එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව යුද්ධයට සූදානම් වන්නේ ද?

Is the US preparing for war against North Korea?

2017 මාර්තු 13

න්‍යෂ්ටික බලවතුන් අතර විනාශකාරී ගැටුමකට අග්නිදිග ආසියාව හා ලෝකයේ සෙසු රටවල් ඇද ගැනීමේ හැකියාව සහිත, එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර කොරියානු අර්ධද්වීපය මත බිහිසුනු එදිරිවාදිකම් වේගයෙන් මතුවෙමින් තිබේ.

පියොන්යෑන් තන්ත‍්‍රය විසින් එල්ල කල තර්ජනය පිලිබඳ ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රචාර මධ්‍යයේ ට‍්‍රම්ප් පරිපාලනය, උතුරු කොරියාව නිරායුධ කිරීමට හා යටත්කරගැනීමට “සියලු විකල්ප” සලකා බලමින් සිටියි.

ක්ෂනික කඩතුරාව, නව මධ්‍යම පරිමාන මිසයිලයක් දියත් කිරීමෙන් අනතුරුව උතුරු කොරියාව, පසුගිය සතියේ මධ්‍ය දුර මිසයිල හතරක පරීක්ෂන විහිදුමක් සිදු කිරීම යි. කෙසේ වෙතත් එක්සත් ජනපද මිලිටරි තර්ජන ආරම්භ වුනේ, එක්සත් ජනපදයට පහර දීමේ හැකියාව සහිත අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් (අයිසීබීඑම්) උතුරු කොරියාව විසින් ගොඩනැගීම වැලක්වීම සඳහා ගත හැකි ක්‍රිියාමාර්ගය ගැන ඇමරිකානු විදේශ පිලිවෙතේ හා මිලිටරි කවයන් තුල මාස ගනනාවක් තිස්සේ කෙරී ගෙන ගිය ඉහල මට්ටමේ සාකච්ඡාවලින් පසුවය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව, ප්යොංයැං තන්ත‍්‍රයට එරෙහිව වඩාත් ආන්තික පියවර සලකා බලමින් සිටි ජනාධිපති බැරැක් ඔබාමා, උතුරු කොරියාව ඔහුගේ ඉහලම ආරක්ෂක ප‍්‍රමුඛතාව ලෙස ගන්නැයි එවක ජනාධිපති පදවියට තේරී පත් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය. බලයට පත්වූ තැන් පටන් ට‍්‍රම්ප් පරිපාලනය, ප්යොංයැං කෙරෙහි වන එක්සත් ජනපද මූලෝපාය පිලිබඳ ඉහල මට්ටමේ සමාලෝචනයක් සිදු කරමින් සිටී. ධවල මන්දිරයේ නිලධාරියෙකු වෝල් ස්ට්‍රීට් ජර්නලයට කියා සිටි පරිදි, “පාලන තන්ත‍්‍ර මාරුවක්” වැනි “ප‍්‍රධාන ධාරාවට පිටතින් ඇති ක්‍රියාමාර්ග සහ හා උතුරු කොරියානු න්‍යෂ්ටික පහසුකම් හා මිලිටරි මධ්‍යස්ථාන මත ප‍්‍රහාර එල්ල කිරීම ඇතුලු සෑම ක්‍රියාමාර්ගයක්ම මෙහිදී සැලකිල්ලට ගැනී ඇත.

“උතුරු කොරියාව සමග වැඩෙන ආතතීන්” යන සිරස්තලය යටතේ පසුගිය සතියේ කනස්සලු සහගත නිව් යෝක් ටයිම්ස් කතුවැකියක්, අග්නිදිග ආසියාවේ පිපිරී එන යුද්ධයේ අනතුරු පිලිබඳව අවධාරනය කලේ ය. “මෙම කැකෑරෙන අර්බුදය පාලනය කිරීමට ට‍්‍රම්ප් මහතාට අදහසක් ඇත් ද යන්න පැහැදිලි නැති නමුත් ආක‍්‍රමනශීලි ලෙස ප‍්‍රතිචාර දැක්වීමට නැඹුරුවක් ඔහු පෙන්නුම් කර ඇතැයි” පුවත්පත සඳහන් කලේ ය. “සඳුදා දිනයේ ධවල මන්දිරය, මිසයිල අත්හදාබැලීම් හෙලා දුටු අතර ‘ඉතා දරුනු ප‍්‍රතිවිපාක’ ගැන අනතුරු ඇඟෙවුවේ ය.”

ට‍්‍රම්ප් පරිපාලනය, උතුරු කොරියානු මිසයිල පද්ධතියට එරෙහිව සයිබර් සහ විද්‍යුත් යුද්ධයක නිරතව සිටින බව සඳහන් කල කතුවැකිය, තවදුරටත් මෙසේ ලීවේ ය: “අනුමාන කල හැකි පරිදි මිසයිල දියත් කරන කලාප ඉලක්ක කරමින් එක්තරා ආකාරයක මිලිටරි ප‍්‍රහාරයක් දියත් කිරීම සහ කොරියාවට සහය දීම නතර කරන්නැයි චීනයට දිගින් දිගටම බලකිරීම අනෙකුත් විසඳුම් ලෙස පවතී. දකුනු කොරියාවට න්‍යෂ්ටික අවි යලි හඳුන්වාදීම වැනි අතිශය භයානක අදහසක් ද ට‍්‍රම්ප් පාලනය සාකච්ඡා කර ඇත.”

චීන ආන්ඩුව සිය සගයා වන උතුරු කොරියාව පැටලී සිටින තම එලිපත්ත මත ඇතිවිය හැකි යුද්ධයක් පිලිබඳව තියුනු ලෙස අවධානය යොමුකර තිබේ. අසාමාන්‍ය සෘජු භාෂාවකින් චීන විදේශ ඇමති වැන්ග් යී අනතුරු ඇඟවූයේ, එක්සත් ජනපදය හා උතුරු කොරියාව “එකිනෙකාට මාර්ගය ඉඩ දීමට කැමත්තක් නොදක්වන, වේගයෙන් එකිනෙකා ඉදිරියට එන දුම්රිය දෙකක්” වැනි බවටය. අලුත් කෙරුනු සාකච්ඡාවන් සඳහා පදනම වසයෙන්, “උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික වැඩසටහන් සහ දකුනු කොරියාව තුල කෙරීගෙන යන එක්සත් ජනපදයේ දැවැන්ත යුද අභ්‍යාස නතර කරන ‘දෙපැත්තේම අත්හිටුවීමක්’ සඳහා චීනය කල යෝජනාව” ට‍්‍රම්ප් ගොඩින්ම ප‍්‍රතික්ෂේප කලේ ය.

සාකච්ඡා ප‍්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරය, උතුරු කොරියාව සමග පමනක් නොව, චීනය සමග ද ඝට්ටනයක් සඳහා මග සකසමින් සිටී. උතුරු කොරියාවට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙන එක්සත් ජනපදය, ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට වඩාත්ම ආසන්න අභියෝගය ලෙස හඳුනා ගෙන තිබෙන චීනයට එරෙහිව ද තර්ජනය කරයි.

ට‍්‍රම්ප් පාලනාධිකාරිය දැනටමත්, දකුනු චීන මුහුදේ කුඩා චීන දූපත්වලට එරෙහිව මිලිටරි පියවර ගන්නා බවටත් චීනයට එරෙහිව වෙලඳ යුද්ධ පියවරයන් ගන්නා බවටත් තර්ජනය කර ඇත. දකුනු කොරියාව තුල එක්සත් ජනපද පර්යන්ත උන්නතාංශ කලාප ආරක්ෂක (ටීඑච්ඒඒඩී) බැලස්ටික් මිසයිල බැටරියක් සවි කිරීම පසුගිය සතියේ ආරම්භ විය. චීනය හෝ රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයකදී යොදාගත හැකි පරිදි සැලසුම්කල ඒකාබද්ධ මිසයිල නාශක පද්ධති ජාලයක කොටසකි ඒ.

උතුරු කොරියාවට එල්ල කෙරෙන පූර්ව භංග එක්සත් ජනපද ප‍්‍රහාරයක් ගිනිය නොහෙන ප‍්‍රතිවිපාක ගෙන එනු ඇති මිලිටරි ප‍්‍රකෝපකරනයක් වනු ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සහචරයින්ගේ මිලිටරි බලය සමග සම නොවුන ද, උතුරු කොරියාවට මිලියනයකට වඩා සොල්දාදුවන්ගෙන් සමන්විත විශාල හමුදාවක් සහ සම්මත මිසයිල හා කාලතුවක්කු සම්භාරයක් අයත්ව තිබෙන බවට ඇස්තමේන්තු කර තිබේ. එයින් බොහෝමයක් දැඩිලෙස නිර්-හමුදාකරන කලාපය පුරා ස්ථානගත කර තිබෙන අතර දැඩි ජනගහන ඝනත්වයක් සහිත දකුනු කොරියානු අගනුවර වන සි ඕල් වෙත පහර දීමේ හැකියාවෙන් යුක්තය.

යුද්ධයක් අවස්ථාවේ දී න්‍යෂ්ටික අවි භාවිතය නොමැතිව පවා, කොරියානු අර්ධද්වීපයේ පමනක් විනාශයේ පරිමාව දැවැන්ත වනු ඇත. 1994 දී ක්ලින්ටන් පාලනය උතුරු කොරියාවේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට පහර දීම ආසන්නයට පැමින තිබුනත්, එවැනි ගැටුමක ප‍්‍රතිපලයක් ලෙස හානිවනු ඇති දකුනු කොරියානු හා ඇමරිකානු හමුදාවන් 300,000 සිට 500,000දක්වා සංඛ්‍යාවක් විය හැකි බවට මධ්‍යස්ථ ඇස්තමේන්තුවක් පෙන්ටගනය විසින් ලබා දීමෙන් අනතුරුව අවසන් මොහොතේ යුද්ධයට යාමෙන් වැලකී ගියේය.

දැන් යුද්ධයක්, සම්ප‍්‍රධායික එකක් විය නොහැකිවාක් මෙන්ම කොරියානු අර්ධද්වීපයට සීමා නොවනු ද ඇත. පෙන්ටගනය වඩාත් පුලුල් ගැටුම් සඳහා සැලසුම් කරමින් සිටී. 2015 දෙසැම්බර් මාසයේ දී, එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජෝශප් ඩන්ෆෝඩ් කීවේ, උතුරු කොරියාව සමග ඕනෑම ගැටුමක් අනිවාර්යයෙන්ම ”අන්තර්-කලාපීය, බහු-කලාපීය සහ බහුක්‍රියාකාරී” එකක්, වෙනත් වචනවලින් කිවහොත්, වෙනත් බලවතුන් සම්බන්ධවූ හා න්‍යෂ්ටික බෝම්බ ඇතුලු සියලුම අවිආයුධ භාවිතයට ගන්නා ලෝක යුද්ධයක් වනු ඇති බව යි.

පසුගිය සිකුරාදා දෝෂාභියෝගය හා දකුනු කොරියානු ජනාධිපති පාර්ක් ගුවෙන් හයි ඉවත් කිරීම මගින් සංකේතවත් කෙරුනු පරිදි, ඒ හා සම්බන්ධ සියලු ආන්ඩුවල තියුනු දේශපාලනික, ආර්ථික හා සමාජ අර්බුද එකිනෙකට බද්ධවී ඇත. පූර්ව මැතිවරනයක හා පරාජය වීමේ අනතුරට මුහුන දී සිටින පාලක දක්ෂිනාංශික ලිබර්ටි කොරියානු පක්ෂයට, රටතුල දේශපාලන අර්බුදයෙන් අවධානය වෙනතක හැරවීම කිරීම සඳහා උතුරු කොරියාව සමග යුද ආතතීන් ඇවිලවීමට නිශ්චිත ප්‍රේරනයක් පවතී.

එපමනක් නොව, අතිශය නවීන එක්සත් ජනපද ගුවන් හා නාවික බලය විසින් පිටුබලය ලබන හමුදා නිලධාරීන් 320,000 කට වඩා වැඩියෙන් සම්බන්ධ වන වර්තමාන එක්සත් ජනපද-දකුනු කොරියානු මිලිටරි අභ්‍යාස, උතුරු කොරියාවට පහර දීම සඳහා කදිම අවස්ථාවක් සම්පාදනය කරයි. පසුගිය වසරේ මෙන්, ප්යොංයැං සමග යුද්ධය සඳහා පෙරහුරුවකට ආසන්න මට්ටමේ පවතින වාර්ෂික අභ්‍යාස පැවැත්වෙන්නේ, උතුරු කොරියානු මිලිටරි කලාප මත පූර්ව-භංග ප‍්‍රහාර එල්ල කිරීම හා රටේ නායකත්වය ඝාතනය කිරීමට එල්ල කල “හිස් ගසා දැමීමේ වැටලීම්” ද ඇතුලත් ආක‍්‍රමනකාරී නව මෙහෙයුම් සැලසුම්වල පදනම මත ය.

එක් අතකින් වොෂින්ටනය සමග සන්ධානයකට මං සොයමින් ද අනෙක් අතින් යුද්ධයේ තර්ජනය උත්සන්න කිරීම පමනක් සිදුවන ආයුධ තරගයක නිරත වෙමින් ද එක්සත් ජනපද තර්ජනවලට චීන හා උතුරු කොරියානු ආන්ඩු දක්වන ප‍්‍රතිචාරය අතිශයින්ම ප‍්‍රතිගාමී ය. මේ එකදු පාලන තන්ත‍්‍රයකටවත් සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැතිවාක් මෙන්ම ඒවා කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන්නේ ද නැත. ඔවුන්ගේ ජාතිකවාදය ඇවිස්සීම, අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධව ආසියාවේ හා එක්සත් ජනපදයේ කම්කරුවන් අතර ඒකාබද්ධතාව වර්ධනය කිරීමට බාධකයක් ලෙස ක්‍රියා කරයි.

මෙම අතිශයින් ආතතිසහගත තත්වයේදී වඩාත්ම අස්ථාවරකාරී සාධකය වන්නේ, විදෙස් පිලිවෙත හා පරිගනක අපහරන චෝදනා මත, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය හා රාජ්‍ය යාන්ත‍්‍රනය, එකිනෙකා අතර කුලල්කා ගන්නා ගැටුමක පැටලී සිටීම යි. ට‍්‍රම්ප් පාලනය, පොදු “සතුරෙකුට” එරෙහිව, රටේ සමාජයීය හා දේශපාලන ආතතීන් හරවා යැවීමට වෑයම් කරමින්, උතුරු කොරියාව සමග යුද්ධයකට හැරෙනු ඇත් ද යන්න සැබෑම අනතුරක් ලෙස පවතී.

විනාශකාරී යුද්ධයක අන්තරාය, විශේෂයෙන් පුද්ගලයින් හෝ පාර්ශවයන්ගෙන් හටගන්නවා නොවේ. එය ධාවනය කරන්නේ, ජාත්‍යන්තර ධනවාදයේ ගැඹුරුවන අර්බුදය සහ ලෝක ආර්ථිකය හා ප‍්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය බෙදී තිබීම අතර නොවිසඳිය හැකි පරස්පර විරෝධය විසිනි. කෙසේ වෙතත්, ලාභ පද්ධතියේ එම අර්බුදය, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා, එනම් මානව වර්ගයා ම්ලේච්ඡත්වයට ඇද දැමීමට පෙරාතුව, ධනවාදය අවසන් කර දැමීමට සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියට වෛෂයික කොන්දේසි හා දේශපාලන අවශ්‍යතාව නිර්මානය කරයි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: