මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී ප‍්‍රහාරවලට මුවාවී මිලිටරිය වීදි බැස්සීමට ජනාධිපති සිරිසේන මාන බලයි

වසන්ත රූපසිංහ විසිනි, 2017 ජූනි 13

අනෙකුත් රටවල පාලක පන්තීන් මෙන්ම ලංකාවේ ධනපති ආන්ඩුව ද අන්තවාදී කල්ලි හදාවඩා පොලීසියේ හා මිලිටරියේ සමීප සබඳතාවක් සහිතව පවත්වා ගෙන යන්නේ වැඩකරන ජනයාට එරෙහි ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත දැඩි කිරීම සඳහා අවශ්‍යවූ විට ප‍්‍රහාර දියත් කිරීම අරමුනු කරගෙන ය.

“දිගින් දිගටම සැලසුම් සහගත අයුරින් ආන්ඩුව අපහසුතාවට පත් කරමින් මුස්ලිම් වෙලඳසැල්වලට ප‍්‍රහාර එල්ල කිරීම මැඬලීමට පොලිසියට නොහැකිනම් හමුදාව යොදා හෝ එම තත්වය මැඬලන බව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, මැයි 27දා පැවැති ආන්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමේ රැස්වීමේදී, ප‍්‍රකාශ කලේ යයි ජනමාධ්‍ය වාර්තා කලේ ය.

සිරිසේන මෙම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ එම රැස්වීමේදී මුජිබර් රහුමාන්, රිෂාඕ බදියුදීන් සහ හර්ෂ ද සිල්වා යන මැති ඇමතිවරුන් මතුකල පැනයකට පිලිතුරු දෙමිනි.

ආන්ඩු පක්ෂයේම මන්තී‍්‍රන් මෙම උත්සුකතාවන් මතු කර ඇත්තේ, පසුගිය මාස කීපයේ සිට බොදුබල සේනා (බොබසේ) වැනි සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් සුලුතර මුස්ලිම් ජනයා ඉලක්ක කොට ප‍්‍රකෝපකාරිත්වයන් උත්සන්න කර ඇති තත්වයක් තුල ඒවාට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය සමනය කිරීම සඳහා ය.

මුස්ලිම් වෙලඳසැල්වලට පහර දීම ගැන අවංක කැක්කුමක් ඇත්තෙකු සේ මවා පෙන්වා ගෙන සිරිසේන කර ඇති ඉහත කී ප‍්‍රකාශයේ ඇඟවුම් විසකුරු ය; දෙපිටකාට්ටුකමෙන් හා කුහක කමෙන් ඉහවහා ගොස් ඇත. එය විසකුරු වන්නේ වර්ගවාදී කන්ඩායම්වල ප‍්‍රකෝපකාරිත්වය, මිලිටරිය පාරට බස්සා ගැනීමට කදිම අවස්ථාවක් ලෙස සිරිසේන ගනන් බලන හෙයිනි; එය දෙපිටකාට්ටු ප‍්‍රකාශයක් වන්නේ මෙම වර්ගවාදී කන්ඩායම් සිරිසේන ද ඇතුලු ආන්ඩුවේ නායකයන්ගේ ද දිරි ගැන්වීම ලබමින් කි‍්‍රයා කරන බැවිනි.

මෙම ප‍්‍රහාර එල්ල කරන්නන් නොදන්නාක් මෙන් සිරිසේන කුහක ලෙස ඔවුන් නම් කර නැත. මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකාරිත්වය අවුස්සන්නේ බොදුබල සේනා, සිහල රාවය, හා ඒ ආශ‍්‍රිත නඩ බව ඔහුට ද රහසක් නොවේ.

ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුව ජීවන තත්වයන්ට හා සමාජ අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර නිසා එන්න එන්නම උග‍්‍ර වන මහජන අප‍්‍රසාදයකට ලක්ව තිබේ. එම විරෝධය පීලි පන්නා, වර්ගවාදයෙන් කම්කරුවන් භේද කිරීම සඳහා ආන්ඩුවට මෙම ප‍්‍රකෝප කිරීම් උවමනා ය.

මිලිටරිය පාරට බස්සා ගැනීම සඳහා වර්ගවාදී ප‍්‍රචන්ඩකම් ලංකාවේ ආන්ඩු යොදා ගත්තේ වරක් දෙවරක් නොවේ. ලංකාවේ පාලක පන්තිය සිංහල ස්වෝත්තමවාදී නඩ වල දෙමල විරෝධී ප‍්‍රකෝපකාරී කි‍්‍රයා දැනුවත්වම අවුලූවා ගෙන හදිසි නීතිය පනවා, මිලිටරිය වීදි වලට කැඳවා ගැනීමට මෙන්ම අවසානයේ යුද්ධය අවුලුවා ගැනීමට ද යොදා ගත්තේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල තලා දැමීම සඳහා ය. වර්ගවාදී කන්ඩායම් පාරට දැමුනේ සිංහල ධනපති නායකයන්ගේ හා අනුප‍්‍රාප්තික ආන්ඩුවල ද උදවු ඇතිවය. ඉන් එක් අවස්ථාවක් වූ 1983 ජූලි දෙමල ජනයාට එරෙහිව කි‍්‍රයාත්මක කල විලෝපනයත් සමග 30 අවුරුදු යුද්ධය පටන් ගත්තේය.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පිපිරීම වලක්වා ගැනීමට හදිසි නීතිය දැමීම හා මිලිටරිය කැඳවීම ගැන වත්මන් ආන්ඩුවේ නායකයන් සාකච්චා කරමින් සිටින බව විටින් විට එලිදරවු වී ඇත. අපේ‍්‍රල් 24 දා තෙල් සංස්ථා සේකවයන්ගේ එක් දින වර්ජනයකින් පසු රට “විනය ගත කිරීමට” පියවර ගැනීමට හැකිදැයි ජනාධිපති සිරිසේන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් විමසීම එම සාකච්චාව දුරදිගට යන සැටි පෙන්නුම් කලේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සිය පාලනය උතුරේත් දකුනේත් වැඩ කරන ජනයාගේ බරපතල විරෝධයකට ලක් වෙද්දී මෙම කන්ඩායම්වලට උඩින් හා යටින් අනුබල දෙමින් වර්ගවාදී ගිනි තැබීම්වලට ඉඩ ලබා දුන් බව ප‍්‍රකට ය. බෝබසේ විසින් මෙහෙයවුනු මැර කන්ඩායමක් 2014 ජූනි මාසයේ අලුත්ගම නගරයේ හා ඒ අවට මුස්ලිම් ජනයාට, ඔවුන්ගේ කඩ සප්පුවලට හා නිවාස වලට පහර දීම එවන් එක් සිද්ධියකි. කම්කරු පන්තිය බෙදීමට යලිත් එය ආයුධයක් කර ගත්තත් රාජපක්ෂ පාලනයට එම ප‍්‍රචන්ඩකම් බූමරංගයක් වූයේ ආන්ඩුව කෙරෙහි අප‍්‍රසාදය තවත් අවුලුවමිනි.

සිරිසේන බලයට එනවිට රාජපක්ෂට එරෙහි මහජන අප‍්‍රසාදය ගසා කෑමට දුන් එක් පොරොන්දුවක් වූයේ, එවන් ප‍්‍රචන්ඩ කි‍්‍රයා වලට ඉඩ නොදෙන බව හා ඒවා සිදු කලවුන්ට නීති මගින් දඬුවම් දෙන බවයි.

පසුගිය අවුරුදු දෙකේ සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුවේ වාර්තාව කුමක් වීද? මහජන අප‍්‍රසාදය නිසා ව්‍යාජව මුලුගැන්වී සිටි ඉහත කී කන්ඩායම් පොලාපැන එලියට පැමින ඇත්තේ රාජපක්ෂ කන්ඩායමේ කුත්තු කිරීම් නිසා පමනක් නොව විශේෂයෙන් ම ආන්ඩුවේ ආශීර්වාදය ඇතිව ය. මුස්ලිම් වෙලඳසැල් වලට පහර දෙන්නන් මැඩීම ගැන ජනාධිපතිගේ ප‍්‍රකාශය දෙපිටකාට්ටු වන්නේ මෙම තතු තුල ය.

2016 ජනවාරි 18 දා ජනාධිපති සිරිසේන හා ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු බොදුබලසේනා සංවිධානයේ නායකයන් ජනාධිපති මන්දිරයට වඩම්මා ගෙන ජන මාධ්‍යට වැසුනු “සාර්ථක” සාකච්ඡාවක් පැවැත්වීම ගැන පලවූ වාර්තා සිරිසේනගෙන් එම සංවිධානයට ලැබෙන සහතිකය පිලිබඳව එක් නිදසුනක් පමනකි. ”ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට හා මුස්ලිම් ජනයාට ගෝලීය ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ඇතිව තිබෙන තර්ජනය ගැන ජනාධිපතිට පැහැදිලි කල බව එම සාකච්ඡාවෙන් පසුව බොබසේ ලේකම් ප‍්‍රකාශ කලේය. දෙමල බහුතරයක් වෙසෙන වව්නියාවේ සිංහල ජනයා පදිංචි කරවීමේ දී “ඇතැම් මුස්ලිම් ඇමතිවරුන්” හා “දෙමල බෙදුම්වාදීන්ගෙන් බාධාවන් එල්ල වන බව” තමන් ජනාධිපතිවරයාට දැන් වූ බවත්, ඒ සම්බන්ධයෙන් “කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති තුමා හමුදා ප‍්‍රධානියාට දන්වා තිබෙන බවත්” ඥානසාර ජන මාධ්‍යට ප‍්‍රකාශ කලේය.

පසු ගිය මාසවල අන්තවාදීන්ගේ පහරදීම උග‍්‍රවන තත්වයේ දී ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කලේ “ගැටුම් නතර කිරීම සඳහා සියලුම ආගම් නායකයන් එක වේදිකාවකට පැමිනිය යුතු බවයි.” සිරිසේන අන්තවාදීන් නලවන්නේ එලෙස ය.

සිරිසේන දිනපතා පන්සල්වල උත්සවවලට සහභාගි වෙමින්, පූජා පවත්වමින් රාජපක්ෂ මෙන්ම සිංහල-බෞද්ධ ස්වොත්තමවාදයට උඩගෙඩි දෙන්නේ ප‍්‍රකෝපකාරීන් ශක්තිමත් කරමිනි. ඓතිහාසිකව ම, ජනාධිපති ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයට ඉහේ සිට දෙපතුල දක්වා ගැටගැසී සිටිති.

බොදු බල සේනා, සිහල රාවය වැනි අර්ධ ෆැසිස්ට් කන්ඩායම් රාජපක්ෂලා, සිරිසේනලා හා වික‍්‍රමසිංහලා ඇතුලු පාලකයන් සමග මෙන්ම පොලීසියේ හා හමුදාවේ මුදුන් සමග ද සමීප සම්බන්ධතා පවත් වති. පොලිස් කන්ඩායම් හතරක් යොදා ගෙනත් සති ගනනක් තිස්සේ උත්සාහ කලත් පොලිස්පති පූජිත ජයසුන්දරට ඥානසාර සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ලඟින්ම සිටින නිසා විය යුතුය.

බරපතල දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයක් ලංකාව තුල නිර්මානය වී ඇති තත්වයේ දී පන්ති අරගල පැන නැගීමේ කොන්දේසි ගැන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද පාලක පන්තියේ කොටස් ද තැති ගැනී සිටිති. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ කොන්දේසි එකින් එක කි‍්‍රයාවට දැමීම මෙම අර්බුදය අවුලුවා ඇත. මෑත දී සිදුවූ මීතොටමුල්ල හා ගංවතුර ආපදා මහ ජනයා අතර කැකෑරීම උග‍්‍ර කරමින් පවතී. මෙම තතු තුල මිලිටරිය කැඳවා ගත් ආඥාදායක පාලනයකට මාරුවීම අන්ඩුවේ හා ධනපති පන්තියට ඇති එකම විකල්පයයි.

ජාත්‍යන්තරව, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී රටවල සිදුවන වර්ධනයන් හා සිරිසේනගේ ප‍්‍රයත්නය අතර යම් සමාන්තරයක් දැකිය හැකිය. මෑත ම උදාහරනයක් වන්නේ, බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර්වල හා ලන්ඩන්වල එල්ල වූ ප‍්‍රහාරයන්හිදී රාජ්‍ය ඔත්තු සේවාවල, පොලීසියේ හා පාලක ආන්ඩුවේ ද කි‍්‍රයා කලාපය යි. ජන ජීවිත දුසිම් ගනනක් බිලිගත් මේ ප‍්‍රහාර එල්ල කලවුන් ඔත්තුසේවා මගින් පාලකයන්ගේ ප‍්‍රතිගාමී උවමනාවන් සඳහා විටින්විට මෙහෙයවූවන් ය. ඔවුන්ට නිදැල්ලේ කි‍්‍රයා කිරීමට ඉඩ දී “ත‍්‍රස්තවාදයට එරෙහිව” හඬ තලමින් පාලක පන්තිය මර්දනකාරී හස්තය ශක්තිමත් කර ගැනීමට පියවර ගනියි.

කම්කරුවන් හා තරුනයන් මෙම වර්ධනයන් මධ්‍යයේ සිරිසේනගේ ප‍්‍රකාශය බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස ගනන් ගත යුතු ය.

Share this article: