ශ්‍රී ලංකාවේ ආන්ඩුවට සහන සලසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට දෙමල ජාතික සන්ධානය සහයෝගය දෙයි

එස්.ජයන්ත් සහ සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 මාර්තු 24

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) තුල 2015 ඔක්තෝබරයේදී සම්මත කෙරුනු 30-1 යෝජනාව සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට කොලඹ ආන්ඩුවට තවත් අවුරුදු දෙකක කාල අවකාශයක් දෙමින් මෙම මාසයේ ගෙන ඒමට නියමිත “පශ්චාත්-යුද සන්හිඳියාව සහ යුද අපරාධ පිලිබඳ චෝදනාවන්ට වගවීම” පිලිබඳ නව යෝජනාවට දෙමල ජාතික සන්ධානය (දෙජාස) තම එකඟතාවය පලකර ඇත.

යෝජනාවට සහාය දීමට දෙජාස ගත් තීරනයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති ආන්ඩුව ආරක්ෂා කිරීමට එය කැපවී සිටින බව යලිත් තහවුරු කෙරෙයිි. වොෂින්ටනය තම අත යොදා 2015 ජනවාරියේ සිදු කල තන්ත‍්‍ර මාරුවට දෙජාස තම පූර්න සහාය ලබා දුනි.

ශ්‍රී ලංකාවෙි අනුග‍්‍රහය සහිතව එක්සත් ජනපදය විසින් ගෙන එන ලද 30-1 යෝජනාවෙන්, සිවිල් යුද්ධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකාවේ මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ පරීක්ෂා කිරීමේ වගකීම, කොලඹ ආන්ඩුවට ම භාර කෙරුනි. අපරාධකරුවාටම අපරාධ ගැන විමසීමට භාර කිරීමේ මෙම ප‍්‍රතිගාමී යෝජනාවට ද දෙජාස සහයෝගය දුනි.

2015ට පෙර, වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල යුද අපරාධ චෝදනාව යොදා ගත්තේ එවකට පැවති රාජපක්ෂ තන්ත‍්‍රය චීනයෙන් ඈත් කිරීමට බලපෑම් දැමීම සඳහා මිස දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ කවර හෝ කැක්කුමකින් නොවේ.

දෙජාස හි නායක ආර්. සම්බන්දන් ශ්‍රී ලංකා ආන්ඩුවට කාලය ලබා දීම සඳහා එකඟතාවය ප‍්‍රකාශ කරත්ම, ඔහුගේ සන්ධානය තුලම එයට එරෙහි මතභේදයන් මතු විය.

දෙජාස හි පාර්ලිමේන්තු සහ පලාත් සභා මන්ත්‍රීවරු 11 දෙනෙක්, ශ්‍රී ලංකා ආන්ඩුවට “කාලය ලබා නොදිය යුතු” යැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යැවූ අතර දෙජාස හි ප‍්‍රධාන කොටස්කරුවෙක් වන, ඊලම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුන, කාලය ලබා දීම දෙමල ජනතාවගේ අවශ්‍යතාවන්ට සතුරු බව පවසමින්, සන්ධානයේ නායකත්වයට පහර එල්ල කලේය.

කෙසේ වුවද, මෙම මතභේද උපායාත්මක ඒවා මිස, දෙමල පීඩිත ජනතාවගේ සැබෑ අභිලාශයන් සමග සම්බන්ධ ඒවා නොවේ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙනඒම මගින් තම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් හා ජීවන තත්වයන් ආරක්ෂා කරගත හැකි බවට දෙජාස දුන් පොරොන්දුවෙන් රැවටීමට ලක්කරන ලද දෙමල ජනයා අතර, දෙජාස සහ ආන්ඩුව සම්බන්ධයෙන් වැඩෙමින් පවතින විරුද්ධත්වය මෙම මතභේදයන්ට යටින් පවතී. ආන්ඩුවට කාලය ලබා දීම මගින්, දැනටමත් හීන වී තිබෙන මහජන සහයෝගය තවදුරටත් බිඳ වැටීමට ඉඩ ඇති බවට මෙම විරුද්ධ කන්ඩායම් ගනන් බලයි.

මෙම තතු තුල, සන්ධානයේ නායකයන් අතර සම්මුතියක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස, සම්බන්දන් විසින් පසුගිය මාර්තු 11 දා වවුනියාවේ දී, පක්ෂයේ පාර්ලිමේන්තු සහ පලාත් සභා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් කැඳවන ලදී.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස, අතුරුදහන්වූවන් පිලිබඳ තොරතුරු හෙලි කරන ලෙස සහ මිලිටරිය වාඩිලාගෙන සිටින තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් දීර්ඝ අරගලයක යෙදී සිටින දෙමල ජනතාව, සාකච්ඡාව පවත්වන ස්ථානයේ උද්ඝෝෂනයක යෙදීම වලක්වනුවස්, සම්බන්දන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ගත්තේය. සාකච්ඡාව පැවැත්වූ ස්ථානය සහ එහි අවට දැඩි සෝදිසියකට ලක් කෙරින.

ෆෙඩරල් පක්ෂය, ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන (ඊපීආර්එල්එෆ්.), දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ), ඊලම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) ආදී දෙමල සන්ධානයේ පාර්ශ්වකරුවන් සහභාගි වූ මෙම රැස්වීම, දවස පුරා පැවැත්වින.

2015 දී සම්මත කරන ලද යෝජනාව, ශ්‍රී ලංකාවේ ආන්්ඩුව විසින් ක්‍රියාත්මක කල යුතු බවද, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරමින් යෝජනාව ක්‍රියාත්මක කිරීම නිරීක්ෂනය කල යුතු බව ද අවසානයේ දී දෙජාස ප‍්‍රකාශයට පත් කලේය.

දෙජාස හි මෙම යෝජනාවන්ට තම පක්ෂය එකඟ නොවන බව ඊපීආර්එල්එෆ් ප‍්‍රකාශ කල අතර, ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රී කාන්ත පලමුව පැවසුවේ පක්ෂයේ සාමාජිකයන්ට ඒ පිලිබඳව තීන්දු කිරීමට ඉඩ දෙන බව යි. අනතුරුව තම පක්ෂය ද යෝජනාවට එකඟ නැතැයි ශ්‍රී කාන්ත ප‍්‍රකාශයක් නිකුත් කලේය.

කෙසේ නමුත්, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන නව යෝජනාවෙන් වොෂින්ටනය අපේක්ෂා කරන්නේ, චීනයට එරෙහි මූලෝපායික වැඩකටයුතු සඳහා සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තම ග‍්‍රහනයේ දිගටම තබා ගැනීම සහ එම ආන්ඩුවට දෙජාස ඇතුලු දෙමල ධනපති කොටස්වල සහාය තහවුරු කර දීම යි.

කලාපය තුල වොෂින්ටනයේ ප‍්‍රධාන මූලෝපායික සහකරුවා වන නවදිල්ලි පාලන තන්ත‍්‍රය ඇමරිකානු යෝජනාවේ ඉහත අරමුනු වලට මුලුමනින්ම එකඟවන අතර, ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව මුහුන දෙන පීඩාකාරී තත්වය සම්බන්ධයෙන් දකුනු ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහජනතාව අතර පවත්නා විරුද්ධත්වය සමනය කර ගැනීමක්ද එයින් බලාපොරොත්තු වෙයි.

අනෙක් අතට, යුද අපරාධ පරීක්ෂනයට දැඩි ලෙස විරුද්ධ වන මිලිටරියේ ඉහල කොටස් සහ සිංහල ස්වෝත්තමවාදී බලවේගයන් ගේ පීඩනයට මුහුනදීම සඳහා, විශේෂයෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ස්වෝත්තමවාදී කොටස් තමා පිටුපස පෙල ගස්වා ගනිමින් නැවත බලයට පැමිනීමට උත්සාහ දරන තතු තුල, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට මෙවන් කාල අවකාශයක් ඉතා වැදගත් වෙයි.

න්‍යෂ්ටික අවි හරහා කෙරෙන විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක අවදානම තීව‍්‍ර කෙරෙන, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද මූලෝපායික සැලැසුම් පිටුපස ගාල්වී සිටින දෙජාස, වොෂින්ටනයට හිතපක්ෂපාතී වත්මන් ආන්ඩුවට මුක්කුව දෙමින්, දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමට උත්සාහ කරමින් සිටී.

එහි කොටසක් ලෙස, සම්බන්දන්, ආන්ඩුවේ නියෝජිතයින් සමග මේ සතියේ නව දිල්ලියේ පැවැත්වෙන ත‍්‍රස්ත-විරෝධී සමුලුවට සහභාගි වෙමින්, කතාවක් ද කිරීමට නියමිතය.

සම්බන්දන්ගේ මෙම ප‍්‍රතිගාමී භූමිකාව අගය කරමින් සිලෝන් ටුඩේ පුවත්පත් ලේඛක මනෙක්ෂෝ මෙසේ ලිවීය: ‘දෙජාස හි නායකයා විසින් පෙන්වා ඇත්තේ ඔහුගේ දේශපාලනික පරිනතභාවය පමනක් නොවේ. යහපත් ආකාරයට මානුෂීය ප‍්‍රශ්න වලට ආමන්ත‍්‍රනය කරමින් ජාතික ප‍්‍රශ්නයට කල් පවත්නා විසඳුමකට එලැඹීම සඳහා දරන දුෂ්කර ප‍්‍රයත්නයක දී එය කඩාකප්පල් නොකර ඒ සඳහා ඔහුගේ කැපවීමද මැනැවින් පෙන්නුම් කර ඇත.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වගවීම සම්පූර්න කිරීම සඳහා කාලය ලබා දීම සම්බන්ධයෙන් සම්බන්දන්ගේ ත්‍යාගශීලීභාවය අවතක්සේරු නොකල යුතුය.’

සම්බන්දන්ගේ ආස්ථානයට එරෙහිව, කාලය ලබා දීමට තමන් විරුද්ධයයි කියන කන්ඩායම්, ශ්‍රී ලංකාවට සහනය ලබා දෙමින් 2015 දී සම්මත කරන ලද යෝජනාව පිලිගත් අතර, දෙජාස මෙම ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දුන් සහායට ද විරුද්ධ වූයේ නැත. දෙමල ජාතික සන්ධානයට උපදෙස් දීමට යයි ඊපීආර්එල්එෆ් සහ සිවිල් සංවිධාන එකතුව ගොඩනැගූ දෙමල ජන සභාව ද, යෝජනාව ට සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කොට ඇති නමුත්, ආන්ඩුව ආරක්ෂා කිරීමට කැපවී සිටී.

මේ දෙමල ජාතිකවාදී කන්ඩායම් දෙකම, තම අවශ්‍යතා සුරක්ෂිත කරගනුවස් අධිරාජ්‍යවාදීන්ට සේවය කිරීම පිනිස, ජනතාවගේ දුක් වේදනා ගසා කති. මිලිටරි වාඩිලා ගැනීමට එරෙහිව මෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සහ අතුරුදහන් වූ අය සොයා දෙන ලෙස ඉල්ලමින්, යුද්ධයේ බලපෑමට ලක් වූ ජනතාව විසින් ගෙන යන අරගල, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව දකුනේ සටන් කරන කම්කරුවන්ගේ අරගල සමග එකාබද්ධ වෙතැයි මෙම දෙමල ජාතිකවාදීහු බියට පත්ව සිටිති.

සම්බන්දන් මෙන්ම ඔහු විවේචනය කරන සියලු කන්ඩායම්, රාජපක්ෂගේ යුද්ධයට පූර්න සහයෝගය දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ආයාචනය කිරීම මගින් දෙමල ජනතාවගේ ගැටලු විසඳිය හැකිය යන මිථ්‍යාව වපුරමින්, මහජන විරෝධය යටපත් කිරීමට ක්‍රියා කරති.

ලොව පුරා යුද අපරාධ සිදු කරන එක්සත් ජනපදයෙන් ද, එයට අනුමැතිය දෙන එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ද දෙමල පීඩිත ජනතාවට කවර හෝ සාධාරනයක් ඉටු නොවනු ඇත.

දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින වත්මන් ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ගෙන යන පුලුල් කප්පාදු පියවරයන්ට එරෙහිව දිනපතා වර්ධනය වන අරගල මැඞීමට පොලීසිය සහ මිලිටරිය යොදා ගන්නා අතරම, කම්කරු පන්තියේ ශක්තිය බිඳීම සඳහා කොලඹ පාලක පන්තිය විසින් දිගටම යොදාගත් වර්ගභේදවාදය මත වඩවඩාත් යැපෙනු ඇත. කල් ලබා ගන්නා ඉදිරි කාලය තුල ආන්ඩුව මගින් කෙරෙනු ඇත්තේ “පශ්චාත්-යුද සන්හිඳියාව සහ යුද අපරාධ පිලිබඳ චෝදනාවන්ට වගවීම” නොව එහි පූර්න ප‍්‍රතිවිරුද්ධයයි.

අධිරාජ්‍යවාදී යුද්ධයන්ට අවසන් තිත තැබිය හැක්කේ සහ මහජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැක්කේ, කොලඹ ආන්ඩුව සහ දෙමල ජාතික සන්ධානය ඇතුලූ සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහි දේශපාලන අරගලයකින් ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා, කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවීමෙනි. මෙය කල හැක්කේ උතුරු නැගෙනහිර සහ දකුනේ ද, ලෝකය පුරා ම ද, කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම හරහා පමනකි. මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය යි.

Share this article: