ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර: පරිහානිගත ධනපති ක‍්‍රමය විසින් නිර්මිත තවත් ව්‍යසනයක්

2017 ජූනි 23

මීතොටමුල්ල කුනු කන්ද කඩා වැටීමෙන් ද, ඉන් අනතුරුව ගංවතුර සහ නායයාම් වලින් ද ඇති කෙරුනු ව්‍යසනයන්ගෙන් පසු, ශී‍්‍ර ලංකාවේ දුගී මහජනතාව දැන් තවත් බරපතල ව්‍යසනයකට මුහුන දී සිටිති. ඒ, දශක දෙකකට පමන පෙර පටන් වර්ධනය වෙමින් පැමින වඩා වේගයෙන් දැන් රට තුල පැතිර යමින් වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික ඩෙංගු උවදුරයි.

ජාතික රෝහල ඇතුලු කොලඹ ප‍්‍රධාන රෝහල් සියල්ලමත්, අංගොඩ පිහිටි වසංගත රෝග සඳහා වන විශේෂ රෝහලත් (අයිඩීඑච්) ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී පවතී. එම රෝහල් වලට අලුතින් ඩෙංගු රෝගීන් ඇතුලත් කිරීම නවතා ඇති ආන්ඩුව රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත මහජනතාව දැඩි අන්තරායකාරී තත්වයකට ඇද දමා ඇත.

නිල සංඛ්‍යා ලේඛනයන්ට අනුව මෙම වසරේ ගෙවීගිය සය මසකටත් අඩු කාලය තුල, ඩෙංගු රෝගීන් 63,987 ක් සමස්ත දිවයිනෙන් වාර්තා වී ඇත. ඉන් 200 කට අධික සංඛ්‍යාවක් නිසි ප‍්‍රතිකාර නොලැබීමෙන් මරනයට පත්වතිබේ. 2016 සමස්ත වර්ෂයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සහ ඒ ආශි‍්‍රත මරන සංඛ්‍යාව පිලිවෙලින් 54,727 ක් සහ 78 ක් විය. 2015 දී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,777 කි. මේ අනුව, රෝගීන් සංඛ්‍යාව වාර්ෂිකව දෙගුනයකටත් වඩා ඉහල යමින් පවතින බැව් පැහැදිලි වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රකාශයන්ට අනුව, 2016 ට සාපේක්ෂව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන්හි ප‍්‍රතිශතය වැඩපොල ආශි‍්‍රතව 38 හි සිට 40 දක්වා ද, පාසැල්වල 32 හි සිට 38 දක්වා ද වැඩිවී ඇත. රෝගයට වඩාත් ගොදුරු වනුයේ වයස 15-30 අතර වයස් කාන්ඩයන්හි ලමුන් සහ තරුන-තරුනියන් බව වාර්තා මගින් පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට අනුව කොලඹ දිස්ති‍්‍රක්කයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 15 න් 11 ක් ම ඉහල ඩෙංගු අවදානමක් සහිත ප‍්‍රදේශයන් ලෙස හඳුනාගෙන ඇත. කොලඹ, ගම්පහ, කල්මුනේ, නුවර, කලුතර සහ ගාල්ල ඇතුලූ දිස්ති‍්‍රක්ක 11 ක් ඉහල ඩෙංගු අවදානමක් සහිත ප‍්‍රදේශයන් වෙයි.

ඩෙංගු රෝගය මෙලෙස වේගයෙන් ව්‍යාප්තවීම පිලිබඳ වගකීම පීඩාවට ලක්ව සිටින මහජනතාව මත පටවා අතසෝදා ගැනීමට ආන්ඩුව යත්න දරයි. පසුගිය බදාදා මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසුවේ තම අමාත්‍යංශය විසින් හඳුනාගත් මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට 80 ක් ගෘහස්ථ ඒවා බවයි. එපමනක් නොව, ඩෙංගු “බෝ කිරීමේ” වරද මහජනතාව මත පටවමින් ඔවුන් නීතිමය වශයෙන් දඬු ගැසීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය මාර්තු අග ඩෙංගු පාලනය සඳහා වන නීති බස්නාහිර පලාත තුල බල ගැන්වීය. මෙම නීතියට අනුව “ඩෙංගු ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන්” වරදකරුවකු වන්නෙකු රුපියල් 25,000 ක උපරිම දඩයකට හෝ සයමසක සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය.

මහජනයා පෙලීමේ තවත් දුෂ්ට පියවරක් ලෙස, වැඩෙන උවදුර එරෙහිව දැල්වෙන මහජන විරෝධය මැඩීම සඳහා ආන්ඩුව ඩෙංගු මර්දනය කිරීමේ සහ කසල ඉවත් කිරීමේ නාමයෙන් ති‍්‍රවිධ හමුදාව කොලඹ නගරයේ වීදි වලට හා තදාසන්න ප‍්‍රදේශවලට කැඳවා ඇත.

මීතොටමුල්ල සහ ගංවතුර ව්‍යසනයන්හිදී ද ආන්ඩුව සහ ධනේශ්වර මාධ්‍යයන් විපතට පත්වූවන්ටම වරද පැටවූහ. ඔවුන්ගෙන් බහුතරයක් විපතට පත්වූයේ අනාරක්ෂිතයැයි නම් කල ස්ථානයන් හි සහ ගංගා සහ ඇල ඉවුරුවල “අනවසරයෙන්” පදිංචිව සිටීම නිසායැයි ආන්ඩුව චෝදනා කලේය. සැබැවින්ම ඉහත ව්‍යසනයන් වනාහි, මහජනතාවගේ ජීවිත සුරක්ෂිත වන පරිදි තාර්කිකව සැලසුම් කෙරුනු නිවාස සංකීර්නයන් සහ අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය කරනු වෙනුවට එතෙක් පැවති ප‍්‍රතිපාදන ද කපා දමමින්, බලයට පැමිනි ආන්ඩු දිගු කාලයක් පුරා ගෙනගිය මහජන-විරෝධී පිලිවෙත්වල සෘජු ප‍්‍රතිඵලයන් ය.

පෙර පැවති ආන්ඩු සහ වත්මන් ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන් මත කරන ලද දැවැන්ත කප්පාදු හේතුවෙන් අද වන විට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රාජ්‍ය වියදම දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1.2 දක්වා පහත වැටී ඇත. වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සෞඛ්‍යය සඳහා 2017 වසරට වෙන් කොට ඇති මුදල රුපියල් බිලියන 160 කි. 2016 සමග සැසඳූ විට එය රුපියල් බිලියන 15 ක, නැතහොත් සියයට 8.5 ක, දැවැන්ත කප්පාදුවකි. සේවක සහ ඖෂධ හිඟය, රසායනාගාර සහ අනෙකුත් පහසුකම්වල පවත්නා දැඩි ඌනතාවය මෙම අනවරත කප්පාදුවේ ප‍්‍රතිඵලයකි.

ඩෙංගු රෝගය වසංගතයක් දෙසට වර්ධනය වීම කෙරෙහි එම කප්පාදු පිලිවෙත් සෘජුවම බලපා ඇත. සේවක කප්පාදුව ඉන් ප‍්‍රධානය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප‍්‍රශිලා සමරවීර සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන්ට ප‍්‍රමානවත් තරම් සේවකයන් නොමැති නිසා ඩෙංගු මදුරු කීටහරනය නිසි පරිදි කි‍්‍රයාත්මක කල නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

“රෝගය සුව කිරීමට වඩා රෝගය වැලැක්වීම යෙහෙකි” යන තේමාව යටතේ පසුගිය සියවසේ මැද භාගයේ පැවති ආන්ඩු විසින් ගෙනගිය බරවා රෝග හා මැලේරියා රෝග මර්දනය ආදී ව්‍යාපාරයන් හරහා සීමිතව හෝ සිදු කෙරුනු සෞඛ්‍ය අධ්‍යාපනික සහ රෝග වැලැක්වීමේ වැඩකටයුතු පසුගිය දශක කීපය පුරා ක්ෂය වී ගියේ ද ඉහත කප්පාදුවල ප‍්‍රතිඵලයක් ලෙසිනි.

ඩෙංගු වසංගතය මතුවීම, පෙර අවසන් කෙරුනේ යයි නිවේදනයවූ මැලේරියාව හා බරවා රෝගය හා ක්ෂය රෝගය හිස එසවීම හා අනෙකුත් රෝගයන්ගේ පැතිරීම සමග සම්පාත වී ඇත. මින් පෙන්නුම් කෙරෙන්නේ සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන අර්බුදයේ ගැඹුරයි.

ඩෙංගු රෝග ලක්ෂන පහල වූ සැනින් එය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පූර්න රුධිර ගනනයක් කල යුතු වුවත් රජයේ රෝහල්වල පවත්නා රසායනාගාර පහසුකම් දහස් ගනනක් වූ රෝගීන් සඳහා කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන බැවින් ඔවුන්ට සිදු වනුයේ විශාල මුදලක් වැය කරමින් පුද්ගලික රසායනාගාර වලින් එම පරීක්ෂන සිදුකර ගැනීමටයි. බොහෝ දුගීන්ට මරනයේ අනතුර දරා ගෙනම රජයේ රෝහල් රසායනාගාරයේ තම වාරය එන තෙක් බලා සිටීමට සිදු වෙයි. රජයේ රෝහල් රසායනාගාර වර්ධනය කරනු වෙනුවට ගුනයෙන් සහ ප‍්‍රමානයෙන් වැඩි කරනු වෙනුවට ආන්ඩුව පසුගිය අයවැයෙන් යෝජනා කලේ රෝහල් භූමිය තුලම පුද්ගලික රසායනාගාර පවත්වාගෙන යාමට ඉඩ සැලසෙන පරිදි රෙගුලාසි වෙනස් කල යුතු බවයි.

ඩෙංගු රෝගයේ වේගවත් ව්‍යාප්තියට මූලිකම වන්නේ රටෙහි පවත්නා දුර්වල සනීපාරක්ෂක සහ පරිසර තත්වයන් ය. අපද්‍රව්‍ය කලමනාකරනයේ පවත්නා ආන්තික දුර්වලත්වය සහ නොතැකීම ඒ අතරින් සුවිශේෂිතය. පලාත් පාලන ආයතනයන්ට මධ්‍යම රජයෙන් සම්පාදනය කෙරෙන ප‍්‍රතිපාදන අනුප‍්‍රාප්තික ආන්ඩු මගින් දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පලාත් පාලන මට්ටමෙන් කෙරෙන අපද්‍රව්‍ය කලමනාකරනය ඇතුලු මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මුලුමනින්ම අඩාල වී ඇත.

ඩෙංගු රෝගය වේගවත්ම පැතිරයාම සම්බන්ධ උත්සුකයන් පල කෙරෙන ලිපි මාධ්‍යයන්හි පලවන නමුදු එයට බලපාන සමාජ-ආර්ථික හේතු, එනම් දරිද්‍රතාව, ලාභය සඳහා වන ධාවනයෙන් සිදු කෙරෙන අතාර්කික නාගරීකරනය, දුර්වල සනීපාරක්ෂනය සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්ත කප්පාදු පිලිබඳව කවර හෝ අවධානයක් යොමු නොකරයි.

නාගරික දුගීන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ යන්තමින් අටවාගත් පැල්පත් වලයි. කවර හෝ සනීපාරක්ෂනයක් නොමැති මෙම ජනාකීර්න නිවස්නා ප‍්‍රදේශයන් මදුරුවන්ගේ පාරාදීසයන් ය. දුගී පැල්පත් වටකොට නැගී සිටින සුඛෝපභෝගී මන්දිරයන් හි වායුසමනයකල කුටිතුල මැසි මදුරු පීඩාවන්ගෙන් තොර සුවපහසු රාතී‍්‍රන් ගත කරන ධනපතියන්ට මුලුමනින්ම විපරීතව, මෙම දුගීන් තම දුෂ්කර රාතී‍්‍රන් ගත කරනුයේ මදුරුවන් ගහන, අඳුරු පැල්පත් වල මදුරු දැලක් හෝ නොමැතිවයි.

ධනපති පාර්ලිමේන්තුවේ කෙරෙන වාද-විවාදයන් තුල මහජනතාව මුහුන දෙන මෙම බැරෑරුම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් කවර හෝ අව්‍යාජ නියෝජනයක් නොමැත. ඩෙංගු සම්බන්ධයෙන් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී, “උවදුරට මුහුන දී සිටින මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ආන්ඩුව ක්ෂනික පියවර ගතයුතු”යැයි කියමින් මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂයේ” දිනේශ් ගුනවර්ධන කල කතාව මුලුමනින්ම ව්‍යාජය. ඔහු රාජපක්ෂ පාලනය ඇතුලූ ඊට පෙර පැවති ආන්ඩු කීපයකම ඇමතිකම් දරමින් මෙම ව්‍යසනයට අතිමූලික වශයෙන් බල පෑ කප්පාදු කිරීම් වලට සහයෝගය දුන්නේය. ක්ෂනික ක්‍රියා මාර්ගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක කල ඝෝෂාව ඒ තරමටම ව්‍යාජය. ජවිපෙ යනු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ ඇමතිකම් දැරුවාවු ද, රාජපක්ෂගේ ආන්ඩුව සහ වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය බලයට ගෙනඒම සඳහා සෘජුවම කි‍්‍රයා කල වූද පක්ෂයකි.

පාර්ලිමේන්තුවේ මෙම බොරු ගාලගෝට්ටි යටින් පවත්නේ, වැඩෙන සමාජ ව්‍යසනයන් නිසා සමස්ත දේශපාලන සන්ස්තාපිතයම කෙරෙහි මහජනයා අතර වැඩෙන පිපුරුම් සහගත විරෝධය අවමංගත කිරීමේ හා එම ව්‍යසනයන්ගේ මූලය වන ලාභය මත පදනම්වූ ධනපති ක‍්‍රමය ට එරෙහිව එම විරෝධය යොමුවීම කෙරෙහි උත්සුකයයි.

පසුගිය දශක හතරක පමන කාලයක් සිදුවුයේ, ඊට පෙර යම් සීමිත මට්ටමක හෝ සෞඛ්‍ය සේවය පැවතුනේ නම් අනෙකුත් සමාජ අයිතීන් මෙන්ම එයද ක‍්‍රමයෙන් අතුගා දමමින්, සෞඛ්‍ය සේවයේ සියලු අංශ අලලා ගත් දැවැන්ත ලාභ ගරන පුද්ගලික රෝහල්, රසායනාගාර හා මහා ඖෂධ සංගතයන්ට ඉඩ සැලසීමයි. මෙය ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය තුල, දියුනු ධනපති රටවල පටන් සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ අයිතීන් තලා දැමීමට ගෙනයන ප‍්‍රහාරයක කොටසකි.

සෞඛ්‍ය සේවයේ කප්පාදුවට සමාන්තරව බිහිවී ඇත්තේ විශාල පරිමාවෙන් ලාභ ගරන පුද්ගලික අංශයේ රෝහල් ද රසායනාගාර හා වෙනත් සෞඛ්‍ය අංශ ද බලයේ පැවති ආන්ඩුවල අනුග‍්‍රහයෙන් බිහිවීමයි. උදාහරනයක් ලෙස ලංකා හොස්පිටල් සමාගමේ 2016 ශුද්ධ ලාභය රුපියල් මිලියන 903 ක වූ අතර ආසිරි හොස්පිටල්ස් මිලියන 1182 ක ශුද්ධ ලාබයක් ලැබීය. මහජනයාගේ දුක්වේදනා ලාභ ගැරීමේ උල්පත් බවට පත් කර ඇත.

සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය, ශීලාචාර පැවැත්මකට අවශ්‍ය වැටුපක් සහිත රැකියාවක්, අධ්‍යාපනය සහ සුරක්ෂිත විශ‍්‍රාම දිවියක් වැනිම මුලික සමාජ අයිතියකි. මෙම සමාජ අයිතිය රැක ගැනීම කර ගත හැක්කේ, ලාභය සඳහා නොව රාජ්‍යය මගින් දිවෙන ඉහල ගුනාත්මක භාවයකින් යුත් සෞඛ්‍ය සේවයක් තහවුරු කිරීමෙනි. රෝග වැලැක්වීමේ සිට රෝග සුව කිරීම දක්වා සෞඛ්‍යය රැක ගැනීමට අවශ්‍ය සියලු අංශ ඊට ඇතුලත් ය. ප‍්‍රකෝටි සංඛ්‍යාත මුදල් ඒ සඳහා වෙන් කල යුතු ය.

බහුතර මහජනතාවගේ උවමානාකම් සැපිරීම සඳහා නොව සමාජයේ ඉතා සුලුතරයක් වන ධනපති පන්තියේ ලාභ සඳහා නිෂ්පාදනය කෙරෙන සමාජ ක‍්‍රමයක් තුල එම පියවර ගත නොහැකි ය. කම්කරු පන්තිය දුගීන්ගේ හා පීඩිතයන්ගේ නායකත්වය ගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවා මහා ධනපති සමාගම්, විශාල වතු හා බැංකු ජනසතු කරමින් හා විදේශ නය ගෙවීම පතික්ෂේප කරමින් සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීම මෙම සමාජ අයිතීන් රැකගැනීමේ සක්‍ය කි‍්‍රයා මාර්ගයයි. සමාජවාදී සමානතා පක්ෂය මෙම කි‍්‍රයා මාර්ගයට සටන් කරයි.

පානි විජේසිරිවර්ධන විසිනි

Share this article: