මහනුවර පැවැත්වූ Tsar to Lenin(සාර් ටු ලෙනින්) සිනමා දැක්මට සහ සාකච්ඡාවට උද්‍යෝගිමත් සහභාගිත්වයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූනි

සාර් ටු ලෙනින් වාර්තා චිත‍්‍රපටයේ වීඩියෝ පටය නිකුත් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද හැඳින්වීමේ සටහන මුද්‍රනය කර පිටපත් දහසක් පමන බෙදා හරිමින් , චිත‍්‍රපට දැක්මට පෙර සතියේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇතුලු මහනුවර විවිධ ප‍්‍රදේශ වල, සසප සහ සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂනයේ යෙදුනාහ.

ඛනිජ‍ තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ අවධානය

රුසියානු විප්ලවයේ ශත සංවත්සරය වෙනුවෙන්, පසුගිය මැයි 25 වන දා මහනුවර තැපැල් කාර්යාලයීය ශ‍්‍රවනාගාරයේදී සාර් ටු ලෙනින් (Tsar to Lenin) වාර්තා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කෙරුනි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලද මෙම චිත‍්‍රපට දැක්මට සහ ඉන් අනතුරුව ඒ පිලිබඳව පැවැත්වූ සාකච්ඡාවට විවිධ ප‍්‍රදේශවලින් පැමිනි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ වෘත්තිකයන් ඇතුලූ 80 ක් පමන දෙනා ඉතා උද්‍යෝගයෙන් සහභාගි වූහ.

උද්ඝෝෂනය තුල දී සිසුන් සහ තරුනයන් මෙන්ම කම්කරුවන් ද රුසියානු විප්ලවයේ අත්දැකීම් සාකච්ඡා කිරීමට උනන්දුවක් දැක්වීය. ඔවුන් විසින් මතුකල, රුසියානු විප්ලවය පරාජයට පත් කලේ කෙසේ ද?, වර්තමානයට එහි අත්දැකීම් අදාල වන්නේ කවරාකාරයෙන් ද? වැනි ප‍්‍රශ්න සසප සහ සසජාතශි සාමාජිකයෝ පුලුල් ලෙස සාකච්ඡා කලහ.

විශේෂයෙන්ම වර්තමානයේදී ලෝක පරිමානව මතුවී පවත්නා තෙවන ලෝක යුද්ධයක් පිලිබඳ තර්ජනය සහ රටක් රටක් පාසා ආන්ඩු විසින් කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත මහජනතාවගේ සමාජමය සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කරමින් පවත්නා සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාරය සාකච්ඡාවන් හි කේන්ද්‍රීය ප‍්‍රස්තූතයක් විය. රුසියානු විප්ලවය යනු 1914 හි ආරම්භ වූ පලමු ලෝක යුද්ධයට සහ සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු පන්තිය දුන් පිලිතුර බව උද්ඝෝෂකයන් පෙන්වා දුනි.

ඉන්දියාවේ මරුති සුසුකි කම්හලේ කම්කරුවන් 13 දෙනෙකු බොරු චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරෙහිව ලෝසවෙඅ කේන්ද්‍ර කර ගනිමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන යන උද්ඝෝෂනය පිලිබඳව ද මෙම උද්ඝෝෂනයේ දී සාකච්ඡා කෙරුනු අතර, ඉන්දියානු කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ඔන්ලයින් පෙත්සමට සිසුහු අත්සන් තැබූහ.

ජීවන කොන්දේසි සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සම්බන්ධයෙන් ගත් කල ඉන්දියානු කම්කරුවන් මුහුන දෙන තත්වය ශී‍්‍ර ලංකාවද ඇතලු ලොවපුරා කම්කරුවන් මුහුන දෙන තත්වය ම බැව් සාකච්ඡාවන්ට සහභාගි වූ බොහෝ සිසුන් ප‍්‍රකාශ කල අතර යුද්ධයට සහ සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව ලෝක සමාජවාදය මත පාදක වූ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක දැවෙන අවශ්‍යතාව සසප සහ සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

චිත‍්‍රපට දැක්මට පැමින සිටි අය පිලිගනිමින් කථාකල සසප දේශපාලන කමිටු සාමාජික ආනන්ද දවුලගල, “රුසියානු විප්ලවයේ ශත සංවත්සරය මුල්කරගෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දියත්කොට තිබෙන පුලුල් ජාත්‍යන්තර වැඩසටහනක කොටසක් ලෙස මෙම චිත‍්‍රපට දර්ශනය හා සාකච්ඡාව සංවිධානය කල” බව පැවසීය.

චිත‍්‍රපටයේ ඓතිහාසික වැදගත්කම පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසීය: “මෙම චිත‍්‍රපටය ප‍්‍රථම වරට එලිදැක්වුනේ 1937 දී. මෙය සිද්ධීන් ප‍්‍රතිනිර්මානය කොට නිපදවන ලද්දක් නොවෙයි. ආශ්චර්යය වන්නේ මෙහි එන සියලුම සිද්ධීන්, සැබැවින්ම සිදුවද්දී චිත‍්‍රපට ගතකර තිබීමයි.

“ප‍්‍රථම දර්ශනයෙන් වසර අසූවකට පසුව පවා, එහි වැදගත් කම කවර අයුරකින් හෝ අඩුවෙලා නෑ. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග මුදා හැරුනු ඓතිහාසික මුසාකරනයේ රැල්ල ට එරෙහිව මෙම චිත‍්‍රපටය සෝවියට් සංගමය පිලිබඳව, විශේෂයෙන්ම ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ඓතිහාසික සත්‍යය බලගතු ලෙස රැගෙන එනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඬේවිඞ් නෝර්ත් සහෝදරයා සටහන් කල පරිදි, ධනවාදයේ ගෝලීය අර්බුදයේ නව කාලපරිච්ඡේදයක දී ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම විප්ලවවාදී ව්‍යාපාරයට ආවේශය සැපයූ සමාජවාදී පරමාදර්ශයන්ගේ ඓතිහාසික මොහොතකට සාර් ටු ලෙනින් සාක්ෂි දරනවා”

අනතුරුව, සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන විසින් චිත‍්‍රපටයේ නිශ්පාදන පසුබිම සහ චිත‍්‍රපටයට පසුබිම් වන රුසියානු විප්ලවයේ සංකීර්න අවස්ථා පිලිබඳ පැහැදිලි කිරීමක් කරන ලදී.

සාකච්ඡාව සහ ප‍්‍රශ්න වලට පිලිතුරු

රුසියානු විප්ලවයේ නාටකීය ගුනය හා කරුනා රසය මෙන්ම එහි මනෝභාවයන් හා මානුෂීයත්වය අත්‍යසාමාන්‍ය ලෙස කැටිකරගත් චිත‍්‍රපටය පැයකුත් මිනිත්තු කීපයක් ගලා යාමෙන් පසු ඇරැඹුනු සාකච්ඡාවේදී, “සෝවියට් සංගමය බිඳ වැටුනේ ඇයිද?” සහ “ශී‍්‍ර ලංකාව තුල බොල්ශේවික් වර්ගයේ පක්ෂයක් බිහි නොවුනේ මන්ද?” ඇතුලු වැදගත් ප‍්‍රශ්න කීපයක් මතු කෙරුනි.

පලමු ප‍්‍රශ්නයට පිලිතුරුදීම අරඹමින් පානි විජේසිරිවර්ධන මෙසේ පැවසීය:

“සම්භාව්‍ය මාක්ස්වාදීන් සහ අප ව්‍යාපාරය දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි, අධිරාජ්‍යවාදී යුද්ධය සහ සමාජ ප‍්‍රතිවිප්ලවය යනු ගෝලීය නිශ්පාදන ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිශ්පාදනයේ සාමාජයීයකරනය සහ නිශ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියත් අතර පවත්නා ඓතිහාසික පරස්පර විරෝධයට ලෝක ධනේශ්වරයේ ප‍්‍රතිචාරයයි. මෙම ඓතිහාසික පරස්පර විරෝධය විසඳිය හැක්කේ, ජාතික රාජ්‍ය පද්ධතිය, පුද්ගලික දේපොල අයිතිය සහ ලාභය සඳහා කෙරෙන ධනේශ්වර නිශ්පාදන ක‍්‍රමය ලෝක පරිමානව අහෝසි කිරීමෙන් පමනයි. එනම්, මානව අවශ්‍යතාව මත පාදක වූ ලෝක සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ස්ථාපනය කිරීමෙන් පමනයි. මාක්ස් සහ එංගල්ස්ගේ සිට සියලු සම්භාව්‍ය මාක්ස්වාදීන් දැරූ අදහස එයයි. ඔක්තෝබර් විප්ලවය වනාහි, කම්කරු පන්තිය ලෝක සමාජවාදී නිශ්පාදන ආර්ථිකයක් සඳහා වන තම ගමන සඳහා තැබූ ප‍්‍රථම පියවර මිස හුදෙක් රුසියානු සමාජවාදයක් සඳහා තැබූ පියවරක් නොවේ.”

පසුගාමී රටක් වූ රුසියාවේ සිදු වූ කම්කරු පන්තික විප්ලවය ආරක්ෂා වනුයේ සහ රඳා පවතිනුයේ ජාත්‍යන්තර කම්කරු පන්තික විප්ලවයන්ගේ ජයග‍්‍රහනය මත බැව් ලෙනින් සහ ට්‍රොට්ස්කි නැවත නැවතත් පෙන්වා දුන් බවත්, විශේෂයෙන්ම ජර්මානු විප්ලවයේ ජයග‍්‍රහනය එහි පැවැත්මට අති මූලික රුකුලක් වන බව ඔවුන් විශ්වාස කල බවත් විජේසිරිවර්ධන පෙන්වා දුනි. “කෙසේ නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ පාවාදීමි මෙන්ම, ජෝසෆ් ස්ටාලින් සහ එවකට තුන්වන ජාත්‍යන්තරයේ නායකයෙකුව සිටි කාල් රඩෙක් ගේ ‘මගපෙන්වීම්’ වලින් අවමංගත කෙරුනු ලදරු ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ ද්‍රෝහී කි‍්‍රයාකලාපය හේතුවෙන් 1923 ජර්මානු විප්ලවයන් පරාජයට පත් වුනා. සිවිල් යුද්ධයකට සහ සුවිසල් දරිද්‍රතාවයකට මුහුන දුන් ලදරු සමාජවාදී රාජ්‍යය හුදෙකලාව ගැඹුරු අර්බුදයකට මුහුන දුන්නා.”

සිවිල් යුද්ධය මධ්‍යයේ රතු හමුදාවේ සිටි පන් ලක්ෂයක් වන කොමියුනිස්ට්වරුන්ගෙන් දෙලක්ෂයක් මියගිය බවත් ඔවුන් අතිශයින්ම පන්ත විඤ්ඤානක කම්කරුවන් වූ බවද විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. “1919 දී ලත් යුද ජයග‍්‍රහනයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයට නව සාමාජිකයන් ලක්ෂ ගනනින් ගලා ආවා. මේ නවක සාමාජිකයන්ගේ දේශපාලන මට්ටම, අහිමි වූ අයගේ මට්ටමට වඩා බෙහෙවින් පහත්. ඒ සමගම පක්ෂයේ සමාජ සංයුතිය මූලික වෙනසකට බඳුන් වුනා. පහල මධ්‍යම පන්තික කොටස් පක්ෂ සහ රාජ්‍ය කටයුතුවල වැදගත් තැන් අත්කර ගෙන තිබුනා.”

ආර්ථික ව්‍යසනය ද ඉහවහාගිය දුප්පත්කම නිසා ද පුද්ගලික සුරක්ෂිතභාවය පිලිබඳ අදහසක් රාජ්‍යයේ සහ පක්ෂයේ ආයතන තුල වැඞී ගිය බවත් වැඩපොලේ භෝජනාගාරයෙන් දිනකට නොමිලේ ආහාර වේලක් ලබා ගැනීමත් සුවිසල් වරප‍්‍රසාදයක් බවට පත් වූ බවත් විජේසිරිවර්ධන පෙන්වා දුනි. “කුඩා නමුත් සුවිශේෂී සමාජ අවශ්‍යතා සමග නිලධාරිවාදී කුලයක් ගොඩ නැගෙමින් පැවතියා. 1923 ජර්මානු විප්ලවයේ පරාජයත් සමග, ‘ජාතික සමාජවදී’ ආර්ථිකයක වර්ධනයට තම ද්‍රව්‍යමය අනන්‍යතා ගැටගැසී ඇතිබව වඩවඩාත් අවබෝධකර ගනිමින් සිටි මෙම නිලධාරිවාදී කුලය, තම අවශ්‍යතා නියෝජනය කෙරෙන දේශපාලනික සහ ආර්ථික වැඩපිලිවෙල ලෙස ‘තනිරටේ සමාජවාදය’ සූත‍්‍රගත කොට ඉදිරිපත් කලා. ස්ටැලින් සහ බුකාරින් ඉදිරිපත් කල මෙම න්‍යාය තමයි ස්ටැලින්වාදය ලෙස අප විසින් මූලිකව හඳුන් වන්නේ. මෙය මාක්ස්වාදයට මුලුමනින්ම හතුරු න්‍යායක්.”

නැගී එන නිලධාරිවාදයට එරෙහිව ලෙනින් සහ ට්‍රොට්ස්කි ආරම්භයේ සිට සටන් කල බවත්, 1923 දී ට්‍රොට්ස්කි ගේ නායකත්වයෙන් බොල්ශෙවික් පක්ෂය තුල වාම-විපාර්ශ්වය පිහිටුවා ගැනුනේ මෙම නිලධාරිවාදයට එරෙහිව නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදය ආරක්ෂා කිරීමට බවත් විජේසිරිවර්ධන පෙන්වා දුනි. 1927 දී ට්‍රොට්ස්කි පක්ෂයෙන් පලවා හැරීම සහ 1929 දී ඔහු රටින් පිටුවහල් කිරීමට අමතරව ඔහු අනුගමනය කල දහස් ගනනක් බොල්ශෙවිකයන් ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය විසින් ඝාතනය කල අයුරු විජේසිරිවර්ධන විස්තර කලේය. “සෝවියට් සංගමය තුල කම්කරු පන්තිය නැගී සිට, නිලධාරි තන්ත‍්‍රය විසින් පැහැරගත් බලය, දේශපාලන විප්ලවයක් මගින් නැවත තම අතට ගතයුතු බව පෙන්වා දෙමින් ට්‍රොට්ස්කි නොකඩවා අරගලයේ යෙදුනා. ට්‍රොට්ස්කි විසින් යෝජනා කල දේශපාලන විප්ලවයට ජාත්‍යන්තර කම්කරු පන්තික විප්ලවයන් මගින් ලබාදෙන දැවැන්ත තල්ලුව පිලිබඳව උත්සුක වූ ස්ටැලින්, එක් එක් රටෙහි වූ තුන්වන ජාත්‍යන්තරයේ පක්ෂ ශාඛා ප‍්‍රගාඪ පරාජයන්ට යොමු කලා. 1926 බි‍්‍රතාන්‍යයේ, 1927 චීනයේ, 1933 ජර්මනියේ සහ 1936-37 ස්පාඤ්ඤයේ සිදුවූ පරාජයන්ට සෘජුවම වගකිව යුත්තේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයයි. ස්ටැලින්වාදය යටතේ මෙහෙයවුනු තුන්වන ජාත්‍යන්තරයේ අඛන්ඩ පාවාදීම් සහ ද්‍රෝහිත්වයන් හමුවේ ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ නව ජාත්‍යන්තරයක අවශ්‍යතාව පහදා දෙමින් 1938දී ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය ආරම්භ කලා.”

ඇවිලීමට ආසන්නව තිබූ ලෝක යුද්ධය වැලැක්වීම සඳහා හතරවන ජාත්‍යන්තරය විසින් ඉදිරිපත්කල, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැඩපිලිවෙල ට මුලුමනින්ම සතුරුව කි‍්‍රයා කල ස්ටැලින්වාදීන් සහ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අධිරාජ්‍යවාදීන් සමග සම්මුතීන්ට ගිය ආකාරය විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය: “මේ පාවාදීම් සහ ද්‍රෝහීකම්වල ප‍්‍රතිඵලයක් ලෙස 1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය ඇවිලුනා. ඉන් මාස ගනනකට පසු, එනම් 1939 අගෝස්තු 21 වන දා, ස්ටැලින් තම ඒජන්තයෙකු ලවා ට්‍රොට්ස්කි මරා දමනු ලැබුවා. එවකට ට්‍රොට්ස්කි සිටියේ මෙක්සිකෝවේ. වසර හයක් පුරා ඇදී ගිය රුදුරු යුද්ධයෙන් මිලියන 60 ක මිනිස් ජීවිත බිලි ගත්තා. අවසානයේදී එක්සත් ජනපදය ප‍්‍රමුඛ වී අටවන ලද පශ්චාත් යුද කාලීන ලෝක ධනේශ්වර පර්යායේ අති මූලික කුලුනක් වූයේ රුසියානු ස්ටැලින්වාදී තන්ත‍්‍රයයි.”

1980 ගනන්වල ඇරැඹි, නිශ්පාදනයේ භූගෝලීකරන කි‍්‍රයාවලියත් සමග සියලු ජාතිකවාදී ආර්ථික පිලිවෙත් අර්බුදයට ගිය බවත්, ඉන් වඩාත්ම දරුනු ප‍්‍රතිවිපාක වින්දේ “තනිරටේ සමාජවාදය” මත පදනම් වූ සෝවියට් සංගමය බවත් විජේසිරිවර්ධන පෙන්වා දුනි. “සෝවියට් සංගමය බිඳ වැටුනේ මාක්ස්වාදයේ අසමර්ථභාවයක් නිසා නොව, ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය කි‍්‍රයාත්මක කල ප‍්‍රති-මාක්ස්වාදී ‘තනිරටේ සමාජවාදය’ නිසා” යැයි සඳහන් කල මෙම කරුනු වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ට්‍රොට්ස්කි ගේ “පාවාදුන් විප්ලවය” සහ ඬේවිඞ් නෝර්ත් ගේ “නොනිමි විසිවන සියවස” යන ග‍්‍රන්ථ හදාරන ලෙසත්, සසප සහ සසජාතශි ට බැඳී විසිවන සියවසේ මනුෂ්‍ය වර්ගයාට නිම කල නොහැකි වූ කාර්යය, එනම් ලෝක සමාජවාදී විප්ලවය සාක්ෂාත් කිරීම සඳහා උරදෙන ලෙසත් විජේසිරිවර්ධන ඉල්ලා සිටියේය.

“ශී‍්‍ර ලංකාව තුල බොල්ශේවික් වර්ගයේ පක්ෂයක් බිහි නොවුනේ මන්ද?” යන පැනයට පිලිතුරු දෙමින් විජේසිරිවර්ධන මෙසේ පැවසීය: “සැබැවින්ම ශ‍්‍රී ලංකාවේ බෝල්ශේවික් වර්ගයේ පක්ෂයක් පැවතියා. හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උපමහාද්වීප ශාඛාව ලෙස 1942 දී පිහිට වූ ඉන්දීය බොල්ශේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) එම පක්ෂයයි. ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සිටි, පිලිප් ගුනවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුනවර්දන සහ ඩොරික් ද සූසා ඇතුලු ට්‍රොට්ස්කිවාදී කන්ඩායම, ඉන්දියානු ට්‍රොට්ස්කිවාදීන් සමග එක්ව එම පක්ෂය ගොඩ නගනු ලැබුවා. ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩ නැගීම සඳහා එය ඉන්දියාවේ ද ශී‍්‍ර ලංකාවේද කම්කරුවන් අතර බෝල්ශේවික් මූලධර්ම මත සටන් වැදුනා. සැබැවින්ම එය මහජන පක්ෂයක් බවට වර්ධනය වීමේ සෑම ලක්ෂනයක්ම පැවතියා.”

නමුදු, 1940 ගනන්වල අගභාගයේදී බීඑල්පීඅයි ය ජාත්‍යන්තරවාදයේ සිට ජාතිකවාදයට වඩවඩාත් පල්ලම් බහිමින් සිටි බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස 1950 දී එය ජාතිකවාදී ලසසප ය තුල දියකර හැරුනු බවත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. “1950 ගනන් වන විට හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස පැවතියේ ලසසප ය යි. හතරවන ජාත්‍යන්තරය තුල 1950 ගනන්වල මුල් භාගයේ පැන නැගි සංශෝධනවාදී ප‍්‍රවනතාවක් වූ පැබ්ලෝවාදය ට ලසසපය මුලුමනින්ම යටත් වුනා. ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රයන් අධිරාජ්‍යවාදයේ ඒජන්සියන් වෙතැයි ට්‍රොට්ස්කි කල ගුනාංගීකරනයන් සහ විශ්ලේශනයන් ප‍්‍රතික්ෂේප කල පැබ්ලෝවාදීන්, එම නිලධාරි තන්ත‍්‍රයන් අධිරාජ්‍යවාදයට එරෙහිව මානව ප‍්‍රගතිය නියෝජනය කරන්නේය යන සූත‍්‍රය තොරොම්බල් කලා. එම ප‍්‍රති-මාක්ස්වාදී න්‍යායට අනුගත වූ ලසසප ය, ලොවපුරා අනෙකුත් පැබ්ලෝවාදීන් අනුයමින් ශී‍්‍ර ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) සමග දේශපාලනිකව සන්ධාන ගත වුනා. අවසානයේ දී ලසසප ය සහ කොප, ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව මහජන පෙරමුනක්ම අටවා ගනිමින් කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වය පාවාදුන්නා. ටෙ‍්‍රට්ස්කිවාදී යැයි කියාගත් සංවිධානයක් ධනපති පක්ෂයක් සමග සන්ධාන ගත වූ මෙම අවස්ථාව අප විසින් හඳුන්වනු ලබන්නේ ‘මහා පාවාදීම’ ලෙසයි.”

පැබ්ලෝවාදයට එරෙහිව, ට්‍රොට්ස්කිවාදී මූලධර්ම වෙනුවෙන් හතරවන ජාත්‍යන්තරය තුල සටන් වැදි විප්ලවවාදීන් විසින් 1953 දී පිහිටුවාගත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක)යනු මාක්ස්වාදයේ සහ බොල්ශෙවික්වාදයේ අඛන්ඩතාව නියෝජනය කරන එකම ලෝක කම්කරු පන්තික සංවිධානය බැව් විජේසිරිවර්ධන පැවසීය: “සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1968 දී පිහිටුවන ලද්දේ හජාජාක හි ලංකා ශාඛාව ලෙසයි. එදා විකොස මෙන් අද බෝල්ශෙවික්වාදයේ අඛන්ඩතාව නියෝජනය කරන්නේ සසප යි. සසප ට බැඳී එය මහජන විප්ලවවාදී පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට උරදෙන ලෙස මෙහි සිටින සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

සංවාදය අවසානයේදී තම අදහස් ප‍්‍රකාශ කරමින් කැලනිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මෙසේ පැවසීය:

“සැබැවින්ම මෙය බුද්ධිය කලඹන චිත‍්‍රපටයක් සහ සාකච්ඡාවක්. මූලික වශයෙන් අවශ්‍ය වන්නේ දැවැන්ත සෙනගකට ආමන්ත‍්‍රනය කිරීම නොවෙයි. ආමන්ත‍්‍රනය කරන දෙයෙහි බුද්ධිමය ගැඹුරයි. ඉතිහාසය පිලිබඳ, මට තිබූ බොහෝ ව්‍යාකූල තැන් මෙහිදී මට පැහැදිලි කරගන්න හැකිවුනා. මෙවන් වැඩ සටහන් තවතවත් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටින අතරේ ඉදිරියේදී ඔබේ සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට මා සූදානම් බව ප‍්‍රකාශ කරන්න කැමතියි.”

අවසානයේ දී සසප පොත් මේසය වටා රොක් වූ ඔවුහු මාක්ස්වාදී පොත්පත් ද, රුසියානු විප්ලවය අධ්‍යයනය කල යුත්තේ මන් ද? හා රුසියානු විප්ලවයේ ශත සංවත්සරය 1917-2017 යන මැයෙන් ලෝසවෙඅ හි පල කල ඬේවිඞ් නොර්ත්ගේ ලිපි ද ඇතුලත් ගොනුවේ පිටපත් 26 ක් ද මිල දී ගත්හ. මරුති-සුසුකි කම්කරුවන් නිදහස්කර ගැනීමේ පෙත්සමට 30 කට ආසන්න ප‍්‍රමානයක් අත්සන් තැබූහ.

Share this article: