ඉන්දියාව හා පාකිස්ථානය ෂැංහයි කෝපරේෂන් සංවිධානයට ඇතුලත් කර ගනී

India and Pakistan admitted to Shanghai Cooperation Organisation

වසන්ත රූපසිංහ විසිනි, 2017ජූනි 14

ඉන්දියාව හා එරට පරම සතුරා වන පාකිස්ථානය අතර එදිරිවාදිකම් වැඩෙමින් පවතින තතු හමුවේ, පසුගිය සතියේ කසක්ස්ථානයේ පැවැති ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ (එස්සීඕ) දෙදින වාර්ෂික සමුලුවේදී රටවල් දෙකටම පූර්න සාමාජිකත්වය පිරිනැමුනි.

රුසියාව හ චීනය ප්‍රධානත්වය දරන කලාපීය එකමුතුව ස්ථාපිත කරනු ලැබුවේ, මධ්‍යම ආසියාව හා කැස්පියන් කලාපය තුල එක්සත් ජනපදයේ භූ-දේශපාලනික මූලෝපායට අභියෝගයක් ලෙස ය. මධ්‍යම ආසියානු රටවල් වන කසක්ස්ථානය, උස්බෙකිස්ථානය, ටජිකිස්ථානය හා කිර්ගිස්ථානය මෙම සංවිධානයේ සෙසු සාමාජිකයන් ය.

2005 වසරේදී ඉන්දියාවට හා පාකිස්ථානයට පූර්න සාමාජිකත්වය නොලැබුනේ, සංවිධානයේ මූලික බලවතුන් දෙදෙනා වන රුසියාව හා චීනය අතර පැවැති මතභේද හේතුවෙනි. රුසියාව, දශක ගනනාවක් තිස්සේ සිය සගයා වන ඉන්දියාවට පූර්න සාමාජිකත්වය ලබා ගැනීමට සහාය දුන් අතර චීනය ද ඒ කාරනා මතම පාකිස්ථානයට පක්ෂව තර්ක කලේ ය. මෑත වසරවලදී, වොෂිංටනයේ ආක්රමනකාරී හා එදිරිවාදී පිලිවෙතට ප්‍රතිචාර වසයෙන් රුසියාව හා චීනය එකතුවී සිටින අතර ඉන්දියාවට හා පාකිස්ථානයට එස්සීඕහි පූර්න සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉඩ සැලසීමට එකඟවූහ.

අගමැති නරේන්ද්‍ර මෝදි ආන්ඩුව යටතේ එක්සත් ජනපදය, චීනයට එරෙහිව එහි මිලිටරි-මූලෝපායික වැඩපිලිවෙලට ඉන්දියාව ඒකාග්‍ර ගැනීමේ ප්‍රයත්නයන් කඩිනම් කලේ ය. එමගින්, බෙයිජිනයට එරෙහි වොෂිංටනයේ යුද සූදානමේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව ක්‍රියාශීලී ලෙස පරිවර්තනය කලේ ය. මෝදි, වඩ වඩාත් උච්ඡ ස්වරයෙන් දකුනු චීන මුහුදේ කලාපීය මතභේද සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය පුනරුච්ඡාරනය කර තිබේ. එක්සත් ජනපද මිලිටරිය සඳහා එරට කඳවුරු විවෘත කිරීමට ඉන්දියාව පසුගිය අගෝස්තුවේදී එකඟවූයේ ය.

එක්සත් ජනපදය හා ඉන්දියාව අතර සමීප සම්බන්ධතාවට පාකිස්ථානය හා චීනය ප්‍රතිචාර දැක්වූයේ දශක ගනනාවක් දිවෙන ඔවුන්ගේ දේශපාලනික, ආර්ථික හා මිලිටරි බැඳීම් ශක්තිමත් කරගැනීම මගිනි.

එස්සීඕහි සාමාජිකත්වය ලැබීම හරහා පුලුල් ආසියාතික කලාපය තුල එහි භූ-දේශපාලනික අභිප්‍රායන් සපුරා ගැනීමට සහ විශේෂයෙන්ම බලශක්ති ප්‍රභවයන්ගෙන් පොහොසත් මධ්‍යම ආසියාවට ප්‍රවේශ මාර්ගයක් සකසා ගැනීමට ඉඩ සැලසනු ඇති බව ඉන්දියාව කල්පනා කරයි. “එස්සීඕව හා එක්වීම මධ්‍යම ආසියාව තුල ඉන්දියාවේ බලපෑම ඉහල දමා ගැනීමට ලද අඩු-වියදම් ආරම්භකත්වයකි”, කානගී ඉන්දියා චින්තන පර්ෂදයේ සාමාජිකයෙකු වන කොන්ස්ටැන්ටිනො ෂාවියර් මෑතකදී සඳහන් කලේ ය.

ඉන්දියාවේ සාමාජිකත්වය සඳහා පිටුබලය දීම මගින් බීජිනය, දකුනු ආසියාව තුල තම අවශ්‍යතා පුලුල් කරගැනීමට හා එක්සත් ජනපද-ඉන්දීය සබඳතා දුර්වල කිරීමටත් අපේක්ෂා කරයි. ෂාවියර් සඳහන් කල පරිදි, “ඉන්දියාව එස්සීඕවට ඇතුලත්වීම, සාක් [කලාපීය සහයෝගිතාව සඳහා දකුනු ආසියාතික සංවිධානය], බිම්ස්ටෙක් [බහු-ආංශික තාක්ෂනික හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක අවට සංවිධානය] හා දකුනු ආසියාවේ අනෙකුත් කලාපීය සංවිධාන වල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා චීනයට පූර්වාදර්ශයක් සම්පාදනය කෙරී ඇත”.

ඔවුන් එස්සීඕවේ පූර්න සාමාජිකත්වය ලබා ගත්තේ වී නමුදු, ඉන්දියාව හා පාකිස්ථානය අතර යුද ආතතීන් පහලයාමේ ලකුනක් දක්නට නැත. මෝදි හෝ පාකිස්ථානයේ අගමැති නවාස් ෂරීෆ්, සමුලුව අතරතුර කිසිදු නිල ද්වීපාර්ශවීය හෝ නිල නොවන සාකච්ඡාවක් පැවත්වීමට අසමත් වූවෝ ය. සමුලුවට පෙර පැවති සන්දර්ශනය හා භෝජන සංග්‍රහයෙන් අනතුරුව නායකයන්ගේ පිලිසඳර කතාබහ අතරතුරදී පමනක් කෙටි බහක් සිදු විය. වාර්තාවන ආකාරයට, ඔවුහු එකිනෙකාට “සුබපැතුම් හුවමාරුකරගත්” අතර මෝදි, ෂරීෆ්ගේ සෞඛ්‍යය හා ඔහුගේ පවුලේ සුවදුක් විමසා ඇත.

එස්සීඕ සමුලුවට පෙරාතුවම හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ජූනි 1දා වාර්තා කලේ, ද්විපාර්ශවීය සාකච්ඡාවන් සිදු නොවනු ඇති බව යි. “ඉන්දියානු පිලිවෙත සම්බන්ධයෙන් ගත් කල පාකිස්ථාන හමුදාව, වඩාත් ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් සිටී. කල හැකි එකම දේ, විවිධ පෙරමුනුවලදී සබඳතා අවුල් කිරීම පමනකි. මේ දැන් පවා කිසිදු සාකච්ඡාවක් සඳහා ඉල්ලීමක් පාකිස්ථාන පාර්ශවයෙන් සිදුව නැත”, නම් සඳහන් නොකල ඉන්දියානු නිලධාරියෙක් පුවත්පත උපුටා දැක්වුයේ ය.

මෝදි එස්සීඕ සමුලුවට කල කතාව, “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට” කේන්ද්‍ර කර තිබූ අතර “අප, සාමූහික හා ප්‍රබල පරිශ්‍රමයන් නොදරන්නේ නම්, විසඳුමක් සොයාගැනීමට හැකියාවක් නැතැ”යි කීවේ ය. විශේෂ රටක් නාමිකව සඳහන් නොකල ද ඔහුගේ පැහැදිලි ඉලක්කය වූයේ, ඉන්දියානු-විරෝධී කාෂ්මීර් බෙදුම්වාදී කන්ඩායම්වලට ආධාර කරමින් වක්‍ර යුද්ධයක් ගෙන යාම පිලිබඳව නව දිල්ලිය විසින් එකදිගට චෝදනා කරමින් සිටින පාකිස්ථානය යි.

එස්සීඕ සාමාජික රටවල් අතර “සම්බන්ධකතාවට” සිය රට මුලුමනින්ම සහාය දෙන බව සඳහන් කරන අතරේ ඉන්දියානු අගමැතිවරයා අවධාරනය කලේ, “අන්තර්ගත කරගැනීම හා ආරක්ෂාවීම අත්‍යවශ්‍ය කාරනාවක් වන අතර ස්වාධිපත්‍යයට හා කලාපීය එකමුතුවට අපි ගරු කල යුතු ය” යනුවෙනි. “ස්වාධිපත්‍ය” පිලිබඳ ප්‍රශ්නය මතු කරමින් ඉන්දියාව සති කිහිපයකට පෙරාතුව චීනයේ වන් බෙල්ට්, වන් රෝඩ් (ඕබීඕආර්) සමුලුව වර්ජනය කර තිබීමේ කාරනය සැලකූ කල මෙම සැඳහුම් වැදගත් ය. මතභේදයට තුඩුදී ඇති, ඕබීඕආර්හි කොටසක් වන ඩොලර් බිලියන 46ක ආයෝජන වැඩසටහනක් වන චීන හා පාකිස්ථාන ආර්ථික කොරිඩෝව (සීපෙක්) වැටී ඇත්තේ ඉන්දියාව අයිතිවාසිකම් කියන පාකිස්ථාන-පාලිත කාශ්මීරය හරහා ය.

“ස්වාධිපත්‍යයට ගරුකිරීම” ගැන කෙරුනු මෝදිගේ සඳහන පෙන්නුම් කරන්නේ, එස්සීඕ සාමාජිකත්වය ලැබුනේ වුවත්, සීපෙක් හා ඕබීඕආර් ව්‍යාපෘතියට ඉන්දියාව දිගටම විරුද්ධ බව යි. මෙම ව්‍යාපෘති දකුනු ආසියාව තුල හා පොදුවේ ගත්කල යුරේෂියාව තුලත් චීනයේ භූ-දේශපාලනික අධිකාරිය සැලකිය යුතු මට්ටමින් ඉහල දමනු ඇතයි ද පාකිස්ථානයේ ගරාවැටුන ආර්ථිකය ප්‍රසාරනය කරනු ඇත යි ද වොෂිංටනයේ පිලිවෙත හා පෙලගැසී සිටින නව දිල්ලියේ උත්සුකතාව යි.

පසුගිය වසරේදී දකුනු ආසියාතික රටවල් දෙක අතර යුද ආතතීන් නාටාකාකාර ලෙස උත්සන්න විය. පසුගිය සැප්තැම්බර් මාසයේදී, පාකිස්ථානය තුලට “අනපේක්ෂිතව කඩාපනින ප්‍රහාරයක්” දියත් කරන ලෙස ඉන්දියානු ආන්ඩුව, මිලිටරියට නියෝග කලේ ය. ඉන්දියාවේ මිලිටරි මැදිහත්වීම්වල අර්ථය, පාකිස්ථානය හා පවත්වාගෙන ගිය “මූලෝපායික අවහිර කිරීම්වල” නිමාව බවට මෝදි පාරම්බෑවේ ය. එතැන් සිට, ඉන්දියානු හා පාකිස්ථානු පාලිත කාශ්මීරය බෙදා වෙන් කරන පාලන රේඛාව (එල්ඕසී) හරහා වෙඩි හුවමාරු කරගැනීම් සමග සබඳතා නරක අතට හැරී ඇත. න්‍යෂ්ටික අවි යොදා ගැනීමේ ශක්‍යතාව ද ඇතුලත්ව දෙපාර්ශවයම යුද තර්ජන නිකුක් කර තිබේ.

ජූනි 11දා ඩේලි එක්සෙල්සර් වාර්තා කලේ, එල්ඕසීට මායිම්ව ඇති ඇති පූන්ච් හා රාජෝරි දිස්ත්‍රික්කවල තුන් පැත්තකින් ආරක්ෂක මධ්‍යස්ථාන හා සිවිල් ප්‍රදේශ ඉලක්ක කොට පාකිස්ථානය එල්ල කල ප්‍රහාරවලට එරෙහිව ඉන්දියානු මිලිටරිය, ප්‍රධාන ආක්‍රමනයක් දියත් කල බව යි. ඉන්දියානු ප්‍රතිප්‍රහාරවලින් අඩුගනනේ පාකිස්ථාන මිලිටරි මධ්‍යස්ථාන හා බන්කර් නවයක් විනාශ වූ බව පුවත්පත වාර්තා කලේ ය. පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වා, මුසාෆරබාද් හා එල්ඕසීවට යාබද අනෙකුත් ඉදිරිපෙල මධ්‍යස්ථානවල සංචාරය කිරීමෙන් පසු දින සිට පාකිස්ථාන මිලිටරිය තම ප්‍රහාර උත්සන්න කර ඇත.

ඉන්දියානු හමුදා එල්ඕසී හරහා එල්ල කල කාලතුවක්කු ප්‍රහාරවලින් තරුනයින් තිදෙනෙකු මරනයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව, ජූනි 12දා පාකිස්ථාන හමුදාවේ මාධ්‍ය අංශය වන, අන්තර් සේවා මහජන සබඳතා ආයතනය උපුටා දක්වමින් ජියෝ නිව්ස් වාර්තා කලේ ය. ඊට පෙර දිනයේදී, ඉන්දියානු කාලතුවක්කු ප්‍රහාරවලින් චිරිකොට්හි වයස අවුරුදු හැත්තෑවක පුද්ගලයෙකු මිය ගොස් ඇත. පාකිස්ථාන විදෙස් අමාත්‍යාංශය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කැඳවා, ඉන්දියානු හමුදා විසින් එල්ල කල “ප්‍රකෝප නොකල” වෙඩිතැබීම් කෙරෙහි නිල විරුද්ධත්වය ප්‍රකාශ කලේ ය.

මෙම මාසය මුල, “ප්‍රතිප්‍රහාරවලින්” පාකිස්ථාන හමුදා සාමාජිකයන් පස් දෙදෙනෙකු මරුමුවට පත් කරමින් තවත් හය දෙනෙකුට තුවාල සිදුකල බව ඉන්දියානු මිලිටරිය ප්‍රකාශ කලේ ය. පාකිස්ථාන හමුදා ප්‍රකාශකයෙකු වාර්තා කලේ, ඉන්දියානු මිලිටරි බල ඇනි විසින් පකිස්ථාන වැසියන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අට දෙනෙකුට තුවාල සිදු කර ඇති බව යි.

Share this article: