රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වර්ජනය අසාර්ථක වූයේ ඇයි?

ඩබ්ලිව්.ඒ සුනිල් විසිනි, 2017 මාර්තු 26

වැටුප් විෂමතා ඉවත් කිරීම, හදිසි අනතුරු හා අතිකාල දීමනාව වැඩි කිරීම හා වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහල දැමීම ඇතුලු ඉල්ලීම් හතක් මුල් කර ගෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) විසින් 13 සහ 14 දෙදින තුල ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතා උද්ඝෝෂනයක් කැඳවුම් කලේ ය.

රාසේඑහෙස වර්ජනය කැඳවීමට බල කෙරුනේ සිය ජීවන තත්වයන් ට හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාර සම්බන්ධයෙන් නොසතුටක් සහ නොසන්සුන්කමක් හෙද සේවකයන් අතර වර්ධනය වෙමින් ඇති තතු තුලය.

වර්ජනය “අතිසාර්ථක” වූ බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන නමුත්, එය අසාර්ථක විය. සාමාන්‍යයෙන් පොදු ඉල්ලීම් සම්බන්ධ අරගලයක දී තමන් සාමාජිකත්වය දරන වෘත්තීය සමිතිය නිල වසයෙන් සම්බන්ධ නො වුනත්, ඒවායේ සාමාජිකයෝ එම අරගලයට සම්බන්ධ වෙති. එහෙත් රාසේඑහෙස වර්ජනයේ දී එහි සාමාජිකයන්මත් බහුතරයක් ඊට සහභාගී වී නැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් කල විමසා බැලීම් වලදී දැන ගැනීමට ලැබුනේ වර්ජනයට ප‍්‍රධාන රෝහල්වල පවා හෙද සේවකයන් ගේ සහභාගිත්වය අවම මට්ටමක පැවති බවය. කොලඹ ඇස්වාට්ටුවේ හෙද සේවකයන් බහුතරයක් වර්ජනයට සහභාගී වී තිබූ නමුත්, ජාතික රෝහල, කලුබෝවිල, රාගම, ගාල්ල කරාපිටිය, මහනුවර, පේරාදෙනිය, බදුල්ල, කුරුනෑගල සහ හලාවත ඇතුලු ප‍්‍රධාන රෝහල්වල සහභාගිත්වය බෙහෙවින් අඩු ය.

වර්ජනය අසාර්ථක වූයේ, වැරදි නායකත්වයක් නිසා සහ නිසි සංවිධානයක් නො තිබුන නිසා යැයි වර්ජනයට සහභාගී නො වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) සහ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා හෙද සංගමයේ (සලහෙස) නායකයෝ කියති.

“... අසනීප නිවාඩු වාර්තා කිරීමට උපදෙස් දෙමින් ගෙන යන්නට උත්සාහ කල වැඩ වර්ජනය අසාර්ථක වූ” බව රහෙනිස සභාපති සමන් රත්නප්‍රිය ප‍්‍රකාශ කර ඇත. ඔහුට අනුව වර්ජනය අසාර්ථක වී ඇත්තේ ඉල්ලීම් ගැන බලධාරීන්ට කලින් දැනුම් දීම හා ඒ ගැන සාකච්ඡා කිරීම ආදී වශයෙන් “වර්ජනයක් කිරීමේ දී අනුගමනය කල යුතු නිසි ක‍්‍රමවේදයට අනුව වැඩ නොකිරීම” නිසාවෙනි.

රාසේඑහෙස වර්ජනයත්, පෙබරවාරි 28 පැවති රහෙනිස වර්ජනයත් යන දෙක ම “අසාර්ථක වූ” බව සලහෙස සභාපති ගාමිනී කුමාරසිංහ 14 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේ ය.

වර්ජනය අසාර්ථක වූයේ, හුදෙක් වැරදි නායකත්වයක් හා නිසි සංවිධානයක් නොතිබූ නිසාවත්, තම ඉල්ලීම් සඳහා සටන් කිරීමට හෙද සේවකයන් ට උවමනාවක් නැති නිසාවත් නො ව, සමතයක් ලෙස වෘත්තීය සමිති කෙරහි හෙද සේවකයන් අතර වර්ධනය වන අවිශ්වාසය හා කලකිරීම නිසාවෙනි.

වෘත්තීය සමිති කෙරෙහි විශ්වාසයක් නැති නිසා බොහෝ දෙනෙකු වර්ජනයට සහභාගී නො වූ බව මහනුවර රෝහලේ ශල්‍යාගාර හෙද සේවිකාවක් පැවසුවා ය. “මෙහේ වර්ජනයට සම්බන්ධ වුනේ හරිම අඩු ගනනක්. හේතුව වෘත්තීය සමිති ගැන හෙද සේවකයන්ගේ විශ්වාසය අඩු වෙලා. රාජපක්ෂ ආන්ඩුව කාලේ අපි මුරුත්තෙටුවේ හාමුදුරුවන්ට දැහැත් දීලා කිව්වා අපේ ඉල්ලීම් වලට වර්ජනය කරමු කියල. ඒත් කලේ නැහැ. දැන් කරන්නේ එයාගේ දේශපාලන උවමනාකම් උඩ. එයා රාජපක්ෂගේ පැත්තේ. ජනතා විමුක්ති පෙරමුනේ සමිති වල සාමාජිකයො අඩුවෙලා. ඒ අයත් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර වලට අනුව වර්ජනය කරනවා මිසක් හෙද සේවකයන්ගේ ඉල්ලීම් ගැන පොදු අරගලයක් කරන්න ලැස්ති නැහැ. පහුගිය ඡන්දෙදි සමන් රත්නප්‍රිය කිව්වා මේ ආන්ඩුවට ඡන්දෙ දෙන්න කියල. අපිත් දුන්න. නමුත් වැඩක් වුනේ නැහැ. අපේ කිසිම ඉල්ලීමක් ලැබුනේ නැහැ. අපේ අය වැඩි දෙනෙක් දැන් සමිති ගැන කල කිරිල ඉන්නේ”

වර්ජනයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය ගැන නිවේදන නිකුත් කරමින් වෘත්තීය සමිති කෙරෙහි හෙද සේවකයන් අතර පවතින මේ අවිශ්වාසය හා කලකිරීම යට ගැසීමට සමිති නිලධරය උත්සාහ කරති. එහෙත් වෘත්තීය සමිති කෙරෙහි හෙද සේවකයන් අතර ලියලන අවිශ්වාසය සහ කලකිරීම ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත්, කම්කරු පන්තිය තුල වර්ධනය වන තත්වයේ පොදු ප‍්‍රකාශනයකි.

පසුගිය ඔක්තෝබර් මාසයේ වතු කම්කරු වැටුප් අරගලය පාවා දෙමින් සහ නිෂ්පාදන ඵලදායිත්වය මත පාදක වූ අඳ ගොවි ක‍්‍රමයක් කම්කරුවන් මත පැටවීමට වතු සමාගම් සහ ආන්ඩුව සමග කටයුතු කිරීම නිසා වතු සමිති වලට එරෙහිව වතු කම්කරුවන් අතර බරපතල විරුද්ධත්වයක් වර්ධනය විය. සැලකිය යුතු සංඛ්‍යාවක් තමන් සාමාජිකත්වය දැරූ සමිතිවලින් ඉල්ලා අස් වූහ.

වෘත්තීය සමිති වල පාරාජිකා වීම එලිදරව් කරමින් කම්කරුවන් සඳහා විකල්ප සංවිධාන වල අවශ්‍යතාව අවධාරනය කල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අරගලය තුලදී මස්කෙලිය ඩීසයිඩ් වත්තේ කම්කරු කන්ඩායමක් සසප සමග එක්ව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගැනීම කම්කරු පන්තිය තුල සමිති කෙරෙහි වර්ධනය වන මෙම විරුද්ධත්වයේ පැහැදිලි ප‍්‍රකාශනයකි.

එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගන්නා මේ සමිති ක්‍රියාත්මක වන්නේ හෙද සේවකයන්ටත්, පොදුවේ කම්කරු පන්තියටත් හතුරු සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර දෙන ධනපති පක්ෂ සහ ආන්ඩුවල උපකරන ලෙස මිස හෙද සේවකයන්ගේ අයිතීන් සඳහා සටන් කරන සංවිධාන ලෙස නොවේ.

කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පන්දම් අල්ලමින් හෙද සේවකයන්ගේ ඉල්ලීම් යට ගැට ගැසු රාසේඑහෙස සහ එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ඔවුන්ගේ අරගල පාවා දුන්හ. රාජපක්ෂ යලි ආරම්භ කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේ මුල් පෙලේ උද්ඝෝෂකයෙකු වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද කම්කරු පන්තිය වාර්ගිකව බෙදීමේ සහ පන්ති අරගල මර්දනය කිරීමේ ආන්ඩුවේ ප‍්‍රතිගාමී පිලිවෙත සමග පෙල ගැසී සිටියේ ය. ඔහු දැන් ඊනියා යහපාලන ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන වෛරය ගසාකමින් වර්ගවාදී දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමට වෙර දරන රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනය සමග කරබදු වූවෙකි.

රහෙනිස වර්තමාන සම්මුති ආන්ඩුවේ රැකවලෙකි. ඊනියා පුරවැසි පෙරමුන සමග පෙල ගැසෙමින් මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇදි රහෙනිස දැන් පන්ති අරගල මර්දනය කිරීමේ ආන්ඩුවේ දුෂ්ට සැලසුම් සමග බද්ධ වී සිටිති. ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව මතු වන පන්ති අරගල රාජපක්ෂ යලි බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රන ලෙස හංවඩු ගසමින් ඒවාට එරෙහි රාජ්‍ය මර්දනය රහෙනිස හා එහි සභාපති රත්නප්‍රිය විසින් කිසිදු හිරිකිතයකින් තොර ව සාධාරනීකරනය කරනු ලබති.

රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට සහ වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන් ජවිපෙ හා සලහෙස ඇතුලු එහි සමිති රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තියේ අසතුට සහ කෝපය වර්ධනය වෙද්දී අනිත් පැත්තට මාරු වී, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට වැඩ කලේ ය.

දැන් වර්තමාන ආන්ඩුව කෙරෙහි මෙන් ම සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කම්කරු පන්තිය තුල වර්ධනය වන අසතුට හා කෝපය සිය ප‍්‍රතිගාමී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගසා කෑමට ජවිපෙ සහ සලහෙස ඇතුලු එහි වෘත්තීය සමිති උත්සාහ කරති.

හෙද සේවකයන් ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකට හෝ වෘත්තීය සමිති මගින් අතීත අරගල මගින් දිනා ගත් අයිතීන් රැක ගැනීමට හෝ නව අයිතීන් දිනා ගැනීමට නොහැකිය. ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ සුබසාධන අතුගා දැමීම ය. හෙද සේවකයන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් ට එල්ල කෙරෙන ප‍්‍රහාර එහි කොටසකි. කම්කරු පන්තියට සිය අයිතීන් දිනා ගත හැක්කේ සමාජවාදී පිලිවෙතක් මත ආර්ථිකය ප‍්‍ර‍්‍රතිසංවිධානය කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි. කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක කර්තව්‍ය වන්නේ ඒ සඳහා සටන් වදින ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. හෙද සේවකයන් මෙම ප‍්‍රතිගාමී වෘත්තීය සමිති වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් එවන් අරගලයක් සඳහා ඉස්මත්තට යා යුතු ය.

Share this article: