මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - තෙවන කොටස: පැමිනිල්ලේ තහවුරු කල නො හැකි “දාමරික ප‍්‍රහාරයේ” වෘතාන්තය

The frame-up of the Maruti Suzuki workers—Part 3: The prosecution’s untenable “mob attack” narrative

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි , 2017 අප්‍රේල් 11

පසුගිය මාසයේ -අලුතින් සංවිධානය වූ මරුති- සුසුකි කම්කරු සමිතියේ (එම්එස්ඩබ්ලිව්යූ) සමස්ත සාමාජිකත්වය ද ඇතුලු ව උතුරු ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ පිහිටි මෝටර් රථ පිරිද්දුම් සිදුකරන මරුති සුසුකි මනේසාර් කම්හලේ කම්කරුවන් 13 දෙනෙකු ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගෙට යවනු ලැබී ය.

එම කම්කරුවන්, ජපානයට අයිති මෝටර් නිෂ්පාදන සමාගමේ, ඉන්දීය පොලීසියේ, උසාවියේ සහ දේශපාලන සංස්ථාපිතයේ නෛතික වෛරය පිරිමැසීමක ගොදුරු බවට පත් ව ඇත්තේ ආන්තික සූරාකෑමේ වැඩ කොන්දේසිවලට පවතින කම්කරු විරෝධය විරේක කිරීමේ එල්ලයක් සහිතවය. 2012 ජූලි 18 දිනට මාස 18කට පෙර කලමනාකාරීත්වය විසින් උසිගන්වන ලද කලහකාරීත්වයක් හා වැඩපොලින් දොට්ට දැමීමක් මෙම බොරු චෝදනා ගෙතීමට ව්‍යාජ නිමිත්ත බවට පත්කරගත් අතර, මනේසාර් කම්හල, ඉන්දියාවේ දිල්ලි අගනුවර පර්යන්තයේ පිහිටි සුවිසල් මනේසාර්-ගුර්ගඔන් කාර්මික තීරුවෙහි කම්කරුවන්ගේ විරෝධයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබුනි.

මෙම ලිපිය, සමාගම හා පොලීසිය අතර කුමන්ත‍්‍රනනකාරී එකඟත්වය, ගොතන ලද හා පුරුදු කරන ලද සාක්ෂි යොදාගැනීම සහ චෝදනා ඔප්පු කිරීමේ බර චෝදකයා වෙතින් කම්කරුවන් මතට මාරු කල අධිකරනමය තීන්දු ඇතුලු බොරු නඩුවල මානය හෙලිදරවු කිරීම වෙනුවෙන් පලකරනු ලබන ලිපි මාලාවක තුන්වැනි කොටස යි. පලමුවැනි කොටසට, දෙවැනිකොටසට පිවිසීමට.

දෙවැනි කොටසේ දී අප පෙන්වා දුන් පරිදි, මරුති සුසුකි කම්කරුවන් සහ මානව සම්පත් කලමනාකරුවා වූ අවිනීෂ් දේව්ගේ මරනයට තුඩු දුන් ඔක්සිජන් හිඟය ඇතිකල ගින්න අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි පෙන්වා දීමට පැමිනිල්ල අසමත් විය.

දෙවැනි චෝදනාව වූ මරුති සුසුකි කම්කරු වෘත්තීය සමිති නායකයන් 12 දෙනෙකු ඇතුලු මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙකුට එරෙහි ඝාතන චෝදනාව ඔප්පු කිරීමට කම්කරුවන් දාමරික ප්‍රහාරයක යෙදුනේය යන්න තහවුරු කිරීමට ද පැමිනිල්ල සමත් නො වුනි.

2012 ජූලි 18 දින පිලිබඳ පැමිනිල්ලේ වෘතාන්තය, පොලිස් විමර්ශනවල “ප්‍රමාද දෝෂයන්” ඇතුලු අසංගතභාවයන්, පරස්පරයන් හා දෙපිටකාට්ටු කියාපෑම්වල අච්චාරුවක් විය. පොලීසිය කම්හල් කලමනාකාරීත්වය සමග දුස්සන්ධානගත වී බොරු චෝදනා ගොතන ලද බව විනිශ්චයකරු විසින් පිලිගැනීම ඇතුලු මෙම අසංගතභාවයන්, පරස්පරයන් හා දෙපිටකාට්ටු කියාපෑම් සමස්ත නඩුවේ සන්දර්භය තුල බහා දැකගන්නා විට, කම්කරුවන් හුදෙක් හිතාමතා යුක්තිය අහිමි කිරීමක ගොදුරු පමනක් නො ව, විෂකුරු බොරු නඩු පැටලවීමක ගොදුර බවට පත් ව ඇතැයි පෙන්නුම් කෙරේ.

මෙම කොටස හෙලිදරවු කරන්නේ, පැමිනිල්ලේ පිටපත පිලිබඳ වාග්යුද්ධය තුල පවතින විනිවිද පෙනෙන නො ගැලපීම් හා පරස්පරයන් ය.

අවිනීෂ් දේව් එක ම ගොදුර වූයේ මන් ද?

සිද්ධීන් ට අදාල කම්හල අයිති සමාගමේ සහ පැමිනිල්ලේ සංස්කරනයට අනුව, විශාල ලෝහමය මෝටර් රථ කොටස්වලින් (මේවායින් සමහරක් තියුනු ඒවා විය) සන්නද්ධ ව සිටි කෝපයට පත් කම්කරුවන් සියගනනක් කම්හලෙහි ඉහල මාලයට රොක් වී, කලමනාකරන කාර්යාල ආක‍්‍රමනය කොට, එහි කලමනාකරන නිලධාරීන්ට පහර දුන් හ. ඔවුන් එසේ කරද්දී, සමහර කැරලිකාරී කම්කරුවෝ කලමනාකරුවන් මරා දමන ලෙස හඬ තැලූ හ. ගිනිදලු විසින් කාර්යාල වසා ගනිද්දී, කම්කරුවන් පිටවීමේ දොරටු අවහිර කරමින් කලමනාකරුවන් ව මුදා ගැනීමට උත්සාහ කල පොලීසිය සමග සටන් වැදුනි.

පැමිනිල්ල සම්පින්ඩනය කරමින්, විනිශ්චයකාර ගෝයාල් මෙසේ ලියයි: “100 සිට 150 දක්වා වන කලමනාකරන නිලධාරීන් ගනනක් කොටු කරනු ලැබ සිටි අතර, සම්මේලන කාමරයේ සිවිලිම හා කමනාකරන කාර්යාලය කරා ගින්න ඉහල නැගුනි. සෑම කලමනාකරුවෙක් ම පලායාමට තැත් කල ද කම්කරුවන් විසින් ඔවුන් ව වලකාලන ලදී.”

මරුති සුසුකි කලමනාකාරීත්වය සමග එක් ව පැමිනිල්ල විසින් පින්තාරු කරන චිත‍්‍රය වනාහි මුලුමනින් ම සිත් කම්පා කරවන ආකාරයට සංහාරය සිදුවන අයුරු විදහා දක්වන එකකි. එය දකින අයෙකුට යටත් පිරිසෙයින් බලාපොරොත්තු විය හැක්කේ, කෝපයට පත් කම්කරුවන්ගෙන් පහර කෑම හෝ ගින්නට ගොදුරු වීම හේතුවෙන්, අනෙකුත් කලමනාකරුවන්, බහුල ව නො වේ නම්, බොහෝ සෙයින් අනතුරුවලට හෝ නො මැකෙන තුවාල වීම්වලට මුහුන පානු ඇති බව යි.

එහෙත් කලමනාකරන නිලධාරීන් අතුරින් මරනීය තුවාල ලද්දේ, කම්කරුවන්ගේ අරගලයට හිතවත් එක ම නිලධාරියා වූ මානව සම්පත් කලමනාකාර අවිනීෂ් දේව් ය. දේව් වනාහි ප‍්‍රකට කරන ලද ප‍්‍රහාරයේ දී මරුමුවට පත් එක ම පුද්ගලයා පමනක් නො වේ. ඔහු මියගිය එක ම මරුති සුසුකි කලමනාකරුවා, කොන්ත‍්‍රාත්කරුවා හෝ මරනීය තුවාල ලත් ආරක්ෂක මන්ඩල සාමාජිකයා විය.

මරුටි සුසුකි මනේසාර් වැඩපොලේ කම්කරුවන් විසින් නිපදවන ලද මෝටර් රථ [ඡයාරූපය සඳහා අනුග‍්‍රහය 2015 දී ප‍්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුනු රාහුල් රෝයිගේ ද ෆැක්ටරි වාර්තා චිත‍්‍රපටයෙනි]

විනිශ්චයකාර ගෝයාල් සිය විනිශ්චය තුල පිලිගන්නා පරිදි, දේව් හැර අනෙක් එක ම කලමනාකරුවෙකු වත් ජීවිතය අනතුරට ලක්වන වර්ගයේ තුවාලවලට ලක් නො වුනි. “තුවාල ලත් සාක්ෂිකරුවන්... වෛද්‍ය සාක්ෂි වලින් පැහැදිලි වන්නේ, කුඩා වේවා දරුනු වර්ගයේ වේවා, තුවාල ලද්දවුන් අතුරින් කිසිවෙක් හෝ ජීවිතයට හානි වන වර්ගයේ තුවාලවලට ලක් ව නැති බව ” යයි පැමිනිල්ලේ සාක්ෂි විමසමින් හෙතෙම ලියයි.

ප‍්‍රහාරය පිලිබඳ පැමිනිල්ලේ චිත්‍රය හා එහි ප‍්‍රතිඵලය අතර මෙම වෙනස්කම සත්‍ය වසයෙන් ම පුදුම එලවනසුලුය. එනමුත් මෙහි තවත්, තව තවත් එවැනි දෑ ඕනෑ තරම් තිබේ.

ගැටුම පිලිබඳ පැමිනිල්ලේ චිත්‍රය සහ කලමනාකාර නිලධාරීන්ට සිදු වූ තුවාලවීම් අතර අසංගතික බවක් තිබේ. කම්කරුවන් සියගනනින් කාර්යාල තුලට කඩාවැදී ඔවුනට බරැති ලෝහමය දොර දඬු හා තියුනු ස්වයංක‍්‍රීය “කම්පකවලින්” පහර එල්ල කලේ නම්, බොහෝ කලමනාකරුවන් අතරින් සමහෙරක්වත් අවම වසයෙන් දරුනු ගනයේ තුවාලවලට වත් ලක්වනු ඇතැයි විත්තියේ නීති වේදීහු පෙන්වා දුන් හ. එහෙත් වෛද්‍යවරයා සොයාගත් පරිදි, කිසිදු මරුති සුසුකි කලමනාකරුවෙක් එවැනි තුවාලවලට ලක් වී නොතිබුනි.

“බොහෝ කලමනාකරුවන් ඔවුන්ට එල්ල වන ප‍්‍රහාර දෑත්වල උපකාරයෙන් වැලැක්වීමට උත්සාහ දැරුවේ” යයි කල කියාපෑම සමග සිදුව තිබූ තුවාලවල සීමිත ස්වභාවයත් ගැඹුරු කැපීම් සිදු නො වී තිබීමත් විස්තර නො කර සිටීමට විනිශ්චයකරුවා වගබලා ගත්තේ ය.

“වැදුනු පහරවලින් වැලකීමට මම වමත යොදාගෙන වෙර යෙදුවා” ය යන වාක්‍යාංශය පැමිනිල්ල පැත්තෙන් සාක්ෂි දුන් බොහෝ දෙනා විසින් පුනරුච්ඡාරනය කිරීමෙන් ඉඟි කෙරෙන්නේ, ව්‍යාජ ප‍්‍රකාශ කිරීමට ඔවුන් ව පුහුනු කිරීම හා කටපාඩම් කරවීම සිදු කොට තිබුනු බව යි.

රාජේශ් කුමාර් මල්හෝත‍්‍රා, සෝභිත් මිතල්, සන්තෝෂ් කුමාර් යාදව්, ජෝ. කේ. ඩොග්රා, රාජීව් කාවුල්, ඞී. සී. ෂර්මා සහ වික්‍රම් සාරීන්, වික්‍රම් කජන්චි, විජේබීර් සිං යන සියලු ප්‍රධාන සාක්ෂිකරුවෝ තමන්ට එල්ල වුනු පහරවලින් වමත යොදාගෙන වැලකීමට උත්සාහ කලේ යයි කියා සිටිය හ.

කැරලිකාර කම්කරුවන් යොදාගෙන සිටියා යයි කියූ ග‍්‍රහනයෙන් මිදීමට කලමනාකරන නිලධාරීන් උත්සාහ කල ආකාරය විස්තර කිරීමට “කෙසේ හෝ” යන වචනය, අහඹු ලෙස විනිශ්චයකාර ගෝයාල් විසින් යලි යලිත් භාවිතා කිරීමෙහි අර්ථය වන්නේ, චෝදනාවේ ඇති සැකකටයුතු ස්වභාවය පිලිගැනීමකි. පැමිනිල්ලේ සාක්ෂිකාර වික‍්‍රම් සාරීන් ගැන විනිශ්චයකාරයා කීවේ “කෙසේ හෝ නැගිට ගැනීමට ඔහු සමත් වූ බව” යි. “ප්‍රහාරයෙන් බේරී සිටීමට (සෝභිත් මිතල්) යන්තමින් සමත් වූ අතර සන්තෝෂ් කුමාර් යාදෙව් අනූනමයෙන් දිවි බේරා ගත්තේ ය.”

පහර දීම සඳහා කම්කරුවන් මෝටර් රථ කොටස් යොදාගත්තේ යයි පැමිනිල්ලේ කියාපෑම

මරුති සුසුකි කලමනාකාරීත්වය සමග සමීප සහයෝගයෙන් සකසා, පොලීසිය ඉදිරිපත් කල පලමු තොරතුරු වාර්තාව (එෆ්අයිආර්) තුල පහර දීම සඳහා කම්කරුවන් විසින් සවල්, බියගැන්වීමට යොදාගන්නා ලී කොටං වන ලැති සහ කොන්ක‍්‍රීට් සවි ගැන්වීමට යොදා ගන්නා බට (සරියා) භාවිතා කල බව අවධාරනය කෙරුනි. කලමනාකාර නිලධාරී දීපක් ආනන්ද් විසින් නඩු විමසුමේ දී මේ බව පුනරුච්ඡාරනය කරන ලදී.

සිරගත කරන ලද කම්කරුවන්ගේ පවුල්වල සාමජිකයන්ට කම්කරුවන් ව දැකගැනීමට හැක්කේ සිරගෙයෙහි කම්බි කූරු අතරිනි [ඡායාරූපය සඳහා ස්තුතිය: රාහුල් රෝයිගේ ද ෆැක්ටරි වාර්තා චිත‍්‍රපටය(2015)]

එහෙත් මෙය ඉවත දැමූ පැමිනිල්ල, කම්කරුවන් ප‍්‍රහාරය සඳහා දොර පොලු හා කම්පක භාවිතා කල බව කීවේ ය.

එෆ්අයිආර්හි වාර්තාවේ සඳහන් වන ආයුධ හා නඩුවේ දී පැමිනිල්ල ඉදිරිපත් කල තර්ක අතරේ පවතින නො එකඟතා විත්තියේ නීතිඥයා විසින් පෙන්වා දුන් විට “එෆ්අයිආර් යනු නඩුව පිලිබඳ විශ්වකෝෂයක් නො වන බවත් එය (නඩුව) ගැන සෑම සහ සියලු තොරතුරක් ම එෆ්අයිආර් තුල සඳහන් කිරීම අවශ්‍ය නැති බවත්” කියා සිටිමින් විනිශ්චයකරුවා පැමිනිල්ලට සහය දැක්වීය.

එම තීන්දුව තුල විනිශ්චයකරු හාම්පුතුන්ට පක්ෂපාතී ලෙස කීවේ, චෝදනාවට උපයෝගී වන තාක් එෆ්අයිආර් වාර්තාව විශ්වසනීය බව හා කම්කරුවන්ට වාසියදායක වන විට විශ්වාසවන්ත නැති බව ය. එම වාර්තාවේ වෙනත් තැනක ආරවුල පටන් ගැනීමට වහාම පෙරාතුව තමන් මරුති සුසුකි සමාගමෙන් ඉල්ලා අස්වන්නේ යයි දේව් නිවේදනය කොට තිබුනේ ය යන කම්කරුවන්ගේ කරුනු දැක්වීම ඉවත දැමුවේ එය එෆ්අයිආර් වාර්තාව තුල නොතිබුනු නිසාය.

නඩුවේ දී පැමිනිල්ල බොහෝ සෙයින් ප‍්‍රයෝජනයට ගත් කාරනාව වූයේ කම්කරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට ඔවුන් සතුව දොර පොලු තිබුනේ යයි පොලීසිය කර තිබූ කියාපෑම යි. මෙම “සාක්ෂිය” ගොතන ලද්දක් බවට තර්ක කල කම්කරුවන්ගේ නීතිඥයෝ දොරපොලු පිලිබඳ චෝදකයාගේ කියාපෑම ක‍්‍රමානුකූල ව කීතුකොට දැමූ හ.

පොලීසිය සොයාගත්තේ යයි ප‍්‍රකාශ කල මරුති සුසුකි සමාගමට අයත් කම්කරුවන් අතදරා සිටි දොරපොලු ගැන කතාව කිසිදු අයුරකින් තහවුරු වී නැතැයි විත්තියේ නීතිඥයෝ පෙන්වා දුන් හ.

කම්කරුවන් ප‍්‍රහාරය සඳහා දොරපොලු හා කම්පක භාවිතා කොට, සිදු වූයේ කුමක්දැයි වසං කිරීම සඳහා ඒවා අතැති ව ම පලාගිය බවට චෝදකයාගේ සහ සමාගමෙහි කියපෑම තුල ගනන් නැති හිඩැස් සහ නො ගැලපීම් පවත්නා බව ද එම නීතිඥයෝ පෙන්වා දුන් හ.

මෙම “ආයුධ” ගැන එෆ්අයිආර් වාර්තාවේ සඳහන් නො කෙරුනා පමනක් නො වේ. 2012 වසරේ ජූලි 18 දිනෙන් පසු මාස ගනනක් ගතවන තෙක් සොරකම් කරන ලද අඩුම කුඩුම ගැන කිසිවක් නො කියන ලදී.

කලමනාකරුවන්ගේ හා ආරක්ෂක භටයින් සෑහෙන පිරිසකගේ දෙනෙත් වසා, පෑස්සුම් කිරීම සහ එකලස් කිරීම කරන කම්හල්වලින්, දොරපොලු හා කම්පක සොරාගැනීමටත් ප‍්‍රහාරයේ දී ඒවා භාවිතා කිරීමට පරිපාලන ගොඩනැගිල්ල වෙත ඒවා ගෙන ප‍්‍රවාහනය කිරීමටත් කම්කරුවන් සමත් වූයේ කෙසේ ද යන්න විස්තර කිරීමට චෝදකයාගේ කිසිදු සාක්ෂිකරුවෙක් සමත් වූයේ නැත.

චෝදනාව ඔප්පු කිරීමට හොඳින් ම උපකාරී වන දොරපොලු, කම්කරුවන් කම්හලේ සිට ඔවුනගේ නිවෙස් කරා ගෙන ගියේ ඇයිදැයි විස්තර කිරීමට චෝදකයා සමත් නො වී ය.

පොලිස් පරීක්ෂක ප‍්‍රකාශ් සාක්ෂි දෙමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් කම්කරුවන් සතුව තිබී පොලීසිය සොයාගත්තේ යයි කියන එකදු දොරපොල්ලක වත් ලේ තැවරී තිබුනේ නැති බව යි.

ප‍්‍රහාරයට කම්කරුවන්ගේ සම්බන්ධය තහවුරු කිරීමේ දී දොරපොලු තීරනාත්මක සාක්ෂියක් වූ බව කියා සිටි පොලීසිය, ප‍්‍රශ්න කිරීම්වල දී ඇඟිලි සලකුනු සඳහා පරීක්ෂා කිරීම ඇතුලු අධිකරන වෛද්‍ය පරීක්ෂන දොරපොලුවලට අදාල ව සිදු කලේ යයි පැවසූ හ.

නිව් යෝක්හි පදනම් වන රාජ්‍ය නො වන සංවිධානයක් වන කම්කරු අයිතිවාසිකම් සඳහා වන ජාත්‍යන්තර කොමිසම, මරුති සුසුකි සිදුවීම් පිලිබඳ ව 2013 වසරෙහි පලකල අධ්‍යනයකට අනුව, 2012 ජූලි 18 දින සිදු වූ ආරවුලෙන් ඉක්බිත්තේ ප‍්‍රසිද්ධ කල ප‍්‍රවෘත්ති වාර්තාවන්හි, සිද්ධියට අදාල සීසීටීවී වාර්තා සොයාගෙන තිබූ බවත් ඒවා භාවිතා කරමින් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් පොලීසිය සඳහන් කර තිබුනි. “එහෙත් දින හතරකට පසුව... සොයාගෙන තිබූ සීසීටීවී උපකරනවල දෘඩතැටිවලට හානි සිදු ව තිබූ බව හා කිසිදු ඡායාරූපයක් ඒවායින් උපුටනය කරගත නො හැකි බව පොලීසිය කියා සිටිය හ.”

Share this article: