාත්මකව ගත් කල 40394 කි. පාසැල් නොයන දරුවන්ගෙන් 2329 , එනම් සියයට 4.54 ක්, වතුකරයේ දරුවන් බව ද සමීක්ෂන වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885 ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18කි. කැපී පෙනෙන කරුනක් වන්නේ වයස අවුරුදු 15-17 වයසේ දරුවන්ගෙන් සියයට 39.7 ක් වැනි සුවිසල් ප‍්‍රමානයක් පාසැල් නොයන බවයි.

පවුල් සංස්ථාව බිඳවැටීමෙන් දරුවන් කෙරෙහි අවධානය අඩුවීම, මව හෝ පියා විදේශගත වීම, දරුවන් විවිධ අපරාධ හා අපචාරයන්ට යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම ආදී සමාජ-ආර්ථික හේතු මෙම තත්වයට බල පා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. වාර්තාවට අනුව, මව හෝ පියා සමග හෝ ඒ දෙදෙනාම නොමැතිව ජීවත් වන පාසැල් යන වයසේ දරුවන්ගේ සමස්ත ප‍්‍රතිශතය සියයට 22.2 කි.

දරුවන් නියෝජනය කරන සමාජ පන්තීන් අනුව දරුවන් ප‍්‍රවර්ග කොට මෙම සමීක්ෂන සිදු නොකෙරෙන නමුත්, වාර්තාවෙන් එලි දැක්වෙන සීමිත කරුනු මගින් පවා ධනේශ්වර ක‍්‍රමය සහ ධනපති පාලකයන් කම්කරු-පීඩිත මහජනතාවගේ දරුවන්ට උදාකර දී ඇති තත්වය පිලිබඳ යම් චිත‍්‍රයක් සම්පාදනය කරයි.

ගම්බද අධ්‍යාපනය

ගේදොර බලාකියා ගැනීමේ වැඩ කටයුතු වලට සහ තම දෙමාපියන්ගේ ආර්ථික කටයුතු වලට, විශේෂයෙන් ම කෘෂිකාර්මික කටයුතු වලට සහභාගිවීම ගම්බද දරුවන් පාසැල් නොයාමට මූලිකව බලපායි.

සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට 65 ක් ගේදොර බලාකියා ගැනීමේ වැඩ කටයුතු වල ද, සියයට 2.3 ක් ආර්ථික වැඩකටයුතු වලද නිරත වෙයි. ආර්ථික වැඩකටයුතු වල නියුතු පාසැල් යන වයසේ දරුවන්ගෙන් සියයට 84.7 ක් නැතහොත් 87,854 ක්, ගම්බද දරුවෝ වෙති. මින් බහුතරයක් අවුරුදු 15-17 වයස් ඛාන්ඩයේ වන අතර ඉන් ද බහුතරයක් පාසැල් නොයති. මෙම දරුවන්ගෙන් සියයට 59.3 ක් වැටුප් රහිතව තම පවුලේ ව්‍යවසායන් හි සේවය කරයි.

2008 සමීක්ෂනයේ දී සියයට 12.9 ක් වූ ආර්ථික වැඩකටයුතු වලට සහභාගිවීමේ ප‍්‍රතිශතය, දස වසරකට ආසන්න කාලයක් තුල මේ සා ප‍්‍රමානයක් අඩුව ඇත්තේ මන්දැයි වාර්තාව පෙන්වා නොදෙයි. සැබැවින්ම, පසුගිය දශකය තුල දරිද්‍රතාවයේ ඇති වූ වර්ධනය හා සලකන කල එම ගනනය කිරීම් සැක සහිතය.

කෙසේ නමුත්, දරුවන් පාසැල් නොයාමට හේතුවක් වන, ගම්බද පාසැල් වැසී යාම පිලිබඳව වාර්තාවේ කිසිවක් සඳහන් නොවෙයි. පසුගිය දශක කීපය තුල අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු කරන ලද කප්පාදු හේතුවෙන් දිවයින පුරා පාසැල් සිය ගනනක් වසා දැමුනි. 1997 වනවිට 10358 වූ රාජ්‍ය පාසැල් සංඛ්‍යාව 2011 වන විට 9731 දක්වා කප්පාදු කෙරුනි. දැන් ඉතිරිව ඇත්තේ පාසල් 9500 ක් පමනි.

තම නිවසට ආසන්න පාසැල වැසී යාම නිසා ගම්බද දුගී දරුවන්ගෙන් කොටසකට කිසිදා පාසැල් යාමට නොහැකි විය. තවත් ගම්බද පාසැල් දහස් ගනනක් පස්වන වසර දක්වා සීමා කිරීම නිසා ඒවායේ අධ්‍යාපනය ලබන ලමුන්ට ද්විතීයික අධ්‍යාපනය සඳහා දුර බැහැර ගෙවා වෙනත් පාසැලකට යාමට සිදුවීම හේතුවෙන් ද ඔවුන්ට අධ්‍යාපනය හැර යාමට සිදුව තිබේ.

ග‍්‍රාමීය ප‍්‍රදේශ වල විරැකියා ප‍්‍රතිශතය ඉතා ඉහල අගයක් ගන්නා අතර මව හෝ පිය පාර්ශවය බොහෝවිට රැකියා සඳහා මැදපෙරදිග රටවල් වලට සංක‍්‍රමනය වීම හේතුවෙන් නිසි රැකවරනයක් නොමැතිවීම ද දරුවන් පාසැල් හැර යාමට හේතුවකි. බොහෝ දරුවෝ අඩු වයසින්ම නිදහස් වෙලඳ කලාපයන් හි රැකියාවන් සඳහා නගරවලට සංක‍්‍රමනය වෙති.

නගරබද අධ්‍යාපනය

පාසැල් නොයන නගරබද දරුවන් සංඛ්‍යාව 10,885 ක් ලෙස සඳහන් වුව ද, මින් අතිමහත් බහුතරයක් කම්කරු-පීඩිත පවුල්වල දරුවන් බව සඳහන් කලයුතු නොවේ. ඔවුනගේ දරිද්‍රතාව සහ ඒ හේතුවෙන් පැන නැගී ඇති බලගතු සමාජ-ආර්ථික ගැටලු මේ පිටුපස පවතී.

වාර්තාව ම පෙන්වා දෙන පරිදි පාසැල් යන වයසේ නගරබද දරුවන්ගෙන් 13,529 ක් ආර්ථික කටයුතු වල නිරත වෙති. කොලඹ නගරයේ ජීවත්වන දුගී දරුවන් සැලකුවහොත් ඉන් සැලකියයුතු සංඛ්‍යාවක්, පාසැල් කාලයෙන් පසු සොච්චම් වැටුපකට විවිධ අර්ධ කාලීන රැකියාවන් හි නිරත වෙති. ඔවුන් අතරින් තවත් සමහරු මත්ද්‍රව්‍ය වෙලඳාම් වැනි සමාජ විරෝධී ජාවාරම් සඳහා ද ගනිකා වෘත්තීන්ට ද ගොදුරු වෙතිි.

නගරබද දුගීන් අතර පවුල් සංස්ථා බිඳ වැටීමේ ප‍්‍රතිශතය ද ඉතා ඉහල අගයක් ගනී. ඉන් ඇතිවන අනාරක්ෂිතභාවය මෙම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි නිශේධනීය ලෙස බලපාන ප‍්‍රධාන කරුනකි. ඔවුන් ජීවත් වන, යන්තමින් අටවාගත්, මූලික පහසුකම් නොමැති සහ ජලගැලීම් වැනි උවදුරු වලට නිරන්තරව ගොදුරුවන කුඩා නිවාස අධ්‍යාපනික කටයුතු සඳහා කිසිසේත්ම සුදුසු නොවෙයි.

වතුකරයේ අධ්‍යාපන තත්වය

උපරිම සූරා කෑමට ලක් කෙරෙන කම්කරු ඛන්ඩය වන්නේ ද වතු කම්කරුවන් ය. මව්-පිය දෙපාර්ශ්වයම රැකියාවන්හි නිරතවුවත් දරුවන්ගේ පෝෂනය සහ අධ්‍යාපනය සඳහා ඒ සොච්චම් වැටුප් කිසිසේත්ම ප‍්‍රමානවත් වන්නේ නැත. අගහිඟකම් හේතුවෙන් බොහෝ දරුවන් අධ්‍යාපනය අතහැර අඩු වයසින්ම මෙහෙකාර සේවයේ හෝ වෙනත් රැකියාවන් සඳහා නගරයන් කරා පැමිනෙන අතර ඉතා අවම සේවා කොන්දේසි සහිත සොච්චම් වැටුපකට ඔවුන්ගේ ශ‍්‍රමය කොල්ලකනු ලබයි. වාර්තාවට අනුව වතුකරයේ පාසැල් යන වයසේ දරුවන්ගෙන් සියයට 8 කට ආසන්න සංඛ්‍යාවක් ආර්ථික කටයුතුවල නිරතව සිටිති. එමෙන්ම පාසල් යායුතු වයසේ ලමුන්ගේන් වැඩිම ආබාධිත ලමුන් ප‍්‍රමානයක් සිටින්නේ වතුකරය තුල වන නමුදුු, ඔවුනට අවශ්‍ය විශේෂ අධ්‍යාපන පාසැල් වතුකරයේ නැති තරම්ය.

ඔවුන් ජීවත්වන කුඩා ලයින් කාමරවල හෝ තාවකාලික මඩුවල අධ්‍යාපනික කටයුතු වල යෙදීම කෙසේ වෙතත් වැතිර නිදා ගැනීමට පවා අවශ්‍ය පහසුකම් නොමැත. ධනේශ්වර සංස්ථාපිතයේම කොටසක් වන වතුකරයේ වෘත්තීය සමිති මෙම තත්වය සම්බන්ධයෙන් වගකිවයුතු අතර මෙම වාර්තාව ඔවුනට ද එරෙහි චෝදනා පත‍්‍රයකි.

උතුරු- නැගෙනහිර අධ්‍යාපනය

අධ්‍යාපනය හා අනෙකුත් සමාජ ජීවිතය සම්බන්ධයෙන් ගත් කල, දශක තුනක සිවිල් යුද්ධයෙන් පීඩා විඳි සහ මෙතෙකුදු පීඩා විඳින උතුරු සහ නැගෙනහිර පලාත්වල දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් ක්‍රියාකාරකම් පිලිබඳ මෙම වාර්තාවෙන් සම්පාදනය කෙරෙන්නේ ඉතා සීමිත අදහසකිි.

ඉන් අතිමහත් බහුතරයකට පාසැල් අධ්‍යාපනය පමනක් නොව උන්හිටිතැන් සහ තම දෙමාපියන්ගේ ජීවනෝපායන් පවා අහිමි විය. යුද්ධය නිසා අවතැන් වීමෙන්, උතුරු සහ නැගෙනහිර පලාත් වල, පිලිවෙලින් 68,278 ක් සහ 1,62769 මහජනයා තමාගේ නිවසින් පිට තැනක ජීවත් වෙන බව වාර්තාව පෙන්වා දෙයි.

ඔවුන් ජීවත් වූ ඉඩකඩම් අක්කර දහස් ගනනක් යලි ඔවුනට ලබා නොදී මිලිටරිය සතුකර ගෙන සිටී. යුද්ධය නිමා වී, සත් වසරක් ගතව ඇති නමුදු ඔවුහු මෙතෙකුදු තම ජීවිත යලි පෙර තිබූ තත්වයට හෝ ගොඩනගා ගැනීමට උත්සාහ දරමින් සිටිති.

නිසැකවම පාසැල් නොයන දරුවන්ගෙන් අතිමහත් බහුතරය නියෝජනය කරනුයේ මෙම දරුවන් ය. සමීක්ෂනය මගින් එය වහංගු කරන්නේ යුද්ධයේ ව්‍යසනය යටපත් කිරීමට පාලක පන්තිය දරන නරුම උත්සාහයේම කොටසක් ලෙසිනි.

වත්මන් ආන්ඩුවේ ප‍්‍රහාරය

යුද්ධයේ විනාශය සහ කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කල ප‍්‍රහාරයන් හමුවේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩුනු විරෝධය, ව්‍යාජ වම්මුන්ගේ ද සහාය ඇතිව ගසා කා බලයට පැමිනි සිරිසේන -වික‍්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂ ගෙනගිය කප්පාදු පිලිවෙත් ඉදිරියටම ගෙන යමින් සිටී.

ඊනියා දින 100 වැඩ පිලිවෙල යටතේ අධ්‍යාපනය සඳහා වන ප‍්‍රතිපාදනයන් රුපියල් බිලියන 100 කින් කපා හැරියේය. අධ්‍යාපනයේ රාජ්‍ය වැය, දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1.5 දක්වා පහත හෙලීය. මේ කප්පාදුවල කොටසක් ලෙස දකුනු පලාතේ සිසුන් 50ට අඩු පාසල් 131 ක ද්විතීයික අධ්‍යාපනය කප්පාදු කොට ප‍්‍රාථමික පාසල් බවට පත්කිරීමට සැරසෙයි.

එපමනක් නොව, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ශ‍්‍රම වහල් කඳවුරක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් සිටින ආන්ඩුව, එයට අවශ්‍ය ශ‍්‍රමිකයන් පුහුනු කෙරෙන පරිදි සමස්ත අධ්‍යාපනයම පරිවර්තනය කරමින් පවතී. කම්කරු පන්තිය අතීතයේ සටන් කොට දිනාගත්, සීමිතව හෝ පැවති රාජ්‍ය අධ්‍යාපනය මුලුමනින්ම විනාශ කොට සමස්ත අධ්‍යාපනයම පුද්ගලීකරනය ආන්ඩුවේ ආර්ථික පිලිවෙත්වල අත්‍යන්ත කොටසකි.

එලි දක්වා ඇති සීමිත වාර්තාවෙන් පවා අනාවරනය වන්නේ, පසුගිය දශක කීපය පුරා පැවති ආන්ඩු ද වත්මන් ආන්ඩුව ද අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන නරුම සමාජ-විරෝධී පිලිවෙතයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලක පන්තීන් අනුයන මෙම පිලිවෙත් ගලා එන්නේ ලෝක ධනේශ්වරය මුහුන දී සිටින ප‍්‍රගාඪ පද්ධතිගත අර්බුදයෙනි.

ලාභය, සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතාවය සඳහා නිෂ්පාදනය ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට ද, එය ක‍්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටද සටන් කිරීම අධ්‍යාපන අයිතිය රැක ගැනීම හා ගුනාත්මක අධ්‍යාපනයක් වර්ධනය කිරීම සඳහා ඇති එකම විකල්පය වේ.

Share this article: