සිරියාව තුල ඇමරිකානු-රුසියා ගැටුම උත්සන්නවේ

Escalating threat of US-Russian confrontation in Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2017 ජූනි 20

රුසියානු විදේශ අමාත්‍යාංශය 19දා නිකුත්කල අනතුරු ඇඟවීමත් සමග සිරියානු අර්බුදය, ලෝකයේ ප‍්‍රමුඛ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මිලිටරි ගැටුම තුලට ඇදී යාම පිලිබඳ අන්තරාය ඉහල නංවා ඇත. සිරියානු ආන්ඩුවේ මෙන්ම මොස්කෝවේ මිලිටරිය ද පදනම්ව ඇති බටහිර සිරියාව තුලට කඩා වදින ඕනෑම ඇමරිකානු හා සහචර ගුවන් යානයක් සතුරෙක් ලෙස සලකන බව ඉන් පවසා ඇත.

එම අනතුරු ඇඟවීම නිකුත් වුනේ, අයිසිස් විසින් අල්ලාගෙන සිටින රකා නගරය කරා කුර්දි මිලිෂියාවන්ගේ මෙහෙයවීම යටතේ ඇමරිකාව පිටුබලය දෙන කුලී හමුදාවන්හි මැදිහත්වීම් සිදුවන උතුරු සිරියාවට ඉහල අහසේදී, ඇමරිකානු ප‍්‍රහාරක ගුවන් යානයක් විසින් සිරියානු ගුවන් හමුදාවේ ජෙට් යානයක් වෙඩිතබා බිම හෙලීමට ප‍්‍රතිචාර වශයෙනි.

18දා ඇතිවූ එම සිද්ධිය පලමු වතාවට සලකුනු කරන්නේ, තමන්ගේ රටේ භූමි ප‍්‍රදේශයකට ඉහලින් පියාසර කරමින් තිබූ සිරියානු ජෙට් යානයක් ඇමරිකාව විසින් බිම දමනු ලැබීමත් සමග තන්ත‍්‍රය මාරුවක් සඳහා සය වසරක් තිස්සේ ඇමරිකාවේ සහාය ඇතිව ගෙන යන යුද්ධයේ ඉහල අදියරකි. පැරෂූටයකින් බිමට බසිමින් සිටිනු දුටු සිරියානු ගුවන් නියමුවා වැටී ඇත්තේ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින අයිසිස් පාලනයට නතු ප‍්‍රදේශයකටය. ඔහු තවමත් අතුරුදහන්ව සිටී.

“රුසියානු ගුවන් හමුදාව මෙහෙයුම් සිදු කරන සිරියානු කලාපය තුල ඉහල අහසේ දක්නට ලැබෙන ජාත්‍යන්තර හවුලේ ගුවන් යානා හා ඩ්‍රෝන් යානා ඇතුලු ඕනෑම පියාසර කරන වස්තුවක් යුප‍්‍රටීස් ගෙඟ් බටහිර ඉවුරේදී ගුවන් ආරක්ෂක පද්ධතීන් විසින් සොයාගනු ලැබුනහොත් එය, ගුවන් ඉලක්කයක් ලෙස සලකනු ඇත” යයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු ඇඟවීය.

ඇමරිකානු ක්‍රියාව “ආක‍්‍රමනික හා ජාත්‍යන්තර නීතිය සෘජුවම උල්ලංඝනය කිරීමක්” බව රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති සර්ජි රයාබ්කොව් සඳහන් කලේය.

එසේම සිරියාවට ඉහල අහසේ රුසියානු හා ඇමරිකානු ප‍්‍රහාරක යානා අතර කලින් නොසිතූ ආකාරයේ ගැටුමක් ඇතිවීම වැලැක්වීමට, පෙන්ටගනය විසින් යොදාගනු ලැබූ “ගැටුම් වැලැක්වීමේ” සෘජු පනිවිඩ හුවමාරුව කපා හරින බව ද මොස්කෝව ඇඟවුම් කලේය.

වොෂින්ටනය රුසියාවේ අනතුරු ඇඟවීම ගැන ප‍්‍රතිවිරෝධී වාර්තා ගනනාවක් නිකුත් කර ඇත. ඇමරිකානු මිලිටරියේ ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී මැරීන් ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ් මාධ්‍ය වෙත පැවසුවේ පෙන්ටගනය, “ගැටුම් වැලැක්වීමේ සන්නිවේදන මාධ්‍ය යලි පිහිටුවා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මෙන්ම මිලිටරි මාධ්‍යයන් තුලින් ඉදිරි පැය කිහිපයේදී” කටයුතු කරනු ඇති බවයි. රුසියානු අනතුරු ඇඟවීමෙන් පසුව සිරියාවට ඉහලින් පියාසර කරන ඇමරිකානු ගුවන් නියමුවන්ගේ ආරක්ෂාව ගැන ඔහු උනන්දු දැයි අසන ලදුව ඩන්ෆෝඩ් ප‍්‍රතිචාර දැක්වූයේ, “තමන් ගැන බලාගැනීමේ හැකියාව අපේ හමුදාවන්ට ඇති” බව තමන්ට විශ්වාස බව කියමිනි.

ධවල මන්ඳිරය 19දා පැවැත්වූ අරුම පුදුම මාධ්‍ය රැස්වීමේදී, තමන් අසන ප‍්‍රශ්න වලට පිලිතුරු දෙන විට ඒවා පටිගත කිරීම, ඡායාරූපගත කිරීම වාර්තාකරුවන්ට තහනම් කර තිබුනි. ධවල මන්ඳිර මාධ්‍ය ලේකම් සීන් ස්පයිසර්, වොෂින්ටනය “අපගේ ආසක්තයන් ආරක්ෂා කිරීම සඳහා අපට කල හැකි දේ කිරීමට” යන බව පවසමින්, සිරියාව තුල “අප සෑම විටම ආත්මාරක්ෂාව පිලිබඳ අයිතිය සුරක්ෂිත කරන්නෙමු” යයි පැවසූ බව වාර්තා විය.

මැද පෙරදිග හා ලොව පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිපතිවාදී තල්ලුව පිලිබඳ දුෂ්ඨ තර්කනය විස්තර කල හැක්කේ, “ආත්මාරක්ෂාව” හුවා දක්වමින් පමනි. තමන්ගේම රටේ පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ඇමරිකානු මිලිටරිය විසින් බිම දැමීමේ හා පවත්නා ආන්ඩුවට පක්ෂ බලවේගයන්ට පහර දීමේ ක්‍රියාව එසේ අර්ථ දැක්වීමෙනි.

එම සිද්ධිය සිරියානු ආන්ඩුවේ හමුදාවන්ට එරෙහිව ඇමරිකාවේ ආක‍්‍රමනික ක්‍රියා මාලාවක අලුත්ම එකය. පසුගිය සැප්තැම්බරයේදී ඇමරිකාවේ මූලිකත්වයෙන් ඩෙයර් එල් සෝ යන නැගෙනහිර ප‍්‍රදේශයේදී සිදු කල ගුවන් ප‍්‍රහාර වලින් සිරියානු සෙබලු 200ක් පමන මරා දැමුනි. පෙන්ටගනය පසුව පැවසුවේ, ප‍්‍රහාරය “කනගාටුදායක වැරැද්දක්” බවය. එය, සිරියානු ආන්ඩුවේ මූලෝපායික මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීමට අයිසිස්ට ගුවන් ආරක්ෂාව සැලසීමක් විය.

පසුව අප්‍රේල් මාසයේදී ඇමරිකාව සිරියාවේ අල් ෂයිරට් ගුවන් මධ්‍යස්ථානයට කෲස් මිසයිල් 50ක් එල්ල කලේය. ඒ, සීඅයිඒ සංවිධානය විසින් සිදු කල ප‍්‍රකෝපකරනයක් බවට සියලු සලකුනු පැවති ගෑස් ප‍්‍රහාරයක් ගැන සිරියානු ආන්ඩුවට චෝදනා කරමිනි.

පසුගිය මාසය තුල පෙන්ටගනය, ඩැමස්කස් ආන්ඩුවට එරෙහිව තන්ත‍්‍ර මාරුවක් සඳහා ගෙන යන යුද්ධයට සම්බන්ධ ඊනියා “කැරලිකරුවන්” පුහුනු කරන, 150ක් වන ඇමරිකානු විශේෂ කාර්ය බලකාය රැඳී සිටින, ඉරාකයට ඇතුලුවන වයඹ දිග සිරියානු දේශසීමා කපොල්ලක් අසල පිහිටි අල් ටන්ෆ් කාන්තාර මධ්‍යස්ථානයට සමීපවූ බවට චෝදනා කරමින්, ආන්ඩුවට පක්ෂ බලවේගයන්ට වෙන වෙනම ගුවන් ප‍්‍රහාර තුනක් එල්ල කලේය.

සෑම නව ප‍්‍රහාරයකින්ම වඩ වඩාත් පැහැදිලි වන්නේ, ඇමරිකාව ප‍්‍රමුඛ බලවේගයන් විසින් ගෙන යනු ලබන ඊනියා අයිසිස් විරෝධී ව්‍යාපාරය, අසාද් ආන්ඩුව පෙරලා දමා රූකඩ පාලනයක් ඇටවීම පිනිස සිරියාවේ සය වසරක තන්ත‍්‍ර මාරු යුද්ධයේ අරමුනු මුදුන්පමුනුවා ගැනීමේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීම් වසංකර ගැනීමේ කඩතුරාවක් පමනක් බවය. ඒතාක් දුරට පෙන්ටගනය, අයිසිස් වෙතින් මුදාගන්නා ප‍්‍රදේශ සිරියානු ආන්ඩුවේ පාලනයට නොව තමන් යටතේ තබාගැනීමට අදිටන් කර ගෙන සිටියි. සිරියානු ගුවන් යානයක් බිම හෙලීමේ සිද්ධියට මුල්වූ ගැටුම්, භූමි ප‍්‍රදේශ වෙනුවෙන් වන කාකොටා ගැනීම සමග බැඳී ඇත.

ටෙහෙරානයේ ප‍්‍රධාන කලාපීය සතුරන් දෙදෙනෙකු වන සව්දිය හා ඊස්රායලයට පසුගිය මාසයේ කල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සංචාරය අතරතුර ප‍්‍රකාශයට පත්වූ, ඉරානයට එරෙහි වඩා පුලුල් ඇමරිකානු මිලිටරි ව්‍යායාමයේ කොටසකි සිරියාවේ ගෙන යන ව්‍යාපාරය. ටෙහෙරානයට එරෙහිව විවෘතව ප‍්‍රකාශිත ට‍්‍රම්ප් ආන්ඩුවේ ආක‍්‍රමනික හැරීම, සමස්ත කලාපයම තවදුරටත් අස්ථාවර කරයි. එක්සත් අරාබි එමිරේටය හා ඊජිප්තුවේ සහාය ඇතිව සව්දියේ රාජාන්ඩුව, කටාර් රටට එරෙහි යුද්ධ ප‍්‍රකාශ කිරීමට සමාන පූර්න තහනමක් පැනවීය. කටාර්හි, ඇමරිකාවේ මධ්‍යම අනදෙන මූලස්ථානය පිහිටා ඇති අතර එරට ඉරානය සමග හවුලේ නිපදවන දැවැන්ත ගෑස් නිධිවල ආදායම මත ද ඇමරිකාව බෙහෙවින් වාරුවෙයි.

නැගෙනහිර සිරියාවේ ඩියර් එල් සෝර්හි අයිසිස් ඉලක්ක වෙත යොමුකරමින් ඉරානය මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීම මගින්, පුලුල් යුද්ධයක තර්ජනය තවදුරටත් දැඩි කරයි. ඉරාක ආන්ඩුවේ ද අනුමැතිය ඇතිව මිසයිල් විදිනු ලැබුවේ, සැතපුම් 370ක් දුර බටහිර ඉරානයේ සිට ඉරාක අහස හරහාය.

ඉරානය මිසයිල් ප‍්‍රහාරය යුක්තිසහගත කලේ, එරට වැසියන් 18කට මරු කැඳවමින් හා 50ට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මේ මාසයේ මුල එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට පලිගැනීමක් ලෙස එය කල බව පවසමිනි. වඩාත් පුලුල් අනතුරු ඇඟවීමක් අවශ්‍ය බව ඉරාන නිලධාරීහු පැහැදිලි කලහ.

“මේ පනිවිඩය විශේෂයෙන්ම යැවෙන්නේ සව්දි හා ඇමරිකානුවන් වෙතය” යි, ඉරානයේ රෙවලූෂනරි ගාඩ්ස් සේනාංකයේ ජෙනරාල් රාමසාන් ෂරීෆ් පැවසීය. “නිසැකවම හා පැහැදිලිවම කලාපයේ සමහර ප‍්‍රතිගාමී රටවල්, විශේෂයෙන්ම සව්දි අරාබිය, ඉරානය අස්ථාවර කිරීමට උත්සාහ දරන බව ප‍්‍රකාශ කර ඇත.” ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පිටුපස සව්දිය සිටින බවට ටෙහෙරානය චෝදනා කරයි. මේ අතර ට‍්‍රම්ප් ආන්ඩුව, තමන් විසින්ම ත‍්‍රස්තවාදය කැන්දාගෙන ඇතැයි පවසමින් ඉරාන ආන්ඩුවට දොස් පැවරීය.

කලාපීය හා ලෝක යුද්ධයක් තුලටම ඇදී යා හැකි සිරියාව තුල ඇමරිකානු මැදිහත්වීමේ තර්ජනය, ඉරාකයේ, සිරියාවේ, ඇෆ්ගනිස්ථානයේ හා ඉන් ඔබ්බෙහි ද වොෂින්ටනය ගෙන යන බහුවිධ යුද්ධ පිලිබඳ සියලු තීන්දු ගැනීම ඇමරිකානු මිලිටරි අධිකාරීන් වෙත පැවරීමේ ට‍්‍රම්ප් ආන්ඩුවේ පියවර මගින් තව දුරටත් උත්සන්න කෙරෙනු ඇත. ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් “පිස්සු බල්ලා” හා ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් එච් ආර් මැක්මාස්ටර් ද ක්ෂේත‍්‍රයේ ආඥාපතීන් ද ඇතුලු රාජකාරියේ නිරත හා මෑතක විශ‍්‍රාම ලත් ජෙනරාල්වරු කල්ලියක් විසින්, හමුදා මට්ටම්, මෙහෙයුම් නීති හා අනෙකුත් අත්‍යවශ්‍ය පිලිවෙත් තීන්දු කරනු ලැබේ.

මිලිටරියේ කොටස්, 2013දී ඔබාමා පාලනය විසින් සිරියාවට එරෙහිව සැලසුම් කල යුද්ධයෙන් ඉවතට හැරීම ගැන බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටිති. මැද පෙරදිග තවත් යුද්ධයකට පැවති මහජන සතුරුකමට ද විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතයේ ගැඹුරු බෙදීම් වලට ද මුහුන දී සිටි වොෂින්ටනය, සිරියාවේ රසායනික අවි විනාශ කිරීම සඳහා රුසියාව විසින් කපුකම්කරන ලද වැඩසටහනට එකඟ විය. එතැන් පටන් රුසියාවේ හා ඉරානයේ සහාය ඇතිව සිරියානු ආන්ඩුවට, සීඅයිඒහි සහාය ලබන ඉස්ලාමීය මිලිෂියාවන් පලවා හැරීමටත් රටේ ප‍්‍රධාන ජනාශ්‍රිත මධ්‍යස්ථාන සියල්ලම පාහේ යලි අත්කර ගැනීමටත් හැකියාව ලැබුනි.

ඇමරිකාවට තෙල් වලින් ආඪ්‍ය මැද පෙරදිග සිය අධිකාරය පිහිටුවා ගැනීමට නම් මේ ජයග‍්‍රහන ආපසු කැරකවීම අත්‍යවශ්‍යය. මේ අරමුන ඉටුකර ගැනීම සඳහා ඇමරිකානු මිලිටරි අධිකාරීන්, පුලුල් හා ගෝලීය පරිමාන ව්‍යසනකාරී යුද්ධයක විභවය නොතකා, ඉරානය හා රුසියාව සමග පවා ගැටුමක් වැලඳ ගැනීමට ඉදිරිපත් වීම ගැන සැකයක් නැත.

වැදගත් කාරනයක් නම්, සිරියානු ආන්ඩුවට එරෙහිව මිලිටරි ක්‍රියාවන්හි යෙදීමට ඇමරිකානු මිලිටරියට කුමන බලයක් ඇත්දැයි 19දා මාධ්‍යකරුවන් ජෙනරාල් ඩන්ෆෝර්ඩ්ගෙන් විමසූ කල, වසර 16ට පෙර සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් පසුව කොන්ග‍්‍රසය විසින් සම්මත කරන ලද, මිලිටරි බලය යොදාගැනීමේ පනතින් බලය පැවරෙන බව ඔහු සඳහන් කර තිබීමය.

සිරියාවට එරෙහිව යුද්ධයක් ගෙන යාමට බලය පැවරීම ගැන කිසිදු විවාදයක් ඇමරිකානු කොන්ග‍්‍රසය තුල නොපැවැත් වුනි. ඊටත් අඩුවෙන් ඡන්දය විමසීමක්වත් සිදු නොවුනි. ජෙනරාල් වරුන්ට නිදහස් වර පත‍්‍රයක් ලබා දීම ගැන ට‍්‍රම්ප්ට කිසිදු විරුද්ධත්වයක් නොපෑ ඩිමොක‍්‍රටිකයෝ, මිලිටරි ගැටුමකට මග පාදන රුසියානු විරෝධී උමතු දේශපාලන උද්ඝෝෂනයට බැස ගෙන සිටිති.

Share this article: