“එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයකදී ලොව සියලූ දෙනා මිය යනු ඇත”

එක්සත් ජනපදය සහ රුසියාව අතර යුද්ධයක විපාක පිලිබඳ ව න්‍යෂ්ටික විශේෂඥයෝ එසේ කියති

Nuclear experts speak on the dangers of war between the US and Russia

බ‍්‍රයන් ඩයින් හා බැරී ගේ‍්‍ර විසිනි, 2017 අපේ‍්‍රල් 15

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතකදී, න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වන ස්ටීවන් ස්ටාර් හා ග්‍රෙග් මැලෝ සමග කථා කලේය.

ට‍්‍රම්ප් පාලනය අපේ‍්‍රල් 6දා සිරියානු ගුවන් හමුදා කඳවුරකට එල්ල කල කෲස් මිසයිල ප‍්‍රහාරයත් සමග, එක්සත් ජනපදය, යුරෝපීය බලවතුන් සහ රුසියාව අතර ආතතීන් සීතල යුද්ධයෙන් මොබ ඉහල ම මට්ටමට නැග ඇත. ප‍්‍රකෝපකරනයකින් තොරව ම එල්ල කරන ලද මෙම ප‍්‍රහාරය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය සහ එහි සහචරයන්ගේ කුතර්ක ගොතන අතර රුසියාව ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, බෂාර් අල්-අසාද්ගේ තන්ත‍්‍රයට දෙන සිය මිලිටරි සහයෝගය තවත් වැඩි කරන බව කියමිනි.

අපේ‍්‍රල් 13 වනවිට මෙම ආතතීන් තවත් උග‍්‍ර කර තිබෙන්නේ, එක්සත් ජනපද මිලිටරිය විසින් ඇෆ්ඝනිස්ථානය ට ජීබීයූ-43බී නමැති මහා වායු ස්ඵොටක බෝම්බය (එම් ඕඒබී) හෙලීමත් සමගය. රාත්තල් 21,600ක් බරැති එම් ඕඒබී බෝම්බය වනාහි එක්සත් ජනපද අවි ගබඩාවේ ඇති බලවත් ම න්‍යෂ්ටික නො වන අවියයි. එය මින් පෙර යුද ගැටුමක දී යොදාගෙන නැත.

ප‍්‍රහාරයේ නිල ඉලක්කය වූයේ නන්ගර්හාර් ප‍්‍රාන්තයේ අයිඑස්අයිඑස් සංවිධානයේ ගුහා හා උමං සංකීර්නයක් වූ ද එහි සැබෑ අරමුන ඉරානය, රුසියාව, උතුරු කොරියාව හා චීනය ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතාවන්ට බාධා කරන්නාවූ ද ඇමරිකාවේ සතුරන් ලෙස සලකනු ලබන්නාවූ ද ඕනෑම ජාතියක ට එරෙහි එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩත්වය ට සීමාවක් නැතැයි ප‍්‍රදර්ශනය කිරීම යි.

වඩ වඩා තීව‍්‍ර වන භූදේශපාලනික අර්බුදය පිලිබඳ මාධ්‍ය වාර්තාවන්හි කැපී පෙනෙන ලක්ෂනය, නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, ෆොක්ස් නිව්ස්, එම්එස්එන්බීසී හෝ සීඑන්එන් න්‍යෂ්ටික ඝට්ටනයක විපාක පිලිබඳ සියලූ සාකච්ඡාවලින් වැලකි සිටීමයි.

එම් ඕඒබී බෝම්බයේ මීලඟ අඩිය වනු ඇත්තේ, විනශකාරීත්වය අතින් එම් ඕඒබී බෝම්බය පරයා යන, ‘අඩු -බල’ තාප න්‍යෂ්ටික අවියකින් කෙරෙන පහර දීමකි. එහෙත් මහා සංගත මාධ්‍ය සංස්ථාපිතයේ කවරෙක් හෝ සැලකිල්ලට නොගන්නා දෙය නම්, රුසියාව හෝ චීනය පැත්තකින් තැබුවත් සිරියාව, ඉරානය හෝ උතුරු කොරියාව තුල එවැනි අවියක් යොදා ගත්තේ නම් කුමක් සිදු විය හැකි ද යන්න යි.

මෙය තවත් ප‍්‍රශ්න දෙකක් මතු කරයි: එක්සත් ජනපදය හා රුසියාව අතර ඝට්ටනයක් යුදමය තත්වයක් දක්වා උග‍්‍ර අතට හැරී න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ගමන් කිරීමට කොයි තරම් ආසන්න ද? එවැනි යුද්ධයකින් කොතරම් ජන සංඛ්‍යාවක් මියයනු ඇත් ද?

මෙම ප‍්‍රශ්න වලට පිලිතුරක් ලබාගැනීම සඳහා න්‍යෂ්ටික යුද අන්තරාය පිලිබඳ විශේෂඥයන් දෙදෙනෙක් වන ස්ටීවන් ස්ටාර් සහ ග්‍රෙග් මෙලෝ සමග ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙන වෙන ම සාකච්චාවල නිරත වීය.

***

ස්ටීවන් ස්ටාර්

ස්ටීවන් ස්ටාර් වනාහි Physicians for Social Responsibility ෆිසිශන්ස් ෆෝර් සෝෂල් රෙස්පොන්සිබිලිටි (සමාජ වගකීම්ධාරී වෛද්‍යවරුන් ගේ) ආයතනයෙහි ජ්‍යෙෂ්ට විද්‍යාඥයෙකි; Nuclear Age Peace Foundation නියුක්ලියර් ඒජ් පීස් ෆවුන්ඬේෂන් හි (න්‍යෂ්ටික යුගයේ සාම පදනම ) සම්මාන සාමාජිකයෙකි. න්‍යෂ්ටික යුද්ධයේ පාරිසරික අන්තරායන් පිලිබඳ ඔහුගේ ලිපි, Bulletin of Atomic Scientists (පරමානුක විද්‍යාඥයන්ගේ බුලටීනය) සහ publication of the Moscow Institute of Physics and Technology Center for Arms Control, Energy and Environmental Studies (භෞතික විද්‍යාව හා ආයුධ පාලනය, බලශක්තිය හා පාරිසරික අධ්‍යයන තාක්ෂනය පිලිබඳ මොස්කව් ආයතනය) යනාදී ප‍්‍රකාශනවල පල ව ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය: ඔබේ මතය අනුව ඇමරිකා එක්සත් ජනපදය සිරියානු ප‍්‍රශ්නය මත රුසියාව සමග හෝ, උතුරු කොරියාව අරබයා චීනය සමග හෝ යුද්ධයක පැටලීමේ අනතුර කොතරම් සමීප ද?

ස්ටීවන් ස්ටාර්: මා හිතන්නේ එවැන්නක් සිදුවීමේ ඉතා බරපතල අනතුරක් තිබෙන බවයි. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් සමග සහයෝගීව සිටින රුසියානුවන් අයිඑස්අයිඑස් (ඉස්ලාමිය රාජ්‍ය වාදීන් ) පරදවමිනුයි ඉන්නේ. ඔවුන් අලෙප්පෝ නගරය ආපසු අල්ලාගැනීම එක්සත් ජනපදයේ මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය වියරු වට්ටලයි තිබෙන්නේ. හේතුව, ඔවුන්ගේ උවමනාව යුද්ධය ඒ අන්දමින් අවසන් කරන එක නො වන නිස යි. ජනපති වරනයේ දී ට‍්‍රම්ප් ප‍්‍රචාරය කලේ ‘අත නොපොවන’ සංහිඳියාවක් සඳහා තමා පෙනී සිටින බවයි. රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් තුර්කි සංචාරයක දී කියා තිබුනේ, අසාද් දිගට ම බලයේ සිටියාට කමක් නැතැයි කියාය. එහෙත් ඉන් දින පහක් ගත වෙනකොට ම එක්සත් ජනපදය, සිරියාවට කෲස් මිසයිල එල්ල කලා.

එක්සත් ජනපදය සිරියානු ගුවන් කඳවුරු වලට කෲස් මිසයිල 59ක් එල්ල කිරීම මූලික ව රුසියාව සහා අප අතර සබඳතා විනාශ කර තිබෙනවා. අපි රතු ඉර පැන සිටින්නෙමු. එක්සත් ජනපද හා රුසියානු ගුවන් යානා අතර දරුනු ගනයේ ඝට්ටන වැලැක්වීම අරමුනු කරගෙන 2015 සිට, දින පතා පැය 24 ක් [24/7] කි‍්‍රයාත්මක කල ගුවන් ආරක්ෂක අවබෝධතාව දැන් රුසියාව විසින් අත්හිටුවා ඇති නිසා, එක්සත් ජනපද යානාවලට වෙඩි තැබිය යුතු ද නැද්ද යන්න තීරනය කිරීමේ අයිතිය සිරියාව තුල රැඳී සිටින රුසියානු සේනාංක වලටම පවරා ඇත. සිරියානු ගුවන්පථයට දැනටමත් [සිරියානු ආන්ඩුව සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම් මගින්] හිමිකම් දරන රුසියානුවන්, එරටේ ගුවන් ආරක්ෂක ධාරිතාව ඉහල නැංවීමට සූදානම් බව ප‍්‍රකාශ කර තිබේ. ඒ අනුව රුසියානුවන් එක්සත් ජනපද ගුවන් යානා වෙඩි තබා බිම හෙලීම පටන් ගත්තොත් මොකෙන් මොකක් සිදුවේ ද?

ලෝසවෙඅ: විසම කොට ගත යුතු කරුනක් නම් , (එක්සත් ජනපද පාලනාධිකාරය ) ගෙනයන පිලිවෙත්වල විපාකයන්හි පරිමානය සහ සංගත-පාලිත මාධ්‍ය වාර්තා වල වංචනික ව්‍යාජය යි. කවුරුන් හෝ සමස්ත ග‍්‍රහලෝකයම විනාශ කිරීමට හේතුවන පිලිවෙතක් අනුගමනය කරද් දී, එය වෙනුවෙන් ප‍්‍රචාර වාරනය අලුත් මට්ටමකට එලඹ තිබේ.

ස්ටීවන් සටාර්: මගේ දැක්ම අනුව නම්, වාර්තා පුවත්පත් බොහොමයක්, විශේෂයෙන් ම 2014 යුකේ‍්‍රනයේ හා කි‍්‍රමියාවේ සිද්ධීන් ගෙන් පසුව, පලකරන ජාත්‍යන්තර “ප‍්‍රවෘත්ති”, මුලුමනින් ම පාහේ පක්ෂග‍්‍රාහී ප‍්‍රචාරයකට වැටීඇත. සෑම රටක ම ප‍්‍රවෘත්ති වාර්තාකරනයේ දී මාධ්‍ය පැති ගැනීම අනපේක්ෂිත නුවුවත්, බටහිර මාධ්‍යයන් සම්බන්ධයෙන් ගත්කලහි, දැන් පැනනැගී ඇති තත්වය වන්නේ, පලකරන ප‍්‍රවෘත්ති, තර්ක හා චෝදනා තහවුරු කිරීමට ගැඹුරු සාක්ෂි සම්පාදනය කල යුතුය යන්න ඔවුන් කිසිසේත් ම ගනන් නො ගැනීම යි. සිරියාවට එල්ල කල රසායනික අවි ප‍්‍රහාරය පිලිබඳ මොනම විමර්ශනයක් වත් නැති අතර, එවැන්නක් සිදු කිරීමට පෙර ම ට‍්‍රම්ප් මිසයිල ප‍්‍රහාරය දියත් කර හමාර ය.

සීඅයිඒ සංවිධානය මෙම කි‍්‍රයාදාමයේ මුලුමනින්ම ගැලී සිටී. එක්සත් ජනපද හා බටහිර මාධ්‍යවලින් සියයට 90ක් ම මහ-සංගත හයක් විසින් පාලනය කෙරෙන අතර ඒවා වොෂින්ටනයේ නිල පක්ෂ පිලිවෙතට එරෙහි ව යන ප‍්‍රවෘත්ති පල කරන්නේ නැත. අපට අද අසන්නට ලැබෙන දේ වල නිර්නක ලක්ෂනය නම්, විරුද්ධ මතයකට ඉඩ නොදී ඉවත් කර දැමීම මගින් වාරනය කිරීමකි. සත්‍ය කරුනු මගින් තහවුරු නො කෙරුනු “නිල මුලාශ‍්‍රයන්” පාවිච්චි කිරීමෙන් එක්සත් ජනපද මිලිටරි කි‍්‍රයාන්විතයන්ට සහයෝගය ගොනු කරන ව්‍යාජ කතිකාවක් නිර්මානය කෙරේ.

ලෝසවෙඅ : මෙහි ප‍්‍රකාශනයක් නම්, රුසියාව සමග යුද්ධයක විපාක පිලිබඳව මාධ්‍ය නොඇසූ කන් ව පවත්වාගෙන යන නිහැඬියාව යි. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයක විපාක පිලිබඳ ව මොනම විවාදයක් වත් අහන්නට ලැබී ඇත්තේ කවදා ද ? රසායනික අවි පිලිබඳව ගොතන ලද කථාවක් අල්ලා ගෙන එක්සත් ජනපදය සිරියාවට තවත් ප‍්‍රහාරයක් එල්ල කලොත් වෙන්නේ මොකක් ද?

එස්එස්: එක්සත් ජනපදය හා රුසියාව අතර සබඳතා මෙතුවක් ඉතිහාසයේ නරක ම තත්ත්වයට වැටී පවතින වත්මන් තතු තුල, තත්වය ඉතා ඉක්මනින් උත්සන්න වනු ඇත. මට කියවන්නට ලැබුනු එක් වාර්තාවක් අනුව, ඇමරිකානු භටයන් 150,000ක් සිරියාව තුලට බැස්සීමට සැලැස්මක් පවතී. දැනට මත් සිරියානු ආන්ඩුවේ ඉල්ලීම පරිදි එරට තුල රුසියන් සහ ඉරාන භටයන් ඉන්න තත්වයක් තුල දී, ලොකු යුද හමුදාවක් එරටට යැවීමට එක්සත් ජනපදය ගන්නා තීරනයක් කිව නො හැකි තරම් තකතීරු වනු ඇත. එවන් තත්වයක් තුල තුන්වන ලෝක යුද්ධයක් වලක්වාගැනීම ද ඉතා අසීරු වනු ඇත.

එක්සත් ජනපදය හා රුසියාව කෙලින්ම යුද්ධයක පැටලූන විට , අන්තිමේ දී එක පාර්ශවයක් පරදින්නට පටන් ගනී. එවිට ඔවුන් පරාජය පිලිගත යුතු වෙයි, නැත්නම් ඝට්ටනය තවත් උග‍්‍ර කල යුතු ය. එවිට න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ ඉඩ වැඩිවෙයි. න්‍යෂ්ටික අවි යොදාගැනීම පටන් ගත් පසුව එය ඉක්මනින්ම පූර්න න්‍යෂ්ටික යුද්ධයක් බවට හැරෙනු ඇත.

ලොසවෙඅ: එය කොතරම් විනාශකාරී වනු ඇද් ද?

එස්එස්: එක්සත් ජනපදයට ද රුසියාවට ද අවම වසයෙන් කිලෝ ටොන් 100ක මූලෝපායික න්‍යෂ්ටික ආයුධ 1,000 බැගින් ඇත. මිනිත්තු 2 සිට 15 දක්වා කෙටි වෙලාවක් තුල ඒවා මුදා හැරීමට සූදානම් කර ඇත. එක්සත් ජනපද සබ්මැරීනයකින් විදින මිසයිලයක් මොස්කෝවේ ඉලක්කයට වැදීමට ගතවන කාලය මිනිත්තු නවයක් පමන වන හෙයින් ඒ කාලය ඇතුලත, පෙරලා ප‍්‍රහාරයක් දියත් කිරීමට රුසියානු ආන්ඩුවට ඉඩ තිබේ. මේ මිසයිල ඕනෑම මොහොතක විදිය හැක.

එක්සත් ජනපදය ට හා රුසියාව සතුව දැනට මත් ස්ථානගත කර ඇති, කි‍්‍රයාකාරී න්‍යෂ්ටික අවි 3,500ක් පමන තිබෙන අතර ඔවුන්ට ඒවා පැයක් ඇතුලත පුපුරුවා හල හැකි ය. මේ සෑම අවියක ම අවම ස්ඵෝටක බලය ටීඑන්ටී (ට‍්‍රයි නයිට්‍රො ටොලූයීන්) 100,000 කි. සංචිතයේ තබා ඇති තවත් න්‍යෂ්ටික ආයුධ 4,600ක් ඔවුන් සතුව ඇත. එක්සත් ජනපදයේ ජනගහනය 100,000 ඉක්මවන නගර සංඛ්‍යාව 300ක් ද රුසියාවේ 200ක් ද වේ. මේ අධික න්‍යෂ්ටික අවි ප‍්‍රමානය ගත්කල විශාල නගර බොහොමයක් ප‍්‍රහාරයට ලක් වීමේ ඉඩකඩ ඉතා වැඩි ය.

එක්සත් ජනපදයේ සහ රුසියාවේ ජනගහනයන්ගෙන් සියයට 30ක් පලමු පැය තුල මරුමුවට පත්වීමට හොඳටම ඉඩ තිබේ. ප‍්‍රහාරයෙන් සති කිහිපයකට පසුව නිකුත් කෙරෙන විකිරනශීලී අංශු විපතනයෙන් තවත් සියයට 50ක් හෝ ඊටත් වැඩි පිරිසක් මිය යනු ඇත.

එක්සත් ජනපද-රුසියානු මහා පරිමාන න්‍යෂ්ටික යුද්ධක දීර්ඝ-කාලීන පාරිසරික විපාකයන්ගෙන් එකක් වන න්‍යෂ්ටික ශීතය හේතු කොට ගෙන, අවුරුදු දෙක තුනක් ඇතුලත බොහෝ ජනයා සාගින්නේ මියයනු නියතය. න්‍යෂ්ටික ගිනි කුනාටු විසින් ඇති කරනු ලබන, අපරිවර්තී ගෝලීය ධූම පටලය, හිරු එලියෙන් වැඩි හරිය මහ පොලොව මත පතිත වීම වලක්වා, අඩු ම තරමින් වසර 10ක් වත් නොකඩවා පවතින අයිස් -යුගයක කාලගුන කොන්දේසි නිර්මානය කරනු ඇත.

න්‍යෂ්ටික යුද්ධයේ විපාක පිලිබඳ කලාතුරකින් වත් සාකච්ඡාවට නො ගැනෙන එකක් නම්, ඊඑම්පී යනුවෙන් හැඳින්වෙන ඉහල උන්නතාංශ විද්‍යුත් චුම්බක කම්පන විසින් ඇති කෙරෙන විපාකයන් ය. සැතපුම් 100-200 තරමේ ඉහල උන්නතාංශයක පුපුරා යන විශාල න්‍යෂ්ටික අවියක් විසින් නිර්මානය කෙරෙන්නේ තම ස්ඵොටක කේන්ද්‍රයට පහලින් වර්ග සැතපුම් දස දහස් ගනනක වපසරියක විද්‍යුත් පරිපථ විනාශ කරදමන්නා වූ යෝධ විද්‍යුත් ශක්ති කම්පනයකි. ඇමරිකාවේ නැගෙනහිර වෙරලට ඉහල එක් පිපිරීමක් ජාලය විනාශ කර, ඊඑම්පී බලයට හසුවන සෑම න්‍යෂ්ටික බලාගාරයක්ම උනුවී යාමේ තත්වය උද්ගත කරයි. ඇමරිකාව තුල එක විට ෆුකුෂීමාවන් (සුනාමියෙන් විපතට පත් ජපානයේ න්‍යෂ්ටික බලාගාරය) 100ක් ඇති වුවහොත් සිදුවන දේ ගැන සිතා බලන්න.

***

ග්‍රෙග් මෙලෝ

න්‍යෂ්ටික යුද්ධයේ අන්තරායන් ගැන පර්යේෂන සිදු කොට ඇති ලොස් අලමෝස් අධ්‍යයන කන්ඩායමේ ලේකම් හා විධායක අධ්‍යක්ෂ ග්‍රෙග් මෙලෝ, 1989 පටන් න්‍යෂ්ටික නිරායුධ කරනය උදෙසා පෙනී සිට ඇත. ඔහුගේ පර්යේෂන සහ විශ්ලේෂන නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, Bulletin of Atomic Scientists (පරමානුක විද්‍යාඥයන්ගේ බුලටීනයේ) සහ Science and Technology(විද්‍යා හා තාක්ෂනික ගැටලූ පිලිබඳ ජර්නල් )හි පල කරනු ලැබ තිබේ.

ලෝසවෙඅ: සිරියාව මුල්කරගෙන එක්සත් ජනපදය සහ රුසියාව අතර වැඩි දියුනු වන ආතතීන් මැද්දේ ඩිමොක‍්‍රටිකයන් ඉටුකර තිබෙන භූමිකාව කුමක් ද?

ග්‍රෙග් මෙලෝ: 2013 තරම් මෑත දී සිරියාවට එරෙහිව රසායනික ප‍්‍රහාරයක් පිලිබඳව ගොතන ලද චෝදනා එල්ල කරන ලද අවස්ථාවේ දී පවා ඩිමොක‍්‍රටිකයන් අද තරම් යුදවාදී වී සිටියා යයි මම නොසිතමි. එහෙත් හිලරි ක්ලින්ටන්ගේ අපේක්ෂකත්වය හේතුකොටගෙන දැන් උදා වී ඇති තත්වය නම්, නිල කතන්දරය පිලිබඳ ව සුලූ හෝ සංශයක් පල කරන කොංග‍්‍රස් සාමාජිකා තුල්සි ගැබාඞ් වැනි තැනැත්තන් පවා කොන් කරමින්, රුසියානු විරෝධයක් හා නව-මැකාර්තිවාදී අතිශයෝක්තියක් ගොතා තිබීම යි. ඇත්තටම සිදු වන්නේ කුමක් දැයි සොයා බැලීමට සිරියාවට ගිය අයෙක් ලෙස ගැබාඞ් සොයා ගත් පරිදි: බහුතරයක් සිරියානු ජනයා අපේක්ෂාකරන්නේ, එක්සත් ජනපදය කැරලිකරුවන්ට අරමුදල් සැපයීම නවතාලීම බවත්, අල්-කයිඩාව සහ අයිඑස්අයිඑස් සංවිධානය එලවා දැමීමට අසාද් ආන්ඩුවේ උත්සාහයන් පිලිබඳ ව මහජනයා සතුටු වන බවත් ය. එහෙත් දැන් ඇය ද නිහඬ කරනු ලැබ ඇත.

ලෝසවෙඅ: මේ හා බැඳුනු සමහර සංගත ආසක්තයන් පිලිබඳව ඔබට යමක් කිව හැකි ද?

ජීඑම්: කෲස් මිසයිල 59කට ලොකු මුදලක් වැය වෙනවා. එක් මිසයිලයකට ඩොලර් මිලියනයක් හෝ මිලියන 1.6ත් තරම් වියදම් වනු ඇතැයි මා අනුමාන කරනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 60ත් 100ත් අතර ගානක් ප‍්‍රහාරය සඳහා වියදම් වී ඇති බවයි. ප‍්‍රහාරයකට අවශ්‍ය වන නෞකා සහ අනෙක් මූලික දේවල් දියත් කිරීමේ පිරිවැය මෙයට අඩංගු නැහැ. ඒවාත් එකතු කලහොත් සමහර විට මුලූ පිරිවැය දෙගුන විය හැකි යි. යැවු මිසයිල වලට හිලවු වශයෙන් අලුත් ඒවා ගන්නවා නම් එයත් අදාල සමාගමට ආදායමක්. මෙවැනි ප‍්‍රහාරයකින් සමාගම්වලට නොමිලේ ප‍්‍රචාරයක් ලැබෙනවා. “අපගේ ආයුධවල සෞන්දර්යයෙන් මෙහෙයවී සිටිමි” යයි ලෙනාඞ් කොහෙන් නාලිකාවෙන් මිසයිල උත්කර්ෂයට නැංවූ එම්එස්එන්බීසී සංගතයේ බ‍්‍රයන් විලියම්ස්ගේ මෘදුකාංග චිප් එක මම දුටිමි. විශේෂයෙන් ම ප‍්‍රයිම්ටයිම් නිව්ස් හා අන්තර්ජාලය පුරා තිබෙන එම මිසයිලවල ඡායාරූප හා වීඩියෝ පට සමාගමට අමිල ප‍්‍රචාරයක් දෙන රූප රාමුවකි වාචිකව මෙන්ම රූපික ව ද ඒවායේ වෙලඳපල වටිනාකම ඉහල නැගී තිබෙනවා නොඅනුමානයි.

ලෝකය මත ආධිපත්‍යය පිහිටුවා ගැනීමට එක්සත් ජනපදයේ ආන්ඩුවට පවත්නා උවමනාව හේතුකොටගෙන රුසියාවට එරෙහිව දිගින් දිගටම උත්සන්න කෙරෙන ආතතීන් තුලින් ජනිත විශාල ඩොලර් කන්දරාව සමග සසඳන කල මේ වාසි හුදෙක් රටකජු ය. අප මේ කතා කරමින් සිටින්නේ ඩොලර් මිලියන නො ව, බිලියන, ඇත්ත වසයෙන් ම ටි‍්‍රලියන ගනන් ගැන යි. ‘අප ලොව හැම තැනම සිටිය යුතු ය’ යන්න නඩත්තු කිරීමට, එක්සත් ජනපදය ජාතික ආරක්ෂාවේ නමින් විවිධ අංශවලට වියදම් කෙරෙන ගනන ඩොලර් ටි‍්‍රලියනයකි. ඇත්ත වසයෙන් ම එයට ඉක්මනින් ම තව තව දේවල් එකතු වෙයි.

එක්සත් ජනපද මිලිටරිය සිය මූලික අයවැය වැඩි කරගන්නේ රුසියාවේ සමස්ත ආරක්ෂක අයවැයට සමාන මුදලකිනි. එක්සත් ජනපදයේ අපි, අපගේ සකල විභව සතුරන් ඔවුන්ගේ මිලිටරිය උදෙසා කරන ඒකාබද්ධ පිරිවැයට වඩා වැඩි මුදලක් අපේ මිලිටරිය උදෙසා වැය කරමු. ඇත්ත මුදල් තිබෙන්නේ එලෙසයි.

අපගේ උපාංග වලට ගැලපෙන නවතම වර්ගවල මිලිටරිමය උපාංග මිල දී ගැනීමට අපි නැටෝවට බල කරමු. මේ සියලූ ආයුධ ජාවාරම් හා අප ම කරන ජාතික මිල දී ගැනීම් වල එකතුව ඩොලර් ටි‍්‍රලියන ගනනක්. මෙම ප‍්‍රහාරයෙන් සතුටු කෙරෙන්නේ ඒ දේවල් තමයි: ඒ යෝධ පරිමානයක යුද වියදම් රටාවක්.

ඔබ සඳහන් කල භූ-දේශපාලනික ප‍්‍රශ්නත් සමග මෙය සම්පාත වෙනවා.

ලෝසවෙඅ: භූ-දේශපාලනික ප‍්‍රශ්න ගැන ඔබට වැඩිදුරටත් විස්තර කල හැකි ද?

ජීඑම්: අපි සිරියාව තුලට යන්නේ නැතැයි ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුනත්, මේ පිලිබඳ තිරසාර පිලිවෙතක් ඇත්තේ නැහැ. තවත් ප‍්‍රහාරයක් සිදු වේ යයි අප උපකල්පනය කර බලමු: එය රුසියාවත් ඇද ගනී ද? එමගින් රුසියානුවනුත් මරා දැමෙනු ඇද් ද? කරන්නට උවමනා කුමක්දැයි පුටින් හෝ වෙන ඕනෑ ම රුසියානු නායකයෙකුට හැෙඟන්නේ නැද්ද?

ඇමරිකාව හා රුසියාව අතර සබඳතා “විනාශ වී” ගියේ යයි රුසියානු අගමැති ද්මිත්රි මෙද්විදෙව් කී බව ප‍්‍රින්ස්ටන් හා නිව් යෝක් විශ්ව විද්‍යාලවල සවිශ‍්‍රාමික මහාචාර්ය ස්ටීවන් කොහෙන් සටහන් කර තිබෙනවා මෙද්විදෙව් කියන්නේ බටහිරට විරුද්ධ දැඩි මතධාරියෙක් නෙවෙයි. ඔහුත් එහෙම කියනවා නම්, පුටින්ගේ අනෙක් කනට ජෙනරාල්ලා සහ උග‍්‍ර මතධාරීන් කුමක් කොඳුරනු ඇත්දැයි ඔබට අනුමාන කල හැකි වේ.

අප එක්සත් ජනපද යේ හෝ “ඒකාබද්ධයේ” ගුවන්යානයක් යොදා තවත් ප‍්‍රහාරයක් එල්ල කලහොත්, සිරියාව හෝ රුසියාව ස්ථානගත කර තිබෙන ගුවන්යානා නාශක ආයුධ යොදාගෙන එය පහසුවෙන් ම බිම හෙලිය හැකි යි. මෙහි ප‍්‍රතිඵලය නම්, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය අපගේ වරද දෙගුන තෙගුන කොට වැඩි කරගන්නට ඝෝෂාව උග‍්‍ර කිරිම යි. සමස්තයක් ලෙස ගත් කල්හි එක්සත් ජනපදය හා රුසියාව අතර ගැටුම අන්තයටම උග‍්‍ර කිරීමේ අන්තරායකින් තොරව, ගුවන් ප‍්‍රහාර මෙහෙයුමක් සිරියාවේ යුද්ධය මත තීරනාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේදැයි සිතීම පවා අසීරු ය.

භූ-දේශපාලනික ව ගත්කල, සිරියාව තුල තත්ත්වය, අසාද් දිගට ම බලයේ රැඳීම හා ත‍්‍රස්තවාදීන් එලවා දැමීම දෙසට කොපමන ගමන්කොට තිබේදැයි කිවහොත්, එක්සත් ජනපදය සිරියාවට කරන පහර දීමක් එක්කෝ අසාර්ථක වනු ඇත, නැතහොත් රුසියානු ආසක්තයන්ට සැබෑ හානි පමුනුවා එරට අවමානයට පත්කර, රුසියාවේ සොල්දාදුවන් ද අසාද්ගේ සොල්දාදුවන් සමගම මරනයට පත්කොට එමගින් තුන්වන ලෝක යුද්ධයක් දෙසට තරාදිය බර කරනු ඇත.

ඛාන් ෂෙයිකුන් හි විෂවායු පැතිරීම සිදු වූයේ අල් කයිඩා අවි ගබඩාවකට හෝ අවි කම්හලකට එල්ලවූ සාම්ප‍්‍රදායික අවි ප‍්‍රහාරයක් හේතු කොට ගෙන, එම ගබඩාවේ තිබී එලියට වැටුනු රසායනික අවි නැතිනම් ඒ ආශි‍්‍රත රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් නිසාය යන මතය අප අතට ලැබී තිබෙන සියලුම කරුනු සලකා බලන කල්හි වඩාත් නිවැරදි යයි පෙනී යයි. යුදමය මෙන් ම දේශපාලනිකව ද ජයග‍්‍රහන ලබමින් සිටි අසාද් නැතිනම් ඔහුගේ හමුදාවේ යම් අනගුන නැති මැරවර කොටසක් තමන්ගේ ම රටේ ජනයා මතට රසායනික අවි හෙලී ය යන්න සැබවින් ම අභූතයකි.

දැන් අප බලා සිටින්නේ රසායනික අවි භාවිතය තහනම් කිරීම සඳහා වන සංවිධානය ( ඕපීසීඩබ්ලිව්) මෙම ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශනයක් පවත්වා ද නැද්ද යන්න දෙස යි. ඇත්ත වසයෙන් ම...?

දැන් අපට පෙනීයන්නේ මෙම ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශනය රසායනික අවි භාවිතය තහනම් කිරීම සඳහා වන සංවිධානය ( ඕපීසීඩබ්ලිව්) අතට ගන්නවාට ඇමරිකා එක්සත් ජනපදය විරුද්ධ බවයි.

ඕපීසීඩබ්ලිව් වනාහි, ලෝකයේ රසායනික ආයුධ පිලිබඳ පොලිස් කාරයා ය; එය නිර්මානය කැරුනේ එක්සත් ජනපදයේ ද සහයෙන් ය. සියලූ ම රසායනික ආයුධ විනාශ කරනු ලැබ ඇතැයි යන්න සත්‍යාපනය කොට තහවුරු කිරීම පිලිබඳව 2013 දී ඕපීසීඩබ්ලිව් සංවිධානයට නොබෙල් සාම ත්‍යාගයක් ද හිමිවුනි. ඔවුන් රසායන අවි විනාශ කලේ එක්සත් ජනපද නෞකාවක් මත යි. මේ සිද්ධියේ දී මෙන් ම මෙවන් අන් සෑම සිද්ධියක දී ම ත්, බලයලත් රසායනාගාරයක දී භාරකාරීත්ව කි‍්‍රයාපටිපාටියක් මගින් එක්රැුස් කරගත් සාක්ෂි ඕපීසීඩබ්ලිව්හි සුපරීක්ෂ අධ්‍යයනයට භාජනය වන අතර, යුද්ධය හා සාමය පිලිබඳ කාරනා පරදුවට තැබී ඇති තත්ත්වයේ දී ඒ සියල්ල ම අත්‍යවශ්‍ය වේ. ඉහල පරිමානයේ මිනීමැරුම් නඩුවක දී සාක්ෂි එක්රැුස් කරන ආකාරයත් එය යි.

වඩාත් ම ලඟ දී සිදු වූ රසායනික අවි ප‍්‍රහාරයේ දී, මේ වන් කටයුත්තක් සිදු නො කරන ලදී. එසේ කිරීමට එක්සත් ජනපදයට උවමනාවක් තිබුනේ ද නැත. ඒ වෙනුවට, එක්සත් ජනපදය නිකුත් කර තිබෙන ‘කාරනා ප‍්‍රකාශනය’ වනාහි හුදු කඩදාසි කැබැල්ලක් පමනි, එහි මෑතක දී සියලූ රහස් තොරතුරු ඒජන්සි 17 ම දායක වී යයි ද “සියලූ කරුනු” අඩංගු යයි ද කියාපාන නමුත් මොනම ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් හෝ නොදරන, “අපට හොඳින් ම විශ්වාස යි” වැනි උරුලෑ පද පිරුනු මෙම ප‍්‍රකාශයට අත්සන් තබා ඇත්තේ කුමන ආයතන ද ඇත්තට ම එයට එකතු කරනු ලැබ ඇත්තේ කවර සාක්ෂි ද යන්න ගැන ඉඟියක්වත් නැත. එපමනක් නොව, කියනලද වර්ගයේ ප‍්‍රහාරයක් පරීක්ෂනය කිරීමටම දින කිහිපයක් නො ව සති කිහිපයක් අවශ්‍ය වෙයි.

මෙය සිදුවෙමින් පවත්නේ සිරියාව, මැද පෙරදිග හා යුරෝපීය පාරිභෝගිකයන් අතර පෙට්රෝලියම් සහ ගෑස් ප‍්‍රවාහනයේ ඉතා වැදගත් මං සන්ධියක් වීම නිස යි. ඉරානය මගහැර කටාර් සිට යුරෝපය ට තෙල් හා ස්වාභාවික වායු ගෙනයාමට සිදුවනු ඇත්තේ, සිරියාව හරහා වැටී තිබෙන නල මාර්ග භාවිතා කිරීමෙනි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ, යුරෝපයට රුසියානු ස්වාභාවික වායු සම්පාදනය මත රඳා පැවතීම අවශ්‍ය නො වන්නේ නම් ය” තවද ජර්මනිය, රුසියාව හා ආසියාවේ අනෙක් රටවල් ආර්ථීක වසයෙන් ඒකාග‍්‍ර වීම වැලැක්වීමට අවශ්‍යනම් ඊට ද සිරියාව වැදගත් වෙයි. රුසියාවෙන් හෝ ඉරානයෙන් සම්පාදනය කරනු ලබන පෙට්රෝලියම් හා ගෑස් මත යුරෝපය යැපෙනවාට එක්සත් ජනපද ආන්ඩු කැමති නැත.

සැබවින්ම සිරියාව තුල සිදුවන්නේ, ප‍්‍රාදේශීය බලවතුන් එනම්, රුසියාව සමග සන්ධාන ගත ව ඉන්නා ඉරානය ද අනෙක් පැත්තෙන් එක්සත් ජනපදයේ ප‍්‍රාදේශීය සහචරයන් ද ගෙන යන කුලීකාර යුද්ධයකි. එයට එකතු කලයුතු අනෙක් කරුන නම්, ගෝලාන් කඳුවැටි ආශි‍්‍රත කලාපය තුල ඛනිජ ඉන්ධන හාරා ගැනීම සඳහා එහි පාලනය පවත්වාගෙන යාමට ඊස්රායලයට පවත්නා අවශ්‍යතාවයි.

චීනයෙහි තෙල් නිෂ්පාදනය උපරිමයට එලඹ ඇති බවක් පෙනී යාමද මෙහි ලා සැලකිල්ලට ගැනීම වැදගත් ය. ලෝකයේ තෙල්වල ශුද්ධ අපනයනය හෙවත් ජාත්‍යන්තර වෙලඳපොලෙන් මිලට ගතහැකි තෙල් ප‍්‍රමානය ඉතා සෙමෙන් පහල යාමට පටන්ගෙන තිබේ.

චීනය සහ ඉන්දියාව වැනි රටවල කම්කරුවන්ට ගෙවන වැටුප් ඉතා අඩු නිසා, එම රටවල නිපදවන තෙල් බැරලයක් වැඩි අතිරික්ත වටිනාකමක් දරන හෙයින්, තෙල් වෙලඳාමේ දී චීනයට සෑමවිට ම එක්සත් ජනපදය හා යුරෝපය අභිබවා යා හැකි යි. නිදහස් වෙලඳපොලක් පවත්නේ නම් තත්ත්වය එය යි. මේ ප‍්‍රශ්නයට අමතර ව, තෙල් නිපදවන රටවල ජනගහනයන් හා ආර්ථිකයන් වර්ධනය වීම හේතුවෙන් ඒවායේ අභ්‍යන්තර ඉන්ධන භාවිතය ඉහල යාම, අනිවාර්යයෙන් ම තෙල්වල සුලභත්වය සහ මිල ගෙවාගැනීමේ හැකියාව සම්බන්ධ අර්බුදයක් නිර්මානය වෙයි. 2020 ගනන් තුල එම අර්බුදය අප මත පතිත වනු ඇති අතර, එයින් ගම්‍ය වන්නේ මෙම සම්පත් සඳහා මහබලවතුන් අතර ඝට්ටන ඇතිවන බව යි.

සීතල යුද සමයේ මෙය සිදු නො වූයේ එක්සත් ජනපදය සහ රුසියාව මෙන් ම අපගේ මිත‍්‍ර පාර්ශවයන් සතු ව ද ඇති තරම් සම්පත් තිබීම නිසයි. එහෙත් වත්මන් තත්ත්වය නම්, මිල අඩු තෙල් සිඳී යමින් පැවතීම හා ලාබදායී විකල්පයන් නොමැති වීම යි. න්‍යෂ්ටික බලවතුන් ද ඇතුලු රටවල් අතර ඝට්ටනයක විභවය ඉහල යමින් පවතිනවා.

ලෝසවෙඅ: එවැනි යුද්ධයක පලමුවැනි දිනය තුල කොපමන සංඛ්‍යාවක් මිය යනු ඇත් ද?

ජීඑම්: ආසන්න ගනන් බැලීම නම්, එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක දී ලෝකයේ සියලූ දෙනා මිය යන බව යි. දක්ෂිනාර්ධ ගෝලයේ යම් ජන කොටසක් ඉතිරි වන්නට යම් ඉඩක් තිබුන ද බොහෝවිට සිදුවිය හැක්කේ සියල්ලන් වැනසී යාමයි.

න්‍යෂ්ටික අවි දෙකක් වුව ද ආන්ඩු හා ආර්ථික බලයක් ලෙස එක්සත් ජනපදය අවසන් වීමට සෑහෙනු ඇත. “ඒ වෙලාවට වැඩකරන” සම්පාදන දාම, මූල්‍ය වෙලඳපොල සහ අන්තර්ජාලය වනසා දැමීම එතරම් අමාරු දෙයක් නො වෙයි. විශේෂයෙන් ම න්‍යෂ්ටික අවි ඉදිරියේ මුලු පද්ධතිය ම නිකම්ම බිඳී යන සුලු යි. තරමක් සීමිත න්‍යෂ්ටික යුද්ධයකින් පවා, ඒ කියන්නේ අයිසීබීඑම් මිසයිල ක්ෂේත‍්‍ර සහ ගුවන්පථ පමනක් ඉලක්ක කරගත් ප‍්‍රහාරයකින් පවා, චිකාගෝ වැනි ස්ථාන ද ඇතුලුව ඇමරිකාවේ මැද බටහිර ප‍්‍රදේශයේ බොහෝ ස්ථාන අකාමකා දමන තරමේ න්‍යෂ්ටික අලු පතිත වනු ඇත.

මතක තබා ගන්න, න්‍යෂ්ටික යුද්ධය යනු හිරෝෂිමාවට හෙලන ලද වර්ගයේ බෝම්බයක් දෙකක් එහෙම නොවේ. පරිකල්පනය න්‍යෂ්ටික යුද්ධය වටහා ගැනීමට අසමත් ය. න්‍යෂ්ටික යුද්ධය යනු න්‍යෂ්ටික සීතලෙහි නිරයයි. එහි අර්ථය, සියල්ලන්ගේ ප‍්‍රානය වන භංගුර වූ විද්‍යුත්, මූල්‍ය, රාජ්‍ය හා පරිපාලන පද්ධතීන් සියල්ල බිඳවැටිම යි. අපට දහනව වන ශතවර්ෂයේ මුල සිට යලි පටන් ගන්නට ලැබුනොත් වාසනාවකි. ඇති තරම් ආයුධ පුපුරුවා හරිනු ලැබුවහොත් පෘථිවියේ ඕසෝන් වියන බිඳවැටී ඇස් ඇති සියලූ ජීව සත්ව වර්ග අන්ධ ව යනු ඇත. එක්සත් ජනපද-රුසියා න්‍යෂ්ටික යුද්ධයක විපාකය වනු ඇත්තේ පොලෝතලයේ සියලු ක්ෂීරපායි සතුන් හා බොහෝ පැලෑටි වර්ග නැති භංග වී යාමයි. නාටකීය ලෙස ලෝකයේ පන ඇති දේ හීනව යනු ඇත.

ලෝසවෙඅ: න්‍යෂ්ටික යුද ගැටලූව සමග පොරබැදිය යුතු ආකාරය ගැන ඔබ සිතන්නේ මොනවා ද ?

න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය ජයගැනීමේ ලා කේන්ද්‍රීය ප‍්‍රශ්නය, ලෝකයේ අසමානතාව සීමා කිරීමේ ප‍්‍රයත්නය බව පෙන්වා දීමට කැමැත්තෙමි. මිලිටරි-කාර්මික-මූල්ය සංකීර්නය මහජනයාගේ කර උඩ නැග සිටින එම වත්මන් තත්වය හමාර කල යුතු යි. ඉතා අතලොස්සක් අත අධික බලයක් සංකේන්ද්‍රිත වී අසමානතාව උග‍්‍රව පවතී නම්, බලයේ සිටින මිනිසුන්ගේ ඇස් ඔවුන්ගේ තත්වය විසින් ම අන්ධ කෙරෙනවා. ඔවුන් සමාජ ගැටලුවලින් වියෝවී යනවා. ඉතින්, ආර්ථික හා විශේෂයෙන් -දේශ පාලනික උග‍්‍ර අසමානතාව මග පාදන්නේ දේශපාලන මුග්ධත්වයට යි. එය සමූලෝත්පාටනයකට, සියල්ලන්ට විනාශය ගෙන දීමට හේතුවන මහා සංහාරයකට ට හේතු වෙනවා. ප‍්‍රශ්නය අවිඥානක මහජනයා නො වෙයි. ප‍්‍රශ්නය නම් සමාජය මුදුනේ පවත්නා මුග්ධත්වය සහ උද්ධච්ඡ කමය. එය හැම දාටත් ම එහෙම තමයි.

Share this article: