මාධ්‍ය ලේකම්, නීති ප‍්‍රකාශක ඉල්ලා අස්වෙයි
විශේෂ නීති උපදේශක රුසියානු පරීක්ෂනය පුලූල් කරද්දී ධවල මන්ඳිරය අර්බුදයේ ගිලී යයි

Press secretary, legal spokesman resign
White House in turmoil as special counsel expands Russia probe

බැරී ග්‍රේ විසිනි, 2017 ජූලි 22

විශේෂ නීති උපදේශක රොබට් මුලර්, ඇමරිකානු මැතිවරනය තුල කියනු ලබන රුසියානු මැදිහත්වීම හා ට‍්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය රුසියාව සමග පවත්වාගෙන යන ලද දුස්සන්ධානය පිලිබඳ සිය පරීක්ෂනය පුලුල් කරන බවට පලවන වාර්තා හමුවේ, ඇමරිකානු පාලක පන්තිය හා රාජ්‍යය තුල ගැටුම උත්සන්න වන අතර ට‍්‍රම්ප් පාලනය තුල කාලයක් තිස්සේ ඇවිලෙමින් යන ගැටුම් පුපුරන සුලු මට්ටමකට ලඟාවී ඇත.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සින් ස්පයිසර් 21දා ඉල්ලා අස්වීමත් සමග අභ්‍යන්තර අර්බුදය පුපුරා ගියේය. මෙය සිදුවූයේ ඩොනඩ් ට‍්‍රම්ප්ගේ පිටත නීති කන්ඩායමේ ප‍්‍රධානි මාක් කැරොලො ඉල්ලා අස්වීමෙන් දිනකට පසුව හා ප‍්‍රධාන නීතිඥ මාක් කැසොවිට්ස් තනතුරෙන් පහත දැමීමත් සමගය.

මෙම වර්ධනයන්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග පැවති ට‍්‍රම්ප්ගේ අසාමාන්‍යම හමුවකදී, ජනාධිපති තමන්ගේම නීතිපති ජෙෆ් සිසන් රුසියානු පරීක්ෂනයේදී පක්ෂග‍්‍රාහී වී යයි හෙලා දැකීමෙන් හා එෆ්බීඅයිහි වැඩබලන ප‍්‍රධානී හා නියෝජ්‍ය නීතිපති විවේචනයට ලක් කිරීමෙන් පසුව සිදුවිය. එකිනෙකට පටහැනි අවශ්‍යතා අනුව කටයුතු කරන බවට ට‍්‍රම්ප් මුලර්ට චෝදනා නැගූ අතර තමන්ගේ මෙන්ම තම පවුලේ සාමාජිකයින්ගේ ද හිතවතුන්ගේ ද ව්‍යාපාරික කටයුතු පරීක්ෂා කිරීමේදී ගෙන ඇති තීරන පිලිබඳව ඔහුට පහර දුන්නේ, විශේෂ නීති උපදේශක වශයෙන් ඔහු බලතල “උල්ලංඝනය” කරන බව පවසමිනි.

වොෂින්ටනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ට‍්‍රම්ප්, මුලර් නෙරපීම යුක්තිසහගත කිරීමට උත්සාහ කරන බවය. එම තත්වය, දෝෂාභියෝගයක හැකියාව මතු කරන බව පවසමින් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පත‍්‍රය කතුවැකියක් ලිවීමට පෙලඹවීය.

ස්පයිසර්ගේ ඉල්ලා අස්වීමට තුඩු දුන්නේ, බහු මිලියනපති, වෝල් වීදියේ අරක්ෂක අරමුදල් ක්‍රියාකාරිකයෙකු, හිටපු ගෝල්ඩ්මන් සැක්ස් හා ලේමන් බ‍්‍රදර්ස් බැංකුකරුවෙකු, ෆොක්ස් නිව්ස්හි ප‍්‍රකාශකයෙකු වන ඇන්තනි ස්කැරමුසි, ට‍්‍රම්ප් විසින් ධවල මන්ඳිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබීමයි. විවිධ මාධ්‍ය වාර්තාවන්ට අනුව, ස්කැරමුසි පත්කිරීමට තදින්ම විරුද්ධව සිටි මයික් ඩබ්කි, පසුගිය මැයි මාසයේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ තනතුර ස්පයිසර් විසින් දරනු ලැබීය. මෙහිදී ඔහුට එක්වූයේ, ධවල මන්ඳිරයේ මාන්ඩලික ප‍්‍රධානී සින්ස් පී‍්‍රබස් හා එහි ප‍්‍රධාන දේශපාලන උපදේශක ස්ටෙෆන් බෙනන්ය.

ඔවුන් අතර සන්ධානයට එරෙහි වූයේත් ස්කාමුසිගේ පත්වීම වෙනුවෙන් තල්ලුව දුන්නේත්, ට‍්‍රම්ප්ගේ දුව ඉවන්කා හා ඇගේ ස්වාමිපුරුෂයා වූ ජරඩ් කුෂ්නර්ය. කුෂ්නර් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ධවල මන්ඳිර සහකරුවා ලෙස පොදුවේ සලකනු ලබයි.

රිපබ්ලිකානු ජාතික කමිටුවේ හිටපු සභාපති වන ප්‍රීබස්, එහි ප‍්‍රකාශකයා ලෙස කටයුතු කල ස්පයිසර් සමග දිගු කලක් සම්බන්ධතා පවත්වා තිබේ. ස්පයිසර් ධවල මන්ඳිරයට ගෙන ආවේ ද ඔහුය. ස්කැරමුසිගේ පත්වීම දැනගත් පසුව ප්‍රීබස් ඔහුට සහයෝගය දක්වන බව පැවසුව නමුත් ප්‍රීබස්ගේ තත්වය වඩ වඩාත් ප‍්‍රශ්නයට බඳුන් වෙමින් තිබුනු අතර ඔහු ඉවත්වීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් විය.

ට‍්‍රම්ප් වෝල් වීදියේ චෞර තන්ත‍්‍රයේ සහකරුවෙක් හා සාමාජිකයෙක් ලෙස ධවල මන්ඳිරයේ සිට සන්නිවේදනය ගෙන යා හැකි ඉහලම තනතුර කරා නැගී ඒමත් සමග, සිය කතිපයාධිකාරී සහකරුවන්ගේ කවය, පවුලේ සමීපතමයන් දක්වා කුඩා කරමින්, රිපබ්ලිකන් පක්ෂ තන්ත‍්‍රයෙන් වඩ වඩාත් ඈත් විය.

මෙය මුලර් පිලිබඳව වඩා දැඩි ආස්ථානයක් ගැනීමේ තීරනය සමග බැඳී තිබෙන බව පෙනී යයි. ජනාධිපතිගේ විශේෂ නීති උපදේශක මුලර් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට විරෝධය පල කල ධවල මන්ඳිරයේ නීතිය පිලිබඳ ප‍්‍රකාශක මාක් කැරොලෝ 20දා ඉල්ලා අස් විය. මුල් පිටුවේ වාර්තා පලකරමින් 21දා ධවල මන්ඳිරයට එරෙහිව වොෂින්ටන් පෝස්ට් හා නිව් යෝර්ක්පුවත්පත්, කල්ලි ගැටුම තවත් පුලුල් කලේය. ඒවා නිර්නාමික ආන්ඩුවේ මූලාශ‍්‍ර ගෙනහැර දක්වමින්, මුලර්ගේ අභිචෝදකයින් කන්ඩායම තුල අවශ්‍යතාවන්ගේ ගැටුම්, ට‍්‍රම්ප්ගේ නීතිඥයින් විසින් ගසාකෑමේ උත්සාහයන් ගැන සඳහන් කලේය. ජනාධිපති තමා ද ඇතුලු විභව ඉලක්කයන් වී ඇති අයට සමාව දීමේ සිය බලතල පිලිබඳව ට‍්‍රම්ප් විමසීම් කරන බව පෝස්ට් පත‍්‍රය වාර්තා කලේය.

තම පරීක්ෂනය පුලුල් කිරීමට මුලර් ගන්නා දැඩි පියවර කෙරෙහි දැක්වෙන ප‍්‍රතිචාරයකි මේ පියවර. බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති 20දා වාර්තා කලේ, මුලර්ගේ කන්ඩායම වසර ගනනාවක් පසුපසට ට‍්‍රම්ප්ගේ ව්‍යාපාරික ගනුදෙනු ගැන සොයා බැලීමටත්, ඔහුගේ මූල්‍ය වාර්තා ලබාදෙන ලෙස බැංකු වලට සිතාසි යැවීමටත් වැඩ කරන බවයි.

මාධ්‍ය වාර්තා සඳහන් කලේ, ට‍්‍රම්ප් විශේෂයෙන්ම කලබලයට පත්ව සිටින්නේ, ජනාධිපති ප‍්‍රසිද්ධියට පත් කිරීම ප‍්‍රතික්ෂේප කල සිය බදු ආදායම් වාර්තා, මුලර් අතට පත්ව තිබීම ගැන සැකයෙන් යුතුව බවය.

කොන්ග‍්‍රස් කමිටුවල සමාන්තර පරීක්ෂන ද පුලුල් කෙරෙමින් තිබේ. සෙනේට් බුද්ධි අංශ කමිටුව, 24දා කුෂ්නර්ගෙන් පෞද්ගලිකව ප‍්‍රශ්න කිරීමට යයි. ඔහු ද ට‍්‍රම්ප්ගේ පුතා ද එවක ට‍්‍රම්ප් දේශපාලන ව්‍යාපාරයේ සභාපති පෝල් මැන්ෆර්ට් ද සමග, ක්‍රෙම්ලිනයට හා ප‍්‍රමුඛ රුසියානුන්ට බැඳීම් ඇති රුසියානු නීතිඥවරියක් පැවැත්වූ බව කියන රැස්වීමක් ගැන එහිදී සොයාබලනු ඇත. සෙනේට් අධිකරන කමිටුව 26දා, ට‍්‍රම්ප්ගේ පුතා හා මැන්ෆර්ට්ගෙන් රැස්වීම පිලිබඳව සාක්ෂි විමසීමේ ප‍්‍රසිද්ධ සැසිවාරයක් පවත්වයි. ඒ අතර රිපබ්ලිකන් පක්ෂයේ සභාපති චාල්ස් ග‍්‍රාස්ලි පවසා ඇත්තේ, ඔවුන් එම අවස්ථාව මගහරින්නේ නම් තමා ඔවුන්ට සිතාසි යැවීමට කටයුතු කරන බවයි.

එසේම, 2016 ජූනියේ පවත්වා ඇති රැස්වීමට සහභාගීවූ, ධවල මන්ඳිර හා ට‍්‍රම්ප් මැතිවරන ව්‍යාපාරයේ සාමාජිකයින්, එය හා සම්බන්ධ සියලු වාර්තා සුරැකිව තැබිය යුතු බවට මුලර් පවසා ඇති බවට ද 21දා වාර්තා පලවුනි.

වඩ වඩාත් පැහැදිලි වන්නේ, පාලක පන්තිය අතර උග‍්‍ර වන කුලල් කා ගැනීම්, සාමකාමී සම්මුතියකින් කෙලවර නොවන බවයි. ට‍්‍රම්ප් ඉවත් වනු දැකීමට කැමති බලගතු කොටස් ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය තුල සිටී. එහෙත් එය සිදුකරන්නේ කෙසේ ද යන්න ගැන ස්ථිර බවක් නැති අතර ඉන් පැනනැගිය හැකි ප‍්‍රතිවිපාක ගැන ඔවුන් අතර ඇත්තේ බියකි. ඒ අතරම, අර්බුදය දිග්ගැස්සීම වැඩි අනතුරක් මතු කිරීම පිලිබඳ කනස්සල්ලක් ද පැතිර ඇත.

යම් අවස්ථාවන්හිදි දේශපාලන අර්බුදය, දැවැන්ත ලෙස පුම්බා ඇති මූල්‍ය වෙලඳපොලේ පිපිරීමක් තුලින්, 2008 සැප්තැම්බරයට වඩා ගැඹුරු අර්බුදයක් තුලට ඇමරිකානු හා ලෝක ධනවාදය කඩාපාත් කරනු ඇත. වොෂින්ටනයේ දේශපාලන යුද්ධය දිග්ගැස්සෙන තරමට, පාලක පන්තිය සම්බන්ධයෙන්, දැනටමත් උනුසුම්ව ඇති කම්කරු පන්තියේ කලකිරීම හා කෝපය දැවැන්ත අරගලයන්ට තුඩුදීමේ අනතුර ද ඉහල නංවයි.

මෙය වනාහි ඓතිහාසිකව පෙර නොවූ විරූ පන්ති පාලනයේ අර්බුදයකි. එය පැනනැගී ඇත්තේ ද දහනය වන්නේ ද උග‍්‍ර වන ආර්ථික, සමාජ හා භූදේශපාලන අර්බුදයක කොන්දේසි තුලය. ඇමරිකානු හා ලෝක ධනවාදය, ආර්ථික පල්වීම, වෙලඳ යුද්ධය තුලට ලුහුටා යාමේ උත්සන්න ප‍්‍රවනතා හා අවසාන වශයෙන්, ප‍්‍රධාන බලවතුන් අතර මිලිටරි ගැටුම් වලින්, වෙලී ඇත. මැද පෙරදිග, අප‍්‍රිකාව හා ආසියාවේ මිලිටරිවාදය හා යුද්ධය නැගී එමින් තිබේ. ඇමරිකානු මිලිටරිය වැඩ කරන්නේ සිවිල් ජනතාවට සිදුවන හානි පිලිබඳව කිසිදු තැකීමක් නොකරයි. අනවරත කප්පාදු හා වැඩෙන සමාජ අසමානතාව සමග අත්වැල් බැඳගෙන පන්ති ආතතීන් උත්සන්නවේ.

ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය බිඳවැටෙමින් තිබේ. පාලක පැලැන්තියේ විශාල කොටස්, ජර්මනියේ පැවති මෑත ජී20 සමුලුව පෙන්නුම් කල ආකාරයට, ඇමරිකාව ලෝක අධිරාජ්‍යවාදයේ කටයුතු වලින් වඩ වඩාත් හුදෙකලා වෙමින් තිබීම ගැන කම්පාවටත් බියටත් පත්වෙති.

එම රාජ්‍ය සමුලුවේදී ධවල මන්ඳිරය හැසිරුනේ මැරයෙක් ලෙසය. ඒ ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ සාපරාධී හා පිරිහීමේ ස්වභාවය පිලිබඳ සමස්තයේ නිමැවුමකි. ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රකාශිත, පාලක පන්තියේම දුෂ් ස්වප්නය සමග පාලක පන්තිය හැප්පෙති. ඒ ෆ‍්‍රැන්කන්ස්ටයින් භූතයෙකි. තම ව්‍යාපාරික කටයුතු වලදී යොදාගන්නා මාෆියා ක‍්‍රමෝපායන් ධවල මන්ඳිරය තුලට ගෙනැවිත් තිබෙන බොනපාට් කෙනෙකි.

තමන් ද ට‍්‍රම්ප් ද නියෝජනය කරන කතිපයාධිකාරී දැක්ම, ස්කැරමුසි කැටිකර දැක්වීය. ඒ පසුගිය 21දා පැවැත්වූ සිය පලමු ධවල මන්ඳිර මාධ්‍ය හමුවේදීය. ඔහු ස්පයිසර්ට ශුභ පතමින් පැවසුවේ, “මම හිතන්නේ ඔහු යන්නේ දැවැන්ත මුදල් ප‍්‍රමානයක් උපයා ගැනීමටයි” යනුවෙනි.

ඔත්තු සේවා ආයතන සමග සන්ධානගතව සිටින ඩිමොක‍්‍රටික් පක්ෂය හා ප‍්‍රධාන මාධ්‍ය ජාලයන්ගේ ට‍්‍රම්ප් විරෝධී ව්‍යාපාරයේ, කිසිදු ප‍්‍රගතිශීලී බවක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ නූල්පොටක්වත් ඇත්තේ නැත. ඩිමොක‍්‍රටිකයින්, ට‍්‍රම්ප් සමාජ අයිතීන්ට හෝ සංක‍්‍රමනිකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහි අරගලයක් ගෙන යන්නේ නැත. ඔවුන් රුසියාවට එරෙහි තම උන්මාදනීය ව්‍යාපාරය කෙරෙහි මුලු අවධානය යොදා ඇත. ඔවුන් ට‍්‍රම්ප්ට පහර ගසන්නේ, ඔබාමාගේ ආන්ඩුව විසින් මුලපුරන ලද මොස්කෝවට විරුද්ධ යුදවාදී ව්‍යායාමය උත්සන්න කර, ඊට මුල්තැන දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසාය. ඔවුන් පෙනී සිටින්නේ, සිරියාවේ තන්ත‍්‍ර මාරු කිරීමේ යුද්ධය දැඩි කරන ලෙසත් න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග නැගෙනහිර යුරෝපය තුල මිලිටරි ගැටුම් උත්සන්න කිරීමටත් ය.

ඒ සමගම ට‍්‍රම්ප්ගේ පාලක පන්ති එදිරිවාදීන්, නව ආන්ඩුවේ විවෘත හා නිර්ලජ්ජිත දූෂනය ගැන උනන්දු වේ. ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික භූදේශපාලන ආසක්තයන් තමාගේ හා තම පවුලේ ව්‍යාපාරික ආසක්තයන්ට යටත් කරනු ඇතැයි ඔවුහු බියවෙති.

කම්කරු පන්තිය පාලක පන්තියේ දෙකොට්ඨාශයටම එරෙහිව, රැකියා, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, සංක‍්‍රමන හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මෙන්ම සාමය වැනි තමන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට ස්වාධීනව මැදිහත්වීම සඳහා මෙම දේශපාලන අර්බුදයේ වාසිය ගැනීම අවශ්‍යවේ. ඔවුන් ට‍්‍රම්ප් කෙරෙහි වන තම විරුද්ධත්වය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස පෙල ගැස්වීමට ඉඩ නොතැබිය යුතුය.

තම පාලනය හුදෙකලා වීමට ප‍්‍රතිචාර වශයෙන් ට‍්‍රම්ප්, දේශපාලන හා සමාජ විරෝධය විදේශ “සතුරෙකුට” එරෙහිව හරවා තම පාලක පන්ති විරුද්ධවාදීන්ට වල කැපීම පිනිස මැද පෙරදිග හා ඇෆ්ගනිස්ථානයේ දැනට කෙරෙමින් ඇති යුද්ධ පැතිරවීමේ හෝ නව යුද්ධවලට මුල පිරීමේ හෝ සැබෑ අන්තරායක් පවතියි.

සමස්ත ආර්ථික හා දේශපාලන පර්යායටම එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ අරගල පුනර්ජීවනය නොකර, ජනාධිපති කවරෙකු වුව ද අර්බුදයේ ප‍්‍රතිපලය වනු ඇත්තේ, පාලනයේ තවදුර ආඥාදායක ක‍්‍රමෝපායන් කරා මාරුවීමත් මිලිටරිවාදය හා යුද්ධයත් වනු ඇත.

එවන් අරගලයක් සඳහා කොන්දේසි වේගයෙන් මෝරමින් ඇත. දිනයේ හදිසි කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තියේ නව දේශපාලන නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම මගින් එවන් ව්‍යාපාරයක් දැනුවත්ව සූදානම් කිරීමය.

Share this article: