චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලැසුම් තුල ඉන්දියාව “පෙරමුනු” රාජ්‍යයක් බවට පත් වෙයි

India becomes “frontline” state in US war plans against China

2017 මාර්තු 7

පසු ගිය මාසයේදී පෙන්ටගනය, හත්වැනි නාවික බලඇනියේ යුද නෞකාවල, ඉන්ධන හා නඩත්තු සේවා සැපයීම සඳහා ගුජරාටයේ පිහිටි නැව් තටාකාංගනයකට, ඩොලර් බිලියන 1.5ක් වටිනා බව පැවසෙන කොන්ත‍්‍රාත්තුවක් ප‍්‍රදානය කලේ ය.

එක්සත් ජනපද මිලිටිරිය විසින් සිරිතක් වශයෙන් තම යුද ප‍්‍රහාරක ගුවන් යානා හා යුද නැව්වල ප‍්‍රතිසැපයුම් හා අලූත්වැඩියාව සඳහා, ඉන්දියානු මිලිටරි කඳවුරු හා වරායන් විවෘත කර ගැනීම පිනිස පසුගිය අගෝස්තුවේ ඇතිකරගත් ගිවිසුම ශක්තිමත් කිරීමේ අරමුන සහිත මූලෝපායික පියවරකි මෙය.

ඉන්දියාව හත්වැනි නාවික බලඇනියේ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සලකුනු කරන්නේ, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටිරි මූලෝපායාත්මක ප‍්‍රහාරය තුලට ඉන්දියාව ඒකාබද්ධ කර ගැනීමේ නව අවධියකි.

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වල කේන්ද්‍රයේ හත්වැනි නාවික බලඇනිය පිහිටුවා තිබේ. බටහිර පැසිෆික් හා ඉන්දීය සාගරයේ නැගෙනහිර ඉන්දියා-පකිස්තානු දේශසීමාව දක්වා විහිදි ප‍්‍රදේශය පිලිබඳව වග බලා ගැනීම එයට පැවරේ. එක්සත් ජනපද මූලෝපාය හත්වැනි නාවික බලඇනියෙන් අපේක්ෂා කරන්නේ, මලක්කා සමුද්‍ර සන්ධිය හා ඉන්දියානු සාගර දකුනු චීන මුහුදේ අනෙකුත් පටු මුහුදු මාර්ගවල පාලනය අත්කර ගනිමින්, චීනය මත ආර්ථික බාධක පැනවීමට හා චීන මිලිටරි මධ්‍යස්ථාන, නගර හා පොදුකාර්ය පහසුකම් මත දැවන්ත බෝම්බ ප‍්‍රහාර තීව‍්‍ර කිරීමට ය. පෙන්ටගනය එය හඳුන්වන්නේ “ගුවන්-මුහුදු සටන්” සැලැස්ම යනුවෙනි.

21වැනි සියවස ආරම්භයේ සිට වොෂින්ටනය, තම කොල්ලකාරී න්‍යායපත‍්‍රයට නව දිල්ලිය ඈඳා ගැනීමට හා චීනයට “ප‍්‍රතිබලයක්” ලෙස ඉන්දියාව ශක්තිමත් කිරීමට අනලස් ව වැඩ කර ඇත. පෙන්ටගනය හා එක්සත් ජනපද මිලිටිරි-ඔත්තුසේවා බුද්ධි මන්ඩල දීර්ග කාලයක් තිස්සේ “භූ-මූලෝපායික ත්‍යාගයක්” ලෙස ඉන්දියාවට ගිජුකම් දැක්වීය. ඒ එහි ප‍්‍රමානය, න්‍යෂ්ටික බලය හා විශාල මිලිටරිය ද එහි මූලෝපායාත්මක පිහිටීම ද නිසා ය. එක්සත් ජනපද මූලෝපායඥයින් තක්සේරු කරන විදියට ඉන්දියාවට, චීනයේ “මෘදු යටි බඩ” ලෙස සේවය කල හැක. එය, ඉන්දියානු සාගරයේ එනම් චීනයේ ද ලෝකයේ ඉතාමත් ම වැදගත් වානීජ මුහුදු මාර්ගයේ ද ආධිපත්‍යය ගැනීමට වාසිදායකම ස්ථානයක පිහිටියේය.

නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී ආන්ඩුව යටතේ නව දිල්ලිය, මේ වන විටත් වොෂින්ටනය සමග මිලිටරි මූලෝපායික සහයෝගිතාව නාටකාකාර ලෙස පුලුල් කර ඇත. කඳවුරු ගිවිසුමට අමතරව ඉන්දියාව, ඇමරිකාවේ ප‍්‍රධාන ආසියා ශාන්තිකර සහචරයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග ද්විපාර්ශ්වික මෙන් ම ත්‍රෛ පාර්ශ්වික මිලිටරි මූලෝපායික බැඳීම් ගොඩනගාගෙන ඇත. පෙන්ටගනය හා ඉන්දීය මිලිටරිය, ඉන්දීය සාගරයේ චීන සබ්මැරීන හා නැව් ගමන් ගැන රහස් තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින බව, ජනවාරි මාසයේ දී, එක්සත් ජනපද පැසිෆික් සාගර ආඥාපති අද්මිරාල් හැරී හැරිස් ජනවාරියේදී හෙලිදරව් කලේ ය.

ආසියාව හා ලෝකය පුරා මහජනතාවට ඉන්දු-එක්සත් ජනපද සන්ධානය මතු කරන බරපතල අනතුර, ට‍්‍රම්ප් ආන්ඩුව වැඩ පටන්ගැනීමත් සමගින් මතුවන්නේය. එය චීනය “මූල්‍ය මගඩිකාරයෙකු” ලෙස හෙලා දැක ඇති අතර, ඔබාමා පාලනාධිකාරයේ චීන විරෝධී “ආසියාවට හැරීම” දුර්වල මෙන් ම නිෂ්ඵල යැයි ඉවත දමා, දකුනු චීන මුහුදේ චීනය විසින් පාලනය කෙරෙන දිවයින්වලට බීජීනයේ ප‍්‍රවේශ අයිතිය ප‍්‍රතික්ෂේප කිරීමට තර්ජනය කලේ ය. එය යුද ප‍්‍රකාශ කිරීමට සමාන වනු ඇති ක්‍රියාවකි.

ට‍්‍රම්ප් බොහෝ පෙරමුනු වලදී ඔබාමාගේ විදෙස් පිලිවෙත විවේචනය කර ඇත. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙන් ගත් විට, ආරක්ෂක ලේකම් ජේම්ස් “මෑඩ් ඩොග්” මැටිස් ප‍්‍රකාශ කර ඇත්තේ, ඉන්දු -එක්සත් ජනපද “ආරක්ෂක සහයෝගිතාව” තුල මෑත කාලීනව “දැවැන්ත ප‍්‍රගතියක් ඇතිකර ගැනීමට ඔබාමා පාලනාධිකාරය අධිෂ්ඨාන සහගත වූ බව යි.”

චීනයේ “නැගීම” වැලක්වීමට හා යුරේසියාව මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමට වන වොෂින්ටන් ව්‍යායාමය තුල “පෙරමුනු” රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කෙරෙමින් තිබෙන තාක් දුරට ඉන්දියානු ආන්ඩුව, විරුද්ධ පක්ෂ හා ව්‍යාපාර මාධ්‍යය, ඉන්දියානු කම්කරු පීඩිත ජනතාව අඳුරේ තැබීමට එකාවන්ව වැඩ කරති. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීම මගින් මෙම උත්සාහය නතර නො කල හොත් ස්ථීර ලෙස ම එය ගමන් කරන්නේ, ලෝකයේ න්‍යෂ්ටික මහා බලවතුන් අතර යුද්ධයකට ය.

කෙසේ වෙතත් මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියාවේ නැගීම හෝ එක්සත් ජනපද හත්වැනි නාවික බලඇනිය කැපී පෙනෙන වෙනසක් ඇති කරමින් තිබෙන නමුත්, සීතල යුද්ධ කාලයේ දී නව දිල්ලිය බිය වැද්දීමට හා තර්ජනය කිරීමට අවස්ථා කීපයක දී වොෂින්ටනය එය යොදා ගත් බව සඳහන් නොකර මග හැරීමට ඉන්දීය මාධ්‍ය වාර්තාවලට පවා නො හැකිවී ඇත. ටයිම්ස් ඔෆ් ඉන්දියා මෙසේ සඳහන් කලේ ය, “බංග්ලාදේශ නිදහස් යුද්ධය අතරතුර දී ඉන්දියාවට පීඩනය යෙදීම සඳහා ... එවකට ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් විසින් 1971දී බෙංගාල බොක්කට එවන ලද එක්සත් ජනපද හත්වැනි නාවික බලඇනිය, දැන් නඩත්තු කරනු ලබන්නේ ඉන්දීය සමාගමක් විසින් වීම උත්ප‍්‍රාසාත්මකය.”

මොස්කෝව සමග නව දිල්ලියේ මූලෝපායික හා වානීජ සම්බන්ධකම් නිසා, සීතල යුද්ධයේ වැඩි කාලයක් අතරතුර වොෂින්ටනය ඉන්දියාවට සැලකුවේ පසමිතුරෙකු ලෙස ය.

අලුතින් නිදහස ලැබූ ඉන්දියාවට වොෂින්ටනය සමග උනුසුම් සම්බන්ධකම් ස්ථාපිත කර ගැනීමට දැඩි උනන්දුවක් තිබුනේවී නමුත් සෝවියට් සංගමයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික ප‍්‍රහාරයට ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තිය යටත් කිරීම සඳහා එරට බියවැද්දීමේ අධිරාජ්‍යවාදී උත්සාහයට නව දිල්ලිය කැමැත්තක් නොදැක්වීය.

තම සීතල යුද්ධ සන්ධාන පිලිවෙතේ කඩඇනයක් ලෙස සේවය කිරීමට, නිදහස දිනා ගෙන තිබූ උපමහාද්වීපයේ වාර්ගික බෙදීම විසින් නිර්මානය කෙරුනු පසමිතුරු රාජ්‍යය වන පකිස්තානය බඳවා ගනිමින් වොෂින්ටනය ඊට ප‍්‍රතිචාර දැක්වී ය. එක්සත් ජනපදය පකිස්තානය සන්නද්ධ කිරීමත් සමග, ආයුධ මිල දී ගැනීමට හා මූලෝපායික සහාය සඳහා ඉන්දියාව හැරුනේ සෝවියට් සංගමය දෙසට ය. ඉන්දියාව නොබැඳි ව්‍යාපාරයේ ආරම්භකයෙකු ද ප‍්‍රධාන නායකයෙකු ද විය.

විදේශ ප‍්‍රාග්ධනයට මුහුනදීම හමුවේ ඉන්දියානු ධනේශ්වරයේ තත්වය ශක්තිමත් කර ගැනීමට ආනයන ආදේශක හා රාජ්‍ය අයිතිය ප‍්‍රයෝජනයට ගත් නිසා එක්සත් ජනපදය ඉන්දියාව මත යෙදූ ආර්ථික පීඩනය පිටුදැකීම සඳහා නව දිල්ලියට, සෝවියට් සහාය ලැබුනි. එසේම ජවහල්ලාල් නේරු හා ඔහුගේ කොංග‍්‍රස් පක්ෂ ආන්ඩුව, ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ධනේශ්වර දේශපාලනයට ඒකාබද්ධ කරමින්, කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීමට එය යොදා ගැනීමේ දී, සෝවියට් ස්ටැලින්වාදී තන්ත‍්‍රය ඉමහත් පිටුවහලක් වීම සම්බන්ධයෙන් ද සැලකිලිමත් වූහ.

ඉන්දියාවේ නොබැඳි පිලිවෙතට, අධිරාජ්‍යවාදයට එරෙහි අව්‍යාජ විරුද්ධත්වයක් ගෑවිලාවත් තිබුනේ නැත. එය තම පන්ති පාලනය ශක්තිමත් කර ගැනීමේ දී ඉන්දීය ධනේශ්වරය යොදාගත් කූඨෝපායක් පමනි. ගෝලීයකරනය හා 1991දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම මගින් තම රජයේ මූලිකත්වයෙන් යුත් ධනේශ්වර සංවර්ධන මූලෝපායට වල කපනු ලැබූ තතු හමුවේ ඉන්දියානු පාලක පන්තිය, තම අධිරාජ්‍යවාද විරෝධී කයිවාරු ඉක්මනින්ම කුනු කූඩයට දමා වොෂින්ටනය සමග වඩා සෘජු හා නිහීන සම්බන්ධතා ඇති කර ගැනීමට පටන් ගත්තේය.

මෙම මාරුව, නේරුගේ කොංග‍්‍රස් පක්ෂයේ උරුමක්කරුවන් විසින් ශක්තිමත් කරන ලදී. වොෂින්ටනයේ චීන විරෝධී ආක‍්‍රමනකාරිත්වය තුල සැබෑ “පෙරමුනු රාජ්‍යයක්” ලෙසට මෝදි යටතේ ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා ප‍්‍රවේශයක් ලෙස උපකාරීවූ “ගෝලීය ඉන්දු-එක්සත් ජනපද මූලෝපායික හවුල්කාරිත්වය” වාත්තු කරන ලද්දේ කොංග‍්‍රස් පක්ෂය නායකත්වය දුන් ආන්ඩුව යි.

එහෙත් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි), එහි ස්ටැලින්වාදී සහෝදර පක්ෂය වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) (සීපීඅයිඑම්), හා ඔවුන්ගේ වාම පෙරමුන, “නොබැඳී පිලිවෙත” හා “අධිරාජ්‍ය විරෝධී” හඬ නොකඩවා හුවා දක්වන අතර ලෝක දේශපාලනය තුල ඉන්දීය ධනේශ්වරයට “ප‍්‍රගතිශීලී භූමිකාවක්” ඉටු කල හැකි යයි ප‍්‍රරකාශ කරති.

අධිරාජ්‍යවාදී ලෝක පර්යාය සාමකාමී කල හැකි බව මෙන් ම නව දිල්ලිය වොෂින්ටනය සමග එහි මූලෝපායික බැඳීම් සීමා කර “බහු ධ‍්‍රැවීයත්වයට” නැඹුරු වෙමින් “ඒකපාර්ශ්විකත්වයට” විරුද්ධ වීම, ඉන්දීය ධනේශ්වරයේ උත්සුකයන් ඉදිරියට ගෙන යාමේ වඩාත්ම සුදුසු ක‍්‍රමය බව ස්ටැලින්වාදීහු තරයේ කියා සිටිති. එනම්, අනෙකුත් අධිරාජ්‍යවාදී පාලක ප‍්‍රභූන්, ඉන්දීය ධනේශ්වරය සහ දැන් රුසියාව සහ චීනය පාලනය කරන කතිපයාධිකාරය වෙනුවෙන් ලෝක කටයුතු නියාමනය තුල වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීම (“බහු ධ‍්‍රැවීයත්වය”) යි.

ඉන්දීය මිලිටිරි හා න්‍යෂ්ටික අවි ගබඩා තර කිරීම සඳහා ඔවුන් ලබා දෙන සහයෝගය මගින් ස්ටැලින්වාදීන්, ඉන්දීය ධනේශ්වරයේ මහා බල අභිලාශයන්ට විවෘතව සහාය දෙන බව සලකුනු කෙරේ.

මෝදි වොෂින්ටනය වැලඳගැනීමට විරුද්ධ බවට ඔවුන් කරන සියලු ප‍්‍රකාශ සම්බන්ධයෙන් ගත් විට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දීය ධනේශ්වරයේ සම්බන්ධකම දකුනු ආසියාවේ කලාපීය අධිපතියා බවට පත්වීමේ උත්සාහයේ දී නව දිල්ලිය දිරිමත් කරන්නේ කෙසේ දැ යි කම්කරු පන්තිය අවදියෙන් තැබීමට ඔවුන් අසමත් වී ඇත.

අඩු වසයෙන් 2003න් පසුව, දකුනු ආසියාවේ න්‍යෂ්ටික එදිරිවාදීන් ඔවුන් මුහුනපා සිටින බරපතල ම යුද අර්බුදයට ඇද දමමින්, නීති විරෝධී ලෙස ඉන්දියාව, පසු ගිය සැප්තැම්බරයේ දී දේශ සීමා හරහා පකිස්තානය තුලට මිලිටරි ප‍්‍රහාර එල්ල කල අවස්ථාවේ දී ස්ටැලින්වාදීහු එයට ප‍්‍රශංසා කලහ.

ඉන්දියාවේ වඩ වඩාත් තර්ජනාත්මක ආකල්පයට පකිස්තානයේ ප‍්‍රතිගාමී ප‍්‍රභූව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, වඩා විශාල ඉන්දියානු ප‍්‍රහාරයක දී න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට තර්ජනය කිරීම මගින් හා බීජීනය සමග තම දීර්ගකාලීන මූලෝපායාත්මක හවුල්කාරිත්වය දැඩි කරමිනි.

චීනයට එරෙහි ආක‍්‍රමනයේදී ඉන්දියාව මිලිටරිමය වශයෙන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ගෙන යන ඉව බව නැති ව්‍යායාමය, දකුනු ආසියාව භූදේශපාලනික වෙඩිබෙහෙත් ගබඩාවක් බවට පරිවර්තනය කර ඇත. ඉන්දු-පකිස්තාන් හා ඉන්දු-චීන ගැටුම්, එක්සත් ජනපද-චීන ගැටුම සමග පැටලී ඇති අතර, සෑම එකකටම දැවැන්ත නව පුපුරන සුලු බලයක් එකතු කරන්නේ, කලාපයේ හා ලෝකයේ මහජනතාවට සඳහා ව්‍යසනකාරී විභව තර්ජනයක් ගෙන එමිනි.

මේ නයින් දකුනු ආසියාව, අධිරාජ්‍යවාදී යුද්ධයට හා එය පැන නගින ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය නායකත්වය දෙන ලෝක ව්‍යාපාරයක වර්ධනය තුල කේන්ද්‍රීය පෙරමුනකි. ඉන්දියාව, පකිස්තානය හා උපමහාද්වීපය තුල කම්කරුවන් හා පීඩිතයින්, චීන, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්කරන එවැනි ව්‍යාපාරයක් ඉස්මතු වනවා ඇත්තේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ විසින් ඉටු කෙරෙමින් තිබෙන සාපරාධි කාර්යභාරය පිලිබඳ නිර්දය හෙලිදරව් කිරීම් හරහා පමනි.

දීපාල් ජයසේකර සහ කීත් ජෝන්ස් විසිනි

Share this article: