සමාගම්වල කප්පාදුව පිලිගන්නා ලෙස වතු සමිති කම්කරුවන්ට බල කරයි

එම්. දේවරාජා විසිනි, 2017 ජූනි 14

කැලනි වැලි වැවිලි සමාගම වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය ඇතිව එහි බත්තල්ගල්ල වත්තේ කොටස් තුනක ආදායම් බෙදීමේ ක‍්‍රමය ක‍්‍රියාවට දමා ඇත. මෙම නව ක‍්‍රමය මගින් ඔවුන්ගේ ජීවන කොන්දේසි සහ සමාජ අයිතීන් කප්පාදු කරමින් කම්කරුවන් අඳ ගොවීන්ට සමාන තත්වයකට පරිවර්තනය කෙරෙයි.

බත්තල්ගල්ල වත්තේ ලයින් කාමර. ඒවා පිටුපසින් ඇත්තේ තාවකාලිකව හදාගත් කුස්සීන්ය

ලෝක වෙලඳ පොල තුල තරගය උග‍්‍රවීම හා තේ අපනයනය පහත වැටෙන කොන්දේසි තුල සිය ලාබ ඉහල දමා ගැනීමේ උත්සාහයක් ලෙස වතු සමාගම් කාලයක සිට මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම ඉල්ලා සිටියහ. මෙම නව කප්පාදු ව්‍යාපෘතියට අනුව කම්කරුවන්ට වැටුප් ශ‍්‍රමිකයන්ගේ තත්වය අහිමි කෙරෙන අතර අර්ථ සාධක අරමුදල, නිවාස, සහ සුලු වෛද්‍ය ආදාර වැනි පහසුකම් ද ක‍්‍රමානුකූලව අහෝසි වනු ඇත.

මෙම සැලැස්ම ඉදිරි වසර දෙක තුල ක‍්‍රියාවට දැමීම සඳහා සමාගම් වලට සහයෝගය දීමට පසුගිය වසරේ අත්සන් කල සාමුහික ගිවිසුමේ දී වෘත්තීය සමිති එකඟ වුහ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව සමාගම්වල මෙම නව ව්‍යාපෘතියට මුලුමනින් ම අනුමැතිය පල කලේ ය.

හැටන් දික්ඔය බත්තල්ගල්ල වත්තේ පාලනාධිකාරය මෙම ක‍්‍රමය ක‍්‍රියාවට දැමීම ආරම්භ කලේ අපේ‍්‍රල් මාසයේ දී ය. මෙම වත්තේ ඉහල කොටස, පහල කොටස සහ හැඩ්ලි කොටස යනුවෙන් කොටස් තුනක් ඇත. කම්කරුවෝ 240 ක් පමන එහි වැඩ කරති. ඔවුන්ගෙන් තුනෙන් දෙකක් අනියම් කම්කරුවෝ ය. ඉතිරි කොටස්වලට ත් ව්‍යාප්ත කිරීමේ සැලසුම් ඇතිව සිටින සමාගම නව ක‍්‍රමය අත්හදා බැලීටම මෙම වතු තුනෙන් කොටස් තුනක් තෝරාගෙන ඇත.

ඒ අනුව ඉහල කොටසේ වැඩකරන කම්කරුවන් 120 අතර තේ පඳුරු 1000 බැගින් වූ ඉඩම් කට්ටි බෙදා දී තිබේ. බෙදා දීම කර ඇත්තේ සමාගම සහ තනි තනි කම්කරුවන් අතර ගිසුමක් අත්සන් කිරීම මගිනි. දැනට ඉරිදා දිනවල කම්කරුවන් මෙම ඉඩම් කට්ටියේ වැඩ කල යුතු අතර සතියේ ඉතිරි දින හය වත්තේ ඉතිරි කොටසේ වැඩ කල යුතු ය. මෙම ඉඩම් කට්ටිවල වැඩකරන දින ගනන ක‍්‍රමානුකුලව ප‍්‍රසාරනය කරමින් ඒ සමග වැටුප් ගෙවීමේ ක‍්‍රමය සම්පූර්නයෙන් අහෝසි කිරීමට සමාගම අපේක්ෂා කරයි.

ගිවිසුම තුල කම්කරුවන් නම්කර ඇත්තේ “කොන්ත‍්‍රාත්කරුවන්” ලෙසිනි. මෙම ඊනියා කොන්ත‍්‍රාත්කරු ඉඩම් කට්ටිය එලිපෙහෙලි කිරීම හා තේ පඳුරු කප්පාදු කර මට්ටම් කිරීම කල යුතුය. ඉඩමෙන් උපයන ආදායමෙන් අඩු කර ගැනීමේ පදනම මත පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය සමාගම විසින් සපයනු ලබයි. “කොන්ත‍්‍රාත්කරුවන්ගේ” ආදායමෙන් වත්තේ කාර්යාල කාර්යමන්ඩලයේ වැටුප්, අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල ඇතුලු ගෙවීම් ද අඩු කරනු ලබයි. ඉඩම් කට්ටියෙන් නෙලන තේදලු සමාගමට අයිති කර්මාන්ත ශාලාවට හැර පිටස්තර එකකට විකිනිය නොහැකිය.

ඉඩම් කට්ටියේ වැඩට කොන්ත‍්‍රාත්කරුට කම්කරුවන් කුලියට ගතහැකි නමුත් ඒ සමාගමේ එකඟතාවය ඇතිව පමනි. සමාගම විසින් තේ දලු කිලෝවක මිල තීන්දු කරනු ලබන්නේ ඒවායෙහි ගුනාත්මකභාවය අනුවය. දලු කිලෝවක් සඳහා අපේ‍්‍රල් මාසයේ රුපියල් 58 ක් ගෙවූ නමුත් මැයි මාසයේ එය රුපියල් 51 දක්වා අඩු කල බව කම්කරුවෝ කීහ. තේ දලු වල අපේක්ෂිත ගුනාත්මකභාවය නැතැයි කියමින් අනාගතයේ දී දලු කිලෝවක මිල රුපියල් 25 දක්වා අඩු කරනු ඇතැයි කම්කරුවන් අතර අදහසක් ඇත. සමාගම අපේක්ෂිත මට්ටමේ ගුනාත්මකභාවයක් සහිත දලු සැපයීමට කොන්ත‍්‍රාත්කරු අසමත් වුවහොත් මාසයකට කලින් කරන දැනුම් දීමකින් පසු ඉඩම් කට්ටිය සමාගමට ආපසු පවරා ගැනීම ගිවිසුමේ තවත් කොන්දේසියකි.

මුලින් තමන් ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කල බව කම්කරුවෝ කීහ. නමුත්, ගිවිසුමට අත්සන් නොකලොත්, රැකියා අහිමි වනු ඇතැයි වත්තේ සමිති නායකයන්ගේ බිය ගැන්වීම නිසා ඊට අත්සන් කිරීමට කම්කරුවන්ට බල කෙරුනි.

ආරුමුගම් තොන්ඩමන් ගේ ලංකා කම්කරු සංගමය (සීඩබ්ලිව්සී), පී. දිගම්බරන්ගේ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ වී. රාධක‍්‍රිෂ්නන් ගේ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) ශාඛා සමිති වත්තේ ඇත. තොන්ඩමන් කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ හිටපු ඇමැතියෙකි. දැන් ඔහු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට පන්දම් අල්ලයි. දිගම්බරම් සහ රාධක‍්‍රිෂ්නන් වර්තමාන ආන්ඩුවේ ඇමතියෝ ය.

වෘත්තීය සමිති ආරක්ෂා කරන්නේ සමාගම් වල උවමනාවන් මිස කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් නොවේ. දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් පසුගිය වසරේ කම්කරුවන් ගෙන ගිය අරගල මෙම සමිති විසින් පාවා දෙන ලදී. අසාධාරන ලෙස නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමට විරුද්ධව පැන නැගුන අරගල ද සමිති විසින් කඩාකප්පල් කෙරුනි. ඔව්හු ආදායම් බෙදීමේ ක‍්‍රමයට හා දෛනික වැටුප රුපියල් 50 ක සොච්චමකින් වැඩි කිරීමට එකඟ වෙමින් කම්කරුවන්ට හොරෙන් සාමූහික ගිවිසුම අත්සන් කලහ.

තේ නිපදවන සෙසු රටවල් සමග තරඟය ඉහල යාම සහ අපනයන ආදායම අඛන්ඩව පහත වැටීමට තුඩුදෙමින් පාරිභෝගික ඉල්ලුම අඩුවීම නිසා තේ සමාගම් සුරාකෑම තව තවත් උග‍්‍ර කර ඇත්තේ ලාබ සහ වෙලඳපොලෙහි තම කොටස රැක ගැනීම සඳහා ය.

මහබැංකුව විසින් මැයි මාසයේ මුල නිකුත් කරන ලද රටේ විදේශීය ක‍්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීමේ වාර්තාවට අනුව රුසියාව, තුර්කිය හා මැද පෙරදිග සමහර රටවල් ඇතුලු ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කරන ප‍්‍රධාන රටවල ඉල්ලුම දිගටම දුර්වල වෙමින් පවතින අතර පසුගිය වසර හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ අපනයන ආදායම සියයට 12.4න් හෙවත් ඩොලර් මිලියන 99.4 දක්වා පහත වැටී ඇත.

නව ව්‍යාපෘතියට එරෙහිව මෙන්ම අඩු වැටුප් හා වෘත්තීය සමිතිවල කි‍්‍රයාකලාපය කෙරෙහි කම්කරුවන් අතර විරුද්ධත්වය වැඩෙමින් තිබේ. බත්තල්ගල්ල වත්තේ කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “මාත් ඇතුලුව සමහර කාන්තාවන් මෙම ක‍්‍රමයට තදින් ම විරුද්ධ වුනත් අපි එහෙම කලොත් අපේ රක්ෂාව නැතිවෙයි කියල සමිති නායකයන් අපට තර්ජනය කලා. පිරිමි කම්කරුවන් වැඩි දෙනෙක් ගිවිසුමට අත්සන් කලත් සමහර කාන්තාවන් තවමත් අත්සන් කරලා නැහැ”.

වසර 20 සේවය කල ඇය පැවසුවේ නව ක‍්‍රමය යටතේ රැකියා හා සෙසු අයිතීන් අහිමිවන බව තමන්ට වැටහෙන බවයි.

අනියම් කම්කරුවෙකු ලෙස වසර පහකට වඩා වැඩකර ඇති නමුත් තමන් ස්ථීර කිරීම පාලනාධිකාරය ප‍්‍රතික්ෂේප කල බව තවත් කම්කරු කාන්තාවක් පැවසුවාය. “අපට තේ පඳුරු 1000 ක් දීල තියෙනවා. මගේ සැමියා වැඩකරන්නේ කොලඹ. එලිපෙහෙලි කිරීම අතුලුව හැම දෙයක් ම කල යුතු නිසා මේ ඉඩම් කට්ටිය මට තනියම රැක බලා ගන්න බැහැ. සමහර පවුල්වල සියලු දෙනාම උදේ ඉඳන් රෑ වෙනකම් ඉරිදා දවස්වලට ඉඩම් කට්ටියේ වැඩ කරනවා. ඒ නිසා ඔවුන්ට කිසිම විවේකයක් නැහැ”.

කම්කරුවන්ට රුපියල් 730 ක දෛනික වැටුප ලැබෙන්නේ තේ දලු කිලෝ 18 ඉලක්කය සම්පූර්න කලොත් පමනක් බව ඇය කීවාය. “එහෙම නූනොත් රුපියල් 140 නිෂ්පාදන දිරිදීමනාව අපට ලැබෙන්නේ නැහැ. නියඟ කාලෙට ඒ ඉලක්කය සම්පුර්න කරන්න බැහැ. වැටුප් ප‍්‍රශ්නයේ දී සියලුම සමිති අපව පාවා දුන්න. දැන් ඔවුන් නව ක‍්‍රමය ක‍්‍රියාවට දාන්න සහයෝගය දෙනවා”. ඇය පැවසුවාය.

හැඩ්ලි කොටසේ වැඩ කරන කම්කරුවන් 60 දෙනා ට ම තේ පඳුරු බෙදා දී ඇත. වත්තේ පදිංචි වී සිටින සුලු ව්‍යාපාරිකයෙකුට හෙක්ටයාර් 5 ක් සහ වත්තෙන් පිට සිටින තවත් සුලු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට පිලිවෙලින් හෙක්ටයාර් 2 ක් සහ 1 ක් බැගින් දී තිබේ.

කම්කරුවන් “කොන්ත‍්‍රාත්කරුවන්” බවට පරිවර්තනය කිරීම සහ සුලු ව්‍යාපාරිකයන් ට ඉඩම් දීම ඇතුලු මේ සියලු දේවලින් පෙන්නුම් කෙරෙන්නේ වතු කුඩා කැබලි වලට කැඩීමට සමාගම් උත්සාහ කරමින් සිටින බවය. නිෂ්පාදනය වැඩිකිරීමට හා වියදම කැපීමට සුලු ඉඩම් හිමි ක‍්‍රමය වාසිදායක බව වතු සමාගම් කියා ඇත. කෙසේ නමුත් මෙහි පවතින වෙනස වන්නේ, නව ව්‍යාපෘතිය යටතේ තේ පඳුරු නඩත්තු කිරීමට පවරන අයට ඒ ඉඩම්වලට හිමිකමක් නොලැබීමයි. සමාගම් උත්සාහ කරන්නේ නඩත්තු කිරීමේ බර කම්කරුවන් මතට පැටවීමට ය.

තවමත් සමාගම් විසින් වතු නඩත්තු කලත් කම්කරුවන් ජීවත් වන්නේ දරිද්‍රතා මට්ටමේ ය. බොහෝ දෙනෙකු ජීවත් වන්නේ තාවකාලික මඩු වලය. වතු කම්කරුවන්ගෙන් අඩකට වැසිකිලි හෝ ජල පහසුකම් නැත. සමහර කම්කරුවන් අර්ථ සාධක අරමුදලෙන් රුපියල් 30,000 ක් පමන නය ගෙන ජලපසුකම් ලබා ගැනීමට වියදම් කර ඇත.

මෙම ජීවන සහ සමාජ කොන්දේසි හැම වත්තක ට ම පොදු ය. නව ක‍්‍රමය යටතේ මෙම කොන්දේසි වඩාත් නරක අතට හැරෙනු ඇත. කම්කරුවන් අඳ ගොවීන් බවට පත් කර ඔවුන් අනුවලට කඩා දමනු ඇත. කොන්ත‍්‍රාත්කරුවන් ලෙස අලුතෙන් පටබැඳ ඇති නාමය යටතේ යහපත් රැකියා සහ සමාජ කොන්දේසි සඳහා සටන් කිරීමේ හැකියවක් ඔවුන්ට නැත.

සංගම්වල කාර්මික පොලීසියක් බවට පත්ව ඇති වෘත්තීය සමිති වලින් ස්වාධීනව මෙම ප‍්‍රහාරයට එරෙහිව කම්කරුවෝ සංවිධානය විය යුත්තාහ. අරගලය සංවිධානය කිරීමට හා සම්බන්ධීකරනය කිරීමට හැම වත්තක ම තමන්ගේ ම ක‍්‍රියාකාරී කමිටු කම්කරුවන් විසින් පිහිටුවා ගත යුතු ය.

ලංකාවේ වතු කම්කරුවන්ගේ මිතුරන් වන්නේ කම්කරු පන්තියේ සෙසු කොටස් හා සමාන ප‍්‍රහාරවලට මුහුන දෙන කෙන්යාවේ, ඉන්දියාවේ, වියට්නාමයේ සහ දකුනු අප‍්‍රිකාවේ වතු වල පන්ති සහෝදරයන් ය.

ලාබය උදෙසා පොරකන සමාගම් අතේ මහා වතු සමාගම් තිබීම සමග කම්කරුවන්ගේ අයිතීන් එකට නොපෑහෙන බව අතිශයින් ම පැහැදිලිය. ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ නිෂ්පාදනය කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයට යටත් කිරීමෙන් පමනි. වතු කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමේ හා ආරක්ෂා කර ගැනීමේ අරගලය සමාජවාදය සඳහා කම්කරු පන්තියේ පුලුල් අරගලයත් සමග බැදී ඇත්තේ එහෙයිනි. කම්කරු පන්තිය වෙත මෙම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි.

Share this article: