සිසු පාගමනට ආන්ඩුව එල්ල කල මුර්ග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමු!

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 19

මාලඹේ පිහිටි, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂනවේදය පිලිබඳ දකුනු ආසියානු ආයතනය (සයිටම්) රජයට පවරා ගැනීම මුල් කොටගත් ඉල්ලීම් මාලාවක් මත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නායකත්වයෙන් පසුගිය 17 වන බදාදා කොලඹ පැවති විරෝධතා පාගමනට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පොලීසිය යොදා සිදුකල පොලිස් ප‍්‍රහාරය සියලු කම්කරුවන්, තරුනයන් සහ ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදය අගයන සියලු දෙනා විසින් තරයේ හෙලා දැකිය යුතුය.

ඉහත මූලික ඉල්ලීමට අමතරව, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයන් හි නිර්මානය වී ඇති ගැටලු විසඳන ලෙසත්, විශ‍්‍රාම වැටුප් කප්පාදුව ඇතුලු කම්කරු අයිතීන් කොල්ලකෑම සහ රාජ්‍ය ආයතන විකිනීම නතර කරන ලෙසත් පාගමනේ යෙදුනු සිසුහු ඉල්ලා සිටියහ.

කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කෙරී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා (යූජීසී) මූලස්ථානය වෙත යොමුව තිබූ පා ගමනට සිසුන් කීප දහසක් සහභාගි වී සිටියහ. පාගමන වාරනය කරමින් පෙරදින ලබාගත් අධිකරන නියෝගයක් ඉදිරිපත් කල පොලීසිය විසිර යන ලෙස බල කලද එය නොතකා සිසුහු ඉදිරියට ඇදෙමින් සිටියහ. ඉබ්බන්වෙල හන්දිය අසල යොදා තිබූ පොලිස් මාර්ග බාධක හේතුවෙන් විකල්ප මගක් ඔස්සේ යූජීසී ය වෙත යමින් සිටි සිසුන් විහාරමහාදේවී උද්‍යානය අසල ට පැමිනෙත්ම පොලීසිය කඳුලු ගෑස් වලින් නොනවත්වා පහර දුනි. ප‍්‍රහාරයෙන් අත්මිදීමට අසල විහාරමහාදේවී උද්‍යානයට දිවගිය සිසුන් හඹාගිය පොලීසිය එහිදීද කඳුලුගෑස් වලින් ඔවුනට පහරදුනි.

තුවාල ලැබූ සිසු-සිසුවියන් විසි දෙදෙනෙකු කොලඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුනු අතර සිසුන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරනය හමුවට පමුනුවා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

ආන්ඩුව එල්ල කල මෙම පොලිස් ප‍්‍රහාරය මගින් යලිත් වරක් සනාථ කෙරෙන්නේ කම්කරුවන්, තරුනයන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් තම අයිතීන් සඳහා කරන කවර අරගලයක් හෝ ඉවසීමට නුසූදානම් ආන්ඩුව ඒවා පොලිස් රාජ්‍ය පියවර උසිගන්වා තලා දැමීමට සූදානම් බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “රට විනයගත කිරීම සඳහා” භාර ගන්නා ලෙස ඇමති හා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මෑතක දී කල යෝජනාවේ තේරුම එයයි.

දැවැන්ත නය බරින්ද, අවපාතයක් දෙසට වේගයෙන් වැඩෙමින් පවත්නා ලෝක ආර්ථික අර්බූදයේ පීඩනයෙන් ද මිරිකී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට තමා මුහුන දී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නය මත යැපෙන්නට ත් එම නය කොන්දේසි නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීමටත් බල කෙරී ඇත. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සේවාවන් ගැඹුරින්ම කප්පාදු කිරීමත් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය ට එම ක්ෂේත‍්‍රයන් හි නිර්බාධිතව ආයෝජනය කිරීමට ඉඩ ලබා දීමත් ජාමූඅ හි නය කොන්දේසි අතර ප‍්‍රමුඛතම වෙයි.

ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ මෙම විධානයන්ගෙන් වෛෂයිකව ම නිර්නය කෙරෙන ආර්ථික පිලිවෙත යි. එයට එරෙහි කවර හෝ අරගලයක් ආන්ඩුවට ඉවසිය නොහැක්කේ එබැවිනි. මෙම පිලිවෙත් වෙනස් කරන ලෙස ආන්ඩුවට කෙතරම් පීඩනය යෙදුවද, ඔවුනට තෝරාගතහැකි වෙනත් විකල්පයක් වත්මන් ධනේශ්වර පර්යාය තුල නොපවතී.

ආන්ඩුවේ ප‍්‍රහාර වලින් බැටකන දහස් සංඛ්‍යාත සිසුන්ට මෙම පිලිවෙත් වලට එරෙහිව සටන් කිරීමේ අව්‍යාජ උවමනාවක් පවතින නමුදු, අවිශිබම ය විසින් ඔවුන් යලියලිත් කොටු කරනු ලබන්නේ ආන්ඩුවලට පීඩනය යෙදීමේ නිශ්ඵල විරෝධතාවන් තුලයිි.

ආන්ඩුව සයිටම් වෛද්‍යවිද්‍යාලය ඇතුලු පුද්ගලික අධ්‍යාපන ක්ෂේත‍්‍රය රැකීමට සහ දිරි ගැන්වීමට කරන කැපවීම මගින් ද අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි සිසු විරෝධතාවයන්ට නිරන්තරව එල්ල කෙරෙන පොලිස් ප‍්‍රහාරයන්ගෙන් ද සනාථ වී ඇත්තේ අවිශිබමයේ විරෝධතා දේශපාලනයේ ආන්තික බංකොලොත්භාවය සහ ප‍්‍රතිගාමිත්වය යි.

පොලිස් ප‍්‍රහාරයෙන් පසු මාධ්‍ය අමතමින් අවිශිබම කැඳවුම්කරු ලහිරුවීීරසේකර කල ප‍්‍රකාශයෙන් එය යලිත් තහවුරු වෙයි. වීරසේකර මෙසේ පැවසීය: “මහජන මතය නොතකමින් ආන්ඩුව සයිටම් පිලිබඳ ඔවුනගේ න්‍යාය පත‍්‍රය ඉදිරියටම ගෙන යනවා. ආන්ඩුව ඔවුනට ඡන්දය දුන් පොදු මහජනතාව පාවා දුන්නා. එම අහිංසක ජනතාව නියෝජනය කරන සිය ගනනක් සිසුන් මෙම විරෝධතාව පිටුපස සිටින බැවින් ආන්ඩුව අප නොතකා සිටිය නොයුතුයි.”

“මහජන මතය නොතකමින්”, එනම් අවිශිබම යේ පුහු විරෝධතා නොතකමින්, ආන්ඩුව විසින් “සයිටම් න්‍යාය පත‍්‍රය ඉදිරියටම” ගෙනයන බව වීරසේකර ම පිලිගනී. නමුදු, ආන්ඩුව තම “න්‍යාය පත‍්‍රය ඉදිරියටම ගෙන යන්නේ” ඇයිද යන ප‍්‍රශ්නය වීරසේකර සහ අවිශිබමය මෙන්ම එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නොනගයි. මන්දයත් ප‍්‍රශ්නය එසේ මතු කිරීමමත් ආන්ඩුවේ පිලිවෙත්වල වෛෂයික මූලය වෙතට, එනම් ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදය වෙතට කම්කරුවන්ගේ, සිසුන්ගේ සහ තරුනයන්ගේ විඥානය යොමු කෙරෙන්නක් බැවිනි. වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන සහ ධනේශ්වර පර්යායට තදින් බැඳුනු පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධානයන් එවන් යොමුවක් සම්බන්ධයෙන් ඇත්තේ බලගතු සතුරුබවක් සහ භීතිියකි.

පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කර ඇති ප‍්‍රකාශයෙන් එය ධනේශ්වර සංස්ථාපිතයට කෙතරම් ඒකාග‍්‍රවී ඇත්දැයි ගැඹුරින්ම ප‍්‍රකට වෙයි. එහිි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ කියයි: “ආන්ඩුව මහජන මතය යටපත් කිරීමට විවිධ ආකාරයෙන් කටයුතු කරනවා. මහජනයාට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා අන්තර්වාර නියෝගයන් රැගෙන එනවා. මෙයින් රටේ නීතිය උල්ලංඝනය කෙරෙන බව පැහැදිලිව පෙනෙනවා.”

“උල්ලංඝනය” කෙරෙතැයි සිල්වා පවසන “රටේ නීතිය” යනු ධනේශ්වර රාජ්‍යයේ නීතිය යි. පසුගිය සිවිල් යුද සමයේ ජවිපෙ ද සහාය සහිතව ශක්තිමත් කෙරී ඇති මෙම නීතිය වනාහි, මහජන මතය, විශේෂයෙන්ම කම්කරු පන්තියේ මතය, යටපත් කිරීම සඳහා ස්ථාපිත කරන ලද්දකි.

ලොව අන් රටවල පාලක පන්තීන් මෙන්ම, වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව සඳහා තම සාමාජීය සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව වේගයෙන් රැඩිකලීකරනය වන කම්කරුවන්, තරුනයන් සහ පීඩිතයන් මැඩීම සඳහා ආඥාදායක පාලනයක් දෙසට පියවර තබමින් සිටින අතර ඒ සඳහා අවශ්‍ය නව නීති සහ නව ව්‍යවස්ථාවන් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී. ජනාධිපති සිරිසේන විසින් “රට විනයගත කිරීම සඳහා” ෆොන්සේකාට කල ඇරැයුම මගින් සහ යෝජිත “ත‍්‍රස්ත-විරෝධී පනත” මගින් ප‍්‍රකාශයට පත් වන්නේ එම සූදානම යි.

ආන්ඩුවේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පුහු විරෝධතා නොව, දේශපාලන අරගලයකි. එය ආන්ඩුවට සහ සමස්ත ධනපති ක‍්‍රමයට පමනක් නොව ධනේශ්වර ක‍්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම පක්ෂ සංවිධානයන්ට සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි දේශපාලන අරගලයකි. එවන් අරගලයකින් තොරව කම්කරුවන්ට, සිසුන්ට හෝ අවශේෂ පීඩිතයන්ට තම අයිතීන් දිනා ගැනීමට හෝ රැුක ගැනීමට නොහැකි වෛෂයික කොන්දේසි නිර්මානය වී ඇත.

Share this article: