මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා (ඉන්දියාවේ නිපදවනු)” උද්ඝෝෂනය සහ මරුති සුසුකි කම්කරුවන්ගේ සටන

Modi’s “Make in India” campaign and the battle of the Maruti Suzuki workers

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 25

අටවන ලද මිනීමැරුම් චෝදනා මත මරුති සුසුකි සමාගමේ මනෙසර් මෝටර් රථ එකලස් කම්හලේ සේවකයන් 13ක් උතුරු ඉන්දියාවේ විනිසුරුවරයෙකු විසින් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කර දැනට මසකට වැඩි කාලයක් ගතවී ඇත. මෙම කෲර දඬුවම ඉන්දියාවේ කම්හල් සහ විශේෂ ආර්ථික කලාප පුරා පැතිර පවත්නා රුදුරු ශ‍්‍රම සූරාකෑමේ කොන්දේසි වලට එරෙහි විරෝධතාවයේ කේන්ද්‍රය ලෙස ඉස්මතු වූ මනෙසර් වැඩබිමේ කම්කරුවන්ට කාටත් පෙනෙන පරිදි දඬුවම් කිරීම ඉලක්ක කරගත් ජපානය සතු සංගතයේ සහ ආන්ඩුවේ වසර ගනනක කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපලයකි.

මෙම නෛතික ප‍්‍රහාරයට ඉන්දියානු පාලක ප‍්‍රභූවේ සාම්ප‍්‍රදායික පක්ෂය වන කොන්ග‍්‍රස් පක්ෂය සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ආන්ඩුව සහ ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විසින් අනුග‍්‍රහ සපයන ලදී. කීකරු වූත්, ලාභදායී වූත් ශ‍්‍රම බලකායක් පොරොන්දු වීම හරහා විදේශ ප‍්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම සඳහා කොන්ග‍්‍රසයේ සහ බීජේපීයේ උත්සාහයන් වලහමින් මරුති සුසුකි මනෙසර් වැඩබිමේ කම්කරුවෝ 2011-12 වසරවලදී වැඩ කඩිනම් කිරීම, දරිද්‍ර වැටුප් සහ ගර්හිත කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමයට විරුද්ධව සටන්කාමි වර්ජන පැවැත්වූහ.

ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වූ කම්කරුවන් 13 දෙනාගෙන් දොලොස් දෙනෙක්ම සමාගම විසින් පාලනය කෙරුනු ආන්ඩුවේ අනුග‍්‍රහය ලත් රූකඩ වෘත්තීය සමිතියට එරෙහි කැරැල්ලක් හරහා 2012 දී පිහිටුවාගන්නා ලද මරුති සුසුකි සේවක සංගමයේ (එම්එස්ඩබ්ලිව්යූ) නායකයින්ය. මරුති සුසුකි කම්කරුවන්ගේ ප‍්‍රතිවිරෝධය දිල්ලියට යන්තමින් එපිට, දැවැන්ත මනෙසර් ගුර්ග ඕන් කාර්මික ජනපදය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. එහි ශ‍්‍රමබලකායෙන් සියයට 80ක් දරිද්‍රතාවයෙන් මඩනා ලද ග‍්‍රාමීය පෙදෙස්වලින් බහුලව ඇදී ආ තරුන කම්කරුවන් වන අතර ඔවුන්ට ලැබෙනුයේ ප‍්‍රමිතිගත සාමාන්‍ය වැටුපෙන් සියයට 25ත් 50ත් අතර ප‍්‍රතිශතයකි.

2012 ජුලි 18 සමාගම විසින් අවුලූවන ලද කලහයක් සහ ගින්නකදී කම්කරුවන්ට පක්ෂපාතව සිටි බවට ප‍්‍රකට කලමනාකාරවරයෙකුගේ ජීවිතය අහිමිවීමට පසු හර්යානා බලධාරීන් විසින් එම්එස්ඩබ්ලිව්යූ නායකයින්ට සහ අනෙකුත් නිර්දෝශී කම්කරුවන් 150කට පමන එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට තැත්කිරීමේ සිට කලකෝලාහල ඇතිකිරීම දක්වා බොරු චෝදනා අටවන ලදී.

2014 දී කම්කරුවන්ට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමේදී හර්යානා ශ්‍රේෂ්ඨාධිකරනය පැවසුවේ, ඔවුන්ගේ අරගලය සහ 2012 කලහය “ලෝකය තුල ඉන්දියාවේ ගෞරවය පහත හෙලූ” බවයි. කම්කරුවන් සිරගෙයි ලෑමට තීන්දු කෙරෙන්නේ ඇයිදැයි යන්න පැහැදිලි කිරීමේදී උසාවිය පැවසුවේ “වර්ධනය වන කම්කරු අතෘප්තිය හේතුවෙන් විදේශීය ආයෝජන නොපැමිනීමේ ඉඩක් ඇති විය හැකි” බවයි.

එමෙන්ම අවසන් කම්කරුවන් 13 දෙනා එල්ලා මැරීම සඳහා බොරුනඩුවේ අවසන් නිගමනයේ වාදවිවාද වලදී පැමිනිලි පාර්ශවය පැවසුවේ ඔවුන් මගින් ආයෝජකයන්ට යලිසහතික කිරීම සඳහා උදාහරනයක් දිය යුතු වූ බවයි. මරුති සුසුකි නීතිඥවරයා වූ විකාස් පහ්වා 2017 මාර්තු 9 තමන්ගේ උසාවිය තුල කතාවේදී ඔහුගේ පැත්තෙන් සඳහන් කලේ “ඉන්දියානු ආන්ඩුව ‘මේක් ඉන් ඉන්ඩියා’ ප‍්‍රවර්ධනය කරමින් සිටි. මෙවැනි අවිනිශ්චිත වටපිටාවක් සහ කාර්මික අසහනයක් තුල කිසිම රටක් ඉන්දියාව තුල ආයෝජනයට ඉදිරිපත් නොවනු ඇත” යනුවෙනි.

මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා” උද්ඝෝෂනය, රට ගෝලීය ප‍්‍රග්ධනයේ ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කිරීම සඳහා වන ඉන්දියානු පාලක පන්තියේ ධාවනයෙහි දිගුවක් සහ වේගවත් කිරීමකි. මෙම ක‍්‍රියාවලිය 1991 දී නරසිංහ රා ඕ ගේ කොන්ග‍්‍රස් පක්ෂ ආන්ඩුව යටතේ ආරම්භ කරන ලද “ආර්ථික නිදහස්කරනය” වැඩසටහන සමග ආරම්භ විය. ආනයනික බදු, සාමූහික බදු සහ සමාජ වියදම් කප්පාදුව, රජයේ රෙගුලාසි සහ විදේශ ආයෝජන සීමා අඩුකිරීම හෝ නැතිකිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකරනය කිරීම මගින් පුද්ගලික සහ විදේශ යෝජනා ආකර්ශනය කරගැනීමට එමගින් මග සොයන ලදී.

බටහිර බෙංගාලයේ සහ සෘජුවම ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) විසින් පාලනය වන කේරලයේ ස්ටැලින්වාදී පක්ෂ වල සහය ඇතුලත්ව සියලු ආන්ඩු ආයෝජන ගැති “ප‍්‍රතිසංස්කරන” න්‍යායපත‍්‍රය මත පදනම් වී ඇත. සීපීඑම් සහ සීපීඅයි පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති පිලිවෙලින් ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) සහ සමස්ථ ඉන්දීය වෘත්තීය සමිති කොන්ග‍්‍රසය (ඒඅයිටීයූසී) ඉන්දියාව ගෝලීය ප‍්‍රාග්ධනය සඳහා ලාභ ශ‍්‍රම සුරපුරක් බවට පත්කිරීම අභියෝගයට ලක් කල මරුති සුසුකි කම්කරුවන් ද ඇතුලුව සියලු කම්කරුවන් අත්හැර දමා ඇත්තේ, “මානව-ගැති” ප‍්‍රතිපත්ති ඉල්ලා දෙන ලෙස කොන්ග‍්‍රස් පක්ෂයට සහ ප‍්‍රාදේශීය සහ කුල පදනමේ සිටින ධනපති පක්ෂවලට පීඩනය යොදන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමිනි.

2008 ලෝක ආර්ථික අර්බුදයට පසු සමය තුලදී සොලවා දමන ලදුව, විශේෂයෙන් 2010න් පසු ඉන්දියාවේ වර්ධන වේගය පහත වැටීම තුලදී ඉන්දියානු ධනපති පන්තිය ආන්තික හින්දු ස්වෝත්තමවාදී නායක, මෝදි වෙත හැරුනි. ඔහු ගුජරාටයේ මහා ඇමති ලෙස සිටියදී ආයෝජකයින්ට මෙහෙකාරකමේ යෙදෙන්නෙක් සහ ඔවුන් බලගන්වන්නෙක් ලෙස ක‍්‍රියාකිරීමේ සුදානම නිසා, ඉන්දියානු කම්කරු පන්තිය සූරාකෑම දැඩි කිරීම සඳහා සහ ලෝක තලයේදී ඉන්දියානු ධනේශ්වරයේ මහා බල උවමනාකම් බලගතු ලෙස තහවුරු කිරීම පිලිබඳව නමක් දිනා සිටියෙකි.

මුල්පෙලේ ජාතික අන්තර්ජාතික සහ ජාතික සමාගම් වල ප‍්‍රධාන විධායක නිලධාරීන් 500ක් පමන වට කරගෙන 2014 සැප්තැම්බරයේදී මෝදි සිය “මේක් ඉන් ඉන්ඩියා” වැඩසටහන දියත් කලේ බලයට පැමින යන්තම් මාස දෙකකිනි.

“ඉන්දියාව ව්‍යාපාර කිරීමට පහසු තැනක්” බවට පත්කරන බවට ඔහු ප‍්‍රතිඥා දුන් අතර ඉන්දියාවේ ශ‍්‍රමය චීනයට වඩා ලාභ බවටත් ඉන්දියානු දල දේශීය නිෂ්පාදිතය තුල නිෂ්පාදන අංශයේ පංගුව සියයට 12.5 සිට 25 දක්වා දෙගුන කිරීමේ ඉලක්කයක් පිහිටුවන බවටත් කයිවාරු ගැසුවේය.

මෝදි එසේ නිවේදනය කල අතර එතැන් පටන් මෙය පුලුල් වී ඇත්තේ විදේශ සෘජු ආයෝජන සියයට 100ම ලබාගැනීමට ඉඩ විවෘත කරන ලද ක්ෂේත‍්‍ර 25ක් ඉලක්ක කරමිනි. ආන්ඩුව ගුවන්, ආරක්ෂක සහ මාධ්‍ය සමාගම් සඳහා විදේශ ආයෝජන ප‍්‍රාග්ධනය පිලිවෙලින් සියයට 74, 49 සහ 26 බැගින් ඉහල දමා ඇත.

“මේක් ඉන් ඉන්ඩියා” ප‍්‍රචාරනයේ නාමයෙන් බීජේපී ආන්ඩුව සමාජීයව ගිනිගන්නා සුලු න්‍යාය පත‍්‍රයක් පසුපස හඹා යයි. ඊට ඇතුලත් වන්නේ: විශේෂයෙන් රැකියාවලින් ඉවත්කිරීමට සහ වැඩබිම් වසාදැමීමට බාධා කරන කම්කරු නීති විනාශ කිරීම, පුද්ගලීකරනය වේගවත් කිරීම, කම්කරු ප‍්‍රමිතීන් සම්බන්ධයෙන් සේවා යෝජක “ස්වයං රෙගුලාසි”, කුඩා පරිමාන ගොවියන්ගෙන් දැවැන්ත ව්‍යපෘති සඳහා ඉඩම් උදුරාගැනීම පහසු කිරීමේ පියවරයන්, සහ ඉන්දියාවේ දුර්වල පරිසර නියාමනයන් හකුලා දැමීම ආදියයි.

2013 වසරේ සිට මරුති සුසුකි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ කලමනාකාර අධ්‍යක්ෂක වන කෙනිචි අවුකාවා, මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා” සමාරම්භක උත්සවයට සහභාගී වී සිටි ප‍්‍රධාන විධායක නිලධාරීන්ගෙන් කෙනෙකි. උත්සවයේ කතා කරමින් අවුකාවා ඉතා උද්යෝගයෙන් “මේක් ඉන් ඉන්ඩියා” වැඩපිලිවලට සහයෝගය දුන්නේ ගෝලීය ප‍්‍රාග්ධනයේ ඉල්ලීම් ඉක්මනින් ක‍්‍රියාවට දමන ලෙස මෝදිගෙන් ඉල්ලා සිටියේය. “අපිට මුලුමුනින් විශ්වාසයි අගමැතිතුමාගේ මේක් ඉන් ඉන්ඩියා වැඩසටහන යටතේ නිෂ්පාදනයේ තරඟකාරීත්වයට නරක ලෙස බලපා ඇති සාධක දැන් ඉක්මනින් ඉවත්වෙයි කියල” අවුකාවා පැවසුවේය.

රැකියාවෙන් දොට්ට දැමූ 2300ක් ස්ථිර සහ කොන්ත‍්‍රාත් සේවකයන් ද ඇතුලත් කරගනිමින්, 2012 දී මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි දඩයමට පසු කොන්ත‍්‍රාත් සේවකයන් ක‍්‍රමයෙන් අඩුකරන බව කලමනාකාරිත්වය ප‍්‍රකාශ කලේය. කෙසේ වුවත් පසුගිය අගෝස්තුවේදී ලයිව්මින්ට් වාර්තාකලේ 2013-2014 සහ 2015-2016 අතර ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ඇත්තවශයෙන්ම එහි කොන්ත‍්‍රාත් ශ‍්‍රමබලකාය සියයට 61.5 කින් ඉහල දමා ඇතිබවයි. 2016 මාර්තුවේදී සමාගමේ 10,626 කොන්ත‍්‍රාත් සේවකයන් සහ 13, 256ක් ස්ථිර සේවකයන් විය. පසුගිය මාසයේදී ඉන්දියානු සඟරාවක් වන බිස්නස් වර්ල්ඩ් ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුල මෑතක ආයෝජනය කරන ලද සමාගම් වල දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කල අතර එය මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා” හි ප‍්‍රතිපලයක් ලෙස පැමිනි වර්ධනයකි. “ඇමරිකන් ඩොලර් බිලියන 63ක් උත්පාදනය කරමින් සෘජු විදේශ ආයෝජන සඳහා හොඳම භූමිය බවට පත්වීමට ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය පසුකර ගිය බවත් 2015-16 දී සියයට 7.6ක වර්ධනයක් සහිතව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස ඉස්මතු වී ඇති බවත්” 2015 දී බිස්නස් වර්ල්ඩ් සඳහන් කලේය.

මහා ව්‍යාපාර කෙරෙහි මෝදි ආන්ඩුවේ වහල්කමත්, සියල්ලට ප‍්‍රමුඛව ඉන්දියාවේ දරිද්‍ර කම්කරුවන්ගේ දැවැන්ත ශ‍්‍රම තටාකය සූරාකෑම සඳහා සහයවීමට එහි කැපවී ගැනීමත් බහුජාතික සමාගම් සඳහා ආකර්ශනයක් සපයයි. මාර්තු 9 වනදා ටොයෝටා සහ සුසුකි ප‍්‍රධානීන් වන අකියෝ ටොයෝඩා සහ ඕ. සුසුකි ඉන්දියාව තුල කුඩා මෝටර් රථ නිපදවීම සඳහා ඒකාබද්ධ වීමේ සැලසුම් සාකච්ඡා කිරීමට මෝදි හමු වූහ. හමුවෙන් පසුව ඉන්දියානු අගමැති කාර්යාලයේ වෙබ් අඩවිය මෝටර් රථ නිෂ්පාදකයින් දෙදෙනා සමග ගනුදෙනුවේ තැරැව්කාරකම කලේ ඒ හරහා “මේක් ඉන් ඉන්ඩියා” විසින් සම්පාදනය කරන ලාභ උත්පාදන අවස්ථා ග‍්‍රහනය කරගැනීමට අනෙකුත් සමාගම් දිරිමත් කරනු ඇති බව පවසමිනි.

“මේක් ඉන් ඉන්ඩියා” හි තවත් ප‍්‍රධාන ඉලක්කයක් වනුයේ ඉන්දියාව මුල්පෙල ආයුධ නිෂ්පාදකයෙක් සහ අපනයනය කරන්නෙක් බවට පත්කිරීමයි. ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය පවසන්නේ “පුද්ගලික අංශයේ සහභාගිත්වය සඳහා ආරක්ෂක අංශය විවෘත කිරීම විදේශීය මුල් භාන්ඩ නිෂ්පාදකයින්ට (ලෝකයේ ප‍්‍රධාන සන්නාම සඳහා භාන්ඩ නිෂ්පාදනය කරන සමාගම්) ඉන්දියානු සමාගම් සමග උපායමාර්ගික හවුල්කාරිත්වයට ඇතුලුවීමට උදව්වක් වනු ඇතුවා මෙන්ම ගෝලීය වෙලඳපල ඉලක්ක කරගෙන දේශීය වෙලඳපල ඉහල නංවනු ඇති” බවයි.

ඉන්දියානු ධනපති පන්තියේ මහා බල උවමනාකම් හඹා යාම සඳහා මෝදි උපයෝගී කරගන්නා ප‍්‍රතිපත්තිය වන චීනයට එරෙහිව ඇමරිකාවේ උපායමාර්ගික මිලිටරි ප‍්‍රහාරය තුල “ඉදිරිපෙල රාජ්‍යයක්” බවට ඉන්දියාව පරිවර්තනය කිරීම සමග මෙය බැඳී පවතී. මෙම ශතවර්ෂය ආරම්භයේ සිට ඉන්දියාව ගොඩබිම, ගුවන සහ දිය යට න්‍යෂ්ටික අවි සහ නාවුක බල ඇනි වැඩි දියුනු කිරීම හරහා වේගයෙන් සිය මිලිටරිය පුලුල් කර ඇත. පෙන්ටගනය, මෝදි ආන්ඩුව සහ ජෙනරල් ඩයිනමික්ස් ආයුධ සමාගම මේ වනවිට සියලූම ත්‍-16 ප‍්‍රහාරක යානා නිෂ්පාදනය ඉන්දියාවට මාරු කිරීම ගැන සාකච්ඡාවේ යෙදී සිටිති.

මරුටි සුසුකි කම්කරුවන්ගේ අරගලය ඉන්දියානු පාලක පන්තියටත්, කොටස් කරුවන්ගේ ගෙවීම් සහ ලාභ උපරිම කිරීම සඳහා ග‍්‍රහලෝකය පීරමින් ලභදායීම ශ‍්‍රමය සොයන සුසුකි, වැනි බහුජාතික සමාගම්වලටත් අභියෝගයකි. මෙම කම්කරුවන් රුදුරු ලෙස මර්දනය කිරීම තුලින් ඔවුහු ඉන්දියාව තුල මෙන්ම ලෝකය පුරා කම්කරුවන්ට ප‍්‍රහාරයක් දියත් කිරීමට පුර්වාදර්ශ සකස්කරති.

සෑම රටකම කම්කරුවන් මෙම විරෝදාර කම්කරුවන් ආරක්ෂා කිරීමට පෙරට පැමිනිය යුත්තේ එහෙයිනි. මෙම රකුසු බොරු නඩුව කම්කරුවන්ගේ, තරුනයින්ගේ සහ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සුරකින සියල්ලන්ගේ ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයකින් පරාජය කලහොත් එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුකම සහ සටන්කාමී විභවය මිනිය නොහැකි ලෙස ශක්තිමත් කරනු ඇත.

Share this article: