නාවික හමුදාව ඉවත්කරන ලෙස ඉල්ලා ඉරනතීවූ වැසියන් උද්ඝෝෂනය කරයි

විමල් රාසේන්ද්‍රන් විසිනි, 2017 ජූනි 05

නාවික හමුදාව විසින් අල්ලාගෙන සිටින, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට අයත්, ඉරනතීවු ගම නැවත පදිංචිවීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා, සිය ගනනක් ඉරනතීවු ජනයා පසුගිය මැයි 29 දා කිලිනොච්චි හිදී පෙලපාලියක් පැවැත්වූහ. පසුව ඔවුහු ප‍්‍රාදේශීය ලේකම්ට පෙත්සමක් ද භාර දුන්හ.

පසුගිය මාසය ආරම්භයේ සිටම, කාන්තාවන්, වැඩිහිටියන් හා දරුවන් ඇතුලත් ඉරනතීවු වැසියන් පිරිසක් ඉරනමාදා මුහුදු තීරයේ අටවාගත් කූඩාරමක් තුල සත්‍යග‍්‍රහයක නිරතව සිටිති. “අපේ පාරම්පරික ඉඩම් නැවත අපට ලබා දෙනු”, “ඉරනතීවු හි ස්ථිරව පදිංචි වී රැකියා කිරීමේ අයිතිය ලබා දෙනු” “දූපත අල්ලා ගෙන සිටින නාවික හමුදාව සම්පූර්නයෙන්ම ඉවත් කරනු” ඇතුලු ඉල්ලීම් ගනනාවක් ඔවුන් ඉදිරිපත් කර ඇත. පවුල් 396 ක් මෙහි පදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටිති.

උද්ඝෝෂනයේ යෙදෙන ඉරනතීවු වැසියන්ගෙන් කොටසක්

ඉරනතීවු ජනතාවගේ අරගලය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වූ පසු තමන්ගේ ඉඩම් වල නැවත පදිංචිවීමේ අයිතිය ඉල්ලා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල අඛන්ඩව සිදු කෙරෙන අරගලවල මෑතම එකයි. මේ වසර ආරම්භයේ සිට, මුලතිව් දිස්ති‍්‍රක්කයේ කෙප්පාපිලාවු, පුදුක්කුඩියිරුප්පු හා කෝකිලායි වැනි ප‍්‍රදේශවල ද, කිලිනොච්චියේ පරවිප්පාන්ජාන්, මන්නාරමේ මුසලි සහ යාපනයේ වලිවදක්කු ප‍්‍රදේශයන්හි ජනතාව තම ඉඩම් නිදහස් කර ගැනීම සඳහා දිගින් දිගටම සටනේ නිරතව සිටිති.

මෙම ප‍්‍රදේශවල ඇති ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරන බව ආන්ඩුව නිවේදනය කර තිබූ නමුත්, එම ඉඩම් ස්ථිරවම උදුරාගැනීමට කුමන්ත‍්‍රනයක් සිදුවෙමින් පවතී. එම ඉඩම් වල, හමුදා කඳවුරු ශක්තිමත් කිරීමේ වැඩවල හමුදාව නිරතව සිටිති. සටනේ නිරතව සිටින අයගේ ඡායාරූප ගැනීම, ඔවුන්ගේ නිවාස වෙත ගොස් ප‍්‍රශ්න කිරීම වැනි පියවර හරහා ඉරනතීවු වැසියන් ත‍්‍රස්ත ගන්වා අරගලය දියකර හැරීමට නාවික හමුදාව, යුද හමුදාව හා පොලිස් බුද්ධි අංශ වැඩට බැස ඇත.

යුද්ධය තීව‍්‍ර වුනු තතු තුල, 1992 දී, ඉරනතීවු හි ජීවත් වුනු පවුල් 225 කට දිවි ගලවා ගැනීම සඳහා ඉවත්ව යාමට බල කෙරුනි. දූපතට උතුරෙන් කිලෝ මීටර් 12 ක් පමන දුරින් මුලන්කාවිල් හි වැල්ලේ වනය හෙලි පෙහෙලිකල ඔවුහු එහි තාවකාලිකව පදිංචි වූහ. එය පසුව ඉරනතීවු ඉරනමාදා කොලනිය බවට පත්වීය. එහි වැසිකිලි හෝ ජල පහසුකම් ද තිබුනේ නැත.

කෙසේ වෙතත්, ධීවර කටයුතු සඳහා ඔවුන්ට ඉරනතීවු වෙත පැමිනීමට සිදුවුනු තතු තුල. ඔවුන් ට දුපතේ පිහිටි සිය නිවෙස්, වත්කම් හා පශු සම්පත් රැකගෙන පවත්වාගෙන යාමට හැකි විය. දැන් ඒ අවකාශයත් අවහිර වී ඇත. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙමල ජාතික සන්ධාන (දෙජාස) මන්තී‍්‍ර එස්. සිරිදරන් පෙබරවාරි මාසයේ දී ප‍්‍රශ්න කල විට, අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසුවේ ඉරනතීවු අත්හල නොහැකි බවයි. “මේ දූපත වඩාත් මූලෝපායික වැදගත්කමක් දරනවා. නාවික හමුදාව එහිදී රේඩාර් පදනමක් පවත්වාගෙන යනවා. ශී‍්‍ර ලංකාවේ මුහුදට ඇතුලුවන ඉන්දියානු ධීවර යාත‍්‍රා වලක්වන්නත්, මත් ද්‍රව්‍ය ජාවාරම නතර කරන්නත් නාවික හමුදාව ට මෙම දුපත අවශ්‍ය” යයි ඔහු කීවේය. එහි කිසිම පවුලක් ජීවත් නොවන බවත් රජය විසින් පවුල් සියල්ලම වෙනත් තැන්වල පදිංචිකොට ඇති බවත් සඳහන් කල වික‍්‍රමසිංහ, ධීවර කටයුතු කිරීමට ද, එහි ඇති අක්කර 10 ක් පමන වන පොල් වතුවල හිමිකරුවන් ට පොල් කැඩීමට ඉඩ දී ඇති බව ද පැවසීය. නමුත්, විරෝධතාකරුවන් විස්තර කරන පරිදි, වික‍්‍රමසිංහගේ කතාව සම්පූර්නයෙන්ම සත්‍යය වහංගු කිරීමකි.

අරගලයේ නිරතව සිටින 67 හැවිරිදි ඇන්තනි ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවේය: “ඉරනතීවු හි ගෙවල් වලින් සියයට 80 ක් යුද්ධයෙන් විනාශ වුනා. ඉතිරිවී තිබෙන ගෙවල් වල සහ අක්කර 6 ක පමන ඉඩම්වල නාවික හමුදා වාඩිලාගෙන ඉන්නවා. ඔවුන් අපේ ජීවනෝපාය විනාශ කරමින් ඉන්නේ. ඉරනතීවු ට දකුනෙන් තියෙන කුඩා දූපතේ නවාතැන් ගෙන ධීවර කටයුතු කරන්න නාවික හමුදාව කලින් ඉඩ දුන්න. නමුත් ගිය අවුරුද්දේ අපේ‍්‍රල් මාසෙ ඉඳල දූපතේ කොයි කොටසේ හෝ නැවතී ධීවර කටයුතු වල නිරතවීම තහනම් කරා. නාවික හමුදාව දූපත අල්ලාගෙන සිටිනතාක් කල් අපිට ධීවර කටයුතු වල නිදහසේ යෙදෙන්න බෑ. ඔවුන් අපේ දූපතෙන් එලියට යාම අත්‍යවශ්‍යයි.”

දූපත වෙනම ග‍්‍රාමසේවා වසමක් ව තිබුනු අතර, ප‍්‍රාදේශීය රෝහලක්, සාමාන්‍ය පෙල දක්වා වූ පාසැලක්, පානීය ජලය හා අනෙකුත් පහසුකම් සහිතව ජීවත් වු බව විරෝධතාකරුවෝ පැවසූහ. දූපතට ගමනා ගමනය සැපයීම සඳහා රජය කටයුතු නොකල තතු තුල, සිය උත්සාහයෙන් බෝට්ටු මෙහයවූ බව ඔහු පැවසූහ. අවුරුදු හාර සියයක් පුරා පරම්පරා කිහිපයක් තිස්සේ ඉරනතීවු හි ජනතාව ජීවත් වෙති.

2013 වසරේ පටන් ඉරනතීවු ජනතාව තමන්ගේ ම ඉඩම්වල පදිංචිවීමට විවිධ උත්සාහයන් දරා ඇත. දෙජාස නායක ආර්. සම්බන්දන්, දෙජාස පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් සහ උතුරු පලාත් සභා මහ ඇමති, පලාත් සභා ඇමතිවරුන්, හා පාලක එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනි විජයකලා මහේස්වරන්ටද ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කලහ. අවසාන වශයෙන් පසුගිය මාර්තුවේදී පුනගරි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත ද සන්දේශයක් එවා තිබුනි. එහෙත් කිසිදු ප‍්‍රගතියක් සිදු නොවුනු තතු තුල,

ප‍්‍රදේශවාසීන් මෙම අරගලය දියත් කර ඇත. විජයකලා මහේස්වරන් දුරකතනයෙන් අමතා, “අරගලය වහාම නවත්තන ලෙස” තමාට බලපෑම් කලබව, විරෝධතාකරුවෝ පවසති.

අරගලය ආරම්භ කෙරුනු වහාම, ආන්ඩුවට මුක්කුව දෙන දෙජාස භීතියට පත්වී, අරගලකරුවන් සැනසීමට උත්සාහ ගත්හ. සටනේ සිවුවන දින එස්. සිරිධරන් සත්‍යග‍්‍රහයට සහභාගි වී, “ඔබේ ප‍්‍රශ්නය මම පාර්ලිමේන්තුව තුල කතා කරන්නම්” යයි කීවේය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අපේ‍්‍රල් 20 වන දින ඉරනතිවූ බැලීමට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන පැමිනෙන බව වාර්තා වූ නමුත් එවැන්නක් සිදුවූයේ නැත.

මේ අතර, පැහැරගෙන ගොස් අතුරුදහන් කල අයගේ ඥාතීන් පසුගිය ජනවාරි 23 වන දින වවුනියාවේ පැවැත්වූ උපවාසය ද නතර කිරීම සඳහා දෙජාස මේ අයුරින්ම වැඩ කලේය. නිරාහාර ව සිටි අයගේ තත්ත්වය නරක අතට හැරෙමින් තිබූ අතර අරගලය ආන්ඩුවට එරෙහි අරගලයක් බවට වර්ධනය වීම ගැන භීතියට පත් දෙජාස, යාපනය ප‍්‍රදේශයේ සංචාරයක නිරතව සිටි රුවන් විජේවර්ධන වව්නියාවට ගෙන්වා, ඔහුගේ ප‍්‍රකාශයක් ලබා දී උපවාසය නතර කලේය. “ආන්ඩුවේ ඉහල මට්ටමේ අය සමඟ පෙබරවාරි 9 දා හමුවක් සංවිධානය කරන” බව රුවන් විජේවර්ධන පැවසීය.

2006 අග භාගයේ සිට 2009 මැයි මාසයේ දී, දස දහස් ගනන් ජීවිත බිලිගත් යුද්ධය අවසන් වන තෙක්, මෙම ජනතාව විටින් විට අවතැන් වෙමින්, අවසන් ප‍්‍රහාර එල්ල කෙරුනු මුල්ලිවෛක්කාල් දක්වාම ගියහ. යුද්ධය අවසන් වූ පසු, වව්නියාවේ “සුභසාධන” කඳවුරයයි කියන ලද, කටු කම්බිවලින් වටකෙරුනු සහ යුද හමුදාව විසින් පාලනය කෙරුනු රැඳවුම් කඳවුරුවල, ලක්ෂ සංඛ්‍යාත ජනයා සමඟ ඉරනතීවු වැසියන් ද සිරගත කොට තිබුනි. අවසානයේ දී නැවත පදිංචි කිරීමේ නාමයෙන් ඉරනමාදානගර් හි මෙම ජන කොටසට පදිංචි වන්නට සිදුවිය.

“මේ දුක් කියන්න වචන නැතැයි” ඔවුන් සඳහන් කරයි. තිස්පහකට වඩා වැඩි ඉරනතීවු වැසියන් ඝාතනය වී ඇති අතර දහයකට වඩා වැඩි ප‍්‍රමානයක් යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්ව ඇත. මව් පමනක් රැකවරන ලබාදෙන තවත් පවුල් හැටකි.

“නාවික හමුදාව අපේ දූපත ආක‍්‍රමනය කරගෙන ඉන්න නිසා අපගේ පැවැත්ම ම ප‍්‍රශ්නයක් වෙලා” යයි ජෝන් කෙනඩි, 47, පැව “අපි, අපෙන් මුහුදු ආහාර මිලදී ගන්න වෙලෙන්දන්ගෙන් නයට සල්ලි අරගෙන රුකියාව කරන්නේ. දූපතේ සිට මසුන් අල්ලන විට අපිට රුපියල් 500 යි වියදම් වෙන්නේ. දැන් රුපියල් 2000 කට වඩා වියදම් යනවා. ආදායම නම් සොච්චමයි. ඒ ආදායමේ ජීවත් වෙනවද නැත්නම් නය ගෙවනවද? නැතිනම් අපේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් බලාගන්නවාද? කිසිවක් කරන්න බැහැ. දැන් අපි නයකාරයෝ වෙලා ඉන්නේ. ඒ නිසා, දූපතෙන් නාවික හමුදාව ඉවත්වෙලා, අපි නැවත පදිංචි වෙනකම් මේ අරගලය දිගටම කරනවා,” යැයි ඔහු කීවේය.

මෙම පවුල්වලට දූපත තුලට යාම තහනම් කොට ඇති නිසා, කාන්තාවන් විසින් සොයාගත් ආදායම සම්පූර්නයෙන්ම ඇනහිට ඇත. මුදියප්පු මරියසේයසීලි නැමති කාන්තාවක් සඳහන් කලේ: “දැනට වැඩිවන ජීවන වියදමට අනුව, සැමියාගේ ආදායමෙන් පමනක් පවුල් නඩත්තු කරන්න බැහැ. අපි උදේ පාන්දර දූපතේ මුහුදු කූඩැල්ලන් සහ කකුලුවන් ඇල්ලීම, කරවල වාඩියේ වැඩ කිරීම මගින් ආදායම් උපයාගත්තා. දැන් ඒවා සියල්ලම නැති කරලා තියෙන්නේ.”

Share this article: