“ඉන්දියාවේ හා චීනයේ කම්කරු කැරලි සුලඟක් හමමින් පවතී.”

මරුති සුසුකි කම්කරුවන් ගැන මහාචාර්ය ඉම්මානුවෙල් නෙස් සමග පිලිසඳරක්

“There is an air of worker rebellion in India and China” A conversation with Professor Immanuel Ness on the Maruti Suzuki workers

ජෙරී වයිට් විසිනි, 2017 මැයි 4

ඉම්මානුවෙල් නෙස්

නිව්යෝක් හි සිටි විශ්ව විද්‍යාලයේ බෲක්ලින් කොලේජ් හි දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් වන ඉම්මානුවෙල් නෙස් ඉන්දියාවේ අලුතෙන්ම වර්ධනය වුන ගෝලීයව ගැටගැසුනු වාහන අංශය ද ඇතුලත්ව රටෙහි පන්ති අරගල ගැන සවිස්තරව ලියා තිබේ. නීතීඥයන් හා කම්කරු අයිතිවාසිකම් නීතිවේදීන් කන්ඩායමක සාමාජිකයෙක් ලෙස, දිල්ලියට සමීප මනෙසාර් හි මරුති සුසුකි කාර් එකලස් කිරීමේ කම්හලෙහි කම්කරුවන් හිංසනයට ලක්කිරීම ගැන පරීක්ෂන කිරීමට, නෙස් 2013 මැයි මස ඉන්දියාවට ගියේය. 2012 ජූලි 18 වනදා සමාගම විසින් පොලඹවන ලද ගැටුමට පසුව දැවැන්ත අත්අඩංගුවට ගැනීම් හා රැකියාවෙන් නෙරපීම් හා මිනිස් සම්පත් කලමනාකාර අවනිෂ් දේව්ගේ මරනය ගැන විස්තර කරන Merchants of Menace: Repressing Workers in India’s New Industrial Belt (බියජනක වෙලෙන්දෝ: ඉන්දියාවේ නව කර්මාන්ත තීරයේදී කම්කරුවන් මර්දනය කිරීම) නමැති වාර්තාව 2013 ජූලි මාසයේදී නිව්යෝක් හි පාදක කම්කරු අයිතිවාසිකම් සඳහා අන්තර්ජාතික කොමිසම විසින් නිකුත් කෙරින.

මහාචාර්ය නෙස් 2015 නිකුත් කල Southern Insurgency: The Coming of the Global Working Class, (දක්ෂින කැරැල්ල: ගෝලීය කම්කරු පන්තියේ පැමිනීම) නම් පොතෙහි කතෘවරයා ද වෙයි. ඉන්දියාවේ, චීනයේ හා දකුනු අප‍්‍රිකාවේ කම්කරු අරගල ගැන විෂය අධ්‍යයන එයට ඇතුලත් වේ. ඔහු මෑතකදී මරුති සුසුකි කාරනාව හා ලෝකය පුරා කම්කරුවන් සඳහා එහි ඇඟවුම් ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරු ජෙරී වයිට් සමග කතා කලේය.

එම කාරනාවෙහි ඔහුගේ සහභාගිත්වය විස්තර කරමින්, “2012 ජූලි 18 සිද්ධියෙන් මාස 10 කට පමන පසුව ඉන්දියාවේදී ස්වාධීන පරීක්ෂනයක් පවත්වපු අට දෙනෙක්ගෙන් සැදුම්ලත් අන්තර්ජාතික සමූහයේ මමත් එක් සාමාජිකයෙක්. මෙම කම්කරුවන් මිනිස් සම්පත් කලමනාකරු මරාදැමීමට සම්බන්ධ වූ බවට ඉන්දීය රජයේ, හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුවේ හා සමාගමේ මතභේදයන්ගේ විශ්වාසනීයත්වය නිශ්චය කරන්නට අපට අවශ්‍ය වුනා. ඒ වන විට කම්කරුවන් 150 දෙනෙක් අත්අඩංගුවට ගෙන සිර ගත කොට තිබුනා.” නෙස් පැවසීය.

සිරගත කල කම්කරුවන් අධිකරන ශාලාවට රැගෙන යාම (ස්තූතිය: The Factoryරාහුල් රෝයිගේ ද ෆැක්ටරි චිත‍්‍රපටය)

මරුති සුසුකි කම්කරු සමිතියේ තේරී පත් වූ නායකයන් 12 දෙනාත් ඇතුලත්ව 13 දෙනෙකුට මේ වසරේ මාර්තු 18 දා ඉන්දීය දිස්ත‍්‍රික් උසාවිය විසින් නියම කල කෲර නඩු තීන්දුව ගැන අදහස් දක්වමින්, “කම්කරුවන්ගේ උත්සාහයට බොහෝ දුරට සහයෝගය දුන් කලමනාකරුගේ හුස්ම හිරකිරීමට කිසිසේත්ම ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බව සාක්ෂි තුලින් පෙන්වද්දීත් කම්කරුවන් 13 දෙනාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කිරීම සිත් කම්පා කරනවා. ඔහු මියගියේ ගින්නකදී දුම ආශ්වාස කිරීම නිසා. එය එසේ නොවුනත්, කම්කරුවෙක් ගින්න ඇවිලුවා නම්, ඒ එක කම්කරුවෙක්, 13 ක් නෙමෙයි.” නෙස් පැවසුවේය.

“කෙනෙක් මිය ගියාම, ඔබ එය බරපතල ලෙස ගත යුතුයි, මමත් ඇත්තටම එහෙමයි. කෙසේවෙතත්, කොමිසමේ සාමාජිකයන් අතරේ මෙම කම්කරුවන් එයට සහභාගි වී නැති බවට ඒකමතිකත්වයක් තිබුනා, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ආන්ඩුව නියැලී තිබුනා, සහ කම්කරුවන්ට වන්දි ගෙවිය යුතුව තියනවා. කම්කරුවන්ගේ සංවිධානය වීමේ අයිතිය, ඒකාබද්ධ ක‍්‍රියාකාරකම්වල නියැලීම හා විරෝධය පෑම යනාදී අන්තර්ජාතික කම්කරු සම්පාදන මරුති සුසුකි උල්ලංඝනය කර තිබෙන බව අපි සොයා ගත්තා.

“උසාවි ලියකියවිලි කියවන අයෙකුට, කම්කරුවන් සමග සම්මුඛ සාකච්ඡාවක් කල අයෙකුට, 2012 ජූලි ගැටුම කම්කරුවන්ගේ නිල ඇඳුමින් සැරසුනු සමාගමේ සහචරයන් හෝ ඉන්දියාවේදී බවුන්සර් නමින් සඳහන් කරන සේවකයන් ලෙස වෙස් වලාගත් පිරිසක් විසින් පටන් ගැනුනක් බව තේරුම් යනවා ඇත. මම තර්ක කරනවා, සංවිධාන ගත ව්‍යාපාරයට අකුල් හෙලන්නට ඔවුන් කම්හල තුල කලබලයක් ඇති කලා කියලා. හර්යානා ප‍්‍රාන්ත අගනුවර වන චන්දිගාර්හිදී මරුති සුසුකි කම්කරු සමිතිය පිහිටුවීමට කම්කරුවෝ ඒ වනවිටත් පෙත්සමක් බාර දී තිබුනා. මෙය සිදු කලේ ඔවුන්ගේ සංවිධානය වීම වලක්වාලීමටයි. පසුකාලීනව කම්කරුවන්ගේ කිසිඳු සංවිධානයක් නොමැතිවන අතර කිසිඳු උත්සාහයක් ඇති නොවනු ඇත.

“සිද්ධියෙන් පසුව, කම්කරුවන් සිය ගනනක් හා කම්කරුවන් පමනක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා වටලනු ලැබුවා. කම්හලෙහි සේවකයන්, පූර්න කාලීන හා කොන්ත‍්‍රාත් යන දෙකොටසම, සම්පූර්නයෙන්ම ඉවත්කොට වෙන අය බඳවාගැනුනා. එනිසා, එම කම්හලේ හෝ මරුති සුසුකි හි වෙනත් තැන්වල විරෝධතාවයට සහභාගීවූවන් ඉවත් කරනු ඇත.”

නෙස් ඊලඟට හැරුනේ නීතිමය හඹායාම පිටුපස තිබූ ඇත්ත අභිප‍්‍රාය දෙසටය. “නඩු විභාගය අතරතුරදී, ඔබේ වෙබ් අඩවියේ පෙන්නා දුන් ලෙසට, විදේශ ආයෝජකයන් සඳහා ව්‍යාපාර හිතැති පරිසරයක් පවත්වාගෙන යාම ගැන ඉන්දීය පාලක පන්තියේ උත්සුකතා ගැන පැමිනිල්ලේ නීතිඥයා හා හර්යානා නිලධාරීන් සඳහන් කලා.

“2012 දී හා නැවත 2017 දී, ප‍්‍රධාන වශයෙන් අධිරාජ්‍යවාදී රටවල් හා වෝල් ස්ට්‍රීට් හා ලන්ඩන් නගරයේ ධනපතියන් සඳහා කාර්මීකරනය හා අපනයන ඇතිකිරීමට ඉන්දියාවට විශාල පීඩනයක් එල්ල වුනා. සුසුකි ගේ අයිතිය යටතේ ඇති මරුති සුසුකි, ජපාන කම්කරුවන්ට ඔවුන් සලකන අන්දමටම, ඉතා කෑදර ජපාන සමාගම්වලින් එකකි. අතීතයේදී එක්සත් ජනපදයේ කම්කරුවන් අත් දැක ඇති අති දරුනු වැඩ වේගවත්කිරීම් හා තවත් බොහෝ දේ ඔවුන් ක‍්‍රියාත්මක කල අතර, දැන් ඉන්දියාවේදී වඩා ඉහල මට්ටමකින් ඒවා සිදුවෙනවා. ඉන්දීය රජය වාහන සමාගම්, ඉලෙක්ට්‍රොනික සමාගම් හා අනෙකුත් අංශවලින් සෘජු විදේශ ආයෝජන ධෛර්යමත් කිරීමට උත්සාහ කරමින් සිටිනවා.”

සිර ගතකල කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ තත්වය ගැන ඊලඟට සාකච්ඡාවට ගැනුනි. “2013 මැයි වල අපි එහේ සිටියදී පවුල්වල සාමාජිකයන් අතර ඉහල මට්ටමක පීඩනයක් තිබුනා. තමන්ගේ පියවරුන් කිසිදා දැක නැති අත දරුවන් සිටින ගැහැනුන් සිටියා. කුලී හෝ කෑම වියදම් ඔරොත්තු නොදෙන නිසා එකට ජීවත්වීමට සිදුවුනු පවුල්වල සාමාජිකයන් සිටියා. පවුලේ සාමාජිකයන් අතර, විශේෂයෙන්ම තමන්ගේ සැමියන් අත් අඩංගුවට ගෙන සිරගත කීරීම නිසා තරුන ගැහැනුන්, ඉතා දැඩි මානසික, චිත්තපීඩා හා ශාරීරික පීඩාවට පත්ව සිටියා. මෙම ගැහැනුන් ඉතා දීර්ඝ කාල සීමාවකට තමන්ගේ සැමියන්ගෙන් වෙන් කර තිබුනා. තාමත් පවතින, මේ ආකාරය රාහුල් රෝයිගේ ද ෆැක්ටරි චිත‍්‍රපටයේ විස්තර කෙරෙනවා.

මනෙසාර් හි මරුති සුසුකි කම්හල වටා ඇති මුඩුක්කු (ස්තූතිය: The Factory, රාහුල් රෝයිගේ ද ෆැක්ටරි චිත‍්‍රපටය)

“මරුති සුසුකි කම්කරුවන්ට සහයෝගය දන්වන්නට සාමූහික ක‍්‍රියාවන් හි නිරත වූ මිනිසුන් පොලිස් අත් අඩංගුවට ගැනීමට මොහොතකට පෙර, 2013 මැයි වලදී හර්යානා හි පාලන මධ්‍යස්ථානය වන කයිතාල් වලට අපි ගියා. ඉතා අහිතකර තත්වයන් යටතේ ඔවුන්ව වට කර සිර ගත කලා. කන්ඩායම සිර මැදිරිය හා පොලිස් කොමසාරිස් වෙත ගියා.

“කොමසාරිස් ට මූලික පදනමක් තිබුනා: මරුති සුසුකි කම්කරුවන් වැරදිකරුවන් (මිනීමැරීමට හා ඔවුන්ට එරෙහිව තිබූ අනෙකුත් බරපතල චොදනාවන්ට) වෙනවා හා ඔවුන්ගේ ආරක්ෂාවට පාර වසා ගනිමින් උද්ඝෝෂනය කල මිනිස්සුත් වැරදිකරුවන්. විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ගැන සලකාබැලීමට කිසිසේත්ම උත්සාහයක් නොගැනුනු අතර හාම්පුතුන්, පොලීසි හා කම්කරු දෙපාර්තමේන්තුව අතර මේ කාරනාව ගැන ස්ථිර අදහසක් තිබුනා. මා කලින් පෙන්වා දුන් කාරනාව, විදේශ ආයෝජන හා ගැලතුනු ඉන්දීය පාලක පන්තියේ වැදගත්කම, වටේ ඒක ඇත්තටම කරකැවෙනවා. ව්‍යාපාර හිතැති පරිසරය ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීමට ඔවුන් සම්පූර්නයෙන් කැපවී සිටිනවා. අනෙක් සියලු දේ වලක්වනවා.”

මරුති සුසුකි කම්කරුවන්ට වද හිංසා පැමිනවීමේ උච්චතම අවස්ථාවේදී බලයේ සිටි ජාතික ආන්ඩුවටත් හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුවටත් නායකත්වය සැපයූ, ඉන්දීය පාලක පන්තියේ සම්ප‍්‍රදායික පක්ෂය වන කොන්ග‍්‍රස් පක්ෂය හෝ 2014 මැයි හිදී බලයට පැමිනි නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී පක්ෂය හෝ කවුරු වේවා සියලු ධනපති පක්ෂවල නිල ප‍්‍රතිපත්තිය මෙය බව මේ වාර්තාකරු පෙන්වා දුන්නේය.

“මෙම ප‍්‍රශ්නයේදී මෝදි ආන්ඩුව විය හැකි ලෙසම වඩා නරක බවට මං තර්ක කරනවා” නෙස් පැවසීය. “නමුත්, ඔව්, ඇත්තටම පක්ෂ දෙක අතර වගේම සංවිධානය වීමට කම්කරුවන්ට ඇති අයිතිය ගැන සමහර ප‍්‍රාදේශීය පක්ෂ අතරත් කිසිම වෙනසක් නෑ. එම ක‍්‍රමය තුල, විශේෂයෙන්ම කම්කරුවන් වෙත, ඉතා අඩු සාධාරනයක් තමයි පවතින්නේ.”

ඉන්දියාවේ මෙගා-නගර වටා ඇති නව විශේෂ ආර්ථික කලාපවල (එස්ඊඉසෙඩ්) හා අපනයන සැකසුම් කලාපවල (ඊපීඉසෙඩ්) ශ‍්‍රමය සපයන තරුන කම්කරුවන් ගැන නෙස් විස්තර කලේය. “දිල්ලියේ හා හර්යානා වල, උදාහරනයකට, බොහෝ කම්කරුවන් පැමින සිටින්නේ බිහාරයෙන් හා උත්තර් ප‍්‍රදේශ් වලින් හා එපිටින්. ඔවුන් පැමිනෙන්නේ පිටිසර ගම්වලින් හා බොහෝ අවස්ථාවලදී, ගොවිපලවල් වල තවදුරටත් ඔවුනට වැඩ නොමැති විට ජීවත්වීමට නගර වෙත යාමට බලකෙරෙනවා.”

ඔවුන්ගේ තත්වයන් පෙන්වාදෙමින්, “කෙසේවත් දරාගත නොහැකි ඉහල මට්ටමේ දූෂිත වටපිටාවක් හා හතරවට පැතිරුනු මුඩුක්කු ඔබට දකින්නට පුලුවන්. අවුරුද්දේ වැඩි කාල සීමාවක් විරැකියාවෙන් පෙලෙන කොන්ත‍්‍රාත් කම්කරුවන් තමයි මෙම කලාපවල වැඩියෙන් සිටින්නේ. ඒක කලාපය මත රඳා පවතින නමුත්, කම්හල් තුල රැකියා කරන බොහෝ කම්කරුවන් ඉන්දීය තාක්ෂනික ආයතනය වෙත යනවා විධිමත් පුහුනුවක් ලබා ගැනීමට. නමුත් ඔවුන්ගේ වයස අවුරුදු 30 සිට 35 වන විට, ඔවුන්ගේ වේතන ඉහල ගොස් ඇති නිසා සමාගම්වලට ඔවුන්ව ඉවත් කරන්නට අවශ්‍ය වෙනවා.” නෙස් පැවසුවේය.

“ඉහල මට්ටමේ කුසලතාවයන් සමග පුහුනු කරන ලද සේවකයන් පවා කොන්ත‍්‍රාත් කම්කරුවන් බවට පරිවර්තනය කරනවා. සමහර අනෙකුත් කලාපවල වඩා දුප්පත් කොන්දේසි තිබෙනවා. චෙන්නායි අවට වයස අවුරුදු 25 පිරුනු කම්කරුවන් ඔවුන්ගේ හාම්පුතුන්ට වියදම් අධික වෙනවා. මෙම අංශවල ඉන්දීය කම්කරුවෙකුගේ රැකියා ජීවිත කාලය අවුරුදු 18 සිට 25 දක්වා වන අතර සමහර තැන්වලදී 35 තෙක් වනවා. ඊලඟට මේ වාගේ කම්හල්වල කම්කරුවෙක් ලෙස ඔබගේ ජීවිතය අවසන් වනවා. ඊලඟට ඔබ තව දුරටත් කොන්ත‍්‍රාත් කම්කරුවෙක් ලෙස කොන් වෙනවා.”

මරුති සුසුකි කම්කරුවන්ට දිගින් දිගටම විරෝධතා හා වැඩ වර්ජනවලට යාමට පෙලඹ වූයේ මේ වැනි තත්වයන්ය. “මුලදී ගුර්ගෝවන් හි පලමු කම්හලෙහි හා පසුව 2006 දී ඇරඹි මනෙසාර් කම්හලෙහි සමිති සංවිධානය කිරීමට පසුගිය වසර 12 සිට 15 තෙක් උත්සාහයන් දරමින් තිබුනා. පලමු කම්හලෙහි දී, සමාගම මූලිකත්වයෙන් මරුති උද්යෝග් කම්ගාර් යුනියන් (එම්යූකේයූ) පිහිටුවීමෙන් එය නතර වුනා. නවතම කම්හලෙහි 2009 දී පටන්ගෙන එක දිගටම කම්කරුවන් විසින් ස්වාධීන සමිතියක් පිහිටුවීමට උත්සාහයක් තිබුන අතර එය 2012 දී මරුති සුසුකි කම්කරු සමිතිය (එම්එස්ඩබ්ලිව්යූ) පිහිටුවීමෙන් මුදුන් පත් වුනා.”

2011 ඔක්තෝබර් මනෙසාර් හි මරුති සුසුකි කම්කරුවන්ට සහයෝගය පලකරමින් සුසුකි පවර්ට්‍රේන් කම්කරුවන් අනුග‍්‍රාහක වර්ජනයක

“මෙම නවතම ඉදිරියට යමින් පවතින කාර්මික අංශවලදී ඉන්දීය රජය කම්කරුවන් බලමුලුගැන්වීම වැලැක්වීමට ගන්නා උත්සාහය” නිසා, ඉන්දියානු ශ‍්‍රම බලකායෙන් සියයට 94 ක් වන කොන්ත‍්‍රාත් කම්කරුවන් සංවිධානය කිරීමට සම්ප‍්‍රදායික වෘත්තීය සමිති අපොහොසත් බව ඔප්පු කර තිබෙන බව නෙස් පැවසීය.

ස්ටැලින්වාදී-ගැති ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොන්ග‍්‍රසය (ඒඅයිටීයූසී) ඇතුලත්, ප‍්‍රධාන කම්කරු ෆෙඩරේෂන, මෙම තරුන කම්කරුවන්ගේ සටන්කාමී උත්සාහයන්වලට බයෙන් බිරාන්තව හා සතුරු ආකල්ප සහිතව සිටීම වඩා සැලකිය යුතු හේතුව බව මෙම වාර්තාකරු යෝජනා කලේය. 2004-08 තෙක් පැවතුන කොන්ග‍්‍රස්-ප‍්‍රමුඛ ජාතික ආන්ඩුවට මුක්කු ගැසීමත් ඇතුලත්ව, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෝ සීපීඑම් දිගින් දිගටම කොන්ග‍්‍රස් පක්ෂයත් සමග ගැලතීම හා ඉන්දියාව ගෝලීය ප‍්‍රාග්ධනය සඳහා ලාබ ශ‍්‍රම මධ්‍යස්ථානයක් බවට හැරවීමේ ඉන්දීය ධනේශ්වර වැඩ සටහන බෙදා හදා ගැනීම මේ හේතුවයි.

“පවතින සමිති තමන්ගේ දේශපාලන දිශාවනතියෙන් පරිබාහිරව කොමියුනිස්ට් හෝ තමන් සරන ගිය ප‍්‍රතිපත්ති වල නොපිහිටන අතර ඒ්වායේ හොඳම තත්වය වුවද සැලකිය හැක්කේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස පමනක් බවට මම තර්ක කරනවා. බටහිර බෙංගාලයේ වසර ගනනාවක් බලයේ සිටි සීපීඑම් පක්ෂයේ සීඅයිටීයූ සමිතිය සම්බන්ධයෙන් එය සත්‍යයක් වන අතර ඔවුනට තව දුරටත් කිසිම පදනමක් නෑ.” නෙස් පිලිතුරු සැපයීය.

විශේෂ ආර්ථික කලාපවල කම්කරුවන්ගේ වැඩෙන අරගල විස්තර කිරීමට නෙස් පටන් ගත්තේය. “සැමදාම සිදුවන දුසිමකට හෝ වැඩි වැඩ වර්ජන, මේ දැන් සිදු කෙරෙන ඒ්වාත් සමග, ඒ වගේම වාහන කර්මාන්තයේ, එනම් මෝටර් බයිසිකල් හා රික් ෂෝ නිෂ්පාදන අංශවල, සේවා යෝජකයන් විසින් කෙරෙන ලොකවුට් කිරීම් සමගින් දිල්ලිය අවට විශේෂිත ප‍්‍රදේශවල සැලකිය යුතු කම්කරු අරගල සිදු වෙනවා. මේ පසුගිය ජනවාරියේදී මට හොන්ඩා අමතර කොටස් නිෂ්පාදනය කරන කම්කරුවෙක් හමුවුනා. කොන්ත‍්‍රාත් කම්කරුවන් යෙදවීම නිසා දොට්ට වැටුනු ඔවුන් ඉතා ඉහල කුසලතාවයකින් යුත් කම්කරුවන්. කොන්ත‍්‍රාත් කම්කරුවන් හට දේශපාලන ක‍්‍රියාකාරකම් මගින් තම තනතුර උසස් කර ගැනීමට උග‍්‍ර අවශ්‍යතාවයක් හා හැකියාවක් පැවතීම ඉන්දියාවේ ඇති ප‍්‍රමුඛතම ප‍්‍රශ්නයන්ගෙන් එකකි.

“මරුති සුසුකිවල කොන්ත‍්‍රාත් කම්කරුවන් වෙනුවට ස්ථිර කම්කරුවන් සේවයේ යෙදවීම ගැන බොහෝ මිනිසුන් කතා කරන නමුත්, කොන්ත‍්‍රාත් කම්කරුවනුත් සේවයේ යෙදී සිටින බවත් සඳහන් කල යුතුයි. ශ‍්‍රම බලකායෙන් සියයට 80 ක් ගැන ඔබ කතා කරන විට, කොන්ත‍්‍රාත් කම්කරුවන් හරිම වැදගත්. මෙම කම්කරුවන් වැඩ වර්ජනයකට ගිය හොත් ඒක ප‍්‍රධාන කැරැල්ලකට හෝ ඊට එහා දේකට පදනම සකසනවා. කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා ඉන්දියාවේ, චීනයේ හා අනෙකුත් තැන්වල ඇති හැකියාවන් අතිශයින්ම ශක්තිමත් යැයි මම හිතනවා.

“කැරැල්ලකට ඉඩකඩ පවතිනවා. ගුර්ගෝවන් වගේ තැනක උද්‍යානයකට යන විට, තමන්ගේ තත්වයන්, දේශපාලනය ගැන, සමාජවාදයේ ශක්‍යතාවයන් හා ඒ කරා යාම ගැන කම්කරුවන් සියගනන් වාඩි වී වට වී කතා කරනවා දකින්නට පුලුවන්.”

කම්කරු පන්තිය හා පන්ති අරගල “අතුරුදහන්” වී ඇතැයි ඇතැම් ශාස්ත‍්‍රඥයන් කරන අධෛර්යමත් ප‍්‍රකාශ නෙස් ප‍්‍රතික්ෂේප කලේය. ලෝකයේ බොහෝ නිෂ්පාදන කම්හල් බටහිර යුරෝපයෙන් හා උතුරු ඇමරිකාවෙන් ඉවතට ඇදී ගොස් ඇති අතරේ, ආසියාවේ, අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ තදින් සූරා කැවෙන කම්කරුවන් මිලියන සිය ගනනක් ශක්තිමත් සමාජ බලවේගයක් ලෙස ඉස්මතුවෙමින් පවතින බව ඔහු පවසයි.

ඉන්දියාවේදී, සංවිධානාත්මක ක‍්‍රියාකාරකම්වල මට්ටම අනෙකුත් ස්ථානවලට වඩා ඉතා ඉහලයි. අපි මේ වගේම තත්වයක් දකුනු අප‍්‍රිකාවේදි දැක්කා. පතල් කම්කරුවන්, ප්ලැටිනම් කම්කරුවන් වටා හා බ‍්‍රසීල හා මෙක්සිකෝ වගේ තැන්වලදී, බොහෝ අවස්ථාවල ඒවා මුල් පිටුවල ප‍්‍රවෘත්ති නොවුනත්, දැවැන්ත බලමුලු ගැන්වීම් සිදුවන බව, මම හා අනෙකුත් අය එකතුවෙලා කරපු පර්යේෂනයකදී අනාවරනය වුනා.

“ක්ෂනිකව හට ගැනුනු ඉක්මන් වර්ජන අපි දැක්කා. නමුත් අප ඒතැන් සිට ගොඩ නගන්නේ කොහොමද? අපට සංවිධාන ඇති කිීරීමේ අවශ්‍යතාවයක් තියෙනවා යැයි මම හිතනවා. මෙය විශ්වාස කරන කම්කරුවන් දැවැන්ත සංඛ්‍යාවක් සිටිනවා. ඉන්දියාවේ හා උතුරු ඇමරිකාවේ කම්කරු අරගල පෙරට යන්නට නව සංවිධාන අවශ්‍ය අතර පවතින සමිතිවලට එය කිරීමට හැකියාවක් හා අවශ්‍යතාවයක් නැතැයි යන්න මිනිසුන් ඒ්ත්තු ගනිමින් සිටිනවා. ලෝකයේ අනෙක් තැන්වල මෙන්ම මේ රටේද සමිති ඉතා දුර්වලයි.”

මෙම තේමාව යටතේ, ගෝලීයකරනය හා බහුජාතික සමාගම්වල ඉස්මතුවීම තුල සියලු ජාතිකව පදනම් වූ වෘත්තීය සමිති හා කම්කරු පක්ෂවල අපොහොසත් වීම ගැන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කල විශ්ලේෂනය මෙම වාර්තාකරු සාකච්ඡා කලේය. නෙස්, කම්කරු පන්තිය එක්සත් කිරීමට ජාත්‍යන්තර මූලෝපායක ගැටලුව ඔබ දකින්නේ කොහොමද? මෙම වාර්තාකරු විමසීය.

“මට කම්කරුවන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මෙම සෑම අරගලයකදීම, තමන් අතරේ සහෝදරත්වය ගොඩ නැගීමට කම්කරුවන් සටන් කරනවා. ඒක තමා ප‍්‍රධාන ප‍්‍රශ්නය: තම ස්ථානවල ඔවුන්ට සහෝදරත්වය ගොඩ නැගීමට හැකි නම්, ඔබ පෙන්වා දෙන ජාත්‍යන්තරවාදය වැනි දේකට යෙදවීමට ඔවුනට ශක්තිය ලැබෙනවා.

“නමුත් ජාත්‍යන්තර සහෝදරත්වය ගැන අපට ඇත්තේ ඉතා සුලු උදාහරන කීපයක්. ඒ් තත්වය බොහෝ වශයෙන් සම්බන්ධ වී ඇත්තේ ඒ්එෆ්එල්-සී අයි ඕ හි ස්වභාවය සමගයි. කම්කරුවන්ගේ ව්‍යාපාරයකට විරුද්ධ වෙමින් ඒඑෆ්එල්-සීඅයි ඕ එක්සත් ජනපද ආන්ඩුවට සහයෝගය දෙන තත්වය යටතේ මේ රටේ ඒඑෆ්එල්-සීඅයි ඕ හි ස්වභාවය සමග බොහෝ දේ කරන්නට තිබෙනවා. එවැනි සහෝදරත්වයක ට යෙදී ගන්නට ස්වාධීන වෘත්තීය සමිතිවල හැකියාව මත මෙවැනි හිර කිරීම් ඇති වෙනවා.

“එක්සත් ජනපදයෙන්, උතුරු ඇමරිකාවෙන් හා යුරෝපයෙන් පිටත කම්කරුවන්ව සුපිරි-සූරාකෑම හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ තත්වය වර්ධනය කිරීමට, ඔවුන්ගේ තත්වයන් ඉදිරියට ගෙන යාම කොතරම් වැදගත් ද යන කාරනා අතර සම්බන්ධතාවය ගැන කම්කරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.”

සාකච්ඡාව නිමා කරමින්,ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ඉදිරියට ගෙන යන ඉදිරි දර්ශනය මෙම වාර්තාකරු පෙන්වා දුන්නේය. ඉන්දියාවේදී, චීනයේදී, දකුනු අප‍්‍රිකාවේදී හා මෑතක 2011 ඊජිප්තුවේදී ඓතිහාසික අත්දැකීම් ඔප්පු කරන්නේ, විප්ලවවාදී නායකත්වයක් නොමැතිව, කම්කරුවන්ගේ අති දැවැන්ත සටන් කාමිත්වය හා ස්වයං-කැපවීම නිෂ්ක‍්‍රීය කොට, පාලක ප‍්‍රභූවේ අයෙකුට හෝ වෙනත් කොටසකට සම්බන්ධ කර, මැඩ පවත්වා, හා කුඩුපට්ටම් කර දැමෙනු ඇති බවයි. කම්කරු පන්තිය සඳහා සූරාකෑම, රාජ්‍ය මර්දනය හා යුද්ධය අවසන් කර තම උත්සාහයන් යථාර්තයක් කර ගැනීමට, බලය ලබා ගැනීම හා ධනවාදය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමට තමන්ගේම ජාත්‍යන්තර පක්ෂය සංවිධානය කල යුතුය.

“අපි විසින් සාකච්ඡා කල යුතු ඉතා තීරනාත්මක ප‍්‍රශ්න මේවා යැයි මම හිතනවා.” නෙස් ප‍්‍රතිචාර දැක්වීය. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප‍්‍රීතියෙන් කියවන බවත් එම අඩවිය බලගතු ලෙස අනෙක් උදවියට නිර්දේශ කරන බවත් ඔහු ඊට එකතු කලේය. “මාව එකතු කරගත්තාට ඔබට බොහෝම ස්තූතියි.”

Share this article: