කටුවාන කර්මාන්තපුරයේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකරයි

දයානන්ද රත්නායක විසිනි, 2017 මාර්තු 25

1991 දී ජනාධිපති ආර්. ප්‍රේමදාස පාලන සමයේ ආරම්භ කෙරී ඇති හෝමාගම, කටුවාන කර්මාන්තපුරය, විදේශ වෙලඳපොල සඳහා භාන්ඩ හා සේවා සපයන දේශීය ධනපතියන්ගේ කර්මාන්ත සඳහා වෙන්කල කලාපයකි. මෙවැනි කලාප 26ක් රට පුරා පවතින අතර ඒවාට, මංමාවත්, විදුලිය සහ ජලය වැනි යටිතල පහසුකම් රජය විසින් සපයා ඇත.

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව කටුවාන කර්මාන්තපුරය අක්කර 65 ක පමන ප‍්‍රදේශයක් ආවරනය කරයි. මෙහි පොලිතීන්, මස් නිෂ්පාදන, ප්ලාස්ටික් ඇසුරුම්, බෙහෙත් වර්ග, රසායනික ද්‍රව්‍ය, සත්ව නිෂ්පාදන, මුද්‍රන කටයුතු සහ ඇලුමිනියම් නිෂ්පාදන දේශීය හා විදේශීය වෙලඳ පොලට නිකුත් කරන කර්මාන්ත ශාලා 75 ක් පමන පවතී.

කර්මාන්තපුරයේ සමස්ත සේවක සංඛ්‍යාව 3500 ක් පමන වන අතර ඔවුන් ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සේවයේ යෙදී සිටියි. ඉන් බොහොමයක් රැකියා සොයා ගම්බද සිට නගරයට සංක‍්‍රමනය වූ ගොවි සම්භවයක් සහිත තරුන තරුනියන් ය. ඉඩම් සහ ජල හිඟය, පොහොර මිල ඉහලයාම සහ තම නිෂ්පාදන යහපත් මිලකට විකුනා ගැනීමට නොහැකිවීම ආදී විවිධ ගැටලු හේතුවෙන් ගොවිතැන අත්හැර අන්‍ය රැකියාවක් සොයා නගරයට සංක‍්‍රමනය වීමට ඔවුනට බලකෙරී ඇත.

2008 මූල්‍ය කඩා වැටීමෙන් ඇරැඹී බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර පද්ධතියේ ගැඹුරුවන අර්බුදය හේතුවෙන් සෑම රටක්ම පාහේ උග‍්‍ර නය අර්බුදයකට සහ ගැඹුරු වන අය-වැය පරතරයකට මුහුන දී සිටී. වෙලඳපොල හැකිලී නිශ්පාදකයන් අතර තරගය උග‍්‍ර කෙරී ඇත. ලෝකය පුරා ධනපති පන්තිය එයට ප‍්‍රතිචාර දක්වනුයේ කම්කරු-පීඩිත ජනයාගේ ජීවන කොන්දේසි වලට පහර දෙමිනි. කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමෙන් සහ වැඩ වේගවත් කිරීමෙන් සූරාකෑම වඩවඩාත් තීව‍්‍ර කෙරෙමින් පවතී.

මෙම තත්වය තම ජීවිත හරහා ගමන් කරමින් පවතින්නේ කෙසේදැයි කටුවාන කර්මාන්තපුරයේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැහැදිලි කලහ.

ප්ලාස්ටික් වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සේවය කරන අම්පාරේ දුෂ්කර ගම්මානයක සිට පැමිනි චමින්ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තමන් මුහන දෙන කොන්දේසි මෙසේ ප‍්‍රකාශ කලේය: “අපි උදේ 7.00 ඉඳල රාත‍්‍රී 7.00 වන තෙක් සතියේ දින හතම වැඩකරන්න ඕන. දිනකට වැටුප රුපියල් 800.00 යි. පැයකට රුපියල් 65 බැගින් ගෙවන පැය 4ක අනිවාර්ය අතිකාලයක් මෙයට එකතු වෙනවා. දිවා විවේක කාලය පැය භාගයයි. එක් දිනක් නොපැමිනියහොත් රුපියල් 1000 ක් වැටුපෙන් අඩුකරනවා.”

මෙම කම්හලේ බෝතල් නිපදවන කම්කරුවෙකු විසින් දිනකට, ලීටර් 2.5 හෝ ලීටර් 5 බෝතල් 6000 ක ද මූඩි නිපදවන්නන් දිනකට 12,960 ක ද ඉලක්කයක් සැපිරිය යුතුය. මෙම බෝතල් නිපදවනු ලබන්නේ ගිනියම් වූ ප්ලාස්ටික් වලින් වන අතර එම ප්ලාස්ටික් කොටස් එකින් එක අතින් රැගෙන හුලං පිරවීමෙන් බෝතලය නිමවෙයිි. මේ සඳහා මාසයකට ම ලැබෙනුයේ එක් අත්වැසුම් යුගලයකි. අතේ දියපට්ටා දැමීම බොහෝවිට සිදුවෙන බව ඔහු පැවසීය.

පොහොර සහනාධාරය කප්පාදු කිරීමත් කෘෂිකාර්මික නිෂ්පාදන වලට වෙලඳ පොලක් නොමැතිකමත් හේතුවෙන් ඔහු ගොවිතැන අත්හැර කර්මාන්තශාලාවේ සේවයට පැමින ඇත. මාසික වැටුප රුපියල් 20,000ක් පමන බවත් අතිකාල වැඩවල යෙදීමෙන් රුපියල් 30,000ක් පමන උපයා ගත හැකි බවත් ඔහු පැවසීය.

පොලිකොම් නම් වූ විදුලි උපාංග නිෂ්පාදනය කරන කම්හලක සේවයකරන ලක්මාල් (25), සුපුන් (22) සහ සමීර (20) යන තරුනයන් තම කම්හලේ සේවා කොන්දේසි විස්තර කලහ.

සුපුන්: “කර්මාන්තශාලාව පැය 24 ම වැඩකරනවා. සේවා මුර 4 ක් තිබෙනවා. සේවකයෙකු දිනකට පැය 12 ක් වැඩ කරන්න ඕන. ඉන් පැය 3 1/2 ක් අතිකාල සඳහා වෙන්කරනවා සතියකට දින දෙකක් නිවාඩුයි. දින තුනක් නිවාඩු ගත්තොත් රුපියල් 3500ක් කපනවා.”

ජංගම දුරකථන හරහා ගමේ සිටින තම දෙමාපිය නෑ හිතමිතුරන් සමග සමීප සබඳතා පවත්වා ගැනීම සහ සමාජ වෙබ් අඩවි ඇසුරු කිරීම මගින් තම රැකියාවේ විඩා නිවා ගැනීමට පුරුදුව සිටින මෙම කම්කරුවන්ට දුරකථන ගාස්තු වැඩි කිරීම දැඩි ලෙස බල පා ඇත.

ලක්මාල්: ”මේ ආන්ඩුව ජරා ආන්ඩුවක්. ෆෝන් එකට කාඩ් එකක් දාගත්තහම කීයක් කැපෙනවද? ඒකම ඇති මේ ආන්ඩුව තේරුම්ගන්න.”

මුද්‍රන ආයතනයක සේවය කරන කම්කරුවෙක්: “අපට නේවාසික පහසුකම් සහ කෑම ආයතනයෙන්ම සැපයුවත් ඒවායේ කිසිම ප‍්‍රමිතියක් නැහැ. කෑම දෙන අක්ක කිව්වේ පොල් ගෙඩියක් රුපියල් 80 ක් වෙනවා ඉතින් කොහොමද හොඳට කෑම හදන්නේ කියල,”

ඔහුගේ දෙමාපියන් ගොවියන් වන අතර බඩඉරිඟු වගාවේ නියුතු ඔවුන් අතිමහත් දුෂ්කරතාවන්හි වෙලී පැටලී සිටින අයුරු ඔහු විස්තර කලේය: “අලි වගා පාලු කරනවා. ඒ මදිවට පොහාර සහනාධරය කපල දමල. මේ නිසයි මම මේ කර්මාන්ත ශාලාවේ වැඩට ආවේ.”

එම කම්හලේ සේවකයන් සතියකට දින හයක් සේවය කලයුතු ය. හයවන දිනයේ, එනම් සෙනසුරාදා, ප.ව. 2.00 ට වැඩ අවසන් වන නමුදු මෙවර අවුරුදු නිවාඩුව ගැනීමට මාර්තු මාසයේ සෙනසුරාදා සවස 7.00 වන තෙක් වැඩ කිරීමට සිදුව ඇත. ඒ සඳහා අතිකාල ගෙවීමක් නොමැත.

වර්තමාන සිරිසේන ආන්ඩුව බලයට පැමිනි විගස රටපුරා මෙවැනි කලාප 44 ස්ථාපිත කර එමගින් රැකියා සම්පාදනය කරන බවට පම්පෝරි ගැසුවේ මෙම කර්මාන්තපුරය තුල පිහිටි කර්මාන්ත ද විශාල ලෙස බිඳ වැටී ඇති තතු යටතේය. ප‍්‍රාදේශීය කර්මාන්ත සංගමය ප‍්‍රකාශ කොට ඇත්තේ මෙම කලාපයන් වැසීයාමේ තර්ජනයට මුහුනදී ඇති බවයි. කලුතර කලාපය තුල පමනක් කර්මාන්තශාලා 30 කින් 20 ක්ම වැසී ගොස් ඇති බව ඔවුන් ප‍්‍රකාශ කරයි.

එමෙන්ම රැකියා මිලියනයක් සම්පාදනය කිරීම තම ඉලක්කය බව මෙම රජය ආරම්භයේදීම ප‍්‍රකාශ කර සිටියේය. ආන්ඩුව නව කාර්මික ජනපද දුසිමකටත් වැඩි ප‍්‍රමානයක් ආරම්භ කරමින් ඒවාට අවුරුදු 5 සිට 15 දක්වා බදු සහන, උපකරන ආනයනය සඳහා තීරු බදු සහන ප‍්‍රදානය කල ද අපේක්ෂිත විදේශ ආයෝජන ඉලක්කයන් අසලකට හෝ ඒමට ආන්ඩුව අසමත්ව ඇත.

ආයෝජකයන් මේ සා සහන අත් විඳිද්දී ඈත ගම්මාන වලින් රැකියා සොයා පැමිනෙන තරුන කම්කරුවන් අත් විඳින්නේ හාත්පසින් වෙනස් තත්වයක් ය. ඔවුන්ට සිය දෙමව්පියන් අඹුදරුවන් දැකගැනීමට යාමට ලැබෙන්නේ සති දෙකකට පමන වරක් බැගිනි. දින එකහමාරකට සීමාවන එම කාලයෙන් බොහෝ කොටසක් ගමනට වැයවේ. ඔවුනට දිවි ගෙවීමට සිදුව ඇත්තේ අවම පහසුකම් හෝ නොමැති බෝඩින් කාමර තුල යි.

කම්කරු පන්තියේ සමාජමය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ලකරන ප‍්‍රහාර මගින් ධනපති ආයෝජකයන්ගේ ලාභ ආරක්ෂා කර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද ඇතුලත් ලොවපුරා ආන්ඩු වලට දෙගිඩියාවක් නැත.

ආසන්නතම රට වන ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ මරුති සුසුකි කම්හලේ කම්කරුවන් වැඩි වැටුප් සහ යහපත් රැකියා කොන්දේසි ඉල්ලා කල සටනට කම්හල් පාලකයන් ප‍්‍රතිචාර දක්වා ඇත්තේ බොරු නඩු අටවා එම සටනේ සමස්ත නායකත්වය ඇතුලු 13 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමෙනි. මෙම කුමන්ත‍්‍රනයට පොලීසිය, පැවති කොන්ග‍්‍රස් ආන්ඩුව සහ වත්මන් බීජේපී ආන්ඩුව, නිල වෘත්තීය සමිති නායකත්වය, ස්ටැලින්වාදී පක්ෂ, අධිකරනය සහ ධනපති මාධ්‍ය ඇතුලත් සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඒකාබද්ධ විය.

මෙම ප‍්‍රහාරයන් පරාජය කිරීමට නම්, කම්කරුවන් ජාත්‍යන්තර පරිමානව ඒකාබද්ධව, ප‍්‍රහාරයන්ගේ මූලය වන ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දමා, ලාභය සඳහා නොව අවශ්‍යතාව සඳහා නිශ්පාදනය කෙරෙන ලෝක සමාජවාදී නිශ්පාදන ආර්ථිකයක් ස්ථාපිත කිරීමට සටන් වැදිය යුතුය.

Share this article: