පොලිසිය සිසු විරෝධතාකරුවන්ට පහර දෙයි

Sri Lankan police attack protesting students

කපිල ප‍්‍රනාන්දු විසිනි ,2017 ජූනි 24

බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශය වාඩිලාගත් විශ්ව විද්‍යාල සිසුන්ට දරුනු ලෙස පහරදුන් පොලිසිය දැන්, සිසු විරෝධතාවේ නායකයින් අත්අඩංගුවට ගනිමින් පුලුල් දඩයමක් දියත් කර ඇත.

මෙම පොලිස් ප‍්‍රහාරයට එරෙහිව සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම් ඕඒ) හා වෛද්‍යවරුන් දියත් කල “අඛන්ඩ වැඩවර්ජනයට” විරුද්ධව පියවර ගන්නා බවට ද ආන්ඩුව තර්ජනය කර ඇත.

ජුනි 21 විරෝධතාවට සිසුන් දහස් ගනනක් සම්බන්ධ වූහ. ඔවුහු පොලිස් බාධක බිඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුලුවී ඇමති රාජිත සේනාරත්න සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියහ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකයින් පැවසුවේ, තමන්ට සේනාරත්න හමුවීමට අවස්ථාවක් නොදුන් බැවින් ගොඩනැගිල්ලට ඇතුලුවූ බවයි.

සිසුන්ගේ උද්ඝෝෂනය, ආන්ඩුව සයිටම් රජයට පවරා ගැනීම, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන්කිරීම, පාසැල්වල ගාස්තු අයකිරීම නතර කිරීම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තවත් විවිධ ගැටලු විසඳන ලෙසත් බල කරමින් සිසුන් හා වෛද්‍යවරුන් දිගු කලක් තිස්සේ ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ කොටසකි.

සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලුවීමත් සමග නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක, පරිශ‍්‍රයෙන් සිසුන් ඉවත් කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායට (එස්ටීඑෆ්) නියෝග කලේය. විශේෂයෙන් පුහුනු කල පොලිස් අංශයක් වන එස්ටීඑෆ්, විරෝධතාකරුවන්ට දරුනු ලෙස පහර දීම ගැන කුප‍්‍රකටය.

හිස් ආරක්ෂන පැලඳ ගත් එස්ටීඑෆ් භටයින් සිසුන්ට දරුනු ලෙස පහර දෙමින් ඔවුන් පියගැට පෙලවල් වලින් පහලට තල්ලු කරන දර්ශන රූපවාහිනී නාලිකාවන්ගෙන් පෙන්වනු ලැබින. වාඩිලා විරෝධතාවන්හි යෙදුනු සිසුන් විසුරුවා හැරීම සඳහා එස්ටීඑෆ් භටයන් බැටන්, කඳුලු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කලහ.

අවිශිබම ක්‍රියාකාරිකයෙකු එදින මාධ්‍ය වෙත පැවසුවේ, සිසුන් 90කට වැඩි ගනනක් ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන් අතුරින් 20ක් ගැහැනු ලමුන් වන අතර සමහර සිසුන් බරපතල තුවාල සහිතව පසුවන බවත්ය. නිලධාරීන් 6 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කල බව පොලිසිය පැවසීය. රෝහලේ වෛද්‍යවරු නිසි ප‍්‍රතිකාර ලබා දෙන්නේ නැති බව පවසමින් පොලිසිය, පසුව ඔවුන් පොලිස් රෝහලට මාරු කර ඇත.

පොලිස් ප‍්‍රහාරය යුක්තිසහගත කරමින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ, විරෝධතාව නතර කිරීමට පොලිසිය විසින් ලබාගෙන තිබූ උසාවි නියෝගය සිසුන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බවයි. රාජ්‍ය දේපොලට හානි කල බවට සිසුන්ට දොස් පැවරූ ඔහු එම සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන බව පැවසීය.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසුවේ, සීසීටීවී කැමරාවල සටහන් උපයෝගී කරගෙන සිසුන් හඳුනා ගන්නා බවත් රුපියල් 25,000ට වැඩි අලාභ සිදු කිරීම ගැන චෝදනා ලබන කිසිම සිසුවෙකුට ඇප නොදෙනු ඇති බවත් ය. අලාභ හානි සිදු කලේ තමන් බවට ආන්ඩුව හා පොලීසිය කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් සිසුන් ප‍්‍රකාශ කලේ තමන් දඩයම් කිරීම සඳහා පොලිසිය දේපොලවලට හානි කල බවටයි.

සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලුවීම වැලැක්වීමට පොලිසිය අසමත් වුනේ මන් ද යන්න පිලිබඳ වාර්තාවක් තමන්ට අවශ්‍ය බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසීය.

රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු පෙරමුනේ නායක තම්පිටියේ සුගතානන්ද ජුනි 22දා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. පොලිසියේ කොලඹ අපරාධ කොට්ඨාශය මාධ්‍ය හමුවක් පවත්වා පිටවෙමින් සිටි අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර හා තවත් ක්‍රියාකාරිකයෙකු ද අත්අඩංගුවට ගත්තේය. රාජ්‍ය දේපොල වලට හානි කිරීමේ චෝදනා මත ඔවුන්, මහේස්ත‍්‍රාත්වරයෙකු හමුවට පමුනුවා රිමාන්ඩ් භාරයේ තබා ඇත.

පොලිස් ප‍්‍රහාරයට එරෙහිව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ, ජුනි 22දා වැඩ නතර කරමින්, ආන්ඩුව සයිටම් ප‍්‍රශ්නය විසඳන තෙක් තමන් වර්ජනය පවත්වාගෙන යන බව කියා සිටිති. එදිනම පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමති සේනාරත්න තර්ජනය කලේ ආන්ඩුව කලින් ගත් පියවර ඉක්මවා යමින්, වර්ජිත වෛද්‍යවරුන්ට එරෙහිව “දැඩි ක්‍රියාමාර්ග” ගැනීමට සූදානම් වන බවයි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය පුද්ගලීකරනය කෙරෙහි සිසුහු හා වෛද්‍යවරු දැඩි ලෙස විරුද්ධව සිටිති. ඔවුහු පසුගිය වසර පුරාම ඊට විරෝධය පල කරමින් උද්ඝෝෂන ක්‍රියාවල නිරත වූහ. වෛද්‍ය විද්‍යාව උගැන්වීමේදී අවශ්‍ය නියමිත ප‍්‍රමිතීන් සයිටම් නිසා උල්ලංඝනය වීම ගැන ජීඑම් ඕඒ හා අවිශිබම උත්සුකය පලකරයි.

එහෙත් මෙම සංවිධාන දෙකේම ඉදිරිදර්ශනය දේශපාලනිකව බංකොලොත්ය. ඒවායේ අරමුන, ජනතා බලපෑම් දැමීම මගින් වියදම් කප්පාදුවේ පිලිවෙත් අකුලා ගැනීමට ආන්ඩුවට බල කල හැකිය යන මිත්‍යාව වැපිරීමයි.

අවිශිබම දේශපාලනිකව පාලනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුලු විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් වල මාධ්‍ය හමුවක් ජුනි 22දා පැවැත්වුනි. සහභාගී වූ අනෙක් සංවිධාන අතර නව සමසමාජ පක්ෂය තුල විසංවාදී කොටසක් වන වමේ හඬ, එක්සත් සමාජවාදී පක්ෂය, හා ජනතා විමුක්ති පෙරමුන ද විය. මේ සියලු සංවිධාන අනුගමනය කරන්නේ, ජාතිකවාදී හා ධනේශ්වර ගැති පිලිවෙත්ය.

අවිශිබම කැඳවුම්කරු වීරසේකර මාධ්‍යට පැවසුවේ, සහභාගී වන කන්ඩායම් ජනතාව නියෝජනය කරන බව ය. “අප සියලු දෙනා කියා සිටින්නේ සමාජ අයිතීන් වන අධ්‍යාපනය හා සෞඛ්‍යය විකුනා නොදමන ලෙසයි. අප සියලු දෙනා ජනාධිපතිට පවසා ඇත්තේ, එකම විසඳුම සයිටම් අහෝසි කිරීම හෝ එය රජයට පවරා ගැනීම බවයි. එහෙත් කිසිදු විසඳුමක් ලැබී නැත.”

වීරසේකරගේ ප‍්‍රකාශයන්ට විපරීතව ව්‍යාජ වාම කන්ඩායම් ඉදිරිපත්ව සිටින්නේ, සිසුන් හා වෛද්‍යවරුන් දේශපාලනිකව නොමඟ යැවීම පිනිස අවිශිබමට හා වෛද්‍ය සංගමයට ආධාර කිරීම පිනිසය. ඔවුන් උත්සාහ කරන්නේ, ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ, සිසුන්ගේ හා තරුනයින්ගේ එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීමට හා ජාත්‍යන්තර, සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීම වැලැක්වීමටය. මේ කන්ඩායම් සියල්ලෝම, එක් හෝ තවත් ආකාරයකින් සිරිසේන බලයට පත් කිරීමට පිටුබලය දුන්හ. ඒ ඔහු ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරනු ඇති බවත්, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් නගාසිටුවනු ඇති බවත් පවසමිනි.

පසුගිය සතියේ පොලොන්නරුවේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපති සිරිසේන යලි අවධාරනය කලේ, ආන්ඩුවේ මහ ව්‍යාපාරික ගැති වැඩපිලිවෙලයි. ආන්ඩුවට එරෙහි “කුමන්ත‍්‍රන” ගැන සිසුන්ට දොස් පැවරිය නොහැකි නමුත් “විශ්වවිද්‍යාල තුල පවතින අශිෂ්ට දේශපාලන වාතාවරනය” ඔවුන්ට බලපාන බව ඔහු පැවසීය. විභාග සමත් වන සිසුන් දහස් ගනනක් ඇතුලත්කර ගැනීම පිනිස පෞද්ගලික විශ්වවිද්‍යාල අත්‍යවශ්‍ය යයි ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කී කතාවලට සමානව සිරිසේන කරන ප‍්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ, අවිශිබම හා වෛද්‍ය සංගමය ආන්ඩුවට කරන ආයාචනවල බංකොලොත් කමයි. දෙගොල්ලන්ම උත්සාහ කරන්නේ ධනපති ක‍්‍රමය තුලින් විසඳුම් සෙවීමටයි. සයිටම් පවරා ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආන්ඩුවේ සමස්ත පුද්ගලීකරන වැඩසටහනට සහාය දෙයි.

අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ පහසුකම් වලට පහර දීම සඳහා ආන්ඩුව තල්ලු කෙරෙන්නේ , ධනපති ක‍්‍රමයේ උත්සන්න වන අර්බුදයෙනි. එය අර්බුදයේ ගිලී සිටින පාලක පන්ති සෑම රටකම වැඩකරන ජනතාවගේ අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, සිසුන්ට හා වෛද්‍යවරුන්ට අවධාරනයෙන් කියා සිටින්නේ, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යයට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර පරාජය කිරීම සඳහා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය වෙත හැරෙමින් සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට සමත් කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටනට බලමුලු ගැන්වන ලෙසයි.

මේ සතියේ සිසුන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරය ද වැඩවර්ජිත වෛද්‍යවරුන්ට එරෙහිව උග‍්‍ර කෙරෙන තර්ජන ද හමුවේ මතු කෙරෙන්නේ, මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීමේ හදිසි භාවයයි.

ශ්‍රී ලංකාව තුල පන්ති අරගල රැල්ලක්: තම අයිතීන් රැක ගැනීමට කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වැදිය යුතුය

හම්බන්තොට ප‍්‍රහාරය: කම්කරු-පීඩිත ජනතාවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමක්

Share this article: