වටවල වතු සමාගම කම්කරුවන් “කොන්ත‍්‍රාත් කරුවන්” මට්ටමට පිරි හෙලයි

එම්. දේවරාජා විසිනි, 2017 ජුනි 22

ලංකාවේ ප‍්‍රධාන වතු සමාගමක් වන වටවල වතු සමාගම, ඊට අයත් ලොනාච් තේ වත්ත කැබලිවලට කඩා, එය කිරි ආහාර නිෂ්පාදන ගොවිපලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගනිමින් සිටියි. ඒ අනුව, වටවල වතු සමාගම අයත් අලුත් අංශයක් ලෙස අරඹා ඇති ආයෝජන මන්ඩලය මගින් අනුමත සීමාසහිත වටවල කිරි ආහාර නිෂ්පාදන සමාගම යටතේ ලොනාච් වත්ත කම්කරුවන් ලියාපදිංචි කිරීමට කලමනාකරනය විසින් පසුගිය මාර්තුවේ සිට පියවර ගනිමින් සිටියි.

හෙක්ටයාර් 60ක් වන ලොනාච් වත්තේ දැනට සේවයේ නිරත කම්කරුවෝ 250 දෙනෙක් රැකියා අහිමිවීමේ තර්ජනයට මුහුන පා සිටිති. වත්තේ අත්හැර දමන ලද කොටස තුල තනකොල වැවීම සඳහා සමාගම දැනට මත් එම කොටස සුද්ද බුද්ද කරමින් සිටී. හෙක්ටාරයක තනකොල වැවීම සඳහා රුපියල් 35,000 ක් (ඇමරිකානු ඩොලර් 233ක්) කම්කරුවෙකුට ගෙවන සමාගම, කපන තන කොල කිලෝ එකකට රුපියල් පහක් ගෙවීමට යයි.

මේ අනුව කම්කරුවන් කිරි ආහාර නිෂ්පාදන ගොවිපලකට තන කොල සපයන්නන් බවට පරිවර්තනය කෙරෙයි. ඔවුන්ට කරන ගෙවීම් තීන්දු වනු ඇත්තේ ලාභ උපරිම කර ගැනීමට හඹා යන මහ ව්‍යාපාරිකයේ තරඟයෙනි. කම්කරුවන් “කොන්ත‍්‍රාත් කරුවන්” බවට පත් කිරීමෙන් අතීත අරගල වලින් දිනාගත් අවම මට්ටමක පවතින නිවාස, වෛද්‍ය හා අධ්‍යාපන පහසුකම් සහ විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් ද ඔවුන්ට අහිමි වනු ඇත. ඩහදිය හෙලන මෙම “කොන්ත‍්‍රාත් කරුවන්ට” කිසිදු වන්දි ගෙවීමකින් තොර ව ඔවුන්ගේ “කොන්ත්රාත්තුව” ඕනෑම අවස්ථාවක අවසන් කිරීමට සමාගමට මෙනයින් ඉඩ ලැබෙයි.

බරපතල අර්බුදයක් මධ්‍යයේ, ඇතැම් වතු කඩා බිඳ දමා වෙනත් කර්මාන්ත ඇරඹීම ආන්ඩුවේ ද පිටුබලය ඇති ව වතු සමාගම් විසින් ඉදිරියට දමනු ලබන “විසඳුම” බවට පත් ව ඇත. කම්කරුවන් මතට මෙම මූලික ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා වතු වෘත්තීය සමිති සමාගම්වලට සහයෝගය දෙමින් සිටිති.

මැද පෙරදිග භූ-දේශපාලනික ආතතීන් තියනු වීම හා රුසියාවේ ආර්ථික වැටීම හේතුවෙන් ද තීව‍්‍ර වන ජාත්‍යන්තර තරඟකාරීත්වය නිසා ද පාරිභෝගික ඉල්ලුම වැටී යන තතු තුල තේ වතු සමාගම් අර්බුදයක ගිලී පවතී. මැද පෙරදිග හා රුසියාව, ලංකාවේ තේ නිෂ්පාදනයන්ගේ ප‍්‍රධාන වෙලඳපොලවල් අතරට අයත් වේ. තේ වතු ලාභ උපදවන ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමේ වියරු උවමනාව ඉටුකර ගන්නට සමාගම් පියවර ගන්නේ කම්කරුවන්ගේ රැකියා අයිතීන්ට පහර දීම මගිනි.

වතු සමාගම්, ආන්ඩුව හා ධනපති මාධ්‍ය අර්බුදයට හේතුව “දැරිය නො හැකි ශ‍්‍රම පිරිවැය” බව කියා සිටිති. “සමහරවිට වතුකම්කරුවන්ගේ ඡන්දය ඉලක්ක කරගෙන කෙරෙන රාජ්‍ය මැදිහත් වීම මගින් නඩත්තු කරගත නො හැකි මට්ටම්වලට වැටුප් ඉහල දමා තිබේ. වැටුප්, නිෂ්පාදන ඵලදායිතාවට ගැටගැසිය යුතු ය යන කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට අවධානයක් ලැබී නැත” යි දි අයිලන්ඩ් ජුනි 11දා කතුවැකියේ ලියා ඇත. එහෙත් සබෑ තත්වය නම් වතුකම්කරුවන්ගේ වැටුප් පවුලට අවශ්‍ය වන ආහාර සපයාගැනීමට වත් ප‍්‍රමානවත් නො වන්නේ ය යන්න යි.

මෑත මාස කිහිපය තුල අගමැති රනිල් වික‍්‍රමසිංහ වතු සඳහා “අලුත් මොඩලයක්” යෝජනා කරමින් සිටී. “අලාභ සහිත” වතු සමාගම්වලට වෙනත් අංශවල ආයෝජනය කර ලාභ උපදවා ගන්නා ලෙස ඔහු උපදෙස් දී ඇත. මෙම වතුවලින් දොට්ට දැමෙන කම්කරුවන්ට ආන්ඩුව උදව් කරන බව වික‍්‍රමසිංහ කීවේ ය. එහෙත් ලොනාච් වත්තේ කම්කරුවන්ට කිසිදු අධාරයක් දෙන බවට සේයාවක් වත් නැත. ඇත්තෙන්ම, වික‍්‍රමසිංහ කර ඇත්තේ අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා සමාගම් දිරිමත් කිරීමයි.

ලොනාච් වත්තේ කම්කරුවෝ මාර්තු 22 හා 23 දිනවල මෙම ගොවිපොල සැලසුමට විරුද්ධ ව වැඩවර්ජනයක් හා පිකට් කිරීමක් දියත් කලහ. හැටන්හි සහකාර කම්කරු කොමසාරිස් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරු ව, සමගම වෘත්තීය සමිතිවල සහයෝගය ලබාගැනීමේ අටියෙන් එම සැලසුම තාවකාලික ව කල්දැමුවේය.

වැඩ වර්ජනයෙන් පසුව වෘත්තීය සමිති වෙත ලිපියක් යැවූ වටවල වතු සමාගම ලොනාච් වත්ත දිගට ම පවත්වාගෙන යාමේ අපහසුතාව නිසා, එය යලි සක්‍රීය තත්ත්වයට ගැනීම සඳහා කිරි අහාර නිෂ්පදාන ගොවිපොල ව්‍යාපෘතියක් තමන් යෝජනා කර ඇති බව යි.

ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) හා ශ්‍රී ලංකා වතුකම්කරු සමිතිය (එස්පීඩබ්ලිව්යූ) යන වෘත්තීය සමිති ලොනාච් වත්ත තුල ක්‍රියාකාරී වේ. එන්යූඩබ්ලිව් හා යූපීඑෆ් නායකයන් වන පී. දිගම්බරම් හා ආර්. රාධාක්‍රිෂ්නන් කොලඹ ආන්ඩුවේ ඇමතිවරු වෙති. එස්පීඩබ්ලිව්යූහි නායකත්වය දරන්නේ පාලක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු වන කේ. පියදාස ය.

වටවල වතු සමාගමේ මව් සමාගම වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම, සිංගප්පූරු ආයෝජන සංගතයක් වන ඩක්ස්ටන් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සමග එකතු වී, කිරි ආහාර නිෂ්පාදන ගොවිපොල ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියක 11.5ක් ආයෝජනය කිරීම අරඹා ඇත. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහයේ කලමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි ප‍්‍රකාශ කරන පරිදි, තේ වැවීම තවදුරටත් ලාභදායී නොවන තතු යටතේ.

ආනයනය කරනු ලබන වැස්සියන් හා ක්ෂේත‍්‍රයේ වෙලඳපොල නිපුනත්වය යොදාගන්නා මෙම ආයෝජනයෙන් සියයට 17ක පිරිවැටුමක් අපේක්ෂා කෙරේ.

දැනට මත් නවසීලන්තයෙන් කිරිදෙනුන් 400ක් මිල දී ගෙන ඇති ගොවිපොල කිරිදෙන ගවයින් 1,000ක් පමනක් දක්වා ආනයනය කරනු ඇත්තේ වසර අවසානය වනවිට කිරි ලීටර් 30,000ක් පමන නිෂ්පාදනය කිරීමේ අරමුනෙනි.

සමාගම අනෙක් අතින් සැලසුම් කරමින් සිටින්නේ, පරම්පරා කිහිපයක් තිස්සේ ලොනාච් වත්තේ ජීවත්වන කම්කරුවන් ඉන් එලවා දැමීමට යි. සමාගමට අයත් තවත් වත්තක් වන දික්ඔය ප‍්‍රදේශයේ පිහිටි තරවල වත්තේ නිවාස 100ක් ඉදිකරමින් සිටින්නේ ලෙනාච් කම්කරුවන් සඳහා යයි කියමිනි. එම වත්ත පිහිටා ඇත්තේ ලොනාච් වත්තේ සිට කිලෝ මීටර් 18ක් පමන දුරිනි.

මේ අතර තේ වතු වල අඳේ ක‍්‍රමය ක‍්‍රියාවට දැමීම ද සමාගම් විසින් කඩිනම් කර ඇත. දැනටමත් කැලනිවැලි වතු සමාගමට අයත් මතුරට මහ ඌව වත්ත සහ බත්තල්ගල්ල වත්තේ කොටසක ආදායම් බෙදා ගැනීමේ අඳේ ක‍්‍රම ක්‍රියාත්මක ක‍්‍රියාවට දමා ඇත. (බලන්න: සමාගම්වල කප්පාදුව පිලිගන්නා ලෙස වතු සමිති කම්කරුවන්ට බල කරයි)

වතු සමාගම්, වැටුප් කම්කරු ක‍්‍රමය අහෝසි කොට, කම්කරුවන් අස්වැන්නට ගැටගැසූ අඳේ කරුවන් බවට පරිවර්තනය කිරීම හා කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමය ක‍්‍රියාවට දැමීම සමස්ත කම්කරු පන්තියේ ම අයිතිවාසිකම් මත එල්ල කරන පුලුල් ප‍්‍රහාරයක කොටසකි. මහ ව්‍යාපාරිකයේ හා ජාත්‍යන්තර ආයෝජකයන්ගේ උවමනාවන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවා සිටින ආර්ථිකය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ වැඩකටයුතු තීව‍්‍ර කිරීමට ආන්ඩුව ක‍්‍රියා කරයි.

ලොනාච් වත්තේ කම්කරුවන් කිහිප දෙනෙක් තමන්ගේ ජීවන කොන්දේසි හා වර්තමානයේ මුහුන දෙන තර්ජනය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල හ.

“අපේ පඩිය මූලික දේවල් සපුරාගන්න වත් මදියි. අපි මුහුන දෙන තත්ත්වය හරි භයානක යි. සමාගමේ අලුත් සැලැස්මෙ හැටියට අපේ වත්තේ ඉඳල කිලෝමීටර 15ක් විතර තියන තරවල වත්තට යන්න කියල අපිට දැනුම් දුන්න. අපි ඒක ප‍්‍රතික්ෂේප කෙරුව. සීමිත විදිහට හරි අපි බුක්ති විඳපු ඔක්කොම අයිතිවාසිකම් අයින් කරල දාන්න වතු සමාගම් වලිකනව. වෘත්තීය සමිති අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිම අරගලයක් කරන්නෙ නැහැ” යයි ලොනාච් වත්තේ කම්කරුවෙක් කීවේ ය.

“මම අවුරුදු හතක් තිස්සෙ මේ වත්තේ දරාගන්න බැරි කොන්දේසි යටතෙ වැඩකරනව. දැන් වත්තෙන් අයින් වෙලා පුද්ගලික මේසන් වැඩයි කරන්නෙ. වත්තෙ පඩිය කෑම ටිකට වත් මදි. අපේ ලමයින්ට ඉගැන්නිල්ලක් ගැන අපිට හිතන්නවත් බැහැ. අපි ජීවත් වෙන්නෙ බොහෝ දුර බැහැර තැනක. වටවල නගරයට අපේ වත්තෙ ඉඳන් කිලෝ මීටර 7ක් තියෙනව. හරිහමන් ප‍්‍රවාහන පහසුකමක් වත් නැහැ, පාරවල් සම්පූර්නයෙන් කැඩිල. ආන්ඩුවෙන් අපිට ප‍්‍රවාහන පහසුකම් දෙන්නෙත් නැහැ, ප‍්‍රයිවට් බස් දෙකක් වැඩකරනව. ඒකත් දවසට දෙපාරක් විතරක් අපේ වත්තෙ ඉඳල කිලෝ මීටර 15ක් එහායින් තියන හැටන් ටවුන් එකට යන්නෙ. යන්නයි එන්නයි රුපියල් 100ක් ඕන. ඇති තරම් සෙනග නැත්නම් බස් එක දුවන එක නවත්තනව” යයි ලොනාච් වත්තේ තවත් කම්කරුවෙක් සඳහන් කලේය.

“අපේ වත්තෙ ඉස්කෝලෙ පන්ති තියෙන්නෙ 9ට යනකන් විතරයි. තව ඉහලට ඉගනගන්න ඕන නම් වටවලට හරි හැටන් හරි යන්න ඕන. අපේ වත්තෙ ඉස්පිරිතාලෙත් වහල දාල තියෙන්නෙ. වටවල ඉස්පිරිතාලෙට ලෙඩෙක් අරන් යන්න ත්‍රී-වීලර් එකකට රුපියල් 300ක් යනව. වත්තෙ තේ ෆැක්ටරියත් වහල දැම්ම. දැන් කලමනාකාරයො ලෑස්ති වෙන්නෙ අපිට හම්බ වෙන වතුර ටිකත් කප්පාදු කරල ගොවිපලටයි ඒකෙ මැනේජර්ගෙ බංගලාවටයි හරවන්න”.

වත්තේ වැඩකර විශ‍්‍රාම ගිය කම්කරුවෙක් ද කරුනු දැක්වීය: “ගොවිපලට ඕන ලොකු බිල්ඩිමකුයි, ලොකු පාරවලුයි, මැනේජර්ගෙ බංගලාවයි, අනෙකුත් ඕන කරන දේවලුයි දැන් හදාගෙන යනව. මේ වෙනකොට අපේ වතුර ටිකත් නවත්තල ගොවිපල පැත්තට හරවල. අවුරුදු 100කට වැඩි කාලයක් කම්කරුවො මේකෙ අන්තිම අමාරු කොන්දේසි යටතේ ජීවත් වෙනව. ඒත් දැන් වෙනරටවල්වලට යවන ගොවිපල නිෂ්පාදන හදන්න අලුත් ම පහසුකම් ඔක්කොම දෙනව.

“ඒගොල්ලො ලෑස්ති වෙන්නෙ තේ වැවිල්ල නවත්තල කම්කරුවන් ව වත්තෙන් එලවන්න. මේ සැලැස්මට වතුවල වෘත්තීය සමිතිත් විරුද්ධ නැහැ. කවදාවත් කම්කරුවන්ට කිසිම දෙයක් දුන්නෙ නැති සමිති නායකයො ආන්ඩුවෙ ඇමතිකම් අරන් ඉන්න හින්ද ආන්ඩුවෙ සැලැස්මට වැඩකරනව.”

Share this article: