සසප සාමාජිකයන් නාට්‍යවේදීන්ගේ හමුවකදී කලාව සුරැකීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 මැයි 03

රංග කලාකරුවන්ගේ ජාතික සංසදයේ (නැෆ්ටා) කැඳවුමෙන්, පසුගිය 25 වන දා, කොලඹ, බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතන ශ‍්‍රවනාගාරය තුල නාට්‍ය කලාකරුවන් ගේ හමුවක් පැවැත්වින. නාට්‍ය කලාකරුවන් විසින් තම අයිතීන් දිනා ගන්නේ සහ නාට්‍ය කලාවේ ප‍්‍රගමනයට බාධා ඇති කෙරෙන ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම, හමුවේ ප‍්‍රකාශිත අරමුන විය.

2015 මැද භාගයේදී ආරම්භ වූ මෙම සංසදයේ සභාපති පරාක‍්‍රම නිරිඇල්ල ඇතුලු සමස්ත සාමාජිකත්වයේ බහුතරයක්, එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙනඒම සඳහා ප‍්‍රසිද්ධියේ දරදිය ඇද්දෝ වෙති.

හමුවේ අරමුනු පැහැදිලි කරමින් සභාව ඇරැඹූ නිරිඇල්ල කියා සිටියේ, ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන සමයන්හි ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ කලාකරුවන් ගේ සහ කලාවේ උන්නතිය සඳහා ක්‍රියාත්මක කරන බවට දෙනලද පොරොන්දු සියල්ල කඩකොට ඇති බවයි. “ජනාධිපතිවරනය ආසන්නයේ මාත්, ධර්මසිරි බන්ඩාරනායක ඇතුලු තවත් නාට්‍යවේදීන් කීප දෙනෙකුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුඋනා. කලාවේ උන්නතිය සඳහා ක්‍රියාත්මක කලයුතු කරුනු 13 කින් යුත් සංදේශයක් අපි ඔහුට භාර දුන්නා. ඒ සියල්ල ක්‍රියාත්මක කරන බවට ඔහු එහි අත්සනක් යෙදුවා.”

එම අත්සනට රැවටුනු තමා ඇතුලු නාට්‍යවේදීන් බොහෝ දෙනෙකු සිරිසේන බලයට ගෙනඒම සඳහා ප‍්‍රසිද්ධියේ උද්ඝෝෂනය කල බව නිරිඇල්ල පැවසීය. බලාපොරොත්තු සියල්ල කඩවීමෙන් තමා මෙන්ම ඔහු බලයට ගෙන ඒමට ක්‍රියාකල බොහෝ කලාකරුවන් වික්ෂෝපයට පත්ව ඇති බවත්, මෙම ආන්ඩුව බලයට ගෙනඒම සඳහා දායකවීම සම්බන්ධයෙන් තමා පසුතැවිලිවන බවත් ඔහු කීවේය.

නාට්‍යකරුවන් ඉදිරිපත්කල කරුනු 13 අතරින් පහසු මිලකට ලබාගතහැකි නවීන පහසුකම් වලින් යුත් නාට්‍යාගාර කීපයක් දිවයින පුරා ස්ථාපිත කිරීම ප‍්‍රමුඛතම ඉල්ලීමක් වී ඇත. ඒ අනුව කොලඹ ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරනය පිලිබඳව මහත් බලාපොරොත්තු රඳවා සිටි අයුරු නිරිඇල්ල පැහැදිලි කලේය. “අද ඒ බලාපොරොත්තු සියල්ල කඩවෙලා. නවීකරනය වන රඟහලේ මුල් සැලැස්ම වෙනස් වෙලා. ඉදිකර ඇති බැල්කනියට වේදිකාවේ සිට ප‍්‍රක්ෂේපනය කෙරෙන කිසිවක් පැහැදිලිව ඇසෙන්නේ නෑ. දැවැන්ත මුදල් සම්භාරයක් වියදම්කොට තැනෙන මෙහි නවීන නාට්‍යාගාරයක පැවතිය යුතු ගෘහ නිර්මානාත්මක අංග ලක්ෂන නෑ. සියල්ලටමත් වඩා මෙය නිමකල පසු නාට්‍ය දර්ශනයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් ලක්ෂ හතරකට ආසන්න වෙනවා.”

අති දැවැන්ත මුදලක් වැය කොට මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකරන ලද “නෙලුම් පොකුන” නෘත්‍යාගාරය සඳහා දර්ශනයක් සඳහා අය කෙරෙන ගාස්තුව ලක්ෂ නවයකට ආසන්න බව පෙන්වා දුන් නිරිඇල්ල කියා සිටියේ මෙම අධික මිල ගනන් හමුවේ නාට්‍යවේදීන් හට තම නිර්මානයන් වේදිකාගත කිරීමට අවම වශයෙන් කොලඹ නගරයේ හෝ රංග ශාලාවක් නොමැති බවයි.

රාජපක්ෂ සමයේ ආරම්භ කල, කොලඹ නගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තව දුරටත් ප‍්‍රසාරනය කරමින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බස්නාහිර මහනගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර, බිලියන සංඛ්‍යාත මුදල් වැය කරමින් සුඛෝපභෝගී සංචාරක හෝටල්, වරාය නගර, අහස සිඹින ගොඩනැගිලි, පද්ම තටාක, හරිත උද්‍යාන සහ ව්‍යායාම මංතීරු ගොඩ නැගෙන අතර අනෙක් පසින් දුගීන් නගරයෙන් පලවා හරිමින් මුදා ගන්නා ඉඩම් ජාත්‍යන්තර සංගත වලට විකුනමින් පවතී. මෙහිම කොටසක් ලෙස සාමාන්‍ය මහජනතාවගේ කලාත්මක වින්දනය සඳහා පැවති යම් සොචචම් පහසුකමක් වෙතොත් ඒවාද උදුරා ගනිමින් ධනපතියන්ට සහ ඉහල මධ්‍යම පන්තිකයන්ට පමනක් ලඟාවිය හැකි ස්ථානයන් බවට ඒවා පත් කෙරෙමින් පවතී.

මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන්ට අනුව බවත් කලාව සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයේ ප‍්‍රකාශනයන් බවත් වහංගු කිරීමට නිරිඇල්ලත් ඔහුට පසුව කතාකල නැෆ්ටා ලේකම් එම්.සෆීර් වගබලා ගත්හ. නිරිඇල්ලගේ අපේක්ෂා භංගිත වැලපිල්ල කාව්‍යමය භාෂාවෙන් ඉදිරිපත් කල සෆීර් සාමාජික කලාකරුවන්ට දෝෂාරෝපිත ලෙසින් කියා සිටියේ තම “සිහිනයන්, සිහිනයක්” ලෙස බොඳව යද්දී සංසදයේ ක්‍රියාධරයන්ගේ සංඛ්‍යාව හීනවී ගිය බවයි.

අනතුරුව පැවති සංවාද මන්ඩපය මෙහෙයවීම සඳහා නිරිඇල්ල විසින් ආරාධනය කරනු ලැබුවේ ධනවාදයේ දැනුවත් ආරක්ෂකයකු ලෙස කුප‍්‍රකට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යි.

ප‍්‍රකට නාට්‍යවේදියෙකු වූ කේ.බී. හේරත් සංවාදය ආරම්භ කලේ නිරිඇල්ල සහ සෆීර් මෙන්ම ආන්ඩුව කෙරෙහි තම අපේක්ෂා භංගත්වය පල කරමිනි. සංස්කෘතියට එල්ල කෙරෙන ප‍්‍රහාරය විෂය භාර ඇමතිවරයාගේ ආත්මීයත්වයෙන් පැන නගින්නක් ලෙස ගුනාංගීකරනයක කරමින් හේරත් මෙසේ පැවසුවේය:

“අවම වශයෙන් අපි විශ්වාස කලා කලාව පිලිබඳ යම් අවබෝධයක් තිබෙන සරත් අමුනුගම වැනි කෙනෙකුට සංස්කෘතික අමාත්‍යංශය පවරයි කියල.”

කලාව පිලිබඳ “යම් අවබෝධයක්” ඇති මෙම අමුනුගම වනාහි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ කැබිනෙට්ටුවේ සංස්කෘතික ඇමති ධුරය දරමින් ප‍්‍රසන්න විතානගේ විසින් නිර්මිත “පුරහඳ කලුවර” චිත‍්‍රපටයට වාරන නියෝගය දුන් කලා ගහලයා ය.

අනතුරුව සංවාදයට එක්වූයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පානි විජේසිරිවර්ධන යි. “මෙතැන කතාවුනා සිහින බොඳවී යාමක් ගැන. කලාවේ අභිවෘද්ධිය පිලිබඳ සිහින කලාකරුවන්ට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයි. නමුත් කලාවට එල්ල කෙරෙන බලගතු ප‍්‍රහාරයන් හමුවේ කලාත්මක භාවිතාව පිලිබඳ අයිතීන් සුරක්ෂිත කර ගැනීමට නම් වෛෂයික තක්සේරුවක් මත ඇතිකර ගන්නා විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් මත සටන් වැදීම අනිවාර්ය සහ අත්‍යවශ්‍ය වෙනවා. අනෙක් සෑම තැනකදී මෙන්ම ඔබේ සංසදයට ද නොමැත්තේ එයයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි මාලාවක් උපුටා දැක්වූ විජේසිරිවර්ධන කලාව ක්ෂේත‍්‍රයට ලෝක පරිමානව එල්ල වෙමින් පවත්නා ප‍්‍රහාරයන් පිලිබඳ චිත‍්‍රයක් ඉදිරිපත් කලේය. එක්සත් ජනපදයේ ඩෙට්‍රොයිට් නගරයේ මහජන කලාගාරයේ ඇති ඓතිහාසික වශයෙන් දැවැන්ත වටිනාකමක් සතු කලා නිර්මාන විකුනා මුදල් කර ගැනීමට එහි පලාත් පාලන පරිපාලනය දරන ප‍්‍රයත්නය, එක්සත් ජනපදයේම පිට්ස්බර්ග් සිම්ෆනි වාද්‍ය වෘන්දයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ රැකියා කප්පාදු වලට එරෙහිව එහි සාමාජික-සාමාජිකාවන් ගෙනයන අරගලය, ප‍්‍රන්සයේ විනෝදාස්වාද කර්මාන්තයේ යෙදී සිටින ලක්ෂයකට අධික කම්කරුවන් තම වැටුප් කප්පාදුවට එරෙහිව නිමග්නව සිටිනා අරගලය සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ජාතික කෞතුකාගාරයේ සහ ජාතික කලාගාරයේ දැවැන්ත වියදම් කප්පාදුව ද කලාත්මක ප‍්‍රකාශනයේ නිදහසට එරෙහිව ලොවපුරා එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරයන් ඉදිරිපත් කරමින් විජේසිරිවර්ධන පැවසුවේ “සංස්කෘතික සහ කලා ක්ෂේත‍්‍රයන්ට එල්ල කෙරෙමින් පවත්නා මෙම ප‍්‍රහාරය ජාත්‍යන්තර ප‍්‍රපංචයක් බව වටහා ගතයුතු” බවයි.

“මෙම ප‍්‍රහාරය ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරු අර්බුදයේ ලෝක පරිමාන ප‍්‍රකාශනයක්. ලොවපුරා සෑම රටක්ම පාසා නයබරින් සහ මූල්‍ය අර්බුදයෙන් වෙලී සිටින අතර එම ආන්ඩු තම අර්බුදයේ බර මහජනතාවගේ කර පිටින් යවමින් පවතිනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සංස්කෘතිය යන ක්ෂේත‍්‍රයන්හි වියදම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය, විශේෂයෙන්ම එහි සංවර්ධිත රූපය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආන්ඩු වලට විධානය කර සිටිනවා. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාත්මක කරන්නේ එයයි. මෙම ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර සම්බන්ධයෙන් නිරිඇල්ල, බන්ඩාරනායක සහ හේරත් ඇතුලු නඩය වගකිව යුතුයි.”

මහජන අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය සහ සංස්කෘතිය යන ක්ෂේත‍්‍රයන් හි අභිවර්ධනය සඳහා අවශ්‍ය කෙරෙන බිලියන සංඛ්‍යාත මුදල් සොයාගත හැක්කේ කම්කරු පන්ති පාලනය යටතේ මහා පරිමාන බැංකු ජනසතු කිරීමෙන් පමනකි. මෙය කල හැක්කේ සෑම ක්ෂේත‍්‍රයක් තුලම එල්ල කෙරෙන

ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්, තරුනයන්, කලාකරුවන් සහ අවශේෂ පීඩිතයන් කම්කරු පන්ති නායකත්වය යටතේ බලමුලු ගන්වමින් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත මෙහෙයවීමෙන් පමනකි.

වියයුතු පරිදිම, මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරත්ම එයට එරෙහිව වෛරී සහගතව නැගී සිටියේ සංවාදය මෙහෙය වූ සුනිල් විජේසිරිවර්ධන යි. ධනේශ්වරයේ නග්න ක්ෂමාලාපකයෙකු වූ ඔහු සංස්කෘතියට එරෙහි එවන් ලෝක පරිමාන ප‍්‍රහාරාත්මක ප‍්‍රවනතාවක් නොමැතිබව පෙන්වීමට ප‍්‍රයත්න දැරුවේ කවර හෝ මූලාශ‍්‍රයක් ගෙනහැර නොදක්වමින් ජපානයේ සහ කොස්ටාරිකාවේ සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සඳහා රාජ්‍ය ප‍්‍රතිපාදන වැඩි කෙරී ඇති බව ප‍්‍රකාශ කරමිනි.

එවන් ව්‍යතිරේකයන් අතලොස්සක් පැවතියේ හැකි වුවද ඒ මත පාදකව ලෝක ප‍්‍රවනතාවක් නැතැයි තර්ක කිරීම මුග්ධත්වයේ හෝ බුද්ධිමය වංචනිකත්වයේ ප‍්‍රකාශනයන් ය.

සුනිල් විජේසිරිවර්ධන පන්ඩිත ලීලාවෙන් කියා සිටියේ “මහජන විඥානයට මාහැගි බලයක් වියහැකි බවයි. නමුත් ”මහජන විඥානය” මාහඟිි බලයක් බවට පත් වන්නේ විප්ලවවාදී ව්‍යාපාරයක් මහජනතාව තුල ක්‍රියාශීලීව මැදිහත්ව ඔවුනගේ විඥානය විප්ලවවාදී විඥානය බවට වර්ධනය කිරීමෙන් බව පානි විජේසිරිවර්ධන පෙන්වා දුනි. රංග කලාකරුවන් දෙසීයකට අධික සාමාජිකත්වයක “විඥානය” එවන් බලයක් නොවී පරලව ගියේ මන් ද යන්න වටහා ගැනීමට කලාකරුවන් විසින්ම ප‍්‍රයත්න දැරිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

ධනේශ්වර රාජ්‍යයන්ගේ සහ සංගත මූල්‍ය ප‍්‍රතිපාදන වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධානයන්හි මුදුනත ලැග සිටිමින් වරප‍්‍රසාදිත සහ පරපුටු ජීවිත ගත කරන සුනිල් විජේසිරිවර්ධන වැන්නවුන්ගෙන් ධනේශ්වර ක්ෂමාලාපී භූමිකාවක් හැර අන්‍ය හැසිරීමක් කිසි විටෙකත් අපේක්ෂා කල නොහේ.

එය වඩාත්ම කැපී පෙනුනේ, වොෂින්ටනය තම අත යොදා 2015 ජනවාරියේදී ශ්‍රී ලංකාව තුල සිදු කල තන්ත‍්‍ර මාරුව සඳහා ඔහු ඇතුලු ව්‍යාජ-වාම නඩයන් දෙන ලද සහාය ආරක්ෂා කරමින් කරන ලද ප‍්‍රකාශයෙනි: “කෙසේ නමුත් මම තවමත් විශ්වාස කරන්නේ 2015 ජනවාරියේ දී රාජපක්ෂ පරාජය කිරීම අප ලැබූ ජයග‍්‍රහනයක් බවයි.”

2015 ජනවාරියේ දී සිදු කෙරුනේ, චීනය ආර්ථික සහ මිලිටරිමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපාය වන“ආසියාවට හැරීම” ට සරිලන පරිදි එක්සත් ජනපද හිතකාමී තන්ත‍්‍රයක් කොලඹ තුල පිහිටුවා ගැනීමයි. ඉන්පසු ගත වූ කාලය තුල සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව එකී මූලෝපායට වඩඩඩාත් ඒකාග‍්‍ර වීමයි. උතුරු කොරියාවට එරෙහි එක්සත් ජනපද ප‍්‍රකෝපකරනයන් හමුවේ කලාපයේ යුද ආතතීීන් වේගයෙන් ඉහල නගින තතු තුල මෙම තන්ත‍්‍ර මාරුවේ අන්තරායකාරී ප‍්‍රතිවිපාක වඩාත් විශද වෙමින් පවතී.

එපමනක් නොව කම්කරුවන්ගේ කරුනයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මාලාවක් මතු වෙමින් පවත්නා තතු තුල සිරිසේන වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකරයන්ගෙන් මිලිටරි ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් පරිවර්තනය වෙමින් සිටී. මෙම තතු තුල මෙම ආන්ඩුව ආරක්ෂා කිරීම සඳහා සුනිල් විජේසිරිවර්ධන දරන මංමුලාසහගත ප‍්‍රයත්නයට පිටුපසින් පවත්නේ ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට ඔහුගේ ඇති දෘඩතර සම්බන්ධය යි.

කෙසේ නමුත්, සුනිල් විජේසිරිවර්ධන ගේ අපසරනයන් සහ නොමග යැවීමේ ප‍්‍රයත්නයන් තිබියදීම හමුව අවසානයේ පානි විජේසිරිවර්ධන සහ සසප සාමාජිකයන් මුන ගැසුනු තරුන කලාකරුවන් පිරිසක් සසප මැදිහත්වීීමට තම පූර්න එකගතාව පල කල අතර ඉදිරි සාකච්ඡාවන් සඳහා තම දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනයන් ලබා දුන්හ. අවසානයේදී ඔවුන් සියලු දෙනාම, බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරගතකොට ඇති ඉන්දියාවේ මරුති-සුසුකි සමාගමේ කම්කරුවන් නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන ඔන්ලයින් පෙත්සමට ද අත්සන් තැබූහ.

Share this article: