නිදහස් දින උලෙලේදී ශ‍්‍රී ලංකා ජනාධිපති “කැපකරන” ලෙස ඉල්ලා සිටියි

Sri Lankan president calls for “sacrifice” at Independence Day celebration

සමන් ගුනදාස විසිනි, 2017 පෙබරවාරි 16

පෙබරවාරි 4 දා පැවති වාර්ෂික නිදහස් දින උත්සවයේදී, “ආර්ථික නිදහස” නොමැතිවීම ගැන පැමිනිලි කල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, “අප රටේ ආර්ථික නිදහස සාක්ෂාත් කිරීමට අප සැම කැපවිය යුතු” යැයි “අප සැමට” ආයාචනා කලේය.

“ජාතික තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්ති හා උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමට හා දුගී බවින් රට මුදා ගැනීමට බුද්ධිමතුන්, ශාස්ත‍්‍රඥයන්, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලත්ව මිනිසුන් සියල්ලන්ගේම කැපකිරීම් හා පරිත්‍යාග අපි බලාපොරොත්තු වෙමු.” ඔහු දිගින් දිගටම පැවසීය.

“සියල්ලන්ගෙන්ම” “කැපවීම් හා පරිත්‍යාග” සඳහා සිරිසේනගේ ආයාචනය මහ ජනතාව මත පැටවී ඇති ජීවන බර සැහැල්ලු කරන්නට නොවේ. ඊට ප‍්‍රතිවිරුද්ධව, නරක අතට යන ගෝලීය ආර්ථික කඩා වැටීමෙන් බැට කන ශ‍්‍රී ලංකා ධනවාදයේ ගැලවීම සුරක්ෂිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග සාක්ෂාත් කරන්නටය.

ව්‍යාපාරයන්ගේ ලාභ නැංවීමට ඔවුන්ගේ “ආර්ථික නිදහස” සුරක්ෂිත කරන්නට එක දිගට පැවති ආන්ඩු විසින් රැස් කල දැවැන්ත නය කන්දරාව ගෙවීම වැඩ කරන ජනතාව මත පටවන්නට ආන්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. මේ වසරේ වාර්ෂික නය සේවා වියදම එජ ඩො. බිලියන 2.6 ක් වන අතර මේ වැඩෙන වියදම ආවරනය කිරීමට ආන්ඩුව තවත් නය ගනිමින් සිටී. ඊලඟ මාස කීපයේදී තවත් ඩො. බිලියන 1 ක නයක් ගැනීමටත් ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් තවත් ඩො. බිලියන 1.5 ක් ලබාගැනීමටත් රජය සැලසුම් කරයි.

ජාමූඅ හි කොන්දේසි සපුරාලන්නට, රජය ඉඩම් හා ගොඩනැගිලි ඇතුලූු රාජ්‍ය ආයතන ගනනාවක් පුද්ගලීකරනයට සැරසේ. එය දැනටමත් හම්බන්තොට වරාය හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව විකිනීමේ අවසන් අවස්ථාවට පැමින සිටී. හිල්ටන්, හයත්, වෝටර්ස් එජ් හා ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් වැනි රජයට අයත් සුඛෝපභෝගී හෝටල් ද ලංකා හොස්පිටල්ස් හා මත්තල ගුවන් තොටුපල ද විකිනීම සඳහා පෙල ගස්වා ඇත.

අයවැය හිඟය 2020 දී දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 3.5 කට, එනම් 2015 තිබුනාට වඩා හරියටම අර්ධයකට, සීඝ‍්‍ර ලෙස අඩුකරන්නට ජාමූඅ ලේ ප‍්‍රබල නියෝගයක් රජයට එල්ල වී තිබේ. එහි තේරුම වන්නේ, ජාමූඅ පුද්ගලීකරනයට පමනක් නොව, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට යන වියදම් කපා හරින්නට ද වර්තමාන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය හා සුභ සාධක සහනාධාර නවතා දමන්නට ද බල කරන බවයි.

රජය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා පුද්ගලීකරනය කරන්නට පියවර ගෙන ඇති අතර ගොවීන්ගේ පොහොර සහනාධාරය ද පාසල් ලමුන් හා දුගී ජනයාගේ සහනාධාර ද අඩු කර තිබේ. “ආර්ථික නිදහස” ගැන සිරිසේනගේ රැවටිලිකාර උද්‍යෝග පාඨයේ තේරුම වන්නේ දරා ගත නොහැකි සමාජ තත්වයන් තවදුරටත් පිරිහෙන බව පමනි.

වැඩ කරන ජනතාව පසුගිය වසර 69 ක ඊනියා ජාතික නිදහසේ ශේෂ පත‍්‍රය සලකා බැලිය යුතුය. ශ‍්‍රී ලංකා ධනපති පන්තිය මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් ආමන්ත‍්‍රනය කරන්නට අපොහොසත් බව ඔප්පු කර තිබේ. එය දශක තුනක විනාශකාරී වර්ගවාදී යුද්ධයකට රට තල්ලු කල අතර දැන් පොහොසතුන් හා දුප්පතුන් අතර පුලුල් වන අගාධයකට රට මෙහෙයවමින් සිටී.

තම කතාවේදී, සිරිසේන ජාතික නිදහස වර්නනා කිරීමේ චාරිත‍්‍රය ඉටු කලේය. “1930 හා 1940 දශක තුලදී, මේ රටේ නායකයන් විසින් ඉදිරිපත් කල ඉල්ලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස, ඩොනොමෝර් හා සොල්බරි කොමිසම් හරහා යම් ප‍්‍රධාන දුක් ගැනවිලිවලින් අපි නිදහස් වුනා. 1948 පෙබරවාරි 4 දා අපිට නිදහස දිනා ගැනීමට හැකි වුනා.” ඔහු ප‍්‍රකාශ කලේය.

ඇත්තටම, ධනපති පන්තිය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීමට කිසිදු අරගලයක් කලේ නැත. සිදු වූයේ බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට හා ලංකාවට ලබා දුන් නිදහස “බොරුවක්” බවට අර්ථ නිරූපනය කල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂය (බීඑල්පීඅයි) විසින් එම කාලයේදී සිදු කල අනතුරු ඇඟවීම් ස්ථිර වීමයි.

1948 දී බීඑල් පී අයි විස්තර කලේ මෙසේය: “ලංකාවේ බ්‍රිත‍ාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උත්සුකතා පරිපාලනය කිරීමේ කර්තව්‍යය ලංකාවේ ස්වදේශීය සූරාකන්නන්ගේ පන්තියට, සම්පූර්නයෙන්ම, පවරා දී තිබේ.” ශ‍්‍රී ලංකාව දිගටම අධිරාජ්‍යවාදය යටතේ තබාගැනීමේ තේරුම වන්නේ මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා ජීවන තත්වයන් මත පවත්වා ගෙන යන මර්දනයයි.

බොරු නිදහස හෙලා දැකීමට, මේ වසරේ “නිදහස සැමරූ” තැනෙහිදීම, එනම් කොලඹ ගාලු මුවදොර පිටියේදී ම බීඑල්පී අයි 1948 දී විරෝධතා රැලියක් පැවැත්වීය. කම්කරු පන්තියෙන් හා සිංහල, දෙමල, හා මුස්ලිම් යන සියලු ජන සමූහයන්ගේ ග‍්‍රාමීය ජනතාවගෙන් සැදුම් ලත් 50,000 ජනතාවක් රැලියට සහභාගී විය. “එහි (නිදහසේ) සමරන්නට යමක් මේ රටේ මහජනතාවට තිබේද?” එයට උත්තරය පැහැදිලිව මෙන්ම අනුමානයක් නැතිවම “නැත!” යන්න බව බීඑල්පීඅයි ය ලිවීය.

සැලකියයුතු ලෙසම, පසුගිය වසර දෙකේ සාපේක්ෂව අඩු මට්ටමේ උත්සව වලින් පසුව, ගාලු මුවදොරදී දැවැන්ත මිලිටරි-පොලිස් සංදර්ශනයක් මධ්‍ය යේ, “කැපකරන” ලෙසට ආයාචනා කරමින්, සිරිසේන තම කතාව පැවැත්වීය. ආරක්ෂක බලකායන්ගේ දැවැන්ත ප‍්‍රදර්ශනය රජයේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන මහජන විරෝධය මර්දනය කරන්නට පාවිච්චි කරන විධික‍්‍රම ගැන අනතුරු ඇඟවීමකි.

පෙලපාලිය යුද හමුදා, ගුවන්, නාවික, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය ඇතුලත් වූ 7,553 කින් සමන්විත වූයේය. පැරෂූට්කරුවන් 34 ක් උත්සව භූමියට බසින අතරේදී, ගුවන් හමුදා ගුවන් යානා හා ඊස්රායලයේ නිෂ්පාදිත යුද ගුවන් යානා අහසේ සංදර්ශනයක් පැවැත්වීය. යුද ටැංකි, කාලතුවක්කු, භූ ජලචර වාහන, ගුවන් යානා නාශක අවි, අවි සහිත අධිවේගී බෝට්ටු හා මල්ටි බැරල් රොකට් විදින අවි වැනි බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව තම කුරිරු යුද්ධයේදී භාවිතා කල සියලු උපකරන හමුදාව විසින් ප‍්‍රදර්ශනය කරන ලදී.

“වසර 30 තිස්සේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව අපේ රට බේරා ගන්නට සටන් කල නිර්භීත රන විරුවන්ව” සිරිසේන වර්නනා කලේය. රටෙහි සිංහල බෞද්ධ ප‍්‍රභූවෙහි ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සටන් කල යුද්ධය හේතුවෙන් සිය ගනනකගේ මරන ද දිවයිනෙහි බොහෝ විනාශයන් ද සිදු විය. 2009 දී “රන විරුවන්” වන මිලිටරියේ ඉහල නිලධරය කෲර පහරදීම් ගනනාවක් හරහා එල්ටීටීඊ ය විනාශ කර දැමීය. දස දහස් ගනන් සිවිල් වැසියන්ගේ මරන සම්බන්ධව යුද අපරාධවලට ඔවුන් වග කිව යුතුය.

“ජාතික සමගිය හා සංහිඳියාව” සඳහා ඔහුගේ ආයාචනයේත් ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කරමින් උත්සවය සමාප්ත කිරීමේ ආටෝපයේත් කුහක කම “රන විරුවන්” ගැන සිරිසේනගේ වර්නනාවන්ගෙන් එලිදරව් විය. මිලිටරිය විසින් ඔවුන්ගේ නිවාස හා ඉඩම් දිගටම වාඩිලා ගෙන සිටීම හරහා ආන්ඩුව රටෙහි දෙමල සුලුතරය මර්දනය කිරීම පවත්වා ගෙන යයි.

තමන්ගේ “සංහිඳියා” උත්සාහයට දේශීයව හා අන්තර්ජාතිකව ලැබෙන ප‍්‍රශංසා ගැන සිරිසේන උදම් ඇනුවේය. “අන්තර්ජාතික ප‍්‍රශංසා” විසින් අදහස් කරනුයේ එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් කවුන්සිලයේදී පැන නැගි යුද අපරාධ චෝදනා අර්ධ වශයෙන් ඉවත් කරගැනීමයි.

චීනයට වඩා සමීප යැයි සැලකූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පීඩනයට ලක් කිරීමේ ක‍්‍රමයක් ලෙස ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය පිලිබඳ ගැටලුව එජ ය මතු කලේය. 2015 මැතිවරනයේදී රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙන් හා සිරිසේන වොෂින්ටනය දෙසට නැවත දිශානතිය හැරවීමෙන් පසු, එජ ය මිනිස් අයිතිවාසිකම් සම්බන්ධව ඔවුන්ගේ උත්සුකතා අත් හලේය.

වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් උසස් කරන්නට දුන් තමන්ගේ පොරොන්දු සාක්ෂාත් කරන්නට තම ආන්ඩුවේ අපොහොසත් වීම වසන් කරන්නට හා ජාමූඅ ලේ කප්පාදු වැඩපිලිවෙලෙහි අලුත් වටයක් ක‍්‍රියාත්මක කරන්නට ඇති සූදානම සඟවන්නට සිරිසේන විසින් “ආර්ථික නිදහස” ගැන උදාන වාක්‍යය යොදා ගන්නා ලදී. ප‍්‍රතිගාමී සිංහල ස්වෝත්තමවාදය පොලඹවමින් හා නැවත බලය ඩැහැගන්නට කම්කරුවන්ගේ, දුගී ජනතාවගේ හා තරුනයන්ගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටින රාජපක්ෂ ඔහුට අභියෝගයක් වෙමින් තිබේ.

“ඔබේත් මගේත් මාතෘභූමිය සංවර්ධනය කරන්නට” දුන් ගෝසාබද්ද කපටි පොරොන්දුවක් සමගින් සිරිසේන තම කථාව අවසන් කලේය. සිරිසේනගේ “මාතෘභූමිය” විසින් ආරක්ෂා කරන දේපල හා රාජ්‍ය ධනපති පන්තිය අතෙහි පවතින බැවින් ඒ හරහා තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වන බව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව තේරුම් ගත යුතුය. ලෝක සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගන්නා තුරු කම්කරු පන්තියට “ආර්ථික නිදහසක්” නැත.

Share this article: