මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය

Palace coup or class struggle: The political crisis in Washington and the strategy of the working class

2017 ජුනි 13

1. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනය පිහිටුවා මාස පහක් ගතවීමත් සමග, වොෂිංටන් පාලනය අභ්‍යන්තරයේ පැනනැග තිබෙන දරුනු දේශපාලන යුද්ධය තීරනාත්මක අවධියකට එලඹ ඇත. හිටපු එෆ්බීඅයි (එක්සත් ජනපදයේ අභ්‍යන්තර රහස් පොලිස්) අධ්‍යක්ෂක ජේම්ස් කොමී පසුගිය සතියේ සෙනෙට් බුද්ධි කමිටුව ඉදිරියේ දුන් සාක්ෂිය, එක්සත් ජනපද ජනපති වරනයට රුසියානු ඇඟිලි ගැසීම සහ ට‍්‍රම්ප් ද ඔහුගේ පාලනයේ වෙනත් නිලධාරින් ද විසින් එය වසන් කරනු ලැබීම පිලිබඳ චෝදනා උග‍්‍ර කිරීමට මාධ්‍ය සහ ඇමරිකනු දේශපලන සංස්ථාපිතයේ, ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදීන් විසින් යොදාගනු ලබමින් පවතී.

2. ට‍්‍රම්ප් ට එරෙහි චෝදනා ගොතන ලද සහ වංචනික ස්වභාවයක් දරයි. මෙය හිටපු ජනාධිපති බිල් ක්ලින්නටන් ගේ වයිට්වෝටර් දේපල ආයෝජන ද ඔහු ධවල මන්දිර සේවිකා මොනිකා ලෙවින්ස්කි සමග පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාව ද පිලිබඳව රිපබ්ලිකානුවන් ඇද්ද සෝලි වලට මෙන්ම බෙන්ඝාසි ප්‍රහාරයේ දී හිලරි ක්ලින්ටන් ගේ භූමිකාව ද, ඇය පුද්ගලික ඊමේල් සේවාවක් පවත්වාගෙන යාම පිලිබඳ චෝදනා ද ට‍්‍රම්ප් විසින්ම උසිගැන්වුනු බරක් ඔබාමා ඇමරිකානු පුරවසියෙකු නොවේ ය යන අවලාදයට ද සමාන සෝලියක් වේ. මේ සියලුම අවස්ථාවල දී පාලක පන්තියේ බෙදීම් වල සැබෑ හේතු වසා තැබීමට දුගඳ චෝදනා සමුදායන් යොදාගන්නා ලදී.

3. වොෂිංටනය ඇතුලත අලුත්ම දේශපාලන යුද කලහ පුපුරායාම මුල් බැසගෙන ඇත්තේ ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආධිපාත්‍යයෙහි ද ජාතික ස්ථාවරත්වයෙහි ද අත්තිවාරම් ඛාදනය කරන නොවිසඳියහැකි සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදය තුලය. සෝවියට් සංගමය විසුරුවාහැර විසිපස් වසරකට පසු, ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ ආධිපාත්‍යය රැකගැනීම යුද්ධ කි‍්‍රයා මගින් ඉටුකර ගැනීමට දැරූ උත්සාහයන් මගපාදා ඇත්තේ ව්‍යසන වැලකටය. වෝල් වීදියේ මදාවිය ප‍්‍රධාන භූමිකාව ඉටු කල ගෝලීය ධනේශ්වරයේ 2008 බිඳවැටීමෙන් දශකයකට පමන පසු, නිමක් නැති නය පුලුල් කිරීම මගින් පවත්වාගෙන යන ඇමරිකානු මූල්‍ය පර්යායය දැඩි අස්ථාවර තත්වයක පවතී. ඇමරිකානු ආර්ථික පර්යායේ රෝගි තත්වය විසින් කතිපයාධිපති සමාජ පර්යායක් නිර්මානය කරතිබේ; එහි ප‍්‍රධාන ලක්ෂන වන්නේ පරපෝෂිත භාවය සහ කම්පාකරවන සුලු සමාජ අසමානතාවයි.

4. ට‍්‍රම්ප් තෝරා පත්කරගැනීම අහම්බයක් වූයේ නැත. ඔහු වනාහි ඇමරිකාව පාලනය කරන කතිපයාධිපති පාලනයේ ප‍්‍රතිමූර්තියයි. බිලියනපතියන් ද හිටපු ජනරාල්වරුන් ද යන අයගෙන් සමන්විත ට‍්‍රම්ප් පාලනාධිකාරය සමාජ ප‍්‍රතිවිප්ලවයේ ද, ජාත්‍යන්තරව සාහසික යුදවාදයේ ද ද්විපාර්ශ්වික වැඩ පිලිවෙල උග‍්‍ර ලෙස තියුනු කරමින් සිටී. එසේ වුවද පාලක පන්තිය තුල ම ඇමරිකානු ධනවාදය සිය ජාතික සහ ජාත්‍යන්තර ගැටලු වලට ප‍්‍රතිචාර දැක්වියයුත්තේ කෙසේ ද යන්න පිලිබඳව කටුක ගැටුම් පවති. ට‍්‍රම්ප් ගේ පාලනය යටතේ මෙම ගැටලලු අතිශයින් තියුනු වී ඇත.

5. ට‍්‍රම්ප් හා ඔහුගේ පාලනය තුල, කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතින් සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශ කිරීම ට සපථ කල දුෂ්ට සතුරෙකුට ය. එය වනාහි “පලමුව ඇමරිකාව” යන ජාත්‍යෝත්තමවාදය පදනම් කරගත් ගෝලීය න්‍යාය පත‍්‍රයක් පෙරටුකර ගත් ආන්ඩුවකි. කම්කරු පන්තිය මේ ආන්ඩුවට විරුද්ධ විය යුතුය; එය ඉවත් කර දැමීමට වැඩ කල යුතුය. එහෙත් මේ කටයුත්ත පාලක පන්තිය තුල ඉන්නා ට‍්‍රම්ප් විරෝධීන්ගේ කාන්ඩයට අතහැරිය යුතු නැත. ට‍්‍රම්ප් සහ ඩිමොක‍්‍රටිකයන් අතර ඝට්ටනය සිදුවන තතු තුල, කම්කරු පන්තිය පසෙකට වී බලා සිටිය යුතු නැත. කම්කරු පන්තිය ට‍්‍රම්ප්ට එරෙහිව සිය අරගලය වර්ධනය කල යුත්තේ තමාගේ ම ධජය සහ තමන් ගේ ම කි‍්‍රයා මාර්ගය යටතේ ය. මෙහි අර්ථය නම් කම්කරු පන්තිය දිගහැරෙන දේශපාලන අර්බුදයේ පන්ති ගතිකයන් පිලිබඳ පැහැදිලි වැටහීමක් වර්ධනය කරගත යුතු බවය.

6. ට‍්‍රම්ප් පාලනය ට එරෙහි තුන් විධියක විරෝධතා පවතින අතර ඒවා විවිධ සමාජ පන්තීන්ගේ අවශ්‍යතා නියෝජනය කරති:

ට‍්‍රම්ප්ට එරෙහි පාලක පන්තියේ විරෝධය

7. ප‍්‍රථමයෙන් ම, ධනපති පන්තියේ බලගතු කොටස් වල විරුද්ධත්වය ය. ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන, දෙපක්ෂයේ ම කොටස් ඇතුලු දේශපාලන සංස්ථාපිතය තුල ඉන්නා ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදියෝ මහා සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ කොටසක් වෙනුවෙන් කතාකරති. ට‍්‍රම්ප්ට විරුද්ධ සිය ව්‍යායාමයේ දී ඔවුන් යොදාගන්නා විධික‍්‍රම අති මූලික වශයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය; මිලිටරි /බුද්ධි සංස්ථාපිතය සහ මහ සංගත-මූල්‍ය ප‍්‍රභූව තුල කොටස් අතර තිරයට පිටුපසින් ගෙනයනු ලබන එම ව්‍යායාමයේ දී යොදාගැනෙන්නේ මාලිගා බල කොල්ලයක විධික‍්‍රමයන් ය.

8. ට‍්‍රම්ප් පාලනය සමග ඔවුන්ට පවත්නා භේදය ප‍්‍රාථමික වශයෙන්ම විදේශ පිලිවෙත පිලිබඳව ය. ඔවුන්ගේ සැබෑ උත්සුකය නම් රුසියාව කර ඇතියයි ඔවුන් කියන, ඇමරිකනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය “උල්ලංඝනය” කිරීම නම් නොවන අතර එය ඇමරිකානු පාලක පන්තිය විසින්ම ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීම සමග සන්සන්දනය කල හැකි සේ ය. ඔවුන්ගේ සත්‍ය උත්සුකය වන්නේ බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලීම සඳහා වන එක්සත් ජනපද උත්සාහයන් ව්‍යවර්ථ කිරීම සඳහා සිරියාව තුල රුසියාව සිදු කරන ක‍්‍රියාවන්ය. ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඉන්නේ, ඔබමා යටතේ උග‍්‍රකරන ලද්ද වු ද තව දුරටත් ප‍්‍රසාරනය කිරීමට හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය කැපවී ගත්තා වූ ද, රුසියානු- විරෝධී පිලිවෙත අඩාල කිරීමෙන් ට‍්‍රම්ප් ව වලක්වා ලීම ය.

9. රුසියාවට එරෙහි පිලිවෙතේ මොවුන් පරලව එල්ලී සිටින්නේ අහම්බයකින් නොවේ. හොඳින් දන්නා පරිදි ම ට‍්‍රම්ප්ගේ විදෙස් පිලිවෙතේ ප‍්‍රමුඛතාව යොමුවී ඇත්තේ චීනයට ප‍්‍රතිමුඛව ය. රුසියාව සමග ‘එකඟතාවක්’ සඳහා ට‍්‍රම්ප් දක්වන්නේයයි කියනු ලබන කැමැත්ත එක්සත් ජනපදයේ මිලිටරි- බුද්ධි හා විදෙස් පිලිවෙත් අංශවල අධිකාරය දරන කොටස් වල මූලෝපායික සැලස්ම ට ගැලපෙන්නේ නැත.

ඇමරිකානු යුද මෙහෙයුම් ව්‍යර්ථ කිරිමට රුසියාවට ඇති හැකියාව කල්තියාම අහෝසි කරදැමීම යුරේසියානු භූඛන්ඩය පාලනය කිරිම සඳහා කේන්ද්‍රීය වැදගත් කමක් දරන බව මොවුන්ගේ උත්සුකය වන අතර, එසේ නොකොට චීනය සමග දිගු කාලින ඝට්ටනයක දී ඇමරිකානු ජයග‍්‍රහනයක් සහතික කරගත නොහැකියි ද ඔවුහු විශ්වාස කරති.

10. “රාජ්‍යයේ ගැඹුරේ” ද ඩිමොක‍්‍රටික් පක්ෂය තුල ද සිටින ට‍්‍රම්ප්ගේ සතුරන් ඔහුව ඉවත් කිරීමට සමත් වුව හොත්, එය කම්කරු පන්තියේ තත්ත්වය යහපත් කරනවා තබා, යම් ප‍්‍රජාතන්ත‍්‍ර ජයග‍්‍රහනයක් හෝ නොවනු ඇත. ඔබාමා පාලනය යටතේ, පාලක පන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය තුල පහල සිට ඉහලට කෙරුනු විශාලතම ධන පරිවර්තනය ද ඇමරිකාව පිටරට වල කරන යුද්ධය ද මිලිටරි-බුද්ධි අංශයේ බලය උග‍්‍රකිරීම ද සැලසුම්කර කි‍්‍රයාත්මක කලේ ය. පසුගිය ජනාධිපතිවරනයේ දී වෝල්වීදිය වඩා කැමතිවු අපේක්ෂක හිලරි ක්ලින්ටන් මෙම පිලිවෙත් සියල්ල ගැඹුරු කිරීමටත්, සිරියාවේ යුද්ධය උග‍්‍ර කරනාතර රුසියාව සමග ගැටුම උත්සන්න කිරීමටත් සපථ කලාය. ඩිමොක‍්‍රටිකයන් සෞඛ්‍ය සේවා කප්පාදු ව, සංක්‍රමනික කම්කරුවන්ට පහරදීම, පරිපාලනය තුල අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී බලවේග ඉස්මත්තට ගැනීම, ඉරානයට, චීනයට සහ උතුරු කොරියවට් එරෙහි යුද සැලසුම්, යන මේවා ගැන පරීක්ෂනයන් ඉල්ලා සිටින්නේ නැත.

11. ඩිමොක‍්‍රටිකයන් යම් දේශපාලන කුමන්ත‍්‍රනයකින් ට‍්‍රම්ප් ධවල මන්දිරෙයන් ඉවත් කොට, සිය ඉලක්කය ඉටු කර ගත්තොත්, උප ජනාධිපති මයික් පෙන්ස් ව ධවලමන්දිරය තුල ජනාධිපති ධුරයේ පිහිටවනු ඇත. ඔහු ට‍්‍රම්ප්ට වඩා රලු ගතියෙන් (polished) අඩුවිය හැකිය, එහෙත් නොඅඩුව ප‍්‍රතිගාමී ය.

ඉහල මධ්‍යම පන්තියේ විරෝධය

12. ට‍්‍රම්ප් විරෝධී මෙහයුමේ තවත් සංරචකයක් වන්නේ මධ්‍යම පන්තියේ පොහොසත්ම කොටස්ය. රිපබ්ලිකන් පක්ෂය කෙරේ මොවුන්ගේ විරුද්ධත්වය යොමුවී ඇත්තේ ජනගහනයේ ධනවත්ම සියයට 10 තුල වඩා වාසිදායක ලෙස ධනය බෙදාහැරීමක් උදෙසාය. මෙම ස්තරය ඩිමොක‍්‍රටික් පක්ෂය වටා කි‍්‍රයාත්මකවන විවිධ දේශපාලන ප්‍රවනතා විසින් නියෝජනය කරනු ලබනාතර, ඊට ජනවාර්ගික, ලිංග හා ලිංගික අනන්‍යතාවන් පන්ති භේදයන්ට ඉහලින් තැබීමට කි‍්‍රයාකරන නානා ව්‍යාජ වාම සංවිධානයන්, (ඩිමොක‍්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා, ඉන්ටර්නැශනල් සෝෂලිස්ට් ඔර්ගනිසේෂන්, සෝශලිස්ට් ඔල්ටනේටිව්, ග‍්‍රීන්ස් (හරිත යෝ)) අයත්වේ.

13. මධ්‍යම පන්තික දේශපාලනයේ සුවිශේෂ ලක්ෂනය වන්නේ එයට පාලක පන්තියෙන් ස්වාධීන විය නොහැකි බවයි. එය ඩිමොක‍්‍රටික් පක්ෂයට බලපෑම් දමා ධනේශ්වර ක‍්‍රමයේ සීමාසහිත ප‍්‍රතිසංස්කරන සඳහා එහි සහාය දිනාගැනීමට උත්සාහ කරයි. සමාජ අසමානතාවය, වැනි ප‍්‍රශ්නවලට මෙම දේශපාලන ස්ථරයේ වඩාත් වාම-ලිබරල් කොටස් ආමන්ත‍්‍රනය කරන අතර ඔවුහු අතිශය අප‍්‍රතිපත්තික ආකාරයකට, සිය අර්ධ -ලිබරල් ආයාචානා ඩිමොක‍්‍රටික් පක්ෂයට ද ඇමරිකානු අධිරාජ්‍යවාදයට ද සහාය දීමේ පිලිවෙත සමග බද්ධ කරති. මෙය, ඔවුන්ගේ වරප‍්‍රසාදිත ආර්ථික තත්වය සංගත ලාභ හා කොටස් මිල වාර්තාගත ලෙස ඉහල යාම මත පදනම් වී ඇත යන කාරනය සමග බැඳී පවතී. ඔවුන්ගේ ප‍්‍රාථමික දේශපාලන කාර්යයවන්නේ කම්කරු පන්තිය මත පාලක පන්තියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට ආධාර කිරීමයි. 2016 ජනපතිවරනයේ දී ඔවුහු වර්මන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ගේ මහජන සමාජ විරෝධය වෝල්වීදියේ ද, බුද්ධි ඒජන්සි වලද අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ගේ පිටුපස ගාල් කිරීමට කටයුතු කල මැතිවරන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කලේය. දැන් සෑන්ඩර්ස් එක්සත් ජනපදයේ සෙනේට් මන්ඩලයේ ඩිමොක‍්‍රටික් ඛන්ඩයේ ප‍්‍රමුඛ සාමාජිකයෙකි.

කම්කරු පන්තියේ විරෝධය

14. පාලක පන්තිය ද විවිධාකාර සමාජ ව්‍යසනයන්ට භාජනවූත් දේශපාලන ජීවිතයෙන් මුලූමනින්ම ඉවත් කර දැමුවාවූත් මහජනතාව හා කම්කරු පන්තිය ද අතර තුන්වන සහ මුලුමනින්ම වෙනස් ඝට්ටනයක් වර්ධනය වෙමින් පවතී.

15. එක්සත් ජනපදයේ සමාජ අර්බුදයේ යථාර්තය වනාහි කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධයේ සහ ප‍්‍රතිවිරෝධයේ අසංඛ්‍ය රූපයන්හි වෛෂයික පදනම යි. නිලබලය හැරයද්දී ඔබාමා පාලනය කියාපෑ, ඇමරිකාවේ ජීවිතය කවර කලකවත් අද ට වඩා හොඳ තත්වයක නො පැවතුනේය යන පුරාජේරුවට ප‍්‍රති විරුද්ධව, ඇත්ත විරැකියාව සියයට 8.6 කට නැග ඇත. වැටුප් කැටි කොට ඇති අතර කම්කරුවන් රුදුරු වැඩ කොන්දේසිවලට හා උග‍්‍ර සූරා කෑමට භාජනය වී සිටී. ආදායාමේ පංගුවක් හැටියට මහ සංගත වල ලාභය පෙර නුවූවිරු මට්ටම්වලට ඉහල නැග තිබෙන අතර ශ‍්‍රමයට ලැබෙන ආදායම් වාර්තාගත පහල මට්ටම්වල පවතී.

16. මහජන සෞඛ්‍ය සේවාවේ අර්බුදය උග‍්‍ර අතර එන්නෙන්න ම නරක අතට හැරෙමින් පවතී. ඔබමාකෙයා වැඩපිලිවෙල, සෞඛ්‍ය සේවාවේ වියදම් සේවකයන් මතට පැටවීමේ මහසංගතවල ධාවනය තවතවත් උත්සන්න කර ඇත. පිම්මේ ඉහලයන මත්ද්‍රව්‍ය වසංගතයක් ද සමග සෞඛ්‍ය සේවාවේ පරිහානිය මරන අනුපාතය ඉහල දමා ජීවිතාපේක්ෂාව පහත හෙලා තිබේ. වඩා වයස්ගත කම්කරුවනට විශ‍්‍රාම ගොස් ජීවත්වීමට අවශ්‍ය ආදායම නොලැබෙන නිසා එන්න එන්නම දිගු කල් වැඩ කිරීමට සිදුව ඈති අතර තරුන කම්කරුවෝ නොඉවසිය හැකි අධ්‍යාපන නයට මුල පටන්ම යටවී සිටිති.

17. එක්සත් ජනපදයේ ඉතා තුනී තට්ටුවක් මත සංකේන්ද්‍රනයව පවත්නා ධන සම්භාරය කොතෙක්දැයි කිව හොත්, එය බොහෝ දෙනාට වටහාගත නොහැකි තරම් ය. ආර්ථික විද්‍යාඥ බ‍්‍රන්කෝ මිලනොවික් ඔහුගේ මෑතක පලකරනලද Global Inequality (ගෝලීය අසමානතාව) නම් කෘතියේ සඳහන් කරන පරිදි බොහෝ ජනයා ඩොලර් බිලියනයක් යනු කොතරම් දැයි ග‍්‍රහනය කරගැනීමට සරලව ම අසමර්ථවෙති. මෙම ධනයේ පරිමාව ඔහු මෙසේ විදහා දක්වයි: එක මිලියනයක් අතැති පුද්ගලයෙක්, දිනකට ඩොලර් දහස බැගින් වියදම් කලොත් ඔහු තමාගේ ධනය අවුරුදු තුනකට අඩු කාලයකදී වියදම් කර ඉවර කරගනු ඇත. ඒ ගනනටම වියදම් කරන බිලියනපතියෙකුගේ ධනය අවසන් වීමට අවුරුදු 2,700ක් ගතවනු ඇත!

18. පවුල් වලින් ඉහල ම සියයට 1ක් අත දැන් එක්රැස්වඇති ධනය යටින් සිටින සියයට 90වට තිබෙන ධනය හා ආසන්න වශයෙන් සමාන වේ. පුද්ගලයන් 20දෙනෙකු අත තිබෙන ධනස්කන්ධය දුප්පත් අර්ධයට තිබෙන මුලු ධනය හා සමාන ය. එක්සත් ජනපදයේ පවුල් වලින් සියයට 40ක් සතුව ඇති ධනය බින්දුවක් නැතිනම් සෘන අගයක් ගනී. ඒ ඔවුන්ගේ නය ප‍්‍රමානය ආදයම ඉක්මවන හෙයිනි. ජනගහනයේ ධනවත්ම පුද්ගලයන් සියයට 0.1 සහ 0.01 වැඩකරන්නේ තමන්ගේම දේශපාලන වාතාවරනයන් තුලය. ඔවුන්ට මැතිවරන මිලට ගැනීමට ද දේශපාලකයන් ට අල්ලස් දීමට ද වෙනත් ආකරයෙන් දේශපාලන සන්තතිය පාලනය කිරීමට ද යෝධ මුදල් සම්භාරයක් ඇත. ඩිමොක‍්‍රටිකයන්ගේ මෙන්ම රිපබ්ලිකානුවන්ගේ අධීක්ෂනය යටතේ අඩසියවසක සමාජ ප‍්‍රතිවිප්ලවයේ විපාකය ලෙස, කතිපයාධිපත්‍යයක් ලෙස හැඩගැසී ඇති ඇමරිකානු සමාජයේ දේශපාලන ප‍්‍රතිබිම්බය වනාහි ට‍්‍රම්ප් පාලනයයි.

කම්කරු පන්තියේ දේශපාලන මූලෝපාය

19. ජීවන තත්වයන් දැරිය නොහැකි ලෙස උග‍්‍රව පිරිහෙන තතුතුල කම්කරු පන්තියේ පුලුල් කොටස් අතර වැඩෙන සමාජ කෝපයක් පිලිබඳ බොහෝ ලකුනු දක්නට ලැබේ. එක්සත් ජනපදයේ ජීවිතය විස්තර කිරීම සඳහා පෙරකලසිට යොදාගෙන තිබුනු වාක්‍යාංශ වන, ‘අසීමිත අවස්ථාවේ භූමිය’, ‘ඇමරිකානු සිහිනය’ යනාදිය අද දිනයේ නිරර්ථකය. මන්දයත් ඒවා වර්තමාන යථාර්තයට මොන ම සම්බන්ධයක් වත් ඇත්තේ නැති නිසා ය. පවත්නා සමාජය තනිකරම සේවය කරන්නේ දැනටම අති-ධනවත් ව සිටින අයගේ ආසක්තයන්ට බව වැඩ කරන ජනයාගේ අති මහත් කොටසට පැහැදිලි වෙමින් පවතී. ඉහල ගුනාත්මක අධ්‍යාපනය, සුරක්ෂිත පරිසරයක්, යහපත් නිවාස, සුරක්ෂිත රක්ෂා, සහ සෑහෙන විවේකය සහ දැරිය හැකි වෛද්‍ය පහසුකම් යන මේ සියල්ල ලැබෙන්නේද නැද්ද යන්න තීන්දුවන්නේ උත්පත්තියෙන්මය. එනම් -කෙනෙකු උපන් පවුලේ පන්තිය සහ ආර්ථික තත්වය මගිනි.

20. ඇමරිකා එක්සත් ජනපදය තුල කම්කරු පන්තියේ ජීවන තත්වයන්ගේ නිරන්තර පරිහානිය ද එරට පාලක පන්තිය ලෝකය පුරාම කර ගෙන යන නිමක් නැති යුද්ධ වල ඉව බව නැති ප‍්‍රචන්ඩත්වය ද මහා ජනකායගේ සමාජ විඥානයේ ප‍්‍රගාඩ පරිවර්තනයක් තුල පිලිබිඹුව පවතී. දේශපාලන නායකයන් ද මාධ්‍යයන් ද නිරතුරුව ධනවාදයේ ශී‍්‍ර විභූතිය පිලිබඳව ස්තෝත‍්‍ර ගයන රටක, ජන මත විමසුම් පෙන්නුම් කරන්නේ, විශේෂයෙන්ම තරුන ජනයා අතර සමාජවාදය කෙරෙහි ඇති උනන්දුවේ හා සහායේ ඉහල නැගීමකි.

21. එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර අර්බුදයේ වෛෂයික කොන්දේසි ද මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය ද අතර අන්තර්ක‍්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පිපිරීම ලෙස ප‍්‍රකාශනය අත් පත් කරගනු ඇත. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක‍්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග‍්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී. පාලක ප‍්‍රභූන්ගේ සමාජ ප‍්‍රතිවිප්ලවය දැන් ඇමරිකනු කම්කරු පන්තියේ මහා නැගිටීමකට මුහුන දීමට ආසන්නව ඇත. වැඩපලවල, ජනප‍්‍රජාවන්තුල සහ සමස්ත නගරවල සමාජ විරෝධයේ විවිධාකාර ස්වරූප, නිශ්චිත කම්කරු පන්තික අනන්‍යතාවක්, ධනපති විරෝධී යොමුවක් හා සමාජවාදී ගතිලක්ෂන එන්න එන්නම අත්පත් කර ගනු ඇත. තනි තනි වැඩපලවල සහ ජනප‍්‍රජාවන්ගේ අරගල කම්කරු පන්තියේ පුලුල් ස්තරයන්ගේ ඒකාබද්ධ අරගලය තුලට ආකර්ෂනය කර ගනු ඇත.

22. එතකුදු නොව, ඇමරිකා එක්සත් ජනපදයේ පන්ති අරගලය ජාත්‍යන්තර පන්ති අරගලයේ පැන නැගීම සමග අන්තර් ඡේදනය වීම, ජාත්‍යෝත්තම ජාතිකවාදයේ ව්‍යසනකාරී බලපෑම දුර්වල කරනු ඇති අතර ඇමරිකානු කම්කරුවන් අතර ජාත්‍යන්තර පන්ති සහයෝගිතාව පිලිබඳ ගැඹුරින්ම දැනෙන අවබෝධයක වර්ධනයක් පුබුදු වනු ඇත. රට තුල සමාජ පීඩනයට ද එක්සත් ජනපදයේ දේශ සීමාවන්ට පිටත සිදු කෙරෙන යුද්ධයට ද එරෙහි සටන එකම අරගලයේ අවියෝජනීය ලෙස එකට බැඳුනු අංග දෙකක් බව කම්කරු පන්තිය දැකගනු ඇත.

23. ඇමරිකා එක්සත් ජනපදය තුල මහා ජන අරගල න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව පවතී. විරෝධතා රැලි, පෙලපාලි සහා වර්ජන පොදු ජාතික පරිමාන ස්වභාවයක් අත්පත් කරගැනීම දෙසට වර්ධනය වනු ඇත. මෙම විෂ්ලේශනයෙන් පැනනගින දේශපාලන නිගමනය වන්නේ ට‍්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන සියල්ලටම එරෙහි කම්කරු පන්තියේ අරගලය, ධනේශ්වර ක‍්‍රමයට හා එහි රාජ්‍යයට එරෙහිවත්, රිපබ්ලිකානුවන්ගෙන් මෙන්ම ඩිමොක‍්‍රටිකයන්ගෙන් ද ස්වාධීනව සහ ඔවුන්ට විරුද්ධවත් වන මහජන දේශපාලන ව්‍යාපාරයක ඉක්මන් අවශ්‍යතාව කවරදාටත් වඩා හදිසි භාවයකින් ඉල්ලා සිටින බවයි. සමාජ වර්ධනයේ මෙම වෛෂයික ප‍්‍රවනතාව කම්කරු පන්ති අරගලයේ සවිඤ්ඤානික මූලෝපාය ලෙස වර්ධනය කල යුතු ය. ධනවාදය යටතේ ජීවිතයේ සකල ශෝචනීය සමාජ කොන්දේසි වලට එරෙහි අරගලය, ට‍්‍රම්ප්ට සහ මහා ධනේශ්වරයේ පක්ෂ දෙකටම එරෙහි දේශපාලන අරගලය සමග, සමාජවාදී කි‍්‍රයාමාර්ගය මත පාදකව, ඒකාබද්ධ කිරීමේ කර්තව්‍යය, රටපුරා කම්හල් තුල, වැඩපලවල් තුල, කම්කරු පන්ති ප‍්‍රජාවන් තුල, පාසැල්වල සහ සරසවි තුල මතු කොට සාකච්ඡාවට භාජන කල යුතුය.

24. කම්කරු පන්තියේ මහා අරගල සුදානම් කිරීම සඳහා, සංගත වලට පක්ෂපාති හා කම්කරු පන්ති විරෝධී වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ හා ඒවාට විරුද්ධවූ ජනතා වැඩපලවල් වල හා අසල්වැසිවල ගොඩනගන කොමිටි ජාලයක අවශ්‍යතාවය මතුකරයි. ට‍්‍රම්ප් ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය තුල පවතින මහජන විරෝධය, අති මහත් මහාජනකායගේ අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රනය කරන්නා වු පැහැදිලිවම ධනපති විරෝධී, අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ඉල්ලීම් සමග සම්බන්ධ කල යුතු වේ.

25. සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ මෙම ප‍්‍රකාශයේ ඉදිරිපත් කර තිබෙන අරගල මූලෝපාය සියලු කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් ද ධනවාදයට විරුද්ධවූත් සමාජවාදයේ අවශ්‍යත්වය පිලිගන්නාවූත් සියලු කොටස් ද අතර තරයේ සාකච්ඡාවට භාජන කල යුතු බවය. මෙම ප‍්‍රකාශය සහෝදර කම්කරුවන් ද මිත‍්‍රයන් ද අතරේ බෙදාහරින්න; ඔබේ අදහස් සහ යෝජනා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත එවන්න. කම්කරු පන්තියේ අවශ්‍යතා උදෙසා වන සියලු කල්පනාකාරී ප‍්‍රතිපදාන අපි අගය කරන්නෙමු.

26. මෙම අරගලයේ කොටස්කරුවන් වීමට කැමති සියලූ දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයට (සසප) බැඳෙන ලෙස ය. සමාජවාදය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ (සසජාතශි) ශාඛා ගොඩ නගන ලෙස අපි තරුනයන්ගෙන් සහ ශිෂ්‍යයන් ගෙන් ඉල්ලා සිටිමු. සසපයේ ද සසජාතශියේ ද කර්තව්‍යය වන්නේ පැනනගිමින් පවත්නා වෛෂයික ව්‍යාපාරයක් වන මෙය සවිඤ්ඤානික කිරීම ය, කම්කරු පන්තියට එහි අරමුනු පිලිබඳව වඩා ඉහල වැටහීම් මට්ටමක් අත්කර දීම ය, වර්ධනය වන ව්‍යාපාරයේ ස්වභාවය පැහැදිලි කිරීම ය. සසප කම්හල් කමිටු ගොඩනැගීමට ද තරුනයින් සහ ශිෂ්‍යයින් අතර විරුද්ධවාදී සංවිධාන වර්ධනය කිරීමට ද දිරිදෙනු ඇත, ආධාර කරනු ඇත. එය කම්කරු පන්තිය තුල අරගලයේ වර්ධනය, රාජ්‍ය බලය සියතට ගෙන ආර්ථික ජීවිතය පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාව මත ප‍්‍රතිසංවිධානය කරන සමාජවාදී, ජාත්‍යන්තරවාදී සහ අධිරාජ්‍යවිරෝධී දේශපාලන ව්‍යාපාරයකට ඒකාබද්ධ කිරීමට සටන් වදියි.

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව වෙනුවෙන් ජෝ කිෂෝර් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: