ට්‍රම්ප් පාලනය සංක්‍රමනිකයන්ට එරෙහිව ත්‍රස්තයේ හා භීතිකාවේ උද්ඝෝෂනය පුලුල් කරයි

Trump administration escalates campaign of fear and terror against immigrants

2017 මාර්තු 6

ලැයිස්තුගත නොකරන ලද සංක්‍රමනිකයන්ට එරෙහි ට්‍රම්ප් පාලනාධිකාරිය දියත් කර ඇති ව්‍යාපාරය පෙරට යද්දී, කාලයක් තිස්සේ එක්සත් ජනපදය තුල ජීවත් වෙන අය ඔවුන්ගේ පවුල්වලින් වෙන් කර, එක්කෝ සිරගත කොට නැතිනම් පිටුවහල් කල දුෂ්ඨ සිදුවීම් පිලිබඳ තවත් වටයක් වාර්තා කලේ ය.

බිහිසුනු සිද්ධීන් සම්බන්ධයෙන්, ජාතික මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය මුලුමනින්ම නිහඬය. ඔවුන් අවධානය යොමුකර තිබෙන්නේ, විදෙස් පිලිවෙත මුල්කරගෙන රාජ්‍යය තුල කෙරීගෙන යන මාරක සටන කෙරෙහිය. දේශපාලන සංස්ථාපිතය තුල විවේචනයට මාතෘකාවී ඇත්තේ, සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව පාලන තන්ත්යේ ම්ලේච්ඡ කඩාපැනීම නෙව, ට්‍රම්ප්ට රුසියාව සමග ඇති සම්බන්ධතාවන් ය.

පසුගිය 28දා, රොමියුලෝ අවෙලිකා-ගොන්සාලෙස් ලොස් ඇන්ජලීස්හි පාසැලකට සිය දියනිය ගෙනගොස් පෙරලා එද්දී ආගමනික හා රේගු දෙපාර්තමේන්තුව (අයිසීඊ) විසින් අල්ලා ගැනින. මෝටර් රථ දෙකක පැමිනි අයිසීඑෆ් නිලධාරීන්, රිය පදවමින් සිටි 48 හැවිරිදි අවෙලිකා නවත්වා ඔහුගේ 13 වියැති දියනිය හා බිරිඳ ඉදිරිපිටදීම ඔහු අත්අඩගුවට ගත්තේ ය. එක්සත් ජනපද පුරවැසියන් වන දරුවන් සිව් දෙනාගේ පියා, වයස 21 සිට දකුනු කැලිෆෝනියාවල ජීවත්වෙමින්, එම කාලය පුරා සතියකට පැය 60ක් 70ක් පමන පලාතේ ආපනශාලාවල වැඩකලේය.

පෙබරවාරි 15දා සිය පියා හා සොහොයුරා සිරගත කිරීමට විරෝධය පල කර මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වීමෙන් අනතුරුව, මිසිසිපියේ ජැක්සන්හිදී අයිසීඊ නිලධාරීන්, 22 හැවිරිදි ඩැනියෙලා වර්ගාස් විසින් රැඳවුම් භාරයට පත් කලේය. මෙය පැහැදිලිවම දේශපාලන පලිගැනීමකි. ඩැනියෙලාට යන්තම් අවුරුදු හතක්ව තිබියදී, 2001 වසරේදී ආජන්ටිනාවේ සිට වාර්ගාස් පවුල එක්සත් ජනපදයට පැමිනි තිබේ. ලමයෙකු ලෙස පැමිනි ඩැනියෙලාට තාවකාලික අවසර පත්‍රයක් ඩැකා වැඩසටහන යටතේ ලබාදී තිබුනත්, එය දීර්ඝ කර ගැනීමට ඩොලර් 495ක් සොයා ගැනීමට ඇය උත්සහා කරන අතරේ ඇගේ තාවකාලික අවසර පත්‍රයේ කාලය ඉක්මවා තිබිනි. ඇය ලුසියානාවේ අයිසීඑෆ් රැඳවුම් පරිශ්‍රයක සිටි බවත්, වීසාවේ කාලය ඉක්මවා නතරව සිටි අයෙක් ලෙස සලකා කිසිදු වැඩිදුර විමර්ශනයකින් තොරව ඇය ආජන්ටිනාවට පිටුවහල් කරනු ඇති බවත් ඇගේ නීතිඥයා කීවේ ය.

මාර්තු 2දා, ජුවාන් කාලෝස් ෆොම්පෙරෝසා ගාර්සියා ඇරිසෝනාවේ පීනික්ස්හි පිහිටි අයිසීඊ කාර්යාලයට ගියේ, පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඔහුගේ ඉල්ලීම සලකා බැලීමට එන ලෙස පවසා ලබා දී තිබූ ලිපියකට අනුව යි. වසර 20ක් තිස්සේ එක්සත් ජනපදයේ ජීවත්වන ඔහු එක්සත් ජනපද පුරවැසිභාවය ඇති දරුවන් තිදෙනෙකු සහිත තනි පියෙකි. පැයකට පසු ඔහුගේ සමහර බඩු බාහිරාදිය බහාලූ බෑගයක් රැගෙන පැමිනි අයිසීඊ නිලධාරීන් එය ඔහුගේ 23 හැවිරිදි දියනිය වන යෙනිෆර් සැන්චෙස් අතට දුන්නේය. 3දා උදෑසන ෆොම්පෙරෝසා ගාසියා ඔහුගේ දරුවන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කීවේ තමන් මෙක්සිකෝවට පිටුවහල් කල බව යි. ඒ සැන්චොසා, 17 හැවිරිදි සොයුරා හා 17 හැවිරිදි සොයුරියගේ එකම භාරකාරිය බවට පත් කරමිනි.

මෙවැනි සිදුවීම් බොහෝ ගනනක් ඇති අතර ඒවායින් බොහෝමයක් දේශීය මාධ්‍යආවරනයට හසුවන්නේ නැති තරම් ය.

රට පුරාම සංක්‍රමනික ප්‍රජාවන් අලලා ගත් භීතියේ හා ත්‍රස්තයේ වාතාවරනයක් පවතී. මෙම පිලිවෙත්වල කෲරත්වය අහම්බයක් හෝ සුවිශේෂ කාරනයක් නොවේ. එය, ජනවාරි 25දා ජනාධිපතිගේ විධායක නියෝගයන් හරහා මුදා හල, පැහැදිලිවම ගනන් බලා කරන ලද සංක්‍රමනික විරෝධී පීඩනයේ සැබෑ ලක්ෂනය යි. ධවල මන්දිරයේ ආධාරකරුවන් කියන්නේ මෙම නියෝගවල අරමුන සංක්‍රමනික නිලධාරීන්ගේ “විලංගු ගැලවීම” බව යි. වෙනත් වචනවලින් කියතොත්, වටලනු ලැබ ඇති දහස් සංඛ්‍යාත සංක්‍රමනියකයන් හා ගනුදෙනු කිරීමේදී නිලධාරීන්ට කිසිදු තහංචියකින් තොරව ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීම යි.

නීති විරෝධීව දේශසීමාව හරහා එන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් ක්‍රමාකූලව වෙන වෙනම රඳවා තැබීමේ යෝජනාවක් ගැන අයිසීඊ හා දේශසීමා ආරක්ෂක සේවාව ද ඇතුලත් ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඞීඑච්එ) විසින් සලකා බලමින් සිටින බවට රොයිටර්හි පලවන වාර්තාවකින් අවධාරනය කෙරෙන්නේ මෙම සත්‍යය යි. වාර්තාවෙන ආකාරයට ඞීඑච්එස් නිලධාරීන් සරනාගත කඳවුරු නිලධාරීන්ට සිය සැලස්ම පිලිබඳව පැහැදිලි කරමින් “මව්වරුන් ඔවුන්ගේ දරුවන් සමග එක්සත් ජනපදයට සංක්‍රමනය වීම අවහිර කිරීම” එහි අරමුන බව පැවසීය.

නව සැලස්ම අනිශ්චිත කාලයක් මව්වරුන් සිරභාරයේ රඳවා තැබීමට ෆෙඩරල් නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත. ඒ අතර ඔවුන්ගේ දූ දරුවන්, සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තුමේන්තුවේ ආරක්ෂක රැකවරනය යටතේ තැබේ. රජයේ අනුග්‍රහය සහිත භාරකරුවන් ද සහිතව සැලසිය හැකි “අවම ආරක්ෂාව” යටතේ ඔවුන් රඳවනු ඇත. මව්වරුන්ට තම දූ දරුවන් සමග යලි එක්විය හැක්කේ පිටුවහල් කිරීමෙන් පසුව ද ඊට පෙර ද යන්න අපැහැදිලිය.

නියෝගයේ ප්‍රධාන අරමුනු දෙකක් ඇත. රැඳවුම් කඳවුරු තුල සිටින දරුවන් සහිත මව්වරුන් නිදහස් කිරීමට අයිසීඊයට බල කෙරුනු හා ලමුන් දිගු කාලයකට රඳවා තැබීම තහනම් කරමින් නිකුත් කල අධිකරන නියෝගයේ බලපෑම අවම කිරීම එකකි. බොහෝ පවුල් පැමිනෙන මධ්‍යම ඇමරිකාවේ අනාගත සරනාගතයින් බියගැන්වීම තවෙකකි. ඇමරිකාවට පැමිනෙන මව්වරුන්ට තම දූ දරුවන් අහිමිවන්නේය යන කථාව එම රටවල පතුරවා හැරේ.

ට්‍රම්ප් සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කර ඇති අතර, ඔහු තර කරමින් සිටින්නේ බුෂ් හා ඔබාමා, විශේෂයෙන්ම දෙවැනියට කිවූ පාලන තන්ත්‍රය විසින් ගොඩ නැගූ බියකරු මර්දන යාන්ත්‍රනය යි.

සංක්‍රමනිකයන්ට නින්දිත ලෙස සැලකීම, කොලරාඩෝ ඩෙන්වෙර් ප්‍රාන්තයේ අවුරෝරා නගරයේ අයිසීඊ, ජීඊ ඕ කන්ඬායම වෙනුවෙන් ප්‍රධාන බන්ධනාගාර කොන්ත්‍රාත්කරුවෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේදී පැහැදිලි විය. රාජ්‍යය වහල්විරෝධී නීති උල්ලංඝනය කරමින් ලක්ෂ ගනනක් පුද්ගලයින්ට, දිනකට ඩොලර් 1ක් හෝ කිසිදු ගෙවීමකින් තොරව වැඩ කිරීමට බල කෙරී ඇතැයි නඩුවෙන් චෝදනා එල්ල විය. ආහාර සැපයීම, සනීපාරක්ෂක කටයුතු හා පරිශ්‍රය පවත්වා ගැනීමට අදාල බලාත්කාරී ශ්‍රමය, දැවැන්ත ලාබ පොදි ගසා ගනිමින් තනි මුරකාරයෙක් පමනක් ඇතිව පරිපාලනය කිරීමට ප්‍රධාන විධායක නිලධාරියෙකු වෙත ඉඩ සලසා ඇත. බොහෝ අවස්ථාවලදී, ප්‍රතික්ෂේප කලහොත් හුදෙකලාව සිරකර තබන බවට තර්ජනය කරමින් “ස්ව කැමත්තෙන්” වැඩකිරීමට සංක්‍රමනියක්ට බල කර ඇතැයි නඩුවෙන් චෝදනා කරයි.

ෆෙඩරල් ආන්ඩුව ස්ථාපිත කර ඇත්තේ මහා වධ කඳවුරුවලට සමාන කඳවුරු ය. ආන්ඩුව, අනෙක් සියලුම නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට කෙරෙන වියදම් සියල්ලේම එකතුවට ද වඩා, එනම්, වසරකට ඩොලර් බිලියන 19කට වඩා අයිසීඊ හා දේශසීමා මුරසංචාරයට වියදම් කරයි. ආගමනික අධිකාරීන් විසින් වසරකට සිරගත කරන 400,000ක් වන මිනිසුන්, සියලුම රාජ්‍ය අපරාධ සඳහා ෆෙඩරල් බියුරෝව විසින් සිරගත කරන සියලුම සිරකරුවන්ගේ සංඛ්‍යාව ද ඉක්මවූ ගනනකි. දැනටමත් කුඩා හමුදාවක්ව තිබෙන දේශසීමා මුරසංචාරයට නිලධාරීන් 5,000ක් ද අයිසීඊ නිලධාරීන් 10,000ක්ද අතිරේක වසයෙන් එකතු කිරීමට ට්‍රම්ප් යෝජනා කරයි.

සංක්‍රමනික කම්කරුවන් වෙත එල්ල කෙරන පොලිස්-රාජ්‍ය ක්‍රමෝපාය වනාහී, සමස්තයක් වසයෙන් කම්කරු පන්තිය සඳහා එල්ල කිරීමට ට්‍රම්ප් පාලනයත් එක්සත් ජනපද පාලක ප්‍රභූව, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවනුත් සූදානම් කෙරන පුලුල් පරිමානයේ ප්‍රහාරයේ පූර්ව රංගනය යි. සංක්‍රමනිකයන්ට රුදුරු ලෙස සැලකීම, රට තුල උපන් හා සංක්‍රමනික කම්කරුවන් විසින් සිය කියා, ජීවන මට්ටම් හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් රැකගනු වස් ඉදිරියේදී එලැඹෙන්නාවූ අරගලවලට එරෙහිව යෝධ රාජ්‍ය මර්දනයක් දියත් කිරීම සඳහා කෙරෙන සූදානම් කිරීමකි.

එක්සත් ජනපදයේ කම්කරු පන්තිය, ඩිමොක්‍රටික් පක්ෂය විසින් ආධාර අනුබල දෙන ට්‍රම්ප් පාලානාධිකාරියේ සංක්මන-විරෝධී කඩාපැනීමට එරෙහි විය යුතු අතර, ලෝකයේ ඕනෑම තැනක කම්කරුවන් බලාත්කාරයෙන් රඳවා තබා ගැනීම, පිටුවහල් කිරීම, මර්දනයෙන් තොරව පූර්න පුරවැසි අයිතිය ඇතිව ඔවුන් කැමැති රටක ජීවත්වීම හා වැඩ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කල යුතු ය.

පැට්‍රික් මාටින්

Share this article: