මහා සංගත ලන්ඩනය තුල කල ජන ඝාතනය

Corporate mass murder in London

2017 ජූනි 17

නූතන බ්‍රිතාන්‍යය ඉතිහාසයේ දරුනු ම නිවාස ගින්න සිදු කල මහා ජන ඝාතනයට වගකිව යුතු අයට දඬුවම්කොට යුක්තිය ඉටු කරනලෙස බලකරමින් දහස් ගනන් ජනයා ලන්ඩන් නුවර දී පසු ගිය සිකුරාදා විරෝධතා දැක්වූහ.

කම්පනය සහ භීතිය වැඩී ගොස් අමු කෝපය සහ ක්‍රෝධය බවට පත්ව ඇත. බ්‍රිතාන්‍යය මෑත ඉතිහාසයේ අතිඝෝරතම මහා මිනීමැරුම පිලිබඳව වගකිවයුත්තන්ට අධිකරනය හා දන්ඩනය ඉල්ලා බලකරන දහස් ගනන් ජනයා සිකුරදා (16) ලන්ඩනයේ දී පෙලපාලි දැක්වුහ.

සිය ගනන් ජනයා ග්‍රෙන්ෆෙල් ටවර් ගොඩනැගිල්ලේ මහ ගින්නෙන් විපතට පත්වූවන් සඳහා “යුක්තිය ලබා දෙනු” යි කියමින් ලන්ඩන්හි කෙන්සිංටන් නගර ශාලාව වට කලෝ ය. ගොඩ නැගිල්ල වටා බාධක අටවාගෙන ඇතුලට වී සිටීමට නිලධාරීන්ට සිදු විය.

කෙන්සිංටන් නගරයට පැමිනි අගමැති තෙරේසා මේ ට සිදුවුයේ පල්ලියටම කොටුවී සිට දෘඪ ආරක්ෂක රැකවරනවල පිහිටෙන්, “ලැජ්ජයි”, “බියසුල්ලා” යන හඬ ඉදිරියේ පැන යාමට ය.

මේවා වනාහි බ්‍රිතාන්‍යය පමනක් නොව ලෝකය පුරාම රැව් දෙන හැඟීම් ය.

අඩුගනනේ 100ක්, බොහෝවිට 150ක්, තරම් කම්කරු පන්තික නිවැසියන් ගේ ජීවිත නැති කල බදාදා ගින්න කෝටිගනන් ජනයා ශෝකයෙන් හා සංත‍්‍රාසයෙන් වෙලා ගෙන ඇත.

වඩාත් සිත් කම්පා කරවන කාරනය නම්, මෙම සිදුවීම් ලෝකයේ පොහොසත් ම නගරයක් වන ලන්ඩනය තුල පිහිටි, බ්‍රිතාන්‍යයෙන් ගතහොත් පොහොසත් ම කෙන්සින්ටන් හා චෙල්සී නාගරිකයේ සිදුවීමයි. එහෙත් ලන්ඩනයේ වෙනත් ප‍්‍රදේශ මෙන්ම මෙහිද ආන්තික ධනය ආන්තික දුප්පත්කම සමග උරිනුර ගැටේ.

කෙන්සිංටන් සහ චෙල්සී යනු ලන්ඩනයේ සමාජමය වශයෙන් උග‍්‍රව බෙදුනු ප‍්‍රදේශවලින් එකකි: එහි ලැන්කැස්ටර් වෙස්ට් එස්ටේට්හි ග්‍රෙන්ෆෙල් ටවර් පිහිටා තිබෙන්නේ කෝටිපතියන් සහ බිලියනපතියන්ගේ නිවාස පැහැදිලිව දිස්වන තැනක ය. රටේ ඉතා අධිමිල වීදිය වන කෙන්සිංටන් හි වික්ටෝරියා වීදියේ සාමාන්‍ය නිවසක මිල පවුම් දශ ලක්ෂ 8 කි.

මෙම තත්වය විසින්, දිගහැරෙන සිද්ධීන්ට අත් කර දෙන්නේ දේශපාලනිකව පුපුරායන ගතිකයකි: නැති වූවන්ගේ පවුල් සහ මිතුරන්ගේ ආයායචනයන්ට තියුනු ලෙස බාධා කරන පොලිසිය හා නගර නිලධාරීන් මල ගිය ගනන තවමත් පිලි නොගෙන ඉන්නේ ඒ නිසා ය.

ග්‍රෙන්ෆෙල් වනාහි හුදෙක් භයජනක ඛේදචාචකයක් නොවේ. එය අපරාධයකි. මුලු ගොඩනැගිල්ලට ම සිතා මතා ගිනි තැබුවාක් මෙන් ය දිවි අහිමි වුවන් මරා දමන ලද්දේ.

මුලින් එක තනි නිවසකින් පටන්ගත් ගින්න එසැනින් ව්‍යසනකාරීව පැතිරයාම තුලින් ග්‍රෙන්ෆෙල් මරන සිදුකෙරිනි; ඊට පදනම සැකසුවේ පොදු මහජන ආරක්ෂාව නොතකා නිර්දය ලෙස කල වියදම් කැපිල්ලයි.

ගින්න එතරම් වේගයෙන් පැතිර ගියේ බිත්ති වල තිබූ ආවරනයන් වේගයෙන් පත්තුවී ගිය නිසා ය. පසු ගිය අවුරුද්දේ ඒ ආවරන සවි කර තිබුනේ “පිරියමක්” හැටියටය. යොදාගත් තහඩු ගිනි ගන්නා ඒවා බවට කලින් තිබුනු සැකය තහවුරු වූයේ ගිය සිකුරාදාය. මේවා තෝරාගනු ලැබුවේ ගිනි නොගන්නා තහඩු වර්ගයට වඩා වර්ග මීටරයකට පවුම් 2 ක් ලාභයක් වූ නිසා ය. ඉන් ඇතිවූ වූ ඉතිරිය යන්තම් පවුම් 5,000 ක් පමනි.

මෙම තීන්දුවද ජීවිත වලට එබඳුම තර්ජ්න එල්ල කල වෙනත් තීන්දු ද ගනු ලැබුවේ හෝ අනුමත කරනු ලැබුවේ කොන්සර්වෙටිව් පක්ෂ පාලනයක් පවත්නා රෝයල් බැරෝ ඔෆ් කෙන්සිංටන් සහ ග්‍රෙන්ෆෙල් ටවර් දුවවන, කෙන්සින්ටන් හා චෙල්සි ටෙනන්ට් මැනේජ්මන්ට් නම් සංවිධානය විසිනි. ගොඩනැගිල්ලේ මධ්‍යම ගිනි අනතුරු අඟවන සංඥා ක‍්‍රමයක් හෝ දිය ඉස්නා පද්ධතියක් හෝ තිබුනේ නැත; පහලට බැස ගැනීමට තිබුනේ එක පඩි පෙලක් පමනි. එක්කුලී නිවැසි සංවිධානයකින් ද සමහර නිවැසියන් විසින්මද ග්‍රෙන්ෆෙල් වනාහි ආනාරක්ෂිත “මර උගුලක්” යයි දීර්ඝ කාලයක් තිස්සේ යලි යලිත් කරන ලද අනතුරු හැඟවීම අධිකාරීහු නොතකා හැරියෝය.

මෙවන් ඝෝර අපරාධකාරිත්වයකට ගැඹුරු හේතු පවතී. එයට සාරභූත කාරනය නම්“ග්‍රෙන්ෆෙල් මරන වනාහි පන්ති සමාජයේ නිර්මිතයන්ය” යන්න යි; මෙය වනාහි ධනේශ්වර පර්යාය “සාමාන්‍යයෙන් වැඩකරන හැටි” බවයි.

ලන්ඩනය වනාහි ලෝක සමපේක්ෂනයේ සහ මූල්‍ය පරපුටුබවේ කේන්ද්‍රයයි. දේපල හුවමාරු වෙලඳ පල වනාහි මෙම දූෂන ජාලයේ ප‍්‍රානධාරී අංගයකි. අගනුවර ඉඩම් සහ නිවාස ජාවාරම වනාහි ලෝකයේ බෙහෙවින්ම ලාභ ලබන භාන්ඩ අලෙවිය අතරට එක්ව තිබේ. ලන්ඩනය බිලියනපතියන් 80ක තිප්පල බවට පත්ව ඇතුවා පමක් නොවේ; අහස සූරන මහ මැදුරු ද ඇතුලු අති විශාල ගනනක් සුඛෝපභෝගී ගෙවල් සහ තට්ටුගෙවල්, කවර කලකවත් ඒ්වායේ පස් නොපෑගු විදේශීය සංගත විසින් අත්පත් කරගනු ලැබ පවතී.

මෙම වෙලඳ පොල සතුටු කිරීමට නම් ප‍්‍රාදේශීය අධිකාරය ට අයත් ඉඩම් දේපල, විශේෂයෙන් ම ඉල්ලුම වැඩි පෙදෙස් වල පිහිටි දේපල වල දිලිඳු නිවැසියන් එලවා දමා “සමාජමය සුද්දයක්” කිරීම අවශ්‍ය වේ. මෙය කොතරම් සුපුරුදුව තිබේදැයි කිවහොත් ලෑන්කැස්ටර් වෙස්ට් එස්ටේට් වැසියන් පෙන්නුම් කරන පරිදි, “පාලකයන් ග්‍රෙන්ෆෙල් ටවර් හි කලයුතු ආයෝජන පැහැර හැරීම, ඇත්ත වශයෙන්ම දුප්පත් වැසියන් එලවා දමන්නට සිතාමතා කරන ලද දෙයක් ය” යන්න පැහැදිලිය.

මූල්‍ය-උමතුව හිසට ගැසූ අල්පාධිපතිය ද එහි දේශපාලන ගැත්තරයන් ද විසින් මේ සා සමාජ-විරෝධී තීන්දු දින පතා ම ගනු ලබමින් පවතී; ඔවුහු ජනතාවගේ ජීවිතවල සෑම අංගයක් කෙරේ ම විනාශකාරී විපාක ඇති කරන තීන්දු දිනපතාම ගනිති. නිවාස සහ පාසැල් අනාරක්ෂිත කෙරේ. රෝහල් වසා දැමීමෙන් ගිලන් යහන් සංඛ්‍යා පහත වැටේ. තමන්ට පිලිගත නොහැකි ලාභ හානියක් යයි කිසියම් මහා ධනපතියෙකු කොතන හෝ ගන්නා තීන්දු හේතු කොටගෙන, ඇත්තවශයෙන් නම්, කුමන වියදමක් දරා හෝ ජනයා ගේ අවශ්‍යතා උදෙසා නඩත්තු කලයුතුව තිබෙන සමාජ සේවා වසා දමනු ලැබේ.

මීට අවුරුදු 40 කට පෙර සමාජ සේවාවන් කැපීමද, පුද්ගලීකරනයද , රෙගුලාසි ඉවත් කිරීමද, යුක්ති යුක්ත කිරීම සඳහා මාගරට් තැචර්, “සමාජයක් කියා දෙයක් ඇත්තේ නැතැ” යි කියාසිටියාය. ඇය එම ප‍්‍රකාශය කොට අවුරුදු හතලිහකට පසුව (අද දින) කම්කරු පන්තිය ඇද දමා තිබෙන්නේ, ඊනියා “තුන්වන ලෝකයේ” තත්වයන්ට සමාන මට්ටම වලට ය. මින් තහවුරු වන්නේ සියලු ධනේශ්වර රටවල පවත්නා දැවැන්ත පන්ති බෙදීම හා සමාජ අසමනතාවයද වේ.

බ‍්‍රහස්පතින්දා, නැගෙන මහජන විරෝධය මැද අගමැති මෙම ග්‍රෙන්ෆෙල් ගින්න පිලිබඳ ප‍්‍රසිද්ධ පරීක්ෂනයක් පැවැත්වීමට නියම කලා ය. ඇය මින් අරමුනු කරවන්නේ සිද්ධියට වග කිවයුත්තන් ඇයගේම ආන්ඩුව තුල සඟවා ආරක්ෂා කිරීමය.

මරන වලට වගකිවයුතන් අත්අඩංගුවට ගත යුතු අතර අපරාද පරීක්ෂන වලට මුහුන දිය යුතුය. නඩු විභාග වලදී සත්‍ය එලිදරව් වනු ඇත. මෙසේ දඬුවම් කල යුත්තන් අතර හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් (මොහු ලන්ඩන් නගරයේ ගිනිනිවන ඒකකය කප්පාදුවද මහා පරිමාන රෙගුලාසිහරනයද සිදු කලේ ය) සහ කෙන්සින්ටන් - චෙල්සී නාගරිකයේ නායක නික් පැජේ-බ‍්‍රවුන් වෙති.

ධන කුවේරයන්ගේ අන්තේවාසිකයන් වන ජොන්සන් වැනි ප‍්‍රධාන පෙලේ ටෝරි නායකයෝ ඉහල පොහොසතුන්ට සේවා සැපයීම සඳහා සිදු කරන ලද නගර උග‍්‍ර ලෙස “මහතැන් කරනයේ” [gentrification] - [දිලිඳුවැසියන් එලවා ඉඩම් වටිනාකම ඉහලදැමීමේ] මෑත ම රැල්ලට කෙලින්ම වගකිවයුතු වන අතර ලන්ඩනයේ නාගරික සභා බොහොමයක් දුවවන ලේබර් පක්ෂය ඇතුලු සියලුම ධනපති පක්ෂ මේ පිලිබඳව සමාන අයුරින් වැරදිකරුවන්වේ. නගරයේ නිවාස අර්බුදය විසඳාලීමට පොරොන්දු වෙමින් බලය ලබාගෙන තත්වය එසේම පවත්වා ගෙනයමින් තමන් ඉටු කරන භූමිකාවට ලන්ඩනයේ නගරාධිපති සදික් ඛාන් වග කිව යුතුය.

අවධාරනය කලයුතු කරුනක් නම්, ග්‍රෙන්ෆෙල් ගින්න විසින් විනාශ කරනු ලැබූ ජීවිත සංඛ්‍යාව 2001 ඇරඹූ ඊනියා ත‍්‍රස්ත විරෝධී යුද්ධයත් සමග බ්‍රිතාන්‍යය තුල සිදු කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාර සියල්ල විසින් මරනයට පත් කරන ලද සමස්ත සංඛ්‍යාව ඉක්මවන බවට අපේක්ෂිත බවයි.

ගතවූ දශකය තුල කිසියම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් බ්‍රිතාන්‍ය තුලදී එල්ලවී නම්, එයට එරෙහිව රජයේ පූර්න බලය යොදනු ලැබීය. ඉතාම නොදනුවත්ව හෝ, නිශ්චිත ත‍්‍රස්තවාදී පුද්ගලයා හා සම්බන්ධ්කම් පැවති සෑම කෙනෙක්ම පොලිසියේ කඩා පැනීම් වලට ලක්වී ඇත. ඔවුන් වහාම අත් අඩංගුවට ගෙන, දවස් ගනන් රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරනු ලැබ ඇත.

ග්‍රෙන්ෆෙල් සිද්ධිය සම්බන්ධයෙන් ගතහොත්, මෙම තත්වයට වග කිවයුතු කිසිවෙක් මෙතෙක් අත් අඩංගුවට ගනු ලැබ නැත.

ඒ වෙනුවට මොවුන් පොරොන්දු වී ඇත්තේ මොට්ට පරීක්ෂනයකි!

දැන් කෙරෙන පොලිස් පරීක්ෂන වල නිගමනය කුමක් වුවත් ග්‍රෙන්ෆෙල්හි දී යෝධ ජාවාරම් විසින් සිදු කෙරුනු, මහා මිනීමැරුමේ සාරභූත හේතුව කුමක්ද යන්න නම් කිසිසේත්ම එලිදරව් කරනු නැත. මන්දයත්, මේ මහා ඝාතනයේ සැබෑ හේතුව මුල්බැස ඇත්තේ, අසාර්ථකයයි තහවුරුව ඇති ධනේශ්වර ක‍්‍රමය තුලම වන හෙයිනි. එම පද්ධතිය, කිව නොහැකි තරම් දුක් වේදෙනාද, මරනය සහ විනාශයද ගෙන එමින් අති මහත් ව්‍යසනයක් මේ ග‍්‍රහ ලෝකයේ අති බහුතරය මතට පටවමින් ඇත.

ලන්ඩනයේ සිදුවූ භයංකර ජීවිත විනාශය විදහා දක්වන්නේ කම්කරු පන්තිය සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත බලමුලු ගැන්වීමත්, සමාජ පිලිවෙතේ සෑම අංශයක්ම තක්කඩි පරපෝෂිත මූල්‍ය ජාවාරම්කරුවන් ගෙන් ගලවා ගැනීමත් තවදුරටත් කල්තැබිය නොහැකි බවය.

රොබට් ස්ටීවන්ස්

Share this article: