තැපැල් සමිති අඛන්ඩ වැඩවර්ජනයක් නිවේදනය කරයි

රත්නසිරි මලලගම සහ ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2017 ජූනි 26

ඉල්ලීම් කිහිපයක් මත 26 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට දීපව්‍යාප්ත අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට තැපැල් සේවකයන් තීන්දු කර ඇත. දිවයින පුරා 22,000 ට ආසන්න තැපැල් සේවකයන් මෙම වර්ජනයට සහභාගිවීමට නියමිතය. නුවරඑලිය, මහනුවර සහ ගාල්ල නගර වල තිබෙන කෞතුක වටිනාකමක් සහිත පැරනි තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිනීම නතර කිරීම, සේවාව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. පුරප්පාඩු පිරවීම, උසස්වීම ලබාදීම හා කොලඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලය කොටුව ජනාධිපති මාවතේ යලි ස්ථාපිත කිරීම ඇතුලු ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීම් මුල්කරගෙන තැපැල් සමිති පෙරමුන විසින් මෙම මාසය තුල කැඳවන දෙවන වර්ජනය මෙයයි. ඊට පෙර 13 හා 14 දිනවල පැය 48 ක සංකේත වර්ජනයක් කැඳවා තිබුනි. එහෙත් ඉල්ලීම වලට විසඳුමක් දීම ආන්ඩුව මගහැර ඇත. පෙරදින පැවැත්වීමට නියමිතව තිබුන අමාත්‍යමන්ඩල අනුකමිටු රැස්වීම නොපැවැත්වුන නිසා අදාල ප‍්‍රශ්න ගැන තීන්දුවක් ගත නොහැකියැයි සෙනසුරදා (24) තැපැල් ඇමති සමිති පෙරමුනට පවසා ඇත. ආන්ඩුව දිගින් දිගටම තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් තැපැල් සේවකයන් අතර පවතින කැකෑරෙන කෝපය සහ නොසන්සුන්තාව නිසා යලිත් වර්ජනයක් කැඳවීමට සමිති පෙරමුනට බල කෙරී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) තැපැල් සේවකයන්ගේ වර්ජනයට සහයෝගය පලකරන නමුත් තැපැල් සමිති වල භූමිකාව පිලිබඳව බරපතල ලෙස අනතුරු අඟවයි. එනම් සමිතිවල හා නිලධරයේ අරමුන තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සහ ගැටලු සඳහා විසඳුම් සම්පාදනය කර ගත හැකි අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව, සේවකයන් අතර පවතින කෝපය සහ නොසන්සුන්තාව විරෝධතා උද්ඝෝෂනයක් තුලින් සමනය කර දැමීමය.

පසුගිය දෙසැම්බර් මාසයේ වර්ජනය කැඳවුම් කරමින් නිකුත් කල පත‍්‍රිකාවක උද්ඝෝෂන කැඳවීමට තමන්ට බල කෙරී ඇත්තේ ඇයි දැයි සමිති නිලධරය පැහැදිලිව කියා තිබුනි. ආන්ඩුව පොරොන්දු ඉටු නොකිරීම නිසා “තැපැල් සේවකයන්ගේ විශ්වාසය බිඳවැටී ඇති අතර ඒ තුල සමස්ත සේවක මන්ඩලය දැඩි කලකිරීමකට සහ මානසික පීඩනයකට ලක්ව ඇත. තත්වය එසේ හෙයින් නැවත වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයකට ඇතුලු වීමට තීන්දු කලෙමු” යැයි ඔවුන් එහි ලියා තිබුනි.

තැපැල් සමිති 13 සහ 14 වර්ජනය අවසන් කලේ තැපැල් ඇමති සහ ආන්ඩුව ප‍්‍රශ්න විසඳනු ඇතැයි බලාපොරොත්තු ඇතිවය. ආන්ඩුව පොරොන්දු ඉටු නොකිරීම නිසා තැපැල් සේවකයන් අතර “කලකිරීම හා මානසික පීඩනයක්” ඇතිවී තිබෙන බවට අඳෝනා නගන සමිති පෙරමුනේ වැඩපිලිවෙල අතිශයින් ම බංකොලොත් එකකකි. බලපෑම් දමා ඉල්ලීම් ලබා ගත හැකිය යන ධනපති ගැති වැඩපිලිවෙල ඔවුන් ඉදිරිපත් කරන්නේ අනුප‍්‍රාප්තික ආන්ඩු ක‍්‍රමයෙන් තැපැල් සේවය දියකර දමන තතු තුලය.

රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා ප‍්‍රතිව්‍යුහකරනය, රැකියා හා සේවාකොන්දේසි කප්පාදුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කර ඇති ආර්ථික ප‍්‍රතිසංස්කරනවල කොටසකි. තැපැල් දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය ආරම්භ කෙරුනේ දසක දෙකකට පෙරාතුව 1997 චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේය. එතැන් පටන් බලයට පැමිනි ආන්ඩු විසින් එම ක‍්‍රියාවලිය පෙරට ගෙන යමින් තැපැල් සේවකයන්ගේ රැකියා සහ සේවා කොන්දේසි ක‍්‍රමානුකුලව කප්පාදු කලේය.

මාතර තැපැල් කාර්යාලයේ සේවකයෙක් ප‍්‍රකාශ කල ආකාරයට සේවා ස්ථිරත්වය නොලැබු සේවකයන් 1000ක් පමන දැනට තැපැල් දෙපාර්තමේන්තුව තුල සිටිති. වැටුප් කප්පාදු කෙරී ඇත. දෙවන ශ්‍රේනියට බඳවාගත් තැපැල් ස්ථානාධිපතිවරුනට හිමි ආරම්භක වැටුප රු. 16,625 කි. එහෙත් සථිර නොකල අයට ගෙවන්නේ 3 වන ශ්‍රේනියට හිමි වැටුප වන රු. 15,005 ක් පමනි.

ගාල්ල තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයෙක් පැවසුවේ දැන් යන වැඩ පිලිවෙල අනුව බොහෝවිට විශ‍්‍රාම වැටුපත් නැති විය හැකි බවයි. “අලුතෙන් ගන්න සේවකයනට විශ‍්‍රාම වැටුප නැහැ. පුද්ගලීකරනය හා තැපැල් සේවාව විසුරුවා හැරීම තුල අපේ විශ‍්‍රාම වැටුපත් අහිමිවීමට ඉඩ තිබෙනව. අපි අතීතයේදී අරගල කරල අයිතීන් දිනා ගත්තා. ඒ වුනත් දැන් වෘත්තීය සමිති නායකත්වය මෑත කාලයේ කිසිම අරගලයක් දිනා ගැනීමට සමත්වූයේ නැහැ. කොහොම වුනත් මම වර්ජනයට සහභාගි වෙනවා. අපේ අයිතීන් රැක ගත යුතුයි” ඔහු කීවේය.

සමිති කලේ මෙම ප‍්‍රහාරවලට එරෙහිව තැපැල් කම්කරුවන්ගෙන් මතු වූ විරෝධය පුහු උද්ඝෝෂන මගින් යටපත් කර දැමීමය.

එපමනක් නොව, ව්‍යාජ වාම පක්ෂ වන නව සමමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පෙල ගැසුන තැපැල් සමිති පෙරමුන ඇතුලු වෘත්තීය සමිති ආර්ථික කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට පහර දීමට එරෙහිව මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වර්ධනය වූ විරුද්ධත්වය දේශපාලනිකව අවමංගත කර මෛත‍්‍රිපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කලේ ය

දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂ රෙජීමය නතර කල තැනින් පටන් ගෙන එම ප‍්‍රහාර තීව‍්‍ර කර ඇත. 2017 ජුනි 20 දාතමින් තැපැල් සමිති පෙරමුන නිකුත් කර ඇති පත‍්‍රිකාවක “යහපාලන” ආන්ඩුව ගැන “මහජන ප‍්‍රාර්ථනාව පුස්සක් බවට පත්කරමින් වර්තමාන රජය කටයුතු කරන බව ...... කනගාටුවෙන් වුව ද මතක් කල යුතුව ඇත” යි ලියා ඇත. “යහපාලන” ආන්ඩුවෙන් මහජනතා තුල මිත්‍යාවක් ජනිත කලේ ව්‍යාජ වාම පක්ෂ සහ තැපැල් සමිති පෙරමුන ඇතුලු වෘත්තීය සමිතිය.

තැපෑල පමනක් නොව වරාය, තෙල් සංස්ථාව ඇතුලු සෙසු රාජ්‍ය ආයතනත් පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව සැලසුම් කරන බවත් එය “නොවැලැක්විය හැකි වනු ඇතැයි” ද එම නිසා “සියලු වාද-භේද පසෙක ලා රටවෙනුවෙන් පෙරමුන ගෙන කටයුතුකරන” ලෙස ද සමිති පෙරමුන තවදුරටත් කියා ඇත.

තැපැල් කම්කරුවන් ඇතුලු ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත ලෝකයේ හැම රටක් තුලම ධනපති පාලක පන්තීන් විසින් ක‍්‍රියාවට දමන සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රහාරයට ය. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ අධිරාජ්‍යවාදී න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය මතු කෙරී ඇත. මෙම අධිරාජ්‍යවාදී ලෝක යුද සැලැස්මට ශ‍්‍රී ලංකාව ගැටගැසීම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ තීව‍්‍ර වී ඇත.

2008 න් ආරම්භ වී වඩ වඩා ගැඹුරුවන ලෝක ධනවාදයේ අවපාතය තුල බරපතල ජාතික ආර්ථික බිඳවැටීමකට හා ඉහවහ ගිය නය අර්බුදයක පැටලී සිටින වර්තමාන ආන්ඩුවට ජාමුඅ විසින් නියෝග කර ඇති ආර්ථික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීම කඩිනම් කිරීමට බල කෙරී ඇත. ඊට එරෙහිව කම්කරු පන්තිය තුලින් මතුවන කවර හෝ විරුද්ධත්වයක් ඉවසීමට ආන්ඩුව සූදානම් නැත. වරාය කම්කරුවන්ට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මෑත අරගලවලට එල්ල කල ප‍්‍රහාරවලින් එය හොඳින් ම පැහැදිලිවෙයි. අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම ඇතුලු මර්දන නීති ද පොලීසිය හා හමුදාව තව තවත් බල ගැන්වීම ද කෙරෙන්නේ මේ රාජ්‍ය මර්දන යාන්ත‍්‍රනය ශක්තිමත් කරනු පිනිසය.

එක ධනපති ආන්ඩුවක් වෙනුවට තවත් ධනපති ආන්ඩුවක් බලයට දමාගැනීමෙන් හා ඊට බලපෑම් දැමීම මගින් මෙම ප‍්‍රහාරය නතර කල නොහැකි ය.

තැපැල් සේවකයන්ට මෙන් ම කම්කරු පන්තියේ අවසේස කොටස් වලට තම අයිතීන් දිනා ගත හැක්කේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස සැලසුම්ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් කිරීම මගින් පමනි. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් කම්කරු පන්තිය ට අවශ්‍යය.

කම්කරු පන්තිය මුහුන දී සිටින එකී දේශපාලන හා ක‍්‍රියා මාර්ගික ප‍්‍රශ්න ගැන විවෘත සාකච්ඡාවක් මතුකර ගැනීම කල් පමා කල නොහැකි අවශ්‍යතාවයකි. ධනපති ආන්ඩුවේ සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඒජන්ත සංවිධාන ලෙස ක‍්‍රියා කරන වෘත්තීය සමිති තුල අරගලය සඳහා අවශ්‍ය වැඩපිලිවෙල ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සාකච්ඡාකර තීන්දු තීරන ගැනීමේ අවකාශයක් ඒවායේ සාමාජිකයන්ට නැත. ඉල්ලීම්, සටන්පාඨ, අරගලයේ ස්වභාවය, අරගලය පටන් ගැන්ම හෝ නතර කිරීම ඇතුලු මේ සියල්ල ගැන තීන්දු තීරන ගන්නේ සමිති නිලධරය විසිනි.

වෘත්තීය සමිතිවල මේ හිරකූඩුවෙන් නිදහස්වීමෙන් තොරව තැපැල් හෝ කම්කරු පන්තියේ කවර කොටසකටවත් ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව දැනුවත් අරගලයක් සංවිධානය කල නොහැකිය. වෘත්තීය සමිති වෙනුවට සිය ඉල්ලීම් සහ ගැටලු ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සාකච්ඡාකර තීන්දු ගතහැකි නව සංවිධාන කම්කරුවන්ට අවශ්‍ය ය. ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වැඩපල සහ කාර්යාල තුල කම්කරු ක‍්‍රියාකාරී කමිටු කම්කරුවන් විසින් ගොඩ නගා ගත යුතුය. සමිති නිලධරය විසින් කම්කරු පන්තිය මත පැටව ඇති ශ්‍රේනිවාදී හා කට්ටිවාදී සීමාවන් බිඳගෙන ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කර අරගලයකට මෙහෙයවිය හැක්කේ එවන් නව සංවිධාන ගොඩනගා ගැනීම මගින් පමනි.

මෙම වැඩපිලිවෙල මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් කරන්නේ සසප පමනි. සසපට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට ඒකාබද්ධ වන ලෙස අපි තැපැල් සේවකයන් හා අවශේෂ කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

Share this article: