පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි

එස් . කේ. අයිරාංගනී විසිනි, 2017 මැයි 18

වායු දූෂනය ප‍්‍රමුඛ පරිසර දූෂනය හේතුවෙන් 2015 වසරේ දී ලෝකයේ සිදු වූ මරනවලින් අඩක් ඉන්දියාවෙන් හා චීනයෙන් වාර්තා වූ බව ඇමරිකානු සෞඛ්‍ය බලපෑම් ආයතනය (Health Effects Institute) 2017 පෙබරවාරයේ නිකුත් කල වාර්තාවකින් ප‍්‍රකාශයට පත් කෙරුනි.

මෙම වාර්තාවට අනුව 2015 වසරේ පරිසරදූෂනය නිසා ලෝකයේ මරන මිලියන 4.2ක් සිදු වී ඇති අතර ඉන් මිලියන 2.2ක් චීනයෙන් හා ඉන්දියාවෙන් වාර්තා විය. ලොව පුරා මරනවලට හේතු අතරින් පස්වැනි ස්ථානය ගන්නේ පරිසර දූෂනයයි. ලෝක ජනගහනයෙන් 92%ක් ම සෞඛ්‍ය රක්ෂිත නොවූ වායු සහිත පරිසරයක ජීවත් වන බව පර්යේෂන ආයතනය තව දුරටත් පෙන්වා දෙයි.

චීනයේ බීජිංවල හා තවත් ජනාකීර්න නගර 30ක වායු දූෂනය නිසා ඇති වූු ආපදා තත්වය ඒවායේ ක‍්‍රියාකාරිත්වයන් අඩාල වීමට හේතු වූ අතර එම නගර අනතුරුදායක බව චීන රජයම නිවේදනය කලේ ය. චීන රාජ්‍ය මාධ්‍යවල වාර්තා වූයේ “බීජිං නගරය හානිකර දුමාරය නිසා වාසය කල නො හැකි නගරයක් බවට පත්ව ඇතැයි ද පරිසර දූෂනයට හේතුව කර්මාන්ත ශාලා හා ඉහල යන මෝටර් රථ සංඛ්‍යාව” යැයි ද බීජිං නගරාධිපති වැන්ග් අන්සුන් 2015 දී ප‍්‍රකාශ කලේ ය.

නාසා ආයතනය 2016 පෙබරවාරිවල චන්ද්‍රිකා දත්තවලින් හෙලි කලේ නව දිල්ලි නගරයේ වායු දූෂනය බීජිං නගරයේ වායු දූෂනයට වඩා වැඩි බව ය. ඉන්දියාවේ ද නගර 46ක් පාරිසරික වශයෙන් ඉතාම දූෂිත ය. ඉන්දියාවේ වැඩිම වායු දූෂනය සිදු වූ වසර ලෙස 2016 සලකන බව ද එය පෙන්වා දුනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා විසුරුවා ඇති වෙබ් අඩවි 3000ක සහභාගිත්වයෙන් නිරීක්ෂනය කර ගනනය කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ මිලියන 3ක් මරනවලට හේතුව දූෂිත පරිසරයයි. ඉන් 6.7%ක් සිදු ව තිබෙන්නේ දූෂිත වායුවට නිරාවරනය වීමෙන් වැලඳුනු රෝග වලිනි. ලෝක ජනතාවගෙන් 92%ක් පමන පරිසර ප‍්‍රමිතීන් ඉක්මවා ගිය දූෂිත පරිසර පද්ධතියක දිවි ගෙවීම නිසා වාර්ෂිකව දරු කලල් මිලියන 7ක් අහිමි වෙයි.

වායු දූෂනයේ ගෝලීය තත්වය පිලිබඳව 2014 වසර අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) සඳහන් කලේ ලෝකයේ වායු දූෂනය අතින් ඉහලම නගරය නව දිල්ලිය බව ය. වායු ගෝලයේ කියුබික් මීටරයක තිබිය යුතු කාබනික ප‍්‍රමානය මයික්‍රෝ ග‍්‍රෑම් 20කි. දිල්ලි නගරයේ එම ප‍්‍රමානය 201 ඉක්මවා යයි. මේ තත්වය පෙනහලු ව්‍යාධිවලට බෙහෙවින් බලපාන අතර නගරයේ සෑම දරුවන් තුන් දෙනකුගෙන් එක් අයෙකුම පෙනහලු හා ස්වසන පද්ධති ආශ‍්‍රිත ආබාධවලට ගොදුරුව ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

2008-2009 ලෝසෞස යේ වාර්තාවන්ට අනුව ලෝකයේ රටවල් 91ක නගර 1082ක් වායු දූෂනයට ගොදුරු වී ඇති අතර 2008 වසරේ ඒ හේතුවෙන් මරන මිලියන 1.34ක් සිදු ව ඇත.

ඉතා අනතුරුදායක විෂ රසායනයන් වන බෙන්සීීන් හා වයිනයිල් ක්ලෝරයිඩ් වායුගෝලයේ බහුලවීම නිසා එම විෂ වායු ආඝ‍්‍රානය කිරීමෙන් ශ්වසන පද්ධතියේ ව්‍යාධි, පෙනහලූ පිලිකා, දරු කලල ගබ්සාවීම්, වඳභාවය, හුස්ම ගැනීමේ අපහසුතාව නිසා හදිසි මරන, හෘදයාබාධ, මොලය අනතුරුවලට ගොදුරුවීම, ස්නායු ආබාධ, හා ආමාශ හා වකුගඩු රෝග ඇතිවන බව හඳුනාගෙන තිබේ. (vidathanet.blogspot.com වායු දූෂනයෙන් තොර අපේ ලොවක් ලිපිය)

කුඩා දරුවන් මේ රෝගවලට වඩා වේගයෙන් ගොදුරු වෙයි. අප‍්‍රිකාවේ මිලියන 520ක්, චීනයේ හා උතුරු ආසියාවේ මිලියන 450ක් ලමුන් වායු දූෂන උවදුරුවලට ලක් වී ඇතැයි යුනිසෙෆ් ආයතනයේ වාර්තාවල සඳහන් ය.

පරිසරයට කෙරෙන බලපෑම අවම කෙරෙන විධිමත් සැලසුම් වලින් තොරව, හුදෙක් ලාභය අරමුනු කරගනිමින් කෙරෙන නිශ්පාදනය පරිසර දූෂනයට ප‍්‍රධාන හේතුවයි. චීනයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් ආන්ඩුවත් ඉන්දියාවේ ධනපති ආන්ඩුත් දිගු කලක් තිස්සේ ක‍්‍රියාවට නැංවූ ප‍්‍රතිපත්ති හේතු කොට ගෙන වර්ධනය වූ ආන්තික දරිද්‍රතාව සහ දැවැන්ත විරැකියාව හේතුවෙන් උපන් ලාභ ශ‍්‍රම ශක්තිය ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට සම්පාදනය කර දීමෙන් තම ආර්ථිකය වර්ධනය කර ගැනීම දෙරටේම පාලක පන්තීන්ගේ අති මූලික ආර්ථික පිලිවෙත බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව ඇතුලු කලාපයේ අනෙකුත් අඩු දියුනු රටවල ද මූලික ආර්ථික පිලිවෙත එයයි.

මෙම පිලිවෙත යටතේ 2000 වසරේ අප්‍රේල් සිට 2015 දෙසැම්බර් දක්වා මෝටර් රථ කර්මාන්තයට පමනක් ඇමරිකානු ඩොලර් බිලියන 14.32 ක සෘජු විදේශ ආයෝජන ඉන්දියාව විසින් ආකර්ෂනය කර ගෙන ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රුදුරු ලෙස මර්දනය කෙරුනු මෙම ලාභ ශ‍්‍රම වේදිකාවන් ට ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා එක් එක් රටවල් දරන ප‍්‍රයත්නයේ දී ආයෝජකයන් සඳහා පිදෙන සහන අපරිමිතව ඉහල දැමීමට රටවල් අතර පවත්නා තරගය විසින් බල කෙරේ. උපරිම බදු සහන සහ නොමිලේ හෝ අඩු මුදලට සැපයෙන ආයෝජන බිම් පමනක් නොව පරිසර දූෂනය නොතකමින් හිතුමතේ ක්‍රියා කිරීමට ද ආයෝජකයින්ට ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙයි.

චීනය සහ ඉන්දියාව ඉහල ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇති බවට පුරසාරම් දොඩන කිසිවෙකු එය අත් කර ගනු ලැබුවේ ධනේශ්වර සංවර්ධනයේ නාමයෙන් දැවැන්ත සමාජ අසමානතාවයක් වර්ධනය කිරීමට අමතරව වායු දූෂනය, ජල දූෂනය, පරිසර දූෂනය වර්ධනය කෙරෙන මිනිස් ජීවිත මිලියන ගනනකින් වන්දි ගෙවා බව ප‍්‍රකාශ නොකරයි.

කාර්මිකකරනය සහ නාගරිකකරනය සමාජ සංවර්ධනයට අවශ්‍ය ය. එනමුදු ඒවා සිදුකල යුත්තේ පරිසරයට ඉන් වන බලපෑම අවම වන පරිදි සකස් කෙරුනු විධිමත් සැලසුමකට අනුවයි. සැබැවින්ම ස්වභාවධර්මය පවත්නා සැටියෙන්ම පවත්වාගත යුතුය යන්න මෙයින් අදහස් නොවේ. ෆෙඩ්‍රික් එංගල්ස් ‘සොබාදහමේ දයලෙක්තිකය’ නමැති තම අගනා කෘතියේ පැහැදිලි කරන පරිදි ‘මිනිසා තමා විසින් (සොබාදහම තුල) සිදු කරන වෙනස් කිරීම් මගින් එය තමාගේ අවශ්‍යතාවන් සඳහා සේවයට යොදවා ගනී. එය (සොබාදහම) මත ආධිපත්‍යය පතුරුවයි. මිනිසා සහ සෙසු සතුන් අතර ඇති අවසාන මූලික වෙනස මෙය වන අතර මෙම වෙනස ඇති කරනුයේ ද යලිත් ශ‍්‍රමයම ය.’ (පිටුව 274, සිංහල පරිවර්තනය, ප‍්‍රගති ප‍්‍රකාශන 1984)

ඒ සමගම මෙම ආධිපත්‍යය පිලිබඳව එංගල්ස් ඉතා වැදගත් අවධාරනයක් කරයි. ‘මේ අනුව, අප කිසිසේත්, දිග්විජය කල තැනැත්තෙක් විදේශීය ජනතාවක් පාලනය කරන ආකාරයෙන් ස්වභාවධර්මය පාලනය නොකරන බවත්, ස්වභාවධර්මයෙන් පරිබාහිරව සිටින තැනැත්තකු ලෙස නොසිටින බවත්, අප ද අපේ මස්, ලේ සහ මොලය සහිතව ස්වභාවධර්මයට අයත්ව ඇති අතර, එය තුලම ජීවත් වන බවත්, ස්වභාවධර්මය කෙරෙහි අපේ ආධිපත්‍යය පැතිරවීම සංයුක්ත වනුයේ ස්වභාවධර්මයේ නියමයන් හඳුනාගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීමට සමත් වීමෙන් අපට අනෙක් සියලුම සතුන්ට වඩා වාසිදායක තත්වයක් තිබේය යන කරුනෙන් බවත් අපට සෑම පියවරකදීම මතක් කරනු ලැබේ.’

කෙසේ නමුදු, ධනපති ක‍්‍රමය යටතේ නිශ්පාදනය සහ හුවමාරුව පාලනය කරන ධනපතියන් සලකතු ලබන්නේ ඉතාමත් ක්ෂනික වූද, තමාට පුද්ගලිකව ප‍්‍රයෝජනවත්වූ ද ඵලය, එනම් ලාභය ගැන පමනකි. ‘ස්වභාවධර්මයේ නියමයන් හඳුනාගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීම’ ලාභය මත පදනම් වූ ධනපති ක‍්‍රමය තුල කල නොහැක්කකි. ඒක ජෛව ගෝලීය ආරක්ෂිත වැඩ සටහන, සංස්කෘතික හා ස්වභාවික උරුමය ආරක්ෂා කිරීම පිලිබඳ සම්මුතිය, ජෛව විවිධත්ව පිලිබඳ සම්මුතිය සහ කියෝටෝ ගිවිසුම වැනි විවිධ සම්මුති, ගිවිසුම් හා ප‍්‍රඥප්තීන් යටතේ පරිසරය සුරැකීමට දරන ලද ප‍්‍රයත්නයන් අසාර්ථකව ඇත්තේ නිශ්පාදනයේ මූලික අක්ෂය ලාභය ලෙස පවත්වා ගනිමින් පරිසරය සුරැකීම කල නොහැක්කක් බැවිනි.

විසි එක් වන සියවසෙහි ජීවත් වන අපි අන් කවරදාටත් වඩා නිෂ්පාදන ක‍්‍රියාවලියටත් නිෂ්පාදනයේ දී සිදුවන ව්‍යසනකාරී ප‍්‍රතිඵල පාලනය කිරීමටත් අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂනික දැනුමෙන් සන්නද්ධව සිටින්නෙමු. මෙම දැනුම මත පදනම්ව ස්වභාවධර්මය සහ නිශ්පාදනය ඇතුලූ මානව ක්‍රියාකාරකම් අතර සුසංවාදී සබඳතාවක් නිර්මානය කිරීමට නම්, ලාභය මත පදනම් වූ ධනේශ්වර නිශ්පාදන ක‍්‍රමය අහෝසි කොට අවශ්‍යතාව මත නිශ්පාදනය කෙරෙන ලෝක සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කල යුතුය.

Share this article: