උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද යුද ධාවනය පිටුපසින්

Behind the US war drive against North Korea

2017 මැයි 30

උතුරු කොරියාව විසින් පසුගිය සඳුදා අත්හදා බලන ලද කෙටි දුර මිසයිලය ඊට සමාන මිසයිල අත්හදා බැලීම් මාලාවක නවතම එක යි. ඒ මගින් වොෂින්ටනය හා එහි සගයන් විසින් සිදු කරන හෙලා දැකීම් හා අනතුරු ඇඟවීම් තවත් වටයකින් කුපිත කරනු ලැබ ඇත්තේ, දිගින් දිගටම කොරියානු අර්ධද්වීපය අසල එක්සත් ජනපද මිලිටරිමය තරකිරීම මධ්‍යයේ ය. යූඑස්එස් නිමිට්ස් සහ එහි භට කන්ඩායම් සහිත ගුවන් යානා හාරක යුද නෞකා තුනක් උතුරු කොරියාවට එරෙහිව සෘජුවම දැවැන්ත වෙඩි ප්‍රහාර එල්ල කිරීමට හැකි වන සේ කලාපයේ යොදවා ඇති බව පසුගිය සතියේ එක්සත් ජනපද නාවික හමුදාව නිවේදනය කලේ ය.

පියොංයැන්ග් එක්සත් ජනපද වුවමනාවට යටත් කිරීම සදහා, එනම් එහි න්‍යෂ්ටික වැඩ සටහන නැවැත්වීම සඳහා, “අතිශයින් වෙහෙස වන” අසල්වාසී චීනයට දැක්වූ, “මහත් අගෞරවයක්” ලෙස ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක් මගින් මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වා ඇත. සියල්ලටත් වඩා එහි එලිපත්තට ම යුද්ධයේ තර්ජනය පැමින තිබිය දී පියොංයැන්ග් තන්ත්‍රය මෙල්ල කිරීමට සිය ආර්ථීක ශක්තිය භාවිතා කරන ලෙසට වොෂින්ටනය, බීජිනය මත දැවැන්ත පීඩනයක් යොදවයි.

පසුගිය ඉරිදා සීබීඑස් හි “ෆේස් ද නේෂන්” වැඩසටහනට සම්බන්ධ වෙමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පැහැදිලිව කියා සිටියේ, චීනයට තිබෙන කාලය සීමිත බව ය. ඔහු එහි දී, උතුරු කොරියාව “එක්සත් ජනපදයට සෘජු තර්ජනයක්” ලෙස හෙලා දැකි අතර “ඔවුන් න්‍යෂ්ටික යුද හිසක් සමග මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් හිස මත හෙලන තෙක් අපිට බලා සිටිය නොහැකි” යි තවදුරටත් කීවේ ය. උතුරු කොරියාව සමග ඕනෑම යුද්ධයක් “විනාශකාරී” සහ “බොහෝ විට එය බොහෝ ජනතාවක් තම ජීවිත කාලය තුල දී අත්විදින භයානකම සටන” වනු ඇතැයි මැටිස් අනතුරු අඟවා සිටියේ ය.

පියොංයැන්ග් තන්ත්‍රය සහ එහි ඉතා කුඩා න්‍යෂ්ටික අවි ගබඩාව මගින් තර්ජනයක් ඇත්තේ යැයි තොරතෝංචියක් නැතිව දොස් පවරන මාධ්‍ය ව්‍යාපාරය උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද යුද ධාවනය සමග අත්වැල් බැඳගෙන ඇත. මැටිස් දැනටමත් ඇඟවුම් කර තිබන්නේ, න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීම සඳහා උතුරු කොරියාව විසින් දරන කවර හෝ උත්සාහයකට --ඇමරිකාවේ දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාව භාවිතා කරමින් මුලිනුපුටා දැමෙන-- “කාර්යක්ෂම හා අති ප්‍රබල” ප්‍රතිචාරයකට මුහුන දීමට සිදු වන බව යි.

මැද පෙරදිග තුල එක්සත් ජනපද නායකත්වයෙන් ගෙන යන ගැටුම් මෙන්, උතුරු කොරියාවේ “සමූහ නාශක අවි” හා එහි මානව හිමිකම් උල්ලංඝනයන්, කුඩා, හුදෙකලා හා ආර්ථීක වශයෙන් පසුගාමී රටකට එරෙහිව යුද්ධයක් සූදානම් කිරීමේ පහසු ව්‍යාජ හේතු බවට පත් කරගෙන ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට වෙනත්, කොල්ලකාරී, ආර්ථීක හා භූ-මූලෝපායික අරමුනු ඇත. සියල්ලටත් වඩා, පියොංයැන්ග් තන්ත්‍රය යුද්ධයකින් විනාශ කිරීමේ ඉලක්කය වනු ඇත්තේ චීනය දුර්වල කිරීම හා ඊට වල කැපීම ය. සෑම විටම, චීනය විසින් උතුරු කොරියාව සලකනු ලබන්නේ, එක්සත් ජනපදය හා එහි අග්නිදිග ආසියානු සහකාරයින් වන ජපානය හා දකුනු කොරියාවට එරෙහි වැදගත් පවුරක් ලෙස ය.

කොරියානු අර්ධද්වීපය තුල ආතතීන්ගේ හදිසි උත්සන්න වීම ට්‍රම්ප් හා ඔහුගේ පරිපාලනයේ මිලිටරිවාදී අභිරුචීන් නිසාම ඇතිවූවක් නොවේ. අනික් අතට උතුරු කොරියාවට එරෙහි ට්‍රම්ප්ගේ ආක්‍රමනකාරී සහ තර්ජනාත්මක ස්ථාවරය, 2008 ගෝලීය මූල්‍ය අර්බුදය තුලින් පැන නැග දිනෙන් දින නරක අතට හැරෙන ධනපති ක්‍රමයේ බිඳ වැටීම මගින් අවුලූවනු ලැබ, ආසියාව හා මුලුමහත් ලෝකය පුරා භූ-දේශපාලන එදිරිවාදිකම් වේගයෙන් තියුනු වීමේ නිෂ්පාදනයකි.

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමේ සිට, එක්සත් ජනපද මූලෝපායේ ප්‍රධාන අරමුන යොමු වූයේ තම ප්‍රතිවාදීන්ගේ ඕනෑම ආර්ථීක හා යුදමය අභියෝගයක් වැලක්වීමට හා විශේෂයෙන්ම යුරේසියානු භූ ස්කන්ධය එක් තඟකරුවෙක් හෝ ඊට වැඩි ගනනක් මගින් ආධිපත්‍ය දරනු ලැබීමෙන් වැලැක්වීම සඳහා ය.

හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි 1997 දී ෆොරීන් අෆෙයාර්ස් සඟරාවට මූලික තර්ක පැහැදිලි කලේ මෙසේ ය: “ඇමරිකාවේ ගෝලීය ප්‍රමුඛත්වයේ හා ඓතිහාසික උරුමයේ තීරනාත්මක වැදගත්කම රඳා පවතින්නේ යුරේසියානු භූ ස්කන්ධය මත බලය බෙදා හැරීම සිදු වනු ඇත්තේ කෙලස ද යන්න මත ය... යුරේසියාවේ පවතින අතිශය වෙනස්වන සුලු තත්වය තුල, ක්ෂනික කර්තව්‍යය වන්නේ එක්සත් ජනපදය නෙරපීමට හෝ එහි තීරනාත්මක භූමිකාව හීන කිරීමට හැකියාව ලබාගත් කිසිදු රාජ්‍යයක් හෝ ඒකාබද්ධවූ රාජ්‍ය සමූහයක් හෝ නොමැති බව තහවුරු කර ගැනීම ය.”

1950 හා 1953 අතර, එක්සත් ජනපදය අග්නිදිග ආසියාව තුල තමන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා, දස ලක්ෂ ගනන් ජීවිතවල වියදමෙන් චීනයට එරෙහිව කොරියානු අර්ධද්වීපයේ සාපරාධී යුද්ධයක් ගෙන ගියේ ය. කිසි දිනෙක සාම ගිවිසුමකට අත්සන් නොතැබූ පියොංයැන්ග් කෙරෙහි වොෂින්ටනයේ ආකල්පය, එතැන් සිට මේ දක්වා ම නොනවතින හතුරුකමක්ව තිබේ. සෝවියට් සංගමය අහෝසි වීමෙන් පසුව, ඇමරිකානු මූලෝපාය පදනම්ව පැවතියේ උතුරු කොරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ චීනයේ වියදමින්, එය තමන්ගේ ආනුභාවයේ අවකාශය තුලට අන්තර්ග්‍රහනය කර ගැනීම ය. 1994 දී සහ 2007 දී උතුරු කොරියාව සමග ඇතිකරගත් න්‍යෂ්ටික ආයුධහරනය කර ගැනීමේ ගිවිසුම්වල කොන්දේසි තමන්ගේ පාර්ශ්වයෙන් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය අසමත් විය.

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජනපද ප්‍රහාරයක වැඩෙන අන්තරාය, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සහ රාජ්‍ය යාන්ත්‍රනයේ විදේශ ප්‍රතිපත්තිය මත ලඹදෙන බොහෝ දුරට නිරාවරිත සිවිල් යුද්ධය සමග සම්පාත වේ. මතභේද, යථාර්ථයේ දී උපාය සම්බන්ධව පමනි: යුරේසියාව තුල ආධිපත්‍යය සඳහා වන එහි ධාවනයේ දී, එක්සත් ජනපදය, එක්කෝ රුසියාව නැත්නම් චීනය යන දෙකන් එකක් මත පලමුව දැඩි අවධානය යොමු කල යුතු ය. රුසියාව සමග ඈඳා ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරුද්ධ පක්ෂය මගින් නිරන්තරව චෝදනා එල්ල කෙරෙන්නේ, මොස්කව්වලට වඩා, බීජිං සමග ගැටුමක් දෙසට එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය නව යොමුවකට ගැනීමට ඔහු දරන ප්‍රයත්නය තුල දී ය.

උතුරු කොරියාවට එරෙහිව බීජිං මත යොදන වොෂින්ටනයේ නොනවතින පීඩනය, චීනය හුදෙකලා කොට මිලිටරිමය ලෙස වටලෑම පිනිස ඔබාමා පරිපාලනය ගෙන ආ “ආසියාවට හැරීම” නිරාකූල කිරීමේ ලකුනු දක්වන වැඩෙන ප්‍රතිචාරයක කොටසක් වේ. ජනාධිපති රොද්‍රිගෝ දුතාර්තෙ යටතේ පිලිපීනය වොෂින්ටනයන් ඉවතට හා බීජිං දෙසට සමීප වීම, චීනයේ ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ආසියාවේ හා ජාත්‍යන්තරව ඕනෑම තැනක මේ හා සමාන ඇදීයාම්වල වඩාත් පැහැදිලි සලකුනක් වේ.

එක්සත් ජනපදය යුරෝපයේ අභියෝගයන්ට ද මුහුන දී සිටී, වඩාත් විවෘතව ම ජර්මනිය, ජී 7 රැස්වීමෙන් පසු සති අන්තයේ චාන්සලර් ඇන්ජලා මාකෙල් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදය මත විශ්වාසය තබා සිටිනවා වෙනුවට, “අපි යුරෝපීයයන් ඇත්තටම අපගේ ඉරනම අපේ අතට ගත යුතුයි” යනුවෙනි. මෙම මාසය මුල දී, චීනය, එක් කලාපයක්, එක් මාර්ගයක් යන එහි මහාභිලාෂී වැඩසටහන එනම් චීනයේ සිට යුරෝපයට යුරේසියාව හරහා මාර්ග, වරාය, නාවික, ගුවන්, නල මාර්ග, දුම්රිය මාර්ග හා විදුලි සංදේශ සඳහා දැවැන්ත යටිතල පහසුකම් වියදම් දරන සැලසුමක මුල් අදියර දියත් කරන ලදි. ජර්මනිය හා බ්‍රිතාන්‍යය යන දෙරටම, චීනය සමග ආර්ථික සබඳතාවල ඉහල වර්ධනයක් අපේක්ෂිතව බෙයිජිංහි එක්රැස්වීම තුල බලගතු ලෙස නියෝජනය කරනු ලැබීම සැලකිය යුතුය.

චීනය ආර්ථීක වශයෙන් ඉක්මවා යා නොහැකිව, බීජිනය සමග පවතින සිය ප්‍රතිවාදීන්ගේ සබඳතා කඩාකප්පල් කොට ශක්‍යතා සහිත තරඟකරුවාට වල කැපීම සඳහා එක්සත් ජනපදය සිය මිලිටරි බලය යොදා ගැනීමට සූදානම් වන්නේ ප්‍රථම වරට නො වේ. 2002 වසරේ දී ජනාධිපති බුෂ් න්‍යෂ්ටික අවිහරනය සඳහා වූ උතුරු කොරියාව සමග ගිවිසුමක් ඉරා එය ඉරානය හා ඉරාකය සමග “යක්ෂයාගේ අක්ෂය” කොටසට දමා හංවඩු ගැසුවේ ය. එසේ කිරීමේ දී, ඔහු දකුනු කොරියාවේ ඊනියා “දිදුලන ප්‍රතිපත්තිය” එනම් චීනයේ හා යුරෝපීය බලවතුන්ගේ පිටුබලය සහිතව යුරෝපය හා නැගෙනහිර ආසියාව සම්බන්ධ කෙරෙන ප්‍රවාහන හා නල උමං මාර්ග තුලට කොරියානු අර්ධද්වීපය පරිවර්තනය කර ගැනීමට පැවති සැලසුම කඩාකප්පල් කිරීමට සක්‍රීය ලෙස දායක වූවේ ය.

වසර පහලොවකට පසු, යුද්ධයේ තර්ජනය වඩාත් දැවැන්ත වන අතර පරදුවට තැබෙන දේවල් ඊට වඩා වැඩි වී තිබේ. රට තුල වර්ධනය වන දේශපාලන අර්බුදය සහ උග්‍ර වන සමාජ ආතතීන් ඉදිරියේ, ට්‍රම්ප් පරිපාලනය, එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කිරීමට වඩා වඩාත් සාහසික පියවර ගැනීමට යත්න දරමින් සිටී. කොරියානු අර්ධද්වීපයේ හෝ දකුනු චීන මුහුද වැනි වෙනත් දැවෙන ස්ථානයක හෝ වේවා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගනු ලබන මිලිටරි ක්‍රියාමාර්ග හේතු කොට ගෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර මහා ව්‍යසනකාරී යුද්ධයක් කඩාපාත්වීමේ තර්ජනය මතු කරනු ඇත.

පීටර් සිමන්ඩ්ස්

Share this article: