ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම සඳහා ආන්ඩුව පේරාදෙනිය නවක වද සිද්ධිය ඩැහැ ගනී

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 මාර්තු 07

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුන් කන්ඩායමක් විසින් පලමු වසර සිසුන් අට දෙනෙකු සරසවිය අසල කුලිී නිවසක් තුල දී නවක වදයට ලක් කලේ යැයි පැවසෙන සිද්ධිය දඩමීමා කර ගනිමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හා සරසවි පරිපාලනය ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කිරීම සඳහා පියවර ගනිමින් සිටිති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය නවක වදයට එකහෙලා විරුද්ධ වන අතරම, නවක වදය දඩමීමා කර ගනිමින් ආන්ඩුව ක්‍රියාවට දමා ඇති මර්දන පියවරයන්ට එරෙහිව සිසුන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය සහ සමාජමය අයිතීන් සුරක්ෂිත කිරීමට කම්කරුවන්, සිසුන් සහ තරුනයන් අතර සටන් වදී.

සිද්ධියට පසු දින කලුතර පාසලක පැවති උත්සවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල තර්ජනාත්මක කතාවෙන් සිසුන්ට එරෙහි ආන්ඩුවේ මර්දන සැලසුම් පැහැදිලිව ප‍්‍රකාශයට පත් විය. “‘ම්ලේච්ඡත්වයට සහ ‘කැලෑ නීතියට’ විශ්ව විද්‍යාල තුල ඉඩ දිය නොහැකි බවත් ‘යහපත් ගුනගරුක’ ශිෂ්‍යයින්ගේ අනාගතයට කරදර කරන, අභියෝගයක් වන, ඉතා සුලු පිරිසකගේ ක‍්‍රියාකාරිත්වය පිලිබඳව සොයා බලා ඒවා නතර කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට” පොලිස්පතිට උපදෙස් දුන් බවත් ඔහු පැවසීය.

නිදහස් අධ්‍යාපන කප්පාදුව වේගයෙන් ක්‍රියාවට දැමූ පසුගිය දශක දෙක තුල ලංකාවේ බලයට පත් ධනපති ආන්ඩුවල ඇමති ධුර දරමින් හා දැන් ජනාධිපති ලෙස එම කප්පාදුවේ නියමු කාර්යයක නිරතව සිටින සිරිසේන නිදහස් අධ්‍යාපනය ගැන හා සරසවි සිසුන් පිලිබඳව මේ හෙලන්නේ කිඹුල් කඳුලු ය. පාඨමාලා කප්පාදුවට හා අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහි සිසු විරෝධතාවලට මෙන්ම කම්කරුවන්ගේ විරෝධතාවලට එරෙහිව ජල, කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා වත්මන් ආන්ඩුව ගත වූ වසර දෙක තුල පොලීසි හා හමුදාවලට අන කොට ඇත්තේ පැවති රාජපක්ෂ ආන්ඩුව පරයා යන ආකාරයට යි.

පේරාදෙනිය නවක වද සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් දෙවන වසර සිසුන් 15 දෙනෙකු මේ මස 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත‍්‍රාත් අධිරකරනය නියෝග කොට තිබේ. සිද්ධිය පිලිබඳ වීඩියෝ දර්ශන සහිත සාක්ෂි තමන් සතු වන බවත් 1998 අංක 20 දරන නවක වද පනත යටතේ සිද්ධියට සම්බන්ධ සිසුන්ට නඩු පවරන බවත් පොලීසිය ප‍්‍රකාශ කරයි.

සරසවි තුල පොලිසිය හා පරිපාලනය ඒකාබද්ධ කිරීමේ වෑයම් දැනට ක්‍රියාත්මකව පවතින අධ්‍යාපන පෞද්ගලීකරනයට හා නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසුන්ගේ රැඩිකලීකරනයට එරෙහිව පිහිටා ගත් එකකි. ආන්ඩුවේ වර්තමාන එල්ලය මෙන්ම නවකවද පනතේ එල්ලය නවක වදය පිටුදැකීම නොවේ. එම පනත, තම අයිතීන් වෙනුවෙන් ඒකාබද්ධ වීම, රැස්වීම් පැවැත්වීම හා පත්‍රිකා බෙදීම ඇතුලු සිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්වලට ප‍්‍රහාර එල්ල කල හැකි විසකුරු නීතිවලින් සමන්විත වෙයි. සිරිසේන ඇමති ධුර දැරූ රාජපක්ෂ පාලන සමයේ සරසවි සිසුන් සිය ගනනකගේ පන්ති තහනම් කරමින් හා ශිෂ්‍යභාවය අහෝසි කරමින් ශිෂ්‍ය මර්දනය දියත් කලේ යලි බලාත්මක කල නවක වද පනත යටතේ පවත්නා නීතිවල ආධාරයෙනි. එවක දී ආන්ඩුවට අවශ්‍ය අන්දමට සිසුන් විනයගත කිරීම සඳහා මාස තුනක මිලටරි පුහුනුවකට ද නවක සිසුන් යටත් කෙරුනි.

මෙවැනි “වදකාගාරයක්” ලංකාවේ ඉතිහාසයේ හමු වූ පලමු අවස්ථාව ලෙස නම් කරමින් මාධ්‍ය සංස්ථාපිතය ආන්ඩුව හා පෙලගැසී සිටියි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොටසක්ද ආන්ඩුවේ මෙම මර්දන පියවර සඳහා මග හෙලිපෙහෙලි කර දීමට ඉදිරිපත් වී සිටිති. ඊනියා වධකාගාරය “වැටලීමට” සහභාගී වූ බැව් කියැවෙන පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය ගාමිනී හෙට්ටිගේ දිනමිනට මෙසේ ප‍්‍රකාශ කලේ ය: “පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය බවට කතිකාවක් රටේ ක්‍රියාත්මක වෙත්දී විශ්වවිද්‍යාල සිසුන් ඊට එරෙහිව හඬ නගනවා. ඒ අතර ඔවුන් විශ්වවිද්‍යාල තුල ප‍්‍රචන්ඩත්වය වපුරනවා. අද උසස් පෙල ඉහලින් සමත්වන ඇතැම් දරුවන් නවක වදයට බියෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කරන්නේ නැහැ. තවත් පිරිසක් නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල හැර යනවා. මේ අය පිටත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා හඬක් නගනවා.”

ආන්ඩුවේ මර්දනයට මෙන්ම අධ්‍යාපනයේ පුද්ගලීකරනයට ද හෙට්ටිගේ පිටිය සකස් කර දෙයි. උසස් පෙල ඉහලින් සමත් බහුතරයක් සිසුන් හට සරසවි වරම් නො ලැබෙන්නේ පවත්නා විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්නා දරුනු භෞතික හා මානව සම්පත්වල හිඟය මිස ඊනියා නවකවද භීතියක් නොවේ. වසරක් පසා සරසවි වරම් ලබන ලක්ෂ එකහමාරකට වැඩි සිසුන්ගෙන් සරසවි වරම් හිමි වන්නේ විසිදාහක් පමන සුලු පිරිසකට පමනි.

වර්ධනය වෙමින් පවතින තත්වය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ පේරාදෙනිය සරසවියේ විද්‍යා පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක් මෙසේ සඳහන් කලා ය: “ඇත්තට ම අපේ අත්දැකීම් අනුව කියන්න වෙන්නේ, මෙය මහා දැවැන්ත සිද්ධියක් හැටියට පත්තරවල වාර්තා කරන්නෙ සිසුන්ට එරෙහිව පොලීසිය මැදිහත් කරල මර්දනය දිගේලි කරන්න.”

කෙසේ නමුත් නවක සිසුන් තම දේශපාලනික ග‍්‍රහනයට ගැනීම සඳහා නවකවදය වැනි ප‍්‍රතිගාමී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමවේදයන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ආන්ඩුවේ මර්දනයට සිසුන් ලක් කිරීම සම්බන්ධව දේශපාලනිකව වගකිව යුතු ය. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් අධ්‍යාපන අයිතිය දිනා ගත හැකිය යන මිත්‍යාව මත පදනම් වෙමින් හුදෙකලා විරෝධතාවලට සිසුන් කොටු කර තිබෙන අවිශිබමය අධ්‍යාපන කප්පාදුවේ මූලය ධනේශ්වර ක‍්‍රමයේ ගැඹුරු වන අර්බුදය බව වසන් කරයි. අධ්‍යාපන කප්පාදුවට මෙන්ම ශිෂ්‍ය මර්දනයට ඉඩ සලසා දෙන ධනපති පන්තියේ ආධාරක උපකරනයක් ලෙස අවිශිබම ක්‍රියාත්මක වෙයි.

අවිශිබමය ක්‍රියාත්මක වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ය. පෙසප යනු සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනින් (ජවිපෙ) මෑතකදී සංවිධානාත්මකව භේදවීමෙන් ගොඩනගා ගත් ලංකාවේ තවත් ව්‍යාජ-වාම පක්ෂයකි. ජවිපෙ 1970 ගනන්වල අගභාගයේ සිට ශිෂ්‍ය සංගම්වල අධිකාරය ඩැහැගත් දා පටන් නවක වදය හා ශිෂ්‍ය සංගම් දේශපාලනය අතර සමීප සම්බන්ධයක් ආරම්භ විය. මෙම කටයුතු, ජවිපෙ 88-89 කාලපරිච්ඡේදය මුලුල්ලේ කම්කරු පන්තියටත්, කම්කරු පන්තික සංවිධානවලටත් එරෙහි ව ගෙන ගිය ෆැසිස්ට් මැරකම් සමග ජාඩියට මූඩිය සේ ගැලපුනි. ඔවුන්ගේ සිරිත වූයේ ඊනියා පොදු ශිෂ්‍ය සමූහයා තුලට නවක ශිෂ්‍යශිෂ්‍යාවන් අනුයෝජනය කරගැනීමේ නාමයෙන් නවක වදය ක්‍රියාත්මක කිරීම යි.

ලංකාව තුල ජවිපෙ වර්ධනයට කොන්දේසි සැකසුනේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සඳහා සිංහල දෙමල කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට සටන් වැදී ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂය 1964 දී සිරිමා බන්ඩාරනායකගේ සභාගයට ඇතුලු වෙමින් සිදු කල පවා දීම මගිනි. ආරම්භයේ දී ජවිපෙ වැඩී ආවේ මාක්ස්වාදයට හා කම්කරු පන්තියට හතුරු චේගුවේරාවාදය, මා ඕවාදය හා සිංහල වර්ගෝත්තමවාදය මත පදනම් වූ සහ ගම්බද ගොවීන් හා දකුනේ සිංහල තරුනයන් රැලිකරගත් සුලු ධනේශ්වර සංවිධානයක් ලෙසයි.

දැන් ශිෂ්‍ය සංගම් මත අධිකාරය උසුලන පෙසප, ජවිපෙන් උරුම කරගත් මැර විධික‍්‍රම ඊටත් වඩා යහමින් යොදාගනු ලබන අතර කම්කරු පන්තික සටන් සම්ප‍්‍රදායන්වලට සිය වෛරය යහමින් ප‍්‍රදර්ශනය කරයි එදා මෙන් ම අදත් මේ ක්‍රියාකාරකම් සාධාරනීකරනය කෙරෙනුයේ විවිධ පසුබිම්වල සිට විශ්වවිද්‍යාල තුලට පැමිනෙන සිසුන් අතර “වෙනස්කම්” දුරලා “සමානතාව” ඇති කිරීමට නවක වදය අවශ්‍ය වන බවට ඉදිරිපත් කරන කුතර්කයෙනි. සරසවියේ “උපසංස්කෘතිය” නවක ශිෂ්‍යශිෂ්‍යාවන්ට හඳුන්වා දීමේ මාධ්‍යයක් හැටියට ද නවක වදය ප‍්‍රයෝජනවත් බව කියනු ලැබේ.

ඩේලි මිරර් පත‍්‍රය සමග පසුගිය සිකුරාදා පැවති සම්මුඛ සාකච්ඡාවක දී අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර ප්‍රෝඩාකාරී ලෙස කියා සිටියේ සරසවිවල මෙවන් අපචාරවලට තම සංවිධානය විරුද්ධ බව යි. එලෙසම සරසවි තුල ක්‍රියාත්මක නවක වදය සාධාරනීකරනය කිරීමට වීරසේකර නවකවදය පාසල්වලත්, කාර්යාල තුල හා පොලීසි හා හමුදා තුලත් ඇතැයි කියා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග අදහස් දැක්වූ පේරාදෙනිය කලා පීඨයේ තෙවැනි වසර ශිෂ්‍ය සංගම් ක්‍රියාදර සිසුවෙක් නවකවදය හා ශිෂ්‍ය සංගම්වල දේශපාලනය අතර පවතින සම්බන්ධය මෙසේ විස්තර කලේ ය: “මේ මුල් මාස කීපය ඇතුලත මේ විදිහට (නවක වදය) කරගත්තෙ නැත්නං මේ සටන් අරගෙන යන්න විදිහක් නැති වෙනවා. මොකද මේකෙන් තමයි ශිෂ්‍ය සටන්වලට සහාය දෙන පිරිස රඳවගෙන තියාගන්න ලැබෙන්නෙ. එහෙම නොවුනොත් ඒක නිකම්ම හේදිලා යනව. මෙතන දී ශිෂ්‍ය නායකයො කියන්නෙ නවක වදය නැති කලොත් නිදහස් අධ්‍යාපනය රැකගන්න කරන සටන පරදිනව කියලයි.”

අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට නම් අවිශිබම යේ බංකොලොත් විරෝධතා දේශපාලනයෙන් කැඩී වෙන්වීම අත්‍යවශ්‍ය වෙයි. ධනේශ්වර ප‍්‍රහාරයන් හමුවේ සටන්කාමී වන තරුනයින් හා ශිෂ්‍යයින්ට සිය අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා පවතින එකම ශක්‍ය වැඩපිලිවෙල ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ සටන යි. ඒ සඳහා අවශ්‍ය ඉදිරිදර්ශන හා ක්‍රියාමාර්ග විස්තාරනය කරමින් නායකත්වයේ වගකීමට උර දෙන්නේ සසප සහ සසජාතශි පමනකි.

Share this article: