ඇමරිකාව හා යුරෝපය අතර ගැටුම නේටෝ සමුලුව අරක් ගනි යි

Conflict between Europe and America dominates NATO summit

2017 මැයි 26

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පලමු යුරෝපා සංචාරය අන්තර්අත්ලාන්තික් නේටෝ මිත‍්‍රත්වයේ ගැඹුරු බෙදීම් හෙලිදරව් කරයි.

නිල වසයෙන්, සියලු සාමාජිකයින් දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 2 දක්වා ආරක්ෂක වියදම් වැඩි කිරීමට ද ඉස්ලාමීය රාජ්‍යයට (අයිඑස්අයිඑස්) එරෙහිව එක්සත් ජනපදය නායකත්වය දෙන හවුලට එක්වීමේ මිත‍්‍ර සම්මුතියක් සඳහා ද ඊයේ නේටෝ සමුලුවේ දී එකඟත්වයකට පැමිනුනි. කෙසේ නමුත්, අධිරාජ්‍යවාදී බලවතුන් අතර, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා ජර්මනිය අතර ගැටුම් කොතරම් තියුනු ද යත් ඒවා සමහන් කිරීම වඩ වඩාත් දුෂ්කරවී තිබේ.

සන්ධ්‍යාවේ “ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග‍්‍රහයට” පෙර, කනස්සල්ලට පත්ව ඇති බව පෙනී යන යුරෝපීය නායකයින්ට ට‍්‍රම්ප් දුරකතනයෙන් හොඳට ම බැන වැදුනේ ය. “සාමාජික රටවල් 28න් 23ක් තවමත්, ඔවුන් ගෙවිය යුතු කොටස ගෙවන්නේ නැතැ” යි එක්සත් ජනපද ජනාධිපති කෑගැසී ය. “මේක එක්සත් ජනපදයේ ජනතාවට හා බදු ගෙවන්නන්ට අසාධාරනයක්.” බොහෝ සාමාජික රටවල් පෙර වසරවල සිට “දැවන්ත මුදල් සම්භාරයක්” සන්ධානයට නය ගැති යැයි ට‍්‍රම්ප් යලි පුනුරුච්චාරනය කලේ ය.

ත‍්‍රස්තවාදයට එරෙහි තම ඒකාබද්ධ අරගලය තීව‍්‍ර කරන ලෙස ද ඔහු නේටෝ රටවලින් ඉල්ලා සිටියේ ය. “අප දැඩි විය යුතු ය, අප ශක්තිමත් විය යුතු ය, අප පරීක්ෂාකාරී විය යුතු ය” යනුවෙන් ට‍්‍රම්ප් පැවසුවේ, ත‍්‍රස්තවාදීන් සමස්ත මානව වර්ගයාට ම තර්ජනය කරන බව ප‍්‍රකාශ කරමිනි. “අනාගත නේටෝව ත‍්‍රස්තවාදය හා සංක‍්‍රමනය, මෙන් ම රුසියාවේ සහ නේටෝවේ නැගෙනහිර හා දකුනු දේශසීමාවන්ගෙන් එල්ල වන තර්ජන ගැන දැඩි අවධානයක් යෙදිය යුතු ය.”

ට‍්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට යන්තම් පෙර ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්, ජර්මනියේ මිලිටරි වියදම්වල සැලැසුම්ගත වැඩි කිරීම ප‍්‍රමානවත් බව විස්තර කලා ය. නේටෝව හුදෙක් 2014 ආරක්ෂක වියදම වැඩි කිරීමේ ගිවිසුම තහවුරු කිරීමට කටයුතු කරමින් සිටිනවා මිස, ඊට එහා නොයන බව ඇය පැවසුවා ය. “තහවුරු කෙරෙනවා කියන්නේ වැඩියෙනුත් නො ව අඩුවෙනුත් නො ව” යයි ඈ පැවසුවා ය.

විශේෂයෙන් ම ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ එල්ල කෙරුනේ බර්ලිනයට බවට සැකයක් නැත. ඩර් ස්පීගල් නම් ජර්මානු ප‍්‍රවෘත්ති සඟරාව අනුව, යුරෝපා සංගම් සභාපති ජීන්-ක්ලෝඩ් ජුන්කර් හා කවුන්සිල සභාපති ඩොනල්ඩ් ටස්ක් සමග හමුවක් අතරතුර දී ට‍්‍රම්ප් මෙසේ පැවසී ය, “ජර්මානුවන් නරක යි, අන්ති ම නරකයි.” වාර්තා වන පරිදි, ඔහු මෙසේ ද පැවසී ය, “ඔවුන් එක්සත් ජනපදය තුල විකුනන මිලියන ගනනාවක් කාර් දෙස බලන්න. භයානක යි. අපි ඒවා නතර කරන්න යි යන්නේ.”

පසු ගිය මාර්තු මාසයේ මර්කෙල්ගේ වොෂින්ටන් සංචාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ, ට‍්‍රම්ප් ට්වීටරයේ මෙසේ සඳහන් කලේ ය, “ජර්මනිය විශාල මුදල් කන්දරාවක් නේටෝව හා එක්සත් ජනපදයටනයට නයයි, ජර්මනියට සපයන බලගතු මෙන් ම ඉතා වියදම් අධික ආරක්ෂාව වෙනුවෙන් තවත් ගෙවිය යුතු යි!”

එතැන් සිට, වොෂින්ටනය හා බර්ලිනය අතර ආර්ථික හා භූ මූලෝපායික ගැටුම් තීව‍්‍ර වී ඇත. පසු ගිය සතියේ සෞදි අරාබියේ රියාද් නගරයේ දී, ඉරානය “ත‍්‍රස්තවාදයේ ඉතා ප‍්‍රමුඛ රාජ්‍ය අනුග‍්‍රාහකයා” යයි පවසමින් ඔහු කල කතාවට යුරෝපයේ දී තියුනු විවේචනවලට මුහුන දීමට ඔහුට සිදු විය. බර්ලිනය ඉරානය සමග යුද්ධයකට සූදානම් නො වන අතර, නව බලශක්ති සම්පාදනයන් හා ජර්මානු අපනයන සඳහා වෙලඳපොලක් සහතික කර ගනු පිනිස එරට උපයෝගී කර ගැනීමට අපේක්ෂා කර යි.

ඔබාමා පාලනාධිකාරය යටතේ ඒ වන විටත් වේගවත් කෙරී තිබුනා වූ ද ට‍්‍රම්ප් යටතේ ආක‍්‍රමනකාරී ලෙස තීව‍්‍ර කෙරී ඇත්තා වූ ද චීනය සමග එක්සත් ජනපදයේ ගැටුමට ද ජර්මනිය විරුද්ධ ය. චීනය ජර්මානු මෝටර් රථ කර්මාන්තය සඳහා ප‍්‍රධාන ලාභ උල්පතක් වන අතර, යුරෝපය සමග වෙලඳ සම්බන්ධකම් වර්ධනය කිරීමට ගල්ෆ් කලාපය හා රුසියාව ඒකාබද්ධ කිරීමට ඉලක්ක කෙරුනු, බීජීනයේ නව “සේද මාවත” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ජර්මනිය උත්සුක ය.

ජර්මානු විදේශ ඇමති සිග්මිර් ගේබ්‍රියල් නේටෝ රැස්වීමට පැමිනියේ චීන සංචාරයක් කෙටි කරමින් වීම කැපී පෙනුනි. ට‍්‍රම්ප්ගේ පත්වීමට යන්තම් සතියකට පසුව විදේශ ඇමති ලෙස ඔහු පත් කිරීමෙන් පසුව ගේබ්‍රියල්, “එක්සත් ජනපදය විසින් අත්හැර දමන ලද අවකාශය ප‍්‍රයෝජනයට ගැනීමට” නව ආසියානු මූලෝපායක අවශ්‍යතාව නිවේදනය කලේ ය.

බ‍්‍රසල්ස් රැස්වීමට පෙරාතුව ගේබ්‍රියල්, ජර්මානු චාන්ස්ලර් තනතුර සඳහා තරඟ කරනු ඇති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එස්පීඩී) අපේක්ෂකයා වන මාර්ටින් ෂුල්ස් සමග එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රහාරයක් ඇරඹුවේ ය. 2024දී ජර්මානු දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 2 දක්වා ආරක්ෂක වියදම් වැඩි කල යුතු ය යන එක්සත් ජනපද ඉල්ලීම දෙදෙනාම විවේචනය කලහ. “ජර්මනියේ මිලිටරි වියදම් දෙගුන කිරීමට කිසිම ඉඩක්” නැතැ යි සම්මුඛ සාකච්ඡාවක දී ගේබ්‍රියල් පැවසුවේ, “ඉදිරියේ දී කොතරම් වියදම් කිරීමට හැකි වනු ඇත් දැ යි තමාට අදහසක්” නැතැ යි පවසමිනි.

“අවිවලට නොව - සාමයට ආයෝජනය කරනු” යන ඩර් ස්පීගල් හි කතුවැකිය සමග පල කෙරුනු ලිපියක ෂුල්ස් මෙසේ අනතුරු ඇඟවී ය, “චෝදනාවට ලක්ව ඇති නේටෝවේ සියයට 2 ඉලක්කය ගැන සාකච්ඡාව” හෙලි කරන්නේ “බියකරු ප‍්‍රවනතාවකි.” එහි අර්ථය, යුරෝ බිලියන 70 දක්වා ජර්මනියේ වාර්ෂික ආරක්ෂක වියදම් දෙගුන කල යුතුය යන්නයි. ඊට පසු ඔහු කුහක ලෙස මෙසේ ඇසුවේ ය, “1949දී ජර්මනියේ ආරම්භක පීතෘවරුන් ඉදිරියේ තිබුනේ මේ පින්තූරය ද? එක්සත්, ස්ථීර ලෙස ඒකාබද්ධ කෙරුනු, මිතුරන් හා හවුල්කරුවන් පිරිවරාගත්―නමුත් යුද්ධයට සැරසුනු ජර්මනියක් තිබුනේ ද?”

යතාර්ථයේ දී, ෂුල්ට්ස්ගේ අදහස් සාමවාදය සමග කිසිදු සම්බන්ධයක් නැත. ඔහු මිලිටරි වියදම් අඩු කිරීම වෙනුවෙන් උත්සුක නැති නමුත්, වොෂින්ටනයෙන් ජර්මනියේ ස්වාධීනත්වය රැක ගැනීමට උත්සුක ය. ධවල මන්දිරය අන කරන මිලිටරි ප‍්‍රතිපත්තිය ඔහුට අවශ්‍ය නැති නමුත් ඔහු අපේක්ෂා කරන්නේ, එක්සත් ජනපදයෙන් ස්වාධීනව ―එමෙන් ම එයට විරුද්ධ― ක්‍රියා කල හැකි අවස්ථාව දක්වා ජර්මානු හා යුරෝපීය මිලිටරි හමුදා ශක්තිමත් කිරීමට ය.

ස්පීගල් ඔන්ලයින් වෙබ් අඩවිය තුල ඔහුගේ අදහස් දැක්වීමේ දී ෂුල්ට්ස්, ජර්මානු හමුදාවේ දැවන්ත මිලිටරි තර කිරීමක් ද වඩ වඩා විදේශ මැදිහත්වීම් සඳහා ද ඉල්ලීම් කලේ ය. “අනාගතයේ දී ජාත්‍යන්තර නීතියට අනුකූලව හමුදා මැදිහත්වීම් කරනු ඇත. ඒ සඳහා අපගේ සොල්දාදුවන්ට හැකි ඉස්තරම් ආම්පන්න තිබිය යුතු ය.”

ඒ අතරම ෂුල්ස්, යුරෝපීය ආරක්ෂක ප‍්‍රතිපත්තියේ ප‍්‍රසාරනයක් ද ජර්මානු හමුදාව විසින් මුල් තැන ගන්නා යුරෝපීය හමුදාවක් ගොඩනැගීම ද ඉල්ලා සිටියේ ය: යුරෝපයට “අවසානයේ දී යුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂාව හා ආරක්ෂක ප‍්‍රතිපත්තිය මත ප‍්‍රගතියක් ඇති කිරීමට තිබුනි. එකම ඉලක්කය හඹායමින් සිටින අපගේ හවුල්කරුවන් සමග යුරෝපීය ආරක්ෂක සංගමයක පදනම ගැන අපට එකඟවීමට අවශ්‍ය ය. හැමවිට ම මෙම කලාපයේ ප‍්‍රගතිය අවහිර කල බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම මේ සඳහා ‘නව අවස්ථාවන්’ සපය යි.”

වොෂින්ටනයෙන් ස්වාධීනව හා ඊට විරුද්ධව, ලෝකය වටා අධිරාජ්‍යයවාදී උත්සුකයන් හඹා යන ජර්මානු හා යුරෝපීය මහා-බල ප‍්‍රතිපත්තිය පිලිබඳ ෂූල්ට්ස්ගේ උනන්දුව ගැන සැකයක් ඇත්තේ නැත.

යුරෝපා සංගමය “අවසාන වසයෙන් පැත්තකට වී සිටීම අතහැරිය යුතු අතර සාමය සඳහා ජාත්‍යන්තර ප‍්‍රතිපත්තියේ වේදිකාව මත ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කල යුතු ව ඇතැ”යි ඔහු ඉල්ලා සිටියේ ය. මෙය “සුවපහසු නොවන” අතර “නිශ්චිතව ම පලල්-පරාසයක සාකච්ඡාවකට තුඩු දෙනු ඇත.” නමුත් “යුරෝපය සඳහා වඩා ක්‍රියාකාරී කාර්යභාරයකට යුක්තිසහගත විකල්පයක් නැත.” ඔහු මෙසේ ද පැවසී ය, “මන් ද, අපගේ මිතුරන් වන අය ද ඇතුලු බොහෝ අනෙකුත් ගෝලීය දේශපාලන බලවේගයන්ට සාමය සඳහා එවැනි නව ප‍්‍රතිපත්තියක් සඳහා උත්සුකයක් නැත, නැතහොත් හුදෙක් සීමිත ය.”

ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විසින් යුරෝපා අධිරාජ්‍යවාදය, එක්සත් ජනපද මිලිටරිවාදයට එරෙහි සාමවාදී විකල්පයක් ලෙස තොරොම්බල් කිරීම ව්‍යාජයකි. ගෙවී ගිය විසිපස් වසර පුරා යුරෝපීය බලවතුන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙන යනු ලබන නීතිවිරෝධී ආක‍්‍රමනික යුද්ධවලට සහභාගී වී ඇති අතර දැන් හඹායමින් සිටින ප‍්‍රතිපත්ති හැම අතින් ම එක්සත් ජනපද ආන්ඩුවේ බහු බිලියනපති නායකයා විසින් අවධාරනය කරනු ලබන ඒවාට සමාන ය. ඔවුන් යුරෝපය පුරා සමාජ වියදම් කප්පාදු කරමින් සිටින්නේ, මිලිටරි ගොඩනැගීමක හා රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීමක නියැලෙමිනි. එසේම ඔවුහු සිය ඇමරිකානු “සගයාට” එරෙහිව ද සූදානම් වෙමින් සිටිති.

මෙම බියකරු වර්ධනයේ හේතුව සොයා ගත හැක්කේ, නිෂ්පාදනයේ ජාත්‍යන්තර ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප‍්‍රතිඝතිතාවන් ජය ගැනීමට අපොහොසත්, ධනවාදයේ විසඳිය නො හැකි අර්බුදය තුල ය. පලමු හා දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේ දී මෙන් ම, අමුද්‍රව්‍ය, වෙලඳපොල හා අනුහස් වැයික්කි සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් අතර පොරය තියුනු ගැටුම් අවුලූවමින් තිබෙන අතර කම්කරු පන්තිය තමන්ගේ ම, ස්වාධීන සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත මැදිහත් නො වන්නේ නම් එය අනිවාර්යයෙන් ම කූඨප‍්‍රාප්ත වනු ඇත්තේ මහා යුද්ධයකිනි.

ජොහැනස් ස්ටර්න්

Share this article: