බොදු බල සේනාව මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරනයන් මාලාවක් දියත් කරයි

ප‍්‍රදීප් රාමනායක, 2017 මැයි 24

අන්තවාදී බෞද්ධ භික්ෂු කල්ලියක් වන බොදු බල සේනා (බොබසේ) සංවිධානය විසින් කලෙක සිට ගෙනයන දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය පසුගිය සති දෙක තුල වඩාත් ප‍්‍රචන්ඩ තලයකට නැංවින. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි කිහිපයක් ඉලක්ක කරගත් වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් මාලාවක් ලෙස එය ඉදිරියට යමින් පවතී.

ආසන්නතම සිද්ධිය ලෙස, මැයි 21 වනදා, කුරුනෑගල මල්ලවපිටිය ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට, බොබසේ මැරයෝ පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කලහ. බොබසේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නායකත්වය දුන් ප‍්‍රකෝපකාරී පෙරහැරක් පල්ලිය ඉදිරියෙන් ඉබ්බාගමුව දෙසට ගමන් කරමින් තිබියදී පොලීසිය එය නතර කිරීමෙන් අනතුරුව ප‍්‍රකෝපකාරීව හැසිරුනු පිරිස් පල්ලිය වෙත පෙට‍්‍රල් බෝම්බ දමා ගසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙකුදු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

එදින, 21 වනදා, රාත‍්‍රියේ බොබසේ විසින් ඉබ්බාගමුව ප‍්‍රදේශයේ සංවිධානය කොට තිබූ ප‍්‍රකෝපකාරී වැඩසටහනක ප‍්‍රධාන දේශනය පැවැත්වූ ඥානසාර තම ආධාරකරුවන් පිරිසක් සමග ආපසු එන අතරවාරයේ බඩගමුව, පෝරයාය ප‍්‍රදේශයේදී බොබසේ රථ පෙල අවහිර කර පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා ඇති නමුත් භික්ෂුව සහ ඔහුගේ අධාරකරුවන් ඊට විරෝධය පෑමෙන් පසු පොලීසිය ආපසු හැරී ගොස් ඇත.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම සිද්ධියේ වීඩියෝවක් සංසරනය වූ අතර එහි දිස්වන්නේ තමන් අත්අඩංගුවට ගැනීමට පැමිනි පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් පවා බැන වදිමින් භික්ෂුව සහ ආධාරකරුවන් දැඩි කලහකාරී අන්දමකට හැසිරෙන ආකාරයයි. තමන් “අත්අඩංගුවට ගැනීමට නියෝග දී අත්තේ කවුරු වුනත් තමන්ට ඉන් පලක් නැති” බව කියමින් භික්ෂුව පොලීසිය වෙත බුරා පනින්නේ “රට ගිනි ගොඩක් කරන්න හදන්න එපා” යනුවෙන් ඔහුගේ ආධාරකරුවන් ඝෝෂා කරද්දීය.

මෙම බලහත්කාරය ඉදිරියට ගෙන යමින් ඊයේ (23 දා), “සුරකිමු පින්කෙත සිංහල බලවේගය” සහ තවත් බෞද්ධ සංවිධාන කීපයක්, ඥානසාර අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැරූ ප‍්‍රයත්නයට එරෙහිව කොලඹ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

බීබීසී හි සංදේශය සඳහන් කරන අන්දමට පසුගිය සති පහ තුල ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී-ප‍්‍රහාර සහ ප‍්‍රකෝපකරනයන් අවම වශයෙන් 15 ක් සිදුවී ඇත. මුස්ලිම් ලේකම් කාර්යාලය විසින්ද මෙම තොරතුරු සනාථ කර ඇත. ඇතැම් සිද්ධීන් වලදී පොලීසිය එම ස්ථානවල රැඳී සිට ඇති නමුත් කිසිදු මැදිහත් වීමක් කර නැත.

ඉහත ප‍්‍රහාරය එල්ල වූ දිනයේම ඇල්පිටියේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගිනි තබා තිබූ අතර, පසුගිය 17 වනදා පානදුර පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන දෙකකට ප‍්‍රහාර එල්ල විය. එදිනම ගාල්ලේ පිහිටි මුස්ලිම් ආගමික නායකයෙකුගේ ස්මාරකයක් කඩා බිඳ දමා තිබුනි. අප්‍රේල් අග සතියේ සිට මැයි මුල සතිය දක්වා කිහිප වතාවක් පොලොන්නරුව ප‍්‍රදේශයේ මුස්ලිම් ජනාවාස පෙදෙස් වෙත තවත් භික්ෂුන් සමග සංචාරය කල ඥානසාර එම ඉඩම් මුස්ලිම් ජනතාව බලෙන් අත්පත් කරගත් ඒවා යැයි චෝදනා කලේය. එහිදී ඔහු ඉස්ලාම් ආගමිකයන් අදහන අල්ලාහ් දෙවියන්ට අසභ්‍ය වචන භාවිතා කර අපහාස කරමින් ප‍්‍රකෝපකරනයක් අවුලුවාලීමට තැත් කලේය. එම ප‍්‍රදේශවලදී රැස්ව සිටි පිරිස් ඉදිරියේ ඥානසාර සිය ව්‍යාපාරයේ ෆැසිස්ට් ලක්ෂන වමාරමින් ප‍්‍රකාශ කලේ “නීතිය අතට ගන්න, නිල නොවෙන පොලිස් කාරයෝ වෙලා මේ ඉඩම් අල්ලගන්න. මොනවහරි ප‍්‍රශ්නයක් උනොත් අපි එන්නම්” කියමිනි.

එම ප‍්‍රකාශ වලින් ප‍්‍රකෝප කෙරුනු සිංහල කොටස් මුස්ලිම් ප‍්‍රජාව වාසය කරන ප‍්‍රදේශවලට ආයුධ සන්නද්ධව කඩා වැදී තර්ජනය කොට, එම ප‍්‍රදේශවල ඉඩම් බලෙන් අත්පත් කරගත් බවද තැන් කිහිපයකින් වාර්තා විය.

බොබසේ මෙම මුස්ලිම්-විරෝධී වාර්ගික ප‍්‍රකෝපකරනයන් අවුලුවාගෙන වැඩට බැසගත්තේ මීට වසර පහකට පමන පෙරාතුවය. පැවති රාජපක්ෂ ආන්ඩුවේ පූර්න අනුග‍්‍රහය යටතේ බොබසේ තම වාර්ගික ප‍්‍රචන්ඩත්වය ඉහලම තලයකට නංවාගත්තේය.

2014 ජුනි මාසයේදී බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන අලුත්ගම දර්ගා නගරයේ, ඥානසාර භික්ෂුවගේ මූලිකත්වයෙන් පැවැති රැස්වීමකට පසු ඔහුගේ අනුගාමික අන්තවාදී බෞද්ධ කල්ලි එම ප‍්‍රදේශයේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි වලට පහර දෙමින් සහ ගිනි තබමින් නින්දිතම ප‍්‍රහාරයක් එල්ල කල අතර ආරක්ෂක අංශ ප‍්‍රහාරය වැලැක්වීමේ කිසිදු උත්සාහයක් නොගත් අතර ඥානසාර හෝ වෙනත් කිසිදු නායකයෙකු ට එරෙහිව කවර හෝ නීතිමය පියවරක් නොගැනුනි.

මින් දිරිය ගත් සිංහල-බෞද්ධ අන්තවාදී නඩ, සිංහල රාවය, රාවනා බලය වැනි තවත් සංවිධාන පිහිටුවා ගනිමින් බොබසේ හි වාර්ගික උද්ඝෝෂනයට එක්විය.

බොබසේ හි වත්මන් වර්ගවාදී උත්සන්නිය තුල සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රතිචාරය ද රාජපක්ෂ ට වෙනස් නොවේ.

ජනාධිපති සිරිසේන, අගමැති වික‍්‍රමසිංහ හෝ ආන්ඩුවේ කිසිදු පාර්ශ්වයක් විසින්, බරපතල ව්‍යසනකාරී ඇඟවුම් සහිත මෙම වාර්ගික ප‍්‍රකෝපකරනයන් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් හෝ නිකුත්කර නොමැත. පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ඉහත සිද්ධීන් සම්බන්ධයෙන් සිරිසේනගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා තිබූ නමුත් ඒ සඳහා ද අවස්ථාවක් ලබා දී නැත.

ඥානසාර ඇතුලු බොබසේ මැර කල්ලිවලට ආරක්ෂක අංශ ඉදිරිපිටදීම රිසි සේ දාමරික කම් කිරීමට ආන්ඩුව ඉඩ දී ඇත්තේ තමන්ගේ අයිතීන් ඉල්ලා විරෝධතාවයේ නියැලෙන කම්කරුවන්, ශිෂ්‍යයන් සහ පීඩිත මහජනතාවන්ට රුදුරුම ආකාරයේ පොලිස් ප‍්‍රහාර එල්ල කරන අතරවාරයේය. පසුගිය සතියේ අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව පාගමනේ යෙදුනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොලඹදී එක දිගට කඳුලු ගෑස් සහ ජලප‍්‍රහාර එල්ල කල පොලීසිය ශිෂ්‍යයන් අට දෙනෙකු අත්අඩංගුවට ගත්හ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසු-සිසුවියන් විස්සකට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුනි.

පසුගිය 17 වනදා ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමති මනෝ ගනේෂන් සමඟ “සංහිඳියාව” ගැන සාකච්ඡාවකට යැයි කියමින් තවත් භික්ෂුන් පිරිසක් සමග ඔහුගේ කාර්යාලයට කඩා වැදුනු ඥානසාර එහි නිලධාරීන්ට ගෝරනාඩු කලේය. පසුව ඇමති සමග පැවති සාකච්ඡාවේදී “මේක බෞද්ධ රට කියල පිලිගන්නවාදැයි” පුන පුනා ඇමතිගෙන් ඇසූ ඥානසාර, එසේ පිලිගන්නා තාක් කල් “සංහිඳියාව ගැන කතා කරන්න බැහැ” කියමින් බෙරිහන් දුන්නේය. එහිදී ඉදිරිදින කිහිපය තුල තමන්ගේ මැරයින් සුදානම් කර ඇති මුස්ලිම්-විරෝධී ප‍්‍රහාර ප‍්‍රසිද්ධියේම හෙලි කල ඥානසාර පැවසුවේ “අන්තවාදී ඉස්ලාමීය කොටස් හොඳ කෑමක් කන්න හදන්නේ..කෑම ලැස්ති කරලා මහ තැන් වලටත් දන්වල තියෙන්නේ” යැයි කියමිනි.

තත්වය එසේ තිබියදී පවා ඉන් ඉක්බිති දිනවල බොබසේ විසින් එල්ල කල ප‍්‍රහාරයන් වලකාලීමට කිසිදු පියවරක් නොගැනීම තුලින් හෙලිදරව් වන්නේ අන්තවාදී කන්ඩායම් වලට රටතුල නිදහසේ ක‍්‍රියාත්මක වීම සඳහා ආන්ඩුව දැනුවත්ව ඉඩහැර ඇති බවයි.

මතු වෙමින් පවත්නා පන්ති අරගල රැල්ල මැඩලීම සඳහා ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරයන් වෙත වඩවඩාත් යොමු වෙමින් පවතී. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතේ නව හමුදා ඒකකයක් පිහිටුවීමේ යෝජනාව සහ යෝජිත ත‍්‍රස්තවාද විරෝධී පනත ඒ අතර ප‍්‍රමුඛ වේ. ආන්ඩුවට එය ප‍්‍රමානවත් නොවෙයි. ඉදිරියේ දැවැන්ත පරිමානයෙන් පුපුරායාමට නියමිත පන්ති අරගල කුඩු පට්ටම් කිරීම සඳහා ෆැසිස්ට් මුගුරක් ද අවශ්‍ය වෙතැයි ආන්ඩුව ගනන් බලයි. බොබසේ ට ආන්ඩුව දක්වන සහනශීලී ප‍්‍රතිචාරය යටින් පවත්නේ මෙම උත්සුකයයි.

Share this article: